History

Monday 30 April 2018

සම්බන්ධන් පවත්වා ගෙන යෑම






සම්බන්ධන් පවත්වා ගෙන යෑම

                                                                                        

සම්බන්ධන් උතුරට හා නැගෙනහිරට වෙන ම පාලනයක් ගේනවා කියන කොට ඒකෙන් කියැවෙන්නෙ මොකක් ද? දෙමළ ජනයාගේ අර නැති ප්‍රශ්නයට විසඳුම් දුන්නෙ නැත්නම් වෙන ම පාලනයක් ගේනවා කියලා තමයි ප්‍රවෘත්තිය වාර්තා වෙලා තිබුණෙ. මෙතැන ඉතා පැහැදිලියි ගේනවා කියන කොට ඔහුගේ හිතේ තියෙන්නෙ මොකක් ද කියලා. ඒක කට මැති දෙඩවිල්ලක් වුණත් නැතත් මේක තමයි දෙමළ ජාතිවාදයෙ බෙදුම්වාදයෙ ත්‍රස්තවාදය. අපට කියන්න තියෙන්නෙ කරුණු දෙකයි. එකක් ප්‍රශ්නයක්. ප්‍රභාකරන්ට බැරි වෙච්ච එකේ සම්බන්ධන්ට පුළුවන් ද?

Sunday 29 April 2018

සිංහල බෞද්ධ රාජ්‍යය




සිංහල බෞද්ධ රාජ්‍යය



අද වෙසක් පුර පසළොස්වක. අද තමයි තෙමඟුල සිදු වූ දවස. සමහරු අහනවා බුදු හාමුදුරුවන් පිරිනිවන් පෑම මඟුලක් වෙන්නේ කොහොම ද කියා. බුදු වීමෙන් පසුවත් උන්වහන්සේ අවුරුදු හතළිස් පහක් සත්වයාගේ (මිනිසුන්ගේ පමණක් නොව) හිත සුව පිණිස ධර්මය දේශනා කළා. පිරිනිවන් පෑමෙන් පසු ඒ කාර්යය ඉටු වන්නේ නැහැ. ඒ ගැන කණගාටුවක් තියෙන්න පුළුවන්. එහෙත් උන්වහන්සේ දෙසූ ධර්මය අදත් තියෙනවා. ධර්මය ගැන විවිධ අර්ථකථන තිබුණත් අප ථෙරවාදය ආරක්‍ෂා කර ගෙන තියෙනවා. ථෙරවාදය කියන්නෙත් එක දැනුමක් නොවෙයි. ඒකටත් විවිධ අර්ථකථන තියෙනවා. ඒත් අපට සාමාන්‍යයෙන් ථෙරවාදය කියන්නෙ මොකක් ද කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒ  බුුදු හාමුදුරුවන් දැකීමෙන්. බුදු හාමුදුුරුවන් කවුද කියා දැන ගැනීම ධර්මය දැන ගැනීමෙන් කරන්න පුළුවන්.  ධර්මය දැකීමෙන් බුදු හාමුදුරුවන්  දකින්න පුළුවන්. මෙය චක්‍රියයි.

Saturday 28 April 2018

සම්බන්ධන් හා පුහු පොරවල්


සම්බන්ධන් හා පුහු පොරවල්



සම්බන්ධන් පසුගිය දවසක හොඳ ප්‍රකාශයක් කරලා තිබුණා. ඔවුන්ගේ ප්‍රශ්නයට විසඳුමක් නැත්නම් උතුරු නැගෙනහිරට වෙන ම පාලනයක් ගේනව කියලා ඔහු කියා තිබුණා. දැන් මේ ප්‍රශ්නය මොකක් ද කියලා දැන ගන්න අප අවුරුදු තිහකට ආසන්න කාලයක් උත්සාහ දරලා තියෙනවා. ඒත් සම්බන්ධන්වත් සුමන්තිරන්වත් විග්න්ස්වරන්වත් ඊට කලින් හිටපු කිසිවකුවත් එයට පිළිතුරක් දීලා නැහැ. දෙමළ ජාතිවාදීන් විතරක් නො වෙයි ඊනියා ස්මාට් ජාතිකවාදීන්වත්, අනෙක් ජාතිකවාදීන්ට එරෙහිව තර්ක සපයන්න හදන පඬියන්වත් ඒ ප්‍රශ්නයට පිළිතුරක් දීලා නැහැ. මේක තමයි මූලික ප්‍රශ්නය. අර පඬියන් වගේ නොවෙයි සම්බන්ධන් අවුරුදු අසූවක පමණ කාලයක් දෙමළ ජාතිවාදීන් කියන කතාව දිගට ම කියනවා. ඒ තමයි ඔවුන්ගේ මොකක් ද ප්‍රශ්නයකට පිළිතුරක් නැත්නම් උතුරු හා නැගෙනහිර පළාත්වල වෙන ම රාජ්‍යයක් ඇති කරනවා කියන එක. මෙයින් කියැවෙන්නේ නැහැ දෙමළ ජාතිවාදය අවුරුදු අසුවකට වඩා පැරණි නැහැ කියලා. දෙමළ ජාතිවාදය දේශපාලන වශයෙන් බෞතීස්ම කෙරුණේ 1833 දී. එය ක්‍රමයෙන් විකාශය වෙලා දෙමළ බෙදුම්වාදය ඇති වෙලා අවුරුදු අසූවක් පමණ වෙනවා. සුන්දරලිංගම් තමයි බෙදුම්වාදය ආරම්භ කෙළේ. නාගනාදන්ලා චෙල්වනායගම්ලා එය වර්ධනය කළා. ප්‍රභාකරන් දෙමළ ත්‍රස්තවාදයක් කරා එය ගෙනිච්චා.

Friday 27 April 2018

වෙසක් පොහොය කවදා ද?


වෙසක් පොහොය කවදා ද?



මෙවර වෙසක් පොහොය පිළිබඳ විවාදයක් ඇති වී තිබෙනවා. එය ඉතා වැදගත්. වෙසක් මාසය, වෙසක් පොහොය, අධි පොහොය උදාවීම ආදිය පිළිබඳ සූත්‍ර (සූත්‍ර කියන්නේ ඇසූ දේ)  කිහිපයක් ජ්‍යොතිෂවේදීන් කිහිප දෙනකු පෙන්වා දී තිබෙනවා. මෙය තමා අපේ ක්‍රමය. අප බලන්නේ මෙතෙක් පොහොය, අධි පොහොය ආදිය නීර්ණය කිරීමේ දී යොදා ගෙන ඇති ක්‍රම.  බටහිර ක්‍රමය එයට වඩා වෙනස්. එහි සූත්‍රයකට වඩා මූල ධර්මයකට වැදගත්කමක් හිමි වෙනවා. අප අපේ සම්ප්‍රදායේ සිටින අතර බටහිරයන්ගේ මූල ධර්ම ක්‍රමය අපට අවශෝෂණය කර ගන්නේ කෙසේ දැයි කල්පනා කරන්න ඕන.

Thursday 26 April 2018

දෙවියන් වහන්සේ හා මනස


දෙවියන් වහන්සේ හා මනස



දැනුම සංස්කරණය කිරීම ගැන අද ඊනියා දාර්ශනිකයන් ද එකඟ වන බව පෙනේ. ඔවුන් එයටත් එහා ගොස් දැනුම සංස්කෘතියට පංචෙන්ද්‍රියට හා මනසට සාපේක්‍ෂ යැයි ද කියන්නේ එහි එතරම් වැදගත් දෙයක් නැත යන්න ද එකතු කරමිනි. දර්ශන අධ්‍යන අංශ ප්‍රධානීන්ට එහි එතරම් දෙයක් නැති වුවත් ඉන් කියැවෙන්නේ කුමක් ද යන්න ඔවුන් ඉගෙන ගත් දර්ශනයට අනුව කිව හැකි දැයි අප දන්නේ නැහැ. මොනවා වුණත් ඔවුන් බටහිර දාර්ශනිකයන්. බටහිර දර්ශනය හා අපේ දැක්ම කියන්නේත් එකක් නොව දෙකක්.

Wednesday 25 April 2018

ස්මාට් ජාතිකවාදීන්ගේ ව්‍යාජ තර්ක


ස්මාට් ජාතිකවාදීන්ගේ ව්‍යාජ තර්ක



ජාතිකවාදීන් හා ඊනියා ස්මාට් ජාතිකවාදීන් හඳුනාගැනීමට උපකාර වන නිර්ණායකයක් තියෙනවා. එය සියයට සියයක් ම හරියන බවක් මා කියන්නේ නැහැ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පක්‍ෂ ද නැත් ද පක්‍ෂ නම් ඒ කිනම් අවශ්‍යතා යටතේ ද යන්න ඒ නිර්ණායකයි. අවශ්‍ය නම් එයට පරීක්‍ෂණයක් කියාත් කියන්න පුළුවන්.

Tuesday 24 April 2018

කොළඹින් පන්නා විසිපස් වසරයි 2


                                කොළඹින් පන්නා විසිපස් වසරයි 2



විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් තමන්ට ලබා දී ඇති පුහුණුව අනුව කටයුතු කරනවා. එය එක් පුහුණුවක් පමණක් බවත් තවත් පුහුණු තිබිය හැකි බවත් ඔවුන් විශ්වාස කරන්නේ නැහැ. දැනුම් පද්ධති ඇත්තේ එකක් පමණක් බව ඔවුන් සිතනවා. ඒ දැනුම් පද්ධතියෙහි විවිධ කුල තිබෙනවා. එහෙත් කුල ඇත්තේ එකම ක්‍රමයක. ඔවුන් හිතනවා කුල තිබෙන නිසා විවිධ මත තිබෙනවා කියා. විවිධ මත කියන්නේ එකක්. ඒ මත පදනම් වෙලා ඇත්තේ කුමන චින්තනයක යන්න තවත් එකක්.

Monday 23 April 2018

කොළඹින් පන්නා විසිපස් වසරයි


කොළඹින් පන්නා විසිපස් වසරයි 



අදට විසිපස් වසරකට පෙර මා කොළඹ විශ්වවිද්‍යාලයෙන් පහකෙරුණා. එදින ලලිත් ඇතුළත්මුදලි ඝාතනය කළ දවස. එදිනත් මා විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති. එහෙත් නීත්‍යානුකුල ව  නම් අස්කිරීමේ ලිපිය ලැබීමෙන් පසු මට සභාපතිකම අහිමි වෙනවා. ඒ මා තවදුරටත් විශ්වවිිද්‍යාලයක ආචාර්යවරයකු නොවීම නිසා. විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ සාමාජික කථිකාචාර්යවරුන් නැහැ. සම්මේලනය සමන්විත වන්නේ ඒ ඒ විශ්වවිද්‍යාලවල, පීඨවල, ආයතනවල ආචාර්යවරුන්ගේ සංගම් එකතුවකින්. සම්මේලනයේ සාමාජිකයන් වන්නේ ඒ සංගම් මිස පුද්ගලයන් නො වෙයි. ඒ ඒ සංගම්වල සාමාජිකයන් වන්නේ ආචාර්යවරුන්. සම්මේලනයට ඒ සංගම් නියෝජනය කරන ආචාර්යවරුන් සහභාගි වෙනවා. ඒ අයගෙන් නිලධාරි මණ්ඩලයක් තෝරා ගැනෙනවා. මා කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨ ආචාර්ය සංගමයේ සභාපති ලෙස ඒ සංගමය සම්මේලනයේ නියෝජනය කළා.

Sunday 22 April 2018

බන්දුල කාගේ මුට්ටිය ද?


බන්දුල කාගේ මුට්ටිය ද?



මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය ඇත්තේ ජනතාවට ය. ජනතාව එය ක්‍රියාත්මක කරන ආකාරය හතරවැනි ව්‍යවස්ථාවෙන් දැක්වෙයි. ඒ අනුව ජනතාවගේ පරමාධිපත්‍යයෙහි ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුව මගින් ද, විධායක බලය ජනාධිපති මගින් ද, අධිකරණ බලය පාර්ලිමේන්තුව මගින් පිහිටුවන ලබන අධිකරණ හා වෙනත් ආයතන යොදා ගනිමින් පාර්ලිමේන්තුව මගින් ද ක්‍රියාත්මක වෙනවා. බොහෝ දෙනා නොදනිතත් අධිකරණ බලය ද ක්‍රියාත්මක වන්නේ පාර්ලිමේන්තුව මගින්.

Saturday 21 April 2018

විධායකය අහෝසි කිරීම


විධායකය අහෝසි කිරීම



විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිටුපස ඇත්තේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයකට ඇති කැමැත්තක් නොව දෙමළ ජාතිවාදයට තව තවත් බලතල ලබා දීම සඳහා වූ ප්‍රයත්නයක්. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම එහි දී ඇමක් ලෙස යොදා ගන්නවා. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මෙරට සරල නැත්නම් ලිහිල් සන්ධීය රාජ්‍යයක් බිහි වූවා. ඒ ගැන මා ලිපි රාශියක් ලියා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වැනි වගන්තිය හා සම්බන්ධයෙන් මා පෙන්වා දී ඇත්තේ දහතුන සම්මත කර ගැනීමේ දී ජේ ආර් පාර්ලිමේන්තුවත් (ව්‍යවස්ථාදායකයත්) අධිකරණයත් යන දෙක ම රවටා ඇති බවයි. දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය ම නීත්‍යානුකූල නොවූවත් අද එයට අභියෝග කිරීමට බැහැ.

Friday 20 April 2018

දෙමළ විඥානයකට සාධක නැහැ

දෙමළ විඥානයකට සාධක නැහැ

උතුරු හා නැගෙනහිර පළාත්වල වෙසෙන දෙමළ ජනයාට තමන් ඒ පළාත්වල පාරම්පරික ව විසූ බවට ඊනියා ජාතික හෝ වෙනත් විඥානයක් තිබුණු බවට කිසිම සාධකයක් නැහැ. එසේ සාධක තියෙනවා නම් කළ යුත්තේ ඒ සාධක ඉදිරිපත් කිරීම මිස එලෙස තිබූ බවට කෑමොර ගැසීම නො වේ. එවැනි විඥානයක් ඒ පළාත්වල වාසය කරන ජනයාට එදා තියා අදත් නැහැ. මේ පළාත්වල (සුද්දන් බෙදූ පළාත් දෙකක් වීම මෙහි දී නොසලකා හැරිය හැක්කක් නො වේ) අද ජීවත්න ජනයා කොටස් හතරක්. උතුරු පළාතේ හා අද වන විට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය අවට ජීවත්වන දෙමළ ජනයා, නැගෙනහිර පළාතේ ජීවත්වන සෙසු දෙමළ ජනයා, නැගෙනහිර පළාතේ ජීවත්වන මුස්ලිම් ජනයා හා වවුනියා දිස්ත්‍රික්කයේ හා නැගෙනහිර පළාතේ ජීවත්වන සිංහල ජනයා.

Thursday 19 April 2018

සංකල්ප ගැන කෙටියෙන්


සංකල්ප ගැන කෙටියෙන්



උද්ගමනය, සාධාරණීකරණය, වියුක්තකරණය එක සමාන වගේ පෙණුනත් වෙනස් සංකල්ප. ඉංගිරිසියෙන් නම් ඒ පිළිවෙළින් ඉන්ඩක්ෂන්, ජෙනරලයිසේෂන් හා ඇබ්ස්ට්‍රැක්ෂන්. බටහිර විද්‍යාවේ දර්ශනයේ ආරම්භයේ බේකන් උද්ගමනය ගැන කතා කළා. ඔහු සිතුවේ බටහිර විද්‍යාවේ දැනුම ලබා ගන්නේ උද්ගමනයෙන් කියා. බේකන් (1561-1626) ඊනියා උසස් පවුලක කෙනෙක්. ඔහු එංගලන්තයේ අධිකරණයේ උසස් ම තනතුර දැරුවා. එහෙත් ඔහු අල්ලස් ගත්තා. සිරකරුවන්ට වධ හිංසා කිරීමට තම නිල බලය යොදා ගත්තා. අප ඒ ගැන සාමාන්‍යයෙන් කියන්නේ නැහැ.

Wednesday 18 April 2018

ගැට ගැසුණු දහතුන හා විධායකය


ගැට ගැසුණු දහතුන හා විධායකය



කලකට ඉහත අපත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට උද්ඝෝෂණය කළා. එහෙත් ඒ තත්වය දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය සමග වෙනස් වුණා. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය පළාත් සභා පනත සමග රටේ බලතුලනයේ වෙනසක් සිදු වුණා. අද මේ රට ලිහිල් සන්ධීය රාජ්‍යයක්. 13+ ගෙන ඒමට ඉන්දියාව උනන්දුවක් දක්වනවා. ඒ සන්ධීය රාජ්‍යය තවත් තහවුරු කිරීමට.

Tuesday 17 April 2018

දෙමළ ජාතිවාදය තවදුරටත්


දෙමළ ජාතිවාදය තවදුරටත්



දෙමළ ජාතිවාදය ඊනියා දෙමළ ජාතිකවාදයක් වීමට කිසිසේත් ම ඉඩක් නැහැ. දෙමළ ජාතිකවාදයක් ඇතිවීමට පළමුව දෙමළ ජාතියක් හරි ජනවර්ගයක් හරි තියෙන්න ඕන. ජාතිවාදයක් ඇතිවන්නෙ වෙනත් ජාතියකට හරි ජනවර්ගයකට හරි එරෙහි ව. ජනවර්ගය ජනවාර්ගික, සංස්කෘතික, ආගමික, මතවාදීව හෝ වෙනත් ආකාරයකින් හෝ නිර්ණය වන්න පුළුවන්. ජාතියක් වීමට ජනවර්ගයක් වීම අනිවාර්යයි. ඒත් හැම ජනවර්ගයක් ම ජාතියක් වන්නේ නැහැ. ජාතියක් වීමට ජනවර්ගයක් වීම මෙන් ම නිත්‍ය (අචල) වාසභූමියක් (රටක්) ද තිබීම අනිවාර්යයි. එහෙත් එයත් ප්‍රමාණවත් වන්නේ නැහැ. තවත් දේ අතර රාජ්‍යයක් ද තිබිය යුතුයි.

Monday 16 April 2018

පඬියන්ගේ අසංගත ඉතිහාසය


පඬියන්ගේ අසංගත ඉතිහාසය





මා ඊයේ ලිපියෙන් පෙන්වූයේ සිංහල බෞද්ධ විරෝධී පඬියන්ගේ අසංගත කතායි. ඒවාට බොරු තර්ක කියන්නත් බැහැ. ඒ කොහොමටවත් තර්ක නො වෙයි. දෙමළ ජාතිවාදය ඇති වීම පිළිබඳ සංගත නොවන කතාවක් පඬියා ගොතන්න හදනවා. පඬියන්ට නොතේරෙනවා වෙන්න පුළුවන් මා ඉතිහාසය ඉතිහාසයස සමග සංගත විය යුතුයි කියන්නේ ඇයි ද කියා. ඉතිහාසය යම් යුගයක කතාවක් ලෙස ගත්විට ඒ කතාව යුගයේ අනෙක් කතා සමග සංගත විය යුතුයි. ඒ ඉතිහාස කතාවේ අසංගත තැන් තිබෙනවා නම් ඉන් කියැවෙන්නේ කතාව පිළිගැනීමට නොහැකි බවයි.

Sunday 15 April 2018

ඊනියා දෙමළ පාරම්පරික විඥානය


ඊනියා දෙමළ පාරම්පරික විඥානය



සාමාන්‍ය දෙමළ ජනතාවට දෙමළ ජනවාර්ගික විඥානයක් විසිවැනි සියවසේ මැද භාගය වන තෙක් ම තිබුණේ නැහැ. ඔවුන් විවිධ ප්‍රදේශවල වෙන් වෙන් ව ජීවත් වුණා. ඒ ඒ ප්‍රදේශවල ජීවත් වූ අය අතර භේද තිබුණා. එයට හේතුව දෙමළ ජනයා මෙරටට ගෙන්වනු ලැබුයේ ලන්දේසි හා ඉංගිරිසි යුගවල විවිධ කාර්යයන් උදෙසා නිසා. යාපන අර්ධද්වීපයට ආනයනය කරනු ලැබූ වෙල්ලාලයන් ප්‍රධාන වශයෙන් ම අර්ධද්වීපයට සීමා වුණා. ඉංගිරිසින් පසු කාලයක නැගෙනහිර පළාතට ආනයනය කළ දෙමළ ජනයා මුස්ලිම් අයත් සමග පිට්ටු බම්බු ජනව්‍යාප්තියකට අනුව ඒ පළාතේ පදිංචි වුණා. වෙල්ලාලයන් ඔවුන්ට සැලකුවේ ඊනියා අඩු කුලයකට අයත් පිරිසක් ලෙස. ඊටත් පසුව ඉංගිරිසින් වතුකරයේ වැඩට ගෙනා දෙමළ ජනයා වතුකරයට කොටු කළා

Saturday 14 April 2018

චන්ද්‍ර මාසයේ සූර්ය සංක්‍රාන්තිය


චන්ද්‍ර මාසයේ සූර්ය සංක්‍රාන්තිය





සිංහල අවුරුද්ද ගැන කොතරම් ලිව්වත් වැඩක් නැහැ. තවමත් සිංහලයන් නොනගතේ දි කිරිබත් උයලා කනවා. කවුරු හරි කියන්න පුළුවන් නැහැ එහෙම නො වෙයි කියලා. ඒත් නොනගතය පැය දොළහයි විනාඩි හතළිස් අටක් පවතිනවා. එහි පූර්ව අර්ධයෙහි දී අප පන්සල් යනවා. අපර අර්ධයෙහි දී නැකැත් ගන්නවා. බොහෝ දෙනා තවමත් හිතන්නෙ නොනගතය කියන්නෙ නැකැත් නැති කාලය කියලයි. නැකැත් නැත්නම් නොනගතයෙ අපරාර්ධයෙහි ගණුදෙනු කිරීම අපරාධයක් නොවන්නේ ද?

Friday 13 April 2018

සංධානයට වචනයක්


සංධානයට වචනයක්



ආණ්ඩුවේ ඇමතිවරු දහසය දෙනකු අස්වෙලා. ජනාධිපති එ අස්වීම් පිළිගෙන. මෛත්‍රිපාල කණ්ඩායමේ අනෙක් අය තවමත් ආණ්ඩුවේ. ඔවුන්ට තවත් තනතුරු ලැබෙන්න ඉඩ තියෙනවා. වැදගත් ම දෙන්නා වන අමරවීර හා දුමින්ද දිසානායක තවමත් ආණ්ඩුවේ.ඔවුන් වැදගත් වන්නේ ඔවුන්ගේ චරිතයෙහි හරි පෞද්ගලිකත්වයෙහි හරි වැදගත්කමක් නිසා නො වෙයි. ඔවුන් වැදගත් වන්නේ ඔවුන් දරණ තනතුරු නිසා මිස වෙනත් කිසිම හේතුවක් නිසා නො වෙයි.

Thursday 12 April 2018

සිංහල අවුරුද්ද හා දෙමළ අනන්‍යතාව


සිංහල අවුරුද්ද හා දෙමළ අනන්‍යතාව



දෙමළ ජනයාට වෙනත් රාජ්‍යයක් ඇති කර ගැනීමට වුවමනාවක් ඇත්නම් ඒ සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා කවරේ ද? ඇතැමුන් කියන විධියට ඒ සඳහා වූ සාමූහික දේශපාලන විඥානයක් තිබිය යුතු යැයි සිතමු. අප එය පිළිගන්නා බවක් මෙයින් නොකියැවෙයි. ඒ දේශපාලන විඥානය ඇති වූයේ තමන් පාරම්පරික ව ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත්වල පදිංචි වී සිටි බැවින් යැයි සාමාන්‍ය ජනයා සිතන බැවින් ද දෙමළ නායකයන් විසින් ගෙන යන දෙමළ ජාතිවාදී උද්ඝෝෂණ හා වෙනත් ක්‍රියා මාර්ග නිසා යැයි ද සිංහල බෞද්ධ විරෝධීන් කියනවා.

Wednesday 11 April 2018

ඊනියා දෙමළ පාරම්පරික විඥානය


ඊනියා දෙමළ පාරම්පරික විඥානය



සිංහල බෞද්ධයන් ඇති කරනු ලැබුයේ ධර්මපාලතුමන් විසින් ද ඩොයිලි විසින් ද? දෙමළ ජනයා තමන් උතුරු හා නැගෙනහිර පළාත්වල පාරම්පරික ව පදිංචි වී සිටින බව සිතන නිසා අප ඒ බව පිළිගත යුතු ද? දෙමළ ජනයාට එලෙස පාරම්පරික ව පදිංචි වී සිටින බවට විඥානයක් ඇත්නම් එය පිළිගෙන සිංහල බෞද්ධයන් තමන් පාරම්පරික ව සිංහල බෞද්ධයන් බවට පිළිගන්නා විඥානයක් ඇත්නම් එය නොපිළිගත යුතු ද? අද දෙමළ ජාතිවාදය, දෙමළ බෙදුම්වාදය වෙනුවෙන් කතාකරන පඬියන් කතා කරන්නේ පොරවල් වීමට හා තමන් පුස්සන් බව වසා ගැනීමට මිසක් වෙනත් දෙයකට නො වේ.

Tuesday 10 April 2018

මේ කොයි යන්නේ

මේ කොයි යන්නේ

විශ්වාසභංගය පැරදුණේ කා නිසා ද යන්න වැදගත් ප්‍රශ්නයක්. ඉතා පැහැදිලිව බටහිර රටවල හා ඉන්දියාවේ තානාපති හා ඔත්තු සේවා ඇතැමුනට, විශේෂයෙන් ම දෙමළ හා මුස්ලිම් ජාතිවාදී පක්‍ෂවල මන්ත්‍රීවරුනට බලපෑම් කර තිබෙනවා. ඒ අතර මෛත්‍රිපාල තම කණ්ඩායමේ මන්ත්‍රීවරුන්ට දිය යුතු නායකත්වය දී නැහැ. චන්ද්‍රිකා තවමත් දුමින්ද, අමරවීර හා තවත් අය මගින් එම කණ්ඩායමේ බහුතරයක් මෙහෙයවනවා. දුමින්ද හා අමරවීර ඒ ඒ ලේකම් පදවිවලින් ඉවත් කරනවා නම් හොඳයි. එහෙත් මෛත්‍රිපාලට ඒ සඳහා ශක්තිය නැහැ. අද කළ යුතු ප්‍රධාන ම කාර්යයක් නම් පක්‍ෂ ව්‍යවස්ථාව අනුව ක්‍රියා කරමින් ඒ දෙදෙනා එකී තනතුරුවලින් ඉවත් කිරීමයි. එහෙත් එය කරන්නේ කොහොමද යන්න නම් ප්‍රශ්නයක්.

Monday 9 April 2018

බංකොළොත් ජාතික රාජ්‍ය සංකල්පය


බංකොළොත් ජාතික රාජ්‍ය සංකල්පය



ජාතික රාජ්‍යය යනු කුමක් දැයි බවහිර දේශපාලන විද්‍යාවේ පැහැදිලිව නිර්වචනය කෙරී නැහැ. ජාතික රාජ්‍යයක් යනු ජාතියක රාජ්‍යයක් ද? එසේ නම් ජාතිය යනු කුමක් ද? පළමුව ඇතිවූයේ ජාතිය ද නැත්නම් ජාතික රාජ්‍යය ද? හොබ්ස්බෝම් කියා ඇත්තේ ප්‍රංශ ජාතික රාජ්‍යය ප්‍රංශ ජාතිය බිහිවීමට පෙර ඇති වූ බවයි. 1789 ප්‍රංශ විප්ලවය සමයේ දී ප්‍රංශ රාජ්‍යයේ ප්‍රංශ භාෂාව තරමකවත් කතා කර ඇත්තේ සියයට පනහකට අඩු පිරිසක්. ජර්මනිය ඉතාලිය වැනි රාජ්‍ය නිර්මාණය වී ඇත්තේ අනෙක් ක්‍රමයට. දහනවවැනි සියවසේ විවිධ රටවල විසූ ජර්මන් කතාකරන්නන් එක් වී ජර්මනිය නිර්මාණය කරගෙන තිබෙනවා.   බටහිර දේශපාලන විද්‍යාඥයන් මේ ගැන (පළමුව ජාතික රාජ්‍යය ද නැත්නම් ජාතිය ද) තීරණයකට එළඹීමට අසමත් ව සිටිය දී මෙරට සමාජයීය විද්‍යාඥයන් යැයි කියා ගන්නා අය ජාතික රාජ්‍යය යන්නට නිශ්චිත නිර්වචනයක් නැති බව සඟවනවා. ඒ සමහරවිට ඔවුන්ගේ නොදැනුම්කම නිසා ම වෙන්නත් පුළුවන්.

Sunday 8 April 2018

විශ්වාසභංගයෙන් පසු




විශ්වාසභංගයෙන් පසු



විශ්වාසභංගයෙන් පසු රනිල් ජයගෙන ඇති බව පේන්න තියෙනවා. ඔහු තවදුරටත් එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා. එහෙත් එහි ජයග්‍රාහකයා ඔහු පමණක් නො වෙයි. සිංහල විරෝධීන්, විශේෂයෙන් ම සිංහල බෞද්ධ විරෝධීන් ජයගෙන තිබෙනවා. බටහිර බලවේග හා ඉන්දියාව සිංහල බෞද්ධ විරෝධියි. අවසාන මොහොත වන තුරුම ඔවුන් තම සටන අත්හැරියේ නැහැ. එහෙත් රනිල් බටහිරයන්ට වඩා බටහිරයකු බවත් එ ජා ප විරෝධීනට නැති විනයක් එ ජා ප සාමාජිකත්වයට ඇති බවත් අප අමතක කළ යුතු නැහැ.

Saturday 7 April 2018

ආසනික් කතාව


ආසනික් කතාව




රජරට වකුගඩු රෝගය ගැන මට දැනගන්නට ලැබුණෙ බටහිර වෛද්‍යවරයකු වූ චන්න ජයසුමනගෙනි. ඔහු එවකට චින්තන පර්ෂදය හා සම්බන්ධ වු සිටියා. මා දෙවියන් සමග සංනිවේදනය කළ ප්‍රියන්තා සේනානායක මැතිණියට චන්න යොමු කළා. චන්නට ප්‍රියන්තාගෙන් යමක් දැන ගැනීමට හැකි වේ යැයි මා සිතුවා. ප්‍රියන්තා සේනානායක තමන් නාථ දෙවියන් සමග සංනිවේදනය කරන බව කියා තිබීමත් මගේ ඇතැම් අසනීප දෙවියන් මගින් සුව කර තිබීමත් එයට හේතු වුණා.

Friday 6 April 2018

උපන් ගෙයි මෝඩයා


උපන් ගෙයි මෝඩයා



මා ඊයේ දැනගත්තා මා උපන් ගෙයි මෝඩයකු බව. මහින්දවාදියකු ඒ බව කියා තිබුණා. මහින්දවාදියකු යැයි කියන්නේ අඩුවැඩි වශයෙන් මහින්දගේ දේශපාලනය අනුමත කරන ඒ අනුව අදහස් ප්‍රකාශ කරන අයකු. එය මාක්ස්වාදියා යන්න සමග සංසන්දනය කරන්න. මහින්ද මාක්ස් මෙන් පොත් ලියා නැහැ. එහෙත් මහින්දගේ දේශපාලනයක් තියෙනවා. මහින්දට ඡන්දය දුන් පමණින් මහින්දවාදියකු වන්නේ නැහැ. එමෙන් ම එයින් කියැවෙන්නේ නැහැ මහින්දවාදීන් කියන කරන හැමැදයක් ම මහින්ද අනුමත කරනවා කියා. 

Thursday 5 April 2018

සෙංකඩගල නිළමෙලා සිංහල ජාතිය පාවා දීම

සෙංකඩගල නිළමෙලා සිංහල ජාතිය පාවා දීම

විශ්වාසභංග යෝජනාවෙන් රනිල් දිනලා. දිනන්න බැරි විශ්වාසභංගයක් ගෙනාවෙ ඇයි කියලා මා අහන්නෙ නැහැ. විශ්වාසභංගෙ ගෙනාවෙ දිනන්න. එක එක්කෙනාගෙ තක්සේරු වෙනස්. තක්සේරුවක් කියන්නෙ තක්සේරුවක් පමණයි. එය වරදින්න ඉඩ තියෙනවා. මා විශ්වාසභංගයට අකමැති වුණත් එය ගේන්න තීරණය වූ මොහොත ඉඳල ම එයට හැකි පමණින් ආධාර කළා. මට කළ හැකි විශාල ආධාරයක් නැහැ. මා කරන්නේ කාලයට ලිවීම පමණයි. මා දයාසිරි ජයසේකර, එස් බී දිසානායක, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිළ ආදීන් සමග විශ්වාසභංගය ගැනත් රනිල් ඉවත් කරන වෙනත් ක්‍රම ගැනත් කතාකරන්න උත්සාහ ගත්තත් ඔවුන් මා සමග කතා කිරීමට උනන්දුවක් දැක්වූයේ නැහැ. මට ජන බලයක්වත් සංවිධාන ශක්තියක්වත් බුද්ධියක්වත් උගත්කමක්වත් නැති බව ඔවුනුත් ආචාර්ය මහාචාර්යවරුනුත් දන්නවා.

Tuesday 3 April 2018

වකුගඩු සටන 3


වකුගඩු සටන 3



මා මේ ලිපි පෙළ ලියන්නේ කිසිවකු සමග ඇති වෛරයක් නිසාවත් මට තැනක් ගැනීමට අවශ්‍ය නිසාවත් නොවෙයි. මට තැනක් නැති බව මා දන්නවා. තැනක් ලැබීමට නම් එක්කෝ පිට කසා ගන්නා ව්‍යාපාරයකට එකතු වෙන්න ඕන. නැත්නම් ජනමාධ්‍යයෙ පිහිට ලබා ගන්න ඕන. මට කලක් දිවයින, දි අයිලන්ඩ් හා විදුසර   පුවත්පත්වල ලිපි පළ කරගන්න පුළුවන් වුණා. විවිධ හේතු නිසා දැන් බැහැ. මේ ලිපි කිසිවකුටවත් තර්ජනයක් නොවන්නේ ඒ ලිපි කියවන්නන් අඩු නිසා.

Monday 2 April 2018

වකුගඩු සටන 2


වකුගඩු සටන 2



වකුගඩු සටන ගැන තවදුරටත් කීමට පෙර කිවයුතු කරුණු දෙකක් තියෙනවා. මුහුණු පොතේ දර්ශන කස්තුරිරත්න හා තවත් අය  විසින් පවත්වගෙන යනු ලබන ජාතික චින්තනය නම් පිටුවක්, බිත්තියක්, කණ්ඩායමක් වෙනත් යමක් (මේවාට කියන නම් ගැන මට අවබෝධයක් නැහැ. ඒ අය කියන ආකාරයට දේශපාලනය ගැන අවබෝධයක් නැති මට මේ නම් ගැන අවබෝධයක් නැත්නම් එය පුදුමයට කරුණක් විය නොහැකියි) පවත්වා ගෙන යනවා. මා එය කියවන්නේ නැහැ. කෙසේ වෙතත් මා ජාතික චින්තකයකු නො වෙයි. ඔවුන් සමහර විට අමරසේකරගේ ජාතික චින්තනයට අනුග්‍රහ දක්වනවා විය හැකියි. ඔවුන්  ඉතාම ඉහළ ගණයේ බුද්ධිමතුන් බව මට වැටහෙනවා. ඒ ඔවුන් ඉඳහිට ශිරන්ත චාමරට හා තමළු පියදිගමට දක්වන ප්‍රතිචාර මගින්. මා ඔවුන්ගේ ජාතික චින්තනය සමග කිසිම සම්බන්ධකමක් නැති බවත් ඔවුන්ගේ ඥානවිභාගය හා මගේ ඥානවිභාගය අතර ගණු දෙනුවක් නැති බවත් ප්‍රකාශ කරන්න ඕන. ඔවුන් මගේ ඥානවිභාගයක් වෙනුවෙන් පෙනී හිටින බවක් කියනවා නම් මා එය විශ්වාස කරන්නේ නැහැ.

Sunday 1 April 2018

වකුගඩු සටන


වකුගඩු සටන



වකුගඩු රෝගය සම්බන්ධයෙන් මා කර ඇති දෙයක් නැති බව අද ජනමාධ්‍යයේ කෙරෙන කතාබහෙන් පැහැදිලි වෙනවා. ග්ලයිෆොසේට් තහනම ගැන බොහෝ දෙනා කතා කරනවා. විශ්වාසභංගය නොවන්නට ජනමාධ්‍ය ග්ලයිෆොසේට් සතියේ ජනප්‍රිය ම මාතෘකාව බවට පත් කරන්න තිබුණා. ග්ලයිෆොසේට් වකුගඩු රෝගයට හේතුව ද කියා මා දන්නේ නැහැ. මා වෛද්‍යවරයකුවත් රසායන විද්‍යාඥයකුවත් නො වෙයි. මා කිසිම විද්‍යාඥයකු නො වෙයි. මා අවුරුදු පනහකට පමණ පෙර (1968 දෙසැම්බර අග) විද්‍යාඥයකු (බටහිර ප්‍රවාදාත්මක භෞතික විද්‍යාඥයකු, විශ්වවේදියකු) වීමට සිතා එංගලන්තයට ගොස් එසේ වීමට නොහැකි බව දැන ආපසු පැමිණි අයෙක්.