Main Logo

Friday 23 September 2022

ජනාධිපති හා එංගලන්තයේ රජු

 

ජනාධිපති හා එංගලන්තයේ රජු

 

ඉංගිරිසින් අප රටට පැමිණෙන විටත් අපට යම් අධ්‍යාපන ක්‍රමයක් තිබුණා. ඒ පන්සල් ඇසුරෙන්. එහෙත් අපේ පිරිවෙන් අභාවයට ගොස් තියෙන්න ඇති. කෝට්ටේ යුගයේ විජයබා පිරිවෙන, සුනේත්‍රා දේවී පිරිවෙන ගැන කියැවෙනවා. එහෙත් දහනවවැනි සියවසේ එවැනි ප්‍රසිද්ධ පිරිවෙන් තිබුණා ද යන්න ප්‍රශ්නයක්. පන්සල් ඇසුරෙන් ලැබූ අධ්‍යාපනය මා කුඩා කලත් පන්සල් පොත් කියවීම ලෙස පැවතුණා. මාත් පන්සල් පොත් කියවූ අයෙක්.

 

ලන්දේසින් මෙන් නොව ඉංගිරිසින් තම ආගම ප්‍රචාරය කිරීම සඳහා පාසල් යොදා ගත්තේ නැහැ. ඉංගිරිසින් කෙළේ තම සංස්කෘතිය පැතිරවීමයි. ඉංගිරිසි ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය අප මත පැටවීමයි. ඒ සංස්කෘතික ආධිපත්‍යය පැටවීමේ දී බුදුදහමට අපහාස වන කතා කීවා පමණක් නොව බුදුදහම වැරදි යන අදහස ද පුළුල් සමාජයේ ද ප්‍රභූ පාසල්වල ද පැතිරෙවුවා. අපට හත්වැනි පංතියේ සිංහල ඉගැන් වූ ගුරුවරයා ජාතක කතා බොරුය යන අදහස අපට දුන්නා. ඒ 1957 දී. 1814 සිට දහනවවැනි සියවස අග දක්වා සිදු වී ඇති දේ පිළිබඳ නිසි අධ්‍යයනයක් කෙරී නැහැ.

 

සිංහල බෞද්ධයන් ආගමිකයන් සමග ගැටුනේ නැහැ. සිංහල බෞද්ධයන් හා රජු කතෝලිකයන්ට තම ආගම ප්‍රචාරය කිරීමට ඉඩ දුන්නා. ජුසේ ද වාස් පූජකතුමාට තම කාර්යය කර ගෙන යෑමට සිංහල බෞද්ධයන් උපකාර වෙලා තියෙනවා. කතෝලිකයන් සමග සිංහල බෞද්ධයන් ප්‍රශ්න ඇති කර ගත්තේ නැහැ. එක් අතකින් සිංහල බෞද්ධයන් ආගමක් ඇදහුවේ නැහැ. ඔවුන් විවිධ ක්‍රිස්තියානි ආගමිකයන් හැඳින්වූයේ ආගම් කාරයන් කියා.

 

දහනවවැනි සියවසේ සිංහල බෞද්ධ පුනර්ජීවනය ඇති වුණේ ප්‍රධාන වශයෙන් ඉංගිරිසි ක්‍රිස්තියානීන් බුදුදහමට අපහාස කරමින් එය වැරදි බව කීමට යෑම නිසා. එහි දී ඇංග්ලිකන් හා මෙතෝදිස්ත පූජකයන් හා වෙනත් අය ප්‍රධානත්වය ගත්තා. සිංහල බෞද්ධ පුනර්ජීවනය එවැන්නන්ට විරුද්ධව ඇති වූ එකක්. එහි ඇති ප්‍රොතෙස්තන්ත විරෝධයක් නැහැ. මතුපිටින් බලා විස්තර සොයන ගණනාථ ගණයේ ඊනියා බුද්ධිමතුන්ට සිංහල බෞද්ධ පුනර්ජීවනයේ ප්‍රොතෙස්තන්තයක් පේනවා ඇති.

 

යුරෝපයේ ප්‍රොතෙස්තන්තය ඇති වුණේ පාප් වහන්සේගේ ආධිපත්‍යයට අක්‍රමිකතාවන්ට විරුද්ධ ව. එහි ප්‍රධානියකු ලෙස සැලකෙන මාටින් ලූතර් 1517 දී සුප්‍රසිද්ධ  නිබන්ධ අනූපහ ඉදිරිපත් කළා.ඔහු ඒ සම්බන්ධ පෝස්ටරයක් පල්ලියේ ඇලෙවුවා. මා ඔහු හඳුන්වන්නේ පෝස්ටරයේ පියා කියා. අප තවමත් පෝස්ටර අලවනවා. මෙටාවේ (මුහුණුපොතේ) කරන්නේත් පෝස්ටර් දැමීමක්. ඒ කොහොම වුණත් ප්‍රොතෙස්තන්ත ව්‍යාපාරය එක ම දෙවියන් වහන්සේගේ පිරිසක් තවත් පිරිසකට විරුද්ධ විමෙන් ඇති වු  එකක්.

 

සිංහල බෞද්ධ පුනර්ජීවනය බුදුහාමුදුරුවන්ගේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් නො වෙයි. එය ආගමක් නොඇදහූ සිංහල බෞද්ධයන් ඉංගිරිසි ක්‍රිස්තියානින්ගෙ අපහාසවලට වැරදි අර්ථකථනවලට විරුද්ධ ව ඇති කළ එකක්. පඬි නැට්ටන් අමතක කළත් මාටින් ලූතර් හා පිරිස ඇති කෙළේ චින්තන විප්ලවයක්. එය යුරෝපයේ කතෝලික චින්තනයෙන් ක්‍රිස්තියානි චින්තනයට මාරු වීම.

 

කතෝලික කියන එකේ තේරුම ම සාමූහිකත්වය කියන එක. කතෝලිකයන් දෙවියන් වහන්සේට යාඥා කෙළේ සාමූහික ව පල්ලියේ දී. ලූතර්ලාගේ තර්කය වූයේ දෙවියන් වහන්සේ හැම තැන ම හැම විට ම ඉන්න බැවින් දෙවියන් වහනසේ ඕනෑම තැනක දී හමුවිය හැකි බවත් ඕනෑම තැනක යාඥා කළ හැකි බවත්. ගෙදර දී පෞද්ගලික ව දෙවියන් වහන්සේට යාඥා කළ හැකි බව ලූතර්ලාගේ මතය වුණා. මෙහි දී සිදු වූයේ දෙවියන් වහන්සේ පෞද්ගලික කරණයට ලක් කිරීමක්. එහි දී සාමූහිකත්වයෙන් පෞද්ගලිකත්වයට මාරු වුණා. එය තමයි ප්‍රෙතෙස්තන්ත ව්‍යාපාරයේ ප්‍රධාන ම කාරණය. නව චින්තනයක් ඇති වීම. බටහිර විද්‍යාව, ධනවාදය කාර්මික විප්ලවය ආදිය ඇති වුණේ නව චින්තනයේ.

 

සිංහල බෞද්ධයන් ප්‍රොතෙස්තන්තය අනුකරණය කරමින් සාමූහිකත්වයකින් පෞද්ගලිකත්වයකට මාරු වුණේ නැහැ. අපි ආගමක් ඇදහුවේ නැහැ. නිවන් සම්මාබෝධය පෞද්ගලික කරුණක්. හාමුදුරූවන්ගෙන් ගුරූපදේශ ගැනීම පෞද්ගලිකවත් සාමූහිකවත් කරන්න පුළුවන්. සිංහල බෞද්ධ සංස්කෘතියේ වැඩ කෙරුණේ සාමුහික ව එකිනෙකාට උපකාර කරමින්. අත්තම් ක්‍රමය එයට උදාහරණයක්. ගම්මඩුවේ මිනිසුන් එකට රැස්වුණා. සිංහල බෞද්ධයා කෙරෙහි හාමුදුරූවන් ආධිපත්‍යයක් පැටෙවුවෙ නැහැ. සිංහල බෞද්ධ පුනර්ජීවනය හාමුදුරුවන්ට විරුද්ධ ව ඇති වූවක් නො වෙයි.

 

එහෙත් සිංහල බෞද්ධ සමාජයේ නායකත්වය තිබුණේ හාමුදුරුවන්ට. එය කිසි විටෙකත් ආධිපත්‍යයක් වුණේ නැහැ. අපේ ගුරුවරුන් වූයේ හාමුදුරුවරුන්. පංච මහා වාදවලත් නායකත්වය ගත්තේ හාමුදුරුවරුන්. ගිහියන් අවශ්‍ය කටයුතු සම්පාදනය කළා පමණයි. සිංහල බෞද්ධයන් ඊනියා ප්‍රොතෙස්තන්ත බුද්ධාගම්කාරයන් නො වෙයි.

 

එසේ වුණත් ඉංගිරිසි ක්‍රිස්තියානි අධ්‍යාපනය මගින් ක්‍රමයෙන් හාමුදුරුවරුන්ට තිබූ නායකත්වය නැති කෙරුණා. සිංහල බෞද්ධ පුනර්ජීවනයේ ප්‍රතිඵලයක් ලෙස මෙරටට පැමිණි ඕල්කට්තුමාත් එයට හවුල් වුණා. ක්‍රමයෙන් හාමුදුරුවරුන් නොව ගිහියන් සමාජයේ ගුරුවරුන් බවට පත් කෙරුණා. අප දහනවවැනි සියවසේ අගභාගයේ නැවත පිරිවෙන් පටන්ගත් නමුත් පිරිවෙන් ද ක්‍රමයෙන් තවත් පාසල් බවට පත්වුණා. සමාජයේ නායකත්වය ගිහියන් අතට ගියා. ඒත් ඉංගිරිසි ක්‍රිස්තියානි ආධිපත්‍යය කෙතරම් බලවත් වුවත් තවමත් සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරටින් තුරන් වෙලා නැහැ. ජනාධිපතිටත් පන්සල් යෑමට බල කෙරෙනවා. ජනාධිපතිත් හාමුදුරුවන්ට වඳිනවා.  එංගලන්තයේ එහෙම නැහැ. එංගලන්තයේ ප්‍රොතෙස්තන්ත  ඇංග්ලිකන් ආගමේත් ප්‍රධානියා තුන්වැනි චාල්ස්.  ඔහු එන විට කැන්ටබරියෙ ආච්බිෂොප්වරයාත් නැගිටින්න ඕන.