Main Logo

Thursday 22 September 2022

යළි ඉපදීම

 යළි ඉපදීම

 

ක්‍රිකට් ලෝකයේ යළි උපන් භාණුක රාජපක්‍ෂ ගැන පාස්ටර් කියන කතාව පිළිබඳ ව පඬි නැට්ටන් ජඩමාධ්‍යවේදීන් ඇතුළු සකල ලෝකවාසී බුද්ධිමතුන් නිහඬ එය මිථ්‍යාවක් නොවන නිසා විය යුතුයි. බුද්ධිමතුන්ට යමක් වරදින්නේ නැහැ. අද දේශපාලනයෙහි සහ වෙනත් තැන්වල යළි උපන් අය බලය තහවුරු කර ගෙන. මා කියන්නේ භාණුක රාජපක්‍ෂ ගැන නො වෙයි.

 

පොදු පෙරමුණෙන් නැත්තන් පොහොට්ටුවෙන් කැඩී ගොස් සුවාදීන වූ කණ්ඩායම් ගැන සැලකිල්ලක් දක්වන්න ඕන. ඔවුන් තමන් යළි ඉපදුණු බවක් කියන්නේ නැහැ. එහෙත් එහි නායකයන් කිහිප දෙනකු යළි ඉපදී. මෙයින් කියන්නේ නාමල් රාජපක්‍ෂ හොඳ බෞද්ධයකු කියන එක නො වෙයි. අද ජාතිකත්වයට පක්‍ෂයක් නැහැ. 

 

ගුණදාස අමරසේකර බොහෝ කලකට පෙර මා හිතන විධියට ඉතාලි නවකතාවක් ඇසුරෙන් යළි උපන්නෙමි කියා නව කතාවක් පළ කළා. එදිරිවීර සරච්චන්ද්‍ර එයට නොබෙල් තෑග්ග දෙන්න යෝජනා කළා. එහෙත් එය ඉංගිරිසියට පරිවර්තනය වුණේ නැහැ. එහෙම වෙච්ච නැති එක හොඳයි. නැත්තන් අර ඉතාලි නවකතාකරු ප්‍රශ්න කරන්න තිබුණා.

 

ඒ ක්‍රමයට යළි ඉපදීම ඉතාලියට සහ තවත් රටවලට හොඳ වෙන්න පුළුවන්. ඒත් අප යළි ඉපදෙන්නේ මූලික වශයෙන් පින් පවු පදනම් කරගෙන. පාස්ටර් ඒ ගැන මොකද කියන්නෙ. විවිධ පාස්ටර්ලා දිගට ම ඔය වැඩේ කරගෙන යාවි. ආසියා කුසලාන පමණක් නොව ලෝක කුසලාන ද අපට අරන් දේවි. රටත් යළි ඉපදවීමට තැත් කරාවි. ඒ බෞද්ධකම නැති කර යළි ඉපදීම. සමහර විට අප යළි ඉපදුනොත් දකුණු කොරියාවක් බවට පත්වෙන්නත් පුළුවන්.

 

මට මතක් වෙන්නෙ අපේ ආච්චි අම්මා. ඇය දුප්පත්. අර සමුද්‍රගිරියෙ ක්‍රිස්තියානි නෑයන් ආච්චි අම්මාට කියා තියෙනවා ආගමට එනව නම් අම්මවත් මාමාවත් හදාගන්න උදවු කරන්නම් කියා. ආච්චි අම්මා යළි ඉපදීම පැත්තකින් තියල දිගට ම ආප්ප පුච්චලා.  ආච්චි අම්මා බුද්ධිමතකු නො වෙයි. මාත් බුද්ධිමතෙකු නො වෙයි.