Main Logo

Saturday 3 December 2011

ෆොන්සේකාට කළු කොඩියක් වූ සුදු කොඩිය

සුදු කොඩි නඩුවේ තීන්දුව දැන් ප්‍රකාශ වී ඇති නිසා ඒ පිළිබඳ යමක් සඳහන් කිරීමට නීතියෙන් බාධාවක් නැතැයි සිතමි. උසාවිය හමුවේ විභාග කෙරෙමින් පවතින නඩුවක් සම්බන්ධයෙන් කතා කිරීම බටහිර රෝම ලන්දේසි නීතියෙහි ඇවැතක් වෙයි. කෙසේ වෙතත් සරත් ෆොන්සේකා සුදු කොඩි කතාව කියා ඇති බව මහාධිකරණය විසින් පිළිගනු ලැබ ඇත. එහි දී අපට කරුණු කිහිපයක් වැදගත් වෙයි. පළමුවෙන් ම සඳහන් කළ යුත්තේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ඇතැම් නීතිඥයන් හැසිරී ඇති ආකාරය ය. ඔවුන් උසාවි භූමියේ ම ආවේගකාරී ලෙස හැසිරෙමින් තීන්දුවට විරුද්ධතාව පළ කර ඇත. ඒ කෙතරම් දුරදිග ගොස් ඇත් ද කිවහොත් නඩුව විභාග කළ විනිසුරු මඬුල්ලේ සභාපතිනියට ඒ නීතිඥයන්ගේ ආවේගකාරී හැසිරීම ගැන තම කණස්සල්ල පළකිරීමට සිදු වී ඇත. බටහිර පද්ධතීන්හි ඇති ව්‍යාජ හැසිරීම් රටා ගැන මම හොඳාකාරව ම දනිමි. විශ්වවිද්‍යාලවලට සම්බන්ධව අවුරුදු හතළිස්අටක් ගතකර ඇති මම පුහු උගතුන්ගේ සෝබන රඟපෑම් හොඳාකාරව ම දනිමි. සරසවිවල ගෞරවය රැකගැනීම යන ව්‍යාජ සටන් පාඨයට මුවා වී ඇතැම්හු තම ආධිපත්‍යය පවත්වා ගැනීමට පමණක් ක්‍රියා කරති. සරසවියක හතර මායිමට වද්දා නොගතයුතු මොවුන්ට රැකගැනීමට හැකි ගෞරවය කුමක් ද? මෙරට බටහිර උගතුන් අතර ඉතා බහුල ව ඇත්තේ අනුකාරක කුහකයන් බව ද ඔවුන්ගෙන් රටට සත පහක වැඩක් නැති බව ද මම දනිමි. නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් ඔවුන්ට අධ්‍යාපනයක් ලබාදීමට ජනතාවගේ මුදල් වියදම් කිරීම බටහිර අර්ථයෙන්වත් ආයෝජනයක් නොවන බව ද දනිමි. එදා මෙන් ශරීර ලක්‍ෂණ බලා දුර්ජනයන් ඉවත්කර අනෙක් අයට පමණක් අධ්‍යාපනය ලබාදීම බටහිර ක්‍රමයට එකඟ නොවන බැවින් මූසිලයන් වූ බොහෝ නුසුදුස්සන් අද සමාජයේ වැදගත් යැයි සැළකෙන පදවි දරණ බව ද රහසක් නො වේ. කිසිසේසත් ම විශේෂිත පිරිසක් නොවන සරසවි ඇදුරන්ගෙන් එකකු විවෘත විශ්වවිද්‍යාලයේ සිට ආචාර්ය උපාධියේ මහඟු බව උඩ දමමින්, ජනාධිපතිතුමා ඉදිරිපත්කළ අයවැයට විරුද්ධව තම මඩිය තරකර ගැනීම සඳහා තමන් අතර බොහෝ මූසිලයන් වූ ද ගුත්තිලයන් නොවූ ද ඇදුරන් තවත් වර්ජනයකට කැඳවීමට උත්සාහ දරනු මම රූපවාහිනියේ දුටුවෙමි. උසස් පෙළ පරීක්‍ෂණයේ දී එක් විෂයයකින් (මා සමත් විය යුතු විෂයයක් ලෙස නොසැලකූ රසායන විද්‍යාවෙන්) අසමත් වූ මට ද ආචාර්ය උපාධියක් ඇත. ඒ උපාධියේ තරම මම දනිමි. සාමාන්‍ය බුද්ධියක් ඇති උසස් පෙළ පරීක්‍ෂණයේ දී සියළු විෂයයන්ගෙන් සමත්වීමට හැකි ඕනෑම අයකුට උපාධිය පංති සහිත ව හෝ රහිත ව හෝ සමත්වීමෙන් පසු හෝ උපාධිය දෙතුන් වතාවක් අසමත්වීමෙන් පසු සමත්වීමෙන් හෝ නිරවුල් ව සිතීමේ හැකියාවක් නැතිවුවත් අවුරුදු කිහිපයක් මහන්සි වී ක්‍රමානුකූලව වැඩකිරීමෙන් උපදේශකවරයා අමනාපකර නොගතහොත් ආචාර්ය උපාධියක් ලබාගත හැකි ය. රජය ඉහත සඳහන් ඇදුරා යෝජනා කරන ක්‍රියා මාර්ගවලට එරෙහිව තදින් ක්‍රියා කළ යුතු අතර සරසවිවල විශේෂිත සේවයක් කරන අනධ්‍යයන සේවකයන්ගේ දුක්ගැනවිලි සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු ය. ඒ කෙසේ වුවත් මහාධිකරණයෙන් දුන් නඩු තීන්දුවකට විරුද්ධව එයට ඉහළ උසාවියකට අභියාචනයක් ඉදිරිපත් කිරීමේ අයිතිය තිබිය දී ඇතැම් නීතිඥයන් නීති ප්‍රකාර නොවන ආකාරයකින් නඩු තින්දුවට අභියෝග කිරීම පිළිබඳ අපේ විරුද්ධතාව ප්‍රකාශ කළ යුතු ය. හුණුවටයේ කතාවේ අසැඩක් නීතිය රැකීමට නීති කැඩුවේ ය. එහෙත් මහාධිකරණයේ දී නීතියට අභියෝග කළාහු අසැඩක්ලා නො වෙති.

මා සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගත යුතු යැයි යෝජනා කළේ ජනාධිපතිවරණය පිළිබඳ වූ නිලවරණ ව්‍යාපාරයේ දී ම ය. කුරුණෑගල පැවැත්වූ රැස්වීමක දී මම ඒ බව ප්‍රකාශ කළෙමි. ඒ පුවතට කිසිම ප්‍රසිද්ධියක් නොලැබුණේ දැන් වසර ගණනාවක සිට ජනමාධ්‍යවල ප්‍රවෘත්ති කතෘවරුන් තම අවධානයෙන් මා බැහැර කර ඇති බැවිනි. විශේෂයෙන්ම රජයේ ජනමාධ්‍යවල එසේ බැහැර කෙරෙයි. මා සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගත යුතු යැයි යෝජනා කළේ ඔහු ඒ පිළිබඳ ව රත්නපුරයේ දී හා අම්බලන්ගොඩ දී කළ කතා ජනමාධ්‍යය ඔස්සේ දැනගැනීමෙන් පසුව ය. අවාසනාවකට නඩු විභාගයේ දී සරත් ෆොන්සේකා විසින් කරන ලද ඒ කථා එතරම් අවධානයකට ලක් නො කෙරිණි. ඒ වෙනුවට සන්ඩේ ලීඩර් පුවත්පතේ කතුවරිය වූ ෆ්‍රෙඩරිකා ජෑන්ස් මහත්මියගේ වාර්තාවක් ගැන උසාවියේ විශේෂ අවධානයට ලක් කෙරිණි. නීතිය පිළිබඳ විශේෂඥයකු නොවූ මට ඒ එසේ වූයේ කිනම් හේතුවක් නිසා දැයි කීව නො හැකි ය. සන්ඩේ ලීඩර් නම් පත්‍රය නොකියවන මා ඒ දැනගත්තේ ප්‍රධාන වශයෙන් ම රූපවාහිනී මාධ්‍යයෙනි. අදාළ රූපවාහිනී වීඩියෝ පට සංරක්‍ෂණය වී නැද්දැයි නො දනිමි.

කෙසේ වෙතත් සරත් ෆොන්සේකා කී කතාව භයානක වුවත් සරල ය. ඔහු මේ කතාව කීමට පටන් ගත්තේ ඇමරිකානු එක්සත් ජනපදයේ කරන ලද චාරිකාවකින් පසුව ය. ඒ කතාවට අනුව සුදු කොඩි රැගෙන යටත්වීම සඳහා පැමිණෙන ත්‍රස්තවාදීන් කණ්ඩායමකට වෙඩි තබන ලෙස ආරක්‍ෂක ලේකම්වරයා මේජර් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතාට පැවසූ බව එක්තරා හඳුනා නොගත් ජනමාධ්‍යවේදියකු සරත් ෆොන්සේකාට කියා ඇත. මේ කතාව ඉතා භයානක එකක් බව එය ඇසූ විගස මට හැඟී ගියේ ය. බටහිරයන් ජනාධිපති රාජපක්‍ෂ මහතාට හා ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව ඊනියා ජාත්‍යන්තර අධිකරණයේ “යුද්ධ අපරාධ” පිළිබඳ ව නඩු පැවරීමේ සූදානමක් තිබූ බව අප ඒ වන විට ද ප්‍රකාශ කර තිබිණි. ඇමරිකාව එක් ප්‍රාන්ත අධිකරණයක ගෝඨාභය රාජපක්‍ෂ මහතාටත් සරත් ෆොන්සේකා මහතාටත් නඩුවක් පවරා තිබිණි. එහෙත් ඒ සරත් මේ සරත් බවට පත්වීමෙන් පසුව (අර මොකක්දෝ කමිසය ගැලවීමෙන් පසුව නොව හෘදය සාක්‍ෂිය අමතක කිරීමෙන් පසු –- හෘදය සාක්‍ෂියක් නැත්තකුට ද අර කමිසය මේ කමිසය ඇඳගත් පමණින් මහත්වරුන් විය හැකි යැයි උගන්වන ජඩ බටහිර යුදෙව් ක්‍රිස්තියානි පාරිභෝගික සමාජයක ජීවත්වීමට අපට සිදු වී ඇත. කෙසේ වෙතත් අද මෙරට විශ්වවිද්‍යාලවල ද විලාසිතා සන්දර්ශන ඔස්සේ මේ ජඩ කතා ද ශිෂ්‍යයන්ගේ මනස්වලට විදීම ඛෙදවාචකයකි. එක් අතකට බටහිර විශ්වවිද්‍යාල ආකෘතිය අනුකරණය කරන මෙරට අපේ නොවන විශ්වවිද්‍යාලවලින් වෙනත් යමක් බලාපොරොත්තු විය හැකි ද නො වේ), එනම් සරත් ෆොන්සේකා මහතා සරත් ෆොන්සේකා බවට පත්වීමෙන් පසුව ඇමරිකාවේ ඒ නඩු විභාගය පිළිබඳ ව ආරංචියක් නැති වූ අතර ඊනියා යුද්ධාපරාධ පිළිබඳ චෝදනා රාජපක්‍ෂ සහෝදරවරුන්ට විරුද්ධ ව දිගින් දිගට ම එල්ල විණි. එකලත් මෙකලත් මගේ අනුමානය වනූයේ බටහිරයන් සරත් ෆොන්සේකා ජනාධිපතිතුමාට හා විශේෂයෙන් ම රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් තුමාට එරෙහිව ඊනියා ජාත්‍යන්තර අධිකරණයක සා’ක්‍ෂිකරුවකු ලෙස යොදාගැනීමේ උත්සාහයක් ඇති බව ය. මා සරත් ෆොන්සේකා අත් අඩංගුවට ගත යුතු යැයි ජනාධිපතිවරණ නිලවරණ ව්‍යාපාරයේ දී ම ප්‍රකාශ කළේ සරත් ෆොන්සේකා කිරීමට බලාපොරොත්තු වූ පාවාදීම පිළිබඳ අවබෝධයක් තිබූ බැවිනි. කෙසේ වෙතත් ජනාධිපතිවරණය අවසන් වන තුරු කිසිවක් නොකළ යුතු යැයි ආණ්ඩුව කල්පනා කරන්නට ඇත.

සරත් ෆොන්සේකා නිදහස් කළ යුතු යැයි කෑ ගසන පල්ලි නිකායේ භික්‍ෂූන් වහන්සේ ඇතුළු බොහෝ දෙනා පිටුපස යම් බලවේගයක් ක්‍රියාත්මක වන බව පැහැදිලි ය. ඔවුන් දැනුවත් ව හෝ නොදැනුවත් ව හෝ උත්සාහ කරන්නේ සරත් ෆොන්සේකා රාජපක්‍ෂලාට විරුද්ධව ඊනියා ජාත්‍යන්තර අධිකරණයෙහි සාක්‍ෂිකරුවකු බවට පත්කිරීම ය. එසේ කිරීමෙන් අවසාන වශයෙන් වාසිවන්නේ් බටහිරයන් විසින් මෙහෙයවනු ලබන දෙමළ ජාතිවාදයට ය. සරත් ෆොන්සේකාට දඬුවම් දී ඇත්තේ අධිකරණයෙන් මිස කැබිනට් මණ්ඩලයෙන් නො වේ. ඒ දඬුවම හා ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය අතර බොරු සම්බන්ධයක් සෙවිය හැක්කේ කසිකබල් පඬියන්ට ය. එ ජා පක්‍ෂයේ හා ජ වි පෙරමුණේ බංකොළාත් නායකයෝ සරත් ෆොන්සේකා අත් අඩංගුවට ගනු ලැබුයේ මහින්ද රාජපක්‍ෂ මහතාට විරුද්ධව ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ නිසාය යන තුට්ටු දෙකේ හේතුව ඉදිරිපත් කරති. එය බටහිරයන්ගේ හිතට අල්ලන හේතුවකි. බටහිරයන්ගේ කසිකබල් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව මහින්ද රාජපක්‍ෂ මහතා ක්‍රියාකරන්නේය යන්න තහවුරු කිරීමට එවැනි කතා ඉවහල් වෙයි. එහෙත් සරත් ෆොන්සේකා සුදු කොඩි සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශය කෙතරම් දේශද්‍රෝහී වූවක් ද යන්න අප වටහාගත යුතු ය.

යම් අයුරකින් සරත් ෆොන්සේකා කියන්නේ සත්‍යයක් යැයි සිතමු. සුදු කොඩි රැගෙන එන්නන්ට වෙඩි තබන ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතා ෂවේන්ද්‍ර සිල්වා මහතාට උපදෙස් දුන්නේ යැයි සිතමු. එය සිදු වූයේ සරත් ෆොන්සේකා නොදැනුවත් ව යැයි ද සිතමු. ඔහුට නොදැන්වීමෙන්් ඔහුගේ ප්‍රෞඪත්වයට පහරක්්් වී යැයි ද සිතමු. එසේ වුවත් ඔහු ඒ වන විට හමුදාවේ අණ දෙන්නා විය. හමුදාවේ සිදු වූ සියළු දේට අවසාන වශයෙන් වගකිවයුත්තේ ඔහු ය. ඔහු ඒ සිද්ධියට විරෝධය පා ඉල්ලා අස්නොවුණා පමණක් නොව පසුව ත්‍රිවිධ හමුදාවේ ම මාණ්ඩලික නිලධාරි පදවියට ද පත්විය. එබැවින් සුදු කොඩි සිද්ධිය සත්‍යයක් වුවත් ඒ වකවානුවේ හිටපු හමුදාපති ලෙස එවැනි ප්‍රකාශයක් කිරීම හමුදාව පාවාදීමකි. එයට ඔහුට දඬුවම් නොකළ යුතු යැයි යමකු කියන්නේ කිනම් පදනමකින් ද? අනෙක් අතට එවැනි සිද්ධියක් සිදු නොවී නම් ඔහු එය හිතා මතා හෝ වෙනත් අයකුගේ බහට හෝ කියන කතාවකි. එහි අරමුණ කවරේ ද? රාජපක්‍ෂවරුන් බටහිරයන්ට පාවාදීම ද? එමගින් රට ම පාවාදීම ද? දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමේ දී සරත් ෆොන්සේකා වැදගත් කාර්යභාරයක් ඉටුකළ බව සැබෑ ය. එහෙත් ඉන්පසු ඔහු කරන්නේ දෙමළ ජාතිවාදයට රට පාවාදීම ය. ඔහුට නිදහසේ හැසිරීමට ඉඩදීම භයානක කාර්යයකි. අප බටහිරයන්ගෙ අවශ්‍යතාවට කිසි විටෙකත් යටවිය යුතු නො වේ.