Main Logo

Thursday 15 September 2022

සතපහක ආධාරයක් දෙන්නෙ නැතුව බෙල්ල හිර කිරීම

 

සතපහක ආධාරයක් දෙන්නෙ නැතුව බෙල්ල හිර කිරීම  

 

ක්‍රිකට් වසන්තය තව දින කිහිපයකින් ඉවර වෙනවා. රනිල් එලිසබෙත් වින්ඩ්සර්ගෙ මළගෙදර ගිහින් ශෝක වෙලා ජාතියත් නිල වශයෙන් ශෝක කරල ආවට පස්සෙ ඒ කතාවත් ඉවරයි. ක්‍රිකට් කුසලාන අස්සෙ එක දෙයක් මගේ සිත් ගත්තා. වනිඳු හසරංග ආසියා කුසලානත් අරගෙන ගුවන් තොටුපොළේ ඉඳන් කොළඹට එන බසයේ මා  හිතන්නේ ගමන ආරම්භයේ දී සාදු සාදු කිවුවා. අපි ගමනක් අරඹන විට සාදු සාදු කියනවා. ඒ යහපතක් වේවා කියන හැඟීමෙන්. වනිඳුට ඒ සංස්කෘතික පුරුද්ද හිතට ආපු එක හොඳයි. වනිඳුටත් කණ්ඩායමටත් යහපතක් ම වේවා!

 

ඒත් රටට නම් යහපතක් වෙන පාටක් පේන තෙක් මානයේ දකින්න බැහැ. පරංගි පරගලය කළෙ කාගේ වුවමනාවට ද කියන එක දැන් හොඳට ම පැහැදිලියි. අර නායකත්වය දෙනවයි කිවුව ජෙප්පන් හා සෙප්පන් හොයා ගන්නවත් නැහැ. වමාලා සුපුරුදු පරිදි සකර්බර්ග් අනාථ කඳවුරේ කියවනවා.  ඒ අතර පරගලය මෙහෙයවපු සැලසුම් කරපු බටහිරයන් ඉන්දියාව සමගින් අපේ බෙල්ලට දාපු තොණ්ඩුව තව තවත් හිර කරමින් දෙමළ ජාතිවාදයට කප්පන් ගන්න කටයුතු කරනවා. ඔවුන්ගෙ එකම අභිප්‍රාය සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විශේෂත්වය අහිමි කිරීම.

 

පරගල කාරයන් තවමත් කියන්නෙ තමන්ගෙ අරමුණ ඉටු වුණා ය කියා. අද රනිල් බලයේ. ඒක තමයි ඉටු වෙලා තියෙන්නෙ. පරගල කාරයන් කියනවා ද රනිල් බලයට පත් කිරීම තමයි තමන්ගෙ අරමුණ වුනේ කියල. එහෙම කියන්නෙ නැත්නම් ඒක කාගෙ අරමුණ ද? කාගෙ සැලැස්ම ද? රනිල් බලයට පත් වෙන බව අපි නම් කලින් ම දැක්ක. බටහිරයන්ට හා ඉන්දියාවට අවශ්‍ය වෙලා තිබුණෙ ගෝඨාභය හා මහින්ද බලයෙන් ඉවත් කරන්න. ඔවුන් නාමල් රාජපක්‍ෂට අකමැති වෙන එකක් නැහැ. නාමල් පෙනී සිටින්නෙ බටහිරයන්ගෙ වුවමනාවන් වෙනුවෙන්. ඔහු දැන් රඟපෑමක යෙදෙනවා කැබිනට් ඇමතිකමක් එපා කියමින්.

 

අද බටහිරයන් හා ඉන්දියාවෙ ඊනියා උගතුන් කියන්නෙ මොකක් ද? ඔවුන් අද ජෙනීවාහි කියන්නෙ මොනවා ද? ඉන්දියාව අපට අර්බුදය මුල ණය දුන්නා. අපට ඔවුන් ආධාර කෙළේ නැහැ. සමහරවිට රුසියාව අපට ආධාර කරන්න තිබුණා. ඒත් මෙරට ඊනියා උගතුන් කොමිස් කාක්කන් එයට හරහට හිටියා. අද ජාමුලෙ කියනවා ණය කල් දාගන්නලු. අර කොන්දේසිය මේ කොන්දේසිය ක්‍රියාත්මක කරන්නලු. රනිල් ක්‍රම ක්‍රමයෙන් ඒව ඉටු කරාවි.

 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් අයිතිකාරිය අපට කියන්නෙ දෙමළ ජාතිවාදීන්ට සහන දෙන්න කියලා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත අස්කරන්න කියලා. ඉන්දියාව සුපුරුදු පරිදි දෙමළ ජනකොටස්වල අභිමානය රකින්න කියනවා. ඒ සඳහා දහතුන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්නයි ඔවුන් කියන්නෙ.

 

අප ලවා ඔවුන්ට අවශ්‍ය දේ කරවා ගන්න උත්සාහ කරන  බටහිරයන් අපට සතපහක ආධාරයක් දෙන්නෙ නැහැ. අපට ආධාරයක් කෙළෙ අර මියන්මා රජය. අපට ඔවුන් හාල් එවල තියෙනවා. අර සිතගු පන්සලේ හාමුදුරුවොත් ඩොලර් දහදාහක් දීල තිබුණා.  ඒ අප අතර තියෙන සුහදකම, මීත්‍රත්වය, බෞද්ධකම. අපට තවත් බොහෝ දේ මියන්මා දේශය සමග එකතු වී කරන්න පුළුවන්. මියන්මා රජය සූදානම් අප සමග පොල් හා තේ වගාව සම්බන්ධයෙන් කටයුතු කරන්න. එහෙත් මෙරට ඊනියා උගතුන් හා දේශපාලනඥයන් එයට සූදනම් නැහැ. බටහිර රටවල කුරුම්බා වතුරට ඉල්ලුමක් තියෙනවා. මියන්මාහි ඕන තරම් පොල් තියෙනවා. අපට මියන්මාහි පොල් නොව එලොව පොල් පේනවා.

 

අප තවමත් නිෂ්පාදන ආර්ථිකයකට යොමු වන්නෙ නැහැ. අප තෙල් ඇණවුම් කරනවා ගෙවීමට මුදල් සූදානම් කරගන්නෙ නැතුව. තෙල් නැවු වරායෙ තියෙනවා. අපට ප්‍රමාද ගාස්තු ගෙවන්න සිදුවෙනවා. සැලසුම් කිරීම කියන එක අප දන්නෙ ම නැහැ. අපට ප්‍රශ්නයට විසඳුමක් නැහැ. එයට හේතුව අප ප්‍රශ්නය හඳුනා නොගැනීම. මෙරට පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් තවමත් කියන්නෙ ප්‍රශ්නය රාජපක්‍ෂලා හොරකම් කිරීම, ණය අරගෙන වැඩක් නොකිරීම කියලයි. එහෙත් පහුගිය කාලයෙ වැඩියෙන් ම ණය අරගෙන කිසිම වැඩක් නොකර සිටියෙ රනිල්.

 

බටහිරයන් පරගලය කෙළෙ අප තව තවත් අමාරුවෙ දාන්න. ඔවුන් සිංහල බෞද්ධ සංස්කෘතියට තියෙන විශේෂත්වය නැති කරනකම් තොන්ඩුව තද කරාවි. අපත් අපේ සතපහකට වැඩක් නැති අධ්‍යාපනයෙන් ලබාගත්තෙ අධිපරිභෝජනය, බොරු ෂෝක් හා බොරු උගත්කම පමණයි. අපේ ප්‍රශ්නය එයයි. ප්‍රශ්නය හඳුනා ගන්නෙ නැතුව මොන විසඳුම් ද? බොරු උගතුන්ට දෙන්න පුළුවන් විසඳුමක් නැහැ.

                 

රනිල්ටත් විසඳුම් නැහැ. අර වජිර අබේවර්ධන කියන්නෙ රනිල් දැක්ක ම ලෝකෙ ම බය වෙනවා කියල. ඒත් සෙප්පන්ගෙ ලොක්ක කියල තිබුණෙ රනිල් බයගුල්ලෙක් කියල. ඒ ලොක්ක  දැන් හොයා ගන්න නැහැ. ඔහු රනිල්ට බයයි ද? ඒ මොනව වුණත් රනිල් අර මළගෙදර යන එක නම් එතරම් හොඳ නැහැ. චාල්ස් බය වුණොත් මොකද කරන්නෙ.

 

තව සති කිහිපයකින් රනිල් ආවටත් පස්සෙ ක්‍රිකටුත් අමතක වුනාට පස්සෙ රට තව තවත් අගාධයට යනවා. බටහිරයන් අපට සත පහකින් ආධාරයක් කරන්නෙ නැතුව දෙමළ ජාතිවාදයට සහන දෙන්න කියනවා. ඇත්තට ම ඔය දෙමළ ජනකොටස්වලට දෙමළ වීම නිසා ම පමණක් තියෙන ප්‍රශ්නය මොකක් ද? මා අහන්නෙ පඬි නැට්ටන්ගෙන් නො වෙයි. මානව අයිතිවාසිකම් අයිතිකාරයන්ගෙන් අයිතිකාරියන්ගෙන් හා ඉන්දියානුවන්ගෙන්.