Main Logo

Thursday 26 October 2017

භයානක ව්‍යවස්ථා සංශෝධනයක්


භයානක ව්‍යවස්ථා සංශෝධනයක්



ඔක්තෝම්බර් 30, 31 හා නොවැම්බර් 01 ඊනියා මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වෙනවා. එය පැවැත්නේනේ පාර්ලිමේන්තුවේ ද නැත්නම් ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයේ ද යන්න පැහැදිලි නැහැ. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා ව්‍යවස්ථා මණ්ඩලයක් පත් කිරීමට ආණ්ඩුවටවත්  ඒ මණ්ඩලයේ වැඩ කටයුතුවලට සහභාගි වීමට ඒකාබද්ධ විපක්‍ෂයටවත් ජනවරමක් නැහැ. ජනතා පරමාධිපත්‍යයෙන් තීරණය වී ඇත්තේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය අනවශ්‍ය බවයි. එහෙත් ආණ්ඩක්‍රම ව්‍යවස්ථාවේ ඇති ජනතා පරමාධිපත්‍යය ආණ්ඩුවවත් ඒකාබද්ධ විපක්‍ෂයවත් රකින්නේ නැහැ. ඒ කියන්නේ ඒ දෙගොල්ලන් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණිව ක්‍රියා කරන බව. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැකීම තම රාජකාරියක් වුවත්, එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඒ රාජකාරිය නියම කෙරී තිබුණත්, මෛත්‍රිපාල ජනාධිපති ලෙස ඒ කාර්යය ඉටු කරන්නේ නැහැ. ඒ කියන්නේ ජනාධිපතිත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින්නේ නැහැ.




තත්වය මෙහෙම නම්, ජනමාධ්‍ය ප්‍රචාරය කරන්නේ වාචාල හිට් කතා නම්, අප කළ යුත්තේ කුමක් ද? සමහරවිට මා කියන කතා පිස්සු මෝඩ මිථ්‍යා කතා වෙන්න පුළුවන්. ඒක එහෙම නම් මට දැන් අලුතෙන් නුවණ පහළ කර ගන්න බැහැ. මේ ලිපි කියවන්නේ ඉතා සුළු පිරිසක් පමණයි. ඔවුන්ටත් පිස්සු වෙන්න ඇති. ඊයේ නුවර දී පැවැත් වූ අධිෂ්ඨාන පූජාවට සහභාගි වුණේ සුළු පිරිසක්. එය ජනමාධ්‍යයෙහි එක් නාළිකාවක පමණක් සුළුවෙන් ප්‍රචාරය වී තිබෙනවා. ඒ දෙරණ නොවන බව කිව යුත්තේ ඇතැමුන් එසේ සිතීමට ඉඩ තිබෙන බැවින්. එහෙත් කිසිම නාළිකාවක මා එහි දී කළ කිසිම ප්‍රකාශයක් ප්‍රචාරය කෙරුණේ නැහැ. 



පසුව පැවැත් වූ රැස්වීම වාර්තා කිරීමට කිසිම ජනමාධ්‍යයකින් පැමිණ සිටියේ නැහැ. ඔවුන් දැන සිටින්න ඇති අප කරන කතා වැදගත් නැති බව. රැස්වීමටත් එතරම් පිරිසක් සහභාගි වූයේ නැහැ. ජනතාවත් දන්නවා අපෙන් වැදගත් දෙයක් නොකියැවෙන බව. මේ කියවන ප්‍රබුද්ධයන් විවිධ ප්‍රතිචාර දක්වන්න පුළුවන්. මේ සියල්ල ජාතික ව්‍යාපාරයට අවස්ථාවාදී දේශපාලනඥයන් එකතු වීම නිසා සිදුවන දේ හැටියට මට නම් හිතෙන්නෙ.  ජාතික ව්‍යාපාරය දේශපාලනීකරණයට ලක් නොවූ කාලයේ දී අපට චන්ද්‍රිකාගේ හා ජී එල් පීරිස්ගේ පැකේජය පරාජය කරන්න පුළුවන් වුණා. අද ශක්තිමත් ජාතික ව්‍යාපාරයක් නැහැ. දේශපාලනඥයන් අද ජාතික ව්‍යාපාරයේ එක් එක් කොටස් පාලනය කරනවා. දේශපාලනඥයන්ට හරි ජනමාධ්‍යයට හරි අවනත නොවන ජාතික ව්‍යාපාරයකට අද රටේ තැනක් නැහැ.



නව ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කරන්නට අද මහා සංඝයා වහන්සේ තීරණය කර තිබෙනවා. එය වැදගත්. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ ඡන්දයක් ව්‍යවස්ථාවට නොදීමට පමණක් කතා කරන්නන් ගැන කිසිම විශ්වාසයක් තියන්න බැහැ. ඔවුන් මහා සංඝයා වහන්සේ ප්‍රකාශ කරන දේ පිළිගන්නේ නැහැ. පිිළිගන්නවා නම් ඔවුන් ව්‍යවස්ථා ක්‍රියාවලිය ප්‍රතික්‍ෂෙප කළ යුතුයි, ව්‍යවස්ථා මණ්ඩලයෙන් අස්විය යුතුයි. ඒ වෙනුවට ඔවුන් ජනමත විචාරණයකට යෑමේ දොස් දකිනවා. පඬි කතා කියනවා. ජනමත විචාරණයකින් ඊනියා ජාත්‍යන්තරය තීරණය කරාවිලු දෙමළ ජනයාට වෙන්වීමක් අවශ්‍ය බව. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයකින් එසේ තීරණය කරන්න බැරි ද? ජනමත විචාරණයකට සූදානම් නොවීමෙන් මේ පඬියන් රනිල්ට ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට උපකාර කරනවා. තවත් ඊනියා ජාතිකවාදියකුට අනුව අප ජනමත විචාරණයෙන් ව්‍යවස්ථාව පරාජය කළහොත් උතුර තමන්ට යමක් නොලැබීණි යැයි කියා කලබල කරන්න පුළුවන්ලු. මේ ජාතිකවාදීන්ගෙන් පරෙස්සම් වෙන්න වෙලා තියෙනවා.



ආණ්ඩුව විතරක් නොවෙයි ඒකාබද්ධ විපක්‍ෂයත් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන්නේ නැහැ. එසේ දෙනවා නම් මහා සංඝ රත්නය දෙන අවවාද අනුව ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කළ යුතුයි. අදාළ ක්‍රියා මාර්ගය ප්‍රතික්‍ෂෙප කළ යුතුයි. ව්‍යවස්ථා මණ්ඩලයෙන් අස්විය යුතුයි. එහෙත් ඒ වෙනුවට හෙට අනිද්දා මහින්ද ජී එල් පීරිස් සමග ඉන්දියාවට යනවා. ඉන්දියාවට ගොස් ආපසු පැමිණීමෙන් පසු ඒකාබද්ධ විපක්‍ෂය ව්‍යවස්ථා මණ්ඩලයෙන් අස්වේවි ද? මහින්ද ආපසු ඒමට නියමිත ඔක්තෝම්බර් 31. ඒ එන විට පෙරහැර ගිහින්.



මේ ආණ්ඩුව හා ඒකාබද්ධ විපක්‍ෂය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට හා මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට එකඟ වීමට ඉඩ තියෙනවා. එහෙත් ජනාධිපති ක්‍රමය අහෝසි කර දහතුන්වැනි සංශෝධනය එසේ ම තිබීම ඉතා භයානකයි. අද පොලිස් බලතල ඉඩම් බලතල පළාත් සභාවලට පැවරීම ක්‍රියාත්මක නොවන්නේ ඇතැම් අය කියන ආකාරයට ජේ අර් තම කපටි මොළයෙන් ඉන්දියාවේ කණින් රිංගා ඇති නිසා නො වෙයි. එසේ ඒ බලතල ක්‍රියාත්මක කළහොත් ජනාධිපතිට ප්‍රශ්න ඇති වන නිසා. ජනාධිපති බලතල කැපී යන නිසා. ජේ  ආර්වත් ඊට පසු ජනාධිපති වූ කිසිවකුවත් ඒ බලතල පැවීමට කටයුතු කෙළේ නැහැ. මෛත්‍රිපාලත් එසේ කරන්නේ නැහැ.



එහෙත් පළාත් සභා හා දහතුන එසේ ම තබාගෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ජනතාවගේ පරමාධිපත්‍යයෙහි වෙනසක් කරන්න ඉන්දියාව උපදෙස් දෙන්න පුළුවන්. අද අප ඉන්දියාවෙන් පාලනය වෙනවා. රෝ ඔත්තු සේවයේ නියෝජිතයන් හැම තැන ම. නව ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කරන අතර ඊනියා සංශෝධනවලටත් එකඟ වීම ඉතා පරෙස්සමෙන් කළ යුතුයි. දහතුන එලෙස ම තබාගෙන විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමත් එවැන්නක්. මේ අවස්ථාවේ කළ හැකි හොඳ ම දෙය නව ව්‍යවස්ථාවත් ඊනියා සංශෝධනත් ප්‍රතික්‍ෂෙප කර දැනට පවත්නා ව්‍යවස්ථාව ඒ ආකාරයෙන් ම ක්‍රියාත්මක කිරීමයි. ඒ කියන්නේ පොලිස් බලතල ඉඩම් බලතල පැවරීම ක්‍රියාත්මක නොකළ යුතු බවයි.





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 ඔක්තෝම්බර් 26