Main Logo

Showing posts with label ගුරුත්වාකර්ෂණය. Show all posts
Showing posts with label ගුරුත්වාකර්ෂණය. Show all posts

Wednesday, 10 September 2014

අමරතුංග මහතා පොපර් ආරක්‌ෂා කරන්නේ කෙසේ ද?



ඩී එස් සී උපාධිධාරි සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා මා අගොස්තු 20, 27 හා සැප්තැම්බර් 3 වැනි දිනවල ඇසූ ප්‍රශ්නවලට සැප්තැම්බර් 10 වැනි දිනවත් පිළිතුරු දේ යැයි බලාපොරොත්තු වෙමි. පළමු කොට ම ඒ මහතා තමා සත්‍යය යනුවෙන් සලකන්නේ කුමක් දැයි පැහැදිලි කර ඒ මත පදනම් ව පිළිතුරු ඉදිරිපත් කරන්නේ නම් මැනවි. සත්‍යය යනු කුමක් ද යන්න පිළිබඳ ව මගේ අර්ථකථනයක් ඇත. එහෙත් එය පැහැදිලි කිරීමට පෙර අමරතුංග මහතා සත්‍යය යනුවෙන් අදහස් කරන්නේ කුමක් දැයි දැනගනු කැමැත්තෙමි. එසේ වුවත් ඒ සඳහා අමරතුංග මහතාට දීර්ඝ කාලයක් ලබාදීමට මා සූදානම් නැත. 

පසුගිය ජූනි 27 වැනි දා මහනුවර දී පවත්වන ලද රැස්වීමේ රූප පටිය එම රැස්වීම සංවිධානය කළ විද්‍යා සංවාද කුලකයෙන් මට ලැබී ඇත. එහි ගුණාත්මක බව අඩුවුව ද එය නැරඹීමට ඒ බාධාවක් නො වේ. එය කාලය වෙබ් අඩවියෙන් (www.kalaya.org) ද පහත සඳහන් සබැඳිවලින් ද ලබාගත හැකි ය. 

https://www.youtube.com/watch?v=gPFcJxO7nyI

https://www.youtube.com/watch?v=AIFguCIVIHg#t=27

එහි මහාචාර්ය කීර්ති තෙන්නකෝන් මහතා ගුරුත්වාකර්ෂණය හා සාධාරණ සාපේක්‍ෂතාවාදය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අදහස් අවශ්‍ය අයකුට අසා ගැනීමට පටිගත වී ඇත. එහෙත් අමරතුංග මහතාට නම් ඒ එතරම් ප්‍රයෝජනයක් නොවනු ඇත්තේ වියුක්තය තේරුම් ගැනීමේ දී ඒ මහතා දක්වන අදක්‍ෂතාව හේතුකොටගෙන ය. කෙසේ වුවත් තෙන්නකෝන් මහතාට අනුව අමරතුංග මහතා පමණක් නොව බටහිර භෞතික විද්‍යාව ගැඹුරෙන් හැදෑරීමට තරම් ගණිත දැනුමක් නැති කාලෝ ෆොන්සේකා මහතා වැන්නන් ද පවසන ආකාරයෙන් නොව අයින්ස්ටයින් තම සාධාරණ සාපේක්‍ෂතාවාදයෙන් කර ඇත්තේ නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය වර්ධනය කිරීමක් නොවන බව පැහැදිලි වනු ඇත. මෙරට අභාග්‍යයකට මෙන් බටහිර විද්‍යාවේ දර්ශනය ගැන කතාකරන්නෝ වියුක්තය ගැන එතරම් අවබෝධයක් නැති බටහිර ජෛවීය විද්‍යාවන් හැදෑරුවෝ ය. තෙන්නකෝන් මහතාට අනුව ද අයින්ස්ටයින්ගේ හා නිවුටන්ගේ සංකල්පීය පද්ධති එකිනෙකට වෙනස් ය. එකිනෙකට වෙනස් පද්ධති දෙකක් එකක් අනෙකෙහි වර්ධනයක් ලෙස දැකිය හැක්කේ ඒ පද්ධති දෙකක් බවවත් තේරුම් ගැනීමට නොහැකි මහාචාර්යවරුන්ට ය!    
  
බටහිර විද්‍යාව පට්ටපල් බොරුවකි යන්න පදනම් වන්නේ බොරුව යනු කුමක් ද යන්න මත, එනම් ඇත්ත යනු කුමක් ද යන්න මත බව කීම අවශ්‍ය නො වේ. මා පදනම් වන්නේ මා දන්නා බුදුදහම හා සිංහල බෞද්ධ සංස්කෘතිය මත ය. එහි දී මා ද්වයතානුපස්සනා සූත්‍රය යොදා ගන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියෙන් මා ලබාගන්නා උදාහරණයක් ලෙස ය. අමරතුංග මහතා සිතා සිටින්නේ ඔහු මා එතැනට තල්ලු කර දැමූ බව ය. ඔහුගේ අනෙක් බොහෝ සිතිවිලි මෙන් ම ඒ සිතිවිල්ල ද වැරදි ය. මම කලක සිට සියළු දැනුම් බොරු බවත් ඒ අවිද්‍යාව නිසා අප විසින් නිර්මාණය කෙරෙන  බවත් පවසමි. කෙසේ වුවත් අමරතුංග මහතා සත්‍යය යනු කුමක් දැයි පැහැදිලි කිරීමෙන් පසුව ඒ පිළිබඳ ව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ හැකි ය. 

මා ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දීම කල්තබා අමරතුංග මහතා කුන් හා ෆෙයරාබන්ඩ් ගැන සඳහන් කරන්නේ මා ඔවුන්ගේ අදහස් මත යැපෙන්නේ යැයි අමරතුංග මහතා විශ්වාස කරන නිසා විය හැකි ය. එහෙත් මා කලින් ද කියා ඇති පරිදි ඔවුන්ගේ ඇතැම් අදහස් සමග මා එකඟ වුව ද මා පදනම් වන්නේ මා දන්නා බුදුදහම, එනම් මට සාපේක්‍ෂව මා නිර්මාණය කර ඇති බුදුදහම මත ය. මා දන්නා බුදුදහමේ ඊනියා දර්ශනයක් නැත. බෞද්ධ දර්ශනය (Buddhist Philosophy)  යනු බටහිර අනුකාරක ඇතැම් බෞද්ධ යැයි කියාගන්නා උගතුන්ගේ ව්‍යාජ කතාවක් පමණකි. බුදුදහමෙහි උත්සාහ කරන්නේ ඊනියා දැක්ම (දර්ශනය) නැතිකිරීම ය. ඤාණය, අඤාණ බවට පත්කිරීම ය. කූන්ගේ හෝ ෆෙයරාබන්ඩ්ගේ හෝ පශ්චාත්නූතනවාදීන්ගේ හෝ දර්ශන සිංහල බෞද්ධයකු වන මම කෙවිටකින් ගත් ගැරඬි හැවක් මෙන් විසි කරමි. 

පශ්චාත්නූතනවාදීන් කියන ආකාරයේ පශ්චාත්නූතනත්වයක් ඇතැයි මම නො සිතමි. ඔවුන් පශ්චාත්නූතනත්වයක් යැයි කියන්නේ නූතනත්වයේ ම වර්ධනයකට ය. අද සිදුවන්නේ පෞද්ගලිකත්වය හා පංචෙන්ද්‍රිය පිනවීම ඝාතීය ව (exponentially) වැඩිවීමකි. ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ඉලෙක්ට්‍රොනික තාක්‍ෂණයේ වර්ධනයක් ද දේශපාලන හා ආර්ථික ආධිපත්‍ය එංගලන්තයෙන් ඇමරිකාවට මාරුවීමක් ද දැකහත හැකි ය. එහෙත් එහි නූතනත්වයෙන් කැඩීමක් නො වී ය.  නූතනත්වයේ ප්‍රතිඵලයක් වූ බටහිර විද්‍යාව  ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසු වෙනස් වී නැත. එහි සුසමාදර්ශී වෙනසක් ක්වොන්ටම් භෞතිකයත් සමග ඇතිවුවත් බටහිර විද්‍යාඥයෝ ක්වොන්ටම් භෞතිකය ඊනියා යථාර්ථයක් ලෙස නොසලකති. ඔවුහු තවමත් අයින්ස්ටයිනීය සුසමාදර්ශයේ එල්බගෙන සිටිති. බටහිර භෞතික විද්‍යාඥයන්ට අනුව ක්වොන්ටම් භෞතිකය යනු ගණනය කිරීමට යොදා ගන්නා අවියක් පමණකි. ඔවුන් ම කියන ආකාරයට ඔවුන්ට ක්වොන්ටම් භෞතිකය නො තේරෙයි. එයට හේතුව බටහිරයන් තවමත් නූතනත්ව චින්තනයේ ගැලී සිටීම ය. ක්වොන්ටම් සුසමාදර්ශය ද ක්‍රියාත්මක වන්නේ බටහිර යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි ය.    

පසුගිය සතියේ අප ඉතා කෙටියෙන් පැවසූ පරිදි මට නැතත් අමරතුංග මහතාට නම් අවසාන වශයෙන් පිහිටට එන්නේ ෆෙයරාබන්ඩ් ය. ඒ බව තරමක් පැහැදිලි කළයුතුව ඇත්තේ එසේ කෙටියෙන් කියන දේ අමරතුංග මහතාට කෙසේවත් නොතේරෙන බැවිනි. අමරතුංග මහතාට අනුව කවදත් කොතැනකත් තිබුණේ එකම විද්‍යාවකි. ඔහුට අනුව බටහිර විද්‍යාව පහළොස්වැනි සියවසෙන් පසුව ඇරඹි දැනුම් පද්ධතියක් නො වේ. ඔහුගේ දැනුම අනුව සිංහල වෙදකම ද බුදුදහම ද ආනුභාවික (empirical) දැනුම් පද්ධති වෙයි. බටහිර විද්‍යාව අනෙක් විද්‍යාවන්ගෙන් වෙන් නොවන්නේ නම් එයට ආවේණික වූ විද්‍යා දර්ශනයක් (Philosophy of Science) තිබිය නො හැකි ය. අමරතුංග මහතාට අනුව බටහිර වෛද්‍ය විද්‍යාවටත්, ආයුර්වේදයටත්, සිංහල වෙදකමටත් තිබිය හැක්කේ එකම දර්ශනයකි. එය අන් කිසිවක් නොව ඊනියා ආනුභවික කතන්දරය යැයි සිතමි. 

එසේ වුවත් බේකන්ගේ කාලයේ සිට ම බටහිර දාර්ශනිකයෝ අනෙක් දැනුම් පද්ධතීන්ගෙන් වෙන්වීමක් පෙන්නුම් කරන වෙනසක් බටහිර විද්‍යාවේ දුටුවෝ ය. බටහිර දාර්ශනිකයෝ මේ වෙනස් දර්ශනය හැඳින්වීමට විද්‍යාවේ දර්ශනය යන නම ද යොදා ගත්හ. ඔවුන් එය විද්‍යාවේ දර්ශනය ලෙස නම් කළේ ඔවුන්ට අනුව වෙනත් විද්‍යාවක් නොතිබූ බැවිනි. එහෙත් අපි ඒ බටහිර විද්‍යාවේ දර්ශනය ලෙස හඳුන්වමු. අප එසේ කරන්නේ අපට සාපේක්‍ෂ ව බටහිර විද්‍යාව හැරෙන්නට වෙනත් විද්‍යා හා දැනුම් පද්ධති  තිබෙන බැවිනි. 

අමරතුංග මහතාට සංගත ව පරස්පරවලින් තොරව යමක් කියාගත නො හැකි ය. ලෝකයේ කවදත් කොතැනත් තිබුණේ එකම විද්‍යාවක් යැයි කියන අමරතුංග මහතාට අනුව බටහිර විද්‍යාව අනෙක් දැනුම් පද්ධතීන්ගෙන් වෙනස් යැයි කියමින් බටහිර විද්‍යාවට වෙන ම දර්ශනයක් ඇතැයි කියන, බේකන් පොපර් පමණක් නොව කූන් ද වැරදි විය යුතු ය. එහෙත් අමරතුංග මහතා කූන්ට විරුද්ධව පොපර් ආරක්‍ෂා කරයි. වෙනත් අයුරකින් කියන්නේ නම් අමරතුංග මහතාට අනුව පොපර් නිවැරදි ය. පොපර් නිවැරදි ය යන්නෙන් කියැවෙන්නේ කුමක් ද? 

ඒ අන්කිසිවක් නොව අමරතුංග මහතාට අනුව පොපර්ගේ බටහිර විද්‍යාව පිළිබඳ දර්ශනය නිවැරදි බව ය. පොපර්ගේ බටහිර විද්‍යාව පිළිබඳ දර්ශනය නිවැරදි වීමට නම් පළමුව බටහිර විද්‍යාව යනුවෙන් දැනුම් පද්ධතියක් අනෙක් දැනුම් පද්ධතීන්ගෙන් වෙන් වී පැවතිය යුතු ය. වෙනත් අයුූරකින් කියන්නේ නම් බටහිර විද්‍යාව අනෙක් විද්‍යාවන්ගෙන් වෙන් වී පැවතිය යුතු ය. අමරතුංග මහතා කටින් කුමක් කීවත්, එයින් කියැවෙන්නේ ලෝකයේ එතෙක් පැවති දැනුම් පද්ධතීන්ගෙන් බටහිර විද්‍යාව වෙනස්වන බව ය. එනම් ලෝකයේ කවදත් කොතැනත් එකම විද්‍යාවක් නොතිබි බව ය. අමරතුංග මහතා තමන්ට ම විරුද්ධව තර්ක කරන්නේ සංගත බව යන්න ඒ මහතාගේ ශබ්ද කෝෂයෙහි නැති බැවිනි. අමරතුංග මහතා කළ යුතුව තිබුණේ කූන්ට විරුද්ධව පොපර් ආරක්‍ෂා කිරීම නොව පොපර්, කූන් පමණක් නොව බේකන් ද විවේචනය කිරීම ය. එහෙත් බේකන්ගේ උද්ගමනය ඊනියා ආගමන ශාස්ත්‍රය ලෙස දකින අමරතුංග මහතාට කළ හැක්කේ පොපර් ආරක්‍ෂා කිරීම ය. එමගින් ඔහු බටහිර විද්‍යාව යනුවෙන් වෙන ම විද්‍යාවක්, දැනුම් පද්ධතියක් ඇති බව පිළිගනියි!

බටහිර විද්‍යාව යනුවෙන් අන් දැනුම් පද්ධතීන්ගෙන් වෙන් වූ දැනුම් පද්ධතියක් නැති බව පවසන්නේ ෆෙයරාබන්ඩ් ය. ෆෙයරාබන්ඩ්ට අනුව බටහිර විද්‍යාවේ අනෙක් දැනුම් පද්ධතිවල නොමැති ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක් නැත. ඔහු ඉතා පැහැදිලිව කරුණු සහිත ව පෙන්නුම් කරන්නේ ගැලීලියෝ විසින් හඳුන්වාදෙන ලද ඊනියා පර්යේෂණාත්මක ක්‍රමයක් නොමැති බව ය. ඔහු විධික්‍රමයට එරෙහිව (Against Method)  පොතෙහි සඳහන් කර ඇති කරුණුවලට අමතර ව අපට පහත සඳහන් කරුණු ද ප්‍රකාශ කළ හැකි ය.

බුදුන් වහන්සේගේ සමයෙහි ද බමුණන් ආත්මයක් ඇත් ද නැත් ද යන්න දැනගැනීම සඳහා පරීක්‍ෂණ  කර ඇත. බමුණෝ ශුද්‍රයකු මරා සිරුරෙන් යමක් පිටවී යන්නේ දැයි නිරීක්‍ෂණය කිරීමට වැයම් කළහ. ඔවුන්ට අවශ්‍ය වූයේ සිරුරෙන් යමක් (ආත්මය) පිටවී යන බව පෙන්වා එමගින් ආත්මයක් ඇතැයි නිගමනය කිරීම ය. එහෙත් ඔවුන්ගේ අවශ්‍යතාව ඉටු නො වී ය. ඔවුන්ට සිරුරෙන් යමක් පිටවී යන බව නිරීක්‍ෂණය කිරීමට නො හැකි විය. ඒ පරීක්‍ෂණයෙන් හා නිරීක්‍ෂණයන් නිගමනය කළ හැක්කේ කුමක් ද?  

පරීක්‍ෂණය හා නිරීක්‍ෂණය නිවැරදි යැයි උපකල්පනය කළහොත් එයින් කියැවෙන්නේ එක්කෝ ආත්මයක් නැති බව ය. එසේත් නැතිනම් පුනබ්භවයක් නැති බව ය. ඇතැම් විට අපට දැනට ගෝචර නොවන සිතාගත නොහැකි නිගමන ද ඉන් ලබාගත හැකි වනු ඇත. අමරතුංග මහතා හා ඔහුගේ බුද්ධිමය විරයන් වන ගුණදාස අමරසේකර, මාර්ටින් වික්‍රමසිංහ ආදීන් ඉන් නිගමනය කරනු ඇත්තේ පුනබ්භවයක් නැති බව ය. ඔවුන් එසේ කරනු ඇතැයි හෝ කරන්නට ඇතැයි මා සිතන්නේ ඒ නිගමනය ඔවුන්ගේ මිථ්‍යාදෘෂ්ටිය සමග එකඟ වන බැවිනි. 

ඇරිස්ටෝටල් හෝ එකල සිටි වෙනත් අයකු හෝ බරෙන් වෙනස් වස්තු දෙකක් එක ම උසකින් එකම මොහොතෙහි අතහැරියහොත් වඩා බර වස්තුව බරෙන් අඩු වස්තුවට කලින් පොළොවට වැටෙන බව නිගමනය කළේ හුදු හිතළුවක් ලෙස විය නො හැකි ය. එය උද්ගමනයෙන් (අමරතුංග මහතාගේ ආගමන ශාස්ත්‍රයෙන්) ලබාගත්තක් ලෙස සැලකිය හැකි ය. අමුතුවෙන් පරීක්‍ෂණ නොකළත්, නිදෑල්ලේ වැටෙන වස්තු නිරීක්‍ෂණය කරන අයකුට කිව හැක්කේ වඩා බර වස්තුව ඉක්මනින් පොළොවට වැටෙන බව ය. පොල් ගෙඩියක් හා පොල් කොළයක් එක්විට එක් උසකින් අත්හැරියහොත් පොල් ගෙඩිය පොල් කොළයට ඉක්මණින් පොළොවට වැටෙන බව අපි නිරීක්‍ෂණය කරමු.

මෙවැනි උදාහරණ රාශියකින් පසුව අපට උද්ගමනයෙන් කිව හැක්කේ වඩා බර වස්තුව ඉක්මණින් පොළොවට වැටෙන බව ය. අද ජීවත්වන පඬියකු වායු ප්‍රතිරෝධය නිසා පොල් කොළය පසුව පොළොවට වැටෙන බව කියනු ඇත. එහෙත් ඇරිස්ටෝටලීය ගතිකයෙහි (සුසමාදර්ශයෙහි) වායු ප්‍රතිරෝධයක් නො වී ය. ඇරිස්ටෝටලීය ප්‍රතිඵලය, එනම් වඩා බර වස්තුව ඉක්මණින් පොළොවට වැටීම නිරීක්‍ෂණයෙහි හා උද්ගමනයෙහි ප්‍රතිඵලයකි. ඇරිස්ටෝටලීය සුසමාදර්ශය වාතය සහිත මාධ්‍යයක සිදුවන චලිතය සඳහා විය. අදාළ නිරීක්‍ෂණය හුදු හිතළුවක් නොවී ය යන්න මෙහි දී අවධාරණය කළ යුතු ය. වෙනත් වචනවලින් කිවහොත් ගැලීලියෝට බොහෝ කලකට පෙර ද නිරීක්‍ෂණ, පරීක්‍ෂණ (බමුණන්ගේ ආත්ම පරීක්‍ෂණය), නිගමන ආදිය විය. 

එසේ නම් ගැලීලියෝ කළේ කුමක් ද? ඔහු කළේ සුසමාදර්ශී වෙනසකි. අමරතුංග මහතාට සුසමාදර්ශය යනු කුමක් දැයි නොතේරෙන බැවින් සුසමාදර්ශී වෙනසක් (paradigm shift) යන්න කෙසේවත් නො තේරෙයි. මා දන්නා තරමින් ෆෙයරාබන්ඩ් ඒ වගක් නො කියයි. ඇරිස්ටෝටලීය ගතිකය වායු මාධ්‍යයක සිදු වුවක් විය. ගැලීලියෝ එය වෙනස්කර රික්තයක සිදුවන චලිතය ගැන කතා කළේ ය. බරෙන් අසමාන වස්තු එක්වර එක් උසකින් මුදාහළ විට එක්විට පොළාවට වැටෙන්නේ වාතය සහිත මාධ්‍යයක නොව රික්තයක ය. මෙය එකල සුසමාදර්ශී වෙනසක් විය. 

එහෙත් ෆෙයරාබන්ඩ් මතු කරන්නේ වෙනත් ප්‍රශ්නයකි. ගැලීලියෝ තම ඊනියා පරීක්‍ෂණය සඳහා පීසා නුවර ඇළවෙන කුළුණ වටා රික්තයක් නිර්මාණය නො කළේ ය. අද පවා එළිමහනේ රික්තයක් නිර්මාණය කළ හැක්කේ කාහට ද? ගැලීලියෝ රික්තයක් නිරමාණය නොකර රික්තයක සිදුවන චලිතය සඳහා පරීක්‍ෂණ කළේ ය! ඔහු තම ඊනියා පර්යේෂණය සඳහා තොරාගත්තේ කොළයක් හා ගෙඩියක් නොව එකම වර්ගයේ වස්තු දෙකකි. යම් අයූරකින් ඔහු කොළයක් හා ගෙඩියක් තෝරා ගත්තේ නම් ඔහුගේ නිරීක්‍ෂණය වනු ඇත්තේ ගෙඩිය හා කොළය එක්වර පොළොවට වැටීම නොව ගෙඩිය කොළයට පෙර පොළොවට වැටීම ය. එවිට ඔහුට ලැබීමට තිබූ ප්‍රතිචාරය කුමක් ද? 

ගැලීලියෝ රික්තයක් නිර්මාණය නොකර රික්තයක කරන පරීක්‍ෂණයක් සිතෙන් මවාගැනීමට පීසා නුවර ඇළවෙන කුළුණ වටා සිටි අයට කියා සිටියේ ය. ඔහු ඉන්පසු තමන්ට අවශ්‍ය  ප්‍රතිඵලය ලබාගනු වස් සුදුසු පරීක්‍ෂණ භාණ්ඩ තෝරාගත්තේ ය. මෙය වංචාවක් මිස වෙනත් දෙයක් නො වේ. බටහිර විද්‍යාවට ඊනියා පර්යේෂණාත්මක ක්‍රමය හඳුන්වාදුන්නේ යැයි කියන පරීක්‍ෂණය වංචා සහගත උපක්‍රමයක් මිස වෙනත් දෙයක් නො වේ. 

ෆෙයරාබන්ඩ් තම කෘතිවලින් කරන්නේ බටහිර විද්‍යාවේ ඇති මෙවැනි තැන් හෙළිදරවු කිරීම ය. එයින් කිපෙන ඇතැම්හු භූමිතෙල් ගෑවුණු ගැරඬින් මෙන් හැසිරෙති. ෆෙයරාබන්ඩ්ගේ හෙළිදරවු කිරීම් බොහෝ බටහීිර විද්‍යාඥයන්ට දරාගත නො හැකි ය. එබැවින් ඔවුහු ෆෙයරාබන්ඩ් ට පරිභව කරති. පැහැදිලි ව ම තමන්ගේ ශක්ති ප්‍රමාණයට ෆෙයරාබන්ඩ් වටහා ගන්නා අමරතුංග මහතා ඔහුට ආක්‍රොශ පරිභව මුඛයෙන් කතාකරයි. ඒ අතර අමරතුංග මහතා ම කියන්නේ ෆෙයරාබන්ඩ් ඇමරිකාවේ වැදගත් යැයි සැලකෙන විශ්වවිද්‍යාල කිහිපයක ම සේවය කර ඇති බව ය. ඒ විශ්වවිද්‍යාල ෆෙයරාබන්ඩ්ට තනතුරු ලබා දී ඇත්තේ ඒවාහි ද මනස විකෘති වුවන් සිටි නිසා දැයි අමරතුංග මහතා කියන්නේ ද?   

එසේ වුවත් ෆෙයරාබන්ඩ්ගේ අදහස් වැදගත් වන්නේ අමරතුංග මහතාට ය. ලෝකයේ කවදත් කොතැනත් තිබුණේ  එකම විද්‍යාවක් යැයි අමරතුංග මහතා කියන විට ෆෙයරාබන්ඩ් කියන්නේ බටහිර විද්‍යාවට විශේෂිත වූ විධික්‍රමයක් නැති බව ය. වෙනත් අයුරකින් කියන්නේ නම් ෆෙයරාබන්ඩ්ට අනුව බටහිර විද්‍යාව හා අනෙක් විද්‍යාවන් අතර වෙනසක් නැත. මෙය එකඟ වන්නේ කවදත් කොතැනත් තිබුණේ එකම විද්‍යාව යන්න සමග ය. එහෙත් ෆෙයරාබන්ඩ් එතැනින් නොනවතින බව අමරතුංග මහතා කියනු ඇත. ෆෙයරාබන්ඩ්ට අනුව විද්‍යාව හා මිථ්‍යාව අතර ද වෙනසක් නැතැයි ද එහෙත් තමන් විද්‍යාව මිථ්‍යාවෙන් වෙන් කරන බව ද  අමරතුංග මහතා අපට කියනු ඇත. 

එහෙත් ප්‍රශ්නය වනුයේ විද්‍යාව මිථ්‍යාවෙන් වෙන් කරන ආකාරය අමරතුංග මහතා නො කීම ය. විද්‍යාව යනු කුමක් ද, මිථ්‍යාව යනු කුමක් ද, සත්‍යය යනු කුමක් ද, බොරුව යනු කුමක් ද යන ප්‍රශ්නවලට අමරතුංග මහතා දෙන පිළිතුරු කවරේ ද? ඒ ප්‍රශ්නවලට මට පිළිතුරු නැතිවා නො වේ. එහෙත් පළමුව ඒ සම්බන්ධයෙන් අමරතුංග මහතා කියන්නේ කුමක් දැයි දැනගනු කැමැත්තෙමි.

කෙසේ වෙතත් පොපර් අසත්‍යකරණ ප්‍රවාදය (Theory of falsification) ඉදිරිපත් කළේ බටහිර විද්‍යාව අනෙක් දැනුම් පද්ධතීන්ගෙන් වෙන්කර ගැනීමට ය. මෙහි දී කිවයුතු ප්‍රධාන ම කරුණ නම් අමරතුංග මහතා කූන්ට එරෙහිව පොපර් ආරක්‍ෂා කළ ද,  පොපර් බටහිර විද්‍යාව හැරෙන්නට වෙනත් විද්‍යාවන් මිථ්‍යා ලෙස සලකන බව ය. අමරතුංග මහතා පොපර් ආරක්‍ෂා කරන කල ඔහු දැනුවත් ව හෝ නොදැනුවත් ව හෝ වෙනත් විද්‍යාවන් මිථ්‍යා ලෙස සලකයි. එනම් අමරතුංග මහතා ලෝකයේ කවදත් කොතැනත් තිබුණේ එකම විද්‍යාවක් ය යන මතය ප්‍රතික්‍ෂෙප කරයි! අසංගත ව සිතීමේ විපාක අමරතුංග මහතාට දිට්ඨ ධම්ම වෙදනිය වශයෙන් ම ලැබී ඇත. 

පොපර් කියන්නේ යම් දැනුම් පද්ධතියක් විද්‍යාවක් වීමට නම් එහි ප්‍රවාද අසත්‍යකරණයට ලක්කිරීමට හැකි විය යුතු බව ය. ඔහුට අනුව අනෙක් දැනුම් පද්ධතීන් මිථ්‍යා වෙයි. ඔහු මාක්ස්වාදය හා ජ්‍යොතිෂය මිථ්‍යා ලෙස සලකයි. එපමණක් නොව පශ්චාත්නූතනවාදීන් ද ඇතැම් බටහිර වෛද්‍යවරුන් ද විද්‍යාවක් ලෙස සලකන මනෝ විශ්ලේෂණය පොපර්ට අනුව මිථ්‍යාවන් ය.  පොපර් කියන්නේ මේ දැනුම් පද්ධතීන්හි ප්‍රවාද හා නිගමන අසත්‍යකරණයට ලක් කළ නොහැකි බව ය. අප මෙය කෙටියෙන් වුවත් විශ්ලේෂණය කළ යුතු ය. එහෙත් ඒ සියල්ලට පළමුව අප අසත්‍යය යනු කුමක් දැයි තේරුම් ගත යුතු ය. අමරතුංග මහතා අසත්‍යය යන්නෙන් අදහස් කරන්නේ කුමක් දැයි ඉක්මණින් ම දැනගනු කැමැත්තෙමි. 


නලින් ද සිල්වා

2014-09-10

Wednesday, 19 March 2014

වා පිත් සෙම් ප්‍රවාද නොව ප්‍රත්‍යක්‍ෂ වෙයි


මමත්වය තුනී කිරීම සඳහා සෑම සතියක ම තම ඩී එස් සී උපාධිය ගැන සඳහන් කරන සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා මාර්තු 12 වැනි දා ලිපියෙන් මට අභියෝගයක් කර ඇත. “වෛද්‍ය විද්‍යාලවල (මේ පීඨ විය යුතු ය. සංකල්ප ගැන කිසිම තැකීමක් නැති අමරතුංග මහතා තවමත් ජීවත්වන්නේ කොළඹ වෛද්‍ය විද්‍යාලය ලංකා විශ්වවිද්‍යාලයේ පීඨයක් බවට පත්වීමට පෙර වූ යුගයේ ය.) සිසුන් හා ආචාර්ය මහාචාර්යවරුන් ගේ අධ්‍යාපනය පිණිස වකුගඩු රෝගය පිළිබඳ ව නලින් මහතා දේශන පැවැත්විය යුතු” යැයි ඒ මහතා කියයි. මම ඒ අභියෝගය පිළිගනිමි. කරුණාකර ඒ සඳහා දේශනයක් හෝ දේශන කිහිපයක් හෝ පේරාදෙණියෙහි හෝ වෙනත් විශ්වවිිද්‍යාලයක හෝ වෛද්‍ය පීඨයක (දන්ත වෛද්‍ය පීඨයෙහි වුව ද කම් නැත) සංවිධානය කරන්න.  

ඒ මහතා සාපේක්‍ෂතාවාදය ගැන කියන 90% කතාව වැරදි ය. විශේෂ සාපේක්‍ෂතාවාදයේ ඒ සම්බන්ධ වැදගත් සාධකය වනුයේ (1- v2/c2) ½  යන්න ය. මෙහි v යනු යම් රාමුවකට සාපේක්‍ෂව අංශුවක හෝ වස්තුවක හෝ ප්‍රවේගය ද c යනු ආලොකයේ ප්‍රවේගය ද වෙයි. v = 0.9 c (එනම් 90%) ලෙස ගතහොත් ඒ සාධකය ආසන්න වශයෙන් 0.44 ක් වෙයි. එය එතරම් කුඩා සංඛ්‍යාවක් නො වේ. විශේෂ සාපේක්‍ෂතාවාදය වැදගත් වන්නේ ආලෝකයේ වේගයට ඉතා ආසන්න වශයෙන් චලනය වන අංශූ හෝ  වස්තු හෝ සඳහා ය. v, c කරා ළඟා වන විට ඉහත සඳහන් සාධකය ශූන්‍යය කරා ළඟා වෙයි. අමරතුංග මහතා තමා මේ කරුණ ලබාගත් පොතෙහි ඡෙදය උපුටා දක්වන්නේ ද? නැතහොත් එය අසා දැනගත්තේ කවරකුගෙන් දැයි පවසන්නේ ද? විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි දී අවස්ථිති සමුද්දේශ රාමු පවතින්නේ යැයි විශ්වාස කෙරෙයි. බටහිර විද්‍යාඥයන්ට ගුරුත්වාකර්ෂණ බලයක් ගැන සඳහන් කිරීමට සිදු වී ඇත්තේ නිරීක්‍ෂකයන් එවැනි අවස්ථිති සමුද්දේශ රාමු පවතින්නේ යැයි විශ්වාස කරන බැවිනි. අවස්ථිති සමුද්දේශ රාමුවකට සාපේක්‍ෂව වස්තු පොළොවට වැටීම තේරුම් කෙරෙන්නේ ගුරුත්වාකර්ෂණ බලය යොදා ගැනීමෙනි. එහෙත්  සාධාරණ සාපේක්‍ෂතාවාදයට අනුව අවස්ථිති සමුද්දේශ රාමු නැත. අවස්ථිති සමුද්දේශ රාමු ගුරුත්වාකර්ෂණය මෙන් ම පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වේ. ඒ රාමු මාක්ගේ දැඩි විවේචනයට හසුවිය. තරුණ අයින්ස්ටයින්ට මාක්ගේ ආභාසය වැදගත් විය. අයින්ස්ටයින්ට අවස්ථිති සමුද්දේශ රාමු බටහිර භෞතික විද්‍යාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය විය. එහි ප්‍රතිඵලය වූයේ සාධාරණ සාපේක්‍ෂතාවාදය ය. 

අපි දැන් අමරතුංග මහතා මේ සම්බන්ධයෙන් කියන්නේ කුමක් දැයි දැනගනිමු. “අයින්ස්‌ටයින් ගේ සාපේක්‍ෂතාවාදය රඳා පවතින්නේ සමුද්දේශ රාමු මත යෑයි කීවාට වරදක්‌ නැත. ඔහු ගේ විශේෂ සාපේක්‌ෂතාවාදයේ විශේෂ යන වචනය යෙදෙන්නේ එය වලංගු වන්නේ අවස්‌ථිති සමුද්දේශ රාමුවට පමණක්‌ වන හෙයිනි. ඒ විද්වතාණන්ට අවශ්‍ය වූයේ අනෙකුත් නැත හොත් සාමාන්‍ය සමුද්දේශ රාමු සහ ගුරුත්වාකර්ෂණීය ප්‍රයත්නයන් ද ආවරණය වන පරිදි එක්‌ පොදු මතවාදයක්‌ ගොඩනැගීමට ය. මේ මතවාද එකතු කරනවා යන්නේ තේරුම එය ය. ප්‍රතිඵලය වූයේ සාමාන්‍ය සාපේක්‍ෂතාවාදය බිහි වීම ය. මේ සඳහා ඔහු ගුරුත්වාකර්ෂණය සිදු වන්නේ අවකාශ-කාල වක්‍රතාව නිසා යෑයි නව අදහසක්‌ ඉදිරිපත් කළේ ය.” මෙය සම්පූර්ණයෙන් ම වැරදි අදහසකි. මෙහි දී ද අමරතුංග මහතා තමා ඒ ලබාගත් පොතෙහි අදාළ ඡෙදය උපුටා දක්වනනේ ද? නැතහෙත් තමා ඒ බව දැනගත්තේ කාගෙන් දැයි පවසන්නේ ද? ගුරුත්වාකර්ෂණය යන ප්‍රවාදය අවශ්‍ය වන්නේ නිරීක්‍ෂකයා තමා නිරික්‍ෂණය කරන්නේ අවස්ථිති සමුද්දේශ රාමුවක ය යන වැරදි උපකල්පනය නිසා ය. වස්තු පොළොවට වැටෙන්නේ (හා වෙනත් එවැනි සංසිද්ධි ඇතිවන්නේ ) ගුරුත්වාකර්ෂණය නිසා බවට නිවුටන් පට්ටපල් බොරු කතාවක් නිර්මාණය කළේ ඒ වැරදි උපකල්පනය නිසා ය. අවස්ථිති සමුද්දේශ රාමු බටහිර භෞතික විද්‍යාවෙන් ඉවත්කළ විට වස්තු පොළොවට වැටෙන්නේ ගුරුත්වාකර්ෂණය නිසා ය යන පට්ටපල් බොරුව අවශ්‍ය නො වේ.  එවිට ගුරුත්වාකර්ෂණය එකතු කිරීම යන ප්‍රශ්නය පැන නො නගී. අමරතුංග මහතාගේ ප්‍රශ්නය ඔහු වස්තු පොළොවට වැටීම හා ගුරුත්වාකර්ෂණය අතර සම්බන්ධයක් දැකීම ය. 

වස්තු පෙළොවට වැටීම පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයකි. (ප්‍රත්‍යක්‍ෂ ද බොරු බව මා මාර්තු 12 ලිපියෙහි සඳහන් කළ ද්වයතානුපස්සනා සූත්‍රයෙහි ගාථාවෙන් පැහැදිලි වෙයි). මේ ප්‍රත්‍යක්‍ෂය තේරුම්ගැනීම සඳහා යැයි කියමින් බටහිර භෞතික විද්‍යාඥයෝ පට්ටපල් බොරු කතා ගොතති.  එ කතා පංචෙන්ද්‍රිය ගෝචරවත් නො වේ. ගුරුත්වාකර්ෂණය යනු වස්තු පොළොවට වැටෙන්නේ ඇයි දැයි තේරුම්ගැනීම සඳහා ගොතා ඇති එක් පට්ටපල් බොරුවක් පමණකි. අයින්ටයින් කියා සිටියේ වස්තු පොළොවට වැටෙන්නේ අවකාශ කාල වක්‍රතාවය නිසා බව ය. (එය ද පට්ටපල් බොරුවකි) ඔහු කිසි දිනෙක ගුරුත්වාකර්ෂණය සිදුවන්නේ අවකාශ කාල වක්‍රතාව නිසා යැයි කියා නැත. අයින්ස්ටයින් එසේ කී බව ජනප්‍රිය ලේඛකයකු සඳහන් කර ඇත්නම් අමරතුංග මහතා අදාළ ඡෙදය උපුටා දක්වන්නේ ද? වස්තු පොළොවට වැටීම හා ගුරුත්වාකර්ෂණය යනු එකක් නො වේ. පළමුවැන්න පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයකි. දෙවැන්න එය තේරුම් කිරීමට යැයි කියමින් නිවුටන් ගෙතූ පට්ටපල් බොරුවකි. අමරතුංග මහතාට අනුව බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් යැයි මා තව ම ඔප්පු කර නැත. ඒ මහතා ඔප්පු කිරීම යන්නෙන් කුමක් අදහස් කරන්නේ දැයි නො දනිමි. එහෙත් 2013 දෙසැම්බර් 25 දීන ගැලීලියෝ බොරු කීවේ මැයෙන් ලියූ ලිපියෙන් පටන්ගෙන ලිපි කහිිපයක ම බටහිර විද්‍යාව පට්ටපල් බොරු බව මා පෙන්වා දී ඇත. එහෙත් අමරතුංග මහතාට කෙසේ වෙතත් අනෙක් පාඨකයන්ට ප්‍රයෝජනවත් වේ ය යන අරමුණෙන් එය නැවතත් පැවසීමට අමරතුංග මහතා මාර්තු 5 වැනි දා සිංහල වෙදකම හා ආයුර්වේදය ගැන ලියා ඇති දෙයින් අවස්ථාවක් උදා වී ඇත. 

එහෙත් එයට පළමුව කාලාම සූත්‍රය ගැන කිව යුත්තේ තමාට ඒ සූත්‍රය නොතේරී ඇති බවට මා සාක්‍ෂි ඉදිරිපත් කර නැතැයි අමරතුංග මහතා පවසන බැවිනි. මාර්තු 5 වැනි දා ඒ මහතා මෙසේ කියයි. “තව ද කාලාම සූත්‍රයේ ද ලිච්ඡවි රජ දරුවන්ට කළ දේශනාවල ද උන්වහන්සේ පැවසුවේ තමන් පැහැදිලි ලෙස වටහා නො ගෙන කවුරුන් හෝ කී පලියට කිසිවක්‌ නො පිළිගන්නා ලෙස ය. මෙය මා වටහා නො ගෙන ඇති බවක්‌ නලින් මහතා කියයි. එහෙත් මා වටහා නො ගෙන ඇත්තේ ඒ සූත්‍රයේ කොතැන දැයි ඔහු නො කියයි.”  කාලාම සූත්‍රය දිර්ඝ වශයෙන් උපුටා දක්වා මෙයට පිළිතුරක් සැපයිය යුතුව ඇති නමුත් දැනට සනත් නානායක්කාර මහතා ලියා පළකර ඇති කාලාම සූත්‍රය හා චින්තන නිදහස යන කෘතියේ 41 වැනි පිටුවේ පහත සඳහන් ඡෙදය පමණක් උපුටා දක්වමි.  “කාලාම සූත්‍රයෙන් ඉදිරිපත් කෙරෙන උපදේශය වරදවා තේරුම් ගැනීමට හේතු වුණු තවත් වැදගත් කාරණයක් වෙයි. එනම්, බුදුන් වහන්සේ සත්‍යාවබෝධය පිණිස තර්කනය, විග්‍රහය, ආදිය ම උපායමාර්ග වශයෙන් යොදාගත් භාස්තෘවරයාණන් වහන්සේ කෙනෙක් යෂ බුදුදහම ඒකාන්ත වශයෙන් තර්කනය හා විග්‍රහය මත පදනම් වූ විද්‍යානුකූල දහමක් ය, බුද්ධිවාදයක් ය, යන විශ්වාසයන් බොහෝ බෞද්ධයන් තුළ මුල් බැසගෙන තිබීම ය.” මෙහි මා එකඟ නොවන්නේ බොහෝ බෞද්ධයන් යන යෙදුමට පමණ ය. එය බොහෝ ඊනියා උගත් බෞද්ධයන් යැයි සඳහන් වී නම් මැනවි.  

වෙදකම ගැන අමරතුංග මහතා ඒ ලිපියෙහි ම මෙසේ කියයි. "කොතැනත් කවදත් තිබුණේ එක ම විද්‍යාව වන්නේ විද්‍යාවේ පදනම සැමට පොදු වූ ඉන්ද්‍රිය ගෝචර වූ සාක්‌ෂි වන නිසා ය. මෙය වටහාගත නොහැකි ව නලින් මහතා බටහිර වෛද්‍ය විද්‍යාව ආයුර්වේදය සහ සිංහල වෙදකම අතර වෙනසක්‌ නැති දැයි අසයි. (විදුසර 26-02-2014). මේ ක්‍රම තුනේ ම පදනම ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි වන්නේ ය. එය නැති තැන ඇත්තේ මිථ්‍යාව ය. යම්කිසි රෝගයකට ප්‍රතිකාරයක්‌ හෝ බෙහෙතක්‌ හෝ සුදුසු බව සොයාගන්නේ එය අත්හදාබැලීමෙන් ය. රෝගීන් වැඩි ප්‍රමාණයක්‌ සුව කළ හැකි බෙහෙතක්‌ ඇතොත් එය සාක්‌ෂි ලෙස පිළිගැනේ. රෝගකාරකය සොයාගන්නේ ද රෝග විනිශ්චය සිදු වන්නේ ද මේ ලෙස ම ය. සිංහල වෙදකමේ ද ආයුර්වේදයේ ද මේ ක්‍රමය හැර වෙන ක්‍රමයක්‌ නැත. සිංහල වෙද මහතා තම දැනුම ලබාගත්තේ අත්දැකීමෙන් ය. ආයුර්වේද වෛද්‍යවරයා ද කළේ එය ම ය. මොවුන් රෝග පිළිබඳ තම අදහස්‌ තුළින් මතවාද ඉදිරිපත් කළ අවස්‌ථා ද නැත්තේ ම නො වේ. උදාහරණයක්‌ වශයෙන් ආයුර්වේදයට අනුව රෝග හටගැනෙන්නේ වාත පිත කප්හ යන පද්ධතියේ සමබරතාව බිඳුණු විට ය. එහෙත් අද වන තෙක්‌ මේ පද්ධතියේ ඇත්ත ස්‌වභාවය සොයාගෙන නැත. ආයුර්වේද බෙහෙත්වලින් නොයෙකුත් රෝග සුව කළ හැකි ය. එහෙත් එය සිදු වන්නේ අත්දැකීම්වලින් ලබාගත් සාක්‌ෂි මත පිහිටා ප්‍රතිකාර කිරීමෙන් මිස වාත පිත කප්හ පද්ධතිය ගැන ඇති දැනුමක්‌ නිසා නො වේ. ආයුර්වේදයේ ද සිංහල වෙදකමේ ද තිබිය හැකි අනෙකුත් මතවාද පිළිබඳව ද කිව හැක්‌කේ ඒවා පිළිගැනීමට සාක්‌ෂි නොමැති බව ය. මේ අතින් බටහිර වෛද්‍ය විද්‍යාව ඉදිරියෙන් සිටින්නේ ඔවුන් ගේ මතවාද පිළිබඳව ගැඹුරෙන් පර්යේෂණ කොට අවශ්‍ය සාක්‌ෂි සොයෑගැනීමට වෙහෙසෙන නිසා ය.

කළ යුතු ව ඇත්තේ සාක්‌ෂි නොමැති වාත, පිත, සෙම වැනි අදහස්‌ අතහැර ආයුර්වේදයේ සහ සිංහල වෙදකමේ පාවිච්චි කරන බෙහෙත්වල අඩංගු රෝගයට නිශ්චිත ව පහර දෙන රසායනික ද්‍රව්‍ය කුමක්‌ දැයි සොයාගැනීමට පර්යේෂණ විධිමත් ලෙස කිරීම ය. මේ පර්යේෂණ සඳහා විද්‍යාත්මක ක්‍රම සහ තාක්‌ෂණය යොදාගත යුතු ය. පුරාණ ඉන්දියාවේ ද වෛද්‍ය තාක්‌ෂණය වර්ධනය විය. සුශ්‍රැත (ක්‍රි.පූ.4 වැනි ශ.ව) නමැති භාරතයේ විසූ ශල්‍ය වෛද්‍යවරයා විසින් නිර්මාණය කරන ලද විකෘති වූ නාසය ප්‍රතිසංස්‌කරණය කරන ක්‍රමය අද පවා යුරෝපයේ භාවිත වන බව කිව යුතු ව ඇත. එම වෛද්‍යවරයා විසින් ලියන ලද "සුශ්‍රැත සංහිතා" නමැති ග්‍රන්ථයේ විස්‌තර වන වෛද්‍ය විශේෂඥ අංශ, ශරීරයේ කොටස්‌ සහ ක්‍රියාවන්, වෛද්‍යවරුන් පුහුණු කිරීම් වැනි දේ අද බටහිර වෛද්‍ය විද්‍යාවේ එම දේවලට සමාන ය. ලක්‌දිව පොළොන්නරු යුගයේ (අලහර පිරිවෙන ආශ්‍රිත) (මෙය ආලාහන පිරිවෙන විය යුතු ය) පැවැති ශල්‍ය වෛද්‍ය ක්‍රමය පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක්‌ කර ඇති ශල්‍ය වෛද්‍ය මහාචාර්ය අර්ජුන අලුවිහාරේ මහතා පවසන්නේ එකල ලක්‌දිව ශල්‍ය කර්ම සහ අද බටහිර ශල්‍ය කර්ම අතර වෙනසකට ඇත්තේ තාක්‌ෂණය පමණක්‌ බව ය. එකල අප ගේ ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ මූලධර්ම සහ අද බටහිර ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ මූලධර්ම අතර සැලකිය යුතු වෙනසක්‌ නැත."  

පරස්පරවලින් පිරුණු ඉහත සඳහන් උද්ධෘත අනුව අපේ ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ මූලධර්ම හා බටහිර ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ මූලධර්ම අතර සැලකිය යුතු වෙනසක් නැත. සිංහල වෙදකමේ ද ආයුර්වේදයේ ද දැනුම ලබාගෙන ඇත්තේ අත්දැකීමෙන් ය. එහෙත් ආයුර්වේදයේ ඇති වා පිත් සෙම් සංකල්ප ආශ්‍රිත දැනුම (එනම් මූලධර්ම) බොරු ය. ඒ පිළිගැනීමට සාක්‍ෂි නැත. මේ සාක්‍ෂි යනු කවරේ ද? ආයුර්වේදයේ මෙන් ම සිංහල වෙදකමේ ද ආවේණික වූ ශාස්ත්‍ර  ඇත. ඒ බටහිර වෙදකමේ ප්‍රවාදවලින් වෙනස් බව පමණක් නොව බොරු බව ද අමරතුංහ මහතා කියයි. පැහැදිලිව ම බටහිර වෙදකම සිංහල වෙදකමේ වර්ධනයක් නොවන බව අමරතුංග මහතා කියයි. බටහිර වෛද්‍ය විද්‍යාව බොරුවල වර්ධනයක් යැයි අමරතුංග මහතා කියන්නේ යැයි අපි නො සිතමු. එසේ නම් එකම වෛද්‍ය විද්‍යාවක් පමණක් ඇතැයි කීම අමරතුංග මහතාට අනුව ද පට්ටපල් බොරුවකි. මෙහි ඇත්තේ පංචෙන්ද්‍රිය හා ෂඩෙන්ද්‍රිය අත්දැකීම් අතර වූ වෙනසකි. ආයුර්වේදයේ ද සිංහල වෙදකමේ ද රෝග විනිශ්චයේ දී ද ප්‍රතිකාරයේ දී ද මනස ද වෙන ම ඉන්ද්‍රියයක් ලෙස ගැනෙයි. පංචෙන්ද්‍රිය අත්දැකීම් යනු ඉන්ද්‍රිය පහ මනස සමග එකතු වීමෙන් ලැබෙන අත්දැකීම් ය. ඒ පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ ය. බටහිර විද්‍යාවට ඇත්තේ පංචෙන්ද්‍රිය අත්දැකීම් ය, ප්‍රත්‍යක්‍ෂ ය. බුදුන් වහන්සේගේ හා රහතන්වහන්සේගේ ප්‍රත්‍යක්‍ෂ වෙනස් ය. මම මාර්තු 5 වැනි ද ලිපියෙන් බ්‍රහ්මජාල සූත්‍රයෙහි කියැවෙන බුදුන්වහන්සේගේ ප්‍රත්‍යක්‍ෂ ගැන සඳහන් කළෙමි. අමරතුංග මහතාට කෙසේ වෙතත් අප බෙහෝ දෙනකුට නිවන පසක් කිරීමේ අරමුණ වෙයි. රහත්භාවයට පත්නොවුණ ද, මනස සමග එකතු වී ලැබෙන පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂවලට අමතර ව පංචෙන්ද්‍රිය නොමැතිව මනසින් පමණක් ලබාගන්නා අත්දැකීම්, ප්‍රත්‍යක්‍ෂ ද වෙයි. පැරණි සෘෂිවරුන් වා පිත් සෙම් වැනි සංකල්ප ආශ්‍රිත අත්දැකීම් ලබාගෙන ඇත්තේ එලෙස පංචෙන්ද්‍රියයන්ගෙන් තොරව මනසින් ය. ඔවුහු ඒ මනසින් දුටුවෝ ය. මේ ප්‍රත්‍යක්‍ෂ බටහිර විද්‍යාවට නැත. එබැවින් වා පිත් සෙම් බටහිර දන්ත වෛද්‍යවරුන්ට ද නැත. බටහිර විද්‍යාවට මනසින් පමණක් ලබාගන්නා ප්‍රත්‍යක්‍ෂ නොමැති බැවින් පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම් විස්තර කිරීමට පට්ටපල් බොරු කතන්දර ගෙතීමට සිදු වී ඇත. ගැලීලියෝ ද නිවුටන් ද අයින්ස්ටයින් ද කළේ පට්ටපල් බොරු ගෙතීම ය. ඔවුන්ට වෙනත් විකල්පයක් නොවූයේ ඔවුන් ආධ්‍යාත්මික දියුණුවක් අත්කර ගත් සෘෂිවරුන් (දකින්නන්) නොවූ බැවිනි.                               


නලින් ද සිල්වා

2014-03-19

Wednesday, 11 December 2013

හුදු ප්‍රත්‍යක්‍ෂ හා ඊනියා ප්‍රත්‍යක්‍ෂ


දැනුම නිර්මාණය කෙරෙන්නෙකි. ආකිමිඩීස් හෝ නිවුටන් හෝ ඩාවින් හෝ රසල් හෝ වෙනත් අයකු විසින් සොයාගනු ලැබූ දැනුමක් නැත. අපට පාසලේ දී ආකිමිඩීස් විසින් කියන ලදැයි පැවසෙන යුරේකා හෙවත් සොයාගත්තා යන වචනය ඉගැන්වෙයි. ආකිමිඩීස් උඩුකුරු තෙරපුම නමැති බලයක් ඇති බව සොයාගත්තා නො වේ. ඔහු නාන තටාකයේ ගිලී සිටින විට ඔහුට පාවෙන ගතියක් දැනෙන්නට ඇතැයි සිතමි. අපේ රටේ තිබූ හා ඇතැම් වෙදගෙදරක තවමක් ඇති බෙහෙත් ඔරුවක ගිලී සිටින විට ද ඒ පාවෙන ගතිය දැනෙයි. එවැන්නක් දැනෙන්නේ ජලය විසින් සිරුර මත උඩුඅතට ඇති කෙරෙන බලයක් (ආකිමිඩිස්ට නිවුටන්ගේ බලය යන සංකල්පය නො වී ය. ආකිමිඩීස්ට ඒ අත්දැකීම සිරුර මත ඇති කෙරෙන බලපෑමක් විය) නිසා යැයි ආකිමිඩීස් කීවේ ය. එය පසුව උඩුකුරු තෙරපුම නම් බලය ලෙස අර්ථදැක්විණි. 

කෙසේ වෙතත් ආකිමිඩිස් තමන්ට දැනුණු දෙයක්, ප්‍රත්‍යක්‍ෂයක්, ඇසුරෙන් බලයක් නිර්මාණය කළේ ය. ඔහු ඒ බලය නිර්මාණය කළේ තමන්ගේ ප්‍රත්‍යක්‍ෂය තේරුම් ගැනීමට හා අන් අයට තේරුම් කිරීමට ය. නිවුටන් ද ඉන් බොහෝ කලකට පසු ගුරුත්වාකර්ෂණ බලයක් නිර්මාණය කළේ තමන්ට දැනුණු දෙයක්, තම ප්‍රත්‍යක්‍ෂයක් තේරුම් ගැනීමට හා තේරුම් කිරීමට ය. ඒ ප්‍රත්‍යක්‍ෂය අන් කිසිවක් නොව පොළොවට ඇපල් වැටීම ය. ඇපල් ගෙඩියක් නිවුටන්ගේ හිස මත පතිත වුවත් නැතත් ඔහුට ඇපල් වැටීම නම් ප්‍රත්‍යක්‍ෂය විය. මේ ප්‍රත්‍යක්‍ෂය තේරුම් කිරීමට (පළමුව තේරුම් ගැනීමට) ඔහු ගුරුත්වාකර්ෂණ බලය නම් සංකල්පය නිර්මාණය කළේ ය. උඩුකුරු තෙරපුම ආකිමිඩීස්ගේ නිර්මාණයක් වූ පරිදි ගුරුත්වාකර්ෂණය නිවුටන්ගේ නිර්මාණයක් විය. ඒ නිර්මාණ  කෙරුණේ සිංහල බෞද්ධ හෝ හෙළ බොදුණු හෝ චින්තනයක නො වේ. ඒ නිර්මිත දැනුම අපි සිංහල බෞද්ධ සංස්කෘතියක අනුකරණය කරන්නෙමු. 

අපට ඇත්තේ එක්කෝ ප්‍රත්‍යක්‍ෂ ය, නැත්නම් අනුමාන ය. ඒ සියල්ල සංකල්ප ඇසුරෙන් ලැබෙයි. ප්‍රත්‍යක්‍ෂ අපේ පංචෙන්ද්‍රියයන්ට දැනෙයි. එසේත් නැත්නම් අපි ප්‍රත්‍යක්‍ෂ පංචෙන්ද්‍රියයන් ආශ්‍රයෙන් ග්‍රහණය කර ගන්නෙමු. එහෙත් මෙයින් අදහස් කරන්නේ අපෙන් තොරව ඊනියා ප්‍රත්‍යක්‍ෂ ඇති බව නො වේ. ප්‍රත්‍යක්‍ෂ ද අපේ නිර්මාණ වෙයි. ඒ සියල්ල සංකල්ප ඇසුරෙන් නිර්මාණය වෙයි. සංකල්ප නිර්මාණය කෙරෙන්නේ මනසෙනි. මනසෙන් තොරව ප්‍රත්‍යක්‍ෂයක් නැත. මනස පිළිබඳ ප්‍රත්‍යක්‍ෂය ද අවසාන වශයෙන් ගත්කල මනසෙහි ම නිර්මාණයකි. මනස ඊනියා යථාර්ථයක් වන්නේ තුන්වැනි සංගායනාවේ බෞද්ධයනට ය. 

පොල් (ඇපල්) ගෙඩි පොළොවට වැටීම හුදු ප්‍රත්‍යක්‍ෂයක් නො වේ. මා හුදු ප්‍රත්‍යක්‍ෂයක් ලෙස හඳුන්වන්නේ පංචෙන්ද්‍රියයන්ට හා මනසට ගෝචර වන සංසිද්ධි ය. පොල් ගෙඩිය අපේ ප්‍රත්‍යක්‍ෂයක් නො වේ. පොල් ගෙඩියක් හෝ කෝප්පයක් හෝ ග්‍රහණය කරගත හැකි ඉන්ද්‍රියයක් නැත. අපට පොල් ගෙඩියේ වර්ණය ඇසට ගෝචර  වෙයි. ඒ වර්ණය යන්න සංකල්ප ඇසුරෙන් මනස විසින් නිර්මාණය කෙරෙන්නකි. වර්ණය චක්ඛුවිඥානය නිසා නිර්මාණය වන්නකි. ඇස තිබූ පමණින් මනස නොවන්නට චක්ඛුවිඤානයක් නැත. පොල් ගෙඩියෙහි තදබව අපේ ස්පර්ශයට දැනෙයි. එහෙත් පොල් ගෙඩිය දැනෙන්නේ පංචෙන්ද්‍රියයන්ගෙන් කිනම් ඉන්ද්‍රියකට ද?

පොල් ගෙඩිය යන්න මනසට පමණක් දැනෙන සංකල්පයකි. එය හුදු ප්‍රත්‍යක්‍ෂයක් නො වේ. අප එය ප්‍රත්‍යක්‍ෂයක් ලෙස සලකන බව සැබෑ ය. එහෙත් ඒ ප්‍රත්‍යක්‍ෂය මනසට පමණක් දැනේනකි. මනසට එය දැනෙන්නේ පංචෙන්ද්‍රියයන්ගෙන් කිසිම ඉන්ද්‍රියයකට ග්‍රහණය වී නො වේ. එය මනසට දැනෙන්නේ අනුමානයක් (මෙය inference යන්නෙන් කියවෙන්න ම නො වේ) ලෙස ය. ඒ අනුමානය අප විසින් නිර්මාණය කෙරෙන්නේ පොල් ගෙඩියෙහි වර්ණය, තදබව ආදී හුදු ප්‍රත්‍යක්‍ෂවලින් කියැවෙන ගුණ අයත් වස්තුව ලෙස ය. 

පොල් ගෙඩිය ප්‍රත්‍යක්‍ෂයක් ලෙස සැලකෙන අනුමානයකි. පුටුව, කෝප්පය ආදිය ද එවැනි අනුමාන වෙයි. මෙහි දී යමකු ප්‍රශ්න කරනු ඇත්තේ පොල් ගෙඩිය, කෝප්පය ආදිය අප විසින් නිර්මාණය කෙරෙන දෑ නොව අපට වැඩිහිටියන්ගෙන් ලැබෙන දැනුම නො වේ ද යන්න ය. පොල් ගෙඩිය, කෝප්පය ආදිය පිළිබඳ ව අපට වැඩිහිටියෝ කියා දෙති. අපේ දෙමව්පියෝ අපට පුටුවක් පෙන්වා ඒ පුටුවක් යැයි කියා දෙති. ඉතින් ඒ අප වැඩිහිටියන්ගෙන් ලබාගත් දැනුම මිස අපේ නිර්මාණ වන්නේ කෙසේ ද? 

අපට දෙමව්පියෝ, ගුරුවරු සහ වෙනත් අය නොයෙකුත් දේ උගන්වති. එහෙත් අපි ඒ උගන්වන දේ ඒ ආකාරයෙන් ම ලබා නොගන්නෙමු. එනම් අපේ සංකල්ප වැඩිහිටියාගේ සංකල්පය ම නො වේ. මේ ලිපිය කියවන එක් එක්කෙනා ලිපිය විවිධාකාරයෙන් තේරුම් ගනියි. එනම් එක් එක්කෙනා තමන්ට ආවේණික වූ ආකාරයකින් ලිපිය නිර්මාණය කර ගනියි. තම තම නැණ පමණින් දැනගත යුතු යැයි ලෝවැඩ සඟරාවෙහි කියැවෙයි. ගුරුවරයකු කියන දෙයක් ශිෂ්‍යයෝ විවිධාකාරයෙන් අවබෝධ කරගනිති. තමන්ගේ මනසෙහි ස්වභාවය අනුව සංස්කෘතියෙහි ස්වභාවය අනුව හා පංචෙන්ද්‍රියයන්ගේ ස්වභාවය අනුව ඒ අවබෝධය වෙනස් වෙයි. අවබෝධයක් යනු නිර්මාණයක් පමණකි. 

එහෙත් පුටුව පොල්ගෙඩිය ආදිය පිළිබඳ ව අප සියළු දෙනාට ඇත්තේ එක සමාන වූ අවබෝධයක් නොවේ දැයි කිසිවකු ප්‍රශ්න කරනු ඇත. පුටුව යන්න හා ආසනය අතර වෙනස කවරේ ද? බස්වල මගීන් සඳහා ඇත්තේ ආසන යැයි අපි කියමු. අපි ඒවාට පුටු යැයි නො කියමු. එහෙත් කුඩා දරුවකු ඒ ආසන පුටු ලෙස හැඳින ගැනීමට ඉඩ ඇත. මට ඒ පිළිබඳ පෞද්ගලික අත්දැකීමක් වෙයි. මගේ ලෝකය කෘතියෙහි පෙන්වා දී ඇති ආකාරයට ඇතැම් ගෙවල්වල ඇති උඩැක්කි වැනි ආසන එවැනි ආසන නුදුටු අයකුට ආසනයක් නොවනු ඇත.

අප මල් ආසනය නමින් හඳුන්වන්නේ වාඩිවීමට යොදා ගන්නා ආසනයක් නො වේ. මල් ආසනයට තේරුමක් ලැබෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ය. මේ උදාහරණවලින් පෙන්නුම් කෙරෙන්නේ එක් එක් අය තම සංස්කෘතිය, මනස හා පංචෙන්ද්‍රිය අනුව සංකල්ප නිර්මාණය කරගන්නා ආකාරය ය. එක් සංස්කෘතියක ජීවත්වන අය බොහෝවිට එකම සංකල්ප යොදා ගැනෙන බවක් පෙනෙන නමුදු එය එසේ නො වේ. අපේ සංකල්පවල ඇති වෙනස්කම් කියුම් කෙරුම්වලින් හඳුනාගත හැකි ය. 

හුදු ප්‍රත්‍යක්‍ෂය පංචෙන්ද්‍රියයන්ට හා මනසට සාපේක්‍ෂ වෙයි. එහෙත් අනුමානය එසේ නො වේ. අප යම් අනුමානයකට එළඹෙන්නේ න්‍යායක් මත පදනම් ව තර්ක කරමිනි. එහි දී බොහෝවිට ප්‍රවාද ද යොදා ගැනෙයි. එහෙත් ප්‍රවාද යනු යම් ප්‍රත්‍යක්‍ෂයක් (හුදු ප්‍රත්‍යක්‍ෂයක් ම විය යුතු නො වේ) තේරුම් ගැනීම සඳහා නිර්මාණය කෙරෙන කතන්දර පමණකි. ප්‍රවාද ද නිර්මාණය කෙරෙන්නේ අනුමානයෙනි. 

අපි පළමුව හුදු ප්‍රත්‍යක්‍ෂ නොවූ ප්‍රත්‍යක්‍ෂ ගැන සාකච්ඡා කරමු. අප දුරේක්‍ෂයෙන් ග්‍රහ වස්තුවක් තාරකාවක් මන්දාකිණියක් නිරීක්‍ෂණය කළ විට අපට ඒ නිරීක්‍ෂණය ප්‍රත්‍යක්‍ෂයක් ලෙස පෙනී යයි. එහෙත් ඒ නිරීක්‍ෂණය පසුපස දැනුමක් වෙයි. දුරේක්‍ෂයෙන් නිරීක්‍ෂණය කිරීම ඇසෙන් නිරීක්‍ෂණය කිරීම වැන්නක් නො වේ. අද පාසලේ භෞතික විද්‍යාව ඉගෙන ගන්නා සිසුහු දුරේක්‍ෂය පිටුපස ඇති ප්‍රචාද ගැන දැන ගනිති. කාච පිළිබඳ දැනුමක් නොමැතිව දුරේක්‍ෂය ක්‍රියාත්මක වන්නේ කෙසේ දැයි දැනගත නො හැකි ය. 

මෙහි දී කිසිවකුට ප්‍රශ්නයක් වනු ඇත්තේ ඇස ක්‍රියාත්මක වන්නේ කෙසේ දැයි දැනගැනීමට ද කාච පිළිබඳ දැනුමක් අවශ්‍ය නොවන්නේ ද යන්න ය. ඇස කාච ඇසුරෙන් විස්තර කිරීමට බොහෝ කලකට පෙර ද මිනිස්සු ඇස් යොදා ගෙන ලෝකය බැලූහ. අද ද බොහෝ දෙනාට කාච පිළිබඳ දැනුමක්, එනම් බටහිර භෞතික විද්‍යාවෙහි කියැවෙන දැනුමක්, නැත. එහෙත් මිනිසුන්ට ලෝකය බලා නිර්මාණය කරගැනීමට එය ප්‍රශ්නයක් නො වේ. කාච පිළිබඳ බටහිර භෞතික විද්‍යා දැනුමක් ඇතිව හෝ නැතිව හෝ අපට  පොල් ගෙඩියක් දැක ගත හැකි ය. එසේ දැක ගැනීම යනු නිර්මාණයක් බව නැවත නැවතත් අවධාරණය කළ යුතු ය. පොල් ගෙඩිය අවසානයේ දී නිර්මාණය කෙරෙන්නේ මනසෙනි. අවශ්‍ය නම් එය නැති පොල් ගෙඩියක් නැති මනසෙන් නිර්මාණය කෙරෙන්නක් ලෙස ද හඳුනාගත හැකි ය, එනම් එවැනි දැනුමක් නිර්මාණය කළ හැකි ය.  

එහෙත් දුරේක්‍ෂයකින් ඈත තිබෙන වස්තුවක් නිරීක්‍ෂණය කෙරෙන්නේ බටහිර භෞතික විද්‍යා දැනුම උපයෝගී කර ගනිමිනි. අන්වීක්‍ෂණයකින් කෙරෙන නිරීක්‍ෂණයක් ගැන වුව ද කිව හැක්කේ එයම ය. ඇතැම් නිරීක්‍ෂකයන්ට එවැනි බටහිර භෞතික විද්‍යා දැනුමක් නොමැති වීමට හැකි ය. එහෙත් ඔවුහු ද එකී දැනුම ඇත්තවුන් කියන කරුණු අනුගමනය කරති. අප දුරේක්‍ෂයකින් හඳ නිරීක්‍ෂණය කරන විට ඒ පෙනෙන්නේ හඳ දැයි අප දන්නේ කෙසේ ද? 

හඳෙහි දුරේක්‍ෂයෙන් පෙනෙන ලප හඳෙහි ඇති බව අප දන්නේ කෙසේ ද? අප මිනිස් ඇසෙන් දකින හඳෙහි ලප නැත. ලප නොම වන් සඳ සේ සොමි ගුණෙනා යන්නෙහි කියැවෙන්නේ හඳෙහි ලප නොමැති බව ය. එසේ නම් හඳට ලප ලබා දුන්නේ දුරේක්‍ෂය ද? හඳෙහි ලප ඇති බව අප දැනගන්නේ දුරේක්‍ෂය පිළිබඳ ඇති බටහිර භෞතික විද්‍යා දැනුම උපයෝගී කර ගනිමිනි. ගැලීලියෝට මුල දී තම දුරේක්‍ෂයෙන් පෙනෙන්නේ ඊනියා පවතින දේ ද යන්න තේරුම් කරදීම ප්‍රශ්නයක් විය. 

දුරේක්‍ෂයෙන් නිරීක්‍ෂණය කරන මන්දාකිණි, ක්වේසාර ආදිය මිනිස් ඇසට නො පෙනෙයි. රේඩියෝ හෙවත් ගුවන්විදුලි වස්තු එක්ස්රේ වස්තු ආදිය නිරීක්‍ෂණය කෙරෙන්නේ අදාළ දුරේක්‍ෂ යොදා ගනිමිනි. බටහිර භෞතික විද්‍යාව පිළිබඳ දැනුමක් නොමැතිව අපට ඒ ඒ වස්තු ඒ ඒ ආකාරයෙන් හඳුනාගත නො හැකි ය. අන්වීක්‍ෂ යොදා ගෙන නිරීක්‍ෂණය කරන දේ ද බටහිර භෞතික විද්‍යාව මත පදනම් වෙයි. බටහිර වෛද්‍ය විද්‍යාවෙහි ලබාගන්නා එක්ස් කිරණ ඡායාරුප ආදිය ට අර්ථකථන දෙනු ලබන්නේ ද බටහිර භෞතික විද්‍යාව මත පදනම් වෙමිනි.  

බටහිර භෞතික විද්‍යාවෙහි අද න්‍යෂ්ටික නිරීක්‍ෂණ ආදිය මුළුමනින් ම අදාළ ප්‍රවාද මත පදනම් වෙයි. යම් ඡායාරුපයක අ3ති රේඛා ඉලෙක්ට්‍රෝනයක් ප්‍රොටෝනයක් ආදී වශයෙන් අර්ථකථනය කෙරෙන්නේ බටහිර  භෞතික විද්‍යා ප්‍රවාද මත පදනම් වී ය. සාමාන්‍ය මිනිසකුට රේඛාවක් පෙනෙන විට බටහිර භෞතික විද්‍යාඥයකුට ඉලෙක්ට්‍රෝනයක් පෙනෙයි. පැහැදිලිව ම එවැනි නිරීක්‍ෂණ හුදු ප්‍රත්‍යක්‍ෂ නො වේ. බටහිර විද්‍යාවේ නිරීක්‍ෂණ බොහෝමයක් හුදු ප්‍රත්‍යක්‍ෂ නො වේ. එහෙත් බටහිර විද්‍යාඥයන්ට ඒ ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ වෙයි. මහාචාර්ය අමරතුංග හා මහාචාර්ය කාලෝ ෆොන්සේකා ආදී බටහිර වෛද්‍යවරුන්ගේ, දන්ත වෛද්‍යවරුන්ගේ, විද්‍යාඥයන්ගේ ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ එබඳු ය. ඒ ඊනියා ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ ප්‍රවාද හෙවත් කතන්දර සමග බැඳී ඇත. ඒවා ඉංගිරිසියෙන් ෆැක්ට්ස් (facts) යනුවෙන් හැඳින්වෙන්නේ කෙසේ දැයි නො දනිමි. මාර්ටින් වික්‍රමසිංහ මහතා තම නොදැනුවත්කම ප්‍රදර්ශනය කරමින් ෆැක්ට්ස් යනු ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ යැයි හැඳින්වී ය. 


නලින් ද සිල්වා

2013-12-11

Saturday, 1 September 2012

කාලය හා මායා දින දර්ශනය

අප උත්සාහ කරමින් සිටින්නේ ක්වොන්ටම් අංශුවල චලිතය තේරුම් ගැනීමට ය. එහෙත් අප තේරුම් ගැනීමට උත්සාහ කරන්නේ ප්‍රත්‍යක්‍ෂයෙන් ඒ බව දැනගැනීමෙන් නො වේ. අපේ ප්‍රත්‍යක්‍ෂය නිවැරදි යැයි මෙයින් අදහස් නො කෙරෙයි. අපේ ප්‍රත්‍යක්‍ෂ ද අපේ නිර්මාණ (සංස්කාර) වෙයි. අප පුටුව ලෙස දකින්නේ අපේ සංස්කෘතිය විසින් සකස් කෙරී අපට ලබාදුන් සංකල්පයක් සහිත ඊනියා වස්තුවකි. එවැනි වස්තුවක් ඇතැයි සැලකීමට අපට සංස්කෘතියෙන් උගන්වනු ලැබ ඇත.

ක්වොන්ටම් අංශු අපට දෘශ්‍යමාන නො වෙයි. දෘශ්‍යමාන නොවෙයි යන්නෙන් මේ ලිපිවල දී පමණක් නොව අදාළ වෙනත් ලිපිවලදී ද අදහස් වන්නේ පංචේන්ද්‍රියන්ට ගෝචර නොවන බව ය. එයින් කිසිසේත් ම හුදෙක් ඇසට නොපෙනෙන බව පමණක් ගම්‍ය නො වේ. ඊනියා ගුරුත්වාකර්ෂණ බලය දෘශ්‍යමාන නොවේ යැයි කී විට එය ඇසට නොපෙනනමුත් ඇඟට දැනේනේ යැයි කියන්නෝ වෙති. එහෙත් ඔවුහු ඊනියා ගුරුත්වාකර්ෂණය දැනේනේ කිනම් ඉන්ද්‍රියකට දැයි නො කියති.

ඊනියා ගුරුත්වාකර්ෂණ බලය දෘශ්‍යමාන නොවේ යන්නෙන් එවැන්නක් ඉන්ද්‍රිය ගෝචර නොවේ ය යන්න අදහස් වන බව මගේ ලිපිවලට දේශපාලන පක්‍ෂ විසින් හා වෙනත් අය විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවිවල කමෙන්ට් නමින් හැඳින්වෙන පඬිමත දක්වන අය නොදන්නා බව පැහැදිලි ය. අපි ඔවුන් ගැන අනුකම්පා කරමු. ඒ අය කළ යුත්තේ ඊනියා ගුරුත්වාකර්ෂණය දැනෙන්නේ කිනම් ඉන්ද්‍රියකට දැයි කාහටත් පැහැදිලි වන අයුරෙන් ප්‍රකාශ කිරීම ය. එසේ නැතිව තමන්ට ගුරුත්වාකර්ෂණය දැනෙන බව කීමෙන් පලක් නොමැත.

පසුගිය දා නිරීක්‍ෂණය කරන ලදැයි කියැවෙන හිග්ස් බෝසෝනය ද දුටු අයකු නැත. බටහිර විද්‍යාඥයන් දළ සේයා පටිවල ඇති වූ රේඛා මගින් හිග්ස් බෝසෝනය අර්ථදක්වා ඇත. හිග්ස් බෝසෝනය දුටු අයකු, එනම් පංචේන්ද්‍රියට ගෝචර කරගත් අයකු සර්න් පරීක්‍ෂණාගාරය ඇතුළු ලෝකයේ කිසි තැනක නැතත් මෙරට ඇතැම් පඬියන් කතාකරනුයේ තමන් හිග්ස් බෝසෝනය දුටු අයුරෙනි. ඔවුන් වැඩිම වුවහොත් කරන්නේ අද ලෝකයේ විඤ්ඤූන් බවට බලහත්කාරයෙන් බටහිරයන් විසින් පත්කෙරී තිබෙන බටහිර විද්‍යාඥයන්ගේ මත අතිමහත් විශ්වාසයකින් පුනරුච්චාරණය කිරීම පමණකි.

ඔවුන් තමන් මහත් උනන්දුවකින් කතාකරන අනුගමනය කරන්නේ යැයි කියන කාලාම සූත්‍රයෙහි පළමු කොටස අනුගමනය නො කරති. ඔවුහු තමන් නිරීක්‍ෂණය නොකර ම හිග්ස් බෝසෝනය ඇතැයි කියන්නේ වෙනත් අය කියා ඇති බැවින් මිස තමන් අනුගමනය කරන්නේ යැයි කියන ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් අනුව හෝ ඊනියා විද්‍යාත්මක ආකල්පයක් නිසා හෝ නො වේ. ඔවුහු කාලාම සූත්‍රයෙහි දෙවැනි කොටස ලෙස හැඳින්විය හැකි විස්තරයෙන්් කියැවෙන පරිදි එලොවටත් මෙලොවටත් වැඩදායක වන පරිදි විඤ්ඤූන් කරන කියන දැ කිරීමටත් නොකරන නොකියන දෑ නොකිරීමටත් පෙළඹ වී ඇතැයි කිසිවකුට සිතිය හැකි ය. එහෙත් එහි දී ප්‍රශ්නයක් වනුයේ ඔවුන්ගේ විඤ්ඤූන් වූ මේ බටහිර විද්‍යාඥයෝ හා වෙනත් බටහිර පඬිවරු එලොවටත් මෙලොවටත් වැඩදායක වන අයුරෙන් ක්‍රියා නො කිරීම ය.

අප උත්සාහ කරන්නේ අපට දෘශ්‍යමාන නොවන ක්වොන්ටම් අංශුවල චලිතය තේරුම් ගැනීමට ය. දෘශ්‍යමාන නොවන අංශුවල චලිතය තේරුම් ගැනීම එක්විට ම අපහසු විය යුතු බැවින් අපි පළමුව පංචේන්ද්‍රියයන්ට ගෝචර වන වස්තුවල චලිතය තේරුම් ගැනීමට උත්සාහ කළෙමු. එහෙත් අපට එය කළහැකි වනුයේ සංකල්ප, ප්‍රවාද ආදිය ආශ්‍රයෙන් මිස වෙනත් ක්‍රමයකට නො වේ. හුදු සංජානන කිසිවකු සම්බන්ධයෙන් ඇති නො වේ. අප වැනි පෘථග්ජනයන්ගේ සංජානන සංකල්පවලින් බැහැර නො වේ. අපට සංකල්පයක් නොමැති සංජානනයක් නැත.

පංචේන්ද්‍රියයන්ට ගෝචරවන වස්තුවල චලිතය අවකාශය, කාලය, විස්ථාපනය ආදී සංකල්ප උපයෝගි කරගනිමින් අවබෝධ කරගැනීමට උත්සාහ කළෙමු. එහෙත් එහි දී අපට වස්තුවක් අවකාශයේ පිහිටි ස්ථාන දෙකක් අතර චලනය වීමේ දී නොයෙකුත් උපකල්පන කිරීමට සිදුවිය. විශේෂයෙන් ම වස්තුවක සීමාකාරී අවස්ථාවක් වූ අංශුවක චලිතය සාකච්ඡා කිරීමේ දී අවකාශය හිඩැස්වලින් තොරවූ සන්තතික භූතාර්ථයක් ලෙස සැලකීමට අපට සිිදු විය. භෞතික වූ අවකාශයක් ඇති බවත් එය සන්තතික බවත් පමණක් නොව එම භෞතික අවකාශය ගණිතමය අවකාශයක් වූ යුක්ලීඩීය අවකාශයට සමාන බවත් (භෞතික අවකාශය හා ත්‍රිමාන යුක්ලීඩීය අවකාශය අතර එකට එක අනුරූපිතයක් ඇති බවත්) උපකල්පනය කළෙමු.

මේ සියල්ල උපකල්පන වෙයි. ඒ උපකල්පන නොමැතිව අපට අංශුවක චලිතය තේරුම් ගත නො හැකි ය. එහෙත් එය තේරුම් ගැනීමක් ද යන ප්‍රශ්නය පැන නගින්නේ එය උපකල්පන මත රුඳී ඇති බැවිනි. අප කරන්නේ යම් උපකල්පන මත පදනම් වෙමින් ආකෘති ගොඩ නැගීම ය. භෞතික අවකාශය ද අපට ප්‍රත්‍යක්‍ෂ නො වේ. අපි ඊනියා භෞතික අවකාශයක් නිර්මාණය කරමු. එහෙත් එසේ කරන්නේ ගණිතමය යුක්ලීඩීය ත්‍රිමාන අවකාශය මත පදනම් වෙමිනි. ගණිතමය යුක්ලීඩීය අවකාශය කිසිසේත්ම පංචේන්ද්‍රියයන්ට ගෝචර නො වේ. එහෙත් එය සමග එකට එක අනුරූපිතයක් ඇතැයි සැලකෙන භෞතික අවකාශයක් ද ඒකමාන වූ කාලයක් ද අපි නිර්මාණය කරගන්නෙමු.

කාලය සම්බන්ධයෙන් ද කිවයුත්තේ එය ද අවකාශයක් ලෙස ගැනෙන බව ය. එය ඒකමාන ගණිතමය අවකාශයක් සමග එකට එක අනුරූපිතයක් සාදන්නේ යැයි උපකල්පනය කෙරෙයි. කාලය පිලිබඳ අප දන්නේ යැයි සිතන බොහෝ දෑ මේ ගණිතමය අවකාශයෙන් ගලා එයි. අප ගන්නා ගණිතමය ඒකමාන අවකාශය සන්තතික ය. එහි හිඩැස් නැත. අපට භෞතික අවකාශයෙහි මෙන් ම කාලයෙහි ද අතරමැද ස්ථාන හෝ ලක්‍ෂ්‍ය ක්‍ෂණ හෝ පන්නා යා හැකි නො වේ. ලක්‍ෂ්‍ය ක්‍ෂණයක් ලෙස මෙහි දී අර්ථ දැක්වෙන්නේ කාල අන්තරයක් ශූන්‍ය කරා එළඹීමේ සීමාව ය. එය වස්තුවක පරිමාව ශූන්‍ය කරා එළඹීමේ දී අංශුව ලැබෙන්නාක් මෙනි. මේ කාල අවකාශය ඇතැම් සංස්කෘතිවල ගණිතමය සරල රේඛාවක් ලෙස ගැණිනි. (අවශ්‍ය නම් ස්වඡෙදනයක් නොවන වක්‍ර රේඛාවක් ලෙස ද ගත හැකි ය. වක්‍ර රේඛාව තමන් ඡෙදනය නොකළ යුතු ය. එය සන්තතික වක්‍රයකි.)

කිනම් සංස්කෘතියක වුව ද යැයි කිව හැකි තරමට මිනිසුන් කාලය මනින්නේ අද තාත්වික සංඛ්‍යා ලෙස හැඳින්වෙන සංඛ්‍යා ආශ්‍රය කරමිනි. අපි එක් සිද්ධියක සිට තවත් සිද්ධියකට ගත වී ඇති කාලය තත්පර දහයක් යැයි කියමු. එසේත් නැත්නම් අවුරුදු පහක් යැයි කියමු. පහ, දහය ආදිය තාත්වික සංඛ්‍යා වෙයි. සංකීර්ණ සංඛ්‍යාවලින් කාලය මනින සංස්කෘතියක් ඉතිහාසයේ කිසි දිනෙකවත් තිබූ බවට සාක්‍ෂියක් නැත.

චලිතය ගැන යමක් දැන සිටි සියල්ලන් ඉහත සඳහන් ආකාරයෙන් සිතුවේ දැයි යමකු ප්‍රශ්න කිරීමට ඉඩ ඇත. ඔවුන්ට ගණිතමය අවකාශ පිළිබඳ දැනුමක් නොතිබෙන්නට ඇත. අඩුම තරමෙන් යුක්ලීඩීය ජ්‍යාමිතිය සකස් කළ ග්‍රීකයන්ට වුව ද ඒ දැනුම නො තිබුණි. එහෙත් ඒ බොහෝ දෙනා අවකාශය ගැන සිතුවේ හිඩැස් නොමැති භූතාර්ථයක් ලෙස ය. එලෙස ම කාලය පිළිබඳ රේඛීය සංකල්පයක් තිබූ සංස්කෘතිවල කාලය ද ක්‍රමයෙන් වැඩිවන්නක් ලෙස සැලකිණි.

එහෙත් කාලය ගැන එලෙස නොසිතූ සංස්කෘතීන් ද විය. ඔවුන්ගේ කාලය එක්කෝ සර්පිලාකාර විය. එසේත් නැත්නම් වෘත්තාකාර හෝ වෙනත් සංවෘත කාලයක් විය. සංවෘත කාලයක් පිළිබඳ සංකල්පය ඇතිවන්නේ චක්‍රීය චින්තනයක ය. සිංහල බෟද්ධයන්ට ඇත්තේ චක්‍රීය චින්තනයකි. සංසාරයක් ගැන අප සිතන්නේ ද එක්තරා ආකාරයකින් සංවෘත කාලයක් හෝ සර්පිලාකාර කාලයක් හෝ ආශ්‍රයෙනි.

අද බොහෝ දෙනා කතාකරන මායාවරුන්ගේ දින දර්ශනය සංවෘත කාලයක් ඇසුරෙන් නිර්මාණය කරගෙන ඇතැයි සිතිය හැකි ය. ඔවුන් 2012 දී ලෝකය විනාශ වන බව නොව ලෝකය නැවත තම මාර්ගය දිගේ ගමන් අරඹන බව සිතුවා වන්නට හැකි ය. චක්‍රීිය චින්තනයක එසේ සිතීම අරුමයක් නො වේ. ලෝකයේ එක් යුගයක් අවසාන වී තවත් යුගයක් ආරම්භ කිරීම 2012 දී සිදුවන්නේ යැයි ඔවුන්ට සිතෙන්නට ඇත. එබැවින් 2012න් පසුව දින දර්ශනය දිගින් දිගට ගලායෑමට සැලැස්වීමට ඔවුන්ට අවශ්‍යතාවක් නොතිබෙන්නට ඇත.

වෛදික සංස්කෘතියෙහි ද එක් එක් යුග ඇත. අද ඇත්තේ කලියුගය යැයි කියනු ලැබේ. බෞද්ධයෝ ද ලෝකය ප්‍රසාරණය වී පසුව සංකෝචනය වන්නේ යැයි ද නැවතත් ප්‍රසාරණය වන්නේ යැයි ද ආදී වශයෙන් ගනිති. ඒ ඒ කල්පවල දී බුදුන් වහන්සේලා පහළ වන බවත් නැවතත් ධර්මය දේශනා කරන බවත් බෞද්ධයෝ දනිති. ඒ ක්‍රියාවලිය චක්‍රීය වෙයි. එක් කල්පයක දී එක් බුදුන් වහන්සේ නමක් පමණක් පහළ වන්නේ යැයි නොසිතිය යුතු ය. මේ මහා භද්‍ර කල්පයෙහි බුදුන් වහන්සේලා පස්නමක් පහළ වෙති. මේ කල්පය භද්‍ර හෙවත් යහපත් වන්නේ එබැවිනි.

එහෙත් බුදුන් වහන්සේ නමක් පහළ නොවන කල්ප ද තිබිය හැකි ය. එමෙන් ම බුදුන් වහන්සේලා දෙනමක් අතර ධර්මය නැති වී යන කාල ද වෙයි. එවැනි කාල අබුද්දස්ස කාල ලෙස බෞද්ධයන් විසින් හඳුන්වනු ලැබේ. මෙයින් පැහැදිලි වන කරුණක් නම් ඕනෑම කල්පයක් වෙනත් කල්පයක පිටපතක් නොවන බව ය. එනම් කල්ප අතර එකට එක අනුරූපිතයක් ද නැත. මේ සියල්ලෙන් අපට කියන්නේ කාලය විවෘත රේඛීය වශයෙන් ගන්නා සංස්කෘතීන් හැර තවත් සංස්කෘතීන් ද ඇති බව ය.

මායාවරුන්ගේ දින දර්ශනය 2012න් අවසන් වී ලෝක විනාශයක් සිිදුවන බවක් ගැන කතාකරන්නේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ය. එයට හේතුව බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි කාලය විවෘත ඒක රේඛීය වීම ය. එහි කාලයට ආරම්භයක් ඇත. ඒ ආරම්භයෙන් පසු කාලය දිගින් දිගට ම ඒක රේඛීය ව ගලා යයි. එය ලෝක ආරම්භයත් සමග සිදුවිණි යැයි යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි සැලකෙයි. මහා පිපිරුම, දෙවියන් වහන්සේ ලෝකය මැවීම ආදිය ඒ සංස්කෘතියෙහි බිහි වූ සංකල්ප වෙයි.

බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි පඬිවරුන්ට මායා දින දර්ශනය හමු වූ විට ඔවුන්ට කළ හැකි වූයේ ඔවුන්ගේ සංස්කෘතියට අනුව එය විවරණය කිරීම ය. ඔවුන්ට අනුව දින දර්ශනයට අවසානයක් ඇත්නම් එයින් කියැවෙන්නේ ඉන්පසු ලෝකයක් නැති බව ය. සරල රේඛා ඛණ්ඩයක අග මුල මෙන් ඔවුන්ට දින දර්ශනවලට ද අගක් මුලක් ඇත. එබැවින් ඔවුහු මායා දින දර්ශනයෙහි 2012න් පසුව යමක් නොකියැවෙන බැවින් එය එහි අග එසේත් නැත්නම් අවසානය ලෙස ගත්හ. විවෘත ඒක රේඛීය චින්තනයක් ඇති බටහිර පඬිවරුන්ට අනුව මායා දින දර්ශනයෙන් කියැවෙන්නේ 2012 දී ලෝකය අවසන් වන බව ය. එනම් ලෝකය විනාශ වන බව ය. තම සංස්කෘතියෙහි සිතන ආකාරයට අනෙක් සංස්කෘතිවල ද සිතන්නේ ය යන උද්ධච්ඡභාවයෙන් පෙළෙන බටහිරයෝ මායාවරුන් තම දින දර්ශනයෙන් 2012 දී ලෝකයේ වෙනත් යුගයක ආරම්භය ගැන කියා ඇත් ද යන්න කල්පනා කිරීමට තරම්වත් නිහතමානී නො වෙති.

Sunday, 8 July 2012

ප්‍රවාද මගින් තේරුම් නොගැනීම

සම්භාව්‍ය භෞතිකයෙහි වස්තුවක් හෝ අංශුවක් හෝ එක් තැනක සිට තවත් තැනකට යෑම යනු කුමක් දැයි තේරුම් ගැනීමට අපි උත්සාහ කරමින් සිටින්නෙමු. මෙතැන තිබූ වස්තුවක් හෝ අංශුවක් හෝ එතැන තිබෙන්නේ කෙසේ ද යන්න තේරුම් ගැනීම එතරම් පහසු දෙයක් නො වේ. එතැන තිබෙන්නේත් මෙතැන තිබූ වස්තුව හෝ අංශුව හෝ නො වේ. ඒ වෙනත් වස්තුවක් හෝ අංශුවක් හෝ ද නො වේ. එහෙත් එතැන තිබෙන්නේත් මෙතැන තිබූ අංශුව ම යැයි අපි සිතමු. එය මායාවක් පමණි. එසේ ඒ වස්තුවත් මේ වස්තුවත් එකම යැයි අප සිතන්නේ අපේ අවිද්‍යාව හේතුකොටගෙන ය. එපමණක් නොව එසේ එකම වස්තුවක් ඇතැයි සිතන මා නම් නිරීක්‍ෂකයා ද පවතින්නේ යැයි සිතන්නේ ද අවිද්‍යාව හේතුවෙනි. මේ සියල්ල මා නම් නිරීක්‍ෂකයාගේ අවිද්‍යාව නිසා හටගැනෙයි. මා නම් නිරීක්‍ෂකයා හා අනෙක් වස්තු පවතින්නේ යැයි ගැනීම ආත්මවාදී යැයි කිව හැකි ය.

ආත්මවාදී යැයි කීව ද මෙහි වාදයක් හෝ ප්‍රවාදයක් හෝ නැත. වාද, ප්‍රවාද ආදිය අපේ අනුමාන වෙයි. අප වාදයක් හෝ ප්‍රවාදයක් හෝ නිර්මාණය කරන්නේ යම් සංසිද්ධියක් තේරුම් ගැනීමට ය. සංසිද්ධි ද අපේ නිර්මාණ වෙයි. ඒවා අපේ ප්‍රත්‍යක්‍ෂ විය හැකි ය. එහෙත් ප්‍රත්‍යක්‍ෂ ද අපේ නිර්මාණ වෙයි. පොල් ගෙඩියක් වැටීම අපේ ප්‍රත්‍යක්‍ෂයකි. අපි පොල් ගෙඩි වැටෙනු නිරීක්‍ෂණය කරමු. එය අපේ පංචෙන්ද්‍රියයන්ට ගෝචර වෙයි. එය අපි අපේ මනසින් ද ගෝචර කර ගන්නෙමු. එහෙත් පොල් ගෙඩිය යනුවෙන් වස්තුවක් ඇතැයි ගැනීම ම ආත්මයක් ඇතැයි ගැනීමකි. අපේ මනස් සකස් වී ඇති ආකාරයට අපි පළමුව මනසක් ඇතැයි ගන්නෙමු. ඉන්පසු පොල් ගෙඩි ආදී අනෙක් වස්තු ඇතැයි ගන්නෙමු.

කෙසේ වෙතත් පොල් ගෙඩි වැටීමේ සංසිද්ධිය, අපේ ප්‍රත්‍යක්‍ෂයක් වූ සංසිද්ධිය තේරුම් ගැනීම සඳහා අපි ප්‍රවාද ගොඩ නගන්නෙමු. ඒ සඳහා නිව්ටන් විද්වතා එක් ප්‍රවාදයක් ද අයින්ස්ටයින් විද්වතා එයට සංකල්පීය වශයෙන් හාත්පසින් ම විරුද්ධ වූ තවත් ප්‍රවාදයක් ද ගොඩ නැගී ය. එකකට අනුව පොල් ගෙඩි වැටෙන්නේ ගුරුත්වාකර්ෂණය හේතුකොටගෙන ය. අනෙකට අනුව පොල් ගෙඩි වැටෙන්නේ අවකාශ –- කාලයෙහි වක්‍රතාව නිසා ය. එහෙත් අපට ඒ ප්‍රවාදවලින් පොල් ගෙඩි වැටෙන්නේ ඇයි දැයි තේරුම් ගත හැකි ද?

මේ තේරුම් ගැනීම යනුවෙන් අප අදහස් කරන්නේ අපට ප්‍රත්‍යක්‍ෂයක්වත් නොවූ පඹගාලක හිරවීම පමණකි. ගුරුත්වාකර්ෂණය යනු කුමක් ද? අප බොහෝ දෙනකු සිතන්නේ අපට ගුරුත්වාකර්ෂණය යන්න තේරෙන්නේ ය කියා ය. එහෙත් ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර නො වේ. එය වියුක්ත සංකල්පයකි. එය අපට ප්‍රත්‍යක්‍ෂ නො වේ. පොල් ගෙඩිය යනුවෙන් ඊනියා දෙයක් නොපැවතුණ ද වැරදියට වුවත් එය අපේ ඉන්ද්‍රියවලට ගෝචර වෙයි. පොල් ගෙඩිය පොල් ගෙඩියක් ලෙස ගැනීම වැරදි වුවත් අපේ මනස හා පංචෙන්ද්‍රිය උපයෝගී කරගෙන අපි එය, නැවත වරක්, වැරදියට වුවත් ප්‍රත්‍යක්‍ෂ කර ගන්නෙමු.

එහෙත් අපට වියුක්ත සංකල්පයක් වූ ගුරුත්වාකර්ෂණය වැරදියටවත්, වැරදිලාවත් ප්‍රත්‍යක්‍ෂ නො වේ. අවකාශ - කාලයේ වක්‍රතාව ගණිතය නොදැන සිතා ගැනීමටවත් නො හැකි ය. එසේ නම් මෙවැනි අවස්ථාවල වියුක්ත ප්‍රවාද මගින් අප තේරුම් ගන්නේ යැයි කියන්නේ තේරුම් ගෙන තිබූ ටිකත් නැතිකර ගැනීමට මිස අනෙකකට නො වේ. මේ තේරුම් ගැනීම පොතක පතක තිබෙන දුරාවබෝධ වාක්‍යයක් හෝ ඡෙදයක් හෝ තේරුම් ගැනීම මෙන් නො වේ. වාක්‍යයක් හෝ ඡෙදයක් හෝ අවබෝධ කරගත නොහැකි නම් අප කරන්නේ එක්කෝ ශබිදකෝශයක් මගින් ඒ තේරුම් ගැනීම ය. එසේත් නැත්නම් එය තේරුම්ගත් වෙනත් අයකුගෙන් අසා දැන ගැනීම ය. එසේත් නැතහොත් සන්දර්භයට අදාළව එය තේරුම් ගැනීමට උත්සාහ කිරීම ය.

පළමු අවස්ථා දෙකෙහි අදාළ වාක්‍යය හෝ ඡෙදය හෝ එක්කෝ අප දන්නා අපට තේරෙන වචනවලින් ප්‍රකාශ කර ගැනීමට අපි කටයුතු කරමු. එමෙන් ම අප එතෙක් නොදැන සිටි වචනයක් වී නම් එය ද දන්නා වචනවලින් තේරුම් ගැනීමට උත්සාහ කරන්නෙමු. එසේත් නැතහොත් නොදැන සිටි වචනය ගැන චිත්ත රූපයක් මවා ගැනීමට උත්සාහ කරමු. ඒ කුමක් වුවත් අපට ඒ ඔස්සේ පංචෙන්ද්‍රිය සමග එකතු වී හෝ නැතිව හෝ මනසට දැනෙන සංකල්පයක් අපි තනා ගන්නෙමු. අප සතුටු වන්නේ දුක් වන්නේ මනසෙනි. එය මනසට හා පංචෙන්ද්‍රියයන්ට ගෝචරවන යම් කරුණක් නිසා සිදුවන්නක් විය හැකි ය. එහෙත් සතුටු වීම හෝ දුක්වීම හෝ අපේ මනසට දැනෙන්නකි. එය අපට ප්‍රත්‍යක්‍ෂ වෙයි.

එහෙත් දිව්‍ය ලෝකය අපට ප්‍රත්‍යක්‍ෂ නැත. අපට එය මනසට පෙනෙන, එනම් මනසින් මවාගත හැකි, එහෙත් මනසට නොදැනෙන සංකල්පයකි. දිව්‍ය ලෝක ගැන අපි නොයෙකුත් දේ අසා ඇත්තෙමු. දෙවියන් ගැන ද අප බොහෝ දෙනකුට ඇත්තේ අසා දැනගත් කරුණු ය. පන්සලේ ඇති දේවරූප අපි දැක ඇත්තෙමු. ඒ සියළු කරුණු ඔස්සේ අපි දිව්‍ය ලෝක මනසෙහි මවා ගන්නෙමු. ඇතැමුනට දිව්‍ය ලෝක හයේ නම් ද ප්‍රකාශ කළ හැකි ය. එහෙත් ඒ එක් අයකුටවත් දිව්‍ය ලෝක ප්‍රත්‍යක්‍ෂ නැත. අප සසරේ යම් කාලයක් දිව්‍ය ලෝකවල ගතකර ඇතැයි සිතිය හැකි වුව ද අපට දිව්‍ය ලෝක ප්‍රත්‍යක්‍ෂ නො වේ. දෙවියන් දැක ඇති අයට දෙවියන් ප්‍රත්‍යක්‍ෂ වුව ද ඔවුන්ට ද දිව්‍ය ලෝක ගැන ප්‍රත්‍යක්‍ෂ දැනුමක් නැත. ඔවුන්ට ද දිව්‍ය ලෝක ගැන ඇත්තේ ප්‍රත්‍යක්‍ෂ නොවූ දැනුමකි.

එහෙත් බුදුන් වහන්සේ රහතන් වහන්සේ ආදී උතුමනට දිව්‍ය ලෝක ගැන ප්‍රත්‍යක්‍ෂ දැනුමක් ඇත. අප ඒ බව දන්නේ කෙසේ දැයි පඬියකුට ප්‍රශ්නයක් විය හැකි ය. අප ඒ බව දන්නේ අපට උන්වහන්සේ විශ්වාස නිසා හා අප උන්වහන්සේ දේශනාකරන කරුණු විශ්වාස කරන නිසා ය. එය විශ්වාසය මත පදනම් වෙයි. විශ්වාසය නැතිව කිසිම දෙයක් අපට අන්‍යයන්ගෙන් දැනගත නො හැකි ය. අප බටහිර විද්‍යාඥයන් කියන දේ පිළිගන්නේ ඒ සියල්ල පිළිබඳ පර්යේෂණකර බැලීමෙන් පසුව නො වේ. අපට ඔවුන් ගැන විශ්වාසයක් ඇති බැවිනි. ඒ විශ්වාසය ගොඩනගා ඇත්තේ පාසල්, විශ්වවිද්‍යාල හා ජනමාධ්‍ය විසිනි.

දිව්‍ය ලෝක ගැන අපට ප්‍රත්‍යක්‍ෂ දැනුමක් නැතත් ඒ පිළිබඳ ව බුදුන් වහන්සේට හා රහතන් වහන්සේට ප්‍රත්‍යක්‍ෂයක් ඇත. එහෙත් ගුරුත්වාකර්ෂණය පිළිබඳ ව ප්‍රත්‍යක්‍ෂයක් ඇත්තේ කාහට ද? මා දන්නා තරමින් එලෙස ප්‍රත්‍යක්‍ෂයක් ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යයන අංශයේ එක්තරා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකුට පමණකි. එහෙත් ඔහු ද තමාට ගුරුත්වාකර්ෂණය දැනෙන්නේ කිනම් ඉන්ද්‍රියයක් ඔස්සේ දැයි කීමට මැළි විය. ඔහු හැරෙන්නට වෙනත් කිසිම අයකුට මා දන්නා තරමින් නම් ගුරුත්වාකර්ෂණය ප්‍රත්‍යක්‍ෂ වී නැත.

අඩුම තරමෙන් නිව්ටන් විද්වතාවටවත් ගුරුත්වාකර්ෂණය ප්‍රත්‍යක්‍ෂ වූවක් නො වේ. ඔහු ගුරුත්වාකර්ෂණය හඳුන්වා දුන්නේ ප්‍රශ්නයකට පිළිතුරක් ලෙස ය. එය හිතළුවක් පමණකි. නිසැකයෙන් ම එය ඔහුගේ මනසෙහි නිර්මාණය වූවකි. වෙනත් වචනවලින් කිවහොත් එය මනඃකල්පයකි. අපට සුපුරුදු බසින් කිවහොත් මනස්ගාතයකි. එහෙත් මනස්ගාතවලින්් පටන්ගෙන ඇරිස්ටෝටලීය න්‍යාය යොදාගනිමින් බටහිර විද්‍යාඥයන්ට යම් යම් කරුණු ප්‍රකාශ කළ හැකි ය. මේ ප්‍රකාශවලට නිගමන යැයි කීමට මා මැළිවන්නේ ඇරිස්ටෝටලීය න්‍යාය ද හුදු උද්ගමනයක් පමණක් වීම නිසා ය.

බටහිර විද්‍යාවේ තේරුම් ගැනීම යනු දුරාවබෝධ වාක්‍යයක් හෝ ඡෙදයක් හෝ තේරුම් ගැනීම වැන්නක් නො වේ. බටහිර විද්‍යාවේ වියුක්ත ප්‍රවාද ඔස්සේ තේරුම් ගැනීම යනු තේරුම් නොගැනීමක් පමණක් නොව තේරුම් ගෙන සිටි දෙයත් නැතිකර ගැනීමකි. බටහිර විද්‍යාවේ ප්‍රවාදයක් යනු සංගත එහෙත් හිතළුවක්, කතන්දරයක් පමණකි. මේ කතන්දරය ඊනියා සත්‍යයක් යැයි මිනිසුන් ලවා විශ්වාස කරවීමට හැකි වී ඇත්තේ ඒ කතන්දරයට ඇරිස්ටෝටලීය න්‍යාය යෙදීමෙන් ලබාගන්නා ප්‍රකාශ සන්නිකර්ෂණ ව යම් වෙසෙසියා මට්ටමක (level of significance) නිරීක්‍ෂණ සමග එකඟ වන බැවින් ය. ඒ හැරෙන්නට හිතළුව අපේ ප්‍රත්‍යක්‍ෂයක් නො වේ.

නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණය අර කථිකාචාර්යවරයාගේ හැරෙන්නට එදා මෙදාතුර විසූ කිසිවකුගේවත් ප්‍රත්‍යක්‍ෂයක් නො වේ. එහෙත් ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය උපයෝගී කරගනිමින් උද්ගමනයක් පමණක් වූ ඇරිස්ටෝටලීය න්‍යාය යොදාගනිමින් තවත් හිතළුවක් වූ නිව්ටෝනීය දෙවැනි නියමය ද ආධාර කරගනිමින් බටහිර විද්‍යාඥයෝ පොළොව ආසන්නයේ වස්තු ඒකාකාර ව එකම අගයකින් පොළොවට ඇද වැටෙන බව ද ග්‍රහ වස්තු අචල ඉලිප්සවල චලනය වන බව ද ප්‍රකාශ කරති. එය සන්නිකර්ෂණ ව මිනිසුන්ගේ නිරීක්‍ෂණ සමග එකඟ වෙයි. මෙහි දී කිවයුතු කරුණක් නම් මිනිසුන් ඒ සමග එකඟ වන්නේ බටහිර විද්‍යාඥයන් අනුව සිතන්නට ඔවුන්ට පුරුදු කිරීමෙන් පසුව බව ය. ඒ කෙසේ වෙතත් ග්‍රහ වස්තු අවකාශයේ අචල ඉලිප්සවල චලනය නො වේ. ඒ ඉලිප්සවලට ද “චලිතයක්” වෙයි.

අයින්ස්ටයිනීය අවකාශ - කාල වක්‍රතාව ගුර්ත්වාකර්ෂණයටත් වඩා වියුක්ත සංකල්පයකි. ඒ ගැන කිසිවකුට චිත්ත රූපයක්වත් මවාගත නො හැකි ය. එහි ප්‍රත්‍යක්‍ෂතාවක් ගැන කිසිසේත් ම සිතිය නො හැකි ය. එහෙත් නැවතත් ඒ සංකල්පය, අයින්ස්ටයිනීය ක්‍ෂෙත්‍ර සමීකරණ හා ඇරිස්ටෝටලීය න්‍යාය යොදාගෙන බටහිර විද්‍යාඥයන්ගේ ඇතැම් නිරීක්‍ෂණ සමග එකඟ වන ප්‍රකාශ ලබාගත හැකි වෙයි. පොල් ගෙඩි පොළොවට වැටීම කාගේත් ප්‍රත්‍යක්‍ෂයකි. එහෙත් අවකාශ –- කාල වක්‍රතාව කිසිවකුගේවත් ප්‍රත්‍යක්‍ෂයක් නො වේ. අප කාහටත් තේරුම් ගත හැකිව තිබූ පොල් ගෙඩි, ඇපල් ගෙඩි ආදිය පොළොවට ඇද වැටීම දැන් ලෝකයෙහි ලක්‍ෂයකට අඩු පිරසකගේ ප්‍රත්‍යක්‍ෂයක් නොවූ සංකල්පයක් පමණකි. එය මනසටවත් නොදැනෙන හුදෙක් මනසෙහි ඇති වූ සංකල්පයක් පමණක් වෙයි. මනස්ගාතයක් පමණකි.

මෙහි දී අවධාරණය කළ යුත්තේ පෘථග්ජනයන්ට ප්‍රත්‍යක්‍ෂ වූ දෑ ද ඊනියා සත්‍ය නොවන බව ය. පෘථහ්ජන ප්‍රත්‍යක්‍ෂ ද අවසාන වශයෙන් ගත්කල ඔවුන්ගේ පංචෙන්ද්‍රිය හා මනස මගින් නිර්මාණය කෙරෙයි. අප සියළු දෙනාට ම තමන් ගැන ප්‍රත්‍යක්‍ෂයක් වෙයි. බටහිර දාර්ශනිකයකු වූ දෙකාර්තේ පැවසුවේ “ මම සිතමි. එබැවින් මම වෙමි” යනුවෙනි. මේ තර්කයෙි ද මම වෙමි යන්න කල් තබා ම උපකල්පනය කෙරී ඇත. මම සිතමි යනුවෙන් පවසන විට සිතන්නේ මා බව කියැවෙයි. එසේ උපකල්පනය කර තිබිය දී මම වෙමි යනුවෙන් පැවසීම ව්‍යාජ නිගමනයක් පමණකි. දෙකාර්තේ කුමක් කීවත් මිනිසුනට තමන් පවතින බව ප්‍රත්‍යක්‍ෂ ය.

එහෙත් සිංහල බෞද්ධයනට මා යනුවෙන් කෙනකු නැත. එසේ නම් මිනිසුනට ප්‍රත්‍යක්‍ෂ වන්නේ ද නැති දෙයකි. එහෙත් ඒ නැති දෙයක් ලෙස මිනිසුන් විසින් සලකනු නො ලැබෙයි. පුටුව පිළිබඳ මිනිසුන්ගේ ප්‍රත්‍යක්‍ෂය වුව ද එබඳු ය. මිනිසුන්ට අනෙක් සත්වයන්ට ද නැති දේ ප්‍රත්‍යක්‍ෂ වෙයි. අපි සම්මුතියෙන් ඒ ඇතැයි සලකමු. පෘථග්ජන ප්‍රත්‍යක්‍ෂ ගැන වුව ද අපට සෑහීමකට පත්විය නො හැකි ය. වාද හා ප්‍රවාද ආශ්‍රිත දැනුම ගැන ඒ තරමටවත් සෑහීමකට පත්විය නොහැක්කේ ප්‍රවාදය ම හිතළුවක් වන බැවින් හා ඊනියා නිගමනවලට එළඹීමේ දී යොදා ගන්නා ඇරිස්ටෝටලීය න්‍යාය ද හුදු උද්ගමන වීම නිසා ය. ඊනියා අනාත්මවාදය, වාදයක් හෝ ප්‍රවාදයක් හෝ නොව බුදුන් වහන්සේගේ ප්‍රත්‍යක්‍ෂයකි. මම බුදුන් වහන්සේ විශ්වාස කරමි.

Wednesday, 21 December 2011

ඉන්ද්‍රිය ගෝචර නොවන වස්තුවල පැවැත්ම

අපේ ප්‍රවාද නිර්මාණය කරගැනීමේ දී අපට අපේ සාහිත්‍යය මෙන් ම ජනප්‍රවාද ද යොදාගැනීමට සිදුවෙයි. ඒ එකක්වත් මිථ්‍යා මත ලෙස බැහැර කළ යුතු නො වේ. බටහිර විද්‍යාඥයන් ඒ කරුණු මිථ්‍යා මත ලෙස ඉවත දැමීමට අනුබල දෙතත් අප එයින් නොමග යා යුතු නො වේ. බටහිර විිද්‍යාඥයන් කර ඇත්තේ විශේෂයෙන් ම බයිබලයේ සඳහන් කරුණු ඊනියා විද්‍යාත්මක ආකාරයකට ප්‍රකාශ කිරීම පමණකි. එසේ කරන ලද ප්‍රකාශ, ඒ ප්‍රකාශ මත ම පදනම් වෙමින් කරන නිරීක්‍ෂණ, පරීක්‍ෂණ හා සම්පරීක්‍ෂණ සමග සංගත වන බව පෙන්වීමෙන් බටහිර විද්‍යාඥයන් තම විද්‍යාවට වටිනාකමක් ලබා දී ඇත. එහෙත් මේ වටිනාකම බටහිරයන්ගේ දේශපාලන ආධිපත්‍යය සමග ද බැඳී ඇත. ඒ දේශපාලන ආධිපත්‍යය හේතුවෙන් බටහිර අච්චුවේ පාසල් හා විශ්වවිද්‍යාල ඔස්සේ ඔවුන්ගේ දැනුම ලෝක පූජිත තත්වයකට පත්කර ඇත.

විශ්වවිද්‍යාලවල ඇති ස්වාධීනත්වය ගැන සියලු දෙනාම පාහේ කතාකරති. එහෙත් බටහිර නොවන විද්‍යාවක් ඉගැන්වීමට හෝ බටහිර විද්‍යාව විවේචනය කිරීමට හෝ විශ්වවිද්‍යාලවල ඉඩක් නැත. එහි සිටින අනුකාරක ආචාර්යවරුන්ගෙන් හා මහාචාර්යවරුන්ගෙන් අති විශාල බහුතරයට බටහිර දැනුමෙන් ඔබ්බට ගොස් සිතීමට කෙසේවත් නො හැකි ය. ඔවුන්ට බටහිර දැනුමෙහි ද සිතීමට නොහැකි බව ඔවුන් අතින් කිසිදු සංකල්පයක් බිහි නොවීමෙන් පැහැදිලි වෙයි. ඔවුන් කරන්නේ ශාස්ත්‍රීය ලෝකයෙහි පරිධියෙහි ඇති ප්‍රශ්නයක්, සංකල්පීය වශයෙන් කිසිම වැදගත්කමක් නැති ප්‍රශ්නයක්, බටහිර විද්‍යාව ඇතුලූ බටහිර දැනුමෙහි ප්‍රවාද ආශ්‍රයෙන් විසඳීම පමණ ය. මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයෙහි සැසිවාරවලට ඉදිරිපත්කර ඇති ඊනියා පර්යේෂණ පත්‍රිකාවල එකම සංකල්පයක්වත් සාකච්ඡාවට බඳුන් නො වේ. පසුගිය දා මහත් ආන්දෝලනයට ලක් වූ නාථ දෙවියන් විද්‍යාවේ සම්පත් දායකයකු ලෙස යොදාගැනීම පිළිබඳවවත් සාකච්ඡාවක් එහි දී ඇති නො වේ. එහෙත් එහි සාමාජිකයන් වන බටහිර විද්‍යාව විසින් අනාථ කරනු ලැබ ඇති බටහිර විද්‍යාවේ හෙංචයියන්ලා හා හෙංචක්කලා නාථ දෙවියන් සම්බන්ධයෙන් මට විරුද්ධව සංගමයේ නිල ප්‍රකාශ කිරීමට තරම් නිවට වූහ. අද වන විට බටහිර ම වාසය කරන බටහිර ම උපත ලත් ඉහළ ම බටහිර වෝහාරික වෛද්‍ය විද්‍යාවේ විශේෂඥ වෛද්‍යවරු රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් බව පවසති. මෙරට අනුකාරක බටහිර විද්‍යාඥයන්ට දැන් කීමට දෙයක් නැත්තේ ඉහත කී වෛද්‍යවරු ඔවුන්ගේ මහත් ගෞරවයට පාත්‍රවන ඉහළ විද්‍යාඥයන් බැවිනි.

එහෙත් අද බටහිර විද්‍යාවට ප්‍රශ්න මතු වී ඇත. බටහිරයන්ගේ ලෝකය පංචේන්ද්‍රියයන්ට පමණක් අවසානයේ දී සීමාවෙයි. ඔවුන් ගුරුත්වාකර්ෂණය, අවකාශ කාලයෙහි වක්‍රතාව ආදී ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප යොදා ගත්ත ද අවසානයේ දී නිරීක්‍ෂණය කරන්නේ ඉන්ද්‍රිය ගෝචර ලෝකයකි. ඔවුන්ට ඉන්ද්‍රිය ගෝචර ලෝකය හැරෙන්නට වෙනත් ලෝකයක් නැත. එහෙත් ඔවුහු ඒ ලෝකය තේරුම් ගැනීම සඳහා ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප යොදා ගනිති. ුහද ඇති පරස්පරය යම් තරමකටවත් තේරුම් ගත්තේ අර්නස්ට් මාක් නමැති ඕස්ට්‍රියානු ජාතික භෞතික විද්‍යාඥයා හා දාර්ශනිකයා ය. ඊනියා ගුරුත්වාකර්ෂණය යොදා ගනිමින් බටහිර විද්‍යාඥයෝ පොළොවට පොල් වැටෙන ආකාරය කතාකරති. ඒ අතර් ඔවුන්ට ක්වොන්ටම් ලෝකයෙහි ඉන්ද්‍රිය ගෝචර නොවන ප්‍රපංච ගැන කතාකිරීමට ද සිදු වී ඇත. එහි දී ඔවුන් සතුව ඇති සාහිත්‍යය ජනප්‍රවාද මගින් ඒ ඉන්ද්‍රිය ගෝචර නොවන ප්‍රපංච විස්තර කිරීම සඳහා ප්‍රවාද තනාගැනීමේ අපහසුතාවක් වෙයි. බටහිර විද්‍යාවට තවත් දුර යෑමට නම් ඉන්ද්‍රිය ගෝචර නොවන ප්‍රපංච තේරුම් කර දීමට සමත් විය යුතු ය.

මනස යන්න ද ඉන්ද්‍රිය ගෝචර නොවන්නකි. මෙහි දී අපට දැනට එක්තරා ආකාරයකට සීමිත ව වුවත් සංකල්පීය නිරවුල් බවක් ඇතිකර ගතයුතු ව ඇත. ක්වොන්ටම් අංශු ඉන්ද්‍රිය ගෝචර නො වේ. ගුරුත්වාකර්ෂණය ද ඉන්ද්‍රිය ගෝචර නො වේ. ක්වොන්ටම් අංශු හා ගුරුත්වාකර්ෂණය අතර සංකල්පීය වෙනසක් තිබේ ද? ගුරුත්වාකර්ෂණය යන සංකල්පය නිර්මාණය කරනු ලැබුයේ පොළොවට පොල් වැටෙන්නේ ඇයි ද යන්න තේරුම් කර දීම සඳහා ය. පොළොවට පොල් වැටෙන්නේ ගුරුත්වාකර්ෂණය හේතුකොටගෙන යැයි නිව්ටන් කීවේ ය. එය ඔහුගේ නිර්මාණයක් පමණකි. ඒ සංකල්පය පංචෙන්ද්‍රියන්ට ගෝචර වන්නක් නො වේ. පොළොවට පොල් වැටීම ඉන්ද්‍රිය ගෝචර වන අතර එය තේරුම් කර දීම සඳහා නිර්මාණය කෙරුණු ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර නො වේ. මෙහි දී පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයකට අපට යොමු වීමට සිදු වී ඇත. සිංහල බෞද්ධයනට පැවැත්ම යනු සම්මුතියක් පමණකි. සාමාන්‍යයෙන් ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි සම්මුති වශයෙන් ගත්කල පවතින්නේ යැයි අපි කියමු. එහෙත් ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප ගැන අපට කිව හැක්කේ කුමක් ද? ඒ සංකල්පවලින් සම්මුති වශයෙන්වත් නොපවත්නා දේ කියැවෙන්නේ ද?

ක්වොන්ටම් අංශු ද පංචෙන්ද්‍රියන්ට ගෝචර නො වේ. එහෙත් ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන ආදිය පමණක් නොව දැන් ආලෝකයේ වේගය සම්බන්ධව බොහෝ දෙනාගේ කතාබහට ලක්වන න්‍යුට්‍රීනෝ ද පවත්නා අංශු ලෙස සැලකෙයි. ඒවා අවසාන වශයෙන් ගත්කල දොඹ ගෙඩි, පොල් ගෙඩි මෙන් පවතින දේ ය. සිංහල බෞද්ධයන්ට ඒ පවතින්නේ සම්මුති වශයෙනි. ඉන්ද්‍රිය ගෝචර වස්තු වුව ද සිංහල බෞද්ධයනට සම්මුතියෙන් පමණක් පවතින දේ ය. ප්‍රෝටෝන ඉංද්‍රිය ගෝචර නොවූව ද සම්මුති අර්ථයෙන් පවතියි. එහෙත් ගුරුත්වාකර්ෂණය එසේ නො වේ. එය සම්මුති අර්ථයකින් වුවත් නො පවතියි. ඉන්ද්‍රිය ගෝචර නොවන ගුරුත්වාකර්ෂණය අවශ්‍ය වන්නේ පොළොවට පොල් වැටෙන්නේ ඇයි දැයි තේරුම් කරදීමට යෑමේ දී ය.

ඇතැම් විට කෙනකුට කිවහැක්කේ ප්‍රෝටෝන ආදිය ද අවශ්‍ය වන්නේ වෙනත් ප්‍රපංචයක් තේරුම් කර දීමේ දී බව ය. පරමාණුවේ ආකෘතිය තැනීමේ දී ප්‍රෝටෝන අවශ්‍ය වී ඇතැයි යමකුට කිව හැකි ය. එහෙත් එසේ නිර්මාණය කෙරුණ ද ප්‍රෝටෝන යන සංකල්පය වෙනත් කාර්යයන්හි දී ද යොදාගත හැකි වෙයි. විවිධ පරමාණුක ප්‍රතික්‍රියා සම්බන්ධයෙන් ප්‍රෝටෝන, න්‍යුට්‍රෝන ආදී සංකල්ප යොදා ගැනෙයි. ඒ සංකල්ප අද වන විට ඒවා නිර්මාණය කරනු ලැබූ ප්‍රපංච තේරුම් කරදීම්වලට ඔබ්බෙන් වෙනත් ප්‍රපංච සම්බන්ධයෙන් ද යොදා ගැනෙයි. එහෙත් ගුරුත්වාකර්ෂණය වස්තු එකිනෙක ඇදගැනීම තේරුම් ගැනීම සඳහා පමණක් ඇති සංකල්පයකි. ඉන් ඔබ්බට ගොස් වෙනත් ප්‍රපංචයක් තේරුම් ගැනීමට ගුරුත්වාකර්ෂණය යන සංකල්පය යොදා නො ගැනෙයි.

යම් සංකල්පයක් නිර්මාණය කිරීමෙන් පසුව ඒ සංකල්පය හුදෙක් ඒ නිර්මාණය කෙරුණු ක්‍ෂෙත්‍රයට, තේරුම් ගැනීමට අවශ්‍ය වූ ප්‍රපංචයට පමණක් සීමා වන්නේ නම් ඒ සංකල්පයට සම්මුති අර්ථයකින් පවා පැවැත්මක් තිබීමට ඇති ඉඩකඩ ඉතා අඩු ය. නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණයට මෙන් ම අයින්ස්ටයින්ගේ අවකාශ කාල වක්‍රතාව පිළිබඳ සංකල්පයට ද අදාළ ප්‍රපංචයෙන් ඔබ්බට යන පැවැත්මක් සම්මුති අර්ථයකින්වත් නැත. එහෙත් මනස එසේ නො වේ. එය කවදා කා අතින් නිර්මාණය වූවක් දැයි නොදනිමු. එහෙත් මනස සිත් ඉපදීම සම්බන්ධයෙන් පමණක් යොදා නො ගැනෙයි. මනස සිත් පහළ කර ගැනීමේ දී මෙන් ම සිත් පහළ කර නො ගැනීමේ දී ද වැදගත් වෙයි. සිංහල බෞද්ධයෝ මනස යන්න ද නිර්මාණයක් බවත් එය මනසේ ම නිර්මාණයක් බවත් දනිති. ංප එකඟ නොවූව ද මනස හෘදයවස්තුව ආශ්‍රිතව පවතින්නේ යැයි සිංහල බෞද්ධ සාහිත්‍යයෙහි දැක්වෙයි. මනස ඉන්ද්‍රිය ගෝචර නොවූව ද එය ගුරුත්වාකර්ෂණය වැනි සම්මුති වශයෙන්වත් නොපවතින සංකල්පයක් නොව සම්මුති වශයෙන් පවත්නා ප්‍රෝටෝනයක් වැනි සංකල්පයකි. ප්‍රෝටෝන ද ඉන්ද්‍රිය ගෝචර නොවන බව අවධාරණය කළ යුතු ය.

බටහිර විද්‍යාඥයන්ට මනස යන්න ද පවතින සංකල්පයකි. ඔවුහු මනස නැතැයි නොකියති. එහෙත් ඔවුන් කියන්නේ මනස යන්න මොළයේ ක්‍රියාකාරීකම් නිසා පවතින බව ය. ඔවුන්ට අනුව මනස මොළයට ද්විතීයික ය. බොහෝ බටහිර විද්‍යාඥයන්ට අනුව මනසක් ඇත්තේ මිනිසුන්ට පමණ ය. එහෙත් බටහිර විද්‍යාඥයන්ට අනුව වුව ද වෙනත් සතුන්ට ද මොළ ඇත. අප කලින් කියා ඇති පරිදි මොළ ඇති ඒ අනෙක් සතුන්ට මනස් නොමැති වීමටත් මිනිසුන්ට පමණක් මනස් ඇතිවීමටත් හේතුව බටහිර විද්‍යාඥයන්ට මොළය ආශ්‍රිතව පෙන්නුම් කර දිය නො හැකි ය.

එයටත් වඩා ප්‍රශ්නයක් වනුයේ මිනිසුන්ගේ මොළ අතර ඇති වෙනස්කම් (ප්‍රමාණාත්මක වශයෙන් හා ගුණාත්මක වශයෙන්) හා ඒ ඒ මිනිසුන්ගේ මනස් අතර වෙනස්කම් තේරුම් ගැනීමෙහි දී ය. අයින්ස්ටයින්ගේ හෝ ගර්ඩ්ල්ගේ හෝ මොළය සාමාන්‍ය මිනිසකුගේ මොළයෙන් වෙනස්වන්නේ කෙසේ ද? ඒ වෙනස්කම් අද තේරුම් ගැනීමට නොහැකිවනවා ඇත. එයට හේතුව අයින්ස්ටයින් හා ගර්ඩ්ල් යන දෙදෙනා ම මියගොස් ඇති බැවිනි. එහෙත් අද ජීවත්වන උසස් යැයි සම්මත විද්‍යාඥයන් කිහිප දෙනකුගේ මොළවලට ඉලෙක්ට්‍රෝඩ ඔබ්බවා මේ වෙනස්කම තේරුම් ගැනීමට හැකි ද?

මොළය ඇතුලු සියලු අවයව නිර්මාණ යැයි සැලකුවහොත්, මනස ද මනසෙහි ම නිර්මාණයක් ලෙස සැලකුවහොත්, මොළයේ ව්‍යුහය කුඩාකල සිට වෙනස්වීම පිළිබඳ ප්‍රවාදයක් ද සකසා ගත හැකි ය. මනස විසින් හෝ කුසලාකුසල ධර්ම විසින් මොළය සකස් කෙරෙනු ඇතැයි අපට සිතාගත හැකි ය. නියුරෝන (ස්නායු ෙසෙල) ගැට ගැසෙන, එකතුවන තැන් (උපාගම –synapses) ඉපදෙන විට ම ළදරුවකුගේ මොලයේ නිශ්චිත ව පිහිටා නැත. ඒවා ජෛවීය ව නිර්්ණිත නො වේ. ඒවා සංස්කෘතික ව නිර්ණය වෙයි. එසේ සංස්කෘතිකව නිර්ණය වන කොටස් මොළයේ වෙයි. ඒ අතර කර්ම ශක්තිය අනුව ද මොළය සැකසී ඇතැයි සිතිය හැකි ය. මොළය හුදු ජෛවීය ව නිර්ණීිත වස්තුවක් ලෙස සලකනු ලබන්නේ බටහිර විද්‍යාඥයන් විසිනි. ඒ ඔවුන්ගේ ඒකහේතුවාදය සමග ද ගැලපෙයි. එහෙත් සිංහල බෞද්ධයෝ ඒකහේතුවාදීහු නො වෙති. ඔවුන්ට මොළය ජෛවීය ව (දෙමව්පියන් මගින්), කර්ම ශක්තිය අනුව මෙන් ම සංස්කෘතිකව ද නිර්ණිත වස්තුවකි.

බටහිර වි්‍යාඥයෝ හා වෙනත් උගත්තු ද අප රට අනුකාරකයෝ ද, මනසට ප්‍රධාන තැනක් නොදුන්න ද මනස ඒ කිසිවක් ගණන් නොගන්නා බව පෙනෙයි. බටහිර වි්‍යාඥයන් එසේ තැනක් නොදෙන්නේ ඔවුන් පදනම් වී ඇති චින්තනය හා බටහිරයන්ගේ දේශපාලන ආධිපත්‍යය හේතුකොටගෙන මිස වෙනත් තර්කයක පදනම් වී නො වේ. බටහිර විද්‍යාඥයන්ට අවශ්‍ය නම් මිනිසුන්ට ඇතිවන හැඟීම් ඉතා සුළු කාලයකට පසුව මොළයට දන්වන බවට මොළයේ ඔබ්බවන ඉලෙක්ට්‍රෝඩ ඇසුරෙන් දැක ගැනීමට හැකිවනු ඇත. ඒ සඳහා ඔවුන්ට තමන්ට ආවේණික අන්දමට පර්යේෂණ කළ හැකි ය.