Main Logo

Sunday 31 December 2017

ගණනාථ ද නාථ ද?

ගණනාථ ද නාථ ද?


මේ ලිපිය හැඳින්වීමක් පමණයි. අප මේ මාතෘකාවෙන් හෝ තේමාවෙන් හෝ මහනුවර දී හෝ පේරාදෙණිය්දි හෝ සම්මන්ත්‍රණයක් පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. මෙය දැනුම පිළිබඳ ප්‍රශ්නයක්. දැනුම යනු කුමක් ද කියන එක පිළිබඳ ප්‍රශ්නයක්. ඥානය හා විඥානය පිළිබඳ ප්‍රශ්නයක්. විඥානයේ වි උපසර්ගයෙන් කියැවෙන්නේ උසස් බවක් ද විරුද්ධභාවයක් ද යන්න පිළිබඳ ප්‍රශ්නයක්. මට නම් විඥානය කියන්නේ වැරදි ඥානයක්. තමාගේ හා අවට පැවැත්ම පිළිබඳ වැරදි ඥානය. මෙය ඊනියා යථාර්ථය පිළිබඳ ප්‍රශ්නයක්. ඊනියා වාස්තවිකත්වය පිළිබඳ ප්‍රශ්නයක්. ඊනියා අපක්‍ෂපාතීත්වය පිළිබඳ ප්‍රශ්නයක්. පැවතීම පිළිබඳ ප්‍රශ්නයක්.

Saturday 30 December 2017

රාජපක්‍ෂලාට එරෙහි ව රාජපක්‍ෂලා

රාජපක්‍ෂලාට එරෙහි ව රාජපක්‍ෂලා


ගණනාථ ද නාථ ද ලිපිය ලිවීම දිනෙන් දින කල් යනවා. ඒ අතර ගණනාථලා අනුව යන එච් එල් සෙනෙවිරත්න වැනි සමාජ විද්‍යාඥයන් යැයි කියා ගන්නා අනුකාරක ශාස්ත්‍රීය දුගියන් මේ සියලු ප්‍රශ්නවලට වග කිව යුත්තේ පනස්හයේ පෙරළිය කියා කියනවා. ඔහු  දිනක් මා හමුවීමට පැමිණියා. ඔහු මොන තරම් අනුකාරක ශාස්ත්‍රීය දුගියකු ද යන්න මා එදා මොනවට අවබෝධ කර ගත්තා. ඔහු ලංකාවට පැමිණි දිනෙක නැවත හමුවීමට හැකි නම් හොඳයි. මා හමුවීමට පැමිණෙන බොහෝ දෙනා නැවත මා හමුවීමට එන්නේ නැහැ. ඔවුන් අතර  අනුකාරක ශාස්ත්‍රීය දුගියන් ද කසිකබල් දේශපාලනඥයන් ද සිටිනවා. වරක් එක් පූජකවරයකු මා හමුවීමට ඉබ්බාගමුවෙන් පැමිණියා. ඔහුටත් මහා විශ්ලේෂකයකු ලෙස පෙනී සිටින යුග පෙරළිකාර වත්මන් මන්ත්‍රීවරයකුටත් පමණක් නැවත නොපැමිණෙන ලෙස අණ කරන්න  මට සිදු වුණා.

Friday 29 December 2017

සිද්ධි දෙකක්

සිද්ධි දෙකක්


ගෙවී යන සතියේ වැදගත් නොවුණත් වැදගත් සිද්ධි දෙකක් ගැන යමක් කිව යුතුයි. මා ඊනියා අපෝහකයක් හෙවත් දයලෙක්තිකයක් කතා කරනවා නො වෙයි. දයලෙක්තියක් ගැන කතා කරන අයට අනෙක් බොහෝ දේ මෙන් ම එය අවබෝධයකින් තොරව තම පඬි බව පෙන්වීමට යොදා ගන්නා වචනයක් පමණයි. මාක්ස්වාදී අපෝහකය තවත් රූපිකයක් පමණයි. අපෝහකයේ රූපිකය පොතෙහි මේ ගැන සඳහන් වෙනවා. කසිකබල් මාක්ස්වාදීන් හා වෙනත් පඬියන් අපෝහකයක් ගැන පාරම්බාන්නේ චතුස්කෝටිකය ගැන දැනීමකින් තොරව. චතුස්කෝටිකය බටහිර අපෝහකයට වඩා බෙහෙවින් පොහොසත්. මෙරට ඊනියා උගතුන්ට ග්‍රීකයන්ගෙන් තොර ලෝකයක් නැහැ. හෙරෙක්ලිටස් අයකුට එක ම ගඟට දෙවරක් බහින්න බැරිය කී කතාව ඔවුන්ට හරි වැදගත්. අප දන්නේ ගඟක් කියා දෙයක්වත් අයකු කියා පුද්ගලයකුවත්, එක වර කියා ක්‍ෂණයක්වත් නැති බව. දෙවරක් ගැන කතා කුමට ද?

Thursday 28 December 2017

රනිල් ද චන්ද්‍රිකා ද ඉවත් කළ යුතුයි

රනිල් ද චන්ද්‍රිකා ද ඉවත් කළ යුතුයි


මා අද ලියන්න සිටියේ ගණනාථ ද නාථ ද කියා. ගණනාථ කියන්නේ අනුකාරකයන්ගේ සේකරට, ඔබේසේකරට මිස මගේසේකරට නො වේ. මගේ සේකර බුදුහාමුදුරුවන්. නාථ කියන්නේ මතු බුදු වන නාථ දෙවියන්. මාතෘකාවෙන් අදහස් කෙරෙන්නේ ගණනාථ නාථ සමග කිසිසේත් ම සම කිරීමක් නො වෙයි. ගණනාථ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ධුරයක් දැරූ ව්‍යාජ බටහිර බුද්ධිමතෙක්. බටහිර බුද්ධිමතකු වීමට නම් වියුක්ත සංකල්ප, ප්‍රවාද නිර්මාණය කරන්න ඕන. අපි පසුව ඒ ගැන කතා කරමු. ගණනාථත් යෙදී ඉන්නේ වක්‍ර ව වුවත් සිංහල බෞද්ධ විරෝධී දේශපාලනයක නමුත් සෘජු  දේශපාලනයට ඉඩ දී ඔහුට මේ ලිපියෙන් ඉවත් වෙන්න වෙනවා. ඒ වෙනත් දෙදෙනකු ඉවත් කිරීම වඩා වැදගත් නිසා.

Wednesday 27 December 2017

හොරා පොලිස්

හොරා පොලිස්


මා නම් ජනමාධ්‍යවේදියෙකු නො වෙයි. කලක් කාලය සඟරාව සංස්කරණය කළත් පසු කලෙක ලක්මිණ පුවත්පතේ කතුකම නිල නොවන අයුරින් කළත් මා ජනමාධ්‍යයකු වන්නේ නැහැ. කාලය සඟරාව 1987 සිට හතරවරක් විටින් විට පවත්වාගෙන යෑමට උත්සාහ කළත් එය කළ නොහැකි වූවා. ජනතාව ආකර්ෂණය වන අයුරකින් ලියන්න කියන්න මට බැහැ. අනූවේ දශකයේ මුල ලක්මිණ පූවත්පත ඇරඹූ විට නිල නොවන වශයෙන් එහි කතෘ වූයේ මා.  එහි විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම මෙන් ම චම්පක රණවකත් ලේඛකයන් අතර වුණා. (අද රාවය කතෘ ජනරංජන කාලයටත් ලක්මිණටත් කාටුන් ඇන්දා.) නිල වශයෙන් කතෘ වූයේ සුනිල් මාධවයි. එහෙත් කතුවැකි ලිව්වේත් පුවත්පත සංස්කරණය කෙළේත් මා. ගෙවිඳු ආධාර කළා. එකලත් මා කොටි පරාජය කළ යුතුය කළ හැකි ය යන මතයේ සිට පුවත්පත සංස්කරණය කළා. එයට ව්‍යාජ සමාජවාදීන් විරුද්ධ වුණා. ඔවුන් පුවත්පතේ අයිතිකරු තිලක් කරුණාරත්නට මගේ ප්‍රතිපත්තියට විරුද්ධව කරුණු කියා මා පුවත්පතේ කටයුතුවලින් අයින් කළා. එසේ වුවත් පුවත්පත ගෙන යන්න බැරි වුණා. මේ විස්තර බෙංගමුවේ නාලක හිමියන්ගෙන් ද දැනගත හැකියි. එකල විමල් මෙන් ම චම්පක ද ඊනියා යුද්ධයට විරුද්ධව සිටියා. ඩලස් ගැන කියන්න ඕන නැහැ. විමල් ජ වි පෙ සාමාජීකයෙක්. චම්පක යුද්ධයට විරුද්ධව පෝස්ටර ගැසුවා. ඉන් අවුරුදු කිහිපයකට පසු 1994 දී මංගල සමරවීරට මැතිවරණයේ දී ආධාර කළා. චම්පක එදත් කොටි පරාජය කළ යුතුය කියන මතයේ හිටි බව ඔහුගේ අනුගාමිකයන් කියන විට කරන්නේ කුමක් ද කියා කල්පනා වෙනවා. ඔහු ඉල්ලුමක් ඇතැයි කියමින් ජාතිකත්වයට පැමිණියේ කොටි ඩී එස් සේනානායක විදුහලේ සිසුන් ඝාතනය කිරීමෙන් පසුවයි. කාලය සඟරාව මෙන් ම ලක්මිණ පුවත්පත පවත්වාගෙන යෑමේ දී ද ගෙවිඳු කුමාරතුංගගේ කැප වීම කිසි දිනෙක අමතක කරන්න බැහැ. 

Tuesday 26 December 2017

සමාජයීය විද්‍යාවන් මිය ගොස්

සමාජයීය විද්‍යාවන් මිය ගොස්


නත්තලේ සැබෑ අරුත ගැන ලිපියක් ලියන්න ඕන. ඉතා කෙටියෙන් කියනවා නම් නත්තලේ සැබෑ අරුත අන් කිසිවක් නොව යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය ලෝකයා මත පැටවීම. දෙරණ කුමක් කිව්වත් අපේ ගෙවල්වල නත්තල් ගසුත් නැහැ, අපේ දෙමව්පියන් මිය ගිය අවස්ථාවල කන්‍යා සොහොයුරියන් පැමිණ මියගිය අයගේ ආත්මය වෙනුවෙන් යාඥා කෙළෙත් නැහැ. මා නාථ දෙවියන් ගැන කතා කරන විට මා වාඩි වී සිටින්නේ මොළය උඩද කියලා අහන අය නිව්ටන්වත් දැක නැති ගුරුත්වාකර්ෂණ බලය විශ්වාස කරනවා. සිංහල වෙදමහතුන්ට කෘෂිරසායනික වකුගඩු රෝගය සුවපත් කළ හැකි බව රෝගීන් ලවා ම පෙන් වූ විට දොස්තරලාගෙන් සහතික ඉල්ලන රටක අප ජීවත් වෙනවා. මා දෙවියන් වහන්සේ ඉන්නව ද කියාවත් නීට්ෂෙ කීවාක් මෙන් දෙවියන් වහන්සේ මිය ගිහින් කියාවත් කියන්නේ නැහැ (නීට්ෂෙට පෙරත් මේ අදහස කිහිප දෙනකු කියා තිබුණා). දෙවියන් වහන්සේ බටහිර විද්‍යාවේ ඉන්නවා. විශ්වවේදයට අනුව විශ්වයට පටන් ගැන්මක් තියෙනවා. ඒ යුදෙව් සංකල්පයක්. දෙවියන් වහන්සේත් යුදෙව් වියුක්ත සංකල්පයක්. මා ප්‍රශ්න කරන්නේ යුදෙව්/කතෝලික/ක්‍රිස්තියානි/ඉස්ලාම් ආගම් නොවෙයි. බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය. පසුව මේ ගැන තවදුරටත් කතා කරමු. මා වැනි අංශු මාත්‍රයක් වූ නොවැදගත් පුද්ගලයකු නැති කිරීමට දෙරණෙහි ප්‍රබුද්ධයන්ට හා  ධන කුවේරයන්ට  විනාඩි පහක් ගත වන්නේ නැහැ. එහෙත් මට නැති වන්න දෙයක් නැහැ. ආත්මයක් නැහැ. මා ත් නැහැ.

Monday 25 December 2017

රටක නම

රටක නම


මෙරට වත්මන් නිල නාමය ශ්‍රී ලංකාව ය. එහෙත් බොහෝ සිංහලයන් කියන්නේ ලංකාව කියා ය. ශ්‍රී ලංකාව නිල වශයෙන් ම භාෂා තුනකින් හැඳින්වෙනවා. එසේ කිරීමේ දී මට තේරෙන හැටියට, වෙනත් අය කියන පරිදි ද (මා දෙමළ දන්නේ නැහැ. මා ඒ ගැන සමාව යදින්නෙත් නැහැ.) නිල වශයෙන් රටවල් තුනක් කියැවෙනවා. සිංහලෙන් ශ්‍රී ලංකාව, දෙමලෙන් ඉලංකෙයි, ඉංගිරිසියෙන් ස්‍රී ලංකා. ඒ එසේ වන්න බැහැ. මෛත්‍රිපාලගේ නම ඉංගිරිසියෙන් ලියන්නේ කොහොම ද? දෙමළෙන් ලියන විට මෛත්‍රිපාල යන්න දෙමළ උච්චාරණය අනුව වෙනස් කර ලියනවා ද?

Sunday 24 December 2017

විල්පත්තු සංහාරයට සිංහල බෞද්ධයන් වග කිව යුතුයි

විල්පත්තු සංහාරයට සිංහල බෞද්ධයන් වග කිව යුතුයි


විල්පත්තු සංහාරය ගැන නැවතත් කතා කරනවා. ඒ සංහාරය ගැන කතා කරන්නන් ඉතා වැඩි පිරිස සිංහල බෞද්ධයන්. සිංහල කතොාලික/ක්‍රිස්තියානි අය ද කිහිප දෙනෙක් ඉන්නවා. එහෙත් දෙමළ මුස්ලිම් අය ඒ ගැන සාමාන්‍යයෙන් කතා කරනු දකින්නට නැහැ. ඒ බවක් ජනමාධ්‍යයෙහි වාර්තා වන්නේ නැති නිසයි මා එහෙම කියන්නේ. විල්පත්තු සංහාරය ගැන පරිසරය පැත්තෙන් මෙන් ම දේශපාලනය පැත්තෙන් ද කතා කරන්න පුළුවන්.

Saturday 23 December 2017

දොස්තර ඒකාධිකාරය 4

දොස්තර ඒකාධිකාරය 4


බොහෝ දේ ගැන ලියන්න තියෙනවා. මූලාශ්‍ර, ඊනියා සමාජයීය විද්‍යා, න්‍යාය (ලොජික්) ගණිතය හා බටහිර විද්‍යාව විශේෂයෙන් ම භෞතික විද්‍යාව, සයිටම්, මැතිවරණය, බොරු හා පට්ටපල් බොරු, සිංහල බෞද්ධ රාජ්‍යය, අපේ දැනුම හා බටහිර දැනුම් ආධිපත්‍යය, ආදී වශයෙන් මාතෘකා බොහෝමයි. එක් තරුණයකු, මා හිතන විධියට නුවර පදිංචි අයකු, අසා තිබුණා මේ කරුණු, දැනුම් අවශෝෂණය, ඥානවිභාග ආදිය ගැන කතා කරන තැනක් දන්නවා ද කියා.  සමහරු මේ කරුණු ගැන ලියනවා, එහෙත් මේ කරුණු අවුරුදු තිහක් පමණ කතා කළ අය ගැන ලියන්නේ නැහැ.

Friday 22 December 2017

මියන්මාරය හා ලංකාව

මියන්මාරය හා ලංකාව


කලකට පෙර සැමුවෙල් හන්ටින්ටන් සභ්‍යත්ව ගැටුම නමින් පොතක් ලිව්වා. එය ෆ්‍රැන්සිස් ෆුකුයාමාගේ ඉතිහාසයේ අවසානය නමින් ලියූ පොතට ප්‍රතිචාරයක්. ෆුකුයාමාත් එක්සත් රාජ්‍යවල රටවැසියෙක්. ඉතිහාසයේ අවසානය සෝවියට් දේශයේ කඩාවැටීමත් සමග ලියැවුණු එකක්. එතෙක් පැවති ඊනියා ධනවාදී සමාජවාදී ගැටුමේ අවසානයත් සමග ඉතිහාසය අවසන් වී ය යන අරුතින් ලියූවක්. එහෙත් හන්ටින්ටන් කියා සිටියේ සභ්‍යත්ව අතර ගැටුමක් ඇති වන බවයි. හන්ටින්ටන් තම පොතේ ජාතික චින්තනය ගැනත් සඳහන් කර තිබුණ. ගුණදාස අමරසේකර සිතුවේ හන්ටින්ටන් ජාතික චින්තනය ගැන හොඳක් කියා තිබූ බවයි. එහෙත් හන්ටින්ටන් කීවේ ඊනියා ධනවාදී සමාජවාදී ගැටුම නැති වී ඇතිවන සභ්‍යත්ව අතර ඇති ගැටුමක් ගැනයි.

Thursday 21 December 2017

සිංහල බෞද්ධ උරුමය වැනසීම

සිංහල බෞද්ධ උරුමය වැනසීම


අද දොස්තර ඒකාධිකාරියේ ඊළඟ කොටස ලිවීමට සිටි නමුත් සාම්පූර් චෛත්‍යය කඩා සමතලා (ඩෝසර්) කිරීම ගැන යමක් ලිවීම අවශ්‍ය යැයි සිතෙනවා. සාම්පූර් තියෙන්නේ ත්‍රිකුණාමලය වරායේ (බොක්කේ) දකුණු පැත්තේ. එහි මැතක දී හමු වූ චෛත්‍යයක් මෙසේ එක් රැයකින් කඩා සමතලා කරලා. එසේ කෙළේ කවුරුන්ද කියා දැනට දැනගන්න විධියක් නැහැ. අනාගතයේ දී දැනගන්න පුළුවන් වේද කියා කියන්නත් බැහැ. එහෙත් මෙය පෞද්ගලික කෝන්තරයක් පිරිමසා ගන්න කළ එකක් නම් වෙන්න බැහැ.

Wednesday 20 December 2017

දෙවියන් යැදීම

දෙවියන් යැදීම


රණවිරු නාවික හමුදා නිලධාරී දසනායකගේ දියණියට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බලයෙන් රඳවා ගෙන සිටින අය ගැන සොයා බලන පිරිසක් හමු වී ලිපියක් භාරදීමට අවස්ථාව දීලා නැහැ. ඒ දැරිය තම පියා වෙනුවෙන් ලිපියක් ඉදිරිපත් කිරීමට යෑම ගැන මා ඇයට දොස් කියන්නේ නැහැ. දියණියක් ලෙස ඈ බලාපොරොත්තු වන්නේ තම පියා කෙසේ නමුත් නිදහස් කර ගැනීමටයි. එහෙත් මේ සිද්ධියෙන් අපට බොහෝ දේ නැවත මතක් කර ගැනීමට පුළුවන්. නැවත මතක් කරන්නේ මේ කරුණු බොහොමයක් අප කලින් කියා ඇති නමුත් බොහෝ සිංහලයන් ඒ සත පහකට ගණන් ගත්තේ නැති නිසයි. සිංහලයන් අතර මතවාද ආධිපත්‍යය දරන්නේ ඊනියා ලිබරල් හා මාක්ස්වාදී මත බැවින් මේ අදහස් තවත් බොහෝ කාලයක් නැවත මතක් කරන්න වේවි.

Tuesday 19 December 2017

මේ මැතිවරණය ජනමත විචාරණයක් නො වෙයි

මේ මැතිවරණය ජනමත විචාරණයක් නො වෙයි

අද අප මැතිවරණ දේශපාලන මඩ ගොහොරුවේ එරිලා. මෙය අද ඊයේ ඇති වූ දෙයක් නො වෙයි. 1833 සිට ඉංගිරිසින් ක්‍රියාත්මක කළ දෙයක්. අපේ බොහෝ ප්‍රශ්නවලට හේතුව ඉංගිරිසින් අපට හඳුන්වා දුන් නියෝජිත ක්‍රමය. අපට දැන්  මැතිවරණ කොමිසමේ සභාපති ම කියලා දෙනවා ඡන්දෙට බඩු බෙදා දෙන ක්‍රමයක්. මැතිවරණ කොමිසම ස්වාධීන කියලා කියනවා.  එය ස්වාදීන නම් වෙන්න පුළුවන්. එය සිංහලට හරි නැත්නම් සියදීන කියලා කියන්න පුළුවන්.

Monday 18 December 2017

දොස්තර ඒකාධිකාරය 3

දොස්තර ඒකාධිකාරය 3


දොස්තර ඒකාධිකාරය ගැන තව ලිපි කිහිපයක් ම එක දිගට නැති වුවත් ලියන්න ඕන. මේ ලිපි පෙළේ මාතෘකාව වෛද්‍ය ඒකාධිකාරයෙ නොව  දොස්තර ඒකාධිකාරය ලෙස වෙනස් කරනවා. මෙරට බටහිර දැනුම් ආධිපත්‍යය හා සංස්කෘතික ආධිපත්‍යය වඩාත් ම ක්‍රියාත්මක වන්නේ දොස්තර ඒකාධිකාරය මගිනුයි. අපට මෙය අදවත් හෙටවත් බිඳින්න බැහැ. බටහිර ආධිපත්‍යය එතරම් ම බලවත්. එහෙත් කලක් ගත වූ විට මේ ආධිපත්‍යය බිඳ වැටෙවි. එහි දී දොස්තර ඒකාධිකාරයත් බිඳ වැටේවි. එහෙත් ඒ සඳහා තව කල් තියෙනවා.

Saturday 16 December 2017

ජ වි පෙ හා පෙරටුගාමීන්

ජ වි පෙ හා පෙරටුගාමීන්

විජේවීරගෙන් හා ප්‍රභාකරන්ගෙන් පසුව ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල වෙලා. එක අතකින් ගත් විට ප්‍රභාකරන් ලංකාවට ම පහරක් එල්ල කළා. ඔහුට ප්‍රජාතන්ත්‍රවාදයවත් මාක්ස්වාදයවත් ප්‍රශ්නයක් වුණේ නැහැ. ඔහුගේ වාදය ත්‍රස්තවාදය. විජේවීරගෙත් වාදය ත්‍රස්තවාදය. පෙරටුගාමින් එහෙම නො වෙයි. ඔවුන් විප්ලවවාදීන්. ලෙනින්, ස්ටැලින්, මාඕ, කස්ත්‍රෝ, චේ ගෙවාරා, විජේවීර ආදීන් ගිය පාරේ හා වැඩියෙන් හයිලෙවල් පාරේ ගිය අය. ගාලු පාරෙත් නුවර පාරෙත් යන්න ඇති.

Friday 15 December 2017

වෛද්‍ය ඒකාධිකාරය 2

වෛද්‍ය ඒකාධිකාරය 2


වෛද්‍ය ඒකාධිකාරය මැයෙන් මා ලියූ ලිපිය කෙසේ නමුත් දැක ඇති බටහිර වෛද්‍යවරුන් කිහිප දෙනකුට ම කේන්ති ගිහිල්ලා. ඒ අයට තරමක දීර්ඝ පිළිතුරක් දිය යුතුයි. ඒ ඔවුන්ට පමණක් නොව වෙනත් අයටත් දැන ගැනීම සඳහායි. අපි ඔවුන්ට දොස්තරලා කියමු. වෛද්‍යවරයා යනු ගෞරවනීය පුද්ගලයෙක්. ඔවුන් මුදල් හඹා ගියේ නැහැ. එහෙත් දොස්තරලා පොදුවේ ගත්තොත් මුදල් හඹා යනවා. නිදහස් වෛද්‍ය අධ්‍යාපනයක් ගැන කතා කරන දොස්තරලාත් පෞද්ගලික රෝහල්වල රෝගින්ගෙන් දහසින් මුදල් අය කරනවා. අද නිදහස් වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රධාන ආරක්‍ෂකයා ලෙස පෙනී සිටින්නාත් කුඩා ළමුන්ට බෙහෙත් නියම කර මුදල් ගන්නවා. ඒ අතර තම දරුවන්ට දෙවියන්ගෙන් ප්‍රතිකාර ලබා ගන්නවා. 

Thursday 14 December 2017

වෛද්‍ය ඒකාධිකාරය

වෛද්‍ය ඒකාධිකාරය


වෛද්‍ය අධ්‍යාපනය සඳහා අවම සුදුසුකම් වෙනස් කිරීමට තීරණයක් ගෙන තිබෙනවා. එහෙත් එය තවමත් අමාත්‍ය මණ්ඩලයෙන් අනුමත වී නැහැ. රාජිත සේනාරත්න ඒ පිළිබඳ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට යන බවක් කියැවෙනවා. සුපුරුදු පරිදි ප්‍රශ්නය කුමක් ද යන්න නිරවුල් ව පැහැදිලි කර දී නොමැති නිසා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ජනමාධ්‍ය නිවේදකයන් හා ඊනියා විශ්ලේෂකයන් තම තමන්ට අවශ්‍ය දේ තම තම දේශපාලන න්‍යාය පත්‍ර අනුව ජනතාවට කියනවා. මෙහි දී ඉතා පැහැදිලිව දොස්තර ඒකාධිකාරයක් පවත්වා ගෙන යෑමට ඇති වුවමනාවත් පැහැදිලි වෙනවා.

Wednesday 13 December 2017

ප්‍රකාශ තුනක්

ප්‍රකාශ තුනක්

වත්මන් දේශපාලනය ගැන මගේ කිසිම පැහැදීමක් නැහැ. ඒ ඒ අය කරන ප්‍රකාශවලින් තමන්ට අවශ්‍ය කොටස්  ප්‍රචාරය කිරීමට ජනමාධ්‍ය සෑදී පෑදී ඉන්නවා.  අප ප්‍රවෘත්ති හැටියට දකින්නේ කියවන්නේ ප්‍රවෘත්ති සංස්කාරකවරුන්ට අවශ්‍ය දේ මිස අපට අවශ්‍ය දේ නො වෙයි. එබැවින් ඒ ඒ අයගේ ප්‍රකාශ ගැන මත පළ කිරීම ප්‍රවේසමෙන් කළ යුතුයි. අද ජාතිකවාදීන් අතරමං වෙලා. ඒ ජාතික ව්‍යාපාරය දේශපාලනිකරණය වීමේ ප්‍රතිඵලයක්. ජ වි පෙ ජාතිකවාදය හා කසිකබල් සමාජවාදය අතර දෝලනය වුණු පක්‍ෂයක්. අද නම් කිසිම ජාතිකත්වයක් නැහැ. ඇත්තේ අවස්ථාවාදය පමණයි.

Tuesday 12 December 2017

විග්නේස්වරන්ගේ නිරුක්තිය

විග්නේස්වරන්ගේ නිරුක්තිය


උතුරු පළාත් මහා ඇමති විග්නේස්වරන් ලංකාවේ නියම නම ඊළාම් කියා තිබෙනවා. දේවානම්පිය තිස්ස දෙමළ රජකු කියාත් තිබෙනවා. මුටසීව රජුගේ සිව කෑල්ලත් ඇදගෙන. නන්දිකඩාල් ජාතිකවාදීන් (නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු ජාතිකවාදීන් වූ අය) කලබල වෙලා. ඔවුන් එයට විරුද්ධව කරුණු ඉදිරිපත් කරනවා. ඉතිහාසය ලිවීම ගැන මාක්ස්වාදී ස්ථාවරවල ඉඳන් කතා කරනවා. ඊනියා උපරිව්‍යුහ ගැන කියවනවා. අද ඉන්න පුරාවිද්‍යාඥයන් පුරාවිද්‍යාඥයන් ඉතිහාසඥයන් ක්‍රියා කරන්නේ කම්කරු පංතිය මත හා සමාජවාදය මත පදනම් වූ ආර්ථික පදනම් වූ උපරිව්‍යුහයක ද? ජාතිකත්වය ගැනත් කතා කරන්නේ පංති පදනමක ඉඳන් ද?

විග්නේස්වරන් කියන්නේ නන්දිකඩාල් කතාවෙන් පසු දෙමළ ජාතිවාදියකු වූ අයෙක්. නන්දිකඩාල් ජාතිකවාදීන් මෙන් ම නන්දිකඩාල් දෙමළ ජාතිවාදීන් ද ඉන්නවා. ඊළාම් ගැන විවිධ අය විවිධ කතා කියනවා. මේ අය ලිපි ලියනවා. මාධ්‍ය සාකච්ඡා පවත්වනවා. පුවත්පත් කතුවරුන් වෙබ් අඩවි සංස්කාරකවරුන් ඒ කතාවලට විවිධ මාතෘකා ලබා දෙනවා. ඇතැමුනට මේ මාතෘකා නිසා ගූගල්ගෙන් මුදල් ද ලැබෙනවා.

Monday 11 December 2017

අවාසියට හැරී ඇති නන්දිකඩාල්

අවාසියට හැරී ඇති නන්දිකඩාල්


ඒකාබද්ධ විපක්‍ෂය (පොහොට්ටුව) හා මෛත්‍රිපාල කල්ලිය අතර සාකච්ඡා අවසන් වී ඇති බවක් පෙනෙනවා. මේ සාකච්ඡා කෙරුණේ රට ජාතිය ආගම ගැන හිතාගෙන නොව බලය හා හුදෙක් බලය  පමණක් ගැන සිතාගෙන. සාකච්ඡා  ජාතිකත්වයක් මත කළ යුතු යැයි අප කිහිප දෙනකු කියා සිටි නමුත් එය සාර්ථක වූයේ නැහැ. මා එසේ කියා ඇත්තේ කොහේ ද කියා ජනමාධ්‍ය පරිහරණය කරන පඬියකු අහන්න පුළුවන්. මේ ලිපි කියවන කිහිප දෙනා නම් එසේ කියා ඇත්තේ කොතැන ද කියා දන්නවා ඇති. අප මුල සිට ම, රනිල් අගමැති වූ කාලයේ සිට ම, කීවේ රනිල් අගමැති කමෙන් ඉවත් කර මහින්ද අගමැති ලෙස පත්කරන ලෙස. ඒ මේ පළාත් පාලන ආයතන මැතිවරණවලට බොහෝ කලින්.

Sunday 10 December 2017

ඒකි ගැන තවදුරටත්

ඒකි ගැන තවදුරටත්

බුදුදහමට ඇති ප්‍රධාන ප්‍රශ්නය බුදුදහම විශ්වාස නොකරන අය බුදුදහම කීියා දීමට ඉදිරිපත් වීම. බුදුදහම ප්‍රත්‍යක්‍ෂය මත පදනම් වෙනවා. එහෙත් හැම විට ම හැම අයකුට ම ප්‍රත්‍යක්‍ෂය මත පමණක් පදනම් වෙන්න බැහැ. අපට බුදුහාමුදුරුවන් දේශනා කර ඇති දේ (අඩු තරමෙන් දේශනා කර ඇතැයිි කියන දේ) මත පදනම් වෙන්න වෙනවා. මට තේරෙන විධියට නම් ප්‍රත්‍යක්‍ෂය පමණක් වැදගත් වන්නේ නිවන් අවබෝධයේ දී. එහෙත් ඒ ප්‍රත්‍යක්‍ෂය  ලෞකික ප්‍රත්‍යක්‍ෂයක් නම් නො වෙයි.

Saturday 9 December 2017

කෝ අර අවපාතය

කෝ අර අවපාතය

පසුගිය දිනවල ප්‍රදේශ කිහිපයකට මහත් හානියක් කළ ඔකීගෙන් පසු තවත් කරදරයක් පැමිණෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කළා. සමහරුන් කීවේ ඕකි ගියාට පසු ඒකි එනවා කියලා. ඒ කොහොම වුණත් කාලගුණ දෙපාර්තමේන්තුව ඒ ගැන විස්තර පළ කළා. බෙංගාල බොක්කේ ගිණිකොණ දෙසින් ඇරඹී  ලංකාව හා ඉන්දියාව පැත්තට ගමන් කර වායු අවපාත තත්වයකට පත්වන බවක් සඳහන් වුණා. පසුගිය අටවැනි දා තෙක් එහි බලපෑම තිබිය හැකි බවත් ධීවර ජනතාවට මුහුදු යෑමෙන් වැළකී සිටින ලෙසත් කියැවුණා. මේ අනාවැකි අප දෙස බලා සිටින ජාත්‍යන්තරයෙන් ද කියැවුණා.

Friday 8 December 2017

ඒකාබද්ධ විපක්‍ෂයේ නත්තල්

ඒකාබද්ධ විපක්‍ෂයේ නත්තල්


ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන් අමන කතා කියන්න පටන් අරන්. පළාත් පාලන මැතිවරණ වැදගත් බව ඇත්ත. එහෙත් එහි අරමුණ කෙසේ නමුත් අදාළ ආයතනයේ සභාපති ධුරය හෝ නගරාධිපති ධුරය හෝ ලබා ගැනීම නො වෙයි. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැම් අය කටයුතු කරන්නේ බෞද්ධයන් නත්තල සැමරිය යුතු ය යන අදහස දරුවන්ට ලබා දෙන රූපවාහිනි නිවේදක නිවේදිකාවන් මෙන්. මේ නිවේදිකාවක් අහනවා කුඩා බෞද්ධ දරුවකුගෙන් නත්තලට නත්තල් ගහක් සරසන්නේ නැත් ද කියා. කුඩා බෞද්ධ දරුවන් නත්තල් ගීතවලින් මත් කරනවා.

Thursday 7 December 2017

අපට රෙසිඩන්ට්ලා එපා

අපට රෙසිඩන්ට්ලා එපා

ඇමරිකාව නමින් හැඳින්වෙන ඇමරිකාවේ එක්සත් රාජ්‍ය (United States of America) ලෝකයේ අනෙක් රටවල දූෂණ ගැන උනන්දුවක් දක්වනවා. ඇමරිකාව කියන්නේ මහාද්වීපයක නමක්. එය දකුණු ඇමරිකාව හා උතුරු අමෙරිකාව යනුවෙන් කොටස් දෙකකටත් බෙදෙනවා. මිනිසුන් කැපූ පැනමා ඇලෙන් අද වෙන් වෙලා තිබුණත් මේ එකම භූමියක්. කැනඩාව හා මෙක්සිකොව පමණක් නොව චිලී බ්‍රසීලය ආජන්ටිනාව වෙනිස්‍යුලාව වගේ රටවලුත් ඇමරිකාවේ. එහෙත් ඒ එක රටක්වත් ඇමරිකාවේ ආජන්ටිනාව වගේ නම් දාගෙන නැහැ.

Wednesday 6 December 2017

මැතිවරණයට පෙර ජාතිකත්වය නොවීම

මැතිවරණයට පෙර ජාතිකත්වය නොවීම


මෙකල දේශපාලනය හරිම අවුල්. දේශපාලනඥයන් කටුස්සන්ටත් වඩා ඉක්මනට වෙනස් වෙනවා. උදේ කියපු දේ හවසට කියන්නේ නැහැ. හවසට කියන්නේ වෙන ම දෙයක්. රූපවාහිනි නාලිකාවලට නම් වඩා වැදගත් නත්තල. ඔවුන් නත්තල ගැන කතා කරන්නේ නොවැම්බර් අග සිට. නත්තල් ගීත නිතර ප්‍රචාරය වෙනවා. වෙළෙඳ සමාගම් නත්තලට භාණ්ඩ විකුණනවා. එක් නිවේදිකාවක් කියනවා අප නත්තල වෙනුවෙන් කාර්ය බහුල වෙලා කියලා. එහෙම කාර්ය බහුල වෙන අයත් ඇති. මේ රූපවාහිනියේ වැඩ. එහෙත් ඔවුන් හිතන තරම් අනෙක් බොහෝ අයට නත්තලට  වැඩක් නැහැ. නත්තල අද බටහිරයන්ගේ උත්සවයක්. ක්‍රිස්තුස් වහන්සේ උපන්නේ හිම නොවැටෙන බටහිර ආසියාවේ වුවත් නත්තල් පින්තුර හිමෙන් වැහිලා. ක්‍රිස්තුස් වහන්සේ උපන්නේ අයිස්ලන්තයේ ද කියා වෙලාවකට හිතෙනවා. බටහිරයන්ගෙ උත්සවයක් හැටියට නත්තල අප මත පටවනවා. මේ බටහිර සංස්කෘතික ආධිපත්‍යය.

Tuesday 5 December 2017

සම්මුති හා එකඟතා

සම්මුති හා එකඟතා


ඊයේ (හතරවැනි දා) බදුල්ලේ පැවැත් වූ පොදු ජන පෙරමුණේ රැස්වීමට විමල්, ගම්මන්පිල, ඩලස්, දිනේෂ් සහභාගි වෙලා නැහැ. ඒ අහම්බයක් වීමට ඇති ඉඩකඩ ඉතා අඩුයි. සමහරවිට එක් අයකුට දෙදෙනකුට පෞද්ගලික හේතු, මගුල් ගෙවල්, මළ ගෙවල් ආදී වෙනත් කටයුතු, තියෙන්න ඇති. ඒත් ඒ සියලු දෙනාට ම එක විට පෞද්ගලික හේතු ඇති වුණයි කියලා හිතන්න බැහැ.

Monday 4 December 2017

සරවනමුත්තුලාගේ ප්‍රශ්නය

සරවනමුත්තුලාගේ ප්‍රශ්නය

පාකියසෝති සරවනමුත්තු ගැන බොහෝ දෙනා දන්නව වෙන්න පුළුවන්. විකල්ප ප්‍රතිපත්ති ගැන කියවන පාකියසෝති සුනේත්‍රාගේ මිතුරෙක්. චන්ද්‍රිකාගේත් මිතුරෙක්. මේ සිංහල හා දෙමළ ප්‍රභූන් වැඩ කරන්නේ එකට. මොවුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ සර්වජන ඡන්දය. හෙට අනිද්දා, හැරිසන් හා රනිල් කියන විධියට පෙබරවාරි දහවැනි දා පළාත් පාලන ආයතන මැතිවරණ පැවැත්වෙනවා. මැතිවරණ කොමිසම තවමත් ඒ ගැන නිශ්චිත යමක් කියලා නැහැ. පෙබරවාරි 10 ගැන මැකො රනිල්ට කිව්ව ද නැත්නම් රනිල් මැකොට කිව්ව ද කියන එක පැහැදිලි නැහැ. සමහර විට හැරිසන් මේ දෙන්නට ම කියන්න ඇති. හැරිසන් වගේ අය නැත්නම් ජනමාධ්‍යත් නැහැ.

Sunday 3 December 2017

දෙමළ ජාතිවාදයට ආවඩන ඊනියා ස්මාට් ජාතිකවාදය  හෙවත් මොට ජාත්‍යන්තරවාදය

දෙමළ ජාතිවාදයට ආවඩන ඊනියා ස්මාට් ජාතිකවාදය  හෙවත් මොට ජාත්‍යන්තරවාදය

ඊනියා ස්මාට් ජාතිකවාදීන්ට අනුව ඔවුන් විකල්ප දකුණ ලෙස හඳුන්වන ජාතිකවාදීන්ට මෙලෝ දෙයක් තේරෙන්නේ නැත. ඔවුන් සිතන්නේ දේශපාලනය ඊනියා දේශපාලන විද්‍යාව හැදෑරුවන්ට පමණක් තේරෙන මහා විද්‍යාවක් ලෙස ය. රෝගීන් වෙදකම සඳහා ඊනියා ගොඩ වෙදුන්, ශාන්තිකර්ම කරන්නන් වෙතට යන විට වෛද්‍යවරයකුට හැඟෙන ආකාරයේ කම්පාවක් ජනයා දේශපාලන ප්‍රශ්න සාකච්ඡා කිරීමට ජාතිකවාදීන් වෙතට යන විට තමන්ට හැඟේ යැයි පසුගිය දා ඊනියා පශ්චාත් උපාධි ද ඇති මහා දේශපාලන විද්‍යාඥයකු ප්‍රකාශ කර තිබුණා. ඡන්ද බලය දේශපාලන විද්‍යාව හැදෑරුවන්ට  පමණක් සීමා කරමු ද?

Saturday 2 December 2017

ඉංගිරිසි කතා කරන ජාතිකවාදීන්


ඉංගිරිසි කතා කරන ජාතිකවාදීන්

ජාතිකවාදීන් අතර විවිධ අය ඉන්නවා. එමෙන් ම දෙමළ ජාතිවාදය ගැනත් ඔවුන් අතර විවිධ මත තියෙනවා. ජාතිකවාදීන් ලෙස මා නම් කරන්නේ ඊනියා ස්මාට් ජාතිකවාදීන් නො වෙයි. ඔවුන් ජාතිකවාදීන් නො වෙයි. ඔවුන් ස්මාට් නොවන ජාත්‍යන්තරවාදීන්. අද අප ඉන්න කණගාටුදායක තත්වයට ඔවුනුත් වග කියන්න ඕන. මුලින් ම ජෙනීවාහි අප බටහිර ගැටවලට හසු කෙළේ ඒ ඊනියා ස්මාට් ජාතිකවාදීන්. මෙහි දී මා සඳහන් කරන්නේ ඔවුන් ගැන නො වෙයි. ඔවුන් ව්‍යාජ පඬියන් පමණයි.

Friday 1 December 2017

විග්නේෂ්වරන් හා මැතිවරණ

විග්නේෂ්වරන් හා මැතිවරණ

ප්‍රභාකරන්ගේ උපන් දිනය නිමිත්තෙන් පැවැත්වූ උත්සවයක දී උතුරු පළාතේ අධ්‍යාපන ඇමති ජාතික කොඩිය එසවීම ප්‍රතික්‍ෂෙප කිරීම ගැන කතා කෙරුණා. රුවන් විජේවර්ධන ඇමතිවරයා කියා තිබුණා ඒ පිළිබඳ සොයා බලන බවත් ජාතික කොඩිය එසවීම ප්‍රතික්‍ෂෙප කිරීම ගැන දඬුවම් කළ යුතු බවත්. ඒ ගැන දැන් කෙරෙන්නේ කුමක් ද කියා රුවන් විජේවර්ධන අපට කියනවා ද?

Thursday 30 November 2017

ඊනියා ස්වාභාවික ආපදා

ඊනියා ස්වාභාවික ආපදා

පළාත් කිහිපයක ම පාසල් පැවැත්වෙන්නෙ නැහැ. ඊයේ රාත්‍රී මහා සුළඟක් හමා ගියා. ලෝකයේ ම කාලගුණය වෙනස් වෙලා. අපේ රටේ විතරක් නොවෙයි. භූමිකම්පා සුළි සුළං ගංවතුර හැම රටක ම පාහේ වාර්තා වෙනවා. මෙරට පාලකයන් ධර්මිෂ්ට නැහැ. එහෙත් කාලගුණ විපර්යාසය ඒ හින්ද ම නොවෙයි. මිනිසුන් ද ධාර්මික නැහැ. ලෝකයේත් එහෙමයි. දළ පූට්ටුවා මරා දැම්මේ කවුද කියා දන්නේ නැහැ. ඒ ඝාතකයන්ට දේශපාලන අනුග්‍රහයක් ආරක්‍ෂාවක් තිබෙන්නත් ඇති. නොතිබෙන්නත් ඇති. එහෙත් දළ පූට්ටුවා මරා දමා වැඩි දිනක් යන්නට පෙර තවත් ඇතකු මරා දමා ඇති බව වාර්තා වෙනවා. ඒ මිනිසුන්ගේ ධාර්මිකබවට නිදසුන්.

Wednesday 29 November 2017

මිනීමරුවන් සැමරීම

මිනීමරුවන් සැමරීම

දෙමළ ජාතිවාදීන් ප්‍රභාකරන් ඇතුළු මිනීමරුවන් සමරලා. ප්‍රභාකරන් වෙනුවෙන් කේක් කෑමට වවුනියා මණ්ඩපයේ සිංහල සිසුන්ට බල කරලා. යාපනය සරසවියේ ප්‍රභාකරන් සැමරීමට ගුරුවරු සිසුන් සමග එක් වෙලා. ප්‍රභාකරන්ගේ පින්තූර යාපනයේ ප්‍රදර්ශනය කරලා. රුවන් විජේවර්ධන කියනවා චෙන්නායිහි පමණක් ප්‍රභාකරන්ගේ විශාල රූප ප්‍රදර්ශනය කරලා තිබුණා කියලා. එයින් කියන්නෙ දෙමළ ජාතිවාදය ලංකාවට විරුද්ධ ව තමිල්නාඩුවේත් තියෙන බව. එහෙත් ප්‍රභාකරන් සැමරීමට විරුද්ධ ව ජ වි පෙ වචනයක්වත් කියන්නෙ නැහැ. ආණ්ඩුවත් බොරුවට හරි ප්‍රභාකරන් සැමරුවන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවයි කියද්දි ජ වි පෙ ඒ ගැන කතාකරන්නෙ නැහැ. ආණ්ඩුව අද නීතිය ක්‍රියාත්මක කිරීමක් ගැන කියන්නේ පළාත් පාලන මැතිවරණ ළඟ නිසා. එහෙත් නීතිය ක්‍රියාත්මක කිරීමට පෙර නීතිය නවාවි. ඊට පෙර පළාත් පාලන මැතිවරණ තියේවි.

Tuesday 28 November 2017

වම දකුණ

වම දකුණ

අද විකල්ප දකුණ (Alt - right) යන්න ජාතිකවාදීන්ට යොදා ගැනීමට මෙරට ඇතැම් පඬියන් උත්සාහ දරණවා. මේ මෙරට කිසිම පඬියකු නිර්මාණය කළ සංකල්පයක් නො වෙයි. මේ සංකල්පයත් බටහිර නිර්මාණයක්. එය රොබර්ට් ස්පෙන්සර් නම් ඇමරිකානු ජනමාධ්‍යවේදියා 2008 දී පමණ හඳුන්වා දුන් සංකල්පයක් ලෙසයි කියැවෙන්නේ. ඒ සංකල්පය සාමාන්‍යයෙන් යෙදෙන්නේ සුදු ස්වොත්මවාදී අදහස්වලට. මෙරට පඬියන් ද මේ ස්වොත්තමවාදී කතා කියනවා. මේ අනුකාරක පඬියන් සියල්ල ගන්නේ බටහිරින්. ඔවුන් තරම් බටහිර දැනුම් ආධිපත්‍යයට හිස නමන නිවටයන් පිරිසක් මෙරට තබා ලෝකයේවත් නැතිව ඇති. විකල්ප දකුණ යන සංකල්පය ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමග නැවත ඉදිරියට ආවා. ඒත් එය දැන් එතරම් යෙදෙන්නේ නැහැ. මෙරට පඬියන් ඇතැම් විට බටහිර සංකල්ප යොදා ගන්නේ ඒ බටහිර අභාවයට යන විට. බටහිරින් අදහස් සංකල්ප ප්‍රවාද අපට ඒමට තවමත් අවුරුද්දක් දෙකක් යනවා.

Monday 27 November 2017

සිංහල බුද්ධාගම

සිංහල බුද්ධාගම

සිංහල බුද්ධාගම අද වේගයෙන් ක්‍රිස්තියානිකරණය වෙනවා. ඒ අද ඊයේ පටන්ගත් දෙයක් නො වෙයි. දහනවවැනි සියවසේ අග අප බටහිර නූතනත්වයට යටවීමේ ප්‍රතිඵලයක්. ඕල්කට් බුද්ධාගම ද එහි එක් අංගයක්. මාක්ස්වාදය බටහිර විද්‍යාව ආදී දැනුම් හා ඒ ආශ්‍රිත තාක්‍ෂණය ලංකාවේ දී සිංහල බුද්ධාගම ක්‍රිස්තියානි කිරීමට දැඩි බලපෑමක් කර තිබෙනවා. බටහිර නූතනත්වය මුළුමනින් ම ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත බිහිවූවක්. එහි අධිපතිවාදී සංස්කෘතිය යුදෙව් ක්‍රිස්තියානියේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය. අද වන විට සිංහල බුද්ධාගම ක්‍රිස්තියානිකරණය වීම ඉතා වේගවත් වෙලා.

Sunday 26 November 2017

තීරණාත්මක මොහොතක්

තීරණාත්මක මොහොතක්

මේ මොහොතේ සිංහලයන්ගේ ප්‍රමුඛතාව විය යුත්තේ කුමක් ද? සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට ඉතිහාසයේ බොහෝ විට වැරදී ඇත්තේ ප්‍රමුඛතා හඳුනාගැනීමට නොහැකි වීමත් අසමගියත් හේතුකොටගෙනයි. ප්‍රමුඛතා හඳුනාගැනීමට නොහැකි වීමට අසමගිය බොහෝ විට බලපා තිබෙනවා. පෘතුගීසීන් ලංකාවට පැමිණි සමයේ රජ පවුලේ සහෝදරවරුන් අතර තිබූ අසමගිය හේතුකොටගෙන පෘතුගීසීන් පළවා හැරීම ප්‍රමුඛතාව ලෙස හඳුනාගැනීමට නොහැකි වුණා. ප්‍රමුඛතාව වූයේ සහෝදරවරුන් අතරින් බලය තිබිය යුත්තේ කාට ද යන්නයි.

Saturday 25 November 2017

ආණ්ඩුව වෙනස් කළ යුතුයි වෙනස් කළ හැකියි

ආණ්ඩුව වෙනස් කළ යුතුයි වෙනස් කළ හැකියි

දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ජනාධිපතිට අගමැති වෙනස් කිරීමට නොහැකි ය කියන මතය බටහිර විද්‍යාව පට්ටපල් බොරුය කියන අර්ථයෙන් නොවූවත් පට්ටපල් බොරුවක්. අගමැති නොව අමාත්‍ය මණ්ඩලය ම වෙනස් කිරීමට ජනාධිපතිට පුළුවන්. මේ පිළිබඳ ව යමකුට දැන ගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය කියවීමයි. මෙකල එය අමාරු වැඩක් නොවෙයි. ඕනෑම අයකුට එක්කෝ ව්‍යවස්ථාව නැත්නම් දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය බාගත කරන්න පුළුවන්. එහෙත් බොහෝ දෙනා එසේ කරන්නේ නැහැ. මුහුණුපොතේ අයත් පඬි කටකතා කිසිම ඉවක් බවක් නැතිව ප්‍රචාරය කරනවා. ඔවුන් කම්මැලිකමට ව්‍යවස්ථාව බාගත කරගෙන කියවන්නේ නැහැ.

Friday 24 November 2017

මහින්ද අගමැති කරමු

මහින්ද අගමැති කරමු

මහින්ද අගමැති කරමු කියලා අප සම්මන්ත්‍රණයක් පැවැත්වුවෙ රනිල් අගමැති වූ විගස ම. එහෙත් එය එදා ප්‍රවෘත්තිමය වටිනාකමක් තිබූ ප්‍රකාශයක් ලෙස ජනමාධ්‍ය කල්පනා නොකරන්න ඇති. අද තරමක ප්‍රවෘත්තිමය වැදගත්කමක් එයට තියෙන්න පුළුවන්. ඒත් අපේ ප්‍රකාශ ජනමාධ්‍ය ගණන් ගන්නේ නැහැ. අද මැතිවරණ ගැනත් ඊනියා සමගියක් ගැනත් බොහෝ දෙනා කතා කරනවා. ඒ සමගිය මැතිවරණ මූලික සමගියක් වීම ප්‍රශ්නයක්.

Thursday 23 November 2017

හිතට වධ දෙන ප්‍රශ්න

හිතට වධ දෙන ප්‍රශ්න

ඊයේ (විසිදෙවැනි දා) ලිපියෙහි සඳහන් ජෝන් වීලර්ගේ සිතට වධ දුන් ප්‍රශ්නය හැරුණු විට තවත් සිතට වධ දෙන ප්‍රශ්න තිබෙනවා. එකක් තමයි මට අනෙක් අයට තේරෙන විධියට යමක් කීමට නොහැකි වීම. වීලර් ආචාර්ය උපාධි හතළිස්පහක පමණ උපදේශක වී සිටියා. එමෙන් ම ෆයින්මාන් ඇතුළු නොබෙල් ත්‍යාගලාභී කිහිප දෙනකු ම ඔහුගේ ශිෂ්‍යයන්. මගේ ශිෂ්‍යයන් බොහෝ දෙනකු අද ඉන්න තැන් බැලුවම කියන්න පුළුවන් ඔවුන්ට මා කී කිසිවක් තේරී නැති බව. එය ඔවුන්ගේ වරදක් වෙන්න බැහැ. තවත් වධ දෙන ප්‍රශ්නයක් නම් සිංහල ජාතියේ අනාගතයයි. අද අපට නායකයකු නැහැ. මුහුණු පොතේ ඉන්න අය කියාවි නායකයන් ඉන්නවා කියා. ඒත් මුහුණු පොත් ප්‍රතිචාර මා කියවන්නේ ඉතා අකමැත්තෙන්. ඔවුන් ප්‍රශ්න දෙස බලන්නේ ඉතා මතුපිටින්.

Wednesday 22 November 2017

දියගොඩ සැමතැන පෙර ද පසු ද

දියගොඩ සැමතැන පෙර ද පසු ද

ක්වොන්ටම් භෞතිකයේ ද්විත්ව සිදුරු පරීක්‍ෂණය ගැන ඇතැමුන් දන්නවා.  භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගලාභී රිචඩ් ෆයින්මාන් එය තේරුම් ගැනීමට නොහැකි බව ප්‍රකාශ කළා. එහි ඉතිහාසය තරංගවාදය කරා දිව යනවා. තහඩුවක සිදුරු දෙකක් තුළින් ආලෝක ධාරාවක් යවා එය තිරයක් මත පතිත කරවීම මෙහි මූලික කටයුත්ත. එසේ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තිරයේ රටා නිර්මාණය වෙනවා. මේ රටා තේරුම් කර දුන්නේ, මතක තබා ගන්න තේරුම් කර දුන්නේ, තරංගවාදය මගින්. පසුව ප්ලෑන්ක් ක්වොන්ටම් අදහස ඉදිරිපත් කළා. අයින්ස්ටයින් ෆෝටෝනය යන සංකල්පයට පසුබිම සකස් කළා. ඉන් පසු ආලෝකය ෆෝටෝන ලෙසත් තේරුම් කෙරුණා.

Tuesday 21 November 2017

මැතිවරණ දේශපාලනය හා බැඳුම්කර මගඩිය

මැතිවරණ දේශපාලනය හා බැඳුම්කර මගඩිය

බැඳුම්කර කොමිසමේ සාක්කි විභාගය අවසන්. එහි වාර්තාව තව සති තුනකින් පමණ නිකුත් වේය කියා හිතනවා. කොමිසමට කළ හැක්කේ නිර්දේශ කිරීම පමණයි. වරදකරුවන් කවුදැයි නිගමනය කිරීම කොමිසමේ කාර්යයක් නො වෙයි. රනිල් කොමිසමට ලිඛිත ව මෙන් ම වාචික ව ද කරුණු දක්වා සිටියා. ඔහු තමන් කරන්නේ කුමක් ද යන්න දන්නා එකම දේශපාලනඥයා. ඔහු මහජන මතයට ගරු කරන්නේ නැහැ. එහෙත් සමහර විට මහජන මතය ඉදිරියේ අඩියක් පස්සට ගන්නවා. ඒ අඩි දෙකක් ඉදිරියට තැබීමේ බලාපොරොත්තුවෙන්.

Monday 20 November 2017

සත්භාවවේදයට එරෙහිව ඥානවිභාගය

සත්භාවවේදයට එරෙහිව ඥානවිභාගය

පසුගිය දහසයවැනි බ්‍රහස්පතින්දා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයනාංශය මගින් ඉහත සඳහන් තේමාවෙන් සමුළුවක් සංවිධානය කර තිබුණා. එය එකී අධ්‍යයනංශයෙහි ප්‍රධානී  ආචාර්ය චරිත හේරත්ගේ මෙහෙයවීමෙන් පැවැත්වුණේ. මා හිතන්නේ අධ්‍යයනාංශයත් ශාස්ත්‍ර පීඨයත් එහි දී විශාල කාර්යභාරයක් ඉටු කළ බව. ශාස්ත්‍ර පීඨාධිපතිතුමා ඇතුළු ඒ සියල්ලන්ට මගේ ස්තුතිය. සමුළුව පැවැත්වුණේ ලෝක දාර්ශනික දිනය සැමරීමට. විශ්වවිද්‍යාලයකින් මට අධ්‍යයනික දේශනයක් සඳහා ආරාධනයක් ලැබීම හාවා හඳ දැකීම වගේ වැඩක්. චරිත නොවන්නට මට මේ ආරාධනයත් නොලැබෙන බවත් මා දන්නවා.

Sunday 19 November 2017

ගිංතොට සිද්ධි ඇති වන්නේ ඇයි?

 ගිංතොට සිද්ධි ඇති වන්නේ ඇයි?

ගිංතොට සිද්ධ වුණේ මොකක් ද කියන එක ජනමාධ්‍යයෙන් කියන්නේ නැහැ. එක්තරා වෙබ් අඩවියකට අනුව මෙය බයිසිකලයක යම් අයකු හැප්පීම නිසා හටගත්තක්. අවාසනාවකට මෙන් හැප්පීමට අමතර ව ඒ සිද්ධියට සම්බන්ධ වී ඇත්තේ එක ම ජාතියකට හෝ එක ම ජනවර්ගයකට අයත් දෙදෙනකු නො වෙයි. ප්‍රශ්නය තාවකාලික ව සමනයකට පත් වී ඇතත් දින දෙකකින් නැවත ඇවිළී ගිහින්.

Saturday 18 November 2017

සංහිඳියාවේ දිග පළල

සංහිඳියාවේ දිග පළල

උතුරු පළාතේ අධ්‍යාපන ඇමති පාසල් උත්සවයක දී ජාතික කොඩිය එසවීම ප්‍රතික්‍ෂෙප කරලා. ඔහු මෙරට රටවැසියකු නො වේ ද? ඔහුගේ ක්‍රියාව අනුමත කළ හැකි ද? ඊනියා සංහිඳියාව වෙනුවෙන් අප එවැනි ක්‍රියා නොසැලකිය යුතු ද? මෙය ටික දිනකින් උතුරේ ජනතාවත් අමතක කරාවි ද?

Friday 17 November 2017

බැඳුම්කරය හා මැතිවරණ දේශපාලනය

බැඳුම්කරය හා මැතිවරණ දේශපාලනය

අර්ජුන් ඇලෝෂියස් සමග දූරකතන සම්බන්ධකම් පැවැත් වු පාද සටහන් කරුවන් රාශියකගේ විස්තර හෙළි වෙලා. ඔවුන් මොනවා කතා කළා ද කියා අප දන්නේ නැහැ. සමහරවිට පෞද්ගලික කාරණා වෙන්නත් බැරි නැහැ. ඒත් අපට ප්‍රශ්න තියෙනවා. සැක තියෙනවා. ඒ සැක දුරු කිරීම පාද සටහන් කරුවන්ගේ මෙන් ම රවි කරුණානායකගේත් රනිල්ගේත් පමණක් නොව මෛත්‍රිපාලගේත් කාර්යයක්. 

මේ බැඳුම්කර මගඩියේ මුල මෛත්‍රිපාලත් ඉන්නවා. ඒ සම්බන්ධ පළමු කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට ඔන්න මෙන්න තිබිය දී මෛත්‍රිපාල පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ඒ බව අද වන විට බොහෝ දෙනාට අමතක වෙලා. ඒ පළමු කෝප් වාර්තාව ඉල්ලා මා ශ්‍රෙෂ්ඨාධිකරණයෙහි නඩුවක් ද පැවරුවා. එහෙත් එයට ගෙන ආ මූලික විරෝධයක් බොහෝ කලකට පසු අධිකරණය පිළිගත්තා. මූලික විරෝධයකටත් තීන්දුව දීමට මාස ගණනාවක් ගත වෙන අවස්ථා තියෙන බව ඉන් පැහැදිලි වුණා. මෛත්‍රිපාල හා රනිල් මැතිවරණ දේශපාලනය යොදා ගෙන බැඳුම්කර මගඩියෙන් පළමුව ගොඩ ආවා.

Thursday 16 November 2017

මෛත්‍රිපාල සමග එකතු වීම

මෛත්‍රිපාල සමග එකතු වීම

මෛත්‍රිපාලගේ ආප්ප රාත්‍රියට අවුරුදු තුනක් ගෙවිලා. පොළොන්නරුවේ ශ්‍රී ල නි ප සංවිධායක වීමේ සිට ජනාධිපති වීම දක්වා ඉතිහාසය එක්තරා විධියකින් ඉතිහාස ගතවන්නක්. ඒ යහපත් දේශපාලනය සම්බන්ධයෙන් නම් නො වෙයි. රනිල් නොකියා කියන්නේ ඉංගිරිසි නැතිව ජනාධිපතිකම කරන්න බැරි බව. ඒ රනිල්ගේ පඬි කතාවක්. ජනාධිපතිකමට මූලික සුදුසුකම ඉංගිරිසි දැන ගැනීම නොව රටට ඇති ඇල්ම. මේ නිවට ආණ්ඩුවේ කිසිවකුටවත් ඒ සුදුසුකම තියෙනවා ද?

Wednesday 15 November 2017

කැට්ස්නර් මා සහ ජනමාධ්‍ය

කැට්ස්නර් මා සහ ජනමාධ්‍ය

මා ලියු යථාර්ථය නිර්වචනය කිරීම පිළිබඳ ලිපිය පළවීමෙන් පසු එයට ප්‍රතිචාර ලෙස නලින් සුභසිංහ, මාධ්‍ය මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයට සම්බන්ධ ව භෞතික විද්‍යාවේ පදනම අධ්‍යයනය කරන රූත් කැට්ස්නර් සමග පැවැත්වූ සාකච්ඡා දෙකක් ඉදිරිපත් කර තිබුණා. කැට්ස්නර් යථාර්ථවාදිනියක්. එහෙත් මා සමග පැවැත් වූ විද්‍යුත්  මාධ්‍ය සංවාදයෙන් පසු ඇය ඒ බව සෘජුව ම පිළිගන්නේ නැහැ. කැට්ස්නර් තම පත්‍රිකාවකින් කර ඇත්තේ කලින් සියැට්ල්හි වොෂිංටන් විශ්වවිද්‍යාලයෙහි ක්රේමර් විසින් ඉදිරිපත් කර තිබූ අදහසක් වර්ධනය කිරීමක්.

Tuesday 14 November 2017

යථාර්ථය නිර්වචනය කිරීම - 2

යථාර්ථය නිර්වචනය කිරීම - 2

රූත් ඊ කැස්ට්නර් කියන්නේ මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාවේ පදනම ගැන අධ්‍යයන කරන කණ්ඩායමේ මහාචාර්යවරියක්. ඇය පසුගිය දා තවත් දෙදෙනකු සමග පළකළ පත්‍රිකාවක ක්වොන්ටම් භෞතිකයේ විසඳුම්වල දකින්නට ලැබෙන අධිස්ථාපන (සුපර්පසිෂන්) මූලධර්මයෙන් කියැවෙන විසඳුම් ද යථාර්ථ විභවයක් ලෙසට සැලකීමට යෝජනා කර තිබුණා. ක්වොන්ටම් විසඳුමක අවස්ථා දෛශික ගණනාවක් තිබෙන නමුත් අප නිරීක්‍ෂණය කරන්නේ එක් දෛශිකයකින් නිරූපණය කෙරෙන්න පමණයි. අනෙක් අවස්ථා වෙනත් අවශ්‍යතා යටතේ නිරීක්‍ෂණය වීමේ සම්භාවිතාවක් තියෙනවා. ඒවාත් යථාර්ථ විභව ලෙස ගැනීමටයි කැස්ට්නර් යෝජනා කර ඇත්තේ. මෙය අලුත් අදහසකට වඩා පැරණි අදහසක් වර්ධනය කිරීමක්. මේ අවස්ථා දෛශික ගැන මා ද කලකට පෙර පත්‍රිකාවක් පළ කර තිබුණා. කෙසේ වෙතත් යථාර්ථය ගැන මා මගේ අදහස් කිහිපයක් රූත් කැස්ට්නර්ට දැන්වූවා. මේ ඈ හා මා අතර ඇති වූ සංවාදය.

මෙහි ඈය කලින් පෙන්වා සිටියේ නිරීක්‍ෂකයාගෙන් තොර යථාර්ථයක් ඇති බව. ඇය යථාර්ථ විභව ගැනත් කීවා. ඉයන් ජෝන්ස් නමැත්තා යථාර්ථයක් ඇති බව හෝ නැති බව නොවෙයි ඇගේ ප්‍රශ්නය බව කියා ඇය බේරා ගැනීමට තැත් කළා. එහෙත් මා ඇගෙන් උපුටා ගැනීම් සහිතව පෙන්වා දුන්නේ ඇය නිරීක්‍ෂකයාගෙන් තොරව යථාර්ථයක් ඇති බව පෙන්වීමට උත්සාහ දරා ඇති බව. පසුව ඇය එයට නිසි පිළිතුරක් නොදී අපට එකඟ විය හැකි බවක් කීවා. එතැනින් එහාට මා තර්ක කරන්න ගියේ නැහැ. මා ඇයට ස්තුති කළා.

මෙරට පමණක් නොව පිටරට මහාචාර්යවරුන්ටත් ඇත්තේ උපකල්පන පමණයි. ඔවුන් හිතනවා නිරීක්‍ෂකයාගෙන් තොරව යථාර්ථයක් ඇති බව. එහෙත් එය කිසි දිනෙක පෙන්නන්න පුළුවන් එකක් නො වෙයි.  අප යථාර්ථය යැයි කියන්නේ අපේ හිතළුවකට. අපට ඇත්තේ යථාර්ථයක් නොව යථාර්ථ. ඒ ඊනියා යථාර්ථ නිරීක්‍ෂකයාගෙන් සවායත්ත නැහැ.

බටහිරත් ඉතා විශිෂ්ට ගණයේ චින්තකයන් ඇත්තේ ස්වල්පයයි. අනෙක් අය විශ්වවිද්‍යාලවල ඊනියා පර්යේෂණ ආයතනවල බොරු පත්‍රිකා පළ කරනවා. විශිෂ්ට ගණයේ අය අලුත් කතන්දර ගොතනවා. ලංකාවේ විශිෂ්ට ගණයේ කිසිවකු නැහැ.

Monday 13 November 2017

අනුරාධ නගරය දැන් පෙනෙනා සේ

අනුරාධ නගරය දැන් පෙනෙනා සේ

මේ නිවට ආණ්ඩුව යටතේ කලකට ඉහත නිිදහස් දිනයක සංඛ අමර්ජිත්ට ගඩොල් බාගයක් මතක් කරමින් එක් ගායිකාවක් දන්නෝ බුදුන්ගේ ගීීය ගැයුවා. අර ඇතැම් පඬියන් කියන ආකාරයට ඇය ඒ ගීතයේ මුල් ඔපෙරා ශෛලියට සාධාරණයක් ඉටු කරන්න යන්න ඇති. එහෙත් සිංහලයන් ඒ කටහඬ ප්‍රතික්‍ෂෙප කරනවා.  ඊයේ (ඉරිදා) අනුරාධ නගරයට විශාල සෙනගක් රැස්වුණා. ඒ අර ඔපෙරාවට සවන් දෙන්න නො වෙයි. ඒ ඔපෙරාවේ සංස්කෘතික ආධිපත්‍යයට විරුද්ධවයි. ඒ ආධිපත්‍යයෙහි රනිල්ට විරුද්ධවයි. රනිල් පසුපස යන මෛත්‍රිපාලට විරුද්ධවයි. 

Sunday 12 November 2017

මහින්ද තනිකිරීමක්

මහින්ද තනිකිරීමක්

ඔබේ ප්‍රතිචාරවලට පින්! ඔබ මගෙන් ඉල්ලා සිටින්නේ නැවත ලිපි පළ කිරීමටයි. එහෙත් ඔබ සියලු දෙනාම දෙසියකට අඩුයි. මෙරට ජනගහණය කෝටි දෙකක් පමණ. ඉන් හරි අඩක් පමණ යම් මට්ටමක උගතුන් කියා සිතමු. එවිට කෝටියක් පමණ උගතුන්ගෙන් මට ලිපි ලියන ලෙස කියන්නේ දෙසියයක් පමණයි.

Thursday 9 November 2017

අන්තිම ලිපිය  


අන්තිම ලිපිය



මා ලියන්නේ පුරුද්දට වුවත් මා ඒ ලිපි පළ කරන්නේ ඇයි? ඒ මට අනෙක් අයට කීමට යමක් ඇතැයි සිතන නිසයි. එහෙත් ඒ කියන දේ ඒ අනෙක් අය වැරදි කියා නිගමනය කරන්නේ නම් මා ඒ ලිපි පළ කළ යුත්තේ ඇයි? අවුරුදු තිස්පහකට වැඩි කාලයක් මා ලියා පළ කර ඇති නමුත් තුන්හාර සියයක්වත් මා කියන දේ නිවැරදි කියා නොපිළිගන්නා බව පැහැදිලියි. 1994 දී මා කළුතර දිස්ත්‍රික්කයට තරඟ කළ අවස්ථාවේ දී මට මනාප පන්දහසකට වඩා ලැබුණෙ නැහැ. ඒ මුළු දිස්ත්‍රික්කයෙන් ම! මෙරට ජනයා මගේ දේශපාලන අදහස්වලට අකමැති බව, ඒ වැරදි යැයි සලකන බව මා එදා තේරුම් ගත යුතුව තිබුණා.

Wednesday 8 November 2017

යථාර්ථය නිර්වචනය කිරීම  


යථාර්ථය නිර්වචනය කිරීම





රූත් ඊ කැස්ට්නර් කියන්නේ මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාවේ පදනම ගැන අධ්‍යයන කරන කණ්ඩායමේ මහාචාර්යවරියක්. ඇය පසුගිය දා තවත් දෙදෙනකු සමග පළකළ පත්‍රිකාවක ක්වොන්ටම් භෞතිකයේ විසඳුම්වල දකින්නට ලැබෙන අධිස්ථාපන (සුපර්පසිෂන්) මූලධර්මයෙන් කියැවෙන විසඳුම් ද යථාර්ථ විභවයක් ලෙසට සැලකීමට යෝජනා කර තිබුණා. ක්වොන්ටම් විසඳුමක අවස්ථා දෛශික ගණනාවක් තිබෙන නමුත් අප නිරීක්‍ෂණය කරන්නේ එක් දෛශිකයකින් නිරූපණය කෙරෙන්න පමණයි. අනෙක් අවස්ථා වෙනත් අවශ්‍යතා යටතේ නිරීක්‍ෂණය වීමේ සම්භාවිතාවක් තියෙනවා. ඒවාත් යථාර්ථ විභව ලෙස ගැනීමටයි කැස්ට්නර් යෝජනා කර ඇත්තේ. මෙය අලුත් අදහසකට වඩා පැරණි අදහසක් වර්ධනය කිරීමක්. මේ අවස්ථා දෛශික ගැන මා ද කලකට පෙර පත්‍රිකාවක් පළ කර තිබුණා. කෙසේ වෙතත් යථාර්ථය ගැන මා මගේ අදහස් කිහිපයක් රූත් කැස්ට්නර්ට දැන්වූවා. මේ ඈ හා මා අතර ඇති වූ සංවාදය. මගේ අවසාන ප්‍රතිචාරයට ඇය ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ. සමහර විට මගේ අදහස්වල කිසිදු වටිනාකමක් නැතැයි ඈ සිතන්න ඇති. මා ඒ සංවාදය මුළුමනින් ම පළ කරන්නේ යථාර්ථය යනු කුමක් දැයි බටහිර දාර්ශනිකයන්ට හා භෞතික විද්‍යාඥයන්ට නිර්වචනය කිරීමට නොහැකි බව පෙන්වීමටත් යථාර්ථය යන්නෙන් අදහස් කරන්නේ කුමක් දැයි විස්තර කිරීමට ඔවුන් අපොහොසත් බව පෙන්වීමටත්. මේ සංවාදය හා ඉන් මතුවන කරුණු පිළිබඳ විවරණයක් පසුව බලාපොරොත්තු වන්න. එතෙක් මෙයට ප්‍රතිචාර දැක්වීමෙන් වළකින්නේ නම් මැනවි.  

Tuesday 7 November 2017

තෙල වැඩි කාට ද?


තෙල වැඩි කාට ද?



මෙරට ජනමධ්‍යවල මෙතරම් දක්‍ෂ විචක්‍ෂණශීලී විචාරශීලි බුද්ධිමතුන් සිටිය දී මෙරට මෙතරම් ප්‍රශ්න තියෙන්නේ ඇයි ද කියන එකත් ප්‍රශ්නයක්. ජනමාධ්‍යවේදීන් කියාවි ඔවුන් ඉදිරිපත් කරන විසඳුම් ක්‍රියාත්මක කිරීමට කිසිවකු නැති බව. ඒකත් ඇත්ත. ඒත් ඒ අය ඉදිරිපත් කරන විසඳුම් ගැන කියන්න පුළුවන් මොනවා ද? මේ කාට හරි කියන්න පුළුවන් ද නිදහස් අධ්‍යාපනය කියන්නෙ මොකක් ද කියලා. ඒත් සයිටම් ගැන ඒ අය කතා කරන්නෙ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය හා සයිටම් අතර වෙනසවත් දැනගෙන ද? මේ ගැන තව දුරටත් කතා කරන එකට මහින්දවාදීන් හා ව්‍යාජ සමාජවාදීන් කැමති නැහැ.

Monday 6 November 2017

ශ්‍රි පාද අඩවිය මොන සුදු ඒජන්තයට ද?


ශ්‍රි පාද අඩවිය මොන සුදු ඒජන්තයට ද?



මේ ලිපි ලිවීමෙන් එතරම් වැඩක් නොවන බව දැන දැනත් ලිපි ලියන්නේ පුරුද්දට වෙන්න පුළුවන්. මේ ලිපි කියවන්නේ වැඩිපුර ම මහින්දවාදීන්. අද රටේ ජාතිකවාදීන් ඉන්නේ ඉතා ස්වල්පයයි. ජාතිකවාදීන් ලෙස පෙනී සිටින්නන් බොහෝ දෙනා දේශපාලන ඉලක්ක ඇති ව වැඩ කරන අය. ඔවුන්ගේ පසුබිම අවසානයේ දී ව්‍යාජ සමාජවාදය. විශේෂයෙන් ම  පැරණි ජ වි පෙරමුණේ ව්‍යාජ සමාජවාදය. මේ අය මහින්දගේ හොඳක් කියන විට මෛත්‍රිපාලගේ වැරුද්දක් කියන විට රනිල්ට දොස් කියන විට ගම්මන්පිලගේ හෝ විමල්ගේ හෝ ප්‍රකාශයක් අගය කරන විට සතුටු වනවා. සයිටම් ගැන මොවුන්ට ඇත්තේ නිදහස් අධ්‍යාපනය ඉවරයි වැනි අඳෝනාවක් පමණයි. එහෙත් නිදහස් අධ්‍යාපනය යනු කුමක් දැයි ඔවුන් දන්නේ නැහැ. ඔවුන්ගේ ස්ථාවරවල ඇති පරස්පර ඔවුන්ට පෙනෙන්නේ නැහැ. සයිටම් වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කළේ යැයි කියන එහෙත් තවමත් ජීවත්වන දොස්තරවරුන් ගැන ඔවුන් හිතන්නේ වීරත්වයෙන්. අද ඇරඹීමට නියමිත දෙමව්පිය මාරාන්තික උපවාසයෙන් අවසානයේ දී වාසි ලබන්නේ රනිල් හා දෙමළ ජාතිවාදීන්. ඔවුන් පිටුපස බටහිරයන් හා ඉන්දියාව ඉන්නවා. 

Sunday 5 November 2017

බටහිර වෛද්‍ය හා දෙමළ වෙල්ලාල ඒකාධිකාර  

බටහිර වෛද්‍ය හා දෙමළ වෙල්ලාල ඒකාධිකාර

මාධ්‍ය වාර්තාවලට අනුව මෛත්‍රිපාල සිරිසේන පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හාමුදුරුවන්ට කියල තියෙනවා දේශපාලනඥයන් ඊනියා ජනවාර්ගික ප්‍රශ්නයක් තම පැවැත්ම සඳහා යොදා ගත්තත් එහි යම්කිසි දෙයක් ඇති බවත් දෙමළ ජනයාට යම් දෙයක් දිය යුතු බවත්. බොහෝ දේශපාලනඥයන් බොරු ප්‍රබුද්ධයන් වෙන්න ඕන වුණාමත් ඔය වගේ කතා කියනවා. සමහරු නොදන්න කමට කියනවා. තවත් සමහරු ඉන්දියාවෙ නැත්නම් බටහිර වුවමනාවට ඒ දේ කියනවා. සමහරු අප රැවටීමට කියනවා. මෛත්‍රිපාල  මේ මොකක් නිසා අර ප්‍රකාශය කළා ද දන්නෙ නැහැ. ඒකට කමක් නැහැ.

Saturday 4 November 2017

මහින්දට සුබ අනාගතයක්  


මහින්දට සුබ අනාගතයක්





දැන් බොහෝ දෙනකු දන්නවා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට මේ සිංහල විරෝධී දෙමළ ජාතිවාදී නිවට ආණ්ඩුවට ජනවරමක් නැති බව. ඇතැමුන් ඒ සම්බන්ධ විද්‍යුත් ලිපි මටත් යොමු කරනවා. අද වන විට නව ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කරමු යන්නත් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ආණ්ඩුවට ජනවරමක් නැති බවත් සමාජගත වී අවසන්. ව්‍යවස්ථාව පරාජය කරමු යන සටන්පාඨයේ සිට ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කරමු යන්නට සිංහල ජනමතය ඉතා ඉක්මණින් තල්ලු වුණා. ඒ සමග ආණ්ඩුව පියවරක් පස්සට ගෙන තිබෙනවා. එහෙත් ආණ්ඩුව වැඩි කල් යෑමට පෙර පියවර දෙකක් පෙරට තබාවි. ඔවුන්ට එංගලන්තය ප්‍රමුඛ බටහිරයන්ගෙන් හා ඉන්දියාවෙන් ලැබී ඇති විධානය එයයි. ඒ විධානය 2013ට බොහෝ කලකට පෙර ලැබුණු බව ඇතැම් ජාතිකවාදීන් දන්නේ නැහැ.

Friday 3 November 2017

සුද්දන්ගේ දැනුම් සපත්තු ලෙව කෑම


සුද්දන්ගේ දැනුම් සපත්තු ලෙව කෑම



චන්ද්‍රිකාත් හාමුදුරුවරුන්ට චීවරධාරීන් යැයි කියනවා. තම දෙමව්පියන්ට වඩා ඇංග්ලිකන් ක්‍රිස්තියානි මහමුදලි සීයා ගැන ආඩම්බර වන ඇයගෙන් වෙනත් කියුමක් බලාපොරොත්තුවෙන් සිටි අයකු වේ නම් මේ වන විට තම වරද වටහා ගෙන ඇති. මේ සිංහල බෞද්ධ විරෝධී පැකේජ් නෝනාගෙන් වෙන මොනවා බලාපොරොත්තු වන්න ද? අද ඇයට අත්තනගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධුරයකටවත් තේරී පත්වන්න බැහැ. ඇගේ පුතා තමා සිංහල බෞද්ධයකු වීම ගැන ලජ්ජා වන්නේ යැයි කී විට ඉන් මෑණියන් කවුදැයි නිරූපනය වන බව ඇයට වැටහීමක් නැහැ.

Thursday 2 November 2017

සයිටම් හා බලය විමධ්‍යගත කිරීම




සයිටම් හා බලය විමධ්‍යගත කිරීම



සයිටම් ප්‍රශ්නය නිිදහස් අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නයක් නොවන බව මා එකල ම කිව්වා. නිදහස් අධ්‍යාපනය කියන්නෙ මොකක් ද කියලා මා කිව්වට බොහෝ දෙනා ඒ සත පහකටවත් ගණන් ගත්තෙ නැහැ. ඔවුන් හිතන් හිටියෙ ඊනියා නිදහස් අධ්‍යාපනයක් සඳහා ඔවුන් සටන් කරන බව. එහෙත් සයිටම්හි තිබුණෙ ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය ඇතැම් රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවලත් තියෙනවා.

Wednesday 1 November 2017

සර්ව පාක්‍ෂික කමිටු එපා  


සර්ව පාක්‍ෂික කමිටු එපා



මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ලෙස කියා තිබුණ ව්‍යවස්ථාව ගැන සලකා බලන්න සර්ව පාක්‍ෂික කමිටුවක් පත් කරන්න ඕන කියලා. සර්ව පාක්‍ෂික සම්මේලන, කමිටු පත් කරන්නෙ වැඩක් නොකරන්න නම් ඒක තරමක හොඳ වැඩක්. එහෙත් ඒවට සහභාගි වන අය විවිධ අරමුණු ඇතිව එනවා. මාත් සර්ව පාක්‍ෂික නියෝජිත සම්මේලනය කියලා එකකට සහභාගි වෙලා තියෙනවා. මා නම් සහභාගි වුණෙ අපේ හමුදා ප්‍රභාකරන් පරාජය කරන තෙක්. බොහෝ දෙනා අද මොනව කිව්වත් එදා කිව්වෙ හමුදාවන්ට කොටි පරාද කරන්න බැහැ කියලා. ඒත් මා එකහෙළා ම කිව්වෙ අපට කොටි පරාද කරන්න පුළුවන් කියලා. ඒ අනුව මා ඒ නියෝජිත සම්මේලනයට සහභාගි වුණෙ කොටි පරාජය කරන්න හමුදාවට කල් අරන් දෙන්න පමණයි.

Tuesday 31 October 2017

ඔක්තෝම්බර් 31 හා නොවැම්බර් 07


ඔක්තෝම්බර් 31 හා නොවැම්බර් 07



ඔක්තේම්බර් 31 හා නොවැම්බර් 07 මගේ දින දර්ශනයේ වැදගත් දවස්. ඒ මගේ මුණුබුරන්ගේ උපන් දින. මෙතරම් ප්‍රශ්න තියෙද්දී මගේ මුණුබුරන්ගේ උපන් දින දැන ගැනීමට ඇති වුවමනාව කුමක් දැයි කිසිවකු මගෙන් අසන්න පුළුවන්. මේ දින දෙක ලෝකයාටත් වැදගත්. හරියට ම මෙයට අවුරුදු පන්සියයකට පෙර 1517 මක්තෝම්බර් තිස්එක්වැනි දා මාටින් ලූතර් පාප්වහන්සේගේ ඇතැම් ක්‍රියාවලට විරුද්ධව පෝස්ටරයක් ඇලෙවුවා. ඒ පෝස්ටරයෙන් ප්‍රෙතෙස්තන්තවාදය උපන්නා. ප්‍රොතෙස්තන්ත කියන්නෙ ප්‍රොටෙස්ටන්ට් කියන වචනය සිංහලට යෙදී ඇති අන්දම. එහි විරෝධය යන අර්ථය තියනවා. මාටින් ලූතර් කතෝලික ආගමට හා පාප්වහන්සේට විරුද්ධ වුණා. ඔහු එක්තරා ආකාරයකට මූලධර්මවාදියකු ලෙසත් සලකන්න පුළුවන්. කෙසේ වෙතත් මාටින් ලූතර් නව ක්‍රිස්තියානි ප්‍රවණතාවකට මුල පිරුවා.

Monday 30 October 2017

අද ඇරඹෙන විවාදය  


අද ඇරඹෙන විවාදය



ඊනියා ව්‍යවස්ථා මණ්ඩලය විසින් පත් කෙරුණු මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව අද සිට දින තුනක් විවාද කිරීමට නියමිතයි. මේ විවාදය පැවැත්වෙන්නේ ඇමරිකානු ඔරුමත්තුනාඩු යුද්ධ නැව් කිහිපයක් කොළඹ වරායේ තිබෙන අතර. ඒ සිද්ධි දෙක සමගාමී වීම අහම්බයක් වන්නත් පුළුවන්, සැලසුම් කරන ලද්දක් වෙන්නත් පුළුවන්. රනිල් වික්‍රමසිංහ හිතන් හිටිය ද දන්නෙ නැහැ ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයේ ඡන්දයෙන් පමණක් නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට. එහි දී රටේ විරුද්ධත්වයක් ඇති වුණොත් විදේශවලින් යුද්ධාධාර ඉල්ලීමට. එය හිතළුවක් පමණක් වුවත් රනිල් වැඩ කරන ආකාරයට හා බටහිරයන්ගේ හා ඉන්දියාවේ අවශ්‍යතා අනුව නව ව්‍යවස්ථාවක් කෙසේ නමුත් සම්පාදනය කිරීම අද ප්‍රධාන කාර්යය වෙලා.

Sunday 29 October 2017

දයාන්ලා නොදන්නා දේශපාලනය  


දයාන්ලා නොදන්නා දේශපාලනය



ඉංගිරිසියෙන් ලියන ඇතැමුන් දැන් නැවතත් හෙළිදරවු වෙමින් පවතිනවා. ඔවුන් ගැන එදත් අප නම් විශ්වාස කළේ නැහැ. ඇතැම් ජාතිකවාදීන් යැයි කියා ගන්නා අය මේ අදහස් සිංහලෙන් ලියනවා. තම දේශපාලන අභිමතාර්ථ මුදුන්පත් කර ගැනීමට ජාතිකත්වය යොදා ගන්නා අය ජාතිකවාදීන් නො වෙයි. චම්පක ජාතිකවාදියකු යැයි කියන අය අදත් ඉන්නවා ද? ඔහු කරණමක් ගසා නැවතත් සිංහල බෞද්ධයන් රවටන්න පුළුවන්. එහෙත් මේ රැවටීම වැඩි කලක් කරගෙන යන්න බැහැ.

Saturday 28 October 2017

සුරංගනා කතා  


සුරංගනා කතා



මේ රටේ තරම් විිද්‍යාඥයන් ලෝකයේ වෙනත් රටක ඉන්නව කියල හිතන්න බැහැ. දේශපාලන විද්‍යාඥයන්, ආර්ථික විද්‍යාඥයන්, සමාජ විද්‍යාඥයන්, විවිධ ප්‍රවාද අනුගමනය කරන සාහිත්‍යධරයන්, භෞතික විද්‍යාඥයන්, රසායන විද්‍යාඥයන්, ජීව විද්‍යාඥයන්, වෛද්‍ය විද්‍යාඥයන්, ඉංජිනේරු විද්‍යාඥයන්, පශූ වෛද්‍ය විද්‍යාඥයන් ආදී වශයෙන් විද්‍යාඥයන් මෙරට දැක ගන්න පුළුවන්. ඔවුන් කිසිම ප්‍රවාදයක් සංකල්පයක් තම ක්‍ෂෙත්‍රවලට එකතු කර නැති නමුත් ඔවුන් පෙනී සිටින්නේ විද්‍යාඥයන් ලෙස. තමන් කතා කරන්නේ අහවල් විද්‍යාඥයකු ලෙස නැත්නම් අහවල් ක්‍ෂෙත්‍රයෙහි ප්‍රාමාණික විද්‍යාඥයකු ලෙස වශයෙන් කියනු අප අසා තියෙනවා. නීතිඥයන් සාමාන්‍යයෙන් විද්‍යාඥයන් ලෙස නොසැලකෙන නමුත් නීතියේ ප්‍රාමාණික විද්වතුන් ලෙස පෙනී සිටින්නන් ඉන්නවා.

Friday 27 October 2017

ගල්ලෙන බිඳීම හා ව්‍යවස්ථා මණ්ඩලය බිඳීම  


ගල්ලෙන බිඳීම හා ව්‍යවස්ථා මණ්ඩලය බිඳීම

 

ඇතැම් ජාතිකවාදීන් යැයි කියා ගන්නා අය උපදෙස් ගන්නේ ජාත්‍යන්තරවාදීන්ගෙන් බව පැහැදිලියි. අද අප ඕනෑම අවස්ථාවකට මුහුණ දීමට සූදානම් ව සිටිය යුතුයි. රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාතය යටතේ කුමක් සිදුවේ ද යන්න කල් තබා මුළුමනින් ම  කීම තරමක් අපහසුයි. එහෙත් එය යම් තරමකට පුරෝකථනය කරන්න පුළුවන්. අප අතර සිටින ජාතිකවාදීන් යැයි කියා ගන්නවුන්ගෙන් අප පරෙස්සම් විය යුතුයි. නිතර දෙවේලේ රූපවාහිනියෙන් වාචාල කතා කී පමණින් කිසිවකු ජාතිකවාදියකුවත් බුද්ධිමතකුවත් වන්නේ නැහැ.

Thursday 26 October 2017

භයානක ව්‍යවස්ථා සංශෝධනයක්


භයානක ව්‍යවස්ථා සංශෝධනයක්



ඔක්තෝම්බර් 30, 31 හා නොවැම්බර් 01 ඊනියා මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වෙනවා. එය පැවැත්නේනේ පාර්ලිමේන්තුවේ ද නැත්නම් ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයේ ද යන්න පැහැදිලි නැහැ. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා ව්‍යවස්ථා මණ්ඩලයක් පත් කිරීමට ආණ්ඩුවටවත්  ඒ මණ්ඩලයේ වැඩ කටයුතුවලට සහභාගි වීමට ඒකාබද්ධ විපක්‍ෂයටවත් ජනවරමක් නැහැ. ජනතා පරමාධිපත්‍යයෙන් තීරණය වී ඇත්තේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය අනවශ්‍ය බවයි. එහෙත් ආණ්ඩක්‍රම ව්‍යවස්ථාවේ ඇති ජනතා පරමාධිපත්‍යය ආණ්ඩුවවත් ඒකාබද්ධ විපක්‍ෂයවත් රකින්නේ නැහැ. ඒ කියන්නේ ඒ දෙගොල්ලන් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණිව ක්‍රියා කරන බව. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැකීම තම රාජකාරියක් වුවත්, එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඒ රාජකාරිය නියම කෙරී තිබුණත්, මෛත්‍රිපාල ජනාධිපති ලෙස ඒ කාර්යය ඉටු කරන්නේ නැහැ. ඒ කියන්නේ ජනාධිපතිත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින්නේ නැහැ.

Wednesday 25 October 2017

නව ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂප කරමු




නව ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂප කරමු



අද රටේ මහත් උනන්දුවක් ඇති වී තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ගැනයි. විය යුතු පරිදි ම අනෙක් ප්‍රශ්න යටපත් කරගෙන ව්‍යවස්ථා සම්පාදනය කිරීම පෙරට ඇවිත්. මහා සංඝ රත්නය තමන්වහන්සේගේ නිකාය, පාර්ශ්වය ආදියෙහි කාරක සභා යොදා ගනිමින් නව ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කරනවා. උන්වහන්සේ පොදුවේ ගතහොත් ප්‍රකාශ කරන්නේ නව ව්‍යව්ථාවක් සම්පාදනය කිරීමට ආණ්ඩුවට ජනවරමක් නැති බවත් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අවස්ථාවක් නොවන බවත්. උන්වහන්සේ පොදුවේ නැතත් මැතිවරණ නීතිය සංශෝධනය කිරීමට එකඟ වන බව  ප්‍රකාශ කර සිටිනවා.