Main Logo

Tuesday 20 September 2022

අපේ නිවටකම

 

අපේ නිවටකම

 

මෙය කෙටි සටහනක්. එලිසබෙත් වින්ඩ්සර්ගේ කතාව දිගින් දිගට ඇදෙනවා. ඒ අපේ නිවටකම පෙන්වමින්.  මේ නිවටකම බොහෝ කලක සිට පැවත එන්නක් වෙන්න පුළුවන්. ඉංගිරිසින් ඒ බව තේරුම් ගත්තත් වෙන්න පුළුවන්.

 

ඊයේ අප ජනාධිපති කාර්යාල ගොඩනැගිල්ලේ සිංහ කොඩියත් එක්සත් රාජධානියේ කුරුස කොඩියත් දෙක ම අඩ කුඹු කළා. එය රනිල්ගේ අදහසක් වෙන්න පුළුවන්. ඔහු නොවැ ව්‍යවස්ථානුකූල ව හරි රටේ ජනාධිපති. එක්සත් රාජධානිය කියන්නෙ වෙන රටක්. අප දැන් ඒ රටේ යටත්විජිතයක් නො වෙයි. අඩු තරමෙන් අප බිරිතානි රජු අපේ රජු හැටියට පිළිගන්නෙත් නැහැ. අපට වෙනත් රටක කොඩියක් ඔසවන්න හරි අඩ කුඹු කරන්න හරි පුළුවන් ද කියන ප්‍රශ්නයත් මතුවෙනවා.

 

මට මතක් වුණා ඒ දවස්වල එංගලන්ත (එම් සී සී) ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග සඳහා ඕස්ත්‍රේලියාවට නැවෙන් යන අතර දින කිහිපයක් කොළඹ නැවතිලා ලංකා කණ්ඩායමක් සමග ක්‍රිකට් තරගයකට සහභාගි වීම. එකල අපට ටෙස්ට් වරම් හිමිව තිබුණේ නැහැ. ඒ තරග පැවැත්වුණේ වනාතමුල්ලෙ ඕවල් ක්‍රීඩාංගනයෙ. ඒ තරග බැලීමට බොහෝ දෙනා ගියා. ජී එල් පීරිස්ගේ ගෙදර කට්ටියත් ගියා. ඔවුන් ගියේ මෝටර් රථයේ එක් පැත්තක සිංහ කොඩියත් අනෙක් පැත්තේ අර කුරුස කොඩියත් සවි කර ගෙන.

 

රනිල් අද ජී එල් ගණන් ගන්නෙ නැති එක වෙන ම ප්‍රශ්නයක්. ඒත් ඔවුන්ට එංගලන්තය, බිරිතානිය ගැන ඇත්තේ අඩු තරමෙන් තිබුණෙ එක වගේ හැඟීම්. එකල එංගලන්තය මවු රට ලෙස සැලකූ අයත් හිටියා. අප රටේ පිරිසක් එංගලන්තයට වඳිනවා. තව පිරිසක් ඉන්දියාවට වඳිනවා. මා කියන්නේ සිංහල බෞද්ධයන් ගැන නො වෙයි. සිංහල බෞද්ධයන් දඹදිව වන්දනාවෙ යනවා. ඒ ඉන්දියාවට වඳින්න නො වෙයි. එහෙත් ඉන්දියාවට වඳින ගතු කියන ලාංකිකයන් ඉන්නවා. ඇතැම් සංගීතඥයන් අතරත් ඔවුන් දකින්න පුළුවන්.

 

අප ශ්‍රී ලංකා ගුවන් සේවයේ ගුවන් යානයකුත් එලිසබෙත් වින්ඩ්සර් වෙනුවෙන් සරසලා. මේ සමග එහි ඡායාරූපයක් පළ වෙනවා. අප මෙලෙස කටයුතු කරන්නේ ඇයි? අප එකල උත්සාහ කෙළේ ඉංගිරිසින් මෙන් ඉංගිරිසි බස උච්චාරණය කරන්න. මා හිතන්නෙ නැහැ වෙන කිසිම රටක් එවැනි උත්සාහයක් ගත්තා කියා. ඉංගිිරිසි වරද්දන්න අප බය වුණා. අද තරුණයන් අතර නම් ඒ බය නැති පාටයි.

 

ඒ කොහොම වුණත් ඒ ඉංගිරිසි වරද්දන අය වුණත් අවසානයේ දී ඉංගිරිසි දැනුමට යටයි. ඔවුන් ඉංගිරිසි නැත්නම් කුරුස කොඩිය වනන්නෙ නැති වෙන්න පුළුවන්. ඒත් ඔවුන් ඉංගිරිසි (බටහිර) දැනුම වණනවා. එයට යට වෙනවා. තමන් අනෙකකුට වඩා ඉංගිරිසි දැනුමේ කිසියම් දෙයක් දන්න බව ප්‍රදර්ශනය කරන්න හදනවා. අපට ඇත්තේ දර්ශන අධ්‍යනාංශයක් නොව ප්‍රදර්ශනාංශයක් කියා කියනවා. ඒ ප්‍රදර්ශනය කරන්නේ ඉංගිරිසි (බටහිර) දැනුම. ඒක දාර්ශනිකයන්ට පමණක් සීමා වෙලා නැහැ.

 

අපේ නිවටකම ගලා එන්නේ කොහෙන් ද කියන එක පැහැදිලි නැහැ. ඉංගිරිසින් දැනුවත් ව එය වර්ධනය කර ඇති බව නම් පැහැදිලියි. ඒ සඳහා ඔවුන් පාසල් මෙන් ම පසුව විශ්වවිද්‍යාල අධ්‍යාපනය ද යොදා ගෙන තියෙනවා. අපි ලෝකයේ මැකෝලිගේ හොඳ ම  දරුවෝ. අප එදත් අදත් පිටින් එන දේ අපේ දේට වඩා අගය කරනවා. ගැමුණු විජයබා හැරෙන්න අපේ ප්‍රධාන රජවරු පිටින් ආ අය කියා හිතෙනවා. විජයගේ සිට හයවැනි පරාක්‍රමබාහු දක්වා හදාරන්න. විජය මුළු ලංකාවේ ම රජ වුණෙ නැහැ. එහෙත් ඔහු තමයි කතාව පටන් අරන් තියෙන්නෙ. ඔවුන් මෙරට සංස්කෘතියට අවශෝෂණය වී තිබෙනවා. එහෙත් ඔවුන්ගේ දේත් අපට දීල තියෙනවා. අපට ඕල්කට්තුමා පිළිගැනීම ඉතා පහසු කටයුත්තක් වුණා.

 

අප ජෙනීවා විගඩමට මෙතරම් යට වෙන්නෙත් නිවට කම නිසා. අප ඔවුන් ගණන් නොගෙන හිටියොත් ඔය ප්‍රශ්න එකක්වත් නැහැ. එක අතකට එලිසබෙත් වින්ඩ්සර් වෙනුවෙන් ගුවන් යානයක් සැරසුවාට ඇති වැරුද්ද මොකක් ද? ඒත් ඔය මොන සැරසිලි කළත් ඔවුන් අපට පවුමක් ආධාර වශයෙන් දෙන්නෙ නැහැ. ඔවුන් අප ගැන හොඳින් දන්නවා.