Main Logo

Friday 24 July 2020

ප්‍රශ්නය කාගෙ උප්පැන්න ගැන ද?

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1        3      4    5   6   7    8    9





ප්‍රශ්නය කාගෙ උප්පැන්න ගැන ද? 

උප්පැන්න සහතිකයේ ජාතිය සඳහන් කිරීම පිළිබඳ ප්‍රශ්නයක් පැන නැගිලා.  මේ ප්‍රශ්නයත් බටහිර සංකල්පවල අවුල් සහගත භාවයත් ඒ සංකල්ප සිංහලට පරිවර්තනය කිරීමේ දී ඇති වන තව තවත් අවුල් නිසාත් ඇති වන දෙයක්. අප ජීවත්වන්නේ ක්‍රිස්තියානි සංකල්ප, ප්‍රවාද ඇතුළු දැනුම්, නීතිය පමණක් නොව ආකෘති ද යොදා ගනිමින්. ලෝකයේ ම තානාපති කාර්යාල ලිපි ගණුදෙනු කරන්නේ ඉනුත් ඉංගිරිසි ආකෘතියේ. උප්පැන්න සහතිකය පමණක් නොව ගමන් බලපත්‍රය ද ඉංගිරිසි ආකෘතියේ.

උප්පැන්න සහතිකයේ කතාව තරමක් විස්තරාත්මක ව ලිවිය යුතු දෙයක්. එහෙත් අපේ ඇතැම් අයට අවශ්‍ය වෙලා තියෙනවා මේ සම්බන්ධයෙන් මා කියන්නේ මොකක් දැයි දැන ගැනීමට. ඒ නිසා මා පළමුව නිගමනය කියන්නම්. උප්පැන්න සහතිකයේ අලුත් ආකෘතියට මා විරුද්ධයි. ඒ කියන්නේ පරණ ආකෘතියට එකඟ කියන එක නො වෙයි. ඒකත් මහා අවුලක්. ඒ සමග ම මා කියන්න ඕන මෙරට අද ඇත්තේ සිංහල ජාතිය පමණක් බවත් මුස්ලිම් ජනවර්ගයක් තිබුණත් දෙමළ ජනවර්ගයවත් නැති බවත්. පළාත් තුනක වෙන ම දෙමළ ජනකොටස් තුනක් වෙන වෙන ම නායකයන් සහිතව ජීවත් වෙනවා. මැලේ ජනයා අද වන විට සිංහල මුස්ලිම් ලෙසට පරිවර්තනය වෙමින් සිටිනවා. එය හොඳ ලක්‍ෂණයක්. මේ විස්තරය අවසන් කරන තුරු ඉන්න බැරි අයකු ඉන්නචා නම් ජාතිය සංස්කෘතිය හා චින්තනය හා පසුව ලියා ඇති ලිපි කියවීමෙන් යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. කාට හරි හිතෙනව නම් මා ෆෝකස්  (නාභිගත) නැහැ කියල කාචයක් (ලෙන්ස්) අරගෙන නාභිගත කර ගන්න. 

මා කියන්නේ සිංහල ජාතිය අවුරුදු විසිදාහක් පමණ කාලයක් මෙරට පැවති බවක්වත් ඉදිරියට දිගට ම එය පවතින බවක්වත් නො වෙයි. සිංහල ජාතියට ආරම්භයක් තිබෙනවා මෙන් ම අවසානයකුත් තියේවි. සිංහල බෞද්ධයනට එය ප්‍රශ්නයක් විය යුතු නැහැ. එහෙත් අප එය බටහිරයන් කියන නිසා අවසන් කර ගත යුතු නැහැ. අප බටහිරයන් කියන නිසා ඊනියා ලාංකිකයන් විය යුතු නැහැ. මලයාලම් කතා කළ පවුලකින් පැවත එන බෞද්ධයකු වන මා මිත්‍ර සුරේන් රාඝවන් මගෙන් දිනක් ඇහුවා ජාතිය කියන්නෙ මොකක් ද කියන එකට නිර්වචනයක් දෙන්න පුළුවන් ද කියලා. බැරි කමක් නැහැ. එහෙත් අනෙක් නිර්වචන මෙන් ම එයත් සංස්කෘතිය මත පදනම් වෙනවා. අපි ජාතිය කියන්නෙ බටහිරයන් ජාතිය කියන්නට නො වෙයි. නිලධාරීන්ගේ  පරිවර්තන ඊටත් වඩා අවුලක් ඇති කරනවා.

උප්පැන්න සහතිකය කියන්නෙ බටහිර සංකල්පයක්. පඬි නැට්ටකු කියන්න පුළුවන් එය දේපොළ අයිතිය හා සම්බන්ධ ධනවාදී සංකල්පයක් කියලත්. මා දන්නෙ නැහැ ස්ටැලින්ගෙ සෝවියට් දේශයෙ උප්පැන්න සහතික තිබුණ ද නැත් ද කියන්න. ඒ කොහොම වුණත් උප්පැන්න සහතික ඇතත් නැතත් අපේ මුතුන් මිත්තන් ගැන දැන ගන්න ක්‍රමයක් තියෙනව නම් හොඳයි. යාපනයෙ ඉන්නෙ දෙමළ කතා කරන නායකයන් ගැන අපි දැන ගන්නෙ තෝම්බු ආශ්‍රයෙන්. ඔවුන් දාඨිය පීඨිය කාලෙ ඉඳන් ඉන්න අය නො වෙයි. 

උප්පැන්න සහතිකය බටහිර සංකල්පයක් වුණත් අපි හත්මුතු පරම්පරාවක් ගැන කතා කරල තියෙනවා. අපේ මහාවංසය කියන්නෙ එක්තරා විධියක දීර්ඝ උප්පැන්න සහතිකයක්. ඒ නිසා බටහිර ආකෘතියෙ ම නොවුණත් අපට අපේ පරම්පරාවල් ගැන දැනුමක් තියෙනවා. අපට ඉතිහාස විඥානයක් ඉතා මෑතක් වන තුරු තිබුණා. අපේ වංසකතා එයට හොඳ ම උදාහරණය. අපේ ඉතිහාස විඥානය නැති කෙළෙ ඊනියා නිල ඉතිහාසඥයන් හා අධ්‍යාපනඥයන්. කුරුණෑගල නගරාධිපති නො වෙයි. 

දැනට ක්‍රියාත්මක වන ගමන් බලපත්‍ර ආකෘතියෙ තියෙනවා ජාතිකත්වය කියල වචනයක්. ඒක ඉංගිරිසි nationality status  වචනවල පරිවර්තනය.  ඒ සඳහා ලියන්නෙ ස්‍රී ලන්කන් (Sri Lankan) කියලා. මෙය ශ්‍රී ලංකාවේ රටවැසියන් ස්‍රී ලන්කන් නැත්නම් ශ්‍රී ලාංකිකයන් යනුවෙන් කීමක්. අප එයට එකඟ ද? අපේ ජාතිකත්වය කුමක් ද? ලාංකික ද ශ්‍රී ලාංකික ද මොකක් ද? අපි සිංහලෙන් ලාංකික, ඉංගිරිසියෙන් ස්‍රී (ශ්‍රී නොවෙයි) ලාංකික ද? 

වත්මන් උප්පැන්න සහතිකයෙ තියෙන්නෙ රේස් (race) කියලා. එය සිංහලට පරිවර්තනය කරල තියෙන්නෙ ජාතිය කියලා. පියාගෙ ජාතිය ගැනයි අහන්නෙ. ඒත් ඉංගිරිසින්ට අවශ්‍ය වුණෙ රේස් මොකක් ද කියල දැන ගන්න. රේස් කියන එක සිංහලයන්ගෙ සංකල්පයක් නො වෙයි. ඒක බටහිර සංකල්පයක්. අද බටහිරයන් කියනව රේස් කියන එක වැරදියි කියලා. අපි ඉන්නෙ නම් රේස් එකක. ඒ බටහිරයන් එක්ක කරන දිවිල්ලක්.

බටහිරයන් රේස් තියෙනවයි කියන විට අප කියනවා ඔව් තියෙනවා කියලා. ඒක දැනුමක් කියලත් කියනවා. ඊට පස්සෙ බටහිරයන් රේස් කියල එකක් නැහැයි කියන විට අපත් කියනවා නැහැ නේන්නම් කියලා. ඒ මදිවට ඒකත් දැනුමක් කියල කියනවා. රේස් තිබුණත් නැතත් අපි හැමදාමත් රේස් එකෙන් පරාදයි. 

දැන් ඉංගිරිසින් රේස් මොකක් ද කියල ඇහුව ම අපි සිංහල කියා කියනවා. එහෙමත් නැත්නම් ඉංගිරිසින් සිංහල කියන එක රේස් කියල හඳුන්වනවා. අපට කියන්න තියෙන්නෙ සිංහල කියන්නෙ රේස් එකක්වත් ඊනියා ජාතිකත්වයක්වත් නො වෙයි කියලා. සිංහල කියන්නෙ ලෝකෙ පැරණී ම ජාතින් දෙකෙන් එකක්. එය ඇරඹුණෙ කවදා වුණත් (විජයට පසුව ද නැද්ද) ඒක බටහිර ජාතික රාජ්‍යය කියන සංකල්පයට වඩා පැරණියි. අපට ජාතිය කියන්නෙ ඊනියා ජාතික රාජ්‍යයක රටවැසියන් නොවෙයි.  (මතු සම්බන්ධයි)