Main Logo

Showing posts with label ආසනික්. Show all posts
Showing posts with label ආසනික්. Show all posts

Wednesday, 18 December 2013

බටහිර විද්‍යාවේ උපන්ගෙයි දෝෂය


ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත මහාචාර්ය එන් ඒ ද එස් අමරතුංග මහතාට බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව දැනගැනීමට හදිසියක් ඇත. එය පට්ටපල් බොරුවක් නම් ඒ බව, ඔප්පුකරන මෙන් ඒ මහතා ඉල්ලා සිටියි. එහෙත් මා ඒ බව දැනටමත් පෙන්වා දී ඇත. සමහරවිට ඒ මහතා ඔප්පුකිරීම යන්නෙන් වෙනත් දෙයක් අදහස් කරන්නේ දැයි නො දන්නෙමි. අප ඔප්පු (සාධනය) කිරීම හොඳින් ම  සිදුවන්නේ යැයි සිතන බටහිර ගණිතයේ කිසිවක් ඔප්පු කෙරෙන්නේ නැත. එහි දී කෙරෙන්නේ යම් ප්‍රස්තුත කිහිපයක් සත්‍ය බව උපකල්පනය කරමින් ඈරිස්ටෝටලීය ද්විකෝටික න්‍යායට එකඟව තර්ක කර තවත් ප්‍රස්තුත ලබාගැනීම පමණ ය. වියුක්ත ප්‍රකාශයක් වූ එය එතරම් වියුක්ත නොවූ දන්ත වෙද්‍ය විද්‍යා මහාචාර්ය අමරතුංග මහතාට වැටහෙන්නේ දැයි නො දනිමි.

බටහිර විද්‍යාව පට්ටපල් බොරු බව ඔප්පු කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක් දැයි අමරතුංග මහතා කියන්නේ නම් මැනවි. ඒ කෙසේ වෙතත් බටහිර විද්‍යාව පට්ටපල් බොරු බව මා කියන්නේ පළමුවෙන් ම එවැනි දැනුම් පද්ධතියක් ඇති බව පිලිගනිමිනි. එහෙත් අමරතුංග මහතා බටහිර විද්‍යාව චීනයේ හෝ ඉන්දියාවේ (භාරතයේ යැයි කියමු) හෝ වෙනත් රටක හෝ තිබූ විද්‍යාවකින් වෙනස් වන්නේ යැයි නො සිතයි. ඔහුට අනුව බටහිර විද්‍යාවේ සිදු වී ඇත්තේ එතෙක් තිබූ විද්‍යාවන්ගේ වර්ධනයක් පමණකි. ඒ මහතාට අනුව ඒ ඒ රටවල ද විවිධ විද්‍යා තිබෙන්නට නො හැකි ය. ඒ ඒ රටවල තිබුණේ ද එකම විද්‍යාවක් ද? එසේ නම්, උදාහරණයක් ලෙස ගතහොත් චීනයේ තිබූ විද්‍යාව භාරතයේ තිබූ විද්‍යාවට සමාන ද? එකක් අනෙකෙහි වර්ධනයක් ද?  වඩා වර්ධනය වී තිබුණේ චීන විද්‍යාව ද නැත්නම් භාරතීය විද්‍යාව ද? 

මේ පිළිබඳ තවදුරටත් කතා කිරීමට පෙර ආසනික් හා මී උණ ගැන ද වචනයක් කිවයුත්තේ අමරතුංග මහතා ඒ ගැන ද කතාකර ඇති බැවිනි. අප විසින් කෘෂිරසායනික වකුගඩු රෝගය (කෘවරෝ) නමින් හැඳින්වෙන රෝගයට හේතුව කුමක් දැයි බටහිර වෛද්‍ය විද්‍යාව හෝ බටහිර විද්‍යාව හෝ නො දනියි. එයට හේතුව ආසනික් යැයි අපි නිර්භයව කියමු. එහෙත් එය එකම හේතුච නො වේ. එයට තවත් කරුණු දෙකක් ද හේතු වෙයි. ඒ කිවුල් ජලය හා ආසනික් රඳවා ගත හැකි පස ය. රජරට හා වෙනත් ප්‍රදේශවල කෘවරෝ වැළඳෙන්නේ ඒ හේතු තුන ම එහි දැකිය හැකි බැවිනි. ඒ හේතු තුනෙන් එකක් වුව ද නැතිවුවහොත් රෝගය වැළඳීමට ඇති සම්භාවිතාව පහළ මට්ටමක පවතියි. කෙසේ වෙතත් රෝගය වැළඳෙන්නේ කිවුල් ජලය හා මුසු වූ ආසනික් වකුගඩුවලට යෑමෙනි. එහි දී කැඩ්මියම් තිබීම අනිවාර්ය නො වේ. එහෙත් කැඩ්මියම් උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කරයි. 

මේ කරුණු මුල් ම අනාවරණය කරනු ලැබුයේ කැලණි විශ්වවිද්‍යාලයීය කණ්ඩායම විසිනි. අනෙක් අය ඒ පිළිගත්තේ ද නැත් ද යන්න අපට පෞද්ගලික ව ප්‍රශ්නයක් නො වේ. බටහිර වෛද්‍ය විද්‍යාඥයන් තමන්ගේ ආකෘතියෙහි හිඳ හේතු සොයාගැනීමට උත්සාහ දරන බව රහසක් නො වේ. ඔවුන්ගේ ආකෘතියෙහි රෝගයකට හේතුව කුමක් ද යන්න ප්‍රකාශ කිරීමට ඊනියා පර්යේෂණ ගණනාවක් කළ යුතුව ඇත. මෙය වාස්තවික යැයි කියැවෙන එහෙත් මනෝමය වූවක් වෙයි. එයට දේශපාලන හා පෞද්ගලික (ආර්ථික) හේතු ද බලපායි. ආසනික් හා වෙනත් බැර ලෝහ අද පසට හා එමගින් ජලයට එකතු වන්නේ කෘෂිරසායන යොදා ගැනීම හේතුවෙනි. 

කෘෂිරසායන මෙරටට ගෙන්වන්නන් ද ඒ නිෂ්පාදනය කරන්නන් ද කෘවරෝ ආසනික් නිසා ඇතිවන්නේ යැයි ප්‍රකාශ කිරීම වැළැක්වීමට හැකි සෑම උත්සාහයක් ම ගනු ඇත. බටහිර වෛද්‍ය විද්‍යාවෙහි රෝගයට හේතු කාරක කවරේදැයි තීරණය කෙරෙන්නේ ඊනියා නිර්ණායක රාශියක් මත සම්භාවිතා පදනමකිනි. එබැවින් දේශපාලන, ආර්ථික මෙන් ම සංස්කෘතික හේතු මත ද රෝග හේතු කාරක තීරණය වෙයි. ආසනික් රෝගයට හේතුව ලෙස පිළිගැණුනහොත් ඉහත කී අයට ප්‍රශ්නයක් වන බැවින් ආසනික් හේතුව ලෙස නොපිළිගැනීමට ඊනියා අදාළ නිර්ණායකයක් හෝ කිහිපයක් හෝ යොදාගැනීම ඉතා පහසු කටයුත්තකි. 

මෙහි තවත් පැත්තක් ද වෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ වෙනත් බටහිර වෛද්‍ය සංවිධානයක් හෝ පුද්ගලයකු හෝ මෙම රෝගයට හේතුවක් ලෙස ජලය ඉදිරිපත් කර නැත. ලෝක සෞඛ්‍ය සංවිධානය ජලය රෝගයට හේතුවක් නොවන බවට ද මතයක් පළකර ඇතත් අද වන විට ඒ බව පිලිගැනීමේ මාවතකට සේන්දු වී ඇත. රෝගයට එක් හේතුවක් ලෙස කිවුල් ජලය ගෙනහැර දැක්වූයේ කැලණිය කන්ඩායම පමණකි. අප කණ්ඩායමේ මතය පමණක් පිළිගෙන අද ආණ්ඩුව විශාල ව්‍යාපෘතියකට අත ගසා ඇත. ජලයෙන් කිවුලත් වෙනත් ද්‍රව්‍යත් ඉවත්කරන පෙරණ සවිකිරීමට ආණ්ඩුව විශාල මුදලක් වෙන්කර ඇත. ඒ සඳහා ඒ පෙරණ නිෂ්පදනය කරන්නන් ද ගෙන්වන්නන් ද දැඩි උනන්දුවක් දක්වන බව රහසක් නො වේ. 

කෘවරෝ වැළඳීමට හේතු ලෙස අප කණ්ඩායම ප්‍රකාශ කළ කරුණු දෙකකින් ආසනික් හේතුවක් ලෙස නොපිළිගැනීමටත් කිවුල හේතුවක් ලෙස පිළිගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය යොමුවීමටත් ඇත්තේ දේශපාලන හා ආර්ථික හේතු ය. ඇතැම් විට එකම සමාගමක් කෘෂිරසායන ද ජලපෙරණ ද ආනයනය කරයි. ඔවුන් රෝගයට හේතුවක් ලෙස කිවුල පිළිගනිමින් කෘෂිරසායන (ආසනික්) හේතුවක් ලෙස නොපිළිගැනීමට බටහිර වෛද්‍ය විද්‍යාව යොදාගනු අපට දැකිය හැකි ය. රෝගයකට හේතුව නිර්ණය කිරීමේ දී අනුගමනය කළ යුතු නිර්ණායක රාශියක් අඩංගු ක්‍රමවේදය මගින් බටහිර වෛද්‍ය විද්‍යාව ඔස්සේ තම අවශ්‍යතා ඉටුකරගැනීමට ව්‍යාපාරිකයන්ට අවස්ථාව උදා වී ඇත. 

බටහිර විද්‍යාව, බටහිර වෛද්‍ය විද්‍යාව, බටහිර දන්ත වෛද්‍ය විද්‍යාව, බටහිර (ධනේෂ්වර) ආර්ථිකය ආදිය එක වල්ලේ පොල් ය. ඒ සියල්ලට පදනම් වන්නේ එකම චින්තනයකි. එ බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය ය. (මෙය අමරතුංග මහතා අගය කරන එහෙත් ගුණදාස අමරසේකර මහතා බටහිර කතුවරයකුගෙන් ලබාගත්තාවූ අදහසක් පමණක් වන විසිරුණු ජාතික චින්තනයෙන් වෙනස් වෙයි.) රජයේ (බටහිර) වෛද්‍ය නිලධාරි සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පාදෙණිය මහතා තම ණැන පමනින් කියන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවේ ණැන ඇතත් ගුණ නොමැති බව ය. ඔහු ද පදනම් වන්නේ ගුණ ණැන වෙන් කරන බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි ය. එහෙත් ඒ මහතා නොදන්නා කරුණක් නම් ගුණ ණැන වෙන්කළ නොහැකි බවත් පට්ටපල් බොරු වූ බටහිර වෛද්‍ය විද්‍යාවේ ගුණවත් ණැනවත් නැති බව ය. 

මා අනෙක් අය නොපිළිගන්නා මත ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේ අමරතුංග මහතා අඟවන පරිදි ලාබ ජනප්‍රියතාවක් සඳහා නොව ඉහත සඳහන් කරුණු මත පදනම් වෙමිනි. එහෙත් ඒ මහතා තබා ඒ මහතාගේ බුද්ධිමය වීරයා වූ ගුණදාස අමරසේකර මහතා ඒ ගැන කතා කිරීමට බොහෝ කලකට පෙර දෙමළ ත්‍රස්තවාදී කොටි සංවිධානය හමුදා මෙහෙයුම් මගින් පරාජය කළ යුතු යැයි ද කළ හැකි යැයි ද මා කියා සිටියේ අන් අය එසේ කිරීමට නොහැකි බව එකහෙළා කියන විට ය. අන් අය නොපිලිගන්නා මතයක් මා එදා ද ප්‍රකාශ කළේ ලාබ ජනප්‍රියතාවක් සඳහා යැයි අමරතුංග මහතා පවසන්නේ ද? 

මී උණට ද හේතුව කෘෂිරසායන යැයි අපි කීවෙමු. එසේ කීමෙන් අදහස් කළේ කෘෂිරසායනික ද්‍රව්‍ය මගින් මී උණ බෝවෙන බව නො වේ. මී මුත්‍රා කෘෂිරසායන සමග ක්‍රියා කිරීමේ ප්‍රතිඵලය මී උණට හේතු කාරක වෙයි. මී උණ රෝගය කෘෂිරසායන යොදාගැනීමට පෙර නො වී ය. එබැවින් මා කිහිප වතාවක් ම අසා ඇති ප්‍රශ්නයක් නම් එකල මීයන් මුත්‍රා නොකළේ ද යන්න ය.  අමරතුංග මහතා අද කියන්නේ තමන් ඒ ප්‍රශ්නය මගෙන් ඇසූ බව ය. එහෙත් ඒ පිළිබඳ මතකයක් මට නො මැත. 

කෙසේ වෙතත් අමරතුංග මහතා ඒ ප්‍රශ්නය අසා ඇත්නම් හෝ අද අසන්නේ නම් හෝ ඒ ගැන මම සතුටු වෙමි. එයට හේතුව ඒ ප්‍රශ්නයෙන් මගේ ස්ථාවරය තහවුරු වීම ය. කෘෂිරසායන භාවිතයට පෙර මී උණ වැළඳී නැත්නම් හා මී උණ වැළඳෙන්නේ මී මුත්‍රාවල ඇති යම් රසායනික සංඝටයක් නිසා නම් එයින් ගම්‍යවන්නේ, මී උණ වැළඳීමට පෙර මියන් මුත්‍රා කර නැති බව ය. කෙසේ වෙතත් තම ප්‍රශ්නය තම ස්ථාවරයට ප්‍රතිවිරුද්ධ තැනකට ගෙන යන බව අමරතුංග මහතාට වැටහෙන්නේ ද? 

දැන් අපි නැවතත් බටහිර විද්‍යාව පිළිබඳ ප්‍රශ්නයට යමු. අමරතුංග මහතාට අනුව බටහිර විද්‍යාව යනු අනෙක් රටවල තිබූ විද්‍යාවන්ගේ වර්ධනයක් පමණ ය. ඒ මහතාට චින්තනය යන සංකල්පය දිරවා ගැනීමට අපහසු බව ඉතා පැහැදිලි ය. බටහිර විද්‍යාවේ දාර්ශනිකයන් හා බටහිර විද්‍යාඥයන් බටහිර විද්‍යාවට ආවේණික වූ ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක් ගැන කතාකරන්නේ ඇයි? එයට හේතුව පොපර් ද ඇතුළු බොහෝ බටහිර විද්‍යාවේ දාර්ශනිකයන් බටහිර විද්‍යාව අනෙක් දැනුම් පද්ධතීන්ට වෙනස් බව සැලකීමත් ඔවුන් බොහෝ දෙනකු බටහිර විද්‍යාව එක්කෝ සත්‍යය ලෙස  නැත්නම් සත්‍යයට ළඟාවන්නක් ලෙසත් අනෙක් දැනුම් පද්ධතීන් මිථ්‍යාවන් ලෙස සැලකීමත් ය. මෙය යුදෙවු ක්‍රිස්තියානි ආධිපත්‍යයෙහි ප්‍රතිඵලයකි. 

එපමණක් නො වේ. අමරතුංග මහතා ද බටහිර විද්‍යාවට ආවේණික වූ ක්‍රමයක් ඇති බව පිළිගනියි. ඔහු කියන්නේ මා බටහිර විද්‍යාව පට්ටපල් බොරු බව ඔප්පුකිරීමේ දී බටහිර විද්‍යාව උපයෝගී කරගන්නා ක්‍රමවේදය හෝ ඉන් කොටසක් හෝ යොදාගත නොයුතු බව ය. ඒ බව දෙසැම්බර් 11 වැනි දා පළ වූ ඒ මහතාගේ ලිපියෙහි අවසන් ඡෙදයෙහි සඳහන් වෙයි. මුල් ලිපියෙහි ද වෙනත් වචනවලින් තරමක් පටලැලි සහගත ව ඒ අදහස පළවිය. 

බටහිර විද්‍යාව අනෙක් දැනුම් පද්ධතීන්ගෙන් වෙනස් වන බවත් එයට විශේෂිත වූ විද්‍යාත්මක විධික්‍රමයක් ඇති බවත් අමරතුංග මහතා මෙන් ම බටහිර විද්‍යාවේ දාර්ශනිකයන් ද පිළිගන්නේ නම් එය හුදෙක් අනෙක් රටවල තිබූ විද්‍යාවන්ගේ වරධනයක් විය නො හැකි ය.  අමරතුංග මහතාට අමරසේකර මහතාට මෙන් ම පරස්පරවලින් තොරව සිතන්නට බැරි ය. අවාසනාවකට බොහෝ උගතුන් යැයි කියාගන්නෝ පරස්පරවල දියබුන් ගසති. අමරතුංග මහතා බටහිර විද්‍යාව අනෙක් රටවල විද්‍යාවන්ගේ වර්ධනයක් පමණක් යැයි කියන අතර ම බටහිර විද්‍යාවට විශේෂිත වූ ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක් ඇතැයි පවසයි. 

බටහිර විද්‍යාවේ ඊනියා විධික්‍රමයක් නැතැයි අපි කියමු. අප ඒ බව අවුරුදු විසිපහකට අධික කාලයක් තිස්සේ ප්‍රකාශ කර ඇත. බුදුන් වහන්සේගේ කාලයෙහි ද ආත්මයක් ඇත් ද නැත් ද යන වග දැනගැනීම සඳහා බමුණන් ශුද්‍රයකු යැයි කියැවන්නකු මරා කෲර පරීක්‍ෂණයක් කර ඇති බව අප විසින් පෙන්වා දෙනු ලැබුයේ අද ඊයේ නො වේ. ගැලීලියෝ කළේ යැයි කියන පර්යේෂණ ව්‍යාජ බව ද අපි කියා ඇත්තෙමු. කෙටියෙන් කිවහොත් බටහිර විද්‍යාවට ආවේණික විධික්‍රමයක් නැති බවත් පරීක්‍ෂණ නිරීක්‍ෂණ නිගමන ආදිය අනෙක් රටවල දැනුම් පද්ධතීන්හිද දැකිය හැකි බවත් අපි අවුරුදු විසිපහකට අධික කාලයක් තිස්සේ කියා ඇත්තෙමු. ඇතැම් විට විසිරුණු ජාතික චින්තනයට තමා විශ්වවිද්‍යාල සේවයෙන් විශ්‍රාම ගැනීමට සුළු කලකට පෙර පැමිණි අමරතුංග මහතා අවුරුදු ගණනාවකට පෙර චින්තනය යන සංකල්පය අසාවත් නොතිබෙන්නට ඇත. බටහිර විද්‍යාවට ඊනියා විධික්‍රමයක් නැතත් එය අනෙක් දැනුම් පද්ධතීන්ගෙන් වෙනස් වන්නේ එහි චින්තනය හේතුකොටගෙන යැයි අපි කියමු. බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් වන්නේ ද එහි චින්තනය හේතුකොටගෙන ය. සාමාන්‍ය ව්‍යවහාරය අනුව නම් බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් වන්නේ එහි උපන්ගෙයි දෝෂයක් නිසා ය. 


නලින් ද සිල්වා

2013-12-18

Friday, 29 March 2013

ආසනික් කතාව - 2

නාථ දෙවියන් හා විපස්සක දෙවියන් යනුවෙන් හැඳින්වෙන ප්‍රාණීන්ගෙන් අපට දැනගැනීමට ලැබුණේ රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් බව ය. එයට තවත් හේතු දෙකක් සම්පූර්ණ විය යුතු බවත් කියැවිණි. එනම් කුඹුරු පස යනුවෙන් හැඳින්වෙන පස හා කිවුල් ජලය ය. ආසනික් පොළොවට ලැබෙන්නේ කෘෂිරසායන ද්‍රව්‍යයන්ගෙන් බව ද කියැවිණි. මේ දැනුම අපට ලැබුණේ ප්‍රියන්තා සේනානායක මහත්මිය මගිනි. ඇය බටහිර, ආයුර්වේද, සිංහල පාරම්පරික ආදී කිසිම වෛද්‍ය ක්‍රමයක් පිළිබඳ දැනුමක් ලබා නො තිබුණා ය. එබැවින් අපට ප්‍රියන්තා සේනානායක මහත්මියගෙන් ලැබුණේ ඇය දෙවියන්ගෙන් හෝ වෙනත් මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් හෝ ලත් දැනුමකි. රජරට නිදන්ගත වකුගඩු රෝගය පිළිබඳ ව අපට දැනුම් දුන් වෛද්‍ය චන්න ජයසුමන මහතා මා විසින් ඇය වෙත යොමු නොකෙරෙන්නට මේ දැනුම අපට නො ලැබෙන්නට තිබිණි.

දෙවියන්ගෙන් භූතයන්ගෙන් දැනුම ලබාගැනීම අපේ සංස්කෘතියට ආගන්තුක දෙයක් නො වේ. එය පැරණි සංස්කෘතීන් බොහොමයක් ම දැනුම ලබාගත් ක්‍රමයක් විය. පැරණි ග්‍රීකයෝ ද, වෛදිකයෝ ද, යුදෙවුවෝ ද එලෙස දැනුම ලබාගත්හ. එහෙත් ඒ ඒ අයට ලැබුණේ ඒ ඒ අයගේ දෙවිවරුන්ගේ දැනුම ය. ඒ දැනුම ද සාපේක්‍ෂ විය. ඒ ඒ දෙවියන්ගේ ආකල්ප හා වෙනත් ලක්‍ෂණ ඒ ඒ දැනුම්වල දැකිය හැකි ය. යුදෙවු දෙවියෝ ලෝකය මැවූ දෙවියකු ගැන විශ්වාස කළහ. ඔවුන්ට සදාකාලික නිරයක් හා සදාකාලික ස්වර්ගයක් විය. ඔවුන් ලබාදුන්නේ වියුක්ත දැනුමක් යැයි විශ්වාස කළ හැකි ය. අපේ සම්‍යග්දෘෂ්ටික දෙවියන්ගේ දැනුම නිවණට සාපේක්‍ෂ විය. අපට ඔවුන් ලබාදුන් දැනුම නිවන් අවබෝධ කරගැනීමට රුකුල් දෙන්නක් විය. අපට ලබාදෙන දැනුම බොහෝ විට සංයුක්ත දැනුමක් වෙයි. කිනම් සංස්කෘතියක වුව ද දෙවියන්ගෙන් ලත් දැනුමෙහි ද අඩුපාඩුකම් තිබූ බව හා තිබෙන බව අමතක නොකළ යුතු ය.

ඉතා මැතක ජීවත් වූ සුප්‍රසිද්ධ ඉන්දියානු ජාතික ගණිතඥයා වූ රාමනුජන් විද්වතා ද හින්දු දේවතාවියකගෙන් දැනුම ලබාගත්තේ ය. ඔහු බටහිර ගණිතයෙහි දක්නට ලැබෙන ප්‍රමේය සාධනය පිළිබඳ නොදැන සිටියේ ය. එහෙත් ඔහුට අනන්තය පිලිබඳ ඉතා විශිෂ්ට වූ දැනුමක් තිබුණේ ය. එය විශ්ලේෂණයෙන් ලබාගත් දැනුමක් නොව දෙවියන් සමග ආධ්‍යාත්මික ව (අන්තර්ඥානයෙන්) කරන ලද සන්නිවේදනය ඔස්සේ ලබාගත් දැනුමක් විය. අද පවා ලෝකයේ විවිධ රටවල විවිධ පුද්ගලයන් දෙවියන්ගෙන් හා භූතයන්ගෙන් දැනුම ලබාගන්නා බවට සැකයක් නැත.

අද ලෝකයේ ආධිපත්‍යය දරන්නේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය හා යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය ය. මේ සංස්කෘතියෙහි ඇතැමුනට, විශේෂයෙන් ම යුදෙවුවනට දැනුම ලබාදෙන යුදෙවු දෙවියන් තවමත් සිටින්නට ඉඩ ඇත. බටහිර විද්‍යාව ඉහත සඳහන් චින්තනය මත පදනම් ව යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි නිර්මාණය වන්නකි. නොබෙල් ත්‍යාග දිනාගන්නා අයගෙන් විශාල ප්‍රමාණයක් යුදෙවුවෝ වෙති. ඔවුන් වියුක්ත චින්තනයෙන් දක්‍ෂයන් වන්නා සේ ම ඔවුන් සමහරකුට යුදෙවු දෙවියන්ගෙන් දැනුම ලැබෙන්නේ ය යන්න බැහැර කළ හැකි නො වේ. යුදෙවු විද්‍යාඥයන් ඇසුරු කරන පිටරට වසන සිංහලයන්ට මේ සම්බන්ධයෙන් විස්තර දැනගත හැකි නම් එය අප සියළු දෙනාට ම වැඩදායක වනු ඇත.

එසේ වුවත් ඒ සංස්කෘතියෙහි යුදෙවු නොවන්නන්ට එවැනි දැනුමක් නොලැබෙන්නේ යැයි සිතිය හැකි ය. ගැලීලියෝ නිවුටන් ආදීන් විසින් බටහිර විද්‍යාව නිර්මාණය කරනු ලැබීමට ප්‍රධාන හේතුව ද ඔවුන්ට ආධ්‍යාත්මික ව දැනුමක් ලබාගැනීමට නොහැකිවීම යනු මගේ පිළිගැනීම ය. කෙසේ වෙතත් අපට ආධ්‍යාත්මික ව වුව ද ලැබෙන්නේ සංයුක්ත දැනුමකි. වකුගඩු රෝගය හා ආසනික් සම්බන්ධ දැනුම ද සංයුක්ත දැනුමකි.

අපට එම දැනුම ලැබුණු විට අපි එය එක්විට ම ප්‍රසිද්ධ නො කළෙමු. මෙරට සිටින පුහු විද්‍යාඥයන් හා බටහිර වෛද්‍යවරුන් එය නොපිළිගන්නා බව අපි දැන සිටියෙමු. එබැවින් අපි ඒ සම්බන්ධයෙන් බටහිර විද්‍යාවට අනුකූල පර්යේෂණ කැලණිය විශ්වවිද්‍යාලයෙහි දී ආරම්භ කළෙමු. එහි දී මහාචාර්ය මාලා අමරසිංහ හා මහාචාර්ය ප්‍රියානි පරණගම මහත්මීහු විශාල මෙහෙයක් ඉටුකළහ. විශේෂයෙන් ම මහාචාර්ය පරණගම මහත්මිය මහත් කැපවීමකින් තම සෞඛ්‍ය තත්ත්වය පවා නොසළකමින් බොහෝ දිනවල අලුයම තුන හතර පමණ වන තෙක් පර්යේෂණවල නියැලුණා ය. එහෙත් මෙරට කුහක විද්‍යාඥයෝ ඇයට ජාතික සම්මානයක් දීම වෙනුවට කුඩුකේඩුකම් කළහ. අපේ උපකරණ කිියා විරහිත බව එක් මහාචාර්යවරියක් කියන විට ඇගේ මහාචාර්ය සැමියා අපට පිස්සු යැයි කීවේ ය. තවත් අයකුට තම ෆ්ලුවොරයිඩ් සිහිනයෙන් අවදි වීමට නො හැකි විය. ඔහුට ඇතැම් කරුණුවල දී උසස් පෙළ දැනුම ද නැති බව පෙනී ගියේ ය. එක් ආහාර තාක්‍ෂණවේදියෙක් අපේ පරීක්‍ෂණාගර ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන නැතැයි කීවේ ඔහුගේ පර්යේෂණාගාර ද එලෙස පිළිගැනීමකට ලක් වී නොමැති බව අමතක කරමිනි.

කෙසේ නමුත් ඒ සියළු දෙනා පාහේ කියා සිටියේ ආසනික් රජරට හා අදාළ වෙනත් පෙදෙස්වල නොමැති බවත් වකුගඩු රෝගයට හේතුව ආසනික් නොවන බවත් ය. ආසනික් ඇතැයි කී අය ද එය නෛසර්ගිකව පොළොවේ ඇති බව කීහ. ආසනික් එකතු වී ඇත්තේ ක්‍යෂිරසායනික ද්‍රව්‍යවලින් බව ඔවුහු නො පිළිගත්හ. ඇතැමුනට අනුව අපි පර්යේෂණ නොකර හුදෙක් දෙවියන් කී දෙයක් යැයි කියමින් ආසනික් ගැන කතාකළ කට්ටිඩියෝ වූයෙමු. එසේ කී අය අතර බටහිර විිද්‍යාඥයෝ ද බටහිර වෛද්‍යවරු ද වූහ. මෙරට කට්ටඩියන්ට හෙවත් ගුරුන්නාන්සේලාට බටහිර විද්‍යාඥයන්ට හා බටහිර වෛද්‍යවරුන්ට මෙන් සමාජ තත්ත්වයක් නොලැබී ඇත්තේ සමාජ ආධිපත්‍යය බටහිර විද්‍යාවට ඇති බැවිනි. ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය සමාජ විද්‍යාවට මෙන් ම ඉංජිනේරු විද්‍යාවට ද තුන්වැනි පංතියේ උපාධි ලබාගත් අයකුගේ මැදිහත්වීමෙන් මගේ අවිද්‍යාව හා මිථ්‍යාව පිලිබඳ ප්‍රකාශයක් නිකුත් කළේ ය. එතැනින් නොනැවතුනු ඔවුහු මහාචාර්ය පරණගම හා මහාචාර්ය අමරසිංහ මහත්මීන් මා සමග එක්ව කටයුූතු කිරීම නතර නොකළහොත් ඔවුන් විද්‍යාඥවරියන් ලෙස සෑලකීම ප්‍රශ්නයක් වන බවට තර්ජනය කළහ. ජීවිතයේ කිසි දිනෙක නව සංකල්පයක් හෝ ප්‍රවාදයක් හෝ නිර්මාණය කර නොමැති වුවත් ශ්‍රී ලංකා විද්‍යා ඇකඩමිය නම් ව්‍යාජ ගාම්භීර සංවිධානයක අධිසාමාජික පදවි ලද්දෝ ද ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක් ගැන තමන් නොදන්නා බහුබූත දෙඩවූහ.

අප මේ පර්යේෂණ බොහෝමයක් කර සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමෙන් පසු ඒ බව පුවත්පතින් මගින් ජනතාවට කීවෙමු. මට කසිකබල් පත්‍රියා සතපහක්වත් නො වටියි. මට අවශ්‍ය වූයේ හැකි ඉක්මණින් අපේ ප්‍රතිඵල ජනතාවට දැන්වීමට ය. අපේ දැනුම අප ජනතාවට ප්‍රකාශ කළේ 2011 ජනවාරියේ පමණ ය. එහෙත් පුහු විද්‍යාඥයෝ අපේ පර්යේෂණාගාරවල අඩුපාඩුකම් ඇතැයි ද ඒවා ජාත්‍යන්තර වශයෙන් පිළිගැනී නැතැයි ද කීහ. ජාත්‍යන්තර වශයෙන් පිළිගැනී ඇතැයි කියන පරමාණු බලශක්ති අධිකාරයේ පර්යේෂණාගාරයට ද මහාචාර්ය විජය කුමාර් මහතාගේ සභාපතිත්වය යටතේ වූ තාක්‍ෂිණක පර්යේෂණ ආයතනයට ද ආසනික් හසු නො වී ය. පරමාණු බලශක්ති අධිකාරිය චම්පික රණවක මහතා යටතේ වූ ආයතනයකි. ඒ මහතා විද්‍යාඥයන්ට පූර්ණ නිදහස දී ඇතැයි සිතිය හැකි ය. කෙසේ වෙතත් ඒ මහතාගේ ම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් මේ කටයුතුවලට මැදිහත් වූයේ 2011 මාර්තු මාසයෙන් පමණ පසුව ය. ඒ වන විට බටහිර රසායන විද්‍යාව අනුව අප කළ පර්යේෂණ බොහෝමයක් අවසන් වී තිබිණි. උන්වහන්සේ ඇතැම් නියැදි මලයාසියාවේ පර්යේෂණාගාරයක පරී්ක්‍ෂා කරවීමට නම් කටයුතු කළහ. එහෙත් පර්යේෂණ ආරම්භ කළේ උන්වහන්සේගේ මැදිහත්වීමෙන් නො වේ. ආසනික් නැති බව කී තවත් ආයතනයක් වූයේ දිනේෂ් ගුණවර්ධන මහතා යටතේ ඇති අමාත්‍යාංශය ය. ඒ අමාත්‍යාංශය ඉන්දියාවෙන් තරුණ විද්‍යාඥවරියන් දෙදෙනකු ගෙන්වා ඔවුන් මගින් ආසනික් නැතැයි කීවේ ය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට ද ඇස කණ පියාගෙන සිටීමට නොහැකි විය. ඔවුහු ද පර්යේෂණ ආරම්භ කළහ. ඔවුන්ගේ අවසාන වාර්තාව සති කිහිපයකට පෙර නිකුත් විණි. බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ තවත් උපකරණයක් පමණක් වූ ලෝක සෞඛ්‍ය සංවිධානයට අප අපේ දෙවියන්ගෙන් ලත් දැනුම අනුමත කිරීමට නො හැකි ය. එහෙත් ඔවුන්ට ද නිදන්ගත වකුගඩු රෝගය හා ආසනික් අතර සම්බන්ධයක් ඇති බව ද කෘෂිරසායනික ද්‍රව්‍යවලින් ආසනික් එකතුවන බව ද පිළිගැනීමට සිදු වී ඇත. ඔවුන් දැන් සූදානම් වන්නේ ආඳා මාළු ඉරටෙන් කෑමට ය. ඔවුන් තම වාර්තාවෙන් ඉඟිකරන්නේ වකුගඩු රෝගයට හේතුව කැඩ්මියම් බවත් ආසනික් එහි දී උතප්‍රේරකයක් විය හැකි බවත් ය. අපි එය එසේ නොවේ යැයි කියමු. වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් ය. එහි දී කිවුල් ජලය යම් කාර්යයක් ඉටුකරයි. ආසනික් කිවුල් ජලයේ වූ කැල්සියම් හා මැග්නීසියම් ලවණවල අණු අතර “සැඟ වී” ඇත. අදාළ පෙදෙස්වල කිවුල් ජලයෙහි ආසනික් ඇති බව කසිකබල් විද්‍යාඥයන්ට තවමත් පරීක්‍ෂණවලින් දැනගැනීමට නොහැකි වී ඇත්තේ ආසනික් එසේ “සැඟ වී” ඇති බැවිනි. ඇතැම් අවස්ථාවල කැඩ්මියම් උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කරයි. තමන්ගේ පරීක්‍ෂණවලට ආසනික් හසුනොවන බැවින් ආසනික් නැතැයි කීම කසිකබල් විද්‍යාත්මක ක්‍රමය විය හැකි ය. මේ විද්‍යාඥයන් දෙවියන් නැතැයි කියන්නේ ද ඔවුන්ගේ උපකරණවලට දෙවියන් හසු නොවන බැවිනි. මේ උද්ධච්ඡයන්ට අනුව යමක් ඔවුන්ගේ ඉන්ද්‍රියවලට හෝ උපකරණවලට හෝ ගෝචර නොවන්නේ නම් ඒ නො පවති. එවිට ඔවුන්ගේ ප්‍රවාදවල හෙවත් කතන්දරවල කියැවෙන ගුරුත්වාකර්ෂණය වැනි ඉන්ද්‍රියගෝචර නොවන සංකල්ප ගැන කුමක් කියමු ද? ඉලෙක්ට්‍රෝනයක් දැක ඇති අයකු ඉදිරිපත් වන්නේ ද?

නොයෙකුත් වර්ගවල වකුගඩු රෝග ඇත. ඇතැම් වකුගඩු රෝගවලට හේතුව කැඩ්මියම් වෙයි. එසේ වුවත් රජරට වැව්වල මාළුන්ගේ හා නෙලුම් අලවල කැඩ්මියම් තිබූ පමණින් රජරට නිදන්ගත වකුගඩු රෝගයට ද හේතුව කැඩ්මියම් යැයි නිගමනය කළ නො හැකි ය. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව රජරට වකුගඩු රෝගයට හේතුව කිව නොහැකි ය. එයට හේතුව කැඩ්මියම් නම් කැඩ්මියම් නිසා ඇතිවන වකුගඩු රෝග ගැන දන්නා බටහිර වෛද්‍යවිදාවට ඒ හඳුනාගැනීමට හැකිවිය යුතුව තිබිණි. එහෙත් බටහිර වෛද්‍ය විද්‍යාවට එසේ කළ නොහැකි විය. එයින් කියැවෙන්නේ රජරට වකුගඩු රෝගයට හේතුව කැඩ්මියම් නො වීම ය. ලෝක සෞඛ්‍ය සංවිධානයට එය වසංකළ නො හැකි ය. බටහිර වෛද්‍ය විද්‍යාව තවමත් රජරට වකුගඩු රෝගයට හේතුව කුමක් දැයි නො දනියි. එයට ප්‍රධාන හේතුව ආසනික් යැයි අපි නිර්භයව කියමු. එපමණක් නොව ආසනික් පසට, ජලයට හා වාතයට එකතුවන්නේ කෘෂිරසායනික ද්‍රව්‍ය නිසා බව ද අපි කියමු.

දැන් කළ යුත්තේ හැකි ඉක්මණින් කෘෂිරසායනික කෘෂිකර්මයෙන් ඉවත් වී දේශීය පොහොර (කොම්පොස් නො වේ) යොදා සිංහල ගොවිතැන් ක්‍රම භාවිතාකිරීමත් වකුගඩු රෝගීන්ට දෙවියන්ගෙන් ලබාගත් ප්‍රතිකාර හෝ සිංහල පාරම්පරික ප්‍රතිකාර හෝ ලබාදීමට කටයුතු කිරීමත් ය. මෙරටට ගැලපෙන්නේ සිංහල වෙදකම හා සිංහල ගොවිකම මිස වියදම් අධික විදේශීය විනිමය නාස්ති කරන බටහිර වෙදකම හා බටහිර කෘෂිකර්මය නො වේ. බටහිර වෙදකමට ප්‍රතිකාර නැත. එහි කෙරෙන්නේ රෝග කළමනාකරණය මිස රෝග සුවකිරීම නො වේ. අද රජරට ගොවීන් මියයන්නේ බටහිර විද්‍යාවේ හා දැනුමේ ආධිපත්‍යය, කෘෂිරසායන ආනයනයකරන්නන් හා ඔවුන්ට අත හිත දෙන කසිකබල් නිලධාරීන් හා දේශපාලනඥයන් නිසා ය. බටහිර විද්‍යාවට හා දැනුමට බිය නොවී සිංහල දැනුමට වහාම යමු. ආසනික් පිළිබඳ දැනුම ලැබුණේ මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙනි. අද ආසනික් හා වකුගඩු රෝගය අතර සම්බන්ධයක් ඇති බව බටහිර විද්‍යාවට ද පිළිගැනීමට ද සිදු වී ඇත. බටහිර විද්‍යාවට තවමත් දෙවියන් සිටින බව පිළිගැනීමට නො හැකි ද? 

(13/03/06)

Thursday, 28 March 2013

ජෙනීවා නොගිය ආසනික් හා හලාල්

මෙරට ජනමාධ්‍යයෙහි කතාකරන ප්‍රශ්න මෙන් ම නොකරන ප්‍රශ්න ද වෙයි. කිසිම තේරුමක් නොමැතිව ඉදිරි දර්ශනයක් නොමැතිව ජෙනීවා ගැන බොහෝ දෙනෙක් කතාකරති. හලාල් ගැන කතා කෙරෙන්නේ ද බොහෝ විට තේරුමකින් නො වේ. සිංහල බෞද්ධයන්ගේ මානව අයිතිවාසිකම් නොතකමින් ඔවුන්ට හලාල් භාණ්ඩ පරිභෝජනය අනිවාර්ය කිරීම ජෙනීවා නොගියේ ය. මුස්ලිමුන්ට අවශ්‍ය නම් හැකියාවක් ඇත්නම් හලාල් භාණ්ඩ පරිභෝජනය කිරීම ගැන සිංහල බෞද්ධයෝ විරුද්ධ නො වෙති. සිංහල බෞද්ධයන් කියන්නේ තමන්ට බලහත්කාරයෙන් හලාල් භාණ්ඩ නොදෙන ලෙස ය. අනෙක් අතට හලාල් සහතික නිකුත්කිරීම රජයේ කාර්යයක් නො වේ. තම ආගමිකයන් ආගමෙන් අනුමත භාණ්ඩ පරිභෝජනය කරන්නේ ද යන්න සොයා බැලීම ඒ ඒ ආගමේ කටයුත්තකි. මෙරට රජය මැදිහත් විය යුත්තේ සිංහල බෞද්ධ සංස්කෘතික පරිභෝජන රටාවක් ඇතිකිරීමට ය. මේ අතර ජනමාධ්‍යයෙන් එතරම් කතානොකරන ප්‍රශ්නයක් ද වෙයි. ඒ රජරට හා වෙනත් පෙදෙස්වල පැතිරී ඇති නිදන්ගත වකුගඩු රෝගය ය. අද සෑම ප්‍රශ්නයක් ම දේශපාලනීකරණය වී ඇත. හලාල්, ආසනික්, ජෙනීවා පමණක් නොව මැරතන් දුවද්දී මියයන සිසුවියන්ගේ ප්‍රශ්නය ද අද වන විට දේශපාලන ප්‍රශ්නයක් වී ඇත. අන් රටවල ද එය යම් තරමකින් සිදු වේ. එයට ප්‍රධාන හේතුව දේශපාලනය ආර්ථිකය හා සංස්කෘතිය අතර ඇති සම්බන්ධය ය. මෙරට සෑම ප්‍රශ්නයක් දෙස ම අද බැලෙන්නේ ඉන් තම පෞද්ගලික දේශපාලනයට, තම පක්‍ෂයේ දේශපාලනයට වාසියක් ලබාගැනීම හා ප්‍රතිවාදියාට, ප්‍රතිවාදී පක්‍ෂවල පහරගැසීම යන කරුණු පෙරදැරි කරගනිමිනි. මෙයට තවත් හේතුවක් නම් මෙරට ජාතික ව්‍යාපාරය අද වන විට නැවතත් දුර්වල වීම ය. අනුවේ දශකයේ ශක්තිමත් ව තිබූ ජාතික ව්‍යාපාරය විවිධ භික්‍ෂූන්ද ගිහියන් ද විසින් වල්මත් කෙරී අද වන විට දේශපාලන පක්‍ෂ දෙකක් විසින් තම බල ව්‍යාපෘති ඔස්සේ දුර්වල කෙරී ඇත. මෙය ජාතික ව්‍යාපාරය පිළිබඳ ප්‍රශ්නයක් නොව බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ ලෝක ආධිපත්‍යය හේතුවෙන් සිදුවන්නකි. ජාතික ව්‍යාපාරයට ඉදිරියට යෑමට සිදු වී ඇත්තේ මේ කඳු පල්ලම් දිගේ ය. සිංහල බෞද්ධයනට ශක්තිමත් ඉදිරි දර්ශනයක් ලබාදීම මගින් මේ බාධක යම් ප්‍රමාණයකට ජයගත හැකි ය. ජෙනීවා යනු නවි පිල්ලෙයි වැන්නන් තම වැටුප සඳහා බටහිර යටත්විජිතවාදයට කරන මෙහෙයකි. සෑම රටක් පිළිබඳ ව ම මානව අයිතිවාසිකම් සමුළුවට වාර්තා ඉදිරිපත් වෙයි. තම සංස්කෘතියෙහි නැති, ආධිපත්‍යයට යටත් නොවන රටවල් මෙල්ල කිරීමට යොදා ගැනෙන මේ සමුළුවට ලංකාවේ ජනමාධ්‍ය මෙතරම් තැනක් දෙන්නේ මාධ්‍යවේදීන්ගේ ද නිවටකම නිසා ය. ඊශ්‍රායලය මේ සමුළුවට නියෝජිතයන් නොයවයි. ඇමරිකාව තරම් ජනතාවට මානව අයිතිවාසිකම් අහිමිකරන රටක් ලෝකයේ තවත් නැත. ඒ රටේ ජනමාධ්‍ය එකී සමුළුවට ප්‍රචාරයක් නො දෙයි. අප කළ යුතුව තිබුණේ පිල්ලේ වැන්නන් හමුවීමට නිලධාරීන් පිරිසක් යවා සමු්‍ර්‍රළුව සතපහකටවත් ගණන් නොගෙන ඔවුන්ගේ සම්භාධක පැණවීම වැනි ඉදිරි සැලසුම් සඳහා සූදානම් වීම ය.

මෙරට වකුගඩු රෝගයෙන් මියයන්නන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නය ජෙනීවා නුවර සාකච්ඡා වන්නක් නො වේ. අද මෙරට වකුගඩු රෝගීන් මිය යන්නේ බටහිර කෘෂිරසායන සමාගම්වලට ලාභ ලබාදීමට ය. මේ රෝගීන් මරා දැමෙන්නේ බටහිර කෘෂිරසායන සමාගම්, කෘෂිරසායන ආනයනය කරන්නන්, ඔවුන්ට අනුබල දෙන දේශපාලනඥයන් හා බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම් ආධිපත්‍යය විසින් ය. බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ ප්‍රතිඵලයක් ලෙස වකුගඩු රෝගීන්ගේ ඊනියා මානව අයිතිවාසිකම් මතු නොව ජීවන අයිතිය ද නැති වී ඇත. මෙයට විරුද්ධව වකුගඩු රෝගීන් සුවපත් කිරීම සඳහා ජාතික වැඩ පිළිවෙළක් තිබිය යුතු ය. එහෙත් අවාසනාවකට ජාතික ව්‍යාපාරය ගසාකන දේශපාලන පක්‍ෂ දෙකක් මෙය තම දේශපාලන වාසිය සඳහා යොදාගනු දක්නට හැකි ය. ඒ දේශපාලන පක්‍ෂ දෙක නිල වශයෙන් ප්‍රශ්නයට සෘජුව මැදිහත්වන්නේ ද නැත. ඒ වෙනුවට එහි ක්‍රියාකාරීන් ලවා යම් යම් දේ සිදු කිරීමට ඔවුහු උත්සාහ කරති. වකුගඩු රෝගීන් පිළිබඳ ප්‍රශ්නය දැනට අවුරුදු විස්සක පමණ කාලයක සිට ඇත. එහි දී විවිධ අය ඒ සඳහා විවිධ හේතු දක්වා ඇත. අප මේ ප්‍රශ්නයට යොමු වූයේ 2010 වසරේ දී ය. ප්‍රියන්තා සේනානායක මහත්මිය මගින් එයට ප්‍රධාන හේතුව ආසනික් බව අපි දෙවියන්ගෙන් දැනගතිමු. ඉන්පසු අප කළේ එය බටහිර විද්‍යාවට ද අනුව තහවුරු කිරීම ය. ඒ සඳහා අපේ කණ්ඩායම පර්යේෂණ කළේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස විවිධ නියැදිවල විවිධ ප්‍රමාණයන්ගෙන් ආසනික් ඇති බව තහවුරු විය. එමෙන් ම රෝගීන්ගේ මූත්‍රාවල, නියපොතුවල, කෙස්වල ආදී වශයෙන් විවිධ අවයවවල ආසනික් ඇති බව ද හෙළිවිය. මේ ආසනික් නිසගයෙන් ම පොළොවේ ඇති ආසනික් නොව පළිබෝධනාශක හා වෙනත් කෘ’ෂිරසායන නිසා එකතුවන බව ද කෘෂිරසායනවල ආසනික් අඩංගු බව ද අපි පෙන්වා දුනිමු. පළිබෝධනාශකවල ආසනික් ඇති බව කෘෂිරසායන ආනයන කරන සමාගම්වල නියෝජිතයන් ඉදිරියේ කරන ලද පරීක්‍ෂණවලින් අපි කැලණියේ දී තහවුරු කළෙමු. එහෙත් අපට ලැබුණේ ගල්මුල් ය. අපේ රසායනාගාර පිළිගත් ආයතන නොවන බව ඊනියා විද්‍යාඥයෝ කියා සිටියහ. චම්පික රණවක මහතා යටතේ තිබූ පරමාණු අධිකාරියේ පර්යේෂණවලට ද මහාචාර්ය විජය කුමාර් මහතා යටතේ තිබූ තාක්‍ෂණික පර්යේෂණ ආයතනයට ද ආසනික් හසු නො වී ය. දිනේෂ් ගුණවර්ධන මහතාගේ අමාත්‍යාංශය ඉන්දියාවෙන් තරුණ විද්‍යාඥවරියන් දෙදෙනකු ගෙන්වා ආසනික් නැති බව කීවේ ය. මේ සියල්ල කැලණිය කණ්ඩායමේ (ඊිනියා රජරට කැලණිය කණ්ඩායමක නොව) පර්යේෂණවලට විවිධ අවස්ථාවල දැක්වූ ප්‍රතිචාර විය. ඇතැමුන්ට අනුව වකුගඩු රෝගයට හේතුව ආසනික් නොව කැඩ්මියම් විය. එහෙත් රජරට පෙදෙස්වල නිදන්ගත වකුගඩු රෝගය බටහිර විද්‍යාවට අනුව හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගයක් විය. කැඩ්මියම් නිසා ද වකුගඩු රෝග ඇති වෙයි. එහෙත් රජරට රෝගීන්ට වැළඳී තිබුණේ එවැනි වකුගඩු රෝගයක් නො වේ. රජරට වැව්වල මාළුන්ගේ හා නෙලුම් අලවල කැඩ්මියම් තිබීම නිසාත් ඇතැම් වකුගඩු රෝග කැඩ්මියම් හේතුවෙන් වැළඳෙන නිසාත් රජරට වකුගඩු රෝගය ද කැඩ්මියම් නිසා වැළඳෙන්නේ යැයි නිගමනය කළ හැකි නො වේ. හේතුව කැඩ්මියම් වූ වකුගඩු රෝග පිළිබඳ බටහිර වෛද්‍ය විද්‍යාව දැන සිටි හෙයින් මෙය ද කැඩ්මියම් නිසා වැළඳුනි නම් එය හඳුනාගැනීමට බටහිර වෛද්‍ය විද්‍යාාවට හැකියාව තිබිණි. එහෙත් බටහිර වෛද්‍ය විද්‍යාවේ රෝගය හැඳින්වූයේ හේතුව නොදත් නිදන්ගත වකුගඩු රෝගය ලෙස ය. එයින් ම පැහැදිලි වූයේ මේ වකුගඩු රෝගයට හේතුව වෙනත් යමක් බවත් බටහිර වෛද්‍ය විද්‍යාවට එය එතෙක් හසු නොවුණු බවත් ය. අපේ කණ්ඩායම එයට ප්‍රධාන හේතුව ආසනික් යැයි කියන තෙක් මා දන්නා තරමින් ලෝකයේ කිසිවකු වකුගඩු රෝගයකට හේතුව ආසනික් යැයි කියා නො තිබිණි.

මෙරට සිටින කසිකබල් විද්‍යාඥයෝ බටහිර වෛද්‍යවරු හා වෙනත් පඬියෝ පරළය වී අප පර්යේෂණ නොකළ බවත් අපේ උපකරණ කැඩී ඇති බවත් අප හුදෙක් දෙවියන් කී දෙයක් යැයි කියමින් ආසනික් ගැන කියවන පිස්සන් කට්ටඩීන් බවත් කීහ. අප 2011 වන විට අපේ පර්යේෂණ බොහොමයක් කර තිබූ බව අවධාරණය කළ යුතුව ඇත. එමෙන් ම 2011 ජනවාරි වන විට අපේ ප්‍රතිඵල ගැන අපි පුවත්පත්වලට දන්වා තිබුණෙමු. අපට අවශ්‍ය වූයේ ඊනියා පත්‍රිකා මගින් ඒ බව කීමට නොව හැකි ඉක්මණින් ජනතාවට හා ආණ්ඩුවට කරුණු ඉදිරිපත් කිරීම ය. එක් දේශපාලන භික්‍ෂුවක් කතාවට එක්වූයේ 2011 මාර්තු මස පමණ ය. එහෙත් උන්වහන්සේ තමන්වහන්සේගේ මැදිහත්වීමෙන් පසු පර්යේෂණ සිදුකළ බවක් ජනතාවට කියයි. උන්වහන්සේ පිටරට පරීක්‍ෂණාගාරයක ඇතැම් පර්යේෂණ කරවීමට පියවර ගත් බව සැබෑ ය. එහෙත් ඒ වන විට අපි අපේ රසායනාගාරවල කරන ලද පර්යේෂණ මගින් ද ආසනික් තහවුරු කරගෙන සිටියෙමු. මෙය කඳුලු කතාවක් බව සැබෑ ය. එහෙත් එය කඳුලු කතාවක් යැයි කියමින් ඡන්ද කතාවක් බවට පත්කළ යුතු නො වේ. මා දන්නා තරමින් අප කණ්ඩායමේ පර්යේෂණ කළ කිසිවකුට මරණීය තර්ජන එල්ල වී නැත. එහෙත් දේශපාලන භික්‍ෂුව ඔවුන්ට එල්ල වූ මරණීය තර්ජන ගැන කියා ඇතැයි වාර්තාවේ.

වකුගඩු රෝගීන්ගේ මානව අයිතිවාසිකම් ජෙනීවා නොගිය මුත් රෝගය බෙල්ජියමට ගියේ ය. ලෝක සෞඛ්‍ය සංවිධානය එරට පිළිගත් පර්යේෂණාගාරයක කරන ලද පර්යේෂණවලින් පසු රජරට වකුගඩු රෝගය හා ආසනික් අතර සම්බන්ධයක් ඇති බව පිළිගනියි. පලිබෝධනාශක හේතුවෙන් ආසනික් පසට හා ජලයට එකතුවන බව ද පිළිගනියි. ලෝක සෞඛ්‍ය සංවිධානය ද අවසාන විග්‍රහයේ දී බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ හා යටත්විජිතවාදයේ තවත් ආයුධයක් පමණකි. ඔවුන්ට රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් යැයි එක්වර කිව නො හැකි ය. ඔවුන් අද කීමට තැත්කරන්නේ රජරට නිදන්ගත වකුගඩු රෝගයට හේතුව කැඩ්මියම් බවත් ආසනික් උත්ප්‍රේරකයක් බවත් ය. එසේ නම් කැඩ්මියම් නිසා ඇතිවන වකුගඩු රෝගීන් හා රජරට වකුගඩු රෝගීන් අතර සමානකම් රාශියක් තිබිය යුතු ය. එහෙත් බටහිර වෛද්‍යවිද්‍යාවට රජරට වකුගඩු රෝගයට හේතුව කැඩ්මියම් බව දැනගත නො හැකි විය. අද ද දැනගත නො හැකි ය. අප කියන්නේ වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් බවත් කැඩ්මියම් ඇතැම් අවස්ථාවල උත්ප්‍රේරකයක් වන බවත් ය. කෙසේ වෙතත් අද අවශ්‍ය වන්නේ රෝගය වැළැක්වීම හා එයට ප්‍රතිකාර කිරීම ය. බටහිර වෛද්‍යවිද්‍යාවට ඒ සඳහා ප්‍රතිකාර නැත. වකුගඩු බද්ධය ප්‍රතිකාරයක් නොව නිව්ටෝනීය අමතර කොටස් එකතුකිරීමකි. බටහිර වෛද්‍යවිද්‍යාවට කළහැක්කේ රෝග කළමනාකරණය මිස රෝග සුවකිරීම නො වේ. ප්‍රියන්තා සේනානායක මහත්මිය දැනටමත් දෙවියන්ගෙන් ලබාගත් දිව්‍ය ඖෂධ රෝගීන්ට ලබාදෙයි. අපේ පාරම්පරික වෙදමහතුන් ළඟ නොයෙකුත් ප්‍රතිකාර ඇත. ඔවුන්ගේ උපාධි සහතිකය ගැන නොසොයා රෝගීන්ට වෙදකම් කිරීමට ඔවුන්ට අවස්ථාව ලබාදිය යුතු ය. මෙයට අවහිර කරන්නේ සෞඛ්‍ය ඇමතිතුමා නො වේ. ගැමියකු වූ ද ගොවියකු වූ ද ඒ මහතා රජරට ජනතාවගේ ප්‍රශ්න හා දුක දනියි. මඩ සෝදාගත්කල ගොවියන් රජකමට ද සුදුසු බවත් ඒ මහතා දනියි. අද ප්‍රශ්නය වී ඇත්තේ අපේ දැනුම් මිථ්‍යා යැයි කියන ඇතැම් නිලධාරීන් හා බටහිර වෛද්‍යවරුන් ය. අනෙක් පැත්තෙන් ඇත්තේ කෘෂිරසායනික කෘෂිකර්මය, කෘෂිරසායන ආනයනය කරන්නන් හා ඔවුන්ට අනුබල දෙන්නන් ය. කෘෂිරසායන නොමැතිව, බටහිර ම නිෂ්පාදනයක් වූ කොම්පොස් පොහොර නොමැතිව, දේශීය පොහොර යොදා සාර්ථක අස්වැන්නක් ලබාගත හැකි ය. අපි සිංහල ගොවිතැනට හා සිංහල ගොවිකමට යා යුතු වෙමු. එය පියවරෙන් පියවර සැලසුම් කළ යුතු ය. ප්‍රියන්තා සේනානායක මහත්මියත් ගෙවිමහතුනුත් සතුව මේ පොහොර වට්ටෝරු ඇති බව කෘෂිකර්ම ඇමතිවරයාගේ දැනගැනීම සඳහා සටහන් කරමි.

ආසනික් කතාව

මේ සතියේ ද ලබන සතියේ ද අපේ ප්‍රවාද වෙන්වන්නේ ප්‍රවාද නිර්මාණයට හෙවත් කතන්දර ගෙතීමට නො වේ. අප රටට ඉතා වැදගත් වූ රජරට හා තවත් ප්‍රදේශ කිහිපයක පැතිරී ඇති නිදන්ගත වකුගඩු රෝගය ගැන සාකච්ඡා කිරීම අද දවසේ අපේ ප්‍රධාන කටයුත්තක් බවට පත් වී ඇත. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඇතැමුන් මහත් බලාපොරොත්තුවෙන් සිටි වාර්තාවක් පසුගිය සතියේ පිටවීම ය. ඒ නිදන්ගත වකුගඩු රෝගය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසාන වාර්තාව ය.

අප ඒ වාර්තාව ගැන සුළුවෙන් නමුත් මෙහි දී කතාකරන්නේ බටහිර විද්‍යාවේ විධික්‍රමය, දර්ශනය, චින්තනය ආදිය නොසලකමින් නො වේ. මෙහි දී විධික්‍රමය යනුවෙන් හැඳින්වෙන්නේ බටහිර විද්‍යාවේ දර්ශනයේ සඳහන් වන විධික්‍රමයක් නො වේ. බටහිර විද්‍යාවට විශේෂිත වූ පර්යේෂණය ඇතුළත් ඊනියා විධික්‍රමයක් ඒ අරුතින් නැත. අප විධික්‍රමය යන්න යොදාගන්නේ ප්‍රත්‍යක්‍ෂය, අනුමානය, උද්ගමනය ආදිය ගැන කතාකිරීමේ දී ය. එමෙන් ම අදාළ දැනුමේ වියුක්තබව, සාධාරණීකරණය ආදිය ද අපි එහි දී සාකච්ඡා කරමු. එවැනි කරුණු සම්බන්ධයෙන් විවිධ දැනුම් පද්ධති අතර වෙනස්කම් වෙයි. එහෙත් බටහිර විද්‍යාවට විශේෂිත වූ ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක් ඇතැයි අපි නො පිළිගනිමු.

ලෝක සෞඛ්‍ය සංවිධානය යනු අපට වැදගත් වූ සංවිධානයක් නො වේ. එය අවසාන වශයෙන් ගත්කල බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය තම ආධිපත්‍යය පවත්වාගෙන යෑම සඳහා යොදාගැනෙන තවත් ව්‍යාජ ගාම්භීරත්වයක් සහිත සංවිධානයක් පමණකි. මේ සංවිධානයෙන් මූලික වශයෙන් කෙරෙන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව අනෙක් වෛද්‍ය විද්‍යාවන්ගෙන් උසස් කර ඊනියා ජාත්‍යන්තරභාවයක් එයට ලබා දී අනෙක් වෛද්‍ය විද්‍යාවන් ප්‍රාදේශීය භාවයකට හා සීමිත කාල වකවානුවකට යටකිරීම ය. අනෙක් වෛද්‍ය විද්‍යාවන් ඊනියා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට එකඟ නොවන විද්‍යාත්මක විධික්‍රමයක් නැති දැනුම් පද්ධතීන් ය යන හැඟීම ලොව පුරා තහවුරු කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය වගබලාගනියි. අනෙක් ඊනියා ජාත්‍යන්තර සංවිධාන මෙන් ම ලෝක සෞඛ්‍ය සංවිධානය ද බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය විසින් ලෝකයෙහි තම ආධිත්‍යය පවත්වාගෙන යෑම සඳහා යොදා ගැනෙන තවත් එක් සංවිධානයක් පමණකි.

එවැනි සංවිධානයකට මගේ කිසිදු පිළිගැනීමක් හෝ ගෞරවයක් හෝ නැත. එසේ වුවත් කිසියම් ක්‍ෂෙත්‍රයකින් වුවත් බටහිර දැනුමක් කටගාගත් බොහෝ දෙනාට ලෝක සෞඛ්‍ය සංවිධානය යනු වැදගත් සංවිධානයකි. එබැවින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවක් මෙරට බටහිර උගතුන්ගේ පිළිගැනීමට ලක්වෙයි. එසේ වුවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව ගැන ජනතාවට වාර්තා කිරීමට ඉදිරිපත් වූයේ එකම එක රූපවාහිනි නාළිකාවකි. අනෙක් විද්‍යුත් ජනමාධ්‍ය මෙන් ම මුද්‍රිත මාධ්‍ය ද ඒ වාර්තාව පිළිබඳ නොඇසූ කන් හා නොදුටු ඇස් අතිව සිටියේ ය. සෞඛ්‍ය අමාත්‍යාංශයට වාර්තාව එවා ඇති නමුත් අමාත්‍යාංශය ඒ පිලිබඳ කිසිවක් ස්වේච්ඡාවෙන් කීමට ඉදිරිපත් නො විණි.

රජරට හා අනෙක් පෙදෙස්වල ද පැතිරී ඇති නිදන්ගත වකුගඩු රෝගය පිළිබඳ කණ්ඩායම් කිහිපයක් ම බටහිර විද්‍යාවට අනුව පර්යේෂණ කර තිබිණි. එයට හේතුව කුමක් දැයි ඒ කිසිවකුටවත් කීමට හැකියාවක් නො තිබිණි. බටහිර වෛද්‍ය විද්‍යාවෙහි මේ රෝගය නම්කර තිබුණේ හේතුව නොදත් වකුගඩු රෝගය ලෙස ය. එහෙත් විවිධ කණ්ඩායම් රෝගයට හේතුව ලෙස විවිධ රසායන ද්‍රව්‍ය අනුමාන කර තිබිණි.

කැලණි කණ්ඩායම මේ රෝගය පිළිබඳ කරුණු සෙවීමට පෙළඹුණේ මෙවන් පසුබිමක ය. මේ කණ්ඩයමේ විවිධ පුද්ගලයෝ සිටියෝ ය. කිහිප දෙනෙක් කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට සෘජුව ම සම්බන්ධ වූහ. දෙවියන් (හෝ භූතයන් හෝ) සමග සන්නිවේදනය කළේ ප්‍රියන්තා සේනානායක මහත්මිය ය. ඇය කවුරුන් සමග සන්නිවේදනය කළ ද ඔවුන් මනුෂ්‍යයන් නොවූ බව නම් පැහැදිලි ය. සේනානායක මහත්මිය ලංකාවේ කිසිම විශ්වවිද්‍යාලයකට සෘජුව ම සම්බන්ධ නො වී ය. කණ්ඩායමේ සාමාජිකයන් අතර විශ්වවිද්‍යාලයකට සම්බන්ධ නොවූ බටහිර වෛද්‍යවරු සිටිය හ.

එක් බටහිර වෛද්‍යවරයෙක් පමණක් රජරට විශ්වවිද්‍යාලයට සම්බන්ධ විය. මේ කණ්ඩායමේ නායකත්වය දැරුවේ මා ය. මා කැලණිය විශ්වවිද්‍යාලයෙහි විද්‍යා පීඨයෙහි පීඨාධිපති වීම පර්යේෂණවලට විශේෂ අනුග්‍රහයක් විය. එසේ නොවන්නට පර්යේෂණ ආරම්භ කිරීමටවත් නොහැකි වීමට තිබිණි. වෙනත් විශ්වවිද්‍යාලයක අපේ කණ්ඩායමට කිසිම ඉඩක් නො විණි. කණ්ඩායමේ එක් අයකු පමණක් රජරට විශ්වවිද්‍යාලයේ පරිවාස කථිකාචාර්යවරයකු වීම නිසා අපේ කණ්ඩායම රජරට කැලණි කණ්ඩායම ලෙස හැඳින්වීම නිවැරදි නො වේ. අදාළ රජරට කථිකාචාර්යවරයා ද අවසානයේ දී පර්යේෂණයට එකතු වූයේ කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්‍ෂකයකු ලෙස අදාළ සියළු මණ්ඩලවල අනුමැතියෙන් ලියාපදිංචි වීමෙන් පසුව ය.

කරුණු එසේ තිබිය දී අප කණ්ඩායම රජරට කැලණිය කණ්ඩායම ලෙස හැඳින්වීම කැලණියට ලැබිය යුතු ගෞරවය එයට අහිමි කිරීමකි . පර්යේයෂණය ආරම්භයේ දී ඇතැමුන් රජරට කැලණිය කණ්ඩායම ලෙස අප කණ්ඩායම හැඳින්වීමට උත්සාහ ගත්ත ද පසුව අප කණ්ඩායමට විවිධ පැතිවලින් බැට වදින විට රජරට හැලී ගොස් කැලණිය කණ්ඩායම ලෙස පමණක් අප හැඳින්විණි.

එසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව පිටවීමත් සමග නැවතත් රජරට කැලණි කණ්ඩායම යන නමින් අප හැඳින්වීමට ඇතැමුන් කටයුතු කරනු පෙනෙයි. එ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවේ ආසනික් හා රජරට නිදන්ගත වකුගඩු රෝගය අතර සම්බන්ධයක් ඇති බව ප්‍රකාශ කිරීමෙන් පසුව ය. අප කණ්ඩායමට කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ඇතැම් ආචාර්ය මහාචාර්යවරුන් වරියන්ගෙනගෙන් ලැබුණේ ද ගල්මුල් ය. එහෙත් ඒ සියළු අපහාස, දුක්ඛ දෝමනස්සයන් විඳ දරාගනිමින් මහාචාර්ය ප්‍රියානි පරණගම, මහාචාර්ය මාලා අමරසිංහ, ආචාර්ය උදයකාන්ති වර්ණවීර, ආචාර්ය කිත්සිරි සේනානායක යන මහත්ම මහාත්මීහු පර්යේෂණවල නිරත වූහ. ඒ කිහිප දෙනා හේතුවෙන් හා මේ පර්යේෂණ කෙරුණේ කැලණි විශ්වවිද්‍යාලයේ පර්යේෂණාගාරවල බැවින් අප කණ්ඩායම කැලණි කණ්ඩායම යනුවෙන් හැඳින්වීම නිවැරදි වෙයි.

එසේ වුවත් කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ආචාර්යවරුන්ගෙන් කුහක බහුතරය තවමත් තමන්ට හැකි ආකාරයෙන් කැලණි කණ්ඩායමට අවහිර කරති. කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධියකට ලියා පදිංචි වී අදාළ පර්යේෂණ කළ චන්න ජයසුමන මහතාට උපාධිය දීම වැළැක්වීමට මේ කුහකයෝ දැනට කටයුතු කරති. අවශ්‍ය වුවහොත් එා සියල්ල නමෝ විත්තියෙන් ම කීමට මම සූදානම් ව සිටින්නෙමි. මෙරට විද්‍යාඥයන් විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් ගැන සමස්තයක් ලෙස ගත්කල මට ඇත්තේ පිළිකුළකි. කිසි දිනෙක නව සංකල්පයක් හෝ නව ප්‍රවාදයක් හෝ ඉදිරිපත්කර නොමැති මේ පිරිස බොහෝමයක් අන්‍යයනට අකුල් හෙළන කුහකයෝ වෙති.

අප කණ්ඩායම සාම්ප්‍රදායික බටහිර විද්‍යාඥයන්ගේ කණ්ඩායම්වලින් වෙනස් විය. රජරට නිදන්ගත වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් බව අප දැනගත්තේ ප්‍රියන්තා සේනානායක මහත්මිය මගින් නාථ දෙවියන් හා විපස්සක දෙවියන් යනුවෙන් හැඳින්වෙන ප්‍රාණීන්ගෙනි. ඔවුන්ට අනුව රෝගය පැතිරීම සඳහා කිවුල් ජලය ද, අවශ්‍ය වෙයි. එසේ මනුෂ්‍ය නොවන්නන්ගෙන් දැනුම ලබාගත් අපට අවශ්‍ය වූයේ ඒ දැනුම බටහිර විද්‍යාව අනුව ද සනාථකිරීම ය. එසේ කළේ බටහිර විද්‍යාවේ ඇති ආධිපත්‍යය නිසා හෝ වෙනත් ආනුභාවයක් නිසා හෝ නො වේ. බටහිර විද්‍යාව අනුව ම වක්‍ර ව වුවත් දෙවියන් (හෝ භූතයන්හෝ) සිටින බව පෙන්වීමත් බටහිර විද්‍යාවේ ව්‍යාජ විධික්‍රමය හාස්‍යයට ලක්කිරීමත් කණ්ඩායමේ අන් අයගේ කෙසේ වෙතත් මගේ අරමුණක් විය.

එමෙන් ම මෙරට ආණ්ඩුව ද තීරණ ගැනීමේ දී බලපාන ඉහළ නිලධාරීන් ද ඇතුළු පිරිස බටහිර විද්‍යාවට දණ්ඩ නමස්කාර කරති. ඔවුන්ගෙන් ඇතැමෙක් බටහිර විද්‍යාව හා එහි දර්ශනය හා ඇතැයි කියන විධික්‍රමය පිළිබඳ මළපතේ අකුරක්වත් නොදන්නා නමුත් බටහිර විද්‍යාව සත්‍ය වූ එකම දැනුම ලෙස සලකති. මොවුන්ගෙන් ඇතැමකු බුදුදහම විශ්වාස කරන්නේ ද එය බටහිර විද්‍යාව සමග එකඟවනනේ ය යන පදනමිනි.

එවැනි ප්‍රාථමික දැනුමක් සහිත වුවත් තීරණ ගැනීමේ දී ඔවුන් බලපාන බැවි්න් ඔවුන් ඉදිරියේ ආසනික් පිළිබඳ දැනුම බහිර විද්‍යාව මගින් ද සනාථ කිරීමේ අවශ්‍යතාව අපට විය. එබැවින් ආසනික් පිලිබඳ පර්යේෂණ කැලණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණාගාරවල දී එහි උපකරණ යොදා ගනිමින් පර්යේෂණ සහායකයන්ගේ ආධාරය ද ලබාගනිමින් ආරම්භ කළෙමු. ඉතා වෙහෙස මහන්සියෙන් කරන ලද පරයේෂණවල ප්‍රතිඵලයක් ලෙස අදාළ ප්‍රදේශවලින් ලබාගත් විවිධ නියැදිවල ආසනික් ඇති බව අපට පැහැදිලි විය.

මෙහි දී කිවයුතු ප්‍රධාන කරුණක් වෙයි. අපට ආසනික් පිළිබඳ දැනුම ලැබුණේ මේ පර්යේඃණවලින් නො වේ. ඒ දැනුම අපට ලැබුණේ ප්‍රියන්තා සේනානායක මහත්මිය මගින් දෙවියන්ගෙන් ය. එහෙත් ඒ ප්‍රාණීන් දෙවියන් ද භූතයන් ද යන්න පිළිබඳ ව ප්‍රශ්න ඇත. අපි ඔවුන් නාථ දෙවියන් හා විපස්සක දෙවියන් ලෙස හඳුන්වමු. එහෙත් මේ නාථ දෙවියන් මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ යැයි මම විශ්වාස නොකරමි. එතුමා යම් දිනෙක බුදුබව ප්‍රාර්ථනා කරන්නකු විය හැකි ය.

කෙසේ වෙතත් ප්‍රියන්තා සේනානායක මහත්මියට බටහිර හෝ සිංහල හෝ වෛද්‍ය විද්‍යාව ගැන කිසිම දැනුමක් නො තිබිණි. ඇය බටහිර සත්ත්ව විද්‍යාව හදාරා ඇති නමුත් බටහිර රසායනික විද්‍යාව පිළිබඳ විශේෂිත දැනුමක් ඇති තැනැත්තියක් නො වූවා ය. එබැවින් කිවුල් ජලයේ ලවණ තුළ ආසනික් සැඟවී සිටින ආකාරය ගැන කීමට හෝ නිදන්ගත වකුගඩු රෝගයට හේතු ආසනික්, කිවුල් ජලය හා කුඹුරු පස යැයි කීමට තරම් දැනුමක් ඇය තම ආකෘතික හෝ අනාකෘතික හෝ අධ්‍යාපනයෙන් ලබා නො තිබිණි.

එබැවින් ඒ කරුණු සම්බන්ධයෙන් ඇය ප්‍රකාශ කළේ මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් ඇය ලත් දැනුමකි. මේ අපේ සංස්කෘතියේ මෙන් ම වෙනත් පැරණි සංස්කෘතීන්හි ද දැනුම ලබාගත් ක්‍රමයක් විය. සිංහල බෞද්ධ සංස්කෘතිය තමන්ගේ හෝ තමන්ගේ ගෞරවයට විශ්වාසයට පාත්‍රවන අයගේ ප්‍රත්‍යක්‍ෂ දැනුම මත පදනම් වෙයි. නාථ හා විපස්සක දෙවියන් යනුවෙන් හැඳින්වෙන්නේ කවුරුන් වුව ද ඔවුන්ගේ ප්‍රත්‍යක්‍ෂ දැනුම පිලිබඳ මට අවිශ්වාසයක් නැත. ඔවුන්ගේ දැනුම මත පදනම් වී මා සුවපත් වූ අවස්ථා කිහිපයක් වෙයි.

අපි සාම්ප්‍රාදියක ව්‍යාජ විද්‍යාඥයන්ගෙන් අපේ ප්‍රතිඵල ප්‍රකාශ කිරීමේ දී ද වෙනස් වූයෙමු. සාම්ප්‍රාදායික ක්‍රමය අනුව ප්‍රතිඵල ප්‍රකාශ කළ යුත්තේ ඊනියා පර්යේෂණ පත්‍රිකා මගිනි. එහෙත් අපි එසේ නො කළෙමු. අපි කෙලින් ම ප්‍රතිඵල ජනතාවට හා ආණ්ඩුවට දැනගැනීමට සැලැස්වූයෙමු. එයට ප්‍රධාන හේතුව වූයේ වකුගඩු රෝගය හේතුවෙන් විශාල පිරිසක් මිය යෑම ය. ඔවුන්ට ඉක්මන් සුවයක් ලබාදිය යුතුව තිබිණි. ඊනියා පත්‍රිකා ඔස්සේ දැනුම ලබාදීමට කාලයක් ගත වෙයි. අනෙක් අතට ඒ පත්‍රිකා මගින් දැනුම ලබාදුන්න ද එහි සත්‍යාසත්‍යභාවය ඉන් තහචුරු නොවෙයි. නේචර් සයන්ස් ආදී ප්‍රධාන සඟරාවල ද පළවන පත්‍රිකාවල අන්තර්ගත දැනුමෙන් ද ඉතා විශාල ප්‍රමාණයක් වැරදි බව පසුව හෙළි වෙයි. ඒ වෙනත් විද්‍යාඥයන් ද ඒ පත්‍රිකා සමාලෝචනය කිරීමෙන් පසුව ය. (මතු සම්බන්ධයි)

Sunday, 24 March 2013

බටහිර විද්‍යාව, ආසනික් සහ දෙවියෝ - හඬ ගොණු













සිංහල බෞද්ධයන්ට ඉදිරි දර්ශනයක් නෑ - II

සිංහල බෞද්ධයනට ඉදිරි දර්ශනයක් නොමැතිවීම පිළිබඳ වගකිවයුත්තෝ මෙරට උගත්තු වෙති. සිංහල බෞද්ධයන් සිතන පතන ආකාරය ගැන අධ්‍යයනයක් කර බටහිර දැනුමට අභියෝගයක් වනසේ දැනුම් පද්ධතියක් නිර්මාණය නොකර ඔවුහු විවිධ බටහිර දැනුම් අනුකරණය කළහ. මෙය නවකතාව හා කෙටිකතාව ඇතුළු සිංහල සාහිත්‍යයෙහි ද බෞද්ධ දර්ශනයෙහි ද බටහිර මානව ශාස්ත්‍රවල ද සමාජ විද්‍යාවන්හි ද ස්වාභාවික විද්‍යාවන්හි දී ද ඉංජිනේරු ශිල්පයෙහි හා වෛද්‍යවිද්‍යාවෙහි ද ආදී වශයෙන් දැකගත හැකි ය. බටහිර දැනුම හැකිනම් සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය කරනු වෙනුවට සිංහල උගත්තු ඒ දැනුම ගෙඩිය පිටින් අනුකරණය කළහ. එහි තවත් පැත්තක් ද විය. බුදුදහම බටහිරයන්ට අවශ්‍ය කරන අන්දමෙන් විවරණය කිරීමේ ප්‍රයත්නයක් ද විය…. බෞද්ධ උගතුන් පශ්චාත් උපාධි ලබාගැනීම සඳහා බොහෝ විට ගියේ එංගලන්තයේ විශ්වවිද්‍යාලවලට ය. එහි දී ඔවුන්ට ඉංගිරිසි ක්‍රිස්තියානි විශ්වවිද්‍යාලවල සම්ප්‍රදාය අනුගමනය කිරීමට සිදු විය. බුදුදහම ඊනියා ගුඩු දහමක් නො වේ යැයි බටහිර උගතුන්ට පෙන්වා තමන් ද ඊනියා යථාර්ථවාදී විද්‍යාත්මක චින්තනයක් ඇති පිරිසක් ය යන්න බටහිරට හඬනගා කීම ඔවුන්ගේ අරමුණක් විය. බුදුදහම විද්‍යාත්මක යැයි කීමට පෙරට පැමිණියෝ ද ඔවුහු සහ බෞද්ධ විද්‍යාඥයෝ වූහ. කාලාම සූත්‍රයෙහි ඊනියා විද්‍යාත්මක චින්තනය ගැබ් වී ඇතැයි කීවෝ ද ඔවුහු ම ය. ජාතක කතාව බටහිර කෙටිකතාවේ යථාර්ථවාදී රීතියෙන් ලියැවී ඇති බවට බොරු බේගල් පතුරවනු ලැබුවේ ද ඔවුන් විසින් ම ය. ඈරිස්ටෝටලීය න්‍යාය හා යථාර්ථවාදය නිරපේක්‍ෂකත්වය හා බටහිර විද්‍යාව ඇසින් බැලූකල නිවන ගුඩු දහමකි. අප එය එසේ නො වේ යැයි කීමට බියවිය යුතු නො වේ. නිවන වචනයෙන් පැවසිය හැකි නො වේ. කිසියම් අයකු අපට ද නිවන් අවබෝධ කරගැනීමට හැකිවන අයුරින් නිවන අර්ථදක්වන්නේ නම් ඒ පිනම නිවන් දැකීමට ප්‍රමාණවත් වන්නේ යැයි සිතමි. බුදුන් වහන්සේ නිවන යනු මේ යැයි පවසා ඇත්තේ කිනම් සූත්‍රයක ද? බුදුදහම යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට එකඟ යැයි පැවසීම නිවට කමකි.

අද ලෝකයේ ඇත්තේ චින්තන තුනක් අතර සටනකි. ඒ බටහිරයන්ගේ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයත්, මුස්ලිම් චින්තනයත්, ග්‍රීක ඕතොඩොක්ස් චින්තනයත් ය. ඉන්දියාව හා චීනය බටහිර චින්තනය අනුගමනය කරයි. අද රුසියාවේ ඇත්තේ තුන්වැනි චින්තනය ය. මේ චින්තනය ගසා කෑ කතෝලික චින්තනයේ මාක්ස්වාදය (නිරවුල් ව කිවහොත් ලෙනින් සැටැලින් වාදය) රුසියාවේත් පසුව නැගෙනහිර යුරෝපයේ ග්‍රීක ඕතොඩොක්ස් සංස්කෘතියේ රටවලත් ස්ටැලින්වාදී සමාජවාදයක් ගොඩනැගීමට උත්සාහ කළේ ය. කතෝලික චින්තනය මත පදනම් ව ෆැසිස්ට් රාජ්‍යයක් බිහිකළ හිට්ලර්ගේ පරාජයෙන් පසු පාප්තුමා ද ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි සිරකරුවෙක් විය. ඔහු අද මු්‍රළුමනින් ම සේවය කරන්නේ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට ය. පෝලන්ත ජාතිකයකු පාප් පදවියට පත්කරගත් බටහිරයෝ වැවෙන්සා මගින් පාප්තුමාගේ පිහිටෙන් පෝලන්තයේ ලෙනින් ස්ටැලින් වාදය පරාජය කළහ. ඒ ක්‍රියාදාමය අවසන් වූයේ බර්ලින් තාප්පය කඩාවැටීමෙනි. අද රුසියාවේ ඇත්තේ බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට විරුද්ධ එහෙත් එතරම් ශක්තියක් නැති ග්‍රීක ඕතොඩොක්ස් චින්තනයේ රාජ්‍යයකි. බටහිරයන්ට එරෙහිව ප්‍රබල සටනක් කිරීමට හැකියාව ඇත්තේ මුස්ලිම් චින්තනයට ය. එහෙත් මේ අතර ථෙරවාදී බෞද්ධ චින්තනය ද වෙයි. එවැනි රටවල්වලින් බටහිරයන්ට ඇත්තේ යුදමය තර්ජනයක් නොව ආධ්‍යාත්මික විකල්පයකි. පසුගිය අවුරුදු පන්සියයක කාලයක් තිස්සේ මේ රටවල් බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙන් බැට කා ඇත. පොල්පොට් සහ මියන්මාර හමුදා නිලධාරීන් පිළිවෙළින් කම්පූචියාවේ හා මියන්මාරයේ බෞද්ධ රාජ්‍ය පිහිටුවීමට වෑයම් කළ මුත් ඔවුන්ට පැහැදිලි දර්ශනයක් හා දැනුමක් නොමැතිවීම හේතුකොටගෙන බටහිරයන්ට ඔවුන් පරාජය කිරීමට හැකි විය. අද යමක් කළ හැකි ථෙරවාද බෞද්ධ රටවල්වලින් ඉතිරි වී ඇත්තේ ලංකාව පමණ ය. එහෙත් මෙරට අනුකාරක බෞද්ධ උගතුන් සමගින් බටහිරයන් පරාජය කිරීමට නො හැකි ය.

ලංකාව සිංහල බෞද්ධ රටක් වන්නේ නාමිකව ය. මෙරට සංස්කෘතිය යුදෙවු ක්‍රිස්තියානි ය. දහසය වැනි බෙනඩික්ට් පාප්තුමා මේ මස අවසානයේ දී පාප් පදවියෙන් ඉල්ලා අස්වෙයි. එසේ පාප්තුමකු පදවියෙන් ඉල්ලා අස්වන්නේ අවුරුදු හයසියයකට පමණ පසුව යැයි කියැවෙයි. මේ හුදෙක් සෞඛ්‍ය හේතු නිසා කරන ඉල්ලා අස්වීමක් යැයි සිතීමට අපි මැළිවෙමු. මෙය පිටුපස සංස්කෘතික සටන වේ යැයි අපි සිතමු. ග්‍රීක් ඕතොඩොක්ස් චින්තනය, මුස්ලිම් චින්තනය හා ආයුධ ශක්තියක් නැති බෞද්ධ චින්තනය පරාජය කිරීමට නව පාප්තුමා යෙදා ගැනීමට බටහිරයෝ බලාපොරොත්තු වෙති. වර්තමානයෙහි බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙහි වඩාත් ම ප්‍රබල ව ක්‍රියාත්මක වන්නේ සංස්කෘතික සංරචකය ය. ආර්ථික හා දේශපාලනික සංරචක අන්‍යොන්‍ය වශයෙන් බහිෂ්කාර (ස්වායත්ත) නොවූව ද සංස්කෘතික සංරචකය අද ශක්තිමත් ය. අද බටහිරයන්ට තර්ජනයක් එල්ලවිය හැකි එකම ථෙරවාද බෞද්ධ රට බවට පත් වී සිටින ලංකාවේ සිංහල බෞද්ධ විරෝධී අරගල විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වෙයි. චැනල් ෆෝ, මානව හිමිකම් කොමිසම ආදිය සංස්කෘතික සංරචකයේ උපකරණ වෙයි. අප ඔවුන් නොසලකා හැරිය යුතු ය. මාර්තු මාසයේ දී ඇමතිවරුන් ජෙනීවා නොගොස් නිලධාරීන් පමණක් යවන්නේ නම් එය අගය කළ යුතු ය. රනිල් වික්‍රමසිංහ කිසි දිනෙක මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියේ හිතවතකු නො වී ය. ඔහු හලාල් ප්‍රශ්නයෙහි දී සිිංහල බෞද්ධ ස්ථාවරයක් ගැනීමට වෑයම් කළේ පිරිසිදු චේතනාවකින් නම් විය නො හැකි ය. ඔහු අගමැතිව සිටිය දී පෘතුගීසීන් පැමිණීමේ පන්සියවැනි සංවත්සරය උත්සව ශ්‍රීයෙන් සැමරීමට යෝජනා කළේ ය. එයට පළමු ඔහු අගමැති ධුරයෙන් ඉවත්කිරීමට සිංහල බෞද්ධයෝ සමත්වූහ. පසුගිය බ්‍රහස්පතින්දා ඔහුගේ යෝජනාවක් අනුව ලංකාවේ පාර්ලිමේන්තුව අස්ව යන පාප්තුමාගේ ගුණ සැමරී ය. මෙරටට මහඟු සේවාවන් කර අපවත්වූ භික්‍ෂූන් වහන්සේලා කී නමකගේ ගුණ සිංහල බෞද්ධ යැයි කියන රටේ පාර්ලිමේන්තුවේ සමරා ඇත් ද? එහෙත් මට එයටත් වඩා ප්‍රශ්නයක් ඇත. නව පාප්තුමාට සුබ පැතීමට පාර්ලිමේන්තුව රැස්වේවි ද? සිංහල බෞද්ධයන් මේ කරන්නේ තම වළ තමන් ම කපා ගැනීම ද? පෝලන්තයේ සිදු වූ දේ මෙරට ද සිදු වීමට ඉඩක් ඇද්ද?

හලාල් ප්‍රශ්නය ඇතිවූයේ බටහිර ක්‍රිස්තියානි –- මුස්ලිම් සංස්කෘතියේ ගැටුම නිසා ය. අප ගිය සතියේ ද කී පරිදි මෙරට ආහාර ප්‍රතිපත්තිය යුදෙව් ක්‍රිස්තියානි ය. බටහිර ආධිපත්‍යයෙන් අපි ජීවන රටාව ද වෙනස් කර ගත්තෙමු. අද මුස්ලිම් සංස්කෘතිය මුළු ලෝකයේ ම බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට අභියෝග කරයි. හලාල් නිෂ්පාදන පරිභෝජනය කිරීමට මුස්ලිමුන් පෙළඹෙන්නේ එබැවිනි. ඒ ගැන අපට ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රශ්නයක් නැත. අපට ප්‍රශ්නය වනුයේ හලාල් භාණ්ඩ මුස්ලිම් නොවන්නන්ට ද පරිභෝජනය කිරීමට බල කිරීම ය. මේ ප්‍රශ්නය හින්දු, කතෝලික, ක්‍රිස්තියානි භක්තියනට ද බලපාන නමුත් බෞද්ධයන් පමණක් ඉදිරිපත් වූයේ ඇයි ද යන්න ප්‍රශ්නයකි. බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය බළලුන් ලවා කොස් ඇට බා ගැනීමේ ක්‍රියාවක් අනුගමනය කළේ ද? ඒ කුමක් වුවත් ප්‍රශ්නයට පිළිතුර පෙබරවාරි 10 වැනි දා ඉරිදා දිවයිනෙන් ද පෙබරවාරි 20 වැනි දා අයිලන්ඩ් පූවත්පතෙන් ද ඉදිරිපත් කළෙමු. හලාල් භාණ්ඩ පරිභෝජනය කිරීමට මුස්ලිමුන්ට අවශ්‍ය නම් ඔවුන් කළ යුත්තේ අදාළ නිෂ්පාදකයන් සමග සාකච්ඡා කර භාණ්ඩවලින් යම් ප්‍රතිශතයක් (මුස්ලිම් ජන අනුපාතය හා පරිභෝජනය සලකමින්) පමණක් හලාල් ක්‍රමයට නිෂ්පාදනය කර හලාල් සහතිකය සමගින් නිකුත්කිරීමට වගබලාගැනීම ය. එහි දී ආණ්ඩුව සහතික නිකුත් කිරීමට මැදිහත් නොවිය යුතු ය. ආණ්ඩුව මැදිහත් විය යුත්තේ බෞද්ධ ආහාර ප්‍රතිපත්තියක් සකස් කර ගැනීමට ය. අප පෙබරවාරි 10වැනි දා කී පරිදි “එසේ වුවත් හලාල් නොවන භාණ්ඩ පරිභෝජනය කිරීමට මෙරට සිංහල බෞද්ධයනට පමණක් නොව දෙමළ හින්දුන්ට ද කතෝලිකයන්ට ද ක්‍රිස්තියානින්ට ද ඉඩ තිබිය යුතු ය.” මෙය හුදෙක් උලමාවරුන්ගේ කරුණාව නිසා සිදුවිය යුත්තක් නොවේ.

සංස්කෘතික වශයෙන් ද තවත් වැදගත් කරුණක්් වන්නේ ආසනික් ය. ආසනික් සම්බන්ධයෙන් කැලණි විශ්වවිද්‍යාලයීය කණ්ඩායම දිගින් දිගට ම කී දේ දැන් තහවුරු වෙමින් පවතියි. ලෝක සෞඛ්‍ය සංවිධානය සෞඛ්‍ය අමාත්‍යාංශයට එවන ලද තම අවසන් වාර්තාවෙන් රජරට හා අනෙක් පෙදෙස්වල නිදන්ගත වකුගඩු රෝගය හා ආසනික් අතර ඇති සම්බන්ධය හෙළිදරවු කරයි. මෙහි දී සජිත් ප්‍රේමදාස මහතා දේශපාලන වාසි සඳහා ආසනික් සම්බන්ධයෙන් රජයට එරෙහිව කරන කතා අපි ප්‍රතික්‍ෂේප කරමු. රෝසි සජිත් දයාසිරි කණ්ඩායම අපට දැනුම ලැබුණු ආකාරය පිළිගන්නේ ද? ආසනික් හෙළිදරවුවේ දී වැදගත් ම කාර්යයන් කළේ ප්‍රියන්තා සේනානායක මහත්මිය හා මහාචාර්ය ප්‍රියානි පරණගම මහත්මිය ය. සේනානායක මහත්මිය නොවන්නට අපට ආසනික් පිළිබඳ දැනුම නාථ හා විපස්සක දෙවිවරුන්ගෙන් (ඔවුන් කවුරුන් වුවත්) නොලැබෙනු ඇත. එයටත් වඩා පරණගම මහත්මිය අපහාස බාධක හමුවේ කරන ලද පර්යේෂණ නොවන්නට බටහිර විද්‍යාවට අනුව ආසනික් ඇති බව පෙන්වීමට නොහැකි වනු ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය ගැන මගේ ගෞරවයක් නැතිවුවත් දෙවිවරුන්ගෙන් ලත් දැනුම ඔවුන් ලවා ද සනාථ කරවීමට ලැබීම ගැන මම සතුටු වෙමි. පරණගම මහත්මිය කවදා නමුත් ජාතික සම්මානයක් ලැබිය යුතු ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවෙන් පසු දෙවියන් භූතයන් ඇති බව කසිකබල් ද්‍රව්‍යවාදීන්ට ද පිළිගැනීමට සිදුවෙයි. එහෙත් එක් රූපවාහිනී නාළිකාවක් හැර අනෙක් මාධ්‍ය වාර්තාවක් නැති අයුරෙන් කටයුතු කළේ ය. වාර්තාවට ප්‍රසිද්ධියක් දුන් නාළිකාව අතුරලියේ රතන හාමුදුරුවන්ට ප්‍රසිද්ධිය දෙමින් උන්වහන්සේ ලවා තමන්ට සහතිකයක් නිකුත්කර ගැනීමට කටයුතු කළේ ය. සියල්ලන්ට කැලණිය අමතක විය. එක් දේශපාලන පක්‍ෂයක වෙබ් අඩවිය ජයසුමන මහතාගේ ප්‍රකාශයක් මත පදනම් වන්නේ යැයි කිියමින් සේනානායක මහත්මියගේ ද පරණගම මහත්මියගේ ද සේවය නොතකා හැරියේ ය. ඔවුහු කැලණි රජරට කණ්ඩායමක් ගැන කතා කළෝ ය. රජරට ජයසුමන මහතා පරීක්‍ෂණයට සම්බන්ධවන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්‍ෂකයකු ලෙස ය. ඔහුට අකුල් හෙළන කුහක ඇදුරන්ට මුහුණ දීමට සිදු වී ඇත්තේ ද පරණගම මහත්මියට ය. ඒ කුමක් වුවත් අපට වැදගත් කමක් නැති වුවත් ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවෙන් ආණ්ඩුවට කෘෂිරසායන සම්බන්ධයෙන් කෙටිකාලීන පියවර ගැනීමටත් දිරඝකාලීනව කෘෂිරසායන තහනම් කිරීමටත් බලකෙරෙයි. වකුගඩු රෝගයෙන් මිනිසුන් මියයද්දී ආණ්ඩුවට කෘෂිරසායන සමාගම්වලට යටවීමට ඉඩ දිය නො හැකි ය.

(2013/02/24)

Monday, 18 March 2013

ආසනික් සටන

බටහිර විද්‍යාව, ආසනික් හා දෙවියෝ පොත පිළිබඳ සම්මන්ත්‍රණයක් එය නිකුත් වී මාස පහකට පමණ පසුව පසුගිය බදාදා පැවැත්විණි. එහි දී මතු වූ හා මතු නොවූ කරුණු කිහිපයක් පිළිබඳ ව සඳහන් කිරීමට සිංහල බෞද්ධයන්ට ඉදිරි දර්ශනයක් නෑ යනුවෙන් පළවන ලිපි පෙළට තාවකාලිකව සමු දීමට සිදුවෙයි. පොතෙහි තේමාව වනුයේ දැනුම නිර්මාණය කිරීම ය. බොහෝ දෙනා තවමත් තේරුම් නොගත්තත් අද බටහිර ක්‍රිස්තියානි නූතනත්ව දැනුම ලෝකයේ ආධිපත්‍යය දරන අතර බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය තවමත් ලෝ පුරා පවත්වාගෙන යෑමට එම දැනුම, එනම් පසුගිය සියවස් පහක පමණ කාලයක බටහිර නිර්මාණය කෙරී ඇති දැනුම, යොදා ගැනෙයි. බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම් ආධිපත්‍යය තහවුරු කිරීමට යොදාගන්නා තවත් බටහිර දැනුමක් වනුයේ බටහිර ඥානවිභාගය ය. එහි ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමයක් ගැන සඳහන් වෙයි. එවැනි විධික්‍රමයක් නැති බව බටහිර ම දාර්ශනිකයකු වූ ෆෙයරාබන්ඩ් විද්වතා පෙන්වා දී ඇත. එහෙත් උක්ත කෘතියෙහි සඳහන් වන්නේ ෆෙයරාබන්ඩ්, කූන් ආදී විද්වතුන් විසින් සඳහන් කර ඇති ඇතැම් කරුණු පමණක් නො වේ. මා විසින් සිංහල බෞද්ධ චින්තනයක නිර්මාණය කෙරී ඇති දැනුම් ද වෙයි. සම්මන්ත්‍රණයෙහි දී කියැවුණු එක් අදහසක් වූයේ පොතෙහි සඳහන් වනුයේ බටහිර විද්‍යාවේ සීමා ගැන බව ය. එහෙත් එය එසේ නො වේ. අපට වැදගත් වනුයේ බටහිර විද්‍යාවේ දර්ශනය ය. එහි ආධිපත්‍ය ය. එය බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය පැතිරවීමේ දී හා තහවුරු කිරීමේ දී සිදුකරන කාර්යභාරය ය. බටහිර විද්‍යාවේ ආරම්භය ගැලීලියෝ හා නිවුටන් කරා දිවයන නමුත්, එයට පදනම් වූ චින්තනය, එනම් ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චි්න්තනය ඇරඹුණේ පහළොස්වැනි සියවස අගභාගයේ දී ය. මුළු ලෝකයම අගාධයට යොමුකර ඇති මේ චින්තනයට විකල්ප ව ඇත්තේ චින්තන දෙකක් පමණ ය. එකක් මුස්ලිම් චින්තනය ය. අනෙක ථෙරවාද බෞද්ධ චින්තනය ය. මුස්ලිම් චින්තනය ආක්‍රමණශීලීව බටහිර ක්‍රිස්තියානි චින්තනයට අභියෝග කරයි. ෂර්යා නීතිය බටහිර රටවල ද ක්‍රියාත්මක කරවීමට බලපෑම් වෙයි. හලාල් භාණ්ඩ අද ලෝ පුරා ව්‍යාප්ත කිරීමට උත්සාහ කෙරෙන්නේ ද බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය හා යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය මත පදනම් වූ ලෝක ආහාර හා වෙළෙඳ ප්‍රතිපත්තිය පරාජය කිරීමට ය. මෙරට සිංහල බෞද්ධ රටකි. මේ රටෙහි මූලික වශයෙන් තිබිය යුත්තේ බෞද්ධ ආහාර ප්‍රතිපත්තියකි. එහෙත් චිකන් හෙවත් කුකුල් මස් නොමැතිව භික්‍ෂූන් වහන්සේලාට දානය දීමටවත් නොහැකි රටක දානය වළඳා හාමුදුරුවන් පන්සලට වැඩම කිරීමටත් පෙර නිවසෙහි සුරාව රජයන රටක මොන බෞද්ධ ආහාර ප්‍රතිපත්තියක් ද? අපේ වත්මන් ආහාර ප්‍රතිපත්තිය බටහිර යුදෙවු ක්‍රිස්තියානි ය. හලාල් සහතිකය පිටුපස සිටින උල්ලමාවරුන්ට අවශ්‍ය වනුයේ මුස්ලිම් ආහාර (භාණ්ඩ) ප්‍රතිපත්තියක් ලංකාවෙහි ද ක්‍රියාත්මක කිරීමට ය. එහෙත් මෙහි දී එයට විරුද්ධ වන්නේ බෞද්ධයන් පමණක් වීම තරමක් ගැටළු සහගත ය. ක්‍රිස්තියානීන්ගෙන් හෝ හින්දුන්ගෙන් හෝ විරුද්ධත්වයක් පැන නැගී නැත්තේ ඇයි? ලෝක ව්‍යාප්ත යුදෙවු ක්‍රිස්තියානි –- මුස්ලිම් ගැටුමේ එක් අංගයක් පමණක් වූ හලාල් භාණ්ඩ ව්‍යාපෘතියෙහි දී ලංකාවේ දී ක්‍රිස්තියානි පල්ලිය නිහඬ වන්නේ ඔවුන්ට අවශ්‍ය කාර්යය බෞද්ධයන් සිදුකරන බැවින් ද?

අප තේරුම් නොගත්ත ද බටහිරයෝ ථෙරවාදී රටවල් විනාශ කිරීමට කටයුතු කරති. තායිලන්තය හෙවත් සියමි රට නිල නොවන වශයෙන් ඇමරිකානු යටත්විජිතයකි. ලාඕසය ගැන කතාකිරීමටවත් දෙයක් නැත. කම්පූචියාව පොල්පොට්ගේ ඉක්මන් ක්‍රියාකාරීත්වය හේතුකොටගෙන බටහිරයන් විසින් පරාජය කෙරිණි. මියන්මාරය හමුදා නිලධාරීන්ට පැහැදිලි ක්‍රියාමාර්ගයක් නොතිබීම හේතුවෙන් අවුං සාන් සුකී හරහා යටකර ගැනීමට බටහිරයන්ට හැකිවිය. අද නමට වුවත් ඉතිරි වී ඇත්තේ ලංකාව ය. අපට ලංකාවෙහි බටහිර ක්‍රිස්තියානි නූතනත්ව මතවාද පරාජය කිරීමට හැකි වී තිබේ. ලංකාවට සුදුසු ආහාර ප්‍රතිපත්තියක් සකස් කරගත හැක්කේ සඟ වෙද ගුරු ගොවි රණවිරු පංච මහා බලවේගය මගිනි. එනම් එය කළ හැක්කේ පනස්හයේ දරුවන්ට ය. අපේ ආහාර ප්‍රතිපත්තිය අපේ දැනුම මත පදනම් විය යුතු ය. සිංහල ගොවිකම, සිංහල (ආයුර්වේද නොවේ) වෙදකම පදනම් කරගත් දැනුමක් මත අපේ ආහාර ප්‍රතිපත්තිය පදනම් විය යුූතු ය. සිංහල කලාව ද සිංහල ගොවිකම ද සිංහල වෙදකම ද අද නොසලකා හැරෙන්නේ පොදුවේ සිංහල බෞද්ධ දැනුම ප්‍රතික්‍ෂෙප කෙරෙමිනි. අපට බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ මතවාද පරාජය කිරීමට හැකිවූයේ බටහිර වියුක්ත ප්‍රවාද හෙවත් කතන්දර ගෙතීම මත ම පදනම් වෙමිනි. එය අපේ ක්‍රමයක් නො වේ. එහෙත් පෘතුගීසීන් පරාජය කිරීමට ඔවුන්ගේ තුවක්කු අධ්‍යයනය කර වඩාත් හොඳ තුවක්කු නිෂ්පාදනය කළ අපේ මුතුන්මිත්තන් අනුගමනය කරමින් අපි බටහිර වියුක්ත ප්‍රවාද අනුව යමින් වඩාත් හොඳ ප්‍රවාද නිර්මාණය කළෙමු. බටහිර විද්‍යාව පට්ටපල් බොරුවකි. එහි ඇත්තේ උද්ගමනය (මෙය බේකන්ගේ උද්ගමනය නොවේ) හා ප්‍රවාද නමින් හැඳින්වෙන කතන්දර හෙවත් පට්ටපල් බොරු බව තහවුරු කිරීමට අපට පසුගිය සතියේ දී ඉහත සඳහන් සම්මන්ත්‍රණයෙහි දී ද රූපවාහිනී සාකච්ඡාවක දී ද හැකිවිය. අපට දැනුම ලබාගැනීමේ වෙනත් ක්‍රම ඇත. අපේ සංස්කෘතියෙහි අපි දෙවියන්ගෙන් හා භූතයන්ගෙන් ද දැනුම ලබාගනිමු. බටහිරයෝ හා ඔවුන්ගේ ගැත්තෝ ඒ දැනුම මිථ්‍යාවක් යැයි කියති. ආසනික් සටන දෙවියන්ගෙන් (භූතයන්ගෙන්) ලබාගත් දැනුම තහවුරු කිරීම සඳහා තැබූ ප්‍රධාන පියවරක් විය. 

රජරට නිදන්ගත වකුගඩු රෝගයට හේතුව කුමක්දැයි බටහිර වෛද්‍ය විද්‍යාවෙහි නො කියැවෙයි. එහි එයට ප්‍රතිකාර ද නැත. දින දෙකකට එක් රෝගියකු මරණයට පත්වෙයි. මේ පිළිබඳ මගේ අවධානය යොමු කළේ රජරට විශ්වවිද්‍යාලයෙහි වෛද්‍ය පීඨයෙහි කථිකාචාර්යවරයකු වූ වෛද්‍ය චන්න ජයසුමන මහතා ය. ඒ වන විටත් අධිමානුෂික දැනුම ගැන සාර්ථක අත්දැකීම් ලබා සිටි මම ඔහු පිට්ටුගල ප්‍රියන්තා සේනානායක මහත්මිය වෙත යොමු කළෙමි. එහි දී ඇය ඔස්සේ අපට දැනගැනීමට හැකිවූයේ රජරට හා අනෙක් පෙදෙස්වල නිදන්ගත වකුගඩු රෝගයට හේතුව කෘෂිරසායන මගින් එකතුවන ආසනික් රසදිය හා සයනයිඩ් ද, ඒ ප්‍රදේශවල ඇති කුඹුරු පස ද, කිවුල් ජලය ද බව ය. අපට අවශ්‍ය වූයේ මේ හේතු බටහිර විද්‍යාව මගින් ද තහවුරු කිරීමට ය. ජයසුමන මහතා ඒ සඳහා මහාචාර්ය ප්‍රියානි පරණගම මහත්මිය යටතේ, පශ්චාත් උපාධියක් සඳහා වූ නිර්ණායක සපුරා අදාළ සියළු මණ්ඩලවල අනුමැතියෙන් ලියාපදිංචි විය. ඒ සමග මහාචාර්ය මාලා අමරසිංහ මහත්මියගේ ද සහභාගීත්වයෙන් කරන ලද පර්යේෂණවලින් කෘෂිරසායනවල ද ජලයේ ද, ශාකවල ද ආසනික් බැර ලෝහය අඩංගු බව තහවුරු විණි. ඒ බව අපි වහාම ජනතාවට කීවෙමු. ඊනියා පත්‍රිකා ගැන මගේ විශ්වාසයක් නැත. නේචර් සඟරාවේ ද පළවෙන පත්‍රිකාවල අඩංගු කරුණු පසුව වැරදි බව පෙනී ගොස් ඇත. අපට අවශ්‍ය වූයේ හැකි ඉක්මණින් මේ පිළිබඳ තොරතුරු ආණ්ඩුවට හා ජනතාවට කීමට ය. එහෙත් මෙරට කසිකබල් විද්‍යාඥයෝ හා විද්‍යාඥවරියෝ අපට විරුද්ධවූහ. මේ ඇතැමෙක් ජාත්‍යන්තර සංවිධාන මගින් ලබාගත් ඩොලර් ලක්‍ෂ ගණනින් වියදම් කර කැඩ්මියම්, ෆ්ලෝරයිඩ් ආදී රසායන ද්‍රව්‍ය ගැන කතාකළහ. ආසනික් ගැන කීමෙන් ඔවුහු භූමිතෙල් ගෑවුණු ගැරඬින් මෙන් ක්‍රියාකළහ. කැලණි විශ්වවිිද්‍යාලයෙහි අදාළ උපකරණ කැඩී ඇතැයි ඔවුහු කීහ. අප කණ්ඩායම පර්යෙෂණ නොකළ බවත් දෙවියන් කී දෙයක් පමණක් කියන බවත් කීහ. එක් මහාචාර්යවරියක් එහි දී සැපින්නක මෙන් ක්‍රියාකළාය. ඇගේ මහාචාර්ය සැමියා අපට පිස්සු යැයි වෙනත් සරසවියක තම පීඨයේ නවක ශිෂ්‍යයන්ට කීවේ ය. ඉංජිනේරු විද්‍යාවෙන් ද සමාජ විද්‍යාවෙන් ද තුන්වැනි පංතියේ උපාධි ලබා මහා පඬියකු බව පෙන්වීමට තැත්කරන ප්‍රෝඩාකරුවෙක් විද්‍යාභිවර්ධන සංගමය මගින් මට විරුද්ධව ප්‍රකාශයක් නිකුත් කළේ ය. ජීවිතයට නව සංකල්පයක් ප්‍රවාදයක් ගොඩනගා නැති ඊනියා ප්‍රභූ විද්‍යාඥයන්ගෙන් සමන්විත ජාතික විද්‍යා ඇකඩමිය මට විරුද්ධව ප්‍රකාශ නිකුත් කළේ ය. අප ඊනියා විද්‍යාත්මක විධික්‍රමය අනුගමනය කර නැතැයි කීහ. මහාචාර්ය යුවළ අපට විරුද්ධව ඇමතිවරුන්ට ගතු කීහ. ඉච්ඡා බස්වලට පමණක් සවන්දෙන මුග්ධ ඇමතියෝ ඒවා පිළිගත්හ. එක් අමාත්‍යාංශයක් ඉන්දියාවෙන් තරුණ විද්‍යාඥවරියන් දෙදෙනකු ගෙන්වා ආසනික් නැතැයි කීවේ ය. ආහාර තාක්‍ෂණය පිළිබඳ විශේෂඥයකු යැයි කියන මහාචාර්යවරයෙක් ආසනික් ටිකක් කැවාට වරදක් නැතැයි කීවේ ය. ඔහු නිතරම කියන්නේ කැලණි විශ්වවිද්‍යාලයෙහි පර්යේෂණාගාර පිළිගෙන නොමැති බව ය. එහෙත් ඔහුගේ කසිකබල් පර්යේෂණ කෙරී ඇත්තේ පිළිගත් පර්යේෂණාගාරවල ද යන්නවත් ලංකාවේ පිළිගත් යැයි කියන පර්යේෂණාගාර කොපමණ ඇත් ද යන්නවත් ඔහු නොකියයි. මේ අය සියළු දෙනාට පාහේ සම්මන්ත්‍රණයට පැමිණ ඔවුන්ගේ අදහස් දක්වන ලෙස ආරාධනය කෙරුණ ද ඔවුහු ඒ ප්‍රතික්‍ෂෙප කළහ. මේ අතර අතුරලියේ රතන හිමියන් මලයාසියාවේ පිළිගත් පරික්‍ෂණාගාරයක් ලවා කරන ලද පරීක්‍ෂණවලින් අදාළ නියැදිවල ආසනික් හා වෙනත් බැර ලෝහ ඇති බව පෙනී ගියේ ය. පසුගිය දා ලෝක සෞඛ්‍ය සංවිධානය ද රෝගීන්ගේ ශරීර කොටස්වල ආසනික් අඩංගු බව ප්‍රකාශ කළේ ය. දැනට මාස කිහිපයකට උඩ දී මධ්‍යම දකුණු ඇමරිකාවේ රටවල සහභාගීත්වයෙන් කොස්ටාරිකාවේ පවත්වන ලද සම්මන්ත්‍රණයක දී චන්න ජයසුමන මහතා ආසනික් සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අදහස් මහත් පැසසුමට ලක්විය. ඒ රටවල ද උක්වගාවේ යොදාගන්නා කෘෂි රසායන හේතුවෙන් ගොවීන්ට නිදන්ගත වකුගඩු රෝගය වැළඳී ඇත. කෘෂිරසායන යොදා නොගන්නා කියුබාවේ පමණක් උක්ගොවීන්ට මේ රෝගය නැත. සති දෙකකට පමණ ඉහත දී ඇමරිකන් විද්‍යාඥයන් පිරිසක් පළකළ පත්‍රිකාවක සඳහන් වී ඇත්තේ නිදන්ගත වකුගඩු රෝගය සමග ආසනික් සම්බන්ධ බව ය. එහෙත් මුළු ලෝකයෙන්ම නිදන්ගත වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් බව පළමුවෙන් ම ප්‍රකාශ කළේ කැලණි කණ්ඩායම ය. එහි ගෞරවය වඩාත්ම හිමිවිය යුත්තේ මහාචාර්ය පරණගම මහත්මියට ය. ඇය බොහෝ දිනවල අලුයම තුන හතර පමණ වන තුරු පර්යේෂණ කළේ තම සෞඛ්‍ය තත්වය ගැන ද නොසළකා ය. ඒ සම්බන්ධයෙන් වූ ඇගේ කැපවීමට ජාතික සම්මානයක් හිමිවිය යුතු නමුත් ඇයට ලැබුණේ අපහාස ය. ඇයට හිමිවිය යුතු රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ධුරය අවසානයේ දී පිරිනැමුණේ කුහක ඇදුරන්ගේ බාධා මධ්‍යයෙහි හ. මේ කුහක ඇදුරෝ අද චන්න ජයසුමන මහතාට පශ්චාත් උපාධියක් දීමට එරෙහිව කටයුතු කරති.

ඇතැම් ඇමතිවරු අප කණ්ඩායමේ සාමාජිකයන් ප්‍රීමා සමාගමෙන් මුදල් ගෙන සහල්වල ආසනික් ඇති බව ප්‍රචාරය කරන්නේ යැයි කීහ. අපි මේ ඇමතිවරුන්ට එකක් කියමු. අපට ප්‍රීමා සමාගමෙන් සතපහකවත් මුදලක් ලැබී නැත. එහෙත් මේ සමහරුන්ට කෘෂිරසායන ගෙන්වන සමාගම් සමග සම්බන්ධකම් ඇති බව අපි දනිමු. ආණ්ඩුව වසවිස නැති ආහාර ලබාදිය යුතු ය.

Friday, 23 November 2012

ආසනික් හා ජනමාධ්‍ය සන්නිවේදනය

2012 නොවැම්බර් 7 වැනි දා විදුසර 25 වැනි සංවත්සර කලාපයට මා ලියු ලිපියක තිබූ ඇතැම් කොටස් කර්තෘගේ අදහස අනුව සෙසු පාර්ශවයන්ට තදබල ලෙස මානසික ව පීඩාකාරී වන බැවින් හෝ සෙසු පාර්ශ්වයන් අසීරුතාවට පත්විය හැකි වන බවින් හෝ කපා දමා ඇත. මෙහි කළු අකුරෙන් සඳහන් වන්නේ එසේ කපා දැමූ කොටස් ය. එසේ කපා දැමීමෙන් එකතුකර ඇති කොටස් ද මෙහි සඳහන් වෙයි. මෙයට වගකිව යුත්තේ කවුරුන් දැයි නොදනිමි. එහෙත් මෙයට මුල් වූ තැනැත්තා ඊනියා යන වචනය තබාගෙන කියාගන්නා, යැයි කියන්නන් ආදී වචන කපා දමයි. ඔහුගේ සිංහල දැනුමේ තරම එයින් ම හෙළි වෙයි. ඉවත්කර ඇති කොටස්වලින් තදබල මානසික පීඩාවක්, අසීරුතාවක් ඇතිවන්නේ දැයි ඔබට ම තීරණය කළ හැකි ය. මේ කොටස් ඉවතකිරීමට මුල් වූ තැනැත්තා පරාජයෙන් වියරු වැටුණු ඊනියා විද්‍යාඥයකු වීමේ විශාල සම්භාවිතාවක් ඇත. 
- නලින් ද සිල්වා.

Saturday, 1 September 2012

ආසනික්, උගත්තු හා ආණ්ඩුව - I

මම නූගතෙක්මි. මම හිසෙන් ගැමියෙක්මි. එහෙත් අවාසනාවකට මම “ඇඟෙන්” ගැමියෙක් නො වෙමි. එයට හේතුව මා කුඩා කල සිට ම අර්ධ නාගරික හා නාගරික පරිසරවල ජීවත්වීම ය. මම බටහිර විද්‍යාව ඉගෙන ගතිමි. අවුරුදු පහළොවේ දී පමණ මගේ කැමැත්ත වූයේ එවකට තිබූ ලංකා විශ්වවිද්‍යාලයේ උගන්වන බටහිර ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාඥයකු/ ව්‍යවහාරික ගණිතඥයකු වීමට ය. බටහිර ඉංජිනේරුවකු, වෛද්‍යවරයකු වීමට හෝ වෙනත් රැකියාවක් කිරීමට හෝ මට කැමැත්තක් නො තිබිණි. එහෙත් අවුරුදු විසිපහේ දී පමණ බටහිර විද්‍යාවේ මොකක්දෝ අඩුවක් දුටුවෙමි. අවුරුදු හතළිහේ දී පමණ ඒ අඩුව කුමක් දැයි ක්‍රමයෙන් වැටහෙන්නට විණි. මම අද බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව දනිමි. බටහිර විද්‍යාවේ කෙරෙන්නේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි බොරු කතා නිර්මාණය කිරීම පමණකි. ඒ ඇතැම් කතා සමහර අවස්ථාවල නිරීක්‍ෂණ සමග එකඟ වන බවක් පෙනී යයි. එහෙත් එයින් බටහිර විද්‍යාව සත්‍යයක් හෝ සත්‍යය කරා ළඟාවන්නක් හෝ බව නිගමනය කිරීමට නො හැකි ය. විදුසර පුවත්පතට ලිපි ලියන අයකු යුක්ලීඩීය ජ්‍යාමිතියට එකඟ ව නිර්මාණය කරන ගොඩනැගිලි ආදියෙහි සාර්ථකත්වයෙන් පෙන්නුම් කෙරෙන්නේ යුක්ලීඩීය ජ්‍යාමිතියෙන් අප අවට අවකාශය නිරූපණය වන බව වැන්නක් කියා තිබිණි. එහෙත් අයින්ස්ටයින් විද්වතාට අනුව (අවකාශය නොව) අවකාශ - –කාලය යුක්ලීඩීය නො වේ. අප අවට අවකාශය යුක්ලීඩීය යැයි කීම පට්ටපල් බොරුවකි. යුක්ලීඩීය ජ්‍යාමිතිය ඊනියා ඇත්තක් නොසොයන බටහිර ගණිතයෙහි කොටසක් ලෙස පමණක් ඉගැන්වෙනතාක් එහි ප්‍රශ්නයක් නැත. එහෙත් එය බටහිර භෞතික විද්‍යාවෙහි කොටසක් ලෙස ගැනෙන්නේ නම් එය පට්ටපල් බොරුවක් ලෙස සැලකිය යුතු ය. අයින්ස්ටයිනීය සාපේක්‍ෂතාවාදය විසින් කරනු ලැබූ එක් කරුණක් වූයේ ජ්‍යාමිතිය බටහිර භෞතික විද්‍යාවේ කොටසක් බවට පත් කිරීම ය. සාධාරණ සාපේක්‍ෂතාවාදයට අනුව අවකාශ –- කාලය නිර්ණය කෙරෙනුයේ ද්‍රව්‍ය හා විකිරණ මගිනි. එහෙත් මතක තබාගත යුතු කරුණක් නම් සාපේක්‍ෂතාවාදය ද පට්ටපල් බොරු කතාවක් බව ය.

අද විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ වර්ජනයක් වෙයි. විශ්වවිද්‍යාලයීය ආචාර්යවරු උගත්තු යැයි හැඳින්වෙති. ඔවුහු ජනතාවට බොරු කියති. ඔවුන් කියන්නේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ඔවුන් සටන් කරන බව ය. කලින් තම වැටුප් වැඩිකිරීම ගැන කතාකළ ද එය යුක්තියුක්ත කිරීමට නොහැකිව ආණ්ඩුව අධ්‍යාපනය සඳහා දළ දේශීය නිශ්පාදිතයෙන් 6%ක් වෙන් කළ යුතු යැයි ඔවුහු කියති. එය යුනෙස්කෝ වාර්තාවක් අනුව කළ යුතු වූවක් බව ද ඔවුහු කියති. එහෙත් යුනෙස්කෝ වාර්තාවෙන් කියැවෙන්නේ ආණ්ඩුව අධ්‍යාපනය සඳහා දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කළ යුතු බව නො වේ. සම්මේලනය තම ඉල්ලීම් නිතර් වෙනස් කරයි. මේ කෙරීගෙන යන්නේ පසුගිය වසරේ අත්හිටවී යැයි කියන වර්ජනය නොවේ. එදා සිට අද දක්වා ඇතැම් ඉල්ලීම් වෙනස් කෙරී ඇති අතර 6% ද ඇතුළු අලුත් ඉල්ලීම් එකතු කෙරී ඇත. සම්මේලනයේ අලුත් ම ඉල්ලීම්වලින් ඔවුන් මෙතෙක් වාචිකව පමණක් කී ආණ්ඩුව දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන්කළ යුතු ය යන්න ලිඛිතව ම ඉදිරිපත් කෙරී ඇත. සම්මේලනයේ නිලධාරීන් එදා දැන නොසිටියත් අද දන්නා කරුණක් නම් දැනටමත් මෙරට අධ්‍යාපනයට දළ දේශීය නි’ෂ්පාදිතයෙන් 6%ක් පමණ වෙන් කෙරෙන බව ය. ඉසෙඩ් ලකුණු අවුලට මූලිකව ම වගකිව යුත්තේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හා ව්‍යාජ ජනතාවාදී විරයන්ගේ සම්භාවනාවට පත් වී ඇති මහාචාර්ය තටිල් මහතා ය. අද 6000 –- 8000ක පමණ සිසුන් යන එන මං නැතිව සිටින්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට තටිල් ක්‍රමය අනුව දෙවැනි වර ඉසෙඩ් ලකුණු ගණනය කිරීමට උපදෙස් දීමට සිිදුවීම නිසා ය. පළමුව ඉදිරිපත් කළ ඊනියා විද්වත් කණ්ඩායමේ සූත්‍රය ද සංකල්පීය ව වැරදි නමුත් ඒ අනුව තේරුණු පළමුවරට පෙනී සිටි අයගේ හා නැවත පෙනී සිටි අයගේ අනුපාතය පසුගිය වසර කිහිපය සමග සැසඳීමේ දී සැලකිය යුතු තරමින් වෙනස් නොවිණි. එහෙත් ආණ්ඩුව මේ කිසිවක් ජනතාවට නො කියයි. උසස් පෙළ පරීක්‍ෂණයට ප්‍රශ්න පත්‍ර සකස් කරන්නෝ විශ්වවිි්‍යාලයීය ආචාර්යවරු ය. එහි වැරදි ඇත්නම් එයට වගකිව යුත්තේ ආචාර්යවරුන් ය. එහෙත් ආණ්ඩුව මේ කිසිම අවස්ථාවක තටිල් මහතා ඇතුළු අදාළ ආචාර්යවරුන්ට දොස් පැවරුවේ නැත.

උසස් පෙළ පරීක්‍ෂණයේ ප්‍රශ්නපත්‍රවල පළමුවරට වැරදි තිබුණේ මේ වසරේ නො වේ. මේ වැරදි සැමදාමත් තිබී ඇත. ප්‍රශ්නපත්‍රවල වැරදි නොතිබූ වසරක් කිවහැකි ද? බොහෝ වසරවල මේ වසරට වඩා වැරදි තිබී ඇත. පරමාදර්ශීව ගතහොත් ප්‍රශ්නපත්‍රවල වැරදි නැතිවිය යුතු ය. එහෙත් පෘථග්ජනයන් වීම නිසා ම සිදුවන වැරදි ද වෙයි. ජනතා විමුක්ති පෙරමුණ හා එයට සම්බන්ධ ගුරු සමිති ආණ්ඩුව හා ඇමතිවරු ගෙදර යැවීමේ අරමුණෙන් වැරදි සිදුවී ඇත්තේ මේ වසරේ පමණක් ය යන අදහස ජනතාවට දෙමින් ඒ පිළිබඳ ව ආණ්ඩුව වගකිව යුතු යැයි කියද්දී ආණ්ඩුව නිසි පිළිතුරු නො දුන්නේ ය. ආණ්ඩුවේ ජනමාධ්‍ය ඒවාට පිළිතුරු ඇති අයට දොර වැසී ය. එක්තරා ඇමතිවරයකු තම හෙංචයියන් සමග එකතු වී ආණ්ඩුවේ ජනමාධ්‍ය පාලනය කරන බව පැහැදිලි ය. ආණ්ඩුව විනාශවනු ඇත්තේ මෙවැනි ඇමතිවරුන් නිසා ය. ඇතැම් විශ්වවිද්‍යාලයීය ආචාර්යවරු ද පාසල් ගුරුවරු ද ශිෂ්‍යයෝ ද ජ වි පෙ, එ ජා ප හා වෙනත් අය සමග එක්වී ආණ්ඩුව අස්ථායී කිරීමට කටයුතු කරති. අපි ඒ බව මුල සිට ම කීවෙමු. 6% ක් ගැන බොරු කියමින් වෙනත් අය සමග ආණ්ඩුව අස්ථායි කිරීමට කටයුතු කරන සම්මේලනය තම ඊනියා සටනට ශිෂ්‍යයන් සහභාගි කරගැනීමෙන් සිදුවන විනාශය ගැන අටුවා ටීකා අනවශ්‍ය ය. විශ්වවිදාලයීය ගුරුවරුන්ට තම සේවය, ශ්‍රමය සැපයීම අස්කරගත හැක්කේ විශ්වවිද්‍යාලවලිනි. ඔවුන්ට උසස් පෙළ පරීක්‍ෂණයට සහභාගිවීමට පත්වීම් ලිපි ලබන්නේ විභාග දෙපාර්තමේන්තුවෙන් මිස විශ්වවිද්‍යාලවලින් නො වේ. විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිතියක් මිස උසස් පෙළ පරීක්‍ෂකවරුන්ගේ වෘත්තීය සමිතියක් නො වේ. ආචාර්යවරුන්ට පරීක්‍ෂකයන් ලෙස පත්වීම් ලැබෙන්නේ විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් වීම නිසා බව සැබෑ නමුත් ඔවුන් පරීක්‍ෂකවරුන් ලෙස සේවය කරන්නේ ආචාර්යවරුන් ලෙස නො වේ. ආචාර්ය සමිති සම්මේලනයට හෝ විශ්වවිද්‍යාලයක ආචාර්ය සමිතියකට හෝ ආවාර්යවරුන් උසස් පෙළ පරීක්‍ෂණයේ පරී්ක්‍ෂකවරුන් ලෙස කටයුතු කිරීම වැළැක්වීමට තීරණ ගැනීමට නෛතික හෝ සදාචාරාත්මක හෝ අයිතියක් නැත. සම්මේලනයේ ඒ සියළු දුර්වලකම් මැද ආණ්ඩුව උසස් අධ්‍යාපනය පිළිබඳ ඇමතිතුමා හුදු නිරීක්‍ෂකයකු බවට පත්කරමින් එක් ඇමතිවරයකුගේ හා ආණ්ඩුවේ ඉහළ තනතුරු දරණ ඇදුරන් දෙදෙනකුගේ මැදිහත්වීමෙන් සම්මේලනයේ ඉල්ලීම් ලබාදීමට යන බව සැළ ය. මේ ආණ්ඩුව බිඳ වැටෙන්නේ මෙවැනි දුර්වල ක්‍රියාමාර්ග හේතුවෙනි.

මේ ආචාර්යවරු ද පොදුවේ මෙරට උගත්තු ද නිදහස් අධ්‍යාපනයට විරුද්ධ වෙති. ඊනියා අධ්‍යාපනික නිදහසක් ඇතැයි කියන විශ්වවිද්‍යාලවල අපේ දැනුමක් ඉගැන්වීමට, භාවනා වැඩසටහන් පැවැත්වීමට ඇති නිදහස කුමක් ද? එවැනි දේ කිරීමට උත්සාහ කරන විට එයට විරුද්ධවන්නෝ ආචාර්යවරු ය. ඔවුහු බටහිර යුදෙව් ක්‍රිස්තියානි අධ්‍යාපනයෙන් දෙන දැනුම සත්‍ය යැයි ගනිමින් අපේ දැනුම මිථ්‍යාවක් යැයි පවසති. අපේ දැනුම විශ්වවිද්‍යාලවල ඉගැන්වීමට ඔවුන් විරුද්ධ වේය යන්නෙන් අදහස් කෙරෙන්නේ ඔවුන් නිිදහස් අධ්‍යාපනයට විරුද්ධ බව ය. ඔවුහු සමාජවාදීන් වුව ද ලිබරල්වාදීන් වුව ද බටහිර ගැත්තෝ වෙති. ඔවුන් විශ්වවිද්‍යාලවල සනාතන සභාවල කරන එකම දෙය බටහිරයන්ට අවශ්‍ය පරිදි අධ්‍යාපනය ලබා දීමට කටයුතු කිරීම ය. දැනුම ලබාගැනීමේ ක්‍රමය ලෙස සිංහල බෞද්ධයන් සලකන්නේ ප්‍රත්‍යක්‍ෂය පමණකි. ඇතැම් බෞද්ධ උගතුන් යැයි කියාගන්නවුන් බටහිරයන් ඉදිරියේ වැඳ වැටෙමින් අනුමානය ද බෞද්ධයන්ගේ දැනුම ලබාගැනීමේ ක්‍රමයක් ලෙස පෙන්වීමට තැත්කළ ද බුදුන්වහන්සේ ඒ අනුදැන වදාළ තැනක් ගැන දැනගැනීමට නැත. මිහිඳු මහ රහතන් වහන්සේ සිංහලයන්ට පළමුව දේශනා කළ චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙන් කියැවෙන්නේ ද ප්‍රත්‍යක්‍ෂය පමණක් දැනුම ලබාගැනීමේ ක්‍රමය ලෙස ගැනීමට ය. එහෙත් මෙරට විශ්වවිද්‍යාලවල මේ ක්‍රමයෙන් දැනුම ලබාගැනීමට කිසිම නිදහසක් නැත. කොළඹ විශ්වවිද්‍යාලයේ දී මෙන් ම කැලණිය විශ්වවිද්‍යාලයේ දී ද මම ඒ බව අත්දුටුවෙමි. ඇදුරන්ගෙන් අතිවිශාල බහුතරය දන්නේ බටහිර දැනුම ලබාගැනීමේ ඊනියා විද්‍යාත්මක ක්‍රමය පමණකි. එහෙත් බටහිර විද්‍යාවේ ඇත්තේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි නිර්මාණය කෙරුණු පට්ටපල් බොරු කතා පමණකි.

මම සිංහල බෞද්ධයෙක්මි. මා අනුගමනය කරන්නේ කාළාම සූත්‍රය ය. මම හැකිතාක් දුරට ඇසූ නිසා පොතක පතක තිබූ නිසා ආදී වශයෙන් නොපිළිගෙන ප්‍රශ්නයක මුලට ගොස් එය විශ්ලේෂණය හා සංස්ලේෂණය කර ප්‍රත්‍යක්‍ෂයෙන් දැනුම ලබාගනිමි. එසේ නොහැකි වූ විට මගේ විඤ්ඤූන්ගේ ප්‍රත්‍යක්‍ෂයෙන් දැනුම ලබාගනිමි. මට පුනබ්භවය පිළිබඳ ප්‍රත්‍යක්‍ෂයක් නැත. එහෙත් මම ඒ පිළිබඳ බුදුන් වහන්සේගේ හා ආධ්‍යාත්මික වශයෙන් දියුණු වෙනත් අයගේ ප්‍රත්‍යක්‍ෂය පිළිගනිමි. බයිබල් ක්‍රමය අනුගමනය කරමින් උගතුන් යැයි කියන්නන්ගේ බලාධිකාරී දැනුම උපුටා දැක්වීම මගේ ක්‍රමය නො වේ. මට කර්මවාදයක් අවශ්‍ය නො වේ. බුදුන් වහන්සේ උන්වහන්සේගේ ප්‍රත්‍යක්‍ෂයෙන් ලබාගත් කර්මය පිළිබඳ දැනුම මට ප්‍රමාණවත් ය. බටහිර යුදෙව් ක්‍රිස්තියානි පට්ටපල් බොරු කතා ඉදිරියේ වැඳ වැටුණු, වැටෙන මහා ප්‍රාඥයන් යනුවෙන් හැඳින්වුණු, හැඳින්වෙන ඇතැමුන් පුනබ්භවය ප්‍රතික්‍ෂෙප කළ බව, කරන බව මම දනිමි. ඔවුන්ට තිබුණේ, තිබෙන්නේ හීනමානයකි.

අද ආසනික් ගැන බොහෝ දෙනා කතාකරති. දිනේශ් ගුණවර්ධන මහතා ද, ගුණදාස අමරසේකර මහතා ද අද ආසනික් ගැන කියති, ලියති. ඇමතිතුමාගේ අමාත්‍යාංශයට ආසනික් නැත. අමරසේකර මහතාට හා ඊනියා දේශ හිතෛශීන්ට නාථ දෙවියන් නැත. නාථ දෙවියන් නොමැතිව ආසනික් ගැන කතාකරන්නෝත් නාථ දෙවියන් කියද්දීත් ආසනික් ප්‍රතික්‍ෂෙප කරන්නෝත් අපේ දැනුම ලබාගන්නා ක්‍රමය ප්‍රතික්‍ෂෙප කරති. නාථ දෙවියන් යනුවෙන් හැඳින්වෙන්නේ කවුදැයි මම නො දනිමි. එතුමා දෙවියකු, භූතයකු හෝ වෙනත් අමනුෂ්‍යයකු හෝ විය හැකි ය. අප රජරට වකුගඩු රෝගයට හේතුවූ කෘෂි රසායන ද්‍රව්‍යවල ආසනික්, කුඹුරු පස හා කිවුල් ජලය ගැන දැනගත්තේ ඊනියා විද්‍යාත්මක පරීක්‍ෂණවලින් නොව ප්‍රියන්තා සේනානායක මහත්මිය මගින් නාථ දෙවියන්ගෙන් හා විපස්සක දෙවියන්ගෙනි. මහාචාර්ය ප්‍රියානි පරණගම මහත්මිය හා පිරිස ඇදුරු විරෝධතා මැද ඒ බව සනාථ කළහ. රෝගයට පිළියම් දියුණු යැයි කියන බටහිර වෙදකමේ නැත. අපි දෙවිවරුන්ගෙන් ඒ සඳහා පිළියම් ද දන්නෙමු.


Sunday, 15 July 2012

නැවතත් ආසනික්

අපට නැවතත් ආසනික් ගැන කතාකිරීමට සිදු වී ඇත. හොඳ හොඳ නැටුම් එළිවෙන ජාමෙට යැයි කීවාක් මෙන් ආසනික් කතාවේ වඩා වැදගත් කොටස් තවමත් කතා කෙරී නැත. අද ආසනික් ගැන කතා කරන්නේ පසුගිය දිනෙක පුවත්පත් සාකච්ඡාවක දී හෙළි දරවු වූ කරුණක් නිසා ය. එහි දී කියැවී ඇත්තේ රජරට අදාළ පෙදෙස්වල ජනතාව වකුගඩු රෝගයට ගොදුරු වී ඇත්තේ ඔවුන් ආසනික් කැඩ්මියම් වැනි බැර ලෝහවලට නිරාවරණය වීම නිසා බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවකින් හෙළිදරවු වන බව ය. ඒ වාර්තාවට අනුව මේ බැර ලෝහ ශරීර ගතවන්නේ ප්‍රධාන වශයෙන් ම ආහාර දාමයෙන් බව ද පුවත්පත් සාකච්ඡාවේ දී කියැවී ඇත. වාතය මගින් ද බැර ලෝහ ශරීර ගතවීමට ඉඩ ඇතැයි යනුවෙන් ද වාර්තාවේ සඳහන් වන බව කියැවෙයි. එහෙත් ජලය මගින් බැර ලෝහ ශරීර ගත නොවන බව වාර්තාවේ සඳහන් බව මා ඒ පිළිබඳ ව කියවූ පුවත්පතෙහි දැක්විණි. වකුගඩුවලට හානිකර පොහොර හා ඇතැම් පළිබෝධනාශක හිතුමතේ යොදා ගැනීම වැළැක්වීමෙන් ජනතාව ආරක්‍ෂා කරගත හැකි බව ද පුවත්පත් සාකච්ඡාවෙහි දී කියැවී ඇත. මේ විස්තර ද තවම සඟරාවක පළ කෙරී නැත. අපට පෙනී යන ආකාරයට ලෝක සෞඛ්‍ය සංවිධානය හා එහි මෙරට නියෝජිතයන් ආඳ මාළු ඉරටෙන් කෑමට උත්සාහයක් දරා ඇත. ඔවුන් ඒ වාර්තාව නිකුත් කර ඇත්තේ ඔවුන්ගේ ගැලවීමට බව පැහැදිලි ය. කෙසේ වෙතත් ඩොලර් මිලියන ගණනාවක් වියදම් කිරීමෙන් පසුව මෙවැනි වාර්තාවක් වුවත් නිකුත් කිරීම පිළිබඳ ව අපි සතුටු වෙමු. ලෝක සෞඛ්‍ය සංවිධානයට තවත් බොහෝ දේ කීමට ඇති බව අපි දනිමු. එහෙත් අපි දැනට එකක් කියමු. රජරට පෙදෙස්වල වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් ය. ලෝක සෞඛ්‍ය සංවිධානයට විවිධ හේතු නිසා ඇතැම් විට එසේ ප්‍රකාශ කිරීමට නොහැකි වනු ඇත. එහෙත් අප කිසිවකුට බැඳී නැත. අපට අපේ මතය ප්‍රකාශ කිරීමට කිසිම බාධාවක් නැත්තේ ද එබැවිනි. රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් බව ඒ සම්බන්ධයෙන් පර්යේෂණ කරන කැලණිය විශ්වවිද්‍යාලයේ කණ්ඩායමට පළමුවෙන් ප්‍රකාශ කෙළේ නාථ දෙවියන් ය. එතුමන් සමග හිඳිමින් වෛද්‍ය කරුණු සම්බන්ධයෙන් අපට උපදෙස් දුන්නේ විපස්සක දෙවියන් ය. ඒ සියල්ල අප ලබාගත්තේ ප්‍රියන්තා සේනානායක මහත්මියගෙනි. ඒ මහත්මිය බටහිර වෛද්‍ය විිද්‍යාව හෝ හෙළ වෙදකම හෝ දැන සිටි කාන්තාවක් නො වේ. දෙවියන්ගෙන් ලැබුණු තොරතුරු අනුව රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් ය. එයට අමතරව ඒ පෙදෙස්වල ඇති කුඹුරු පස හා කිවුල් ජලය ද හේතුවෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවේ කුමක් සඳහන් ව තිබුණ ද කිවුල් ජලය මෙහි දී විනාශකාරී කටයුත්තකට මැදිහත් වෙයි. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් වාර්තාව ගැන සඳහන් කළ පුවත්පත් සාකච්ඡාවේ දී ජනතාවට කිවුල නැති ජලය ලබාදීමේ වැදගත් කම සඳහන් කෙරී ඇත.

රජරට වකුගඩු රෝගය වඩාත්ම වැළඳී ඇත්තේ පිරිමින්ට ය. ආහාර දාමය රෝගය පැතිරීමට හේතුව නම් ගැහැණු පිරිමි වශයෙන් භේදයක් ඇතිවන්නේ කෙසේ ද යන ප්‍රශ්නය ඇතිවෙයි. අප කණ්ඩායමේ සාමාජිකයකු වූ වෛද්‍ය චන්න ජයසුමන මහතා ජලය හේතුකොටගෙන පිරිමින්ට රෝගය වැළඳීමට ඇති ප්‍රවණතාව වැඩි බව 2012 ජූලි මස 11 වැනි දා විදුසර පුවත්පතෙන් පැහැදිලි කරයි. ආසනික් පොළොවට ලැබෙන්නේ කෘෂි රසායනික ද්‍රව්‍ය නිසා බවත් එසේ ලැබෙන ආසනික් කුඹුරු පසෙහි රඳවා තබාගැනීමේ හැකියාවක් ඇති බවත් එසේ රැඳුණු ආසනික් ජලයට මිශූ වීමෙන් පසු කිවුල් ජලය සමග එකතු වී ආසනේට් ලවන සාදන බවත් එය ශරීරගත වීමෙන් පසු වකුගඩු රෝගය වැළඳෙන බවත් අපට විපස්සක දෙවියන්ගෙන් දැනගැනීමට ලැබුණේ ඒ දිනවල ම ය. අපට ඒ ගැන සැකයක් නැති වුවත් බටහිර පුස් කෑ අධ්‍යාපනයෙන් බටහිර විද්‍යාව කටගාගත් ආචාර්ය, මහාචාර්ය, ප්‍රවීණාචාර්ය ආදීන්ට පමණක් නොව ජනමාධ්‍යවල හා වෙනත් ආයතනවල සේවය කරන බටහිර විද්‍යාවට හා දැනුමට නමස්කාර කරන පුහු පඬියන්ටත් අනෙක් අයටත් ඒත්තු ගැන්වීම සඳහා අපි ඒ බව බටහිර රසායන විද්‍යාවට අනුව පෙන්වීම සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ ආරම්භ කළෙමු. ඒ සඳහා රජරට විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු වූ වෛද්‍ය චන්න ජයසුමන මහතාට කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියක් සඳහා පර්යේෂණ කිරීමට විශ්වවවිිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් ශිෂ්‍යත්වයක් ද ලැබිණි. මේ පර්යේෂණවල ප්‍රතිඵල අනුව විවිධ පලිබෝධනාශකවල හා ජලයේ ද ආසනික් ඇති බව අපට පෙනී ගියේ ය. ඒ පර්යේෂණ මහාචාර්ය ප්‍රියානි පරණගම මහත්මියගේ අධීක්‍ෂණය යටතේ සිදුවිය. ඒ හැරෙන්නට මහාචාර්ය මාලා අමරසිංහ මහත්මියගේ අධීක්‍ෂණය යටතේ කෙරුණු පර්යේෂණවලින් ඒ ප්‍රදේශවල ඇතැම් ශාඛවල ද ආසනික් ඇති බව අනාවරණය විය. අපට අවශ්‍ය වන්නේ කෘෂිරසායන නොමැතිව ගොවිතැන් කිරීමට මෙරට ජනතාච යොමුකර නීරෝගී ජාතියක් ඇති කිරීමට ය. එය කළ හැක්කේ සිංහල බෞද්ධ දැනුමක් මත පදනම් වෙමිනි. පරිසරය රැකීමට නොහැකි බටහිරයන්ට කළ හැක්කේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම නොව රෝග කලමණාකරණය කිරීම ය.

ජාතියට ඉතා වැදගත් වූ එවැනි පර්යේෂණ කල ඒ මහාචාර්යවරියනට ලැබුණේ මල් පොකුරු නොව ගල් මුල් ය. මහාචාර්ය ආචාර්ය දේවදත්තයෝ හා චිංචිමාණවිකාවෝ ක්‍රියාත්මක වූහ. සිංහල බෞද්ධ දැනුමක්් යන්න නයාට අඳුකොළ මෙන් වූ ඔවුන් එක හෙළා කියා සිටියේ ආසනික් නැති බව හා රජරට නිදන්ගත වකුගඩු රෝගයට හේතුව ආසනික් නොවන බව ය. කැලණිය විශ්වවිද්‍යාලයේ බැර ලෝහ පරීක්‍ෂාව සඳහා තිබූ උපකරණ කැඩී ඇතැයි ඔවුහු කීවෝ ය. ඒ අතර ඒ කාලයේ දී ඒ උපකරණ යොදා ගනිමින් තමන් කළ ඊනියා පර්යේෂණ ගැන වාර්තා ඉදිරිපත් කළහ. අප ප්‍රතිඵල පළකර නැතැයි කීහ. ඔවුන්ගේ අපවාදාත්මක ප්‍රචාරය විශ්වවවිද්‍යාල පද්ධතියට පමණක් සීමා නො වී ය. එක් චිංචිමාණවිකාවකගේ ස්වාමි පුරුෂයා අපට පිස්සු යැයි ප්‍රචාරයක් ගෙන ගියේ ය. ඔවුහු උසස් අධ්‍යාපන ඇමතිතුමා හමුවට ගොස් අප කැලණිය විශ්වවිද්‍යාලයේ දේවාලයක් තනා ඇති බව පැවසූහ. ඇමතිතුමා ද මේ කතා විශ්වාස කළේ ය. එතුමා මට හා අපේ කණ්ඩායමට විරුද්ධ විය. මගේ සේවා කාලය අවසාන වීමෙන් පසුව මා සේවා දිගුවකට කැමැත්ත පළ කළේ විද්‍යා පීඨාධිපති ලෙස මේ පර්යේෂණ සඳහා ශක්තිමත් පදනමක් ලබා දීමට ය. ඇමතිතුමා ප්‍රමුඛ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සේවා දිගුව ලබාදීමට විරුද්ධ විය. අවසානයේ දී මට අවුරුදු තුනකට සේවා දිගුවක් ලැබුණේ ජනාධිපතිතුමා මැදිහත් වී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමෙන් පසුව ය. අවුරුදු තුනකට සේවා දිගුවක් ලැබුණු නමුත් මගේ පිඨාධිපති ධුර කාලය අවසානයේ දී, පර්යේෂණ සාර්ථක මට්ටමකට පැමිණ තිබූ බැවින් අවුරුදු තුනක් ගත නොකර අවුරුද්දක පමණ සේවා කාලයකින් පසුව මම සේවයෙන් ඉවත්වීමි. මා කිසිදු පර්යේෂණයකට හවුල් නොවුණත් පර්යේෂණ කණ්ඩායමට නායකත්වය සැපයීමි. අදත් සපයන්නෙමි. එහෙත් අද බලධාරීන්ගේ කෙණෙහිලිකම් වෙයි. එදා කැලණිය විශ්වවවිද්‍යාලයට අත්වීමට තිබූ ගෞරවය නැති වී ගියේ දේවදත්ත චිංචිමාණවිකා කණ්ඩායම නිසා ය. මොවුන් අප දේවාලයක් තනා ඇතැයි ප්‍රචාරය කළේ මා භාවනා කිරීම සඳහා විද්‍යා පීඨයේ එක් පංතිකාමරයක් සතියේ එක් දිනක් සවස හතරෙන් පසුව වෙන්කිරීම නිමිති කරගනිමිනි. පසුගිය දා රජරටින් ම පැමිණි සෞඛ්‍ය ඇමතිතුමා ද වකුගඩු රෝගය ගැන පර්යේෂණ කිරීම පිළිබඳ ව ලෝක සෞඛ්‍ය සංවිධානයට ස්තුති කර තිබුණේ කැලණිය අමතක කරමිනි. එතුමාගේත් අන්අයගේත් දැනගැනීම සඳහා පැවසිය යුත්තේ අද අප කණ්ඩායම අධිපතිවාදී බටහිර වෛද්‍යවරුන්ට පිළිගැන්වීමට අවශ්‍ය වී ඇති බැවින් ඔවුන්ගේ විද්‍යාවේ ව්‍යාජ පර්යේෂණ විධි ක්‍රම අනුගමනය කරමින් එහෙත් විපස්සක දෙවියන් අපට කියා දුන් හෙළ නිල වෙදකමේ ප්‍රතිකාර වකුගඩු රෝගින්ට ඊනියා පර්යේෂණ මට්ටමක කරන බව ය. අද සරසවි ඇදුරන්ගේ දේශපාලන වැඩවර්ජනයක් තිබිය දී ද අපේ කණ්ඩායම ආචාර්ය සමිති සම්මේලනයේ දේශපාලනය ගැන අවබෝධයක් ඇතිව ඒ වර්ජනයට සහභාගි නොවී මෙම පර්යේෂණයේ හා වෙනත් අධ්‍යයනික කටයුතුවල යෙදී සිටිති. ඒ අයට අමතරව ද ඇදුරු වර්ජනය නොතකා සේවය කිරීමට සූදානම් ඇදුරෝ වෙති. කැලණිය විශ්වවවිද්‍යාලයේ ඇතැම් ඇදුරන් දැනටමත් ඒ බව දන්වා උපකුලපතිතුමාට ලිපි භාර දී ඇත. ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ, ප්‍රතිපාදන කොමිසමේ හා විශ්වවිද්‍යාලවල වගකීම වෙයි.

බටහිර දැනුම කටගාගත් ඇතැම් ජඩමාධ්‍යවේදීහු වර්ජනයට විරුද්ධ වන ඇදුරන් කුලපතිකම් පීඨාධිපතිකම් ආදිය ගත් අය ලෙස හඳුන්වති. එමෙන් ම ඒ ඇදුරන්ට ඇත්තේ වැඩවසම් චින්තනයක් යැයි ද කියති. අද සරසවිවල ද පොදුවේ සමාජයේ ද ඇත්තේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි දැනුම් ආධිපත්‍යයකි. එයට විරුද්ධව සටන් කළ යුතු ම ය. මුළු ලෝකයේ ම විශ්වවිද්‍යාලවල හා සමස්තයක් ලෙස ලෝකයේ ම ඇති දැනුම ද ඇතුළත් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයට එරෙහිව සටන් කිරීම පහසු ක්‍රියාවක් නොවන බව අපි දනිමු. අපි විශ්වවිද්‍යාලයේ ඇතත් නැතත් මේ ආධිපත්‍යයට එරෙහිව සටන් කරමු. එය ආණ්ඩුවට කඩේ යෑමක් ලෙස දකින්නෝ පුහු පඬියෝ ය. අපේ සටන ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට එරෙහිව ය. ඒ වින්තනයට විරුද්ධ චින්තන රාශියක් ලෝකයෙහි ඇත. ලංකාවේ ඇති චින්තනයට අපි ජාතික චින්තනය යැයි කියමු. ගුණදාස අමරසේකර මහතා එකඟ වුවත් නැතත් අප ආසනික් ගැන දැනගත්තේත් වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කරන්නේත් ජාතික චින්තනය මත පදනම් වෙමිනි. ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාට අනුව නම් ජාතික චින්තනය කෙළවර වී ඇත්තේ ජූලම්පිටියේ අමරේ බිහිකරමිනි. ඇතැම් ජඩමාධ්‍යවේදීහු ඔහු පුම්බති. මොවුන්ගේ දැනුමේ තරම මෙයින් පැහැදිලි වෙයි. අද සරසවි ඇදුරන්ගේ සටනට නායකත්වය දෙන්නේ මෙවැන්නෙකි. ජාතික චින්තනය යනු කුමක් දැයි නොදැන ඔහු ඒ විවේචනය කරයි. එය කෙළවර වී ඇතැයි ඔහු කියන්නේ ද? මේ බොහෝ දෙනකුට අද ඇත්තේ බටහිරයන් විසින් ඇතිකර පෝෂණය කෙරුණු දෙමළ ජාතිවාදයේ ඉන්දියානුවන් විසින් ද පෝෂණය කරනු ලැබූ දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීම පිළිබඳ ප්‍රශ්නය ය. කැලණිය විශ්වවිද්‍යාලයෙන් ඉවත්වීමෙන් පසු ද මම එහි ආචාර්යවරුන්ට ජාතික චින්තනයට අදාළ නොයෙකුත් කරුණු සම්බන්ධයෙන් ඉලෙක්ට්‍රොනික තැපෑලෙන් ලිපි යැවීමි. ඒ ලිපිවලට පිළිතුරු දෙනු වෙනුවට ඔවුහු නිල වශයෙන් මගේ ලිපි කිසිවකුට නොලැබෙන්නට සැලැස්වූහ. ඒ ලිපි කියවීමට කැමැත්තෙන් සිටි බොහෝ දෙනකුට ඉන් සිදු වූ අසාධාරණය ගැන ඔවුහු සැලකිලිමත් නො වූහ. ඊනියා භාෂණයේ නිදහස ගැන කතාකරන ඇතැම් සරසවි ඇදුරන්ගේ කටයුතු එසේ ය. අද ඔවුහු ද නිදහස් අධ්‍යාපනය සඳහා ඔවුන් නොදන්නා දළ ජාතික නිෂ්පාදිතයකින්් 6%ක් වෙන් කරන මෙන් ඉල්ලා වර්ජනය කරති. සරසවි ඇදුරන්ගේ වර්ජනය පිළිබඳ ව ඉදිරියේ ලියන ලිපිවල ඇතැම් ඔළු දැනුමකින් තොරව ඉදිමී ඇති අයුරු ව්ස්තර කරමි.

Saturday, 26 November 2011

සන්නිකර්ෂණයේ හා වාස්තවිකත්වයේ පරස්පරය

බටහිර විද්‍යාව සම්බන්ධයෙන් මෙතෙක් මෙරට වපුරා තිබූ මිථ්‍යා මත අද එකින් එක පුපුරා යමින් පවතිනු දැකිය හැකිය. අද බටහිර වෛද්‍ය විද්‍යාවේ (බටහිර වෛද්‍ය විද්‍යාව හා බටහිර ඉංජිනේරු විද්‍යාව යනු බටහිරයන්ගේ ම අර්ථයෙන් ගත්කල බටහිර තාක්‍ෂණ පමණකි) මහාචාර්යවරුන්ට බටහිර විද්‍යාව ගැන කීමට ඇත්තේ එහි විශ්වාසනීයත්වය හා එය යොදා ගැනීමට හැකි වීම පමණ ය. එහෙත් කලකට පෙර මේ මහාචාර්යවරු බටහිර විද්‍යාවේ ඊනියා සත්‍යතාව, එහි ඇති ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමය, එය සත්‍යය කරා ළඟාවීම, එහි වාස්තවිකත්වය, සර්වත්‍රභාවය ආදිය ගැන මහත් ආඩම්බරයෙන් කතා කළහ. එහෙත් අද ඔවුන්ට ඒ ගැන කතාකිරීමට නො හැකි වී ඇත.

බටහිර විද්‍යාව යනු තවත් එක් දැනුම් පද්ධතියක් පමණක් බවත් එයට විශේෂිත වූ වැදගත්කමක් නැති බවත් එය යම් සංස්කෘතියක හා චින්තනයක බිහි වී ඇති බවත් එය අද පවතින්නේ මූලික වශයෙන් ම බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ දේශපාලන ආධිපත්‍යය මත බවත් මේ දැනුම් ආධිපත්‍යය යුරෝපීය වැඩවසම් යුගයේ කතෝලික පල්ලියේ දැනුම් ආධිපත්‍යයට වඩා බෙහෙවින් ශක්තිමත් බවත් අප වටහා ගතයුතු ය. කතෝලික පල්ලියේ දැනුම් ආධිපත්‍යය එහි අනෙක් ආධිපත්‍ය මෙන් ම එක් පුද්ගලයකු, එනම් පාප් වහන්සේ, වටා ගොඩනැගිණි. එහෙත් බටහිර විද්‍යාවේ දැනුම් ආධිපත්‍යයට නායකයකු නැත. එය ලෝ පුරා පවත්වාගෙන යන්නේ විවිධ ආයතන, ඊනියා ශාස්ත්‍රීය සංගම්, විශ්වවිිද්‍යාල, පාසල් හා ජනමාධ්‍ය ඔස්සේ ය. නායකයකු නැති ව්‍යාපාරයකට පහර දීම පහසු නො වේ.

මාටින් ලූතර්ට පාප්වහන්සේ විවේචනය කර පල්ලියේ ආධිපත්‍යයට එරෙහිව සටන් වැදීමට හැකි විය. එමෙන් ම මාටින් ලූතර් එවකටත් ඉතාලියේ හා දකුණු යුරෝපයේ බිහිව තිබූ සාමූහිකත්වයට එරෙහිව පෞද්ගලිකත්වයට ප්‍රධාන තැන ලබා දෙන සමාජ ක්‍රමයක් බිහිකිරීමේ ව්‍යාපාරය මත පදනම් විය. අද අප අපේ සමාජ ක්‍රමයක් ගොඩනැගීම සඳහා ක්‍රියා කිරීමේ දී බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය විසින් පෝෂණය කෙරුණු මිනිසුන්ගේ පෞද්ගලිකත්වය හා වෙනත් ලක්‍ෂණ අපට එරෙහිව ක්‍රියා කරනු දැකිය හැකි ය. එමෙන් ම එහි දී ලන්ඩනයේ රාජකීය සංගමය (Royal Society of London) යනුවෙන් හැඳින්වෙන සංගමයේ හා එහි ආකෘතිය අනුව විවිධ රටවල හා විවිධ ක්‍ෂෙත්‍රවල ගොඩනගා ඇති ශාස්ත්‍රීය සංගම්වල ආධිපත්‍යය මෙන් ම විශ්වවිද්‍යාලවල හා වෙනත් එවැනි ආයතනවල ආධිපත්‍යය ද අපට එරෙහිව අවි අමෝරා ගෙන සටන් වදියි.

පසුගිය දා නාථ දෙවියන් හා විපස්සක දෙවියන් සම්බන්ධ කරගනිමින් රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතු කාරකය (අනෙක් හේතු වනුයේ රජරට ප්‍රදේශයේ ඇති පස හා කිවුල් ජලය ය. වකුගඩු රෝගය පැතිර යෑමට ඒ හේතු සියල්ල කාරක වෙයි) බටහිර කෘෂිවිද්‍යාව ඔස්සේ අප මත පටවා ඇති කෘෂි රසායනිකවල ඇති ආසනික් බව කැලණිය විශ්වවිද්‍යාලයීය කණ්ඩායම පැවසූ විට මෙරට ඇති ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය මට විරුද්ධව කළ ප්‍රකාශ හා අපහාස මෙන් ම මෙරට විශ්වවිද්‍යාල පද්ධතියෙන් නැගුණු විරෝධය කාහටත් මතක ඇතැයි සිතමි. බටහිර විද්‍යාව එයට විරුද්ධව යන කිසිවකට හෝ කිසිවකුට හෝ අබමල් රේණුවක ප්‍රමාණයක ඉඩක් නො දෙයි. එහෙත් මේ සියළු විරුද්ධතා මධ්‍යයේ අද වන විට රජරට ජලයේ ආසනික් තිබෙන බව හා රජරට වකුගඩු රෝගය ආසනික් විසවීමෙන් වැළඳෙන්නක් බව බටහිර විද්‍යාවන් ආශ්‍රයෙන් ම පෙන්වීමට හැකි වී ඇත. එහි දී ඒ බව අපට කලින් ම දැනුම් දුන් නාථ දෙවියන්ට හා විපස්සක දෙවියන්ට අපේ ප්‍රණාමය ප්‍රකාශ කළ යුතු ය. බටහිර විද්‍යාව පසුපස ගොස් තම රැකියාව තහවුරු කරගැනීමට උත්සාහ කරන නිවට බංකොළොත් පුද්ගලයන් මෙන් නොව අප බටහිර විද්‍යාව යොදාගන්නේ එහි මානව විරෝධී ජඩ බව පෙන්වීමට ය.

බටහිර විද්‍යාව ඊනියා සත්‍යය කරා යන්නේ යැයි දැනගැනීමට කිසිම ක්‍රමයක් නැත. එයට හේතුව අප ඊනියා සත්‍යය යනු කුමක් දැයි නො දැනීම ය. සත්‍යය යනු කුමක් දැයි නොදැන බටහිර විද්‍යාව සත්‍යය කරා ළඟාවන්නේ යැයි කියන්නේ කෙසේ ද? යම් අයුරකින් සත්‍යය යනු කුමක් දැයි දැන සිටියේ නම් එවිට ඒ සත්‍යය දැනගැනීම සඳහා බටහිර විද්‍යාවක් හෝ වෙනත් කිසිම දැනුම් පද්ධතියක් හෝ අවශ්‍ය නො වේ. දන්නා දෙයක් නැවතත් දැනගැනීමට වෑයම් කරන්නේ අහවල් දෙයකට ද?

ඇතැමුන්ට අනුව විශේෂ සාපේක්‍ෂතාවාදය නිව්ටෝනීය යාන්ත්‍රිකයට වඩා නිවැරදි ය. එමෙන් ම ඔවුන් පවසන්නේ සාධාරණ සාපේක්‍ෂතාවාදය නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයට වඩා සත්‍යයට ආසන්න බව ය. මේ අවස්ථා දෙකෙහි දීම ඔවුන් මතුකරන ප්‍රධාන කරුණ නම් විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි ප්‍රතිඵලවල සන්නිකර්ෂණයක් ලෙස නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි ප්‍රතිඵල ලබාගත හැකිවීමත්, නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණයෙහි ප්‍රතිඵල සාධාරණ සාපේක්‍ෂතාවාදයෙහි ප්‍රතිඵලවල සන්නිකර්ෂණයක් වීමත් ය.

එක් ප්‍රවාදයකින් ලබාගත හැකි ප්‍රතිඵලවලින් තවත් ප්‍රවාදයක ප්‍රතිඵල සන්නිකර්ෂණ ලෙස ලබාගත හැකි වුවත් ඉන් ඊනියා සත්‍යයක් ගැන කිසිවක් නො කියැවෙයි. මෙහි දී සන්නිකර්ෂණ යනු බටහිර ගණිතය ආධාරයෙන් බොහෝ විට අනන්ත ශ්‍රේණියක ඇතැම් පද නොසලකා හැරීමෙන් ලබාගන්නා ප්‍රතිඵල වෙයි. එයින් ප්‍රවාදවල උපකල්පන, සංකල්ප, ආදිය පිළිබඳ ව කිසිවක් නො කියැවෙයි. ඊනියා සත්‍යය යනු කිසිම සත්‍යයක් ගැන කතා නොකරණ බටහිර ගණිතයේ සන්නිකර්ෂණ සමග බැඳී ඇත්තක් නම් එවැනි සත්‍යයක් ගැන කතාකිරීමෙන් ඇති ඵලයක් නැත.

නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි අවකාශය හා කාලය එකිනෙකින් වෙන් ව පවතියි. එහෙත් විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි ඒ එකිනෙක සමග බැඳී ඇත. නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි අවකාශය හා කාලය නිරපේක්‍ෂ වෙයි. සිද්ධි දෙකක් අතර කාල ප්‍රාන්තරය හා අවකාශ ප්‍රාන්තරය නිරීක්‍ෂකයාගෙන් නිරීක්‍ෂකයාට වෙනස් නො වෙයි. එහෙත් විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි ඒ ප්‍රාන්තර නිරීක්‍ෂකයා මත රඳා පවතියි. එක් නිරීක්‍ෂකයකු සිද්ධි දෙක අතර මැනගන්නා කාල ප්‍රාන්තරය ඔහුට සාපේක්‍ෂ ව චලනය වන වෙනත් නිරීක්‍ෂකයකු මැනගන්නා කාල ප්‍රාන්තරයට වෙනස් වෙයි. ඒ නිරීක්‍ෂකයන් දෙදෙනාගේ සාපේක්‍ෂ ප්‍රවේගය ආලෝකයේ ප්‍රවේගයට වඩා කුඩා නම් එවිට ගණිතමය සන්නිකර්ෂණයෙන් ඒ කාල ප්‍රාන්තර දෙක සමාන බව පෙන්විය හැකි ය. එහෙත් එයින් කියැවෙන්නේ නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි හා විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි සංකල්ප සමාන බව නොවේ. ඒ සංකල්ප අහසට පොළොව මෙන් වෙනස් වෙයි. සංකල්ප කෙසේවත් සන්නිකර්ෂණය කළ හැකි නො වේ. විශේෂ සාපේක්‍ෂතාවාදය නිව්ටෝනීය යාන්ත්‍රිකයට වඩා නිවැරදි යැයි හෝ සත්‍යයට ආසන්න යැයි හෝ කිව නො හැකි ය.

සාධාරණ සාපේක්‍ෂතාවාදය හා නිව්ටෝනීය ගුරුත්වාකර්’ෂණය ගත්කල ද මෙවැන්නක් සිදුවෙයි. සාධාරණ සාපේක්‍ෂතාවාදයෙහි ප්‍රතිඵළ සන්නිකර්ෂණය කිරීමෙන් නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණයේ ප්‍රතිඵල ලබාගත හැකි ය. එහෙත් අයින්ස්ටයිනීය ප්‍රවාදයෙහි ඊනියා ගුරුත්වාකර්ෂණයක් නැත. එහි පොල් පොළොව කරා ගමන් කරන්නේ ගුරුත්වාකර්ෂණ බලයක් නිසා නොව අවකාශ කාලයෙහි වක්‍රතාව නිසා ය. අවකාශ කාලයෙහි වක්‍රතාව හා ගුරුත්වාකර්ෂණය යනු එකකින් අනෙක සන්නිකර්ෂණය කළහැකි සංකල්ප නො වේ. ඒ එක් එක් අවස්ථාවෙහි දී එක් ප්‍රවාදයක් අනෙක් ප්‍රවාදයට වඩා ඊනියා සත්‍යයට ආසන්න යැයි කිව නො හැකි ය. ඒ ඒ ප්‍රවාදවල යොදාගන්නා සංකල්ප අතර කිසිම වූ සම්බන්ධයක් නැත. අවකාශය හා කාලය වෙනුවට අවකාශ කාලයත් ගුරුත්වාකර්ෂණ බලය හෝ ක්‍ෂෙත්‍රය හෝ වෙනුවට අවකාශ කාලයේ වක්‍රතාවත් ආදේශ කළ හැකි සංකල්ප නො වේ. සංකල්පීය වශයෙන් කිසිම සමානකමක් නොමැතිව එකක් අනෙකට වඩා ඊනියා සත්‍යයට ආසන්න යැයි කිව නො හැකි ය.

බටහිර විද්‍යාවේ ප්‍රවාද වියුක්ත (abstract) ප්‍රවාද වෙයි. එහි ඇත්තේ වියුක්ත සංකල්ප ය. එහෙත් වියුක්ත ප්‍රවාද යනු ඊනියා වාස්තවික (objective) ප්‍රවාද නො වේ. වියුක්තය ඇතිවන්නේ සංයුක්තයට එරෙහිව ය. සංයුක්ත සංකල්ප, ප්‍රවාද ආදිය ඉන්ද්‍රිය ගෝචර වෙයි. එනම් බටහිර විද්‍යාවේ දී පංචෙන්ද්‍රියන්ට ගෝචර වෙයි. බටහිර විද්‍යාව මනස ඉන්ද්‍රියයක් ලෙස නොසැලකුව ද, මනස නොමැතිව හුදෙක් පංචෙන්ද්‍රියන්ගෙන් පමණක් සංකල්ප නිර්මාණය කරගත නො හැකි ය. දැනුම නිර්මාණයේ දී මනසෙන් වන සුවිශේෂ කාර්යය නොසලකා හරින බටහිර විද්‍යාව ඒ නිසා ම ප්‍රතිවිරුද්ධතාවල සිරවෙයි.

වියුක්ත සංකල්ප ඇතිවන්නේ මනසෙහි ය. එහි දී අනෙක් ඉන්ද්‍රියයන් භාවිතා නො වේ. සරල රේඛාවක් යනු වියුක්ත සංකල්පයකි. එහි රූපයක්, ප්‍රතිබිම්බයක් මනසෙහි නිර්මාණය කරගත නො හැකි ය. සරල රේඛාවක් යනු පොතක පතක ඇඳිය හැකි භූතාර්ථයක් නො වේ. එහෙත් පුටුව, මේසය, බල්ලා වැනි සංයුක්ත සංකල්ප ඇතිවන්නේ පංචෙන්ද්‍රියයන්ට ගෝචර වස්තු සම්බන්ධයෙනි. මේ වෙනස අපේ ප්‍රවාද ලිපිවල බොහෝ අවස්ථාවල සාකච්ඡා කෙරී ඇති බැවින් තවදුරටත් ඒ විස්තර කළ යුතු යැයි නො සිතමි.

වියුක්ත සංකල්පයක් වුව ද ඒ ඒ නිරීක්‍ෂකයාට සාපේක්‍ෂ විය හැකි ය. ඇතැම් නිරීක්‍ෂකයන්ට, එනම් ඇතැම් පුද්ගලයන්ට වියුක්ත සංකල්ප එතරම් හොඳින් ග්‍රහණය කරගත හැකි නො වේ. වියුක්ත වුවත් ඒ ඒ නිරීක්‍ෂකයාට, සංකල්ප, ප්‍රවාද ආදිය, ආත්මීය (පුද්ගල නිශ්‍රිත) විය හැකි ය. සංයුක්ත සංකල්ප සෑම අවස්ථාවක ම නීිරීක්‍ෂකයාගෙන් නිරීක්‍ෂකයාට සාපේක්‍ෂ වන අතර වෙනස් වෙයි. ඇතැම් වියුක්ත සංකල්ප ද එලෙස ම නිරීක්‍ෂකයාට සාපේක්‍ෂ වෙයි. එනම් ඒ වියුක්ත සංකල්ප ඒ ඒ පුද්ගලයාගේ, නිරීක්‍ෂකයාගේ මනසට සාපේක්‍ෂ වෙයි. එවැනි සංකල්ප වියුක්ත වුවත් ආත්මීය වෙයි.

එහෙත් බටහිර විද්‍යාවෙහි ඊනියා වාස්තවික දැනුම් ද වෙයි. ඒ දැනුම් අනිවාර්යයෙන් ම වියුක්ත වන අතර නිරීක්‍ෂකයාගෙන් නිරීක්‍ෂකයාට වෙනස් නො වේ යැයි බටහිරයෝ උපකල්පනය කරති. ඊනියා සාර්වත්‍ර නියම (universal laws) මේ වාස්තවික දැනුම්වලින් කොටසකි. බටහිර විද්‍යාවට අනුව නිව්ටෝනීය අවකාශය වාස්තවික වෙයි. ඒ අවකාශය සියළු නිරී’ක්‍ෂකයන්ට පොදු වෙයි. සියළු නිරීක්‍ෂකයෝ අවකාශයෙහි සිද්ධි දෙකක් අතර අවකාශ ප්‍රාන්තරය සම්බන්ධයෙන් එකම නිගමනවලට පැමිණෙති. එහෙත් බටහිර විද්‍යාව ඒ බව දන්නේ කෙසේ ද? ඇතැම් නිරීක්‍ෂකයන්ට වියුක්ත සංකල්ප පවා අවබෝධ නොවන තත්වයක, සියළු නිරීක්‍ෂකයන් ඇතැම් වියුක්ත සංකල්ප සම්බන්ධයෙන් එකම නිගමනවලට පැමිණෙන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට බටහිර විද්‍යාවේ පැහැදිලි පිළිතුරක් දෙන්නේ කෙසේ ද?

Saturday, 19 November 2011

අපට විපක්‍ෂ වූවෝ හා පක්‍ෂ වූවෝ

බටහිර විද්‍යාව එලෙස හැඳින්වීමට දැන් බොහෝ දෙනා පසුබට නොවන බව පෙනී යයි. ටික කලකට පෙර බටහිර විද්‍යාව හඳුන්වනු ලැබුයේ එක්කෝ විද්‍යාව නමින් ය. එසේත් නැතහොත් නූතන විද්‍යාව නමින් ය. විද්‍යාව යන්නෙන් ගම්‍ය වූයේ එනමින් හඳුන්වනු ලැබූ දැනුම් පද්ධතිය හැරෙන්නට අනෙක් දැනුම් පද්ධතීන් විද්‍යාව නොවන බව ය. නුතන විද්‍යාව යන්නෙන් පැරණි විද්‍යාවන් ද තිබූ බව ගම්‍ය විය හැකි නමුත් භාවිතයේ දී එයින් එවැන්නක් ගම්‍ය නො වී ය. එයින් අදහස් වූයේ නූතනයෙහි, එනම් පසුගිය සියවස් කිහිපයක ඉදිරිපත් කෙරුණු විද්‍යාව ය. නූතනත්වයෙහි විද්‍යාව නූතන විද්‍යාව විය. වෙනත් අදහසක් එයින් ගම්‍ය නො වී ය. නූතන විද්‍යාවට එරෙහිව පැරණි විද්‍යාවක් ගැන කතාකළ අයකු ගැන දැනගැනීමට නොහැකි විය.

එහෙත් එයින් අදහස් වූයේ වෙනත් දැනුම් පද්ධතීන් නැති බව නො වේ. වෙනත් දැනුම් පද්ධති ගැන මිනිස්සු දැන සිටියහ. අඩුම තරමෙන් ආයුර්වේදය, සිංහල වෙදකම ගැන සියළු දෙනාම පාහේ දැන සිටියහ. ඒ දැනුම් පද්ධතීන් වූ බවට කිසිවකුට සැකයක් තිබිණි යැයි සිතිය නො හැකි ය. එහෙත් ඒ විද්‍යාත්මක දැනුම, එසේත් නැත්නම් නූතන විද්‍යාත්මක දැනුම නො වි ය. බොහෝ බටහිර වෛද්‍යවරුන්ට එය මිථ්‍යාවක් විය. එහෙත් සිංහල වෙදකමෙන් ද රෝග සුව වන බව බටහිර වෛද්‍යවරු ද දැන සිටියහ. එයින් යම්කිසි ආකාරයක ප්‍රයෝජනයක් සිදුවන බව ද ඒ වෛද්‍යවරුන් නොදැන සිටියා නො වේ.

අද බටහිර විද්‍යාව ගැන වෙනත් දෙයක්, එනම් එහි ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක්, වෙනත් දැනුම් පද්ධතියක නැති සත්‍යයක් ආදී වශයෙන් විශේෂයක් තිබීමක් ගැන කතාකළ නොහැකි ඇතැම් බටහිර විද්‍යාඥයෝ එහි ඇති ප්‍රයෝජ්‍යතාව, විශ්වාසනීයත්වය ගැන කතාකිරීමට පෙළඹී සිටිති. එහෙත් ඔවුන් නොදැන සිටිය ද පැරණි සමාජයෙහි වාසය කළ අය ඒ සමාජයෙහි දැනුමෙහි තිබූ ප්‍රයෝජ්‍යතාව ගැන දැන සිටියහ. එමෙන් ම ඒ පිළිබඳ විශ්වාසයක් ද ඇති කරගෙන සිටියහ. එසේ නොවන්නට ඒ දැනුම් පද්ධතීන් අදට ද ඉතිරි වී ඇත්තේ කෙසේ ද?

අද ඒ දැනුම් පද්ධතීන් බටහිර දැනුම පසුපස ඇති ආකාරයට දේශපාලන බලයක් ද නැත. දේශීය කෘෂිකර්මය ගැන අදාළ ඇමතිවරයා ද කතාකරන්නේ නමට පමණකි. බටහිර කෘෂිකර්්මයට එරෙහිව ඇමතිවරයාට කළහැකි විශේෂිත කාර්යයක් ද නැත. අද ආධිපත්‍යය ඇත්තේ බටහිර කෘෂිවිද්‍යාවට මිස දේශීය ගොවිකමට නො වේ. බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙන් ගලා එන මේ ආධිපත්‍යයට එරෙහිව දුර්වල ඇමතිවරයකුට කළහැකි කාර්යය කුමක් ද? දේශීය වෙදකම ද (ආයුර්වේදය ද ඇතුළත් ව) එසේම ය. 1956න් පසු දේශිය වෙදකමට, ඇත්තටම සිංහල වෙදකමට වඩා ආයුර්වේදයට ඊනියා වැදගත්කමක් දීමට ආණ්ඩු කටයුතු කළේ ය. අද දේශීය වෙදකම පිළිබඳ ව වෙනම ඇමතිවරයෙක් වෙයි. එහෙත් මෙරට වැසියන් 1956 දීට වඩා අද දේශීය වෙදකමට නැඹුරු වී තිබේ යැයි කිව හැකි ද?

1956 දී සිංහල වෙදකමට තිබූ වැදගත්කම අද එයට නැත. අඩුම තරමෙන් ආයුර්වේදයටවත් නැත. එදා ලංකාව පුරා ගම්පහෙන් බිහි වූ ආයුර්වේද වෛද්‍යවරු විසිරී සිටියහ. ඒ වෛද්‍යවරුන් හඳුන්වනු ලැබුයේ ගම්පහ වෙදමහත්වරුන් නමිනි. අද යක්කළින් බිහිවන වෛද්‍යවරුන් ඇත්තේ කොහේ ද? ඔවුන් තැන තැන විසිරී ඇති බව කවුරුත් දනිති. මෙහි දී අපට ප්‍රශ්නය වන්නේ එය නොව ඔවුන්ගේ අනන්‍යතාව ය. ප්‍රතිශතයක් ලෙස ගතහොත් අද ගම්බදව ද වැඩි පිරිසක් බටහිර දෛ්‍යවරුන් වෙත යන බව රහසක් නො වේ. මේ සම්බන්ධයෙන් ඇතැම් බටහිර වෛද්‍යවරුන් විසින් කරන ලද සමී’ක්‍ෂණවල ප්‍රතිඵල ද වෙයි.

පාසල් පද්ධතිය හා ජනමාධ්‍ය ඔස්සේ බටහිර දැනුමේ ප්‍රබලත්වය ගැන මිථ්‍යාවක් සමාජය ඔස්සේ වපුරද්දී, බටහිර ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයට යට වූ රටක මෙරට දේශීය වෛද්‍ය විද්‍යාව ඉගැන්වීමට ඇති ආයතන ද ක්‍රමයෙන් බටහිරකරණයට ලක්වෙයි. මෙරට උසස් අධ්‍යාපන ඇමති දේශී්ීයත්වයක් ගැන එතරම් දෙයක් දන්නා බවක් පෙනෙන්නට නැත. ඔහු දන්නේ ඉංගිරිසියෙහි හා තොරතුරු තාක්‍ෂණයෙහි ඇති වැදගත්කම ය. 1956න් පසුව මෙරට ඇතැම් ඇමතිවරුන් අතර නොවුවත් ජනතාව අතර ජනවාර්ගික වශයෙන් ගත්කල ජාතිකත්වය පිළිබඳ හැඟීමක් අද වන විට වර්ධනය වී තිබුණ ද, බොහෝ දෙනා පැරණි සිංහලයන්ගේ වාරි තාක්‍ෂණය හා දාගැබ් කර්මාන්තය ගැන ආඩම්බරයෙන් කතාකළ ද, දැනුම සම්බන්ධයෙන් ගත්කල අද අපි එදාට වඩා බටහිර ගැත්තන් බවට පත්වී සිටින්නෙමු.

එහෙත් ඒ සියළු බාධක මධ්‍යයෙහි ද අදත් ජනතාවගෙන් යම් කොටසක්් දේශීය වෛද්‍යවරුන්ගේ පිහිට පතා යන්නේ ඒ වෙදකමෙහි ඇති ප්‍රයෝජ්‍යතාව නිසා පමණක් නොව ඒ පිළිබඳ ඇති විශ්වාසය ද නිසා ය. දේශීය වෙදකමට අද ඇති තවත් බාධක මහත් ර්ශියකි. කලක් කොළඹ වෛද්‍ය පීඨයෙහි ඉගැන්වූ මහාචාර්යවරයකු තම දේශනවල දී කියා ඇත්තේ ඇතැම් රෝග සුවකළ නොහැකි බවත්, ඇතැම් රෝග නිසි ප්‍රතිකාර දීමෙන් සුවකළ හැකි බවත් තවත් රෝග කිසිදු ප්‍රතිකාරයක් නැතිවත් සුවවන බවත් ය. ඔහුට අනුව ආයුර්වේදයෙන් සුවවන්නේ කිසිදු ප්‍රතිකාරයක් නැතිව වුව ද සුවවන රෝග ය! ආයුර්වේදයේ ප්‍රයෝජ්‍යතාව ගැන ඔහුට ඇත්තේත් ඔහු බටහිර වෛද්‍යවරුන්ට දී ඇත්තේත් එවැනි අදහසකි. එහි තේරුම අන්කිසිවක් නොව ආයුර්වේදය මිථ්‍යාවක් පමණක් බව ය. බටහිර විද්‍යාව පිළිබඳ එතරම් දැනුමක් නැතිව වුව ද බටහිර වෛද්‍ය විද්‍යා මහාචාර්යවරයකු (බටහිර වෛද්‍ය විද්‍යාව යනු බටහිර දැනුම් වර්ගීකරණය අනුව තාක්‍ෂණයක් මිස විද්‍යාවක් නො වේ.) එවැනි අදහස් පවසන්නේ බටහිර දැනුමේ දාසයන් වීම නිසා බව පැහැදිලි ය. එවැනි විෂම මත අධ්පති මතවාදය බවට පත් වී තිබියදීත් තවමත් යම් පිරිසක් දේශීය වෛද්‍යවරුන් වෙත යන්නේ ඒ දැනුමෙහි ප්‍රයෝජ්‍යත්වය නිසා ය. අනෙක් අතට බොහෝ විට ඒ නිසා ම ඇතිවන විශ්වාසනියත්වය නිසා ය.

බටහිර විද්‍යාව ගැන අද වෙනත් දෙයක් කීමට නැතිව හුදෙක් ප්‍රයෝජ්‍යත්වය හා විශ්වාසනීයත්වය ගැන කතාකරමින් දේශීය දැනුම මිථ්‍යාවක් බව ප්‍රචාරය කරන අයට පැවසීමට ඇත්තේ බටහිර දැනුමේ ආධිපත්‍යය හමුවේ වුවත් මෙරට තවමත් යම් පිරිසකට දේශීය දැනුමෙහි ඇති ප්‍රයෝජ්‍යත්වය ගැන දැනුමක් ඇති බවත් ඒ පිළිබඳ විශ්වාසනීයත්වයක් ඇති බව පමණක්් නොව සුළු පිිරිසකට වුවත් බටහිර දැනුමේ අයහපත් බව ගැන යම් අවබෝධයක් ඇති බවත් ය. බටහිර දැනුම හා තාක්‍ෂණය හේතුකොටගෙන අද රජරට ප්‍රදේශයේ වකුගඩු රේගය වැළඳී දහස් ගණන් ජනතාව මියයති. මේ රෝගයට ප්‍රධාන හේතුව බටහිර කෘෂිවිද්‍යාව මත පදනම් ව ගොවීන් කෘෂි රසායන ද්‍රව්‍යවලට පුරුදු කිරීම ය. කෘෂි රසායනවල ඇති ආසනික් රජරට ප්‍රදේශවල ඇති පස හේතුවෙන් කිවුල සහිත ජලයට මිශ්‍ර වී රජරට වකුගඩු රෝගය ඇතිකරන බව අද රහසක් නො වේ. මෙරට බටහිර වෛද්‍ය විද්‍යාවේ චර්මරෝග පිළිබඳ විශේෂඥවරු රජරට වකුගඩු රෝගීන්ට ආසනික් විෂවීම පිළිබඳ සා’ක්‍ෂි දරති. රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව කෘෂිරසායනවල ඇති ආසනික් වුව ද එය එකම හේතුව නො වේ. රජරට ඇති කුඹුරු පස නමින් හැඳිනේවෙන පස හා කිවුල් ජලය නොවන්නට ආසනික් කෘෂි රසායන මගින් පැතිරී ගිය ද මේ රෝගය නො වැළඳෙයි.

බටහිර විද්‍යාවෙන් වී ඇති එකම හානිය රජරට වකුගඩු රෝගය වැළඳී අහිංසකයන් දහස් ගණනින් මිය යෑම නො වේ. පරිසර හානිය, වෙනත් රෝග ද පැතිර යෑම, මිනිසුන් සිත් පිත් නැති රොබෝ බවට පත්කිරීමට දරණ උත්සාහය ද ඒ අතර වෙයි. බටහිර දැනුම බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙන් වෙන්කළ හැකි නො වේ. බටහිර දැනුමට හා බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට පරිසරය රැකගත හැකි නො වේ. බටහිරයන්ට අද කිසිම ප්‍රශ්නයකට දුර දිග යන පිළිතුරක් දිය හැකි නො වේ. ඔවුන්ට අද කළ හැක්කේ ප්‍රශ්න කළමනාකරණය පමණකි. පරිසර කළමනාකරණය අද ශබිදකෝශයට එකතු වී ඇත්තේ එබැවිනි.

අනෙක් බොහෝ දැනුම් පද්ධතීන් අවුරුදු දහස් ගණනක් පැවතී ඇත. බටහිර යුදෙව් ක්‍රිස්තියානි යටත්විජිතවාදී ආධිපත්‍යය නොවන්නට ඒ දැනුම් පද්ධති තවත් බොහෝ කල් පැවතීමට ඉඩ තිබිණි. අද ඒ දැනුම් පද්ධති බටහිර යුදෙව් ක්‍රිස්තියානි ආධිපත්‍යයට හසු වී මියැදෙමින් පවතියි. අපට බටහිර දැනුම් පද්ධතිය ගැන කිවහැක්කේ කුමක් ද? එයට අවුරුදු දහස් ගණනක් පැවතිය හැකි ද? කිසිසේත්ම නැත. බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය විසින් මුළු ලෝකය ම විනාශයට ඇදගෙන යමින් පවතියි. අද අපට බටහිර යුදෙව් ක්‍රිස්තියානි ආධිපත්‍යය පරාජය කිරීමට තරම් දේශපාලන හෝ ආර්ථික හෝ ශක්තියක් නැත. අප එය පිළිගත යුතු ය, එහෙත් එයින් කියැවෙන්නේ අප කිසිවක් නොකර සිටිය යුතු බව නො වේ. අපි අපේ දැනුම් පද්ධතිය වර්ධනය කරගන්නා අතර එය මහජනතාවට ද නොයෙකුත් බාධක හමුවේ නමුත් බෙදාහැරීමට කටයුතු කරමු. එහෙත් ඒ අතර ස්වභාව ධර්මය හා බටහිර දැනුමේ පරස්පර විසින් බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය පරාජය කරනු ලැබීම බලා සතුටු වෙමු.

බටහිර දැනුමේ දාසයන්ට අමතර ව අප සමග සිටින්නේ යැයි අඟවමින් අපට පහර ගසන්නෝ ද වෙති. ඇතැමුන් අප විවේචනය කරන්නේ අප මෙහි දී ආගම්වලට පහර ගසන්නේ යැයි කියමිනි. ඔවුහු තම වෙබ් අඩවවිල ජාතිවාදී හෝ ආගම්වාදී හෝ නොවීමට අපට උපදෙස් දෙති. එහෙත් එහි කිසිදු සත්‍යයක් නැත. අප යුදෙව් ක්‍රිස්තියානි ආදී වශයෙන් යොදාගන්නේ සංස්කෘතිකාර්ථයකින් මිස ආගමිකාර්ථයකින් නො වේ. එහෙත් ඇතැම්හු ඒ බව නො දනිති. නැතහොත් නොදන්නා බව අඟවති. මේ අතර ඇතැම්හු අපට පහර ගැසීමට බලාපොරේත්තු වන්නේ අප බෞද්ධයන් නොවන බව කියමිනි. අපි කිසිම ආකාරයක ආත්මවාදීහු නො වෙමු. අඩුම තරමෙන් දැනුම සම්බන්ධයෙන්වත් ආත්මවාදීහු නො වෙමු. කාලය යන්න පඤ්ඤත්තියක් පමණක් වන කල ක්‍ෂණයක් යනුවෙන් වාස්තවික වූ කාල අන්තරයක් ඇතැයි ගැනීමට අපි විරුද්ධ වෙමු. අපේ දැනුම පිළිබඳ දැනුමේ එක් මුල්ගලක් වනුයේ සංකල්පීය වූ සියළු දැනුම් සාපේක්‍ෂ බවත් ඒ නිර්මාණය කරන බවත් සංකල්පීය ලෝකය ඒ හේතුවෙන් ම ශූන්‍ය වන බවත් ය. ඒ අතර බුදුදහමේ සඳහන් වන නිවන, අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදිය සංකල්ප නොවන බව අපි කියා සිටිමු. සංකල්පීය දැනුම තර්කයෙන්, ලෞකික අත්දැකීමෙන් ලබාගත හැකි වුවත් අනිත්‍ය ආදී නිර්සංකල්පීය දැනුම එසේ ලෞකික ක්‍රම භාවිතයෙන් ලබාගත නොහැකි බවත් අපි කියා සිටිමු. එක් ක්‍ෂණයකට වුවත් පවතින ඊනියා වාස්තවික යථාර්ථයක් වූ ධර්ම නැති බවත් එසේ පවතින්නේ යැයි කියන දහමක් වේ නම් ඒ ආත්මවාදී බවත් අපි පවසමු.

අපත් සමග සිටින්නේ යැයි බොරුවට කියමින් අප විවේචනය කරන්නන්ට එතරම් නිරවුල් දැනුමක් නැති බවත් ඒ බොහෝ දෙනාට දේශපාලන හෝ පෞද්ගලික හෝ න්‍යාය පත්‍ර ඇති බවත් අපි දනිමු. පොපර්ගේ අසත්‍යෙක්‍ෂණය (falsification) හෙවත් අසත්‍යකරණයට ලක්කිරීම ගැන මෙලෝ හසරක දැනුමක් නැතිව ඒ ගැන ලියන්නන් මෙන් ම සංස්කෘතිකාර්ථයකින් හෝ වෙනත් අර්ථයකින් හෝ සාපේක්‍ෂවීමක් ගැන කතා නොකර අපේ විද්‍යාවන් ගොඩනැගීම ගැන ලියන්නන්ගෙන් ද අවසානයේ දී සිදුවනු ඇත්තේ බටහිර දැනුමට දාසකම් කිරීම පමණකි.