Main Logo

Tuesday 21 July 2020

සංවර්ධනය, ආකෘතිය, එම්සීසී හා නිලධාරීන්

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1        3      4    5   6   7    8    9





සංවර්ධනය, ආකෘතිය, එම්සීසී හා නිලධාරීන්

ලංකාව ඊනියා සංවර්ධනය වෙමින් පවතින රටක්. මා හිතන්නේ දැන් අවුරුදු පනහක් පමණ තිස්සේ සංවර්ධනය වෙමින් පවතිනවා. ඒත් සංවර්ධනය වන්නේ නැහැ. ආසියාවේ අපට වඩා සංවර්ධනයෙන් පහත සිටි රටවල් බොහොමයක් දැන් අපට වඩා උඩින් ඉන්නවා. මේ සංවර්ධන ආකෘතිය බටහිර ආකෘතිය බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. තවත් ටිකක් කිව්වොත් ධනවාදී ආකෘතියක්.

මේ ආකෘතිය අවසන් බව දැන් දැන් කියැවෙනවා. ඇතැමුන් එයින් බලාපොරොත්තු වන්නේ ඊනියා සමාජවාදී ආකෘතියක්. එය නම් සම්ම ජාතියේ ලැබෙන්නේ නැහැ. "කම්කරු පංතිය"වත් ඔවුන්ගෙ නායකයන්වත් එයට සූදානම් නැහැ. ඔවුන්ට ඇති විකල්ප ආකෘතියකුත් නැහැ. ඔවුන් සදාකාලික ව ධනවාදයට සිහින විකල්පය වෙනවා. ඒ ගැන කියව කියව ඉන්න පුළුවන්. ඒ කියවන පිරිසත් එන්න එන්න අඩුවෙනවා. 

ලංකාවවත් වෙනත් රටක්වත් තවම සංවර්ධනය සඳහා විකල්ප ආකෘතියක් ගොඩ නගා ගෙන නැහැ. අප දන්නේ ධනවාදයට විරුද්ධ වෙමින් එහි ම ලැග ඉන්න පමණයි. එහි දී අප අනෙක් රටවල් සමග සසඳන විට ඊනියා දියුණුවක් අත් කර ගෙන නැති බව පේනවා. 

ලෝකයේ කිසිම රටක් අපේ ආධාරයට එන්නේ නැහැ. විශේෂයෙන් ම දියුණු ය කියන රටවල් අපේ සහායට එන්නේ නැහැ. දියුණුය කියන රටවල් බලන්නේ අප දඩමීමා කර ගෙන තවත් දියුණු වන්නයි. අපට ණය දෙන රටවල් ගැන අප පරීක්‍ෂාවෙන් ඉන්න ඕන.  පොලිය වැඩි වුණත් අඩු වුණත් පොලියක් නැතත් මොකක් හරි ඇස් බැංදුමක් තියෙනවා. අපට දෙන දේට වඩා අපෙන් ගැනීමක් සිද්ධ වෙනවා. අහවල් රට හොඳය කියා කියන්න බැහැ. ඒ ඒ රටවල ක්‍රම සහ විධි වෙනස්. එපමණයි. 

අපට ලෝකයේ තනියම ජීවත් වන්න බැහැ. ජීවත් වන්න හැදුවත් එයට ඉඩක් දෙන්නේ නැහැ. අප නැතිව අනෙක් රටවලට තව තවත් සංවර්ධනය වන්න බැහැ. අපට සුළු සංවර්ධනයක් ලබා දී වැඩි සංවර්ධනය ඔවුන් ලබා ගන්නවා. මේ සුළු සංවර්ධනය අපට ඉතා ලොකුයි. අපට ආධාර කරනවා කියන හැම රටක් ම ඉස්මතු කර පෙන්නන්නේ අපට ලැබෙන ඒ සොච්චමයි. ඔවුන්ට කිසිවක් නොලැබෙන ගානටයි කියන්නේ. ලෝකයේ වෙස්සන්තරලා ඉන්නවා කියා හිතන්න එපා. අර සොච්චම ලබා ගැනීමට අපට සමහර විට අපේ ස්වෛරීභාවයත් යම් පමණකට පාවා දෙන්න වෙනවා. 

ලංකාවේ අප අනෙක් බොහෝ රටවලට වඩා අපට ලැබෙන නැතිවන දේ ගැන කල්පනා කරනවා. අප හැමදාමත් සංවර්ධනය වෙමින් පැවතීමට එක් හේතුවක් එයයි. අපට ඇත්තේ ගිවිසුම් මගින් නොයෙකුත් දේ නැති කර ගත් ඉතිහාසයක්. ගිණි පෙනෙල්ලෙන් බැට කෑ එකා කණාමැදිරියාටත් බයයි කිව්වළු. පෘතුගීසීන් ලන්දේසීන් ඉංගිරිසින් සියල්ලන් ම පොරොන්දු වෙලා තියෙනවා ලංකාවේ සිංහල නීති අනුව කටයුතු කරනවා කියා. ඒත් අප දන්නවා සිංහල නීතියට වෙලා තියෙන දේ. 

ගිවිසුම් ගැන කතා කරද්දී අර කණාමැදිරියාටත් බය පිරිස වගේ ම මෙන් ම අනෙක් පාර්ශ්වයට අනවශ්‍ය විධියට බය පිරිසක් ද ඉන්නවා. ඔවුන් හැම තිස්සෙම බලන්නේ අනෙක් පාර්ශ්වය සතුටු කිරීමට. අනෙක් පාර්ශ්වය තරහ වෙයි කියල ඔවුන් බයයි. එය අපේ අධ්‍යාපනයෙන් ඇති කරන බයක්. අප දැන් බය පව් කරන්න නොවෙයි. අනෙක් පාර්ශ්වය තරහ යෑම ගැන. මෙහි දී වඩාත් ම බය අනෙක් පාර්ශ්වය බටහිර රටක් වූ විට. බටහිර නොවන රටක් අනෙක් පාර්ශ්වය වූ විට ප්‍රශ්නයක් ඇති වුණොත් බටහිර රටවල් ඉන්නවා ය කියන හැඟීමක් තියෙනවා. 

අපට දේශපාලන අධ්‍යාපනය ලැබෙන්නේ බටහිර රටවලින් හා ඊනියා ධනවාදී නොවන පොත්පත් සඟරා මගින්. ඒ දෙක දෙකක්. එකල නම් සෝවියට් දේශයෙන් නොමිළේ ලබා දුන් පොතපත සඟරා කියවූ පිරිසක් හිටියා. ඔවුන්ට ලැබුණේ ස්ටැලින් පන්නයේ සමාජවාදී අධ්‍යාපනයක්. රජයේ උසස් නිලතල දැරූ බොහෝ දෙනකු නිල අධ්‍යාපනයෙන් බිහි වූ අය. ඉගෙන ගන්න කාලයේ දී සමහරු වාමාංශික (බොහෝ විට ට්‍රොට්ස්කිවාදී)  අදහස් දැරුවත් නිලතල ලබා ගැනීමෙන් පසු ඔවුන් හැව ඇරියා. 

එම්සීසී ගිවිසුම පිළිබඳ ව ගුණරුවන් වාර්තාව නිකුත් වීමෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ඇමතිවරන්ගේ අදහස් විමසලා තියෙනවා. ඇමතිවරුන්ගේ අදහස් විමසන එකේ තේරුම එහි දේශපාලනය දැන ගැනීමටයි. එහෙත් ඇතැම් ඇමතිවරු තම නිලධාරීන්ගෙන් විමසලා. නිලධාරීන් දෙන්නේ බොහෝ විට තමන්ට ලැබුණු බටහිර අධ්‍යාපනය මත පදනම් වූ උපදෙස්. එම්සීසී ගිවිසුම සම්බන්ධයෙන් ඒ අදාළ නැහැ. නිලධාරීන් එකතු වී සකස් කරන වාර්තාවක් අර බටහිරට තිබෙන බය මත සකස් වූ එකක් වෙනවා. 

එම්සීසී දේශපාලනීකරණයට ලක් වුණු ගිවිසුමක්. පසුගිය ජනාධිපතිවරණයේ දී පොදු ජන පෙරමුණු වේදිකාවේ එය තදින් විවෙචනයට ලක් වුණා. එය අහෝසි කරන ලෙසයි කථිකයන්ගෙන් ප්‍රකාශ වුණේ. ගුණරුවන් වාර්තාවෙන් කියැවෙන්නෙත් එය අහෝසි කිරීමටයි. නිලධාරීන් තමන්ට ලැබුණු අධ්‍යාපනය හා පුහුණුව අනුව එක්සත් රාජ්‍ය (ඇුමරිකාව) තරහ කර ගන්නෙ නැතිව එම්සීසී සම්බන්ධයෙන් ක්‍රියා කරන ලෙස කියාවි. 

අප කිසිම රටක් තරහ කර ගන්න ඕන නැහැ. එහෙත් අපට අපේ ස්වෛරීභාවය වැදගත්. අප කුඩා රටක්. ඒ වගේ ම ඊනියා සංවර්ධනය බලාපොරොත්තු වෙන රටක්. එහි දී අපට මුදල් අවශ්‍ය වෙනවා. ඒ සඳහා වෙනත් රටවලින් ණය ගන්න සිදු වෙනවා. නිලධාරීන්ගේ දක්‍ෂකම විය යුත්තේ රටේ දේශපාලන අධිකාරියට අවශ්‍ය අන්දමට රටට බරක් නොවන අන්දමට ණය ලබා ගැනීම මිස අහවල් රට තරහ වේය යන බය නිසා ඔවුන් කියන කොන්දේසිවලට එකඟ වීම නො වෙයි. 

නිලධාරීන්ට ඇමතිවරු උපදෙස් දෙන ලෙස කීවේ නම් (එසේ නොකළ යුතු ව තිබුණා) නිලධාරීන් කළ යුත්තේ අදාළ ඇමතිවරුන්ට උපදෙස් ලබා දීම මිස නිලධාරීන් එකතු වී අගමැතිට වාර්තා සැපයීම නො වෙයි. කෙසේ වෙතත් අගමැති මෙහි දී තවත් ඇමතිවරයකු පමණයි. ඇමතිවරුන්ගෙන් වාර්තා ඉල්ලුවේ අගමැති නො වෙයි.

නිලධාරීන් හා අගමැති අතර මේ සිද්ධියේ දී සම්බන්ධයක් ගොඩ නැගෙන්නේ නැහැ. නිලධාරීන්ට එකතු වී වැඩ කරන ලෙස කිසිවකු කියා ඇති බවක් දැන ගැනීමට නැහැ. එසේ එකතු වී වැඩ කළත් අවසානයේ දී එකම වාර්තාව වුවත් ඇමතිවරුන්ට වෙන වෙන ම දිය යුතුව තිබෙනවා. යම් ඇමතිවරයකු තම නිලධාරීන්ගෙන් උපදෙස් පතා නැත්නම් (කළ යුතු පරිදි) අදාළ නිලධාරීන්ට කරන්න දෙයක් නැහැ. අනෙක් සමහර ඇමතිවරුන් නිලධාරීන්ගෙන් උපදෙස් ඉල්ලා ඇති නිසා උපදෙස් ඉල්ලා නැති අමාත්‍යාංශවල නිලධාරීන් අගමැතිට උපදෙස් දෙන්න යන්න ඕනෙත් නැහැ. 

කොවිඩ් වසංගතය ඉදිරියේ බටහිර නොවන ආර්ථික ආකෘතියක් ගැන හිතන්න කාලය ඇවිත්. එය ඊනියා සමාජවාදී නම් වෙන්න බැහැ. පුටින්ගෙන් අහල බලන්න. ජාතිකවාදී අදහස් දරණ ආර්ථිකය ගැන දැනුමක් ඇති අයට (ඊනියා ආර්ථික විද්‍යාඥයනට නොවෙයි) අනගි අවස්ථාවක් ලැබිල තියෙනවා.