History

Thursday 21 December 2023

අපි වෙනුවෙන් අපි හා රටේ ප්‍රශ්නය

 

අපි වෙනුවෙන් අපි  හා රටේ ප්‍රශ්නය

 

වෝක්කුවන් ගැන ලියන්න බොහෝ දේ තියෙනවා. වෝක්කුවන් කියන්නේ සමාජයේ විවිධ අසාධාරණකම් ගැන අවදිියෙන් සිටින්නේ යැයි කියන එහෙත් පවත්නා ක්‍රමයට විකල්ප ක්‍රමයක් නැති පිරිසක්. ඔවුන් තමන්ගේ ප්‍රකාශවලින් තමන් කවුදැයි හඳුන්වා දී තියෙනවා. අර පරගලය වෙලාවෙ ඔවුන් රෙද්ද ගලවන්න ඕන කිවුවෙ වෙන රෙද්දක් ඇතුව නොවෙයි. විකල්පයක් නැති වෝක්කුවන් වෙනත් අය විසින් යොදා ගැනෙනවා.

 

මෙරට වෝක්කුවන්ට ඇත්තේ සිංහල බෞද්ධ විරෝධයක්. ඔවුන්ට තම භාෂාවෙන් කියනවා නම් සිංහල බෞද්ධ රෙද්ද ගලවල විසි කරන්න ඕන. ඔවුන් මහින්දට හා ගෝඨාභයට විරුද්ධ වුණා මිස බැසිල්ට විරුද්ධ වුණේ නැහැ. අර කපුටුකාක් කතාව එතරම් වැඩක් ඇති එකක් වුණේ නැහැ. ගෝටා ගෝ හෝම් තමයි ප්‍රධාන වුණේ. ඊළඟට නාකි මයිනා කතාව. සිංහල බෞද්ධ නායකත්වය අතුගා දැමීම තමයි මෙරට වෝක්කුවන්ට අවශ්‍ය වුණේ. බලයට පත් කරන්නේ කවුරුන් යන්න ගැන ඔවුන්ට ප්‍රශ්නයක් තිබුණේ නැහැ. අවශ්‍යතාව රෙද්ද ගැලවීම පමණයි.

 

එහෙත් මෙරට වෝක්කුවන් යොදා ගත් බටහිරයන්ට මනා සැලැස්මක් තිබුණා. ඔවුන් තම ඒජන්තයා වූ ඇංග්ලිකන් ක්‍රිස්තියානි නියෝජිතයා වූ රනිල් පත් කරන්න සියල්ල සූදානම් කර තිබුණේ. රනිල් කිසිසේත් දක්‍ෂයෙක් නො වෙයි. ඔහු කිහිප වතාවක් අගමැති සිට ඇති නමුත් රටට කළ කෙංගෙඩියක් නැහැ. අදත් කරන්නෙ නැහැ. ඔහු මෙරට නැවතත් බටහිර ඇංග්ලිකන් සභ්‍යත්වයේ යටත්විජිතයක් කරමින් ඉන්නවා. ඔහුට ඉන්දියාව නම් කැමති නැහැ. ඔහුත් ඉන්දියාවට කැමති නැහැ.

 

ඕස්ත්‍රේලියාවෙන් ආනයනය කෙරුණු නන්දලාල් වීරසිංහ ලවා රට බංකොළොත් කියා ප්‍රකාශ කර රට කිසිම අයකුට ණය ගැනීමට බැරි තත්වයක් ඇති කර රනිල්ට පමණක් ණය ලබාදීමේ සැලසුමක් ඇතුවයි රනිල් පත් කෙරුණේ. රනිල් තමා අගමැති බවට පත් කිරීම භාර ගත්තේ ඔහුට තිබූ දක්‍ෂතාවක් අනුව නොව බටහිරයන් ඔහුට දී තිබූ ශක්තිය නිසයි. රනිල් අද ජාමූල පදේට නැටීම පමණයි කරන්නේ. එය මහා වැඩක් නො වෙයි. රනිල් පසුගිය අවුරුද්දට දේශීය නිෂ්පාදන ඇති කිරීමට වර්ධනය කිරීමට පියවර ගෙන තියෙනවා ? ඔහු දන්නේ ජේ ආර් ලලිත් ඇතුළත්මුදලි රොනී මෙල් අනුගමනය කළ ඊනියා විවෘත ආර්ථික ක්‍රමය පමණයි.

 

කෙසේ වෙතත් අද මෙරට වෝක්කුවන්ට කර කියා ගන්න දෙයක් නැතුව බයිලා කියවනවා. බයිලා ගයන්නත් බැහැ. බයිලා කියන්න විතරයි පුළුවන්. මේ වෝක්කුවන් බොහෝ දෙනා විශිෂ්ට බුද්ධිමතුන්. මා අද දැක්කා එක් විශිෂ්ට බුද්ධිමතකු ඉදිරිපත් කර ඇති තවත් විශිෂ්ට බුද්ධිමතුන්ගේ ලැයිස්තුවක්. ඔවුන් නම් විශිෂ්ට ගණයේ බුද්ධිමතුන් තමා. මුළු ලෝකය විශිෂ්ට   බුද්ධිමතුන් ඉදිරිපත් කර ඇති නව සංකල්ප ප්‍රවාද (කතා) ආදිය ගැන සම්මන්ත්‍රණ පවත්වනවා.

 

එහෙත් මේ බුද්ධිමතුන් ගැන තවත් බුද්ධිමතුන් පිරිසක් විරෝධය දක්වනවා. මෙරට බොහෝ බුද්ධිමතුන් අතර ඇත්තේ පිටකසා ගැනීමේ ක්‍රමයක්. අපි වෙනුවෙන් අපි කියා ක්‍රමය හඳුන්වන්න පුළුවන්. දිලිත් ජයවීර තමයි මේ සටන් පාඨය ඉදිරිපත් කෙළේ. ඔහුගේ අවසරයකින් තොරව පාඨය යොදා ගන්නවා. මා හිතන්නෛ නැහැ ඔහු කතෘ භාග ඉල්ලාවි කියා.  ඔහු ගෝඨාභය හඳුනා ගන්න ඇත්තෙත් සමග වෙන්න ඇති. එහෙත් ඔහු පසුව බැසිල් වෙනුවෙනුත් පෙනී සිටි බව මට හොඳ හැටි මතකයි. කුමක් වුවත් අද දිලිත් කරන්නෙත් අපි වෙනුවෙන් අපි වැඩක්. 

 

මෙරට බුද්ධිමතුන් සමහරු වෝක්කුවන්. ඔවුන් සමාජ අසාධාරණයට විරුද්ධයි. එහෙත් විකල්ප සමාජ ක්‍රමයක් දන්නේ නැහැ. මාක්ස්වාදය කඩා වැටීමෙන් පසුව ඔවුන්ට කිසිම හව් හරණක් නැහැ. අද ක්‍රිෂ්ණදාස නාරායන බණ්ඩාරනායක බ්‍රහ්මචාරි මුදියන්සේලාගේ පරාක්‍රම බණ්ඩාර නිරිඇල්ල බොහෝ බෝක්කුවන්ගේ ගෞරවයට පාත්‍ර වෙලා. මහින්ද ලවා ලිපි ලියවා පේරදෙණි මොටාවෙ ගුරු පදවි ලබා ගන්න උත්සාහ කළ අයගෙත් ගෞරවයට පාත්‍ර වෙලා. පරාක්‍රම නිරිඇල්ලත් විශිෂ්ට බුද්ධිමතෙක් වෙන්න ඕන. මා ඔහු ගැන නම් දන්නේ නැහැ. ඔහුගේ මිතුරකු වූ තිලක් ජයරත්න කොළඹ මොටාවෙ මගේ සමාකාලීනයෙක්. මා මෙන් නොව සිසුවකු ලෙසත් ඔහු සම්භාවනාවට පාත්‍ර වී සිටියා. මට විද්‍යාඥයකු වීමට බැරි වෙද්දි  ඔහු තම ක්‍ෂෙත්‍රයේ ඉහළට ගියා. ඔහු වෙනුවෙන් බොහෝ දෙනකු ගිටියා. මා වෙනුවෙන් නම් එදත් අදත් කිසිම බුද්ධිමතකු පෙනී සිට නැහැ. මට පිට කසා ගැනීමට ජාතිකවාදී කඳවුරේවත් කිසිවකු නැහැ. සරමෙන් තමයි පිට කසා ගන්න වෙලා තියෙන්නෙ.

 

නිරිඇල්ලලාටත් විකල්පයක් නැහැ. වේදිකාවෙන් බැස යෑම තමයි කරන්න පුළුවන්. අද සමහර චිත්‍රපට අධ්‍යක්‍ෂවරුන් ඉන්නවා ඊනියා අසාධාරණය ගැන කතා කරමින් තම බලය යොදා ගෙන මහරගම කිට්ටුව වගුරු බිම් ගොඩ කරන. ඔවුන්ට විරුද්ධ කතා කරන්න වෝක්කුවන් නැහැ. එක් චිත්‍ර ශිල්පියෙක් පමණක් ඉන්නවා. අසාධාරණය තරම් අසාධාරණයක් තවත් නැතුව ඇති. ලෝක ප්‍රකට චිත්‍රපට අධ්‍යක්‍ෂවරුන්ට විරුද්ධ වීම දේශපාලනඥයන්ට විරුද්ධ වීම වගේ නො වෙයි.

 

වෝක්කුවන් වෙනුවෙන් ඉන්නෙත් වෝක්කුවන්. බුද්ධිමතුන් වෙනුවෙන් බුද්ධිමතුන්. නළුවන් වෙනුවෙන් නළුවන්. චිත්‍රපට අධ්‍යක්‍ෂවරුන් වෙනුවෙන් චිත්‍රපට අධ්‍යක්‍ෂවරුන්. ඇමතිවරුන් වෙනුවෙන් ඇමතිවරුන්. රට වෙනුවෙන් හැමෝ . රටේ ප්‍රශ්නය ඒකයි.