Main Logo

Friday 3 July 2020

හෙළටුවා හා වෙනත් අටුවා

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0   1   2     3        5   6   7   8    9



හෙළටුවා හා වෙනත් අටුවා

උතුරු මියන්මාරයේ පතලක නාය යාමකින් එකසිය විසිපස් දෙනකුට  වැඩි පිරිසක් මිය ගිහින්. තවත් පිරිසක් අතුරුදහන් වෙලා. වැඩි පිරිසක් මැණික් කැටයක් අහුලා ගෙන කීයක් හරි හොයා ගන්න එන පිරිස්. ඒ සියලු දෙනා වෙනුවෙනුත් සිදු වූ විපත ගැනත් අප කණගාටුව පළ කරනවා. 


මියන්මාරය ගැන තොරතුරු රාශියක් ලැබෙනවා. විශේෂයෙන් ම ඉතිහාසය ගැන. මියන්මාර ඉතිහාසය අපේ ඉතිහාසයට බෙහෙවින් සමාන්තරයි. පූර්ව භාරතීය යුගයක්, භාරතීය යුගයක්, භාරතීයයන් පරාජය කිරීමක්, අශෝක ථෙරවාදී බුදුදහම  හඳුන්වා දීමක් (මිහිඳු මහා රහතන් වහන්සේ හා සෝණ උත්තර මහා රහතන් වහන්සේලා , ආන්ද්‍ර ථෙරවාදී බුදුදහම විසින් අශෝක ථෙරවාදය විස්ථාපනය කරනු ලැබීමක් (බුද්ධඝෝෂ හිමි දවස්වල), හින්දු සංස්කෘතියට යට වීමක් (ලංකාවේ සොළී හා මියන්මාරයේ ඛර්මර්), ඉන් නිදහස ලැබීමක් (විජයබාහු රජු හා මියන්මාරයේ අනවරත රජු දවස), යටත්විජිත සමයක්, ඉන් යම් දේශපාලන නිිහසක් ලැබීමක් ආදී වශයෙන් දළ වශයෙන් හැඳිනගන්න පුළුවන්. පරිච්ඡෙද වශයෙන් එසේ බෙදුවත් ඒ ඒ පරිච්ඡෙද එක ම කාලයක ඇරඹී නැහැ.  

මේ හැඳින්වීමට බොහෝ දෙනා විරුද්ධ වන බව මා දන්නවා. ථෙරවාද කිහිපයක් තිබිය හැකි දැයි ප්‍රශ්න කරාවි. මහායානය හා හීනයානය අතර වෙනස්කම් පවතිනවාක් මෙන් ම ඒ ඒ ථෙරවාද අතර ද වෙනස්කම් තියෙනවා. මා ඒ බව දැන ගත්තේ මියන්මාරයට පැමිණීමෙන් පසුව. මේ වෙනස සූත්‍ර ධර්මය හා නොව අටුවා හා සම්බන්ධයි. වළගම්බා රජු දවස ග්‍රන්ථාරූඪ කළ ධර්මය එලෙස ම පවතිනවා විය යුතුයි. පිටපත් කිරීමේ දී සුළු සුළු වෙනස්කම් ඇති වන්න ඇති. මා හිතන්නේ හෙළටුවා අශෝක ථෙරවාදයේ කියා. බුද්ධඝෝෂ හිමියන් ආශ්‍රිත අටුවා ආන්ද්‍ර ථෙරවාදය කියා. හෙළටුවා ගිනි තිබ්බත් නැතත් ඉන් කියැවෙන්නේ එක් ථෙරවාදයක් අනෙක් ථෙරවාදයෙන් විස්ථාපනය කරනු ලැබීමක්. අද ලංකාවේ ද මියන්මාරයේ ද ඇත්තේ ආන්ද්‍ර ථෙරවාදයයි. 

කෙසේ වෙතත් විජයබාහු රජු හා අනවරත රජු නොවන්නට ලෝකයෙන් ම ථෙරවාදයක් නැති වන්න තිබුණා. ඒ රජවරු දෙදෙනා අතර ඉතා සමීප සම්බන්ධයක් තිබී තියෙනවා. අපේ උපසම්පදාව නැති වී ගිය වකවානුවක විජයබාහු රජු මියන්මාරයෙන් උපසම්පදාව ගෙනැවිත් තියෙනවා. එමෙන් ම ඒ කාලයේ අපේ පොතපත (ආන්ද්‍ර ථෙරවාදය) මියන්මාරයට ගෙනැවිත් තියෙනවා. මියන්මාරයේ කතාවක් තියෙනවා බුද්ධඝෝෂ හිමියන් වැඩි බවට. එහෙත් මා දැනට හිතන්නේ උන්වහන්සේ ආශ්‍රිත අටුවා මියන්මාරයට ගෙනැවිත් ඇති බවත් උන්වහන්සේ වැඩි කතාව පසුව හදා ගත් කතාවක් බවත්. මා වැරදි වන්න පුළුවන් බවත් කියන්න ඕන. 

මේ ලියන දේට බොහෝ දෙනා විරුද්ධ වේවි. මෙරට විජයට පෙර යක්‍ෂ නාග ආදීන් සිටි බව කී නිසා ම ඇතැමුන් පොළඟුන් මෙන් මට පහර දුන්නා. දැන් මේ කියන දේ ඔවුන්ට කෙසේවත් දරා ගැනීමට නොහැකි වේවි. සමහර විට මේ කතා ජාතික ව්‍යාපාරයෙන් අවසාන වශයෙන් මා ඉවත් කිරීමට තුඩු දේවි.  මා එයට මුහුණ දීමට සූදානම්. මා මළ පසු සොහොන් කොතේ නන්නාඳුනන අයකුගේ අත්අකුරින් තබා මොන අකුරකින්වත් දුක් ගී ලියවන්න තබා සොහොන් කොතක් හදවන්නවත් මට අවශ්‍ය නැහැ. ටික දෙනකු හැර දන්නා අඳුනන අය නම් සතුටු වන්නත් ඉඩ තියෙනවා. ජාතික ව්‍යාපාරයට මගෙන් ඉටුවන්න දෙයක් නැති බවත් දැන් සිිදු වන්නේ හානියක් බවත් ඒ සමහරු සිතනවා. 

අද වුණත් අප එක් එක් අය ථෙරවාදය කියා සිතන්නේ එක් එක් දේ. මනස නිවන සම්බන්ධයෙන් ලියන දේ කියවන කොට ඒ බව පැහැදිලි වෙනවා. මනස කියා දෙයක් නැති බව කී විට බොහෝ දෙනා උරණ වෙනවා. මේසය කියා දෙයක් නැති බව ඒ සංකල්පය බොරුවක් බව කී විට ලංකාවේ ථෙරවාදීන් යැයි කියන ඇතැමුන් ද විරුද්ධ වෙනවා. මේසය මනසේ නිර්මාණයක් කියන එක මෙරට ථෙරවාදීන්ට තේරුම් ගැනීම මෙතරම් අමාරු ඇයි ද කියන එක ප්‍රශ්නයක්. මා කතාකරන්නේ ද්‍රව්‍යවාදී සිංහල බෞද්ධ විරෝධය ආත්ම කර ගත් පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් ගැන නො වෙයි. 

සියල්ල මනසේ නිර්මාණයන් යැයි කී විට පඬි නැට්ටන් කියන්නේ අප විඥානවාදීන් කියා. තම ඇරිස්ටෝටලීය ද්විමයන් අනුව ඔවුන් දන්නේ ද්‍රව්‍යවාදීන් හා විඥානවාදීන් ගැන පමණයි. ද්‍රව්‍යවාදී ද විඥානවාදී ද නොවන අය ඉන්න බව ඔවුන්ට වැටහෙන්නේ නැහැ. මෙහි ඉන්නවා කියන්නෙත් සම්මුති අර්ථයකින් පමණයි. මනසක් නැතැයි කියන්නන් විඥානවාදීන් වන්නේ කෙසේ දැයි පඬි නැට්ටන් කියන්නේ නැහැ. 

එහෙත් ලංකාවේ ඇතැම් ථෙරවාදීන්ට අනුව මනසක් තියෙනවා. එය තියෙනවා පමණක් නොවෙයි නතර කරන්නත්, නැති කරන්නත් පුළුවන්. ඒ නම් උච්ඡෙදවාදයක් ලෙසයි මා සලකන්නේ. එය හැමදාමත් පවතින බමුණන්ගේ ශාස්වතවාදී මනසකින් නම් වෙනස් වෙනවා. අප ශාස්වතවාදී හරි උච්ඡෙදයකින් කෙළවර වන නතර කරන හරි මනසක් ගැන කතා කරන්නේ නැහැ. මා දන්නා බුදුහාමුදුරුවන් ශාස්වතවාදයත් උච්ඡෙදවාදයත් දෙක ම බැහැර කළා.  මනසත් මේසය වගේ ම මනසේ නිර්මාණයක්. ඒ ගැන දැනට අවුරුදු විස්සකට පමණ ඉහත මා ලියූ  සිංහල බෞද්ධ මනස ලිපියේ සඳහන් කර ඇති. එය කාන්ට්ගේ දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේගේ ම නිර්මාණයක් කියන එකට වඩා වෙනස්. 

මෙයින් පෙනී යන්නේ අප අතරත් විවිධ ථෙරවාද අර්ථකථන තිබෙන බව.එය වළක්වන්න බැහැ. අශෝක ථෙරවාදයක් හා ආන්ද්‍ර  ථෙරවාදයක් ගැන අප කියන්නේ එක්තරා ආකාරයකට පොදු අර්ථයකින්. ඒ පොදු අර්ථකථනය තුළ අප එකිනෙකාගේ අර්ථකථන ද තියෙනවා. අර එක් පොදු අර්ථකථනයක් පස්වැනි සියවසේ දී පමණ වෙනත් පොදු අර්ථකථනයකින් විස්ථාපනය වී තිබෙනවා. හෙළටුවා ගිනි තැබීම යන්නෙන් පිළිබිඹු වන්නේ ඒ විස්ථාපනයයි. ආන්ද්‍ර ථෙරවාදයේ නිල භාෂාව බවට පාලි පත් වෙලා.