Main Logo

Showing posts with label නූතනත්වය. Show all posts
Showing posts with label නූතනත්වය. Show all posts

Sunday, 2 June 2013

මේ සිංහල බෞද්ධ රටයි - 2

මෙරටට සංක්‍රමණය වූ මුස්ලිම් ජනයා සිංහල රජු යටතේ වෙන ම අනන්‍යතාවක් සහිත ව ජීවත්වූහ. ඔවුහු දිවයිනේ විවිධ ප්‍රදේශවල ජීවත් වී ඇති බව පැහැදිලි ය. යම් අයුරකින් ඔවුන් එක් ප්‍රදේශයකට ගොනු වී නම් මෙරට ඉතිහාසය වෙනත් මගක් ගැනීමට ද ඉඩ තිබිණි. ඔවුන් වෙන ම අනන්‍යතාවක් සහිත ව වෙන ම භාෂාවක් (දෙමළ) කතාකරන පිරිසක් ලෙස ජීවත් වුව ද ඔවුන්ට වෙන ම පාලකයකු සිටි බවක් ඉතිහාසයේ සඳහන් නො වේ. ඔවුන් යම්කිසි ආකාරයකින් සිංහල කතාකිරීමට පුරුදු විණි නම් ඔවුන් මේ වන විටත් ඇතැම් විට සිංහල මුස්ලිම් වීමට ඉඩ තිබිණි. එහෙත් යුදෙවුවනට මෙන් ම මුස්ලිම්වරුනට ද ලෝකයේ කොතැනක ජීවත්වුවත් රැකගත යුතු සංස්කෘතියක් වෙයි. එහි වරදක් නැත. යුදෙවුවන් ඔවුන්ගේ සංස්කෘතිය නැතිකර ගත්තේ නම් මේ වන විට ලෝකයේ වියුක්තව සිතිය හැකි බුද්ධිමතුන් නැති වී යෑමට ඉඩ තිබිණි. තම සංස්කෘතිය රැකගන්නා අතර ඔවුන්ට ඒ ඒ රටවලට පක්‍ෂපාතිවිය හැකි විය යුතු ය. සියළු යුදෙවුවන් පක්‍ෂපාති වන්නේ ඊශ්‍රායලයට පමණක් නම් එහි දී ප්‍රශ්නයක් ඇති වෙයි. මෙරට වසන මුස්ලිම් ජනයා තම සංස්කෘතිය රැකගන්නා අතර රටට පක්‍ෂපාති විය යුතු ය. මෙරට බෞද්ධ උරුමය ඔවුන්ගේ ද උරුමය ලෙස සැලකීමට ඔවුන් පුරුදුවන්නේ නම් හා බෞද්ධ සංස්කෘතිය දෙස ආක්‍රමණශීලීව නොබලන්නේ නම් හා කිසිම ප්‍රදේශයක් මුස්ලිම් ප්‍රදේශයක් ලෙස නොසලකන්නේ නම් සිංහල – මුස්ලිම් ප්‍රශ්න යම් ප්‍රමාණයකට විසඳා ගත හැකි ය. විශේෂයෙන් ම නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනයා තමන් එහි පදිංචි කරනු ලැබුයේ සිංහල රජුන් විසින් බව ද ඉංගිරිසින් 1817 – 18 නිදහස් සටනෙන් පසුව සිංහලයන් විශාල වශයෙන් ඝාතනය කර ඉතිරි අය එම පළාත්වලින් පිටමං කිරීමට වාතාවරණය සැකසූ බව ද මතක තබාගත යුතු ය. ඒ අතර සිංහලයන් ද මුස්ලිම් ජනයා බෞද්ධ උරුමය තම උරුමය ලෙස සැලකීමට විරුද්ධ නොවිය යුතු ය. බටහිර විද්‍යාව තමන්ට ද අයත් ලෙස සලකන, එය ඉතා වුවමනාවෙන් ඉගෙන ගන්නා සිංහල බෞද්ධයනට මෙරට මුස්ලිමුන් රුවන්වැලි සෑය තමන්ගේ ද උරුමයක් ලෙස සැලකීමට විරුද්ධ විය නො හැකි ය. මෙරට මුස්ලිමුන් රුවන්වැලි සෑය තමන්ගේ ද උරුමයක් ලෙස සැලකීමෙන් සිංහල බෞද්ධයන්ගේ උරුමයට අබමල් පියල්ලක වුව හානියක් සිදු නො වේ.    

අද ලෝකයේ ථෙරවාද බෞද්ධ හා මුස්ලිම් ජනයා අතර ගැටුම් ඇතිවෙමින් පවතින බව රහසක් නො වේ. සිංහල – මුස්ලිම් ප්‍රශ්නය ද මෙහි කොටසක් පමණකි. ලංකාවේ පමණක් නොව, මියන්මාරය, තායිලන්තය වැනි වෙනත් ථෙරවාද රටවල මෙන් ම මුස්ලිම් රටක් වූ බංග්ලාදේශයේ ද මේ ප්‍රවණතාව දකින්නට ඇත. මෙය අහම්බයකින් ඇතිවූවක් යැයි නොසිතිය යුතු ය. මෙය පිටුපස බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ඇතැයි කී විට ඇතැමුන් සිනහසෙනු ඇත. විශේෂයෙන් ම ජාති හිතෛෂී යැයි කියාගන්නා වෙබ් අඩවියක මගේ ලිපි පළකිරීමෙන් පසු ඒවාට ප්‍රතිචාර දක්වන පඬියන් මට සිහිනෙන් ද පෙනෙන්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ය ආදී වශයෙන් අවළාද නගනු ඇත. එහෙත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ අංගයක් වූ බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙන් මා ඉගෙනගත් දෙයක් වෙයි. එනම් සාධාරිත ප්‍රපංච හඳුනාගැනීම ය. තමන් බටහිර නූතනත්වයේ කිමිදී ඇතැයි සිතන බොහෝ දෙනා සාධාරිත ප්‍රපංච ගැන කිසිවක් නො දති. ඔවුන්ට වියුක්ත ව සිතීම යනු විෂය නොවන ක්‍රියාවලියකි. අප ථෙරවාදී රටවල් යනුවෙන් හඳුන්වන්නේ තුන්වැනි සංගායනාවෙන් පසු අශෝක රජු විසින් හඳුන්වාදෙනු ලැබූ බුදුදහම ඇති රටවල් ය. තුන්වැනි සංගායනාවේ බුදුදහමෙහි ධර්මවාදය, ක්‍ෂණවාදය, යථාර්ථය වැනි ආත්මවාදී සංකල්ප තිබුණ ද, ථෙරවාදී රටවල් සාධාරණ වශයෙන් ගත්කල අනාත්මවාදී වෙයි. එමෙන් ම ඒ රටවල නිර්මාණවාදයක් නැත. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට දාර්ශනික වශයෙන් අභියෝගයක් එල්ල කළ හැක්කේ ථෙරවාදයට ය. අනෙක් පැත්තෙන් වර්තමානයේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට හමුදාමය වශයෙන් අභියෝගකරන්නේ මුස්ලිම් රටවල් ය. මුස්ලිම් හා ථෙරවාදී ජනතාව අතර ගැටුම් ඇතිකිරීමෙන් බටහිරයන්ට එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු මරාගැනීමේ අවස්ථාව උදාවෙයි.

ථෙරවාදී රටවල බෞද්ධයන් මුස්ලිමුන්ට එරෙහි වන විට බටහිරයන්ට තම සුපුරුදු ගීය ගයමින් ථෙරවාදී බෞද්ධයන් අන්තවාදීන් හිංසකයන් මැරයන් ආදී වශයෙන් පුවත්  මැවීමට අවස්ථාව උදාවෙයි. ලෝ පුරා පුවත් ප්‍රචාරය කිරීමේ අධිකාරිය බටහිරයන් සතු බැවින් ලොවෙහි ප්‍රචාරය වන්නේ ථෙරවාදී බෞද්ධයන්ගේ ඊනියා නොපණත්කම් ය. එහෙත් බටහිරයෝ තම රටවල මුස්ලිමුන්ට කෙරෙන අසාධාරණකම් ගැන කිසිවක් නො කියති. පසුගියදා ලංඩනයේ වුලිච් ප්‍රදේශයේ හමුදා භටයකු මරා දැමීමෙන් තරමක් දුරට වුවත් හෙළි වූයේ බටහිරයන් මුස්ලිමුන්ට කරන අසාධාරණකම් ය. එහෙත් බටහිර පුවත් සේවාවන් වැඩි ප්‍රචාරයක් දෙන්නේ භටයා මරා දැමීම පිළිබඳව ය. අප මේ කරුණු සඳහන් කරන්නේ සිංහල බෞද්ධයන් කල්පනාවෙන් කටයුතු නොකළහොත් මෙරට සිංහල බෞද්ධ රටක් ලෙස පවතින අවසාන කාලය මෙය වනු ඇති බව කීමට ය. අනෙක් පැත්තෙන් ථෙරවාදී බෞද්ධයන් නිවැරදි ව කටයුතු කිරීමෙන් අද පිරිහෙමින් පවතින ලෝකයට පණිවුඩයක් දීමටත් ලෝකය බේරාගැනීමටත් හැකිවනු ඇත. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය හා මුස්ලිම් සංස්කෘතිය අතර ඇත්තේ ලෝක ආධිපත්‍යය සඳහා කෙරෙන සටනකි. සියවස් ගණනාවක් මුළුල්ලෙහි පැවති මේ ගැටුම ලෙනින්වාදී රටවල කඩාවැටීමෙන් පසු නැවත ඉස්මතු වී ඇත. මුස්ලිම් සංස්කෘතිය හා චින්තනය සියවස් පහකට පමණ පෙර බටහිර ක්‍රිස්තියානි නූතනත්වය විසින් පරාජය කෙරිණි. ඉන්පසු ජයග්‍රහණයෙන් ජයග්‍රහණයට ගිය බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට හා ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට යම් අභියෝගයක් එල්ලවූයේ කතෝලික චින්තනයෙහි බිහි වූ මාක්ස්වාදයෙන් හා ෆැසිස්ට්වාදයෙනි. එහෙත් අද වන විට මාක්ස්වාදය ද ෆැසිස්ට්වාදය ද අතුගෑවී ගොස් ඇත. එබැවින් නැවතත් මුස්ලිම් සංස්කෘතිය බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට අභියෝගයක් වෙයි. අශෝක රජුගේ ධර්මවිජය සංකල්පය ලංකාවේ ක්‍රියාත්මක වූයේ අභ්‍යන්තර ව පමණ ය. එය බාහිර රටවල් සම්බන්ධයෙන් ක්‍රියාත්මක නො වී ය. එබැවින් ථෙරවාදී රටවල් මුස්ලිම් රටවල් මෙන් බාහිර දිග්විජයක හෝ ධර්මවිජයක හෝ නිරත නො වෙයි. ථෙරවාදී රටවල් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට හමුදාමය වශයෙන් තර්ජනයක් නොවන්නේ එබැවිනි.

දෙමළ ජාතිවාදය බටහිරයන්ගේ, විශේෂයෙන් ම මුල දී ලන්දේසීන්ගේ හා පසුව ඉංගිරිසින්ගේ ද ඇමරිකානුවන්ගේ ද නිර්මාණයක් බවත් දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව ද එය ක්‍රියාත්මක වන්නේ ඉංගිරිසින්ගේ හා ඇමරිකානුවන්ගේ අනුග්‍රහයෙන් බවත් අපි නොයෙක් වතාවල පෙන්වා දී ඇත්තෙමු. ඉංගිරිසින්ට හා ඇමරිකානුවන්ට දෙමළ ජනයාට සිදු වී ඇතැයි කියන අසාධාරණ පිලිබඳ ව ඇති කැක්කුමක් නැත. මේ ඊනියා අසාධාරණකම් ඉංගිරිසින්ගේ නිර්මාණයකි. ඉංගිරිසින්ට ලෝකයේ අනෙක් මිනිසුන්ගේ දුක් වේදනා ගැන කිසිම අනුකම්පාවක් එදත් නැත. අදත් නැත. මෙයින් අදහස් කරන්නේ පෞද්ගලිකව ඇතැම් ඉංගිරිසින් අන් අය ගැන කල්පනා නොකරන්නේ ය යන්න නො වේ. ඉංගිරිසි ආණ්ඩු ක්‍රියා කර ඇත්තේ සිත් පිත් නැති ව ය. අද බටහිරයන් දෙමළ ජාතිවාදය පවත්වාගෙන යන්නේ විසුරුණු දෙමල ජනයා, එ ජා ප, දෙමළ ජාතික සංධානය, ජ වි පෙ හා වෙනත් මාක්ස්වාදී පක්‍ෂ, රාජ්‍ය නොවන සංවිධාන, පුහු පඬියන්, හා ආණ්ඩුවේ ම සිටින චන්ද්‍රිකාවාදීන් හා රෝසපාට සමාජවාදීන් යෙදා ගනිමිනි. එහෙත් බොහෝ සිංහලයෝ මෙහි දී බටහිරයන්ගේ මැදිහත්වීම නො පිළිගනිති. එයට හේතුව ඔවුන් ලබන හා ලබා ඇති බටහිර අධ්‍යාපනයෙන් ඒ බව සැඟවීම ය. අපට සටන්කිරීමට සිදු වී ඇත්තේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වය සමග මිස දෙමළ ජනයා සමග නො වේ. පඬියන් ඩයස්පෝරාව ලෙස උජාරුවෙන් හඳුන්වන විසුරුණු දෙමළ ජනයා ද බටහිරයන්ගේ ම නිර්මාණයකි. දෙමළ ජාතිවාදය නිර්මාණය කෙරුනේත් පවත්වාගෙන යන්නේත් සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව ය. අද එහි දී බටහිරයන්ට ඉන්දියාවේ ද සහාය ලැබෙයි. ඉන්දියාව, භාරතය ආදී කිනම් නමකින් හැඳින්වුව ද එහි විවිධ වංශවල පාලකයන් හැමදාමත්, ඉතා ඈත අතීතයේ සිට ම, ක්‍රියාකර ඇත්තේ මෙරට ඒ ඒ කාලයේ තිබූ සංස්කෘතියට එරෙහිව දිග්විජය කිරීමට ය.  

දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය පමණක් නොව වෙනත් දේශපාලන සංශෝධන ද ඔවුන් ඈත අතීතයේ සිට ම අප මත බලහත්කාරයෙන් පටවා ඇත. ඔවුන්ගේ එක් සංශෝධනයක් මත හිඳිමින් අපට තවත් සංශෝධනයක් පරාජය කළ නො හැකි ය. දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය නීත්‍යානුකූල නොවන බව අප කියන්නේ අවුරුදු කිහිපයක සිට ය. එය ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතු ය. එය නැති ප්‍රශ්නයකට ඉන්දියාව ඇට වූ උගුළකි. එහි නීත්‍යානුකූල නොවන බව ගැන නීතිඥයන් නොවූවත් අපට කිසිවකු කියා දිය යුතු නො වේ. දහතුන් වැනි සංශෝධනයේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවේ තිබිය දී උතුරු පළාතේ පළාත්සභා ඡන්දය නොපැවැත්විය  යුතු ය. හැකිනම් දහතුන්වැනි සංශෝධනය ම ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතු ය. එහෙත් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැකි ශක්තිමත් ජාතික ව්‍යාපාරයක් අද නැත. ආන්ඩුවට තුනෙන් දෙකක බලයක් තිබුණ ද ඇතැම් මන්ත්‍රීවරු සිංහල බෞද්ධ රටට හා සිංහල බෞද්ධ සංස්කෘතියට ජන්මාන්තර ව වෛර කරති. ඒ ඔවුන්ගේ කසිකබල් මාක්ස්වාදී හා ලිබරල්වාදී අධ්‍යාපනය හා පුහුණුව හේතුකොටගෙන ය. බලලෝභී දේශපාලනඥයන් ජාතික ව්‍යාපාරය නැතිකිරීමේ ප්‍රතිඵලයක් ලෙස අද සිංහල බෞද්ධයන් ආවේගශීලීව කටයුතු කිරීමත් ඊනියා සිංහල බෞද්ධ නායකත්වය වෙනත් අය විසින් මෙහෙයවනු ලැබීමත් දැකිය හැකි ය. මෙරට සිංහල බෞද්ධ රටක් වනුයේ නමින් පමණකි. සිංහල බෞද්ධ නායකයන් යැයි කියාගන්නා අය ද සිංහල බෞද්ධ සම්ප්‍රදායෙන් පිටත කටයුතු කිරීම කණගාටුදායක ය. ඇතැම් රජුන් දවස මෙරට මාඝාතය නමින් සතුන් නොමරණ නීතියක් ක්‍රියාත්මක විය. ඒ අශෝක රජු විසින් අපට ලබා දෙන ලද බෞද්ධ සංස්කෘතිය යටතේ ය. එහෙත් ඒ නීතිය අද ක්‍රියාත්මක කිරීම ප්‍රශ්නයක් වෙයි. ගව ඝාතනය නැවැත්විය හැකි නම් යහපත් ය. එහෙත් අද එය නීතිය මගින් ක්‍රියාත්මක කළ හැකි ද යන ප්‍රශ්නය අප හමුවේ ඇත. භික්‍ෂූන් වහන්සේ පාර්ලිමේන්තුවට යෑමවත් මෙවැනි ප්‍රශ්න හමුවේ සියදිවි නසාගැනීමවත් අනුමත කළ හැකි නො වේ. ජ වි පෙරමුණෙන් කැඩී ආ බොහෝ දෙනාට තවමත් ජාතිකත්වයට පැමිණීමට නොහැකි වී තිබීම කණගාටුදායක ය. අප බුද්ධිමත්ව ක්‍රියාත්මක නොවුණහොත් දහතුන අපේ උරචක්‍රමාලය වනු ඇත.

2013-06-02

නලින් ද සිල්වා

Saturday, 19 January 2013

සාවද්‍ය අධිකරණ තීන්දු

සිංහල වෙදකම තරම් දියුණු නැති බටහිර වෛද්‍ය විද්‍යාවට තවමත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ පිහිටෙන් වෛද්‍ය ක්‍ෂෙත්‍රයෙහි ආධිපත්‍යයක් ඇති නමුත් සාමාන්‍ය ජනයා (ඊනියා උගතුන් නිතර කියන වියුක්ත ජනතාව නොව) සිංහල වෙදකම, ආයුර්වේදය, සිද්ධි, යුනානි ආදී විවිධ වෙදකම් සොයා යති. පට්ටපල් බොරුවක් වූ ද, හුදු කතන්දරවලින් පමණක් සමන්විත වූ ද, ප්‍රත්‍යක්‍ෂයක් නොවූ ද, බටහිර විද්‍යාව ද එලෙසින් ම මෙරට ආධිපත්‍යය දැරුව ද සාමාන්‍ය ජනයා දෙවියන්ගෙන්, ජ්‍යොතිෂයෙන්, යකැදුරන්ගෙන් ආදී විවිධ ප්‍රභවයන්ගෙන් දැනුම ලබාගනිති. ඒ අතර ආධ්‍යාත්මිකව දියුණුවට පත් වී දැනුම ලබාගන්නෝ ද වෙති. බටහිර දැනුම බමුණු කුලයෙහි දැනුම බවට පත් වී තිබුණ ද සාමාන්‍ය ජනයා ඒ දැනුමෙහි ආධිපත්‍යය සෘජුව නො පිළිගනිති. සාමාන්‍ය ජනයා හැඳින්වීමට බණ්ඩාරනායක මහතා යොදාගත් වචනය වූයේ පොදු ජනයා යන්න ය. තමා පොදු ජන යුගයක් උදාකළ බව ඒ මහතා විශ්වාස කළේ ය. එහෙත් ඒ එසේ නො වී ය. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ආධිපත්‍යය හේතුකොටගෙන බමුණු කුලය බිඳ නො වැටිණි. බමුණු කුලය යනුවෙන් අප විසින් හඳුන්වනු ලබන්නේ බටහිරයන්ගේ වරප්‍රසාද ලැබ ඔවුන් අනුකරණය කරන්නන්, බටහිර ආර්ථිකයෙහි යම් වැදගත්කමක් හිමිකරගත්තවුන්, අධ්‍යාපනයෙන් ඉහළ තනතුරුවලට පැනගත්තවුන්, අධ්‍යාපනය හේතුවෙන් සමාජයේ ඉහළට බඩගෑමට බලාපොරොත්තුවන්නවුන්, බටහිර දැනුම කරපින්නාගත්තවුන් ආදීන් ය.එය ඉංගිරිසින් විසින් ඇතිකරන ලද කුලයකි. පනස්හයේ ජයග්‍රහණයෙන් පසුව බමුණු කුලයේ බිඳ වැටීම ගැන ලියා දහසින් බැඳි පියලි ලබාගත් මාර්ටින් වික්‍රමසිංහ මහතා බමුණු කුලය යනුවෙන් කුමන පිරිසක් හැඳින් වී දැයි නො දනිමි. ඒ මහතා සංකල්පීය නිරවුල් බවකින් හෙබි අයකු නො වී ය. කෙසේ වෙතත් අපේ නිර්වචනයට අනුව මාර්ටින් වික්‍රමසිංහ මහතා ද බමුණු කුලයට අයත්විය. බමුණු කුලයට අයත්වන්නේ නීතිඥයන් පමණක් නො වේ. බටහිර වෛද්‍යවරුද, පරිපාලන නිලධාරීහු ද, පෞද්ගලික අංශයේ ඉහළ තනතුරු දරන්නෝ ද, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු ද, ඊනියා සාහිත්‍යධරයෝ ද තවත් අය ද සමස්තයක් ලෙස බමුණු කුලයේ ඇත්තෝ වෙති.

වෛද්‍ය විද්‍යාව ඇතුළු බොහෝ ක්‍ෂෙත්‍රවල විකල්ප ආයතන තිබුණ ද, නීති ක්‍ෂෙත්‍රයෙහි ඒ එසේ නො වේ. බටහිර රෝම ලන්දේසි නීතියට විකල්ප නීති පද්ධතියක් මෙරට නැත. අසාධාරණයක් සිදු වී විට අපට යා හැකි වෙනත් තැනක් නැත. අධිකරණ නායක පදවි රාශියක් ඒ ඒ නිකායවල තිබුණ ද භික්‍ෂූන් වහන්සේ අතර ද කිවයුතු තරමේ විකල්ප නීති පද්ධතියක් නැත. අධිකරණ නායක ස්වාමීන් වහන්සේ ද උසාවිවලට වැඩම කිරීම සුලබ දර්ශනයකි. වෙනත් නීති පද්ධතියක් නොමැතිකම හේතුවෙන් බටහිර නීතිය මෙරට විශාල ආධිපත්‍යයක් දරයි. බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යය මෙරට රැකෙන්නේ බටහිර නීතිය, පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය හා ජනමාධ්‍යය හේතුකොටගෙන ය. මේ ආධිපත්‍යය රැකීම බොහෝ අවස්ථාවල නීතිය හා අණ පිළිපැදීම යන්නෙන් ප්‍රකාශ වෙයි. අධ්‍යාපනය විසින් අප පුරුදු කෙරී ඇත්තේ ඊනියා විශේෂඥයන්ට ඒ ඒ ක්‍ෂෙත්‍රයෙහි අධිකාරී බලයක් ඇති බව පිළිගැනීමට ය. අහවල් ක්‍ෂෙත්‍රයෙහි අහවල් උගතා මෙසේ කියා ඇත. එබැවින් එය නිවැරදි විය යුතු ය යන අදහස අපේ සිත්වලට කාවද්දා ඇත. ඇතැම් සිංහල ජාතිකවාදීන් අතර ද මේ මතය තිබීම කණගාටුදායක ය. බොහෝ නාගරික සිංහල ජාතිකවාදීහු බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යය පිළිගනිති. ඔවුහු අධිකරණයේ ඊනියා ස්වාධීනත්වයක් ගැන කතාකරති. අධිකරණයට වැරදි තීන්දු දීමට ස්වාධීනත්වයක් ඇත් දැයි ඔවුහු නො කියති. ඔවුන් සිතන්නේ අධිකරණය සෑමවිට ම අපක්‍ෂපාත ව නිවැරදි තීන්දු දෙන බව ද? මේ ජාතිකවාදීන් දෝෂාභියෝගය පිළිබඳ ප්‍රශ්නයේ දී අධිකරණයේ ඊනියා ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටියහ. ඔවුන් නියෝජනය කරන දේශපාලන පක්‍ෂය එහි දී මුනිවත රැකීම පුදුමයක් නො වේ. මේ සිංහල ජාතිකවාදීන්ට අවශ්‍ය දෙමළ , මුස්ලිම් ජනවර්ග අභිබවා යෑම මිස බටහිර ක්‍රිස්තියානි නූතනත්වය පරාජය කිරීම නො වේ. අද නීති විද්‍යාල ප්‍රවේශයෙහි දී සිංහල ශිෂ්‍යයන්ට විශාල අසාධාරණයක් සිදු වී ඇත. එය නිවැරදි කර වැරදිකරුවන්ට නිසි දඬුවම් පැමිණවීමට ආණ්ඩුව ක්‍රියාකළ යුතු ය. ඒ පිළිබඳ කිසිදු විවාදයක් නැත. එහෙත් ඒ සමග රෝම ලන්දේසි නීතියේ ආධිපත්‍යය බිඳීමට ද සිංහල හා අනෙක් සිසුන් එක්වී කටයුතු කළ යුතු ය. සිංහල සිසුන් එහි දී නායකත්වය දීමට සූදානම් ද? ඔවුන් දෝෂාභියෝගය ගැන කියන්නේ කුමක් ද? ඔවුහු බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ අධිකරණයේ ඊනියා ස්වාධීනත්වය රැකීම තම පරම යුතුකම ලෙස සලකත් ද?

මම නීතිය පිළිබඳ තබා ගණිතය හෝ භෞතික විද්‍යාව හෝ පිළිබඳවවත් විශාරදයෙක් නො වෙමි. භෞතික විද්‍යාව පිළිබඳ විශාරදයකු වීමට නොහැකි බව මට වැටහුණේ මා පශ්චාත් උපාධියට ඉගෙනීමට ගිය විට ය. ඉන් පෙර මා සිතා සිටියේ ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාව පිළිබඳ විශාරදයකු වීමට ය. කෙසේ වෙතත් බටහිර දැනුමට අදාළ කිසිම විෂයයක විශාරදයන් මෙරට නොමැති බව මම දනිමි. එහෙත් බමුණු කුලය එසේ නොසිතයි. ඔවුන්ට අනුව නීති විශාරදයෝ ද, වෛද්‍ය විශේෂඥයෝ ද, විද්‍යා චක්‍රවර්තීහු ද (පැරණි අරුතින් නොවේ) වෙති. පසුගිය දා රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ජලයෙහි ඇති ආසනික් බව අප කණ්ඩායම කී අවස්ථාවේ දී ඊනියා විද්‍යා චක්‍රවර්තීහු අපට දෝස්මුරයක් එල්ල කළහ. ඔවුන් කියා සිටියේ ඒ ප්‍රදේශවල ජලයෙහි ආසනික් නැති බව ය. ජලයෙහි ඇති ආසනික් හැඳිනගැනීම සඳහා විශේෂ පරීක්‍ෂණයක් කළ යුතු ය. එය ඊනියා චක්‍රවර්තීන්ගේ පොතේ නැත. ඔවුහු පොතේ නැති නිසා ආසනික් නැතැයි කියති. බමුණු කුලය අද එකහෙළා කියන්නේ ඒ ප්‍රදේශවල ජලයේ ආසනික් නැති බව ය. ඔවුහු ඊනියා විශාරදයෝ වෙති. ඔවුන්ට අනුව අපි මිථ්‍යා මතධාරීහු වෙමු. මේ ආධිපත්‍යයෙහි ප්‍රතිඵලය වී ඇත්තේ දින දෙකකට වරක් වකුගඩු රෝගියකු මිය යෑම ය. අප රැකිය යුත්තේ වකුගඩු රෝගියා හා ඔහුගේ වකුගඩුව ද නැත්නම් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ වකුගඩුව ද?

උසාවිය පාර්ලිමේන්තු තෝරාගත් කමිටුව බල රහිත කරමින් තීරණයක් දී ඇති නිසා අප එය පිළිගත යුතු ද? උසාවි දෙන තීන්දු වාස්තවික හෝ අපක්‍ෂපාති හෝ නොවන බව පැහැදිලි ය. එසේම ඇතැම් විට ඒවා නිවැරදි නො වේ. පහළ උසාවියක තීන්දුවකට විරුද්ධව ඉහළ උසාවියකට අභියාචනා ඉදිරිපත් කරන්නේ පහළ උසාවියේ තීන්දුව වැරදි බව යමකු විශ්වාස කරන බැවිනි. නීතිය පිළිබඳව හෝ කරුණු පිළිබඳ ව හෝ වැරදි සිදුවිය හැකි බව උසාවිය ද පිළිගනියි. එහෙත් ප්‍රශ්නය වනුයේ ඉහළම උසාවිය වැරදි තීන්දුවක් දුන්නොත් සාමාන්‍ය පුද්ගලයකුට කළහැකි දෙයක් නොමැති වීම ය. දෝෂාභියෝගය පිළිබඳ අභියාචනාධිකරණයට මුලින් ම ඉදිරිපත් වූ පෙත්සම් මගින් ඉල්ලා සිටිනු ලැබුයේ තෝරාගත් කමිටුවට රිට් ආඥාවක් පමුණුවන ලෙස ය. දෙවැන්නෙන් ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉල්ලා සිටියේ තෝරාගත් කමිටුවේ තීන්දුව බල රහිත කරන ලෙස ය. අභියාචනාධිකරණය පළමු පෙත්සම්කරුවන් වෙනුවෙන් තීන්දුවක් දීමට පෙර ව්‍යවස්ථාවේ 107 (3) වගන්තිය පිළිබඳ අර්ථනිරූපණයක් කරන ලෙස ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. පළමුවෙන් ම සඳහන් කළ යුත්තේ 1953 පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පණතේ 3 වැනි ඡෙදය යටතේ පාර්ලිමේන්තුවේ විවාද, කතා, කාර්යයන් ආදිය පිළිබඳව කිසිම උසාවියක ප්‍රශ්න කිරීමට ඒවා දෝෂාභියෝගයකට ලක්කිරීමට නොහැකි බව ය. තවද මෙරට රිට් ආඥා නිකුත්කිරීම පිළිබඳව තවමත් අනුගමනය කරන බිරිතානි සම්ප්‍රදාය අනුව කිසිම උසාවියකට පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් රිට් ආඥාවක් නිකුත්කළ නොහැකි ය. ඒ හේතු දෙක උඩ වුව ද සියළු පෙත්සම් නිෂ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණයට බල කරනු ලැබී ය. එහෙත් අභියාචනාධිකරණයටත් ශ්‍රෙෂ්ඨාධිකරණයටත් වෙනත් අයටත් වෙනත් න්‍යාය පත්‍ර තිබූ බව පැහැදිලි ය. ජනවාරි 8 වැනි දාට පෙර තෝරාගත් කමිටුව බලරහිත කිරීමේ අවශ්‍යතාවක් විය.

ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ ව්‍යවස්ථා අර්ථනිරූපණයකි. 107 (3) ව්‍යවස්ථාව අනුව දෝෂාභියෝගය සාධනය කෙරෙන සංසදයට අවශ්‍ය දෑ සැලසීම පාර්ලිමේන්තුව අනිවාර්යයෙන් කළ යුතු ද? ප්‍රශ්නයට පිළිතුර ඔව් හෝ නැහැ හෝ යන්න ය. අර්ථනිරූපණය ද එමණ ය. එහෙත් ශ්‍රෙෂ්ඨාධිකරණය එයට වඩා දුර යයි. පළමුවෙන් ම එය සාවද්‍යව තෝරාගත් කමිටුව චෝදනා පිළිබඳ තීන්දුව දෙන සංසදය බව කියයි. දෙවනුව පාර්ලිමේන්තුව එකී කමිටුවට නීතියෙන් අවශ්‍ය දෑ සලසා නැති බව පවසයි. තුන්වැනුව ස්ථාවර නියෝග මගින් අධිකරණ බලතල තෝරාගත් කමිටුවට දිය නොහැකි බව පවසයි. මෙය අර්ථනිරුපණයක් නොව ව්‍යවස්ථාව සංගත නොමැති බවට දෙන ලද තීන්දුවකි. 80 (3) වැනි ව්‍යවස්ථාව යටතේ ශ්‍රෙෂ්ඨාධිකරණයට සම්මත වී ඇති පණත්වල අනුකුලතාව, සංගතබව පිළිබඳ තීන්දු දිය නො හැකි ය. හතරවැනුව ස්ථාවර නියෝග 78 (අ) සඳහන් වී ඇත්තේ විවාද රීති යටතේ බව කියයි. එයින් අදහස් කරන්නේ 78 (අ) විවාදවලට අදාළ දෙයක් පමණක් බව ය. එහෙත් 78 ස්ථාවර නියෝගය ඇත්තේ විශේෂ කරුණක් කීමට ය. ජනාධිපතිතුමා ඇමතිවරුන් විනිසුරුවන් ආදීන් සම්බන්ධ කරුණු ඒ සඳහා ම ගෙනෙන විශේෂ යෝජනාවක් මගින් විවාද කළ යුතු බවත් සංශෝධන ආදිය මගින් ඒ නෙකෙරිය යුතු බවත් කියැවෙයි. එයින් කර තිබෙන්නේ ද විනිසුරුවන් ආරක්‍ෂා කිරීම ය. 78 හි එසේ සඳහන් කිරීමෙන් පසු විනිසුරුවන්ට එරෙහිව ගෙනෙන දෝෂාභියෝග පවත්වන්නේ කෙසේ ද යනුවෙන් 78 (අ) යටතේ සඳහන් කිරීම ඉතාමත් සුදුසු ය. පස්වැනුව කියන්නේ ස්ථාවර නියෝග මගින් අවශ්‍ය සැලසුම් කර ඇති නමුත් නීති මගින් ද එසේ සැලසුම් කිරීමට බාධාවක් නැති බව ය. බාධාවක් නැති වුවත් 107 (3) හි නීති මගින් හෝ ස්ථාවර නියෝග මගින් හෝ යැයි කියා තිබිය දී නීතියෙනුත් සැලසුම් කිරීම අවශ්‍ය නැති බව සාමාන්‍යයෙන් ඇරිස්ටෝටලීය න්‍යාය තේරෙන කාහට වුවත් අවබෝධ වෙයි. හයවැනුව ශ්‍රෙෂ්ඨාධිකරණය පුන පුනා කියන්නේ ස්ථාවර නියෝග මගින් අධිකරණ බලතල තෝරාගත් කමිටුවට පැවරීම 4 (ඇ) ව්‍යවස්ථාවට පටහැණි බව ය. එබැවින් එය නීතියට ද පටහැණි යැයි ශ්‍රෙෂ්ඨාධිකරණය පවසයි. එහෙත් මේ බොහෝමයක් අර්ථනිරුපණ නොව 80 (3) ව්‍යවස්ථාවට පටහැණීව අවුරුදු 34කට පෙර සම්මත ව ක්‍රියාත්මක වන ව්‍යවස්ථාව එම ව්‍යවස්ථාවට එකඟ නොවේ යැයි තීන්දු කිරීමකි. දෝෂාභියෝග පිළිබඳ අධිකරණ බලතල 4 (ඇ) අනුව 107 (2) මගින් ඇත්තේ ජනාධිපතිතුමාට හා පාර්ලිමේන්තුවට මිස තෝරාගත් කමිටුවට නො වේ. තෝරාගත් කමිටුව එහි දී යොදාගැනෙන යාන්ත්‍රණයක් පමණකි. එය පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළ යුතු ය. එයට කළ හැක්කේ චෝදනා සාධනය වී ඇත්දැයි වාර්තා කිරීම ය. පාර්ලිමේන්තුව ඒ වාර්තාව පිළිගැනීමට බැඳී නැත. පාර්ලිමේන්තුවට වුව ද කළ හැක්කේ අදාළ විනිසුරුවරයාට එරෙහි චෝදනා සාධනය වී ඇත් ද නැත් ද යන්න ජනාධිපතිතුමාට දැන්වීම පමණකි. තීන්දුව දෙන්නේ ජනාධිපතිතුමා ය. අප කිහිප වතාවක් කියා ඇත්තේ 107 (2) මගින් තීරණය හා තීන්දුව වෙන් කෙරී ඇති බව ය. මේ ලිපිය ලියන මොහෙත වන තුරුත් තීන්දුව තබා තීරණයවත් ගෙන නැත. නැති තීන්දුවක් නිෂ්ප්‍රභා කිරීමේ ගෞරවය අභියාචනාධිකරණයට හිමි වෙයි. තමන්ට දී ඇති වරමෙන් පිටගොස් ශ්‍රෙෂ්ඨාධිකරණය වැරදි තීන්දු කිහිපයක් ම දී පාර්ලිමේන්තු බලතල පවරාගැනීමට උත්සාහ කරයි. පාර්ලිමේන්තුව මේ වැරදි තීන්දු ක්‍රියාත්මක කිරීමට බැඳී නැත.

Saturday, 7 July 2012

නූතනත්වයට පරිසරය රැකීමට බැහැ

තවත් පරිසර සම්මේලනයක් රියෝ ද ජෙනෙයිරෝ නගරයේ පැවැත්විණි. එය බටහිර විද්‍යාඥයන්ගේ නොව එයට ඉහළ මට්ටමක වූ රාජ්‍ය නායකයන්ගේ සම්මේලනයකි. එම නගරයෙහි පළමු රාජ්‍ය නායක පරිසර සම්මේලනය පවත්වා අවුරුදු විස්සක් ගිය තැන පවත්වන ලද මේ රැස්වීම ද තවත් රැස්වීමක් පමණක් විය. බටහිර විද්‍යාඥයන්ගේ ද, ලොවෙහි රාජ්‍ය නායකයන්ගේ ද පරිසර රැස්වීම් තව තවත් ඉදිරියේ දී පැවැත්වෙනු ඇත. එහෙත් ඒ සියල්ලක් ම ප්‍රතිඵල රහිත රැස්වීම් පමණක් බවට පත්වනු ඇත. අවුරුදු පන්සියයකට පමණ පෙර ඇරඹි බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට පරිසරය රැකිය නො හැකි ය. අවුරුදු විසිපහකට අධික කාලයක් තිස්සේ අප විසින් දිවයින හා විදුසර පුවත්පත්වලට ලියන ලද ලිපි මගින් මේ බව හෙළි කෙරී ඇත. මේ ඇතැම් ලිපි පරිසරය හා බටහිර ආකල්ප නමින් පොතක් ලෙස පළ වී ඇත. පරිසරය පිළිබඳ අපේ අදහස් ද පසුගිය අවුරුදු විසිපහේ විකාශය වී ඇත. එහෙත් ඒ විකාශය වී ඇත්තේ එක් දිශාවකට ය. අද අපට මේ සියල්ල පිළිබඳ ප්‍රවාද ඇත. ඒ ප්‍රවාද බටහිර ප්‍රවාද මෙන් ම ප්‍රත්‍යක්‍ෂ නො වේ. ඒ ප්‍රවාද ද උද්ගමනය මත පදනම් වෙයි. එබැවින් ම බටහිර ප්‍රවාදවල මෙන් ම එහි ද වැරදි තිබිය හැකි ය. ප්‍රත්‍යක්‍ෂ යනු අත්දැකීම්වත් සංජානනවත් ඊනියා පරීක්‍ෂණවලින් ලබාගන්නා ප්‍රතිඵලවත් නොවන බව ද අවධාරණය කළ යුතු ය. අපේ පැරණි බෙහෙත් වට්ටෝරු අවසානයෙහි අත්දුටුවයි ප්‍රත්‍යක්‍ෂ යැයි සඳහන් වන්නේ ඒ දෙක දෙකක් නිසා ය. ඒ කෙසේ වෙතත් අපේ ප්‍රවාද ගෙතෙන්නේ ගහණයක පොදු ගුණය මෙන්ම සාමාජිකයන්ගේ විශේෂිත ගුණ ද සලකන සිංහල බෞද්ධ චින්තනයක ය. එය බටහිර ප්‍රවාද ගෙතෙන ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට හාත්පසින් ම වෙනස් ය. අපේ පරිසර ප්‍රවාදය සමස්තයක් ලෙස ගත්කල පහත සඳහන් අයුරින් ප්‍රකාශ කළ හැකි ය.

ලෝකයේ විවිධ රටවල විවිධ කාලවල ජීවත් වූ මිනිස්සු සාධාරණ වශයෙන් (පොදුවේ) ගත්කල පරිසරය සමග සහජීවනයෙන් විසූහ. අපි එයට සතා සිවුපාවා සර්පයා ගහකොළ සමග වූ ගතික සමතුලිතතාවක් යැයි කියමු. සමහර විට ඇතැම් මිනිසුන් පිරිසක් පරිසරය සමග සහජීවනයෙන් තම පැවැත්ම සකසාගත නොහැකි වී විනාශ වන්නට ද ඇත. එහෙත් ඒ සංස්කෘතීන් යම් ප්‍රදේශයකට පමණක් සීමා වීම නිසා සෙසු ලෝකයාට එයින් වූ හානිය එතරම් බරපතළ නො වී ය. දැනට අවුරුදු පන්සියයකට පමණ පෙර පළමුව ඉතාලියේ නව චින්තනයක් ගොඩනැගීම ආරම්භ විණි. එය යුරෝපයේ එවකට පැවති කතෝලික චින්තනයට විරුද්ධව බිහිවිණි. ඕනෑම චින්තනයකට දර්ශනයක්, ආකල්ප හා ඥාන විභාගයක් වෙයි (මගේ ලෝකය බලන්න). දැනුම නිර්මාණය කෙරෙන්නේ චින්තනයක ය. දේශපාලන ව්‍යුහ, ආර්ථික සම්බන්ධතා හා සංස්කෘතිය ද ගොඩ නැගෙන්නේ චින්තනයක් පදනම් කර ගනිමිනි. එහෙත් එයින් කියැවෙන්නේ සියල්ල චින්තනයට ඌනනය කළහැකි බව නොවේ. දැනුම ඇතුළු සංස්කෘතිය, ආර්ථික ව්‍ය්‍රහ, දේශපාලනය විසින් චින්තනය ද වෙනස් කෙරේ. ඒ චක්‍රීය සම්බන්ධයක් වෙයි. ඉතාලියේ පහළොස්වැනි සියවසේ දී සිදුවූයේ පාප්වහන්සේගේ දේශපාලන හා සංස්කෘතික ආධිපත්‍යයට එරෙහිව ව්‍යාපාරයක් ඇරඹීම ය. එහෙත් එය ඉතාලියේ විසූ පොදු ජනයා විසින් නොව විශේෂිත කලාකරුවන් අතින් ඇරඹුණේ පාප්වහන්සේට එරෙහිව කරන ලද අරගලයක් ලෙස නො වේ. මිනිසුන්ට පොදු ගුණ මෙන් ම විශේෂිත වූ ගුණ ද ඇත. අපි එකිනෙකා සමග සමාන වන අතර එකිනෙකාගෙන් වෙනස් වෙමු. වත්මන් බටහිර විද්‍යා දැනුම එකී පොදු ගුණ මිස විශේෂිත වූ ගුණ නොසලකයි. එබැවින් ම එහි වැරදි වැඩිය.

කලාකරුවෝ සාමාන්‍යයෙන් අන් අයට වඩා සංවේදී වෙති. ඔවුහු න්‍යාය මත, සංකල්ප මත, ප්‍රවාද මත පිහිටා තම කෘති බිහි නොකරති. අපට සුපුරුදු බසින් කිවහොත් ඔවුහුූ මොළයට වඩා හදවත යොදා ගනිති. ඔවුන්ට ඊනියා සංකල්ප, ප්‍රවාද, ලබාදෙන්නේත් සම්ප්‍රදායන් නිර්මාණය කෙරෙන්නේත් දාර්ශනිකයන් විසිනි. දාර්ශනිකයෝ හදවතට වඩා මොළය යොදා ගනිති. අනෙක් පිරිස සාමාන්‍යයෙන් මේ කොටස් දෙක අතර වෙති. මිචලාංජිලෝ් පාප් වහන්සේට විරුද්ධ වී යැයි කිව නො හැකි ය. එහෙත් ඔහු අතින් 1505 දී ඉතාලියේ පිරෙන්ට්සි් (ෆ්ලොරන්ස්) හි බිහි වූ ඩේවිඩ් ප්‍රතිමාව නූතනත්වය සංකේතවත් කරන්නක් ලෙස මම දකිමි. ලෙනාදෝ දා විංචි තරමක විප්ලවකාරි පුද්ගලයෙක් විය. අදත් දා විංචි කෝඩ් මගින් ආන්දෝලනයට ලක්වන්නේ ඔහු විසින් ගොඩ නගනු ලැබූ ක්‍රිස්තු චරිතය යැයි සිතමි. මොවුන් විසින් අරඹන ලද නව චින්තනය අපි ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය ලෙස හඳුන්වමු. 1517 දී මාටින් ලූතර් පාප් වහන්සේට අභියෝග කළේ මේ චින්තනය මත පිහිටමිනි. ඉන්පසු දහහත්වන සියවසේ මුල් භාගයේ දී ගැලීලියෝ ගැලීලි වියුක්තය මත පදනම් වී නිරීක්‍ෂණ කිහිපයක් මගින් උද්ගමනය ඔස්සේ සාධාරණීකරණය කරන අයුරු පෙන්වා දුන්නේ ය. ඉතාලියෙන් එංගලන්තයට ගිය නව චින්තනය නිව්ටන් හා ෂේක්ස්පියර් බිහිකිරීමට දායක විය. එංගලන්තයේ අටවැනි හෙන්රි රජු පාප් වහන්සේගේ ආධිපත්‍යයෙන් මිදී තමන් ම නායකයා වූ එංගලන්ත සභා පල්ලිය ඇති කර මාටින් ලූතර් ඇරඹි ගමන් මගේ ඉදිරියට ගියේ ය. එංගලන්තයේ ක්‍රොම්වෙල් එරටට ම ආවේණික වූ විප්ලවයක් මගින් රජුගේ බලය හීන කළේ ය. රජුන්ට හා රදළයන්ට තිබූ බලය අවම කර පාර්ලිමේන්තුව බලය ලබාගත්තේ රජු ද රදළයන්ගෙන් සමන්විත ඊනියා සාමි මන්ත්‍රී මණ්ඩලය ද තබාගනිමිනි. එංගලන්තයෙන් ප්‍රංශයට ගිය නව චින්තනය රජුන් හා වැසියන් ගිලටීනයට බිලිකළ භීෂණ යුගයක් ඔස්සේ ජනරජයක් පිහිටුවීමට දායක විය. ප්‍රංශයේ බිහි වූ ඊනියා ආලෝකනනය ප්‍රංශයන්ට ආවේණිකව නව චින්තනය යොදා ගැනීමක් විය. හේතුවාදය (හේතුඵල ධර්මතාව නොවේ), කාටීසීය තාප්පය පදනම් කරගත් දෙකාර්තේගේ දර්ශනය ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ ම වර්ධනයන් විය. විසිවැනි සියවසේ ක්වොන්ටම් භෞතිකය සූත්‍රගත කිරීම, බටහිර ගණිතයේ අසම්පුර්ණ බව පෙන් වූ ගර්ඩ්ල් ප්‍රමේය හා අවසානයේ දී පශ්චාත්නූතනවාදය මගින් පෙන්නුම් කරන ලද්දේ බටහිර නූතනත්වයේ කඩා වැටීම ය. එහෙත් බෝර්වත් ගර්ඩ්ල්වත් තමන් නූතනත්ව රාමුවෙන් පිටතට පැන ඇති බව නොදත්තේ මිචලාංජිලෝ තමන් කතෝලික චින්තනයෙන් පිට පැන්න බව නොදත්තාක් මෙනි. අද බටහිරට ප්‍රශ්නය වී ඇත්තේ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය කඩාවැටෙන මුත් නව චින්තනයක් ගොඩනැගීමේ හැකියාවක් නොමැතිවීම ය.

මිනිස්සු ද අනෙක් සත්තු ද ලෝභ, ද්වේෂ, මෝහ සිත් ඇතිව ම උපදිති. ඔවුන් සියළු දෙනාට ම ඉන්ද්‍රිය පිනවීමේ අවශ්‍යතාව අඩු වැඩි වශයෙන් පවතී. අනෙක් සතුන් ට ලෝකය දැනුවත් ව වෙනස් කළ නොහැකි වුවත් මිනිසුන්ට එසේ කළ හැකි ය. එය යම් පාලනයකට යටත් නොකළහොත් ඉන් අත්වන්නේ විනාශයකි. බොහෝ සංස්කෘතීන්හි මිනිසුන්ගේ ඉන්ද්‍රිය පිනවීමේ අවශ්‍යතාව හීලෑ කෙරෙයි. යුදෙව් චින්තනයේ ද කතෝලික චින්තනයේ ද මිනිසා ලෝකයේ ස්වාමියා ලෙස සැලකුණ ද ඉන්ද්‍රිය පිනවීමට අනුබල නොදෙන ලදී. එහෙත් ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ඒ එසේ නො වී ය. ලොව බිහි වූ චින්තන අතරෙන් මිනිසුන්ගේ ලෝභය ද්වේෂය මෝහය වැඩිකිරීමට වඩාත් ම, සීමාරහිතව මෙන්, අනුබල දෙන චින්තනය ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය විය හැකි ය. එයට වැඩියෙන් අනුබල දෙන චින්තන තිබිණි නම් අදාළ සංස්කෘතීන් මේ වන විට විනාශ වී ගොස් ය. එහෙත් ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය හා බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය අනෙක් චින්තන හා සංස්කෘතීන් මෙන් එක් පෙදෙසකට සීමා නොවී ලෝක ආධිපත්‍යය දරමින් විනාශකාරීව ලෝ පුරා පැතිරී ඇත. (අපට හෙට සිංගප්පූරුවක් වී අනිද්දා ඇමරිකාවක් වීමට අවශ්‍ය එබැවිනි. දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ ද මේ ආණ්ඩුව ද කිසිදා සිංහල බෞද්ධ චින්තනය මත පදනම් නො වී ය.) ධනපති ක්‍රමය ලෝභය හා ද්වේෂය පදනම් කර ගනිමින් හා ඒ තව තවත් වර්ධනය කරගැනීමට අනුබල දෙමින් එකී චින්තනයෙහි බිහි වී ඇති අතර බටහිර විද්‍යාව මෝහය මත වැඩියෙන් පදනම් වෙයි. වාස්තවික යථාර්ථයක් ඇතැයි ගැනීමට වඩා තවත් මෝහයක් වේ ද? ඊනියා කාර්මික විප්ලවය, ඉලෙක්ට්‍රොනික විප්ලවය ආදිය විසින් මිනිස්සු කුසීත ලෝභ ද්වේෂ සහගත පිරිසක් බවට පත් කෙරෙති. තමා ස්වභාව ධර්මයේ ස්වාමියා යන ආකල්පයෙන් මිනිසා ස්වභාව ධර්මය තම සුඛ විහරණය සඳහා යොදා ගනිමින් සීඝ්‍රයෙන් පරිසරය විනාශ කරමින් ස්වභාව ධර්මයෙන් ඇත් වෙයි. බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම ද ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ ම ඵල වෙයි. මිනිසා විසින් මිනිසා සූරාකනු ලැබීම යුරෝපීය වහල් සමාජයේ ද යුරෝපීය වැඩවසම් සමාජයේ ද තිබී ඇත. ධනපති ක්‍රමය මූලික වභයෙන් ඒ සමාජ ක්‍රමවලින් වෙනස් වන්නේ ශ්‍රමය සූරාකෑම නිසා නොව, අනෙක් සතුන් ඇතුළු ස්වභාව ධර්මය මිනිස් සුඛ විහරණය සඳහා සූරාකෑම හේතුවෙනි. එසේ පරිසරය සූරා කෑමෙන් ගොඩ ගසා ගැනෙන ඊනියා ධනය මිනිසා විසින් මිනිසා සූරාකනු ලැබීමෙන් පුද්ගලයන් හා රාජ්‍ය කිහිපයකට සීමා වෙයි. පාරිභෝගික සමාජය යනු පරිසරය හා ස්වභාව ධර්මය තම පරිභෝජනය සඳහා සූරාකන සමාජයකි. එහි අප විසින් සංතෘප්ත කෙරිය යුතු අවශ්‍යතාවලට සීමාවක් නැත. බටහිරයන් තම සුඛ විහරණය සඳහා අනාගත පරම්පරාව උගස් තබා ඇත.

මිනිසා විසින් සූරාකනු ලැබීම සඳහා ස්වභාව ධර්මය මවා (මැවී) ඇතැයි සැලකෙන චින්තනයකට යා හැකි දුර සීමාසහිත වෙයි. අද එය එහි ගමනාන්තයට සීඝ්‍රයෙන් පැමිණෙමින් ඇත. ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට, යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට හා ධනපති ක්‍රමයට පරිසරය සූරාකෑමෙන් තොරව, පරිභෝජනයෙන් තොරව පැවැත්මක් නැත. අද මුදාහැරී ඇත්තේ මිනිසුන්ගේ ඊනියා නිර්මාණ ශක්තියක් නොව මිනිසුන්ගේ අසීමිත ලෝභය, ද්වේෂය හා මෝහය ය. ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි එහි කිසිදු පාලනයක් සිදු නො වේ. ඒ චින්තනයට හා යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට කිසිදා පරිසරය ආරක්‍ෂා කළ නො හැකි ය. එසේ ආරක්‍ෂා කිරීම ම එහි විනාශයට හේතු වෙයි. එබැවින් රියෝ ද ජෙනෙයිරෝහි දී රාජ්‍ය නායකයන්ට ව්‍යාජ සම්මුතීන් කිහිපයකට එළඹීම හැරෙන්නට පරිසරය රැකගැනීමේ සම්මුතියකට එළඹිය නො හැකි ය. ඊනියා ධරණීය සංවර්ධනය යනු බටහිරයන්ගේ ව්‍යාජ සංකල්පයක් පමණකි. ධරණීය සංවර්ධනයක් විසින් පරිසරය සමග ගතික සමතුලිතතාවක් පවත්වාගනු ලැබිය යුතු ය. එහෙත් එසේ කළහොත් බටහිර සංවර්ධනය කඩා වැටෙයි. මාක්ස්වාදීන් අද පරිසරයේ ව්‍යාජ ආරක්‍ෂකයන් වීමට දැඟලුව ද මූලික ව කතෝලික චින්තනයෙහි බිහි වී ඇති මාක්ස්වාදයෙහි විශ්ලේෂණය කෙරී ඇත්තේ ශ්‍රමය මිස පරිසරය සුරාකෑම නො වේ. ඔවුන්ට අවශ්‍ය ධනය සාධාරණයැයි කියන ආකාරයකින් බෙදාහැරීම මිස පරිසරය සූරාකෑම නැවැත්වීම නො වේ. ලෝකය අර්බුදයකට ගොස් ඇත්තේ ශ්‍රමය නොව පරිසරය සූරාකෑම නිසා ය. සිංහල බෞද්ධ චින්තනයෙහි නම් මේ අර්බුදයට විසඳුම් ඇත.

Sunday, 8 May 2011

අන්තිම සටනට සැරසෙමු

අවුරුදු පන්සියයකට අධික අඳුරු යුගයක අවසාන වසර කිහිපයට අපි ළඟා වී සිටින්නෙමු. මුළු ලෝකයට ම සමස්තයක් ලෙස ගත්කල 1492 දී ද  ලංකාවට 1506 දී ද ඇරඹි මෙම අඳුරු යුගයෙහි අපේ ස්වාධීනත්වය යටගියේ ය. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය මුළු ලෝකයෙහි ම ආධිපත්‍යයට පැමිණියේ ය. එහෙත් අද බටහිරයන්ගේ ආධිපත්‍යය ගිළිහී යන අයුරු බටහිරයන්ට ම දැනෙන තත්වයකට පත් වී ඇත. එබැවින් ඔවුහු අද වියරුවෙන් හැසිරෙති. ඇමරිකාව එංගලන්තයේ ද සහාය ඇතිව ලිබියාවට පහර දෙන්නේ ද බෑන් කි මූන් බටහිරයන්ගේ වුවමනාවට ඊනියා විද්වත් කමිටු වාර්තාවක් හරහා මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ මහතුන් ද රණවිරුවන් ද ඊනියා යුද්ධාපරාධි චෝදනා ඔස්සේ දංගෙඩියට දැක්කීමට උත්සහ ගන්නේ ද හැකිනම් ගිලිහෙමින් පවතින බලය රැකගැනීමට ය. එහෙත් ඔවුන්ට කළහැකි දේ අල්ප ය. 1492 සිට බටහිර නායකත්වය දැරූ ස්පාඤ්ඤය, පෘතුගාලය, එංගලන්තය ආදී රටවල් සමග සංසන්දනය කරන විට අද එහි නායකත්වය දරණ ඇමරිකාව නාගරික ධනවත් මැරයකු පමණකි. ඇමරිකාවට රාජ්‍ය තන්ත්‍රික කුසලතා නොමැත. ඔවුන් දන්නේ නග්න ආක්‍රමණය පමණ ය. ඇමරිකාවට බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙහි නායකත්වය ලැබුණේ ඒ සඳහා පුහුණු වීමෙන් හා පරිවාස කාල පරිච්ඡෙදයක් ගෙවීමෙන් නො වේ. ඊනියා දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසුව ආර්ථික හා ආයුධ ශක්තියෙන් ඉදිරියට පැමිණ සිටි ඇමරිකාව දේශපාලන වශයෙන් පරිණත බවකට පත් නොවී සිටිය ද බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙහි නායකත්වයට පත්විණි. ඒ සමග දේශපාලන වශයෙන් ද බටහිර ක්‍රිස්තියානි නූතනත්වය කඩා වැටෙන්නට පටන් ගත්තේ ය. එහි දැනුමි පද්ධතියේ පදනමෙි බොල් බව හෙළි වී දැනට අවුරුදු අසූවකට වඩා කල් ගත වී ඇත. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය සමග අන්තිම සටන සඳහා සැරසීමට කාලය පැමිණ ඇත. අපි ඒ සටනින් ජය ලබන්නෙමු.

අන්තිම සටනට සැරසියවි යනු සමසමාජ ගීතයෙහි පද කිහිපයකි. සමසමාජ පක්‍ෂයට අවශ්‍ය වූයේ ලෝක ධනේශ්වරයට එරෙහිව සියළු ජාතින් එක් වී අන්තිම සටනට සැරසීමට ය. ඔවුන්ට අන්තිම සටනින් පසුව ඊනියා කමිකරු පංති රාජ්‍ය පිහිටුවීමෙි සිහිනයක් විය. එහෙත් එය සදාකාලික සිහිනයක් පමණක් බවට පත්වූයේ මාක්ස්වාදයේ හා එහි කියැවෙන පංති සටනේ බංකොළොත් බව හෙළිදරවු කරමිනි. අදට යෙදෙන මැයි දිනයෙහි ද ඇතැමුන් සිහිනයෙන් අවදි නොවී අන්තිම සටනට සැරසීම සඳහා පෙළපාළි යනු ඇත. එහෙත් මෙවර මැයි දිනය ලංකාවේ පැවැත්වෙන්නේ ඊනියා පංති සටනක් පෙරදැරි කරගෙන නොව ජාතිකත්වය මුල් කරගෙන රොබට් බ්ලේක් හිලරි ක්ලින්ටන් ආදීන්ගේ යුද්ධාපරාධ චෝදනාවලට අභියෝග කරමිනි. මින් මතු අප මැයි දිනය පැවැත්විය යුත්තේ බෙහෙතකටවත් සොයාගත නොහැකි කම්කරු පංතියක් මුල්කරගෙන නොව ජාතිකත්වය පදනම් කරගනිමිනි. බෑන් කි මූන් ට ඊනියා විද්වතුන් ලියා දුන් වාර්තාව පිටුපස ඉන්නේ බ්ලේක් හා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඔහුගේ සගයන් කිහිප දෙනකු බව අපි දනිමු. එය දරුස්මාන් වාර්තාවක් නොව බ්ලේක් වාර්තාවකි. එහූ බ්ලේක් හෙට අනිද්දා ලංකාවට එන්නේ ජනාධිපතිතුමාට ඇති ආදරයකින් නම් නො වේ. ඔහු නොතැකීමට ජනාධිපතිතුමා ක්‍රියාකරන්නේ නම් මැනවි. සතුරන් සමග අතට අත දී ආචාර සමාචර පැවැත්වීම මෙරට දේශපාලනයට හිතකර නො වෙි යැයි අපි කියමු. බ්ලේක් පමණක් නොව ඔහුගේ කසිකබල් වාර්තාව ද නොසළකා හැරීමටත් එයට ප්‍රතිචාර නොදැක්වීමටත් අප වග බලාගත යුතු ය. අපට තිබෙන එක ප්‍රශ්නයක් නමි වාර්තාව දැමීමට තරම් සුදුසු කුණු කූඩයක් නොමැති වීම ය. ඕනෑම කුණු කූඩයක් වාර්තාවට වඩා වටී. බටහිරයන් පෙන්වන තරම් ඔවුන් ශක්තිමත් නොමැති බැව් අපි දනිමු. බටහිරයන්ගේ අනුග්‍රහයෙන්, ආධාරයෙන් හා ආශිර්වාදයෙන් ක්‍රියාත්මක වූ කොටි සංවිධානයට කෙතරමි ශක්තියක් ඇත් දැයි බටහිරයෝ සහ ඔවුන්ගේ ගැත්තෝ කීවෝ ද? බටහිරයෝ සිංහල බෞද්ධයන්ට එරෙහි ව කොටි පෝෂණය කර රැකීමට  ඕනෑම දෙයක් කිරීමට සිතා සිටියහ. එහෙත් අඩු තරමෙන් නන්දිකඩාල් කලපුවටවත් ආධාර එවීමට ඒ වෙනුවෙන් ම ඒ දිනවල ලංකාවට එවනු ලැබූ මූන්ගේ ගෝලයා වූ නම්බියාර් හරහාවත් බටහිරයන්ට නොහැකි විය. ඔවුන් අද වුවත් හැකි නම් ලිබියාවට මෙන් ලංකාවට පහර දෙනු ඇත. එහෙත් මේ වන විට තුන් ලෝකයෙහි කෙසේ වෙතත් අඩුම තරමෙන් අපේ ලෝකයෙහි ආධ්‍යාත්මික ශක්තියෙහි වෙනසක් සිදු වී ඇත. බටහිරයන්ගේ යුද්ධ ශක්තිය හමුවෙි අප භාවනාවෙන් අපේ ආධ්‍යාත්මික ශක්තිය තව තවත් වර්ධනය කරගත යුතු ය. අපට බටහිරයන් පැරදවිය හැකි ය. මෙහි දී ඉන්දියාව ගැන ද වචනයක් කිව යුතු ය. ඔවුහු බොර දියේ මාළු බාති. වාර්තාව මුවාවෙන් ඔවුන් තැත් කරන්නේ දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය ද ඉක්මවා යන බලතල බෙදීමකට ය. බටහිර අනුග්‍රහයෙන් දෙමළ සංධානය ද වාර්තාවෙි එල්ලී තවත් බලය ලබාගැනීමට වෙහෙසෙයි. ඒ කිසිවකට කිසිසේත් ම ඉඩ දිය යුතු නො වෙි.  

අප බටහිරයන් පරාජය කළ යුතු යැයි කීම මෙරට උගතුන් යැයිි සම්මත ඇතැමුන් අනුමත නොකරන බව අපි දනිමු. ඔවුන්ට අනුව ඒ කළ නො හැකි ය. බටහිරයන්ගෙන් උගත් ඔවුන්ට ගැති මොවුන් ආවේගයන්ට යට නො වී බුද්ධිමත්ව තීරණ ගැනීමට අපට කියනු ඇත. එහෙත් අප ඉහතින් සඳහන් කර ඇත්තේ ආවේගයෙන් පැමිණි නිගමන නො වේ. අප ද නිගමනවලට පැමිණෙන්නේ කල්පනා කිරීමෙන් පසුව ය. වෙනස ඇත්තේ අප කල්පනා කරන ක්‍රමයෙහි හා බටහිර අධ්‍යාපනයෙන් හිස උදුම්මාගත්් ඊනියා උගතුන් කල්පනා කරන ආකාරයෙහි ය. ඊනියා උගත්තු බටහිරයන්ගේ ප්‍රවාද හා න්‍යාය අනුව නිගමනවලට පැමිණෙති. අපි අපේ ප්‍රවාද හා න්‍යාය අනුව නිගමනවලට පැමිණෙන්නෙමු. ඇතැම් උගතුන් මෙන් බටහිරයන්ගේ ප්‍රවාදවලට සරිලන ආකාරයෙන් අපේ සංස්කෘතිය හා දහම විවරණය කිරීමෙි අවශ්‍යතාව ද අපට නැත. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය විසින් පසුගිය අවුරුදු පන්සියයක අඳුරු කාලයෙහි කරනු ලැබ ඇති අපරාධ විස්තර කිරීමට ජීවිත කාලය ද ප්‍රමාණවත් නො වේ. ඔවුන් කර ඇති ප්‍රධාන ම අපරාධයක් නම් ඊනියා උගතුන් බිහි කිරීම ය. එහෙත් ඒ අපේ පැත්තෙන් බැලූ කල ය. බටහිරයන් ද ඔවුන් අනුකරණය කරන ඊනියා උගතුන් ද කියනු ඇත්තේ එහි අනෙක් පැත්ත ය. මේ ඊනියා උගතුන්ගෙන් මෙරටට සිදු වී ඇති සේවය කුමක් දැයි අපි ප්‍රශ්න කරමු. දහනවවැනි සියවසේ දී මෙරට දෙමළ ජාතිවාදය බිහි කෙරුණේ සිංහල බෞද්ධ සංස්කෘතිය හැකි නමි නැතිකර බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යය තහවුරු කිරීමට බව මේ උගත්තු කිසි දිනෙක තේරුම් ගනිත් ද?

බටහිරයන්ගේ අපරාධවල එක් ප්‍රතිඵලයක් ලෙස රජරට ගොවීහු වකුගඩු රෝගයෙන් පෙළෙති. ඔවුන්ගෙන් ඇතැමෙක් මිය යති. එහෙත් බටහිර වෛද්‍ය විද්‍යාවට ඒ සඳහා ප්‍රතිකාර නො මැත. එපමණක් නො වෙි. රජරට වකුගඩු රෝගයට හේතුව කුමක් ද කියාවත් ඔවුහු නො දනිති. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ තවත් ආයුධයක් පමණක් වූ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හා වෙනත් එවැනි ලෝකයන්ගේ සංවිධානවලින් ලැබෙන ණය යොදා ගනිමින් මෙරට ජනයා රෝගීන් බවට පත්කිරීමට අමතර ව ණයකාරයන් ද බවට පත්කරවමින් ඇතැමි ඊනියා උගතුන්, විද්‍යාඥයන් යැයි කියාගන්නා අය කර ඇති පර්යේෂණවලින් පසුගිය අවුරුදු විස්සක පමණ කාලයක් තිස්සේ අප දැනගෙන ඇත්තේ කුමක් ද? අවුරුදු විස්සක් මේ උගතුන්ට දැනගැනීමට නොහැකි වූ දෙය අපි කැලණිය විශ්වවිද්‍යාලයේ දී අවුරුද්දකට අඩු කාලයක දී දැන ගත්තෙමු. එපමණක් නොව රෝගයට ප්‍රතිකාර ද අපි දනිමු. අප ඒ දැනගත්තේ අපේ විද්‍යාවෙනි. අපට එහි හැංගීමට කිසිවක් නැත. අපේ කණ්ඩායම අපේ විද්‍යාවෙන් දැනගත් දෙය අපට බටහිරයන්ගේ මහන්තත්ත ඊනියා පංචෙන්ද්‍රිය ගෝචර විද්‍යාවේ බසට ද පරිවර්තනය කළ හැකි ය. මේ උද්ධචිචයන්ට එය විඳ දරාගැනීමට නො හැකි ය. එබැවින් ඔවුහු අපට අවළාද නගති. ඔවුන්ට කළ හැක්කේ ද එපමණ ය. තකතීරුවන් වූ මොවුහු අහුමුළුවල අපේ විද්‍යාවට ගරහමින් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට සේවය කරති. මා කලකට පෙර බටහිර විද්‍යාව කටගාගත් මේ උද්ධචිචයන්ගෙන් පංචෙන්ද්‍රිය ගෝචර ඉලෙක්ට්‍රෝන ඉල්ලූ නමුත් ඔවුන් මේ වන තුරු ඒ සපයා නැත. 

රජරට වකුගඩු රෝගයට හේතුව පානීය ජලය යන බටහිර මහප්‍රාණයෙන් හැඳින්වෙන බොන වතුරෙහි (බටහිරයන්ගේ තකතීරුකම කෙසේ ද යත් අද බොන වතුර මෙන් ම වාතය ද වස වී ඇත) ආසනික් වස තිබීම ය. විශේෂයෙන් ම ලිංවල ආසනික් ප්‍රමාණය අධික ය. ලිංවලට මෙන් ම වැව්වලට ද ආසනික් එකතුවන්නේ බටහිරින් ආනයනය කරන කෘ’ෂිරසායනික ද්‍රව්‍ය හේතුවෙනි. ඉනුදු කෘමිනාශකවලින් ඉහළ ආසනික් ප්‍රමාණයක් ලැබේ. ආසනික් එකතුවීම නිසා මිය යන්නේ කෘමීන් පමණක් නො වෙි. මිනිස්සු ද මිය යති. රජරට මෙන් ම දිවයිනේ අනෙක් පළාත්වල ද ජලයට ආසනික් එකතු වී ඇත. රජරට ලිංවල කිවුල හේතුවෙන් ඒ වතුර බොන ජනතාවගේ වකුගඩුවල ආසනේටි තැන්පත් වෙයි. එමගින් පිළිකා විශේෂයක් නිසා වකුගඩු නරක් වෙයි. අනෙක් පළාත්වල ද ආසනික් විෂ ශරීරගත වීමක් වෙයි. ඒ පළාත්වල දියවැඩියාව ආදී රෝග ඒ හේතුවෙන් ද වැළඳෙයි. අද, විශේෂයෙන් ම 1977 -80න් පසුව ජනතාවට විවිධ රෝග වැළඳීමට ඉන්පසු වැඩි වැඩියෙන් භාවිතා වූ කෘෂි රසායනික ද්‍රව්‍ය ද හේතු වී ඇත. මේ වස විස නැතිව අපට හෙළ ගොවිකමෙන් ආහාර සපයා ගත හැකි ය. අපි කැලණියේ දී ඒ අත්හදා බැලුවෙමු. පෘථිවිය ජීවත්වීමට නුසුදුසු තැනක් බවට පත්කළෝ ඉන්ද්‍රිය පිනවීමෙි නොසංසිඳෙන ආශාවෙන් පෙළෙන බටහිරයෝ ය. ඔවුන්ට පරිසරය රැකිය නො හැකි ය. ඔවුන් අපට තව තවත් වස විස දෙනු ඇත. අපේ විනාශය අපේක්‍ෂා කරන්නෝ බ්ලේක් හා පිරිස පමණක් ම නො වෙති. බටහිර උගත්තු ද එහි දී එක්වෙති. අපි මෙි අඳුරු යුගය නිමා කරමු. අප එය කරන්නේ ප්‍රධාන වශයෙන් ම ආධ්‍යාත්මික ශක්තිය යොදා ගනිමිනි. අපේ අන්තිම සටන ලේ සොළවන විප්ලවයක් නො වේ.(2011/05/01)

Saturday, 16 April 2011

ඇමරිකන් මානව හිතවාදී බෝමිබ

බටහිර ක්‍රිස්තියානි නූතනත්වය පරාජය වන සමයෙහි එයට නායකත්වය දුන් රට ලෙස ඇමරිකන් එක්සත් ජනපද හෙවත් ඇමරිකාව ඉතිහාසගත වනු ඇත. අප විසින් බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ලෙස හැඳින්වෙන සමාජ ප්‍රපංචය ඇරඹුණේ පහළොස්වැනි සියවසේ අගභාගයේ දී ඉතාලියෙහි ය. බටහිරයන් විසින් පුනරුදය නමින් හැඳින්වෙන මෙි ප්‍රපංචය පිරෙන්ටිසි යනුවෙන් ඉතාලි බසින් කියැවෙන, ඉංගිරිසින් ෆ්ලොරන්ස් නමින් හඳුන්වන නගරය ආශ්‍රිතව පටන්ගැනී ඇත. මුල දී චිත්‍රකලාව හා ප්‍රතිමා ශිල්පය වටා ගොඩ නැගුණු මෙි ක්‍රියාදාමය පසුව (බටහිර) විද්‍යාව හා තාක්‍ෂණය දෙසට ද විහිදිණි. ගැලීලියෝ, නිවිටන්, (ජේමිස්) වොටි ආදීහු බටහිර විද්‍යාවෙහි හා තාක්‍ෂණයෙහි පතාක යෝධයෝ වූහ. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙහි නායකත්වය දකුණු යුරෝපයේ ඉතාලියෙන් ක්‍රමයෙන් උතුරට ගියේ ය. අවසානයේ දී එහි ප්‍රධානත්වය එංගලන්තයට හිමිවුව ද කලා ශිල්ප අතින් ප්‍රංශය ද දර්ශනය අතින් ජර්මනිය ද නායකත්වය දැරී ය. පසුව කියැවුණු රටවල් දෙකම කතෝලික රටවල් බව ද ජර්මනියෙහි චින්තනය ඉතා මෑතක් වන තෙක් ම කතෝලික වූ බව ද අමතක නොකළ යුතු ය. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට තමන්ගේ ම වූ හරිහමන් දර්ශනයක් කිසි දා ගොඩනගා ගැනීමට නො හැකි විය. අනුභූතිවාදය හා එහි ප්‍රයෝජ්‍යවාදය වැනි විවිධ ප්‍රභේද විසින් පෙන්නුමි කෙරෙන්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ දර්ශනයේ දරිිද්‍රතාව වෙයි.

මෙි බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ දර්ශනය ගැන කතාකිරීමෙි අවස්ථාවක් නො වෙි. එහෙත් ඒ සඳහන්කිරීම අවශ්‍ය වන්නේ ඉංගිරිසින්ගෙන් පසු බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ නායකයන් වූ ඇමරිකානුවන්ට ද ඉංගිරිසින්ට මෙන් ම ගැඹුරු දර්ශනයක් නොමැති බව කීමට ය. මෙි නොගැඹුරු දර්ශනය ද මුළු ලෝකය ම අගාධයට ගෙන යෑමට දායක වී ඇත. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ප්‍රධාන ලක්‍ෂණ අතර පෞද්ගලිකත්වය ඉස්මතු කිරීම, ඉන්ද්‍රිය පිනවීම, ස්වාභාවික සමිපත් සූරාකෑම, මනුෂ්‍යා ස්වභාව ධර්මයෙහි ඊනියා ස්වාමියා වීම, ස්වභාව ධර්මය මිනිසා වෙනුවෙන් නිර්මාණය කර ඇතැයි උපකල්පනය කිරීම, වියුක්ත චින්තනය, රේඛීය චින්තනය ආදිය වෙයි. මෙි සියල්ල ග්‍රීක, යුදෙවු, ක්‍රිස්තියානි චින්තනවල එකතුවකින් නිර්මාණය වූ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි ප්‍රතිඵලයකි. මෙි චින්තනය එක් රැයකින් බිහි වී යැයි අපි නො කියමු. පහළොස්වැනි සියවසේ ඇරඹුණු ක්‍රියාදාමය විසිවැනි සියවසේ පළමු කාර්තුව සමග උචිචස්ථානයකට පත්විණි. ඉන්පසු එහි කඩාවැටීම ඇරඹිණි.

බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සංස්කෘතියට මුල දී අභියෝගයක් වූයේ යුදෙවු සංස්කෘතිය ය. ෂේක්ස්පියර් යුගයෙහි මෙි සංස්කෘතීන් දෙක අතර අරගලයක් වූ බව පැහැදිලි වෙයි. කෙසේ වෙතත් මෙි සංස්කෘතීන් අතර වූ සාම්‍යයක් ද හේතුවෙන් ඒ මිශ්‍ර වී යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය බවට පත් වී ඇති බව පෙනී යයි. ඉබෙිරියානු අධිරාජ්‍යයෙන් පසු අද බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට එරෙහි ව දැඩි ආක්‍රමණශීලී සංස්කෘතියක් ලෙස ඉස්ලාමි සංස්කෘතිය ඉදිරියට පැමිණ ඇත. එය පදනමි වී ඇත්තේ අරාබි ඉස්ලාමි චින්තනයෙහි ය. එහෙත් අරාබි ඉස්ලාමි චින්තනය ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට යුද්ධමය වශයෙන් හැරෙන්නට විශාල අභියෝගයක් නො වෙි. බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට අභියෝගයක් වන්නේ යුද්ධ ශක්තියට ආධ්‍යාත්මික ශක්තිය ද එකතුකළ ගැමුණු රජතුමාගේ සිංහල බෞද්ධ චින්තනය බව බටහිරයෝ ද දනිති. බටහිරයන් හා ඔවුන්ගේ හෙන්චයියන්ට සිංහල බෞද්ධයන් මෙන් ම ගැමුණු රජු ද නයාට අඳුකොළ මෙන් වන්නේ එබැවිනි. මාවිල්ආරු මෙහෙයුම මනුෂ්‍යත්වයේ මෙහෙයුමක් වූයේ ගැමුණු රජු අනුගමනය කරමිනි. ගැමුණු රජු බෞද්ධයන්ට යුද්ධ කළ හැකි බව කියා දුන්නේ ය. එතුමා නොවන්නට ඉන්දියාවෙි, ඇෆ්ගනිස්ථානයේ, ඉන්දුනීසියාවෙි මෙන් ම ලංකාවෙි ද බුදුසසුනක් නොතිබෙන්නට විශාල ඉඩක් විය. ගැමුණු රජුට පහරදුන් හෙන්චයියෝ, ඊනියා යුද්ධයට එරෙහිව උද්ඝෝෂණය කළ අමන සිංහල බෞද්ධ විරෝධියෝ, ප්‍රභාකරන් පැරදවීමට පෙර ගැමුණු රජුගේ උපාසකකම ඉස්මතුකිරීමට උත්සාහ කළ ව්‍යාජ සාම වෙළෙන්දෝ, අද හීන්සූරුවෙි සතපහක් නොවටිනා දාර්ශනිකයන් වී සිංහල බෞද්ධයනට අළුත් බයිලා කීමට උත්සාහ කරති. අපි එය පසුව වෙන ම මාතෘකාවක් ලෙස ගනිමු. අද බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට එරෙහිව යුද්ධ ශක්තියක් ඇති ප්‍රධානම සංස්කෘතිය ඉස්ලාමි සංස්කෘතිය වෙයි. පැහැදිලිව ම බටහිරයන්ට ඉස්ලාමි සංස්කෘතිය පැරදවීමට අවශ්‍ය වී ඇත.

ලිබියාවට එරෙහිව තම “හමුදාව එරටට යැවීමට ඇමරිකාව තීරණය කර ඇත්තේ මෙි සංස්කෘතික ගැටුම ද සිත්හි දරාගෙන ය. එය හුදෙක් තෙල් ගැටුමක් බවට පත්කරන්නෝ ආර්ථික ඌනිතවාදීහු ය. ඔවුහු සංස්කෘතිය වුවමනාවෙන් ම අමතක කරති. ලිබියාවෙි ඇත්තේ මුළු ලොවෙි ම තෙල්වලින් සියයට තුනක පමණ ප්‍රමාණයකි. මෙි සියයට තුනට පමණක් මෙතරමි විනාශයක් කිරීමට ඇමරිකානුවන්ට අවශ්‍ය වී ඇත්තේ ඇයි? කර්නල් ගඩාෆිට විරුද්ධව ලිබියාවෙි සටන් මෙහෙයවන්නන්ට අල් ක්වයිඩා සංවිධානයෙන් ආධාර ලැබෙන බව දැන් ප්‍රසිද්ධ කරුණකි. ගඩාෆිට විරුද්ධව කැරලි ගසන්නන්ට ඇමරිකාවෙි සහාය ද ලැබෙන්නේ කෙසේ ද? ඔසාමා (බින් ලේඩන්) හා (බැරැක්) ඔබාමා එකම පැත්තේ සිටින්නේ කෙසේ ද? මෙය ග්‍රීක යුදෙවි ක්‍රිස්තියානි චින්තනයේ හා බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ලක්‍ෂණයකි. බටහිරින් පෘතුගීසීන් ස්පාඤ්ඤයන්, ප්‍රංශයන්, ඉංගිරිසින්, ලන්දේසීන් පමණක් නොව කුඩා රටක් වූ බෙල්ජියමෙන් පිටත්වූවන්් ද අප රටවලට පැමිණි නැවිවල යුද්ධභටයන් මෙන් ම පූජකයෝ ද සිටියහ. යුද්ධභටයන් අවි පෙන්වා මරණීය තර්ජන එල්ල කර අපේ මුතුන්මිත්තන් විවිධ ක්‍රිස්තියානි නිකායන්ට බඳවාගැනීමට උත්සාහ කළ අතර පූජකයෝ යුද්ධභටයන්ට දොස් කියමින් ඒ මුතුන්මිත්තන්ව ම ඒ නිකායවලට ම බඳවා ගත්හ. ඇතැමි විශ්වවිද්‍යාල පීඨවල පැවැත්වෙන නවක වධයේ දී ද මෙවැනි ම වූ දෙයක් සිදුවෙයි. ජ වි පෙරමුණේ ඇතැමුන් නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වධ හිංසා පමුණුවමින් ඒ සිසුන් තම දේශපාලනයට අවනත කරගැනීමට උත්සාහ ගන්නා අතර ඒ දේශපාලන පක්‍ෂයෙහි ම තවත් පිරිසක් නවක සිසුන් නවක වධයෙන් ගලවාගෙන තම දේශපාලන අරමුණු සඳහා යොදාගැනීමට උත්සාහ දරති. ජ වි පෙරමුණ ද ව්‍යාජ ජාතිකත්වයක් සමග වුව ද ක්‍රියාත්මක වන්නේ කතෝලික චින්තනයෙන් බිහි වූ මාක්ස්වාදී දර්ශනය මත පදනමි වී බව තේරුමි ගත යුතු ය.

ඔබාමා බලයට පැමිණියේ ඇමරිකානුවන් යුද්ධයෙන් අයින්කිරීමට පොරොන්දු දෙමිනි. ඔබාමා ඒ පොරොන්දුව ඉටුකිරීමට කටයුතු කෙළේ නමි ඇමරිකාවෙි බලවත් යුදෙවුවන් හා ක්‍රිස්තියානීන් ඔබාමා අයින් කිරීමට තිබිණි. ඔසාමා බින් ලේඩන්ව කරලියට ගෙනාවෙි ඇමරිකානුවන් බව අද බොහෝ දෙනා දනිති. ඇමරිකානුවන් ඒ ඒ අයට උපකාර කරන්නේ තමන්ට අවශ්‍ය දේ කරවාගැනීමට මිස හුදු මානව දයාවකින් නො වෙි. ඇතැමි විට ටික කලකින් පසුව එසේ උදවු ලබාගත්තෝ ඇමරිකාවට විරුද්ධව කටයුතු කරති. ඒ ඔවුන්ට ඇමරිකානුවන්ගේ ව්‍යාජත්වය හෙළිවීමෙන් පසුව ය. එහෙත් සමහරු දිගින් දිගට ම ඇමරිකානුවන් සමග ඇති සමිබන්ධතා පවත්වති. තවත් කොටසක් ඇමරිකාවට බොරු විරුද්ධත්වයක් දක්වමින් ඇමරිකාවෙන් හොර රහසේ ආධාර ලබා ගනිති. අල් ක්වයිඩා සංවිධානය එවැනි සංවිධානයක් විය හැකි ද? අල් ක්වයිඩා සංවිධානය පිළිමවලට විරුද්ධ මුස්ලිමි සංවිධානයක් බව සැබෑ ය. මුස්ලිමුන් ඉන්දියාවෙි දී ද ඉන්දුනීසියාවෙි දී ද බුදු සසුනට එරෙහිව ක්‍රියාකළ බවත් සෑබෑ ය. එහෙත් අල් ක්වයිඩා සංවිධානයට ඇෆ්ගනිස්ථානයේ බුදු පිළිම වහන්සේ විනාශ කිරීමට අද ඇති අවශ්‍යතාව කුමක් ද? ඒ පිටුපස බටහිර ක්‍රිස්තියානි නූතනත්ව බලවෙිග වෙි ද? ඒ විනාශ කරන ලද බුදු පිළිම වහන්සේ නැවත තනාදීමට බටහිරයන් ලෝක බැංකුව හෝ වෙනත් ආයතනයක් හෝ මගින් ඉදිරිපත් වන විට බටහිර හමුදා භටයන්ගන් සිංහලයන් මුදාගත් පූජකයන් සිහි ගැන්වෙි ද? ලංකාවෙි නැගෙනහිර පළාතේ බෞද්ධ සිද්ධස්ථාන එකින් එක අල්ලා ගැනීමට මුස්ලිමි ජනයා ක්‍රියාකරන්නේ අවසාන වශයෙන් ගත්කල කාගේ අවශ්‍යතාවට ද? එය ඉස්ලාමි අවශ්‍යතාවක් මෙන් ම බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ද අවශ්‍යතාවක් විය හැකි ය.

අද ඇමරිකාවට පක්‍ෂ වූ ද ගැති වූ ද සවුදි අරාබිය වැනි මුස්ලිමි රටවල් මෙන් ම ඇමරිකාවට විරුද්ධ ඉරානය ලිබියාව ආදී රටවල් ද වෙයි. ඇමරිකාවට අවශ්‍ය බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට විරුද්ධ වූ ද ඉස්ලාමි සංස්කෘතියට අයත් වූ ද රටවල් මර්දනය කිරීම ය. එහි තෙල් ආකර පාලනය කිරීමෙි අවශ්‍යතාව ද වෙයි. එහෙත් තෙල් එකම අවශ්‍යතාව නො වෙි. ඇමරිකාවට පොටක් පෑදුනහොත් ඔවුන් ඉරානය ද ආක්‍රමණය කරනු ඇත. තෙල් ආකර බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට ගැති මුස්ලිමි රටවල් සතුව තිබීම බටහිරයන්ට ප්‍රශ්නයක් නො වෙි. බටහිරයන්ට අවශ්‍ය වන්නේ තෙල්වලින් ලැබෙන ආදායම ඇමරිකාවට ඇත්තට ම විරුද්ධ මුස්ලිමි රටවල් අතට පත්වීම වැළැක්වීම ය. එසේ වැළැක්වීම සඳහා ඇමරිකානුවන් ඇතුළු බටහිරයන් නොකරන මානව විරෝධී ක්‍රිියාවක් නැත. එහෙත් ඔවුන් ඒ සෑම ක්‍රියාවක ම නිරත වන්නේ මානව හිතවාදයේ නමිනි. ගඩාෆි තම රටෙි වැසියන්ට බෝමිබ දමන්නේ යැයි කියමින් බටහිරයෝ ලිබියාවට බෝමිබ දමති. බටහිරයන්ගේ බෝමිබවලින් අහිංසකයන් මිය නොයන්නේ යැයි බටහිරයන් ද ඔවුන්ගෙන් මුදල් ලබමින් මානව හිතවාදය විකුණන හෙංචයියන් ද සිතනු ඇත. එහෙත් ඇමරිකන් වුවත් බෝමිබ යනු බෝමිබම ය. මානව හිතවාදී බෝමිබ යනුවෙන් බෝමිබ වර්ගයක් ඔබාමාටවත් තැනීමට නො හැකි ය. ඔබාමා හා ඔසාමා අතර ඇති වෙනස බස (බ හා ස) පමණක් ද?
(2011/04/04 - දිවයින)

Sunday, 3 April 2011

ජපන් සුනාමිය

ජපානය පමණක් නොව මුළු ලොව ම කමිපාවට පත්කරමින් ඒ රටට කඩා වැදුණු සුනාමිය ඉතිහාසයේ සඳහන් විනාශකාරීම සුනාමියක් වෙයි. අවුරුදු කිහිපයකට ඉහත අප රටට කඩා වැදුණු සුනාමියේ දී අපි සුනාමිය යන්න ජපන් වදනක් බව දැන ගතිමු. සුනාමියට එලෙස නමක් තැබීමට ජපන් ජාතිකයන්ට සිදු වූයේ එය ඒ රටට අහඹු සිද්ධියක් නොවන නිසා බව පැහැදිලි ය. එහෙත් පසුගියේ සතියේ ඇති වූ සුනාමිය ජපානයට ද ඔරොත්තු නො දෙන්නක් වී ඇත. එහි ප්‍රතිඵල ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙහි ප්‍රතිඵලවලට ද වඩා විනාශකාරී බව දැන් හෙළිදරවු වී ඇත. ජපන් සුනාමිය ද මහාසයුරේ සිදු වූ භූමිකමිපාවක් හේතුවෙන් හටගැනී ඇත. භූමිකමිපා සිදුවන්නේ හුදෙක් භෞතික හේතු මත පමණක් යැයි අපි සිතමු. අප එසේ සිතනවාට වඩා අපට එසේ සිතන්නට පුරුදු කෙරී ඇත. මෙරට සිටින බටහිර භූවිිද්‍යාඥයන් ද භූමිකමිපා ඇතිවන්නේ කෙසේ දැයි අපට කියා දෙනු ඇත. එහෙත් ඔවුන් කියා දෙනු ඇත්තේ ඔවුන් දන්නා විද්‍යාවට අනුව ය. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය පදනමි කරගෙන ඇති වී තිබෙන විද්‍යාවෙන් සියල්ල තේරුමි ගත හැකිය යන මුළාව අප ප්‍රතික්‍ෂෙප නොකළහොත් අප වැඩිකල් නොගොස් මහත් ව්‍යසනයකට ගොදුරු වනු ඇත.

ජපන් සුනාමිය හේතුවෙන් එරට න්‍යෂ්ටික බලාගාර කිහිපයකට මහත් හානි සිදු වී ඇත. එය චර්නොවිල් ව්‍යසනයට වඩා භයානක ය. ජපානයේ විදුලි බල ශක්තිය නිපදවීම අඩුවීම හේතුවෙන් එරට වැසියන්ට තමන් හුරු පුරුදු වී තිබූ ජීවන රටාවෙන් වෙන් වීමට සිදු වී ඇත. භූමිකමිපාව හා සුනාමිය හුදෙක් ස්වාභාවික හේතු මත පමණක් ඇතිවිණි යැයි උපකල්පනය කළ ද න්‍යෂ්ටික බලාගාර විනාශවීම නිසා සිදුවන විනාශය ස්වභාව ධර්මයට පමණක් භාර දී පැත්තකට වීමෙි හැකියාවක් අපට නැත. න්‍යෂ්ටික බලාගාර ඉතා පැහැදිලිව ම බටහිර විද්‍යාවෙි හා තාක්‍ෂණයේ ප්‍රතිඵලයකි. මෙහි දී පඬියන් තමන්ට සුපුරුදු බටහිර ගැති බවින් තම ව්‍යාජ පාණ්ඩිත්වය විදහා දැක්වීමට න්‍යෂ්ටික බලාගාරවල ඊනියා හොඳ පැත්ත ගැන මෙන් ම නරක පැත්ත ද පෙන්වනු ඇත. ඔවුන් හැමදාම ගන්නා පිහිය එළියට ඇද එය මිනිසකු මැරීමට ද යොදාගත හැකි වුවත් අප පිහි පාවිචිචිය අත්නොහරින බව පෙන්වනු ඇත. බොහෝ දේවල හොඳ මෙන් ම නරක ද ඇති බව පෙන්වීමට බටහිර ගැති පඬියන් අවශ්‍ය නො වෙි. පිහිය නිපද වූ දිනයේ සිට අද දක්වා පිහියෙන් ඇන මරනු ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව දැනගැනීමට සමික්‍ෂණයක් කිරීම පඬියන්ට ම භාර දෙමු.

මිනිසුන්ට න්‍යෂ්ටික බලාගාර අවශ්‍ය වන්නේ වැඩිපුර බල ශක්තිය නිපදවා ගැනීමට ය. මිනිසුන් වැඩි වැඩියෙන් බල ශක්තිය නිපදවීමට උත්සාහ දරන්නේ ඇයි? තණ්හාව, ලෝභය ආද්‍රිය හැරෙන්නට එයට දිය හැකි වෙනත් පිළිතුරක් වෙි ද? බටහිර තාක්‍ෂණය මිනිසුන්ගේ තණ්හාව වැඩි කිරීමට කටයුතු කරන බව රහසක් විය නො හැකි ය. බටහිර තාක්‍ෂණය බටහිර විිද්‍යාවෙන් හෝ බටහිර විද්‍යාව බටහිර තාෂණයෙන් හෝ වෙන්කළ නොහැකි ය. එක් ආකාරයකින් ගත්කල බර කරත්තයට බැඳි ගොනුන් දෙදෙනකු මෙන් බටහිර විිද්‍යාව හා බටහිර තාක්‍ෂණය බැඳී ඇත. අපි බර කරත්තයේ නැගී අපට අවශ්‍ය තැනකට ගොනුන් දක්කන්නේ යැයි සිතමු. අපට යෑමට අවශ්‍ය තැන කුමක් ද යන්නත් බටහිර විිද්‍යාවට හා තාක්‍ෂණයට අවශ්‍ය අප කුමන තැනකට ගෙන යෑමට ද යන්නත් අතර ගැටුමක් ඇතැයි මම නො සිතමි. බරකරත්තයට බැඳ ඇත්තේ අපට අවශ්‍ය ගොනුන් ය. මෙහි දී අප යන්න යෙදීමෙන් වැරදි අදහසක් ඇතිකර ගත යුතු නො වෙි. අපි, එනමි ආසියාවෙි අප්‍රිකාවෙි රටවල ජනතාව කරත්තයේ වාඩි වී යමු. එහෙත් කරත්තය දක්කන්නේ අප නො වෙි. කරත්තයට ගොනුන් බැඳ ගත්තේත් අප නො වෙි. ගොනුන් බැඳ ගත්තේත් කරත්තය දක්කන්නේත් බටහිරයන් ය. එපමණක් නොව අප කරත්තයට බලෙන් පටවාගත්තේත් ඔවුන්ම ය.

පසුගිය අවුරුදු පන්සියක පමණ කාලයක බටහිරයෝ බරකරත්තයේ ගමන්මග තමන්ට අවශ්‍ය පරිදි නියම කර ගනිති. ඔවුහු නව දැනුමක් නිර්මාණය කළහ. ඒ දැනුම බටහිර ග්‍රීක යුදෙවි ක්‍රිස්තියානි චින්තනය මත පදනමි වෙයි. ඔවුහු නව ජීවන ක්‍රමයක් හඳුන්වා දුන්හ. ඉන්ද්‍රියන් පිනවීමට මිනිසුන් පොළඹවන, සාමූහිකත්වය වෙනුවට පෞද්ගලිකත්වය ඉස්මතු කරන, වියුක්ත චින්තනය මත පදනමි ව දැනුම නිර්මාණය කරන, රේඛීය න්‍යායක් (තර්කයක්) ඔස්සේ නිගමනවලට පැමිණෙන, මිනිසා ස්වභාව ධර්මයෙහි ස්වාමියා බවට පත්කිරීමට උත්සාහකරන, අධර්මිෂ්ට සමාජයක් නිර්මාණය කළහ. කැලෑ කපන්නන් ඉක්මනින් ධනවතුන් වන්නාක් මෙන් ස්වභාවධර්මයට හානිකර ආර්ථිකයක් ඉක්මනින් වැඩී ගියේ ය. බටහිරයෝ එය දියුණුව ලෙස නමි කළහ. ඒ ඊනියා දියුණුව සමග මිනිස්සු ආධ්‍යාත්මික ව පිරිහුණ හ. එසේ පිරිහුණු බටහිරයන්ගේ නොපණත්කමිවලට දඬුවමි දීමට අද ස්වභාව ධර්මය පියවර ගනිමින් සිටියි.

එහෙත් අවාසනාවකට බටහිරයන් විසින් අප බලහත්කාරයෙන් කරත්තයට පටවා ගනු ලැබ ඇත. කරත්තය අධර්ම මාවතේ ගමන් කරන විට අපට ද කරත්තය සමග යෑම මිස වෙනත් ඊනියා විකල්පයක් නැත. අපට අවශ්‍ය නමි කරත්තයෙන් බැස ගිය හැකි ය. එහෙත් අපේ අවශ්‍යතාව තීරණය කරන්නේ කවු ද? අපට කරත්තයෙන් බැසයෑමට කරත්තය දක්කන සුද්දා ඉඩ දෙයි ද? වැඩිම වුවහොත් කරත්තය දක්කන සුද්දා අප මැරෙන සේ කරත්තයෙන් තල්ලුකර දැමීමට තර්ජනය කරනු ඇත. ඇතැමි රටවලට බටහිරයන් ආර්ථික ආදී විවිධ සමිබාධක පැමිණවීම ගැන සිතා බලන්න. සුද්දාගේ මරණීය තර්ජනවලට බිය නොවී අපට කරත්තයෙන් බැසගත හැක්කේ පළමුව අපට බටහිර දැනුම පරාජය කිරීමට හැකිවුවහොත් පමණකි.

බෝධිසත්වයෙන් වහන්සේ සිදුහත් කුමරු ලෙස උපන් අවස්ථාවෙි දී මිහිතලය කමිපා වූ බව පොතපතෙහි සඳහන් වෙයි. ඒ කමිපාවෙන් කිසිවකු මියගිය බව සඳහන් නො වෙි. එසේම උන්වහන්සේ බුද්ධත්වයට පත් වූ දින ආදී වශයෙන් තවත් දින කිහිපයක එලෙස ම මිහිතලය කමිපා වූ බව අපි අසා ඇත්තෙමු. පඬියන් ඒ විශ්වාස නොකරනු ඇත. ඔවුන්ගේ අධර්මිෂ්ට කසිකබල් විද්‍යාවෙි භෞතික නොවන හේතු මත භූමිකමිපා නො සිදුවෙයි. එහෙත් භෞතික නොවන හේතු මත වැසිවැසීමි, භූමිකමිපා, නියඟ ආදිය ඇතිවන බව අපේ සංස්කෘතියෙහි සඳහන් වෙයි. එවැනි භූමිකමිපා කෙසේ වෙතත් වැසිවැසීමි, නැතිවීමි ආදිය ගැන අත්දැකිමි කිහිපයක් මට ද ඇත. පඬියන් ඇතැමිවිට මෙහි දී ඊනියා මිථ්‍යා මත විශ්වාසකිරීම හේතුවෙන් මට දැනට මා දරණ විද්‍යා පීඨාධිපති ධුරයෙන් අස්වීමට කියනු ඇත. මා එම ධුරයෙන් අස්වන්නේ සම්‍යක්දෘෂ්ටික බලවෙිගවලට අවශ්‍ය වූ දිනක මිස මිථ්‍යාදෘෂ්ටික පුහු පඬියන්ට අවශ්‍ය වූ විටක නො වෙි. පඬියන් මා එසේ අස්වන්නේ නැතිනමි භෞතික නොවන හේතු මත වැසිවස්සා පෙන්වන ලෙස මට අභියෝග කරනු ඇත. එයට ඇත්තේ එක් පිළිතුරක් පමණකි. රට අධර්මයෙන් ධර්මයට පත්වු විට එවැනි වැසි ඔවුන්ට ද දැනෙන පරිදි වසිනු ඇත. එය විද්‍යාව නොවෙි යැයි ද මගේ කියමන ඊනියා විද්‍යා දාර්ශනික කාල් පොපර්ගේ අසත්‍යකරණයට ලක්කිරීමට නොහැකි ප්‍රස්තුතයක් යැයි ද පඬියන් කියනු ඇත. මා එවිට ඔවුන්ට අභියෝග කරන්නේ පොපර්ගේ අසත්‍යකරණයට ලක්කළ හැකි එකදු විද්‍යා ප්‍රවාදයක් වුවත් ඉදිරිපත් කිරීමට ය. පඬියන්ගේ අවාසනාවකට බටහිර විද්‍යාව, එය ක්‍රියාත්මකවන ආකාරය, එහි දර්ශනය ආදිය ගැන පමණක් නොව එහි යටත්විජිතවාදී ආධිපත්‍යය ගැන ද සුළු දැනීමක් මට ද ඇත. අප පඬියන්ට කියන්නේ ඔවුන් බොහෝ දෙනකුට ඉගැන්වීමට නිිදහස් අධ්‍යාපනය නාමයෙන් මෙරට දුගී දුප්පත් ජනතාව අනේක දුක් පීඩා විඳ මහත් පරිත්‍යාග කර ඇති බවත් පොපර්් හෝ වෙනත් සුද්දකු (සුදු බටහිරයකු) හෝ කියා ඇති කියමන් උදුරා දක්වමින් තම ව්‍යාජ පාණ්ඩිත්‍යය ප්‍රදර්ශනය කිරීමට පෙර දිනපතා සුද්දන්ගේ දැනුමෙන් බැටකන ඒ අහිංසක ජනතාවගේ සංස්කෘතියේ ඇති දෙවො වස්සතු කාලෙන ගාථාව මතක් කරගන්නා ලෙසත් ය. දෙවො වස්සතු කාලෙන යන්න නැවතත් ක්‍රියාත්මක කිරීමට අපි පඬියන්ට කන් නොදී රට ධාර්මික කිරීමට පියවර ගනිමු.

ජපන් සුනාමිය ගැන අපි කණාගාටුවෙමු. මරණ සංඛ්‍යාව දැනටමත් එකොළොස්දහස පසුකර ඇති අතර ඉදිරියේ දී මුහුණ පෑමට සිදුවන බලශක්ති අර්බුදය හමුවෙි ජපානය තවත් අසරණ වනු ඇත. එහි ප්‍රතිඵල අපට දැනෙනු ඇත්තේ ජපානය දෙන ආධාර කපා දැමීමට ඉඩ ඇති බැවිනි. බටහිර රටවල් මාෂල් සැලැස්ම වැනි ක්‍රියාමාර්හයක් අනුගමනය කර ජපානය ගොඩගැනීමට කටයුතු කරාවි යැයි බොහෝ දෙනකු සිතනු ඇත. එසේ නැතහොත් ජපානයේ ස්වශක්තිය මත පදනමි වී නැගිටීමට උත්සාහ කරනු ඇතැයි සිතනු ඇත. එහෙත් ඔවුන්ගේ අවාසනාවට ඒ යුගය පසු වී ඇත. අද එවැනි විභවයක් ලෝකයට නැත. ඊනියා ලෝක යුද්ධවලට මැදි වී ලෝකය අසරණ බවට පත්කළ රටවලට හා බටහිර ක්‍රිස්තියානි නූතනත්ව යටත්විජිතවාදයෙන් ලොව දුගී බවට පත්කළ රටවලට ඒ ක්‍රමය ඔස්සේ තවත් අනාගතයක් ඉතිරි වී ඇතැයි නො සිතමු. මෙි එළඹ ඇත්තේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ අවසාන වටයයි. ජපානය ආසියාතික රටක් වුව ද බටහිරට තම කවුළු විවෘතකර බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට යටවිය. මළගිය ඇත්තන්ට හා මළවුන්ගේ අවුරුදු දාට නව අර්ථකථන දීමට අපට සිදුවනු ඇත. අප රටෙි ද බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ආදීනව අපට නැවතත් වෙනත් කෝණයකින් වැඩිකල් නොගොස් ම කතාකිරීමට සිදුවනු ඇත. බටහිරයන් පොහොර, කෘමි නාෂක, වල් නාෂක ආදිය සමග වස විස අපට එවන බව පැහැදිලි ය. බටහිරයන්ට මුදල් දී වස විස ගෙන්වා පරිසරය අවුල් නොකර බටහිර කෘෂිකර්මය මත පදනමි නොවී ධාර්මික ගොවිතැනක් ඔස්සේ අනාගතය ගොඩනගමු.


Sunday, 9 January 2011

ලෝක විනාශය අත ළඟද?

"බටහිර ක්‍රිස්තියානි නූතනත්වය විසින් අදාළ චින්තනය හැරෙන්නට වෙනත් චින්තන හා සංස්කෘතීන් නැතිකර දමනු ලැබීමට ක්‍රියා කළ ද ඒ සාර්ථක වී නැත. එයට එරෙහිව විකල්පයක් ලෙස ඉදිරිපත් කළ හැකි ප්‍රධාන ම චින්තනය සිංහල බෞද්ධ චින්තනය වෙයි. මේ චින්තනය හා සිංහල බෞද්ධ රාජ්‍යය ගැමුණු රජුගේ නිර්මාණ වෙයි. බටහිරයන් සිංහලයන්ට විරුද්ධව මෙතරමි කෙණහිළිකමි කරන්නේ ද ඔවුන්ට එරෙහිව ඇති විකල්ප චින්තනය සිංහල බෞද්ධ චින්තනය වන බැවිනි. මුස්ලිමි රාජ්‍ය ලංකාවට වඩා බලවත් වුව ද ඔවුන්ට පැහැදිලි විකල්ප චින්තනයක් ඉදිරිපත් කළ නො හැකි ය. කඩා වැටෙන බටහිර ක්‍රිස්තියානි නූතනත්වය වෙනුවට අපට සිංහල බෞද්ධ චින්තනය ඉදිරිපත් කිරීමට හැකි වුවහොත් ලෝකයේ විනාශයක් ලෙස ලෝක විනාශයක් සිදු නොවනු ඇත. එවිට ලෝක විනාශය ලෙස අර්ථදැක්වීමට සිදුවනුයේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ විනාශය ය. එය අද ලෝකයේ ආධිපත්‍යය දරණ බැවින් එහි විනාශය එක්තරා අන්දමකින් ලෝක විනාශයක් ලෙස සැලකිය හැකි ය. එහෙත් වෙනත් අර්ථයකින් එය ලෝකයේ ම විනාශයක් නොවනු ඇත්තේ එයට එරෙහිව අපට විකල්පයක් ඉදිරිපත් කරගැනීමට හැකි වුවහොත් ය."