Main Logo

Friday 30 September 2022

රජකමින් ගුරුකමට

 

රජකමින් ගුරුකමට

 

ඨකුර් අර්ථදේව ආදිත්‍ය කියන්නෙ රජ පෙළපත්වලට සම්බන්ධ වූ සමහර විට මාණ්ඩලික රජවරුන් ලෙස හිටි අය. ගාර්දියවසම් හෙවත් රජුගේ ආරක්‍ෂක හමුදාවේ ප්‍රධානියා කියන නිලයත් සමහරු දරා තියෙනවා. ආදිත්‍ය ලිඳකුත් කපලා තම දියණියට නෑමට. ආදිත්‍යගේ පුතකු පේදුරු ද සිල්වා නමින් බෞතීස්ම ලබා දොන් ජුවන් ධර්මපාලට සේවය කරලා. ආදිත්‍යගේ අනෙක් පුතුන් මායාදුන්නෙට සේවය කරලා. ඒ ඉතිහාසය. වර්තමානයේ ඨකුර් අර්ථදේව ආදිත්‍ය ගාර්දියවසම් ලිඳමුලගේ දනියෙල් ද සිල්වා හෙවත් ථකුරාර්ථ දේවාදිත්‍ය ගාර්දියවසම් ලිඳමුලගේ දනියෙල් ද සිල්වා සිංහල ගුරුවරයකු වුණා. සිංහල ගුරුවරුන්ට ඉංගිරිසි ගුරුවරුන්ට තරම් වැටුපක් ලැබුණෙත් නැහැ.

Thursday 29 September 2022

කුලය හා කුලවැද්දුම

 

කුලය හා කුලවැද්දුම

 

උභය කුල පාරිශුද්ධ කිසිවකු ඉන්දියාවේ හරි ලංකාවෙ හරි ඉන්නව කියල මා හිතන්නෙ නැහැ. ලංකාවට කුල කතාව එන්න ඇත්තෙ ඉන්දියාවෙන් (භාරතයෙන්) වෙන්න ඕන. කුලය කියන්නෙ පවුලට. එක් අතකින් ගත්තොත් කුලය කියන්නෙ ඉතාම විස්තෘත පවුලක් (extended family) හැටියට හිතන්න පුළුවන්. එහෙත් මේ කිසිම පවුලක අර උභය කුල පාරිශුද්ධ අය නැහැ. කුලවලට පිටින් වැද්ද ගන්නවා. අප යොදා ගන්න වචනයක් තියෙනව කුලවැද්දුම කියල. විවාහයෙන් කුලයකට වැද්ද ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් නිලයෙන් හරි නිලයකට යෑමට අවශ්‍ය නිසා හරි කුලයකට වැද්ද ගන්න පුළුවන්.

Wednesday 28 September 2022

මෙහෙමත් ණයක්

 ණය අරගෙන තත්වයක් ලබා ගැනීමට හා තත්වය රැක ගැනීමට ගිය මධ්යම පංතිය තවමත් ණය ගැනීම ගැන මිස ණය ගෙවීම ගැන හිතන්නෙ නැහැ

තොටගමුවේ රාහුල හිමියන් තලංගම දී හමුවීම

 

තොටගමුවේ රාහුල හිමියන් තලංගම දී හමුවීම

 

මට දැනට වසර කිහිපයකට උඩ දී කැලණියේ සේවය කරද්දී තලංගම කොස්වත්ත හංදිය අසල නිවසක දී තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණන් වහන්සේ හමුවුණා. උන්වහන්සේ (එතුමා) මට කිවුවේ අනුරාධපුර යුගයේ සිට හඳුනන මිතුරා කියා. ශ්‍රී රාහුල හිමිපාණන් හයවැනි පරාක්‍රමබාහු රජුගේ පුත් තනතුරේ වැඩී තියෙනවා. උන්වහන්සේ කඳවුරු කුලයේ කියා කියනවා. ඒ පිළිබඳ ඇති ජනප්‍රවාද කෙසේ වෙතත් ඒ යම් ක්‍ෂත්‍රිය කුලයක් වෙන්න ඇති. රජු අන් අයකු තම පුත් තනතුරේ හදා වඩා ගනීවි කියා හිතන්න බැහැ. රජු පුත් තනතුරෙහි හදා ගත් අනෙක් දෙදෙනා වූයේ සපුමල් කුමරු හා අම්බුළුගල කුමරු නිසා එය තවත් තහවුරු වෙනවා. මා රාහුල හිමියන්ගෙන් ඇහුවේ නැහැ කඳවුරු කුලය කියන්නෙ මොකක් ද කියා. ඒ දිනවල මා ඒ ගැන හිතල තිබුණෙ නැහැ.

Tuesday 27 September 2022

මඤ්ඤොක්කා හා විිද්‍යාව

 මඤ්ඤොක්කා හා විිද්‍යාව 


මඤ්ඤොක්කා දණ්ඩක් විසි කළත් අල බහින රටේ මන්දපෝෂණය.  සමාජයීය විිද්‍යාවේදී පඬි නැට්ටකු කියන්න බැරි නැහැ මඤ්ඤොක්කා ගෙනාවෙ පිටරටින් බටහිරයන් කියලා. රටට අවැඩක් මිස වැඩක් නැති සමාජයීය විද්‍යා පීඨ හා කෘෂිකර්ම විිද්‍යා පීඨ වසා දමා මඤ්ඤොක්කා හිටවමු ද? පඬි නැට්ටන්ගේ දැන ගැනීම සඳහා කිවයුත්තක් නම් මෙය ජේ ආර්ගේ සාහිත්‍යය කන්න ද යන්න වැන්නක් නොවන බවයි. 




පරම්පරාව ඈසුරෙන් ඉතිහාසය - ද සිල්වා හෙවත් බැද්දගේ

 

පරම්පරාව ඈසුරෙන් ඉතිහාසය -  ද සිල්වා හෙවත් බැද්දගේ

අපට ද සිල්වා හා ලිඳමුලගේ නම් ලැබුණේ කෙසේ ද යන්න කීමට පෙර ඨකුර් පරපුරේ මාණ්ඩලික රජවරු ගැන යමක් කියන්න ඕන.  එයින් මෙරට ඉතිහාසය ගැන ද යමක් කියැවෙනවා. අප රටේ මාණ්ඩලික රජවරු ඒ ඒ ප්‍රදේශවල සිටි බව එයින් තේරුම් ගන්න පුළුවන්. සෙනරත් පරණවිතාන මහතා මේ සම්බන්ධයෙන් කියා ඇති දේ මත මේ මාණ්ඩලික කතාවත්  ඒ හා සම්බන්ධ කතාත් පදනම් වෙනවා. පරණවිතාන මහතා කියා ඇති ඇතැම් දේ මෙරට ඉතිහාසඥයන් නොපිළිගන්නා බවත් සඳහන් කරන්න ඕන. ඒ මහතා සෙල්ලිපිවල පේළි අතර කියවා ඇති දේ ද ඉතිහාසඥයන් පිළිගැනීමට අකමැත්තක් දක්වනචා.

Monday 26 September 2022

විජයබා කොල්ලය හා කුලය

 

විජයබා කොල්ලය හා කුලය

 

මා අපේ පරම්පරාව ගැන ලියන්නේ රජ පෙළපතකට ඇති සම්බන්ධය ගැන ලියන්නවත් වංසෙ කබල් ගෑමටවත් නො වෙයි. මට අවශ්‍ය අවසානයේ දී ලංකාවේ දේශපාලනයට කුලය බලපාන හැටිත් කියන්න. ඒ වගේ ම කුලවල විකාශය ගැනත් යමක් කියන්න. අද ලංකාවේ කුලය බලපාන අවස්ථා තුනක් තියෙනවා. එකක් විවාහය, තවෙකක් දේශපාලනය, තුන්වැනුව  පැවිදිවීම. සමහර විට එතරම් පොදු නොවූවත් මධ්‍යම පළාතේ ආණ්ඩුකාර ධුරය, දියවඩන නිළමේ පදවිය සඳහන් කළ හැකියි. රාජ්‍ය නායක පදවිය දේශපාලනයට සම්බන්ධ නිසා අමුතුවෙන් කිවයුතු නැහැ කියා හිතනවා. වෙල්ලාලයන්ටත් මේ පදවි දරන්න බැහැ. ගොවිගම නොවන පඬි නැට්ටන් හා දෙමළ ජාතිවාදීන් පරගලයේදිත් වෙනත් ඇතැම් දේශපාලන අවස්ථාවලදීත් එක්වීම ගැන මා පුදුම වන්නේ නැහැ. 

Sunday 25 September 2022

දැක්කොත් පද්මාවතී

 දැක්කොත් පද්මාවතී  


අපේ පරම්පරාව ගැන සුළුවෙන් නමුත් සඳහන් කරන්න ඕන. මෙහි පරම්පරාව කියන්නේ මගේ සමකාලීනයන් කියන අරුතෙන් නොව පවුලේ පරම්පරාව කියන අරුතෙන්. පරම්පරාව කී විට එයින් කියැවෙන්නේ පිය පාර්ශ්වයේ පරම්පරාව වීම සමාජය පුරුෂයා මුල් කරගෙන පැවතීම නිසා වන්නක්. එය අද ඊයේ කතාවකුත් නො වෙයි. මාතෘ මූලික සමාජ ඈත අතීතයේ තිබුණා ය කියා සමහරු කියනවා.

Saturday 24 September 2022

ඒ කන්දත් අපේ තමයි මේ කන්දත් අපේ තමයි අපේ රාජ්ජේ

 

ඒ කන්දත් අපේ තමයි මේ කන්දත් අපේ තමයි අපේ රාජ්ජේ

 

රනිල් තම රැජන ගැන පාර්ලිමේන්තුවෙදි කරපු කතාවෙන් ජාතික රූපවාහිනිය ප්‍රචාරය කළ කොටස අහගෙන හිටියට පස්සෙ මට හිතුනෙ ඇය තව කලක් රැජන හැටියට තියා ගත්ත නම් කොච්ර හොඳ ද කියල. ඇය ව්‍යවස්ථානුකූලව ලංකාවේ රැජන වෙලා ඉඳලා තියෙන්නෙ 1952 ඉඳන් 1972 වෙන තුරු විතරයි. හැත්තෑ දෙකෙන් පස්සෙ ලංකාව ජනරජයක් වුණා. අපරාදෙ. විජයගෙ හිටන් රජ කළ රජවරු  නැතිවුණා. මෙච්චර කල් අප ඉගෙන ගත්තෙ ලංකාවෙ අන්තිම රජු ශ්‍රී වික්‍රම රාජසිංහ කියල. ඊයෙන් පස්සෙ ඒක වෙනස් කරන්න වෙලා. අපේ අන්තිම රැජන දෙවැනි එලිසබෙත්.

Friday 23 September 2022

ජනාධිපති හා එංගලන්තයේ රජු

 

ජනාධිපති හා එංගලන්තයේ රජු

 

ඉංගිරිසින් අප රටට පැමිණෙන විටත් අපට යම් අධ්‍යාපන ක්‍රමයක් තිබුණා. ඒ පන්සල් ඇසුරෙන්. එහෙත් අපේ පිරිවෙන් අභාවයට ගොස් තියෙන්න ඇති. කෝට්ටේ යුගයේ විජයබා පිරිවෙන, සුනේත්‍රා දේවී පිරිවෙන ගැන කියැවෙනවා. එහෙත් දහනවවැනි සියවසේ එවැනි ප්‍රසිද්ධ පිරිවෙන් තිබුණා ද යන්න ප්‍රශ්නයක්. පන්සල් ඇසුරෙන් ලැබූ අධ්‍යාපනය මා කුඩා කලත් පන්සල් පොත් කියවීම ලෙස පැවතුණා. මාත් පන්සල් පොත් කියවූ අයෙක්.

 

Thursday 22 September 2022

ඉංගිරිසි ක්‍රිස්තියානි සංස්කෘතියෙ බෞද්ධ පාසල්

 ඉංගිරිසි ක්‍රිස්තියානි සංස්කෘතියෙ බෞද්ධ පාසල්

 

මා හිතන්නෙ අපේ අම්මලගෙ පරම්පරාව තමයි ඉංගිරිසි ක්‍රිස්තියානි සංස්කෘතියට හුරුවෙන්න පටන් ගත්තෙ කියල. මා කියන්නෙ ඉංගිරිසි සංස්කෘතියෙ ප්‍රභූ පාසල්වල ඉගෙන ගත් අය ගැනවත් ඉංගිරිසි ආර්ථිකයෙ පළ නෙලාගත් අය ගැනවත් නො වෙයි. ඔවුන් කලක සිට ඉංගිරිසි කතාව හුරු වෙච්ච අය. මා සඳහන් කරන්නෙ ඉංගිරිසි කතා නොකළ ඉංගිරිසි මාධ්‍යයෙන් උගන්වන පාසල්වල ඉගෙගන නොගත් අම්මලගෙ පරම්පරාව ගැන. 

යළි ඉපදීම

 යළි ඉපදීම

 

ක්‍රිකට් ලෝකයේ යළි උපන් භාණුක රාජපක්‍ෂ ගැන පාස්ටර් කියන කතාව පිළිබඳ ව පඬි නැට්ටන් ජඩමාධ්‍යවේදීන් ඇතුළු සකල ලෝකවාසී බුද්ධිමතුන් නිහඬ එය මිථ්‍යාවක් නොවන නිසා විය යුතුයි. බුද්ධිමතුන්ට යමක් වරදින්නේ නැහැ. අද දේශපාලනයෙහි සහ වෙනත් තැන්වල යළි උපන් අය බලය තහවුරු කර ගෙන. මා කියන්නේ භාණුක රාජපක්‍ෂ ගැන නො වෙයි.

Wednesday 21 September 2022

මගේ ප්‍රශ්නය හා රටේ ප්‍රශ්නය

 

මගේ ප්‍රශ්නය හා රටේ ප්‍රශ්නය

 

මා ආගිය තොරතුරු ලියන්නේ මගේ ප්‍රශ්නය නිරවුල් කර ගැනීමටයි. පඬි නැට්ටන් නම් කියන්නේ තමන් නිරවුල් බැවින් නිරවුල් වීමට අවශ්‍ය නැති බවත් මා අවුල් නිසා නිරවුල් වීමට තැත් කරන බවත්. ඔවුන්ට නිරවුල් බව තබා ගැනීමට කියා ප්‍රාර්ථනා කිරීමට හැකි නමුත් එය රටට අහිතකරයි. මගේ ප්‍රශ්නය මට බටහිර විිද්‍යාඥයකු වීමට නොහැකි වූයේ ඇයි ද යන්නයි. මෙරට ජාතික විද්‍යා ශාස්ත්‍රීය සංගමයක් (National Academy of Sciences) තියෙනවා. එහි අධිසාමාජිකයන් (Fellows) එකසිය පනස් දෙනකු පමණ ඉන්නවා කියලයි මා හිතන්නෙ. මා ඔවුන් අතරවත් නැහැ. මා අවුරුදු විසිහයක් වීමට කලින් ආචාර්ය උපාධියක් ලබා ගත්තත් මහාචාර්යවරයකු වුණේ හැට පැන්නටත් පස්සෙ. මා දන්නා අනෙක් හැම මහාචාර්යවරයකු ම වගේ හැට පනින්න කලින් මහාචාර්යවරුන් වුණු අය. අවුරුදු තිහෙන් තිස්පහෙන් මහාචාර්යවරු වෙච්ච විද්වතුනුත් ඉන්නවා. ඔවුන් උගතුන් වෙන්න ඕන. ඒත් ඒ අය විිද්‍යාඥයන් නම් නොවන බව මා කියන්නේ ඊර්ෂ්‍යාවකින් නම් නො වෙයි.

Tuesday 20 September 2022

අපේ නිවටකම

 

අපේ නිවටකම

 

මෙය කෙටි සටහනක්. එලිසබෙත් වින්ඩ්සර්ගේ කතාව දිගින් දිගට ඇදෙනවා. ඒ අපේ නිවටකම පෙන්වමින්.  මේ නිවටකම බොහෝ කලක සිට පැවත එන්නක් වෙන්න පුළුවන්. ඉංගිරිසින් ඒ බව තේරුම් ගත්තත් වෙන්න පුළුවන්.

Monday 19 September 2022

දහතුන

 දහතුන පූර්ණ වශයෙන් දීමට ඉන්දියාව ලංකාවට බල කරන්නේ මෙරට අම්ම අප්පගෙ බූදලේ කියා හිතා ගෙන ද? තමිල්නාඩුව සැනසීමට අප බිලි දීමට ද?

අද ශෝක දිනයක්

 

අද ශෝක දිනයක්

 

මට රට වෙනුවෙන් කතාකරන්න බැහැ. ඒත් අද මට නම් ශෝක දිනයක්. අද එලිසබෙත් වින්ඩ්සර්ගේ අවමංගල්‍යය සිදු කෙරෙන දවස. දස ලක්‍ෂයකට වඩා ජනකායක් ලංඩනයට එකතු වේය කියා බලාපොරොත්තු වෙනවා. එය ගාලු මුවදොරට පරගලය වෙනුවෙන් පැමිණි පිරිසට වඩා බෙහෙවින් වැඩි වේවි. එංගලන්තයේ වෙසෙන ඇතැම් සිංහලයන් ද එයට විවිධ කාරණා නිසා එකතු වේවි. ඔවුන්ටත් ශෝකයක් ඇති වේද කියා මා දන්නේ නැහැ.

 

Sunday 18 September 2022

කබාය ඉරිලා ඊට කමක් නැහැ

 

කබාය ඉරිලා ඊට කමක් නැහැ

 

අපේ දෙමවුපියන් අප හැදුවේ සිංහල බෞද්ධ සංස්කෘතියක. සංස්කෘතිය කියන්නෙ හැදියාව. අපේ හැදියාව ඉංගිරිසි ක්‍රිස්තියානි සංස්කෘතියක අයකුගේ  හැදියාවෙන් වෙනස්. අපේ පමණක් නොව පඬි නැට්ටන්ගේ හැදියාවත් එංගලන්තයේ හරි උතුරු අමෙරිකාවේ හරි ඉංගිරිසි ක්‍රිස්තියානි අයකුගෙන් වෙනස්. පඬි නැට්ටකු හා ඉංගිරිසිකාරයකු අතර වෙනස දකින්න පුළුවන්. ඒ හමෙන් පමණක් නොවෙයි.  සිංහල බෞද්ධ සංස්කෘතියේ අපට වියුක්ත ව හිතන එක අමාරුයි. අපට භෞතික විද්‍යාවෙන් නොබෙල් තැග්ගවත් ගණිතයෙන් ෆීල්ඩ්ස් පදක්කමවත් දිනන්න බැහැ. දැන් පඬි නැට්ටකු කියන්න බැරි නැහැ නලින් ද සිල්වාට නොබෙල් තෑග්ග ලොකු වුනාට අපට ලොකු නැහැ කියල. එහෙම උත්තර දෙන්නෙත් සිංහල බෞද්ධ සංස්කෘතියෙ.

 

Saturday 17 September 2022

දිරිය මවුවරු

 

            දිරිය මවුවරු

 

බොහෝ අම්මලා දිරිය මවුවරු. අම්මලාගේ ලෝකයේ පවුල ප්‍රධානයි. කලක් සමහර සංස්කෘතීන්වල තිබුණෙ මාතෘ මූලික සමාජ කියනවා. ඒත් දැන් නම් ලෝකයේ බොහෝ සංස්කෘතීන්වල ඇත්තෙ පීතෘ මූලික සමාජ. සිංහලයන් අතරත් එහෙමයි. එහෙත් තාත්තා ඊනියා ගෘහ මූලික වුවත් දරුවන් හදා වඩා ගැනීමේ කටයුත්තේ දී මූලික වන්නෙ අම්මා. දරුවන්ට පවතිනා ක්‍රමයෙ හොඳ තත්වයක් ලබා දීම අම්මලා තම ප්‍රධාන කාර්යය බවට පත් කරගෙන. මේ හොඳ කියන එක පිටුපස තියෙන්නෙ ප්‍රධාන වශයෙන් ම සමාජ ආරක්‍ෂාවක්. එහෙමත් නැත්නම් රක්‍ෂණයක්. අම්මලා බොහෝ විට පවතින ක්‍රමයට අනුගත වෙනවා.  අර විස්තෘත කියන පවුලෙන් පිට කටයුතුවලට මැදිහත් වෙන්නෙ අම්මලා ටික දෙනයි.

 

Friday 16 September 2022

මා බාල කාලේ

 මා බාල කාලේ

 

මා පාණදුරේ වෑකඩ බෞද්ධාලෝක මිශ්‍ පාඨශාලාවට ඇතුළත් වුනේ 1949 ජනවාරි මාසයේ. එකල පාසල්වලට ඇතුළත් වීමට අවුරුදු හතරයි මාස හයක් සම්පූර්ණ විය යුතුව තිබුණා. එහෙත් මගේ වයස අවුරුදු හතරයි මාස දෙකක් පමණයි. එසේ වුවත් ගුරුවරුන් හා ක්‍රමය දන්නා අයගේ දරුවන්ට අවුරුදු හතරයි මාස හය පිරෙන්නට පෙර ඇතුළත් වීමට පුළුවන් වුණා. ඔවුන් පාසලට ඇතුළත් කළත්  දිනපතා පැමිණීමේ පොතේ නම ලිවුවේ නැහැ. පොතේ නම ඇතුළත් කෙළේ අවුරුදු හතරයි මාස හයක් සම්පූර්ණ වීමෙන් පසුවයි. පඬි නැට්ටකු කියන්න පුළුවන් හෝඩියේ ඉඳන් නලින් ද සිල්වා හොරට වැඩ කර තියෙන්නෙ කියා.

Thursday 15 September 2022

ලංකා දේශපාලනය

 ලංකාවේ දේශපාලන තත්වය කුම්බලා මාළු කෑ බළලාගේ තත්වයයි

සතපහක ආධාරයක් දෙන්නෙ නැතුව බෙල්ල හිර කිරීම

 

සතපහක ආධාරයක් දෙන්නෙ නැතුව බෙල්ල හිර කිරීම  

 

ක්‍රිකට් වසන්තය තව දින කිහිපයකින් ඉවර වෙනවා. රනිල් එලිසබෙත් වින්ඩ්සර්ගෙ මළගෙදර ගිහින් ශෝක වෙලා ජාතියත් නිල වශයෙන් ශෝක කරල ආවට පස්සෙ ඒ කතාවත් ඉවරයි. ක්‍රිකට් කුසලාන අස්සෙ එක දෙයක් මගේ සිත් ගත්තා. වනිඳු හසරංග ආසියා කුසලානත් අරගෙන ගුවන් තොටුපොළේ ඉඳන් කොළඹට එන බසයේ මා  හිතන්නේ ගමන ආරම්භයේ දී සාදු සාදු කිවුවා. අපි ගමනක් අරඹන විට සාදු සාදු කියනවා. ඒ යහපතක් වේවා කියන හැඟීමෙන්. වනිඳුට ඒ සංස්කෘතික පුරුද්ද හිතට ආපු එක හොඳයි. වනිඳුටත් කණ්ඩායමටත් යහපතක් ම වේවා!

Wednesday 14 September 2022

ක්‍රිකට් වසන්තයෙන් පසු

 


ක්රිකට් එලිසබෙත් අවසන් වූ පසුව නැවතත් ආර්ථිකය. ගෙවන්න මුදල් වෙන් නොකර ප්රමාද ගාස්තු ගෙවන්න සිදුවන රටක අනාගතය?

ක්‍රිකට් හා අපි

 

ක්‍රිකට් හා අපි

 

ක්‍රිකට් හා දැල් පන්දු ගැන අප කතා කළත් අපේ වැඩි උනන්දුව ක්‍රිකට් වෙතටයි. යම් අයුරකින් වෙනත් දවසක දැල් පන්දු ආසියානු ශූරතාව දිනා ඒ කණ්ඩායම පැමිණියා නම් අද මෙන් පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ. වොලිබෝල් ගැන එතරම් කතාවක් නැහැ. අප කුමක් කීවත් මෙරට ජාතික ක්‍රීඩාව බවට ක්‍රිකට් පත් වෙලා. මා හිතන්නේ අද බොහෝ පාසල්වල ක්‍රිකට් කණ්ඩායම් තියෙනවා. සමහර විට දෙවැනි කණ්ඩායම් ඒ කණ්ඩායම් අවුරුදු දහසයෙන් පහළ කණ්ඩායම් ආදී වශයෙන් ද කණ්ඩායම් තියෙනවා වෙන්න පුළුවන්.

Tuesday 13 September 2022

රනිල්ගේ රැජන

 ව්යවස්ථාවෙන් මිස එලිසබෙත් වින්ඩ්සර් මෙරට රැජන නොවීය, රනිල් මෙරට ජනාධිපති නොවේ.

රැජන ඇයයි රනිල් රාජ්ජේ

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දවස ඇරඹි රිච්මන්ඩ් විදුහල

 

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දවස ඇරඹි රිච්මන්ඩ් විදුහල

 

මෙරට පැරණි පාසල් ලැයිස්තුව ගැන අවධානය යොමු කරන විට කාරණා කිහිපයක් පැහැදිලි වෙනවා. ඒ ලැයිස්තුවේ ඇත්තේ ඉංගිරිසි මාධ්‍යයෙන් ඉගැන් වූ පාසල් ලෙස ගත් විට අද අප මුහුණ පා සිටින ගැටළුව අවබෝධ කර ගැනීම පහසු වෙනවා. ඒ ලැයිස්තුවේ අති විශාල බහුතරය විවිධ ක්‍රිස්තියානි හා කතෝලික සභා විසින් පිහිටුවන ලද පාසල්. ඒ පාසල්වලිනුත් බහුතරය උතුරු හා නැගෙනහිර පළාත්වල පිහිටුවා ඇත්තේ. ඒ දිනවල අද පවතින පළාත් මායිම් නොතිබුණත් එහි යම් රටාවක් දකින්න පුළුවන්.

Monday 12 September 2022

ජය පරාජේ

 ආර්ථිකයෙන් ආසියාවෙ බංකොළොත් අපි ආසියාවේ ක්රිකට් හා දැල්පන්දු ශූරයන් ශූරියන්. ඊනියා උගතුන් හා බුද්ධිමතුන් පරාද ද? අපි ඔක්කොම පරාද ද?

මෙරට අධ්‍යාපනයේ ක්‍රිස්තියානි බලපෑම (ඊනියා ලකුණ)

 

මෙරට අධ්‍යාපනයේ ක්‍රිස්තියානි බලපෑම (ඊනියා ලකුණ)

 

මා ඉගෙන ගත් ඊනියා පිළිගත් ආයතන හැටියට හතරක් නම් කරන්න පුළුවන්. ඒ දහම් පාසල් හා පන්සල් පොත් කියවූ පාණදුරේ වැකඩ ධර්මප්‍රාසාදය හැරෙන්න. ඒ ආයතන හතර වන්නේ පාණදුරේ වැකඩ බෞද්ධාලෝක මිශ්‍ර පාඨශාලාව (අද එය පාණදුරේ බෞද්ධාලෝක විද්‍යාලය ලෙස හැඳින්වෙනවා, කොළඹ තරස්ටන් පාරේ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ පාඨශාලාව (අද එය තර්ස්ටන් විද්‍යාලය ලෙස නම් කෙරිලා), කොළඹ රාජකීය විද්‍යාලය හා එංගලන්තයේ සසෙක්ස් විශ්වවිද්‍යාලය. ලංකා විශ්වවිද්‍යාලයෙන් මා ඉගෙන ගත් දෙයක් නැහැ. මට උපාධියක් නම් ලැබුණා. ඒ උපාධිය මට ප්‍රයෝජනවත් නූණා නො වෙයි. සසෙක්ස් ගියේත් ඒ උපාධිය නිසා. රැකියා ලබා ගැනීමේදීත් එය ප්‍රයෝජනවත් වුණා.

Sunday 11 September 2022

ලේක්හවුසියේ දරුවා

 

ලේක්හවුසියේ දරුවා

 

පරංගි පැමිණීමේ පන්සිය වසර සැමරීමට සූදානම් වූ රනිල් එලිසබෙත් වින්ඩ්සර්ගේ මරණය වෙනුවෙන් ජාතික කොඩිය අඩ කුඹ කිරීමට  තීරණය කිරීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. සිංහලයන්ගෙ ඉතිහාසය ගැන පොත් කියෙවුවත් සිංහල සංස්කෘතිය ගැන පොතපතින් දැන ගත්තත් ඔහුට සිංහල බෞද්ධ සංස්කෘතියට වඩා ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය සමීපයි. ඔහුගේ පියා එස්මන්ඩ් වික්‍රමසිංහ විවාහයට පෙර සමසමාජ පාක්‍ෂිකයකු බව බොහෝ දෙනා නොදන්නවා ඇති.  ඔහු විජේවර්ධන පවුලෙන් විවාහයක් කරගෙන ලේක්හවුසියේ ඉහළ තනතුරකට පත්වෙද්දී සමසමාජ සාමාජිකත්වය අත්හැරියා. එහෙත් ඔහු ක්‍රිස්තියානිය අත්හැරියෙ  නැහැ.

Saturday 10 September 2022

මැකෝලිගේ දරුවෝ හා ධම්මපදයට අත තියා දිවුරුම් දීම

 

මැකෝලිගේ දරුවෝ හා ධම්මපදයට අත තියා දිවුරුම් දීම  

 

මැකෝලිට අවශ්‍ය වුණේ හමින් හා ලේවලින් ඉන්දීය එහෙත් ඉංගිරිසින් මෙන් රුචිකත්වයක්  අදහස් ආචාර ධර්ම බුද්ධිය ඇති පුද්ගලයන් පිරිසක් බිහි කිරීමට (a class of persons, Indian in blood and color, but English in taste, in opinions, in morals, and in intellect) මැකෝලි ඉන්දියාවේ යම් පමණකට සාර්ථක වුණා. නේරුලා හා රජයේ නිලධාරීන් උගතුන් විශාල ප්‍රමාණයක් මැකෝලිගේ බාග තුන්කාල් දරුවන් වුණා. එහෙත් ඔවුන්  මුළුමනින් ම මැකෝලිගේ දරුවන් වුණේ නැහැ. භාරතයේ තිබූ බමුණන්ගේ බුද්ධිමය සම්ප්‍රදාය විසින් ඔවුන් මෙල්ල කෙරුණා. බමුණු සම්ප්‍රදාය විසින් තමයි අවසාන වශයෙන් භාරතයෙන් බුදුදහම ඉවත් කෙරුණේ.

Friday 9 September 2022

මැකෝලිගේ දරුවෝ

 එලිසබෙත් වින්ඩ්සර්ගේ අභාවය ගැන මැකෝලිගේ             දරුවන්ගේ ප්රතිචාරය. ජාතික කොඩිය අඩ කුඹු කරන්නේ කිනම් අවස්ථාවල ද?

චාල්ස් හා අපි

 

චාල්ස් හා අපි

 

සිිංහල බෞද්ධ කී ගමන් භූමිතෙල් වැදුණු ගැරඬින් සේ අවුරුදු දෙදහස් පන්සීයක රෙද්දක් ගැන කියවන පඬි නැට්ටන්ට එංගලන්තයේ ඇත්තේ මොන වගේ රාජ්‍යයක් ද කියා දැන ගැනීමට එලිසබෙත් වින්ඩ්සර්ගේ මරණය උපකාර විය යුතු නමුත් එසේ වන්නේ නැහැ. ධනපති ක්‍රමයේ සියලු අවැඩ සිංහල බෞද්ධ සංස්කෘතියට ලඝු කර වීරයන් වීමට දඟලන පුස්සන්ට පුහු වීරකම පවත්වා ගන්න පුළුවන් රෙද්ද ගැන කතා කිරීමෙන් පමණයි. බුද්ධිමය දරිද්‍රතාවෙන් පෙළෙන මොවුන්ට මාක්ස්ගේ පංතිය සංකල්පය කිසි දා වලංගු නොවූ බව වටහා ගන්න බැහැ. මා හිතන්නෙ නැහැ ඔවුන් චින්තනය හැරෙන්න වෙනත් සංකල්පයක් ඇති වූයේ කෙසේ ද යන ප්‍රශ්නය අසා ඇති ය කියා. අපි ඒ කතාව ආගිය තොරතුරු සමග කියමු.

ඇංග්ලිකන් ක්‍රිස්තියානි රාජ්‍යය - කාගෙ රෙද්ද ද ?

 ඇංග්ලිකන් ක්රිස්තියානි රාජ්යය - කාගෙ රෙද්ද ද ?

එලිසබෙත් වින්ඩ්සර් මිය ගිහින්. චාල්ස් අවුරුදු හැත්තෑතුනේ දී රජ වෙලා. උත්සව පසුවට. හැත්තැ දෙකේ ව්යවස්ථාව නොවන්න චාල්ස් අපෙත් රජු. කාටද ආඩම්බරේ. ඔහු බෞද්ධයකු නොව රෝමානු කතෝලිකයකු වූවා නම් රජ වෙන්නෙ බැහැ. එංගලන්තයේ රජු ඇංග්ලිකන් ක්රිස්තියානි වෙන්න ඕන. ඔහු ඒ ආගමේ ආරක්ෂකයා හා තවත් දේ. පඬි නැට්ටන්ගේ දැන ගැනීම සඳහා පහත සඳහන් උපුටා ගැනීම.

Thursday 8 September 2022

බුද්ධිමය දරිද්‍රතාව

 මෙරට ප්රශ්නවලට ප්රධාන හේතුව තමන්ට නොතේරෙන නොමැති වාස්තවිකත්වයක්, යථාර්ථයක්, සත්යයක් ගැන කියවන ඊනියා උගතුන් වැඩිවීම හෙවත් බුද්ධිමය දරිද්රතාව.

මා තවමත් ගොඩයෙක්

 

මා තවමත් ගොඩයෙක්

 

රාජකීය විදුහල ගැන බොහෝ දේ ලියන්න තිබුණත් කරුණක් දෙකක් පමණක් සඳහන් කරනවා. එය ලංකාවේ ඉහළ ම අනුකාරක පාසල. ඒ පාසල 1835 දී අරඹා ඇත්තේ ඇංග්ලිකන් ක්‍රිස්තියානින් විසින් එංගලන්තයේ ඊට්න් පාසල අනුකරණය කරමින්. ඉංගිරිසින් යටතේ ම ටික කලකින් එය රජයේ පාසලක් බවට පත් වී තියෙනවා. එහි කලක් ඉගෙන ගත්තේ මෙරට ඉහළ ම කොළඹ ආශ්‍රිත ඉංගිරිසි අනුකාරකයන්ගේ දරුවන් පමණයි. පසු කලෙක 1851 දී ශාන්ත තෝමස් විදුහල අරඹා ඇත්තේ මා හිතන විධියට ප්‍රධාන වශයෙන් ම ප්‍රාදේශීය ඉංගිරිසි අනුකාරක ප්‍රභූන්ගේ දරුවන් සඳහා. ඒත් ඇංග්ලිකන් ක්‍රිස්තියානින් විසින්. ඇංග්ලිකන් ක්‍රිස්තියානින් විසින් ඇති කරන ලද අනෙක් ප්‍රධාන පිරිමි පාසල මහනුවර ත්‍රිත්ව විදුහල. අදත් රාජකීය ශාන්ත තෝමස් ත්‍රිත්ව යන විදුහල් ත්‍රිත්වය උසස් පාසල් ලෙස සැලකෙනවා. අනුරූප ගැහැණු පාසල කාන්තා විද්‍යාලය. මෙරට අනෙක් පාසල් කරන්නේ තමන්ට හැකි විධියට ඒ පාසල් අනුකරණය කිරීමයි. බොහෝ පාසල් දෙවැනි තුන්වැනි හතරවැනි nවැනි ගණවල අනුකාරක පාසල්.

Wednesday 7 September 2022

ඉඳුරුවෙ ආචාරීන්

 ලංකාවට වෙලා තියෙන්නෙ ඉඳුරුවෙ ආචාරියාට වෙච්ච එක.  මෙරට ආචාරින් වැඩියි. ජාමුලෙ ගිහින් අමාරුවෙ වැටිල. ණය කල්දාගන්න කී ආචාරින් කෝ?

සමසමාජ මුල්

 

සමසමාජ මුල්

 

මගේ දේශපාලන ජීවිතය ඇරඹුණේ පාසල් වියේ දී. මා ඇසුරු කළවුන් අතර විවිධ දේශපාලන මත දැරූ අය සිටියා. විශේෂයෙන් ම සාහිත්‍ය සංගම් වැඩ නිසා. ඉන්දික ගුණවර්ධන කියන්නෙ දිනේෂ් ගුණවර්ධනගේ වැඩිමහල් සොහොයුරා. ඔහු තම පියා හා සොහොයුරන් මෙන් ම දේශපාලනඥයකු වුණා. බර්ටි ජයසේකර පසුව විශ්වවිද්‍යාලයේ සිංහල විශේෂ පාඨමාලාව හදාරා පරිපාලන සේවයට එකතු වුණා. ඔහු ග්‍රන්ථ කතෘවරයකු ද වුණා. පද්මල් වීරවර්ධන හෙවත් ඩබ් පී ද සිල්වා විශ්වවිද්‍යාලයේ දී සංස්කෘත විශේෂ උපාධිය ප්‍රථම පංතියේ සාමාර්ථයක් සහිත ව ලබාගෙන මනෝ විශේලේෂණය පැත්තට යොමු වුණා. කලක් පේරාදෙණියේ දර්ශන අධ්‍යනංශයේ සේවය කර පසුව ලංඩන් විශ්වවිිද්‍යාලයේ කථිකාචාර්යවරයකු බවට පත් වුණා.  අප සියලු දෙනා ම සමසමාජ අදහස් දැරූ අය. අවාසනාවකට ඒ තිදෙනාම දැන් මිය ගිහින්. පද්මල් හෙවත් ඩබ්ලිව් පී මට මතක හැටියට අටවැනි පංතියේ පමණ සිටිය දී උගුඩු විත්ති නමින් පොතක් පළ කළා. අප සමග දක්‍ෂිණාංශික අදහස් දැරූ අයත් සිටියා. රංජිත් සන්දනායක, හේමන්ත වර්ණකුලසූරිය ඒ අතර වුණා. රංජිත් පසුව ඇමරිකානු තානාපති කාර්යාලයේ පුස්තකාලයේ නිලධාරියකු ලෙස සේවය කළා. හේමන්ත ප්‍රසිද්ධ නීතිඥයකු වුණා. ඔහු නීිතිඥ සංගමයේ ලේකම් ලෙසත් කටයුතු කළා. ඒ දෙදෙනා ද නිලන් තිරුචෙල්වම් ද අද ජීවතුන් අතර නැහැ. එකල දේශපාලනයක් නොකළත් පසුව දේශපාලනයට පිවිසි ඩී එම් ස්වාමිනාදනුත් මා ත් තවම ඉන්නවා. අප ඉඳහිට පංති හමුවීම්වල දී මුණ ගැසෙනවා.

Tuesday 6 September 2022

සසෙක්ස් විශ්වවිද්‍යාලයෙ ලේබර් ක්ලබ්

 

සසෙක්ස් විශ්වවිද්‍යාලයෙ ලේබර් ක්ලබ්

 

දැන් නම් වමක් නැහැ. ඒත් වමාල ඉන්නවා. ඔවුන්ගෙ දැන් රාජකාරිය තමන්ට වැරදුනෙ කොතන ද කියල හොයල බලන්න උනන්දු වෙන එකවත් නො වෙයි. උනන්දු වුණත් වැඩක් නැහැ. මාක්ස්වාදය කිසි දිනෙක වලංගු නොවූ පද්ධතියක් කියන එක ඔවුන්ට දරා ගන්න බැහැ. කොහොමටත් දැන් ඔවුන් කරන්නෙ අනෙක් අයට වැරදුන කියල තමන් හිතන එක කියන එක පමණයි.

 

Monday 5 September 2022

ව්‍යාජ ගිණුම

 ගෝඨාභය ළඟින් ම සිට අවසානයේ දී ඔහුට ද්රෝහි වූ අයකු මගේ නමින් ව්යාජ ගිණුමක් පවත්වා ගෙන යනවා.            මා මහාචාර්යවරයකු නොවෙයි.

ඉංගිරිසිකම

 ඉන්දීය සම්භවයක් ඇති රිෂි සුනක්ට බිරිතානි අගමැති වීමට තරම් ඉංගිරිසිකම තවමත් මදි!

උත්තර නැති උත්තර සභාගය

 

උත්තර නැති උත්තර සභාගය

 

අදත් ආගිය තොරතුරු ලියන්නේ නැහැ. දැන් ගෝඨාභය රාජපක්‍ෂත් ඇවිත් ඉන්නවා. පරංගි පරගලය කිවුවෙ ඔහුට ගෙදර යන්න නේ. ඔහු දැන් රජයෙන් ලැබුණු ගෙදරක කොළඹ හතේ මලලසේකර මාවතේ පදිංචි වෙලා කියලයි ආරංචිය. ඔය පැත්ත රගර් ක්‍රීඩාවට ප්‍රසිද්ධයි. දැන් රගර් ක්‍රීඩාවටත් ප්‍රසිද්ධියක් ජාතික රූපවහිනියෙන් ලැබෙනවා . වැඩිකල් යන්න ඉස්සර රගර් ක්‍රීඩාව ජාතික ක්‍රීඩාවක් බවට පත්වේවි. ගෝඨාභයට කොහොමත් මිරිහානෙන් කොළඹට එන්න පරගලය නිසා ඉඩ ලැබිලා. ඒ අතර ලංකා වසන්තය බාගෙට උදාවෙලා රනිල් ජනාධිපතිවෙලා. කාට ද ආඩම්බරේ?

Sunday 4 September 2022

උත්තර සංධානයට උත්තර නැහැ

                                         රතන හිමි දෙසන මෙච්චර උගතුන්ටත්

 උත්තර ලංකා සභාගයටත් උත්තර නැහැ.                                                    

 වමාලා හා ව්යාජ ජාතිකවාදීන් රඟන රැඟුම්.

ගොර්බචොෆ් හා දේශපාලන කතා

 ගොර්බචොෆ් හා දේශපාලන කතා

 

සසෙක්ස් විශ්වවිිද්‍යාලයේ සිටි ලාංකිකයන් අතරින් දේශපාලනය කතා කෙළේ ෆ්‍රැන්ක් ප්‍රනාන්දු හා මහේන්ද්‍රන් පමණයි. ෆ්‍රෑන්ක් දක්‍ෂිණාංශික මත දැරූ අයෙක්. ඔහු සෝවියට් දේශයටවත් ඊනියා සමාජවාදයටවත් කැමැත්තක් දැක්වූයේ නැහැ. ඔහුගේ කැමැත්ත තිබුණේ බටහිර ක්‍රමයට. ඔහු කිසි පරස්පරයක් නැතිව එහි ජීවත් වුණා. 1969-70 කාලයේ දී සෝවියට් සංගමය කඩා වැටෙන්න පටන් අරන්. 1953 ස්ටැලින්ගේ මරණයත් සමග තවදුරත් රාජ්‍ය ධනවාදය ක්‍රියාත්මක කිරීම අසීරු වුණා. ස්ටැලින්ගෙන් පසු බලයට පැමිණි කෘෂ්චොෆ් 1964 දී බලයෙන් පහවෙන විට නමින් සන්ධීය රාජ්‍යයක් වූ සෝවියට් සංගමය දෙදරා යෑම ආරම්භ වී තිබුණා. 1968 දී චෙකොස්ලොවේකියාවේ සිදු වූ ප්‍රතිසංස්කරණ සමග සෝවියට් සංගමය එරට ආක්‍රමණය කළා.

 

Saturday 3 September 2022

වැඩවසම් රෙද්ද

 

වැඩවසම් රෙද්ද

 

සසෙක්ස් විශ්වවිද්‍යාලයට යන විට මා සමසමාජ පක්‍ෂයේ සාමාජිකයෙක්. එනම් මාක්ස් ට්‍රොට්ස්කිවාදියෙක්. ඒ විශ්වවිද්‍යාලය රැඩිකල් විශ්වවිද්‍යාලයක් ලෙස නමක් දරා තිබුණා. 1967 දී යුරෝපය පුරා පැතුරුණු ශිෂ්‍ය අරගලවල දී එහි සිසුන් ක්‍රියාකාරීව සහභාගි වී තිබුණා. මා සමග තාරකා විද්‍යා මධ්‍යස්ථානයේ ආචාර්ය උපාධි සඳහා වැඩ කළ සිසුන් එතරම් දේශපාලනයක් ගැන උනන්දුවක් දැක්වූයේ නැහැ. එහෙත් ඔවුන් වැඩි දෙනා ලේබර් පක්‍ෂයේ හිතවතුන් බව තේරුම් ගියා. එහි දී කැපී පෙනෙන සිසුන් දෙදෙනකු  හිටියා.

 

Friday 2 September 2022

නොබෙල් තෑග්ග ඇඹිලිපිටියට

 පඬි කතා අනුව සියලු නොබෙල් සහ වෙනත් තෑගි ලංකාවට. ආර්ථික විිද්යා නොබෙල් තෑග්ගට දැඩි තරගයක්. ඇඹිලිපිටියේ හිමි නමක් පෙරමුණේ.

ගෝඨාභය සාදරයෙන් පිළිගනිමු

 

ගෝඨාභය සාදරයෙන් පිළිගනිමු

 

මගේ ආ ගිය තොරතුරු අද ලියන්නෙ නැහැ. හෙට පාන්දර ගෝඨාභය එනවා.  පරංගි පරගලය කෙළේ සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි තැන අහිමි කිරීමට. පරංගි පටන් ගත් වැඩේ කෙළවරක් කරන්න. ඒත් ඒක හරි ගියේ නැහැ. පරගලයට සහභාගි වුණු හාමුදුරුවරුත් දැන් ටික ටික පරගලය තේරුම් ගන්න පටන් අරන්. අර වස් කැඩුණු හාමුදුරුවරුන්ට මොක ද දන්නෙ නැහැ වුණෙ.

Thursday 1 September 2022

රනිල්ට බැහැ

                                    රනිල්ට බැහැ

ලිබරල්වාදයටත් බැහැ සමාජවාදයටත් බැහැ

නික්ම යෑම

 

නික්ම යෑම

 

මා දැන් ලියමින් සිටින්නේ 1979 ට පමණ පෙර කාලය ගැනයි. 1979 පමණ සිට 1985  පමණ දක්වා කාලය මගේ ජීවිතයේ සංක්‍රමණීය කාල පරිච්ඡෙදයක්. ඇතැමුන් 1979 ට පෙර කාලයෙහි සිදු වූ දේ අද සිදුවන දේ ලෙස සලකන බව පෙනී යනවා.