Main Logo

Thursday 29 September 2022

කුලය හා කුලවැද්දුම

 

කුලය හා කුලවැද්දුම

 

උභය කුල පාරිශුද්ධ කිසිවකු ඉන්දියාවේ හරි ලංකාවෙ හරි ඉන්නව කියල මා හිතන්නෙ නැහැ. ලංකාවට කුල කතාව එන්න ඇත්තෙ ඉන්දියාවෙන් (භාරතයෙන්) වෙන්න ඕන. කුලය කියන්නෙ පවුලට. එක් අතකින් ගත්තොත් කුලය කියන්නෙ ඉතාම විස්තෘත පවුලක් (extended family) හැටියට හිතන්න පුළුවන්. එහෙත් මේ කිසිම පවුලක අර උභය කුල පාරිශුද්ධ අය නැහැ. කුලවලට පිටින් වැද්ද ගන්නවා. අප යොදා ගන්න වචනයක් තියෙනව කුලවැද්දුම කියල. විවාහයෙන් කුලයකට වැද්ද ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් නිලයෙන් හරි නිලයකට යෑමට අවශ්‍ය නිසා හරි කුලයකට වැද්ද ගන්න පුළුවන්.

 

කුලයක යම් සංස්කෘතියක් තියෙනවා.  මා කියන්නෙ නැහැ ඒ ඒ කුලයට උප සංස්කෘතියක් තියෙනවා කියල. ඒත් ඒ ඒ කුල අතර සංස්කෘතික වශයෙන් යම් යම් වෙනස්කම් තියෙන්න පුළුවන්. මා දන්නව කරාව කුලයෙ අවමගුල්වල දි මුතු කුඩය, කරාව සංකේත ගෙනියන බව. සලාගම කුලයෙ ජොරා මැරීම කියල උත්සවයක් තියෙන බව මට ටික කලකට පෙර දැන ගන්න ලැබුණා. මට ඒ උත්සවය ගැන ලොකු උනන්දුවක් ඇති වුණා. ඒ ගැන කවුරු හරි හොයනව නම් හොඳයි. සිංහල අප මොන කුලයෙ වුණෙත් පොදු ලක්‍ෂණ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ පොදු ලක්‍ෂණ ප්‍රධානයි.

 

අපේ කතාව අපි ඉන්දියාවෙන් පටන් ගනිමු. මා කුරු පාණ්ඩව යුද්ධය දක්වා මහාභාරත ඉතිහාසයට යන්නෙ නැහැ. බෝසතාණන් වහන්සේ කාලය, ද්වීපය, දේශය, කුලය, මව හොයල තියෙනවා. මේ කුලය කියන්නෙ පවුල කියන එක කියලයි මගේ හැඟීම. පවුල තෝරා ගත්තට පස්සෙ මව තෝර ගෙන තියෙනවා. භාරතයෙ තිබුණෙ මූලික වශයෙන් වර්ණ. බ්‍රාහ්මණ, ක්‍ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර කියල. එය බ්‍රාහ්මණයන්ගෙ බෙදීමක්. බ්‍රහ්මන්ගෙ අහවල් අවයවයෙන් අහවල් වර්ණය ඇති වුණා කියල තමයි කියන්නෙ.

 

අග්ගඤ්ඤ සුත්‍රයෙ මේ රාජ සංකල්පය ගැන කියැවෙනවා. අද මේ නිකාය භේදයක් තිබුණට බුදුහාමුදුරුවන්ගෙ සාසනේ ඕන ම වර්ණයකට අයත් අයකුට පැවිද්ද ලබා ගන්න පුළුවන් වුණා. මේ සූත්‍රය දේශනා කරල තියෙන්නෙ සඟ සසුනට එක්වීම නිසා බ්‍රාහ්මණයන්ගෙ අවමානයට ලක් වුණු, බමුණු කුලය අත්හැර ආ දෙදෙනකුට. අපට අවශ්‍ය ඒ සූත්‍රයෙ සමාජ පිළිවෙල හැඩගෑසුණු ආකාරය. විශ්වවේදයෙ දි මා අර සංවට්ට කප්ප විවට්ට කප්ප කතාව යොදා ගන්නවා. ඒ සූත්‍රය අනුව මහපොළොවෙ මිනිසුන් ඇති වෙලා ටික කලකට පස්සෙ  තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා වී රැස් කළ අය අතර භේද ඇති වන විට සියලු දෙනා ම එකතු වී මහාසම්මතයෙන් එක් පුද්ගලයකු මේ ආරවුල් බේරන්න පත්කර ගෙන තියෙනවා. ඒ තමයි කෙතේ ප්‍රධානියා නැත්නම් ක්‍ෂත්‍රියයා. මෙයින් පැහැදිලි වන්නේ ක්‍ෂත්‍රිය කියන අය උපතින් ක්‍ෂත්‍රිය නොවූ බවයි. එහෙත් කල් යෑමේ දී රජකම පියාගෙන් පුතාට යනවා.

 

එවැනි රජවරු භාරතයේ මධ්‍යකාලීන යුගය වන විට හිටියා. හයවැනි සියවසේ වඩා ප්‍රධාන රජකු වුණේ හස්තිවර්ධන රජු. ඔහුගේ ඇවෑමෙන් රාජ්‍යය විසිරී ගියා. ඇතැම් ඉන්දීය ඉතිහාසඥයන් කියන විධියට එකල හිටපු යුද්ධ දක්‍ෂයන් ඒ රාජ්‍යයේ විවිධ කොටස් පාලනය කරලා. ඔවුන් විවිධ වර්ණවලින් ආ අය ලෙසයි හැඳින්වෙන්නෙ. ඒ අය තමයි රාජ්පුත්වරුන් ලෙස හත්වැනි සියවසේ පටන් දොළොස්වැනි සියවස පමණ වන තෙක් භාරතයේ බටහිර හා වයඹ ප්‍රදේශ පාලනය කරල තියෙන්නෙ. මා මේ කියන්නෙ විවිධ ඉතිහාසඥයන් කියා ඇති දෙයින් මා තේරුම් ගන්න විධිය. ඨකුර් කියන්නෙ ඒ රාජධානිවල නම්බු නාමයක්. ඨකුර්ලාගේ බිරින්දෑචරු ඨකුරනී ලෙස හඳුන්වා තියෙනවා.

 

දොළොස්වැනි සියවසේ මුස්ලිම් ආක්‍රමණවලින් පසු රාජ්පුත්වරු භාරතයේ නැගෙනහිරට හා දකුණට සංක්‍රමණය වෙලා තියෙනවා. ඔවුන් වත්මන් නේපාලය දක්වා ගිහින් තියෙනවා. බෙංගාලයට ගිය ඨකුර්ලා තාගෝර්ලා වුණා. වඩාත් ම දකුණට පැමිණි ඨකුර් කෙනකු කුරුණෑගලට ඇවිත් තියෙනවා. ඔහු සමහරවිට විවාහයෙන් නැත්නම් නිලබලයෙන් ලංකාවේත් ක්‍ෂත්‍රිය වංශයට කුලවැද්දුම් ලබා ගෙන තියෙනවා. ඒ මට පේන විධිය. එයට තවත් විවරණ තියෙන්න පුළුවන්.

 

මෙරට මට තේරෙන විධියට අඩු තරමෙන් සංඝමිත්තා තෙරණින් වහන්සේ  අටළොස් කුලයක් සමග වැඩිය දවසෙ ඉඳන් විවිධ කුල නැත්නම් පවුල් තියෙනවා. ඒ පවුල්වලට විවිධ අවස්ථාවල විවිධ රටවලින් පැමිණි අය වැද්දගෙන තියෙනවා. කෞරව කුලයට පසු කලෙක වත්මන් කේරළ තමිල්නාඩු සීමා ප්‍රදේශයෙන් පැමිණි පිරිස් මෙන් ම කෝරමණ්ඩල ප්‍රදේශයෙන් පැමිණි පිරිස් ද වැද්දගෙන තියෙනවා. මේ ප්‍රදේශයෙන් පැමිණි පිරිසක් කරාව යන නමින් කෞරව කුලවැද්දුම ලබා ගෙන ඇති බවයි පෙනී යන්නෙ.  තවත් පිරිස් සලාගම, දුරාව කුලවලට වැද්දගෙන තියෙනවා. සමහරවිට ඒ කුල කලින් වෙනත් නම්වලින් හැඳින්වෙන්න ඇති. කුරුණෑගල සලාගම කුලයට අයත් අය ඉන්න බව කියනවා. මා හිතන්නෙ භාරතයේ විවිධ ප්‍රදේශවලින් විවිධ කාලවල පැමිණි පිරිස් වැඩිපුූර අදාළ කාලයේ අගනුවර සමීපයේ පදිංචි වී ඇති බවයි. මෙය මගේ හිතළුවක් පමණයි . මේ සියල්ල ගැන විධිමත් අධ්‍යයනයක් කරන්න ඕන.

 

මේ කුලවැද්දුම් මෑතකදීත් සිදු වුණා. ඉංගිරිසි කාලය වන විට ගොවිගම කුලය සිංහලයන් අතර ප්‍රධාන කුලය බවට පත්වෙලා. එය ලන්දේසි කාලයේ සිදු වුවක් බවයි මගේ මතය. කීරවැල්ල පරම්පරාවේ කුමරියන් නැති නිසා නරේන්ද්‍රසිංහ රජුට නායක්කාර් කුමරියක් ගෙනාවා කියල තමයි කියන්නෙ. මට නම් එය විශ්වාස කරන්න අමාරුයි. මෙය මෙරට ක්‍ෂත්‍රිය පරපුර වෙන අතකට යොමු කිරීමට ලන්දේසින් ගත් උත්සාහයක් වෙන්න පුළුවන්. අපට පේන කාරණය තමයි රදළ පිරිසක් බලයට පැමිණීමත් පසුව ඉංගිරිසි කාලයේ දී ඩොයිලිගේ සටකපට ක්‍රියා නිසා රජවරු නැති වීමත්. ක්‍ෂත්‍රියන් යොදා ගත් බණ්ඩාර මැණිකා ආදී නම් අර රදළ පිරිසත් යොදා ගෙන තියෙනවා. ලන්දේසි කාලයේ තමයි සියම් නිකායත් ඇති වුණෙ. මුල දි සියම් නිකායෙ ඕනෑම කුලයකට අයත් අය පැවිදි වුණත් පසුව එය ගොවිගම කුලයට පමණක් සීමා වූ බව තිස්ස කාරියවසම් තම ආචාර්ය උපාධි නිබන්ධනයේ සඳහන් කරනවා. රදළයන් බවට පත් වු ඇතැමුන් බ්‍රාහ්මණ වාංශිකයන්. ඒ බ්‍රාහ්මණ වාංශිකයන්ගෙන් සමහරු සලාගම කුලයට කුලවැද්දුම් ලබා ගෙන තියෙනවා.

 

මා මෙහි සඳහන් කරන දෙයින් කිසිවකු කුපිිත විය යුතු නැහැ. මට අවශ්‍ය මා සහ සිංහලයන් තේරුම් ගැනීමට. ජේම්ස් රත්නම්ට අනුව ඉංගිරිසි කාලයේ මැලේ හා ලන්දේසි සම්භවයක් ඇති ද සේරම් පවුලක්  ගොවිගම කුලයට කුලවැද්දුම් ලබා ගෙන දේශපාලනයේ යෙදී තියෙනවා. අප කවුරුත් දන්නා බණ්ඩාරනායකලා ද ඉන්දියාවෙන් පැමිණ ගොවිගම කුලයට කුලවැද්දුම් ලබාගත් අය. දේශපාලනයේ යෙදෙන ගොවිගම  කුලවැද්දුම් ලැබූ තවත් අය ඉන්නවා. උභය කුල පාරිශුද්ධ කිසිවකු නැහැ.