Main Logo

Wednesday 7 September 2022

සමසමාජ මුල්

 

සමසමාජ මුල්

 

මගේ දේශපාලන ජීවිතය ඇරඹුණේ පාසල් වියේ දී. මා ඇසුරු කළවුන් අතර විවිධ දේශපාලන මත දැරූ අය සිටියා. විශේෂයෙන් ම සාහිත්‍ය සංගම් වැඩ නිසා. ඉන්දික ගුණවර්ධන කියන්නෙ දිනේෂ් ගුණවර්ධනගේ වැඩිමහල් සොහොයුරා. ඔහු තම පියා හා සොහොයුරන් මෙන් ම දේශපාලනඥයකු වුණා. බර්ටි ජයසේකර පසුව විශ්වවිද්‍යාලයේ සිංහල විශේෂ පාඨමාලාව හදාරා පරිපාලන සේවයට එකතු වුණා. ඔහු ග්‍රන්ථ කතෘවරයකු ද වුණා. පද්මල් වීරවර්ධන හෙවත් ඩබ් පී ද සිල්වා විශ්වවිද්‍යාලයේ දී සංස්කෘත විශේෂ උපාධිය ප්‍රථම පංතියේ සාමාර්ථයක් සහිත ව ලබාගෙන මනෝ විශේලේෂණය පැත්තට යොමු වුණා. කලක් පේරාදෙණියේ දර්ශන අධ්‍යනංශයේ සේවය කර පසුව ලංඩන් විශ්වවිිද්‍යාලයේ කථිකාචාර්යවරයකු බවට පත් වුණා.  අප සියලු දෙනා ම සමසමාජ අදහස් දැරූ අය. අවාසනාවකට ඒ තිදෙනාම දැන් මිය ගිහින්. පද්මල් හෙවත් ඩබ්ලිව් පී මට මතක හැටියට අටවැනි පංතියේ පමණ සිටිය දී උගුඩු විත්ති නමින් පොතක් පළ කළා. අප සමග දක්‍ෂිණාංශික අදහස් දැරූ අයත් සිටියා. රංජිත් සන්දනායක, හේමන්ත වර්ණකුලසූරිය ඒ අතර වුණා. රංජිත් පසුව ඇමරිකානු තානාපති කාර්යාලයේ පුස්තකාලයේ නිලධාරියකු ලෙස සේවය කළා. හේමන්ත ප්‍රසිද්ධ නීතිඥයකු වුණා. ඔහු නීිතිඥ සංගමයේ ලේකම් ලෙසත් කටයුතු කළා. ඒ දෙදෙනා ද නිලන් තිරුචෙල්වම් ද අද ජීවතුන් අතර නැහැ. එකල දේශපාලනයක් නොකළත් පසුව දේශපාලනයට පිවිසි ඩී එම් ස්වාමිනාදනුත් මා ත් තවම ඉන්නවා. අප ඉඳහිට පංති හමුවීම්වල දී මුණ ගැසෙනවා.

 

මේ අවධියේ අපට බල පෑ ප්‍රබල ම දේශපාලන සිද්ධීය වුණෙ වියට්නාම් යුද්ධය.  රාජකීය විදුහලේ අධ්‍යාපනය ලබා අල්ලපු වැටේ ඉංජිනේරු පීඨයේ ඉගෙන ගත් විජේදෝරු අපට දැන් කියන විධියට නම් තෙල් බෙදුවා. ඔහුගේ සම්පූර්ණ නම බර්නාඩ් සීසර් පෙරේරා මිහිඳුකුලසූරිය විජේදෝරු. ඒ පිළිවෙළ හරි ද කියා මට මතක නැහැ. එහෙත් ඒ නම් සියල්ල ඔහුට තිබුණා. ඔහු එවකටත් සමසමාජ පක්‍ෂයේ සාමාජිකයෙක්. ඔහු අප කිහිප දෙනකු වියට්නාම් විප්ලවවාදීන්ට පක්‍ෂ ව පැවැත් වූ පෙළපාලියකට එකතු කර ගත්තා. පාසල් වියේ දී ම පෙළපාලියකට සහභාගි වීමට මට අවස්ථාව ලැබුණා.

 

1963 මැයි පෙළපාලියට ද මා සහභාගි වුණා. එය සමසමාජ පක්‍ෂය, ලංකා කොමියුනිස්ට් පක්‍ෂය හා මහජන එක්සත් පෙරමුණ එකතු වී පවත්වන ලද්දක්. එයට විශාල පිරිසක් සහභාගි වුණා. එහෙත් ඒ පෙරමුණ වැඩි කල් පැවතුණේ නැහැ. 1964 සමසමාජ පක්‍ෂය ශ්‍රී ල නි ප ආණ්ඩුව සමග එකතු වී සභාග රජයක් පිහිටුවීමත් සමග එය කඩා වැටුණා. මා පේරාදෙණියට ගියේ 1963 ජූනි මාසයේ.  කලක් ගිහින් මට සමසමාජ පක්‍ෂයේ සාමාජිකත්ව අපේක්‍ෂකත්වය ලැබුණා. මා බැඳී සිටියේ මහනුවර ලෝකලයට. පසුව කෙළඹට පැමිණි පසු කොළඹ විශ්වවිද්‍යාල ලෝකලයේ දී මට පූර්ණ පක්‍ෂ සාමාජිකත්වය ලැබුණා.

 

ලෝකලය (Local) කියන්නෙ සමසමාජ පක්‍ෂයේ ප්‍රාදේශීය ශාඛාවට. සමසමාජ පාක්‍ෂිකයකු නම් යම් ලෝකලයක සාමාජිකයකු වෙන්න ඕන. සාමාජික අපේක්‍ෂකයන්ටත් එහෙමයි. පසු කලෙක තමන් ශිෂ්‍ය කාලයේ සිට සමසමාජ පාක්‍ෂිකයන් ව සිටියේ යැයි කී ප්‍රසිද්ධ කිහිප දෙනකු තම ලෝකලය දැන සිටියේ නැහැ! දැන් ඒ අය මිය ගිහින්. ඒ අය හැත්තෑවේ දශකයේ ප්‍රසිද්ධියට පැමිණීමෙන් පසු දේශපාලන ඉතිහාසයක් නිර්මාණය කරගත් අය. සමසමාජ පක්‍ෂයේ කොළඹ විශ්වවිිද්‍යාල ලෝකලයේ දේශපාලන පංති තිබුණා. ඒ පංතිවල ඉගැන්නුවේ බැටී වීරකෝන් සහෝදරයා. එකල පක්‍ෂ කාර්යාලය තිබුණේ මරදාන දුම්රිය පොළ පිටුපස ඩ්‍රිබග්ස් මාවතේ. අද එය ජයන්ත වීරසේකර මාවත ලෙස නම් කෙරී තියෙනවා. එකල මා සමග දේශපාලන කටයුතුවල යෙදුණු කිට්ටුම මිත්‍රයා වූයේ ආනන්ද විද්‍යාලයෙන් පැමිණි බුද්ධදාස ප්‍රේමරත්න හෙවත් බු ප්‍රේමරත්න. කවුරුත් ඔහු හැඳින්වූයේ බූ නමින්. ඔහු පසු කලෙක ඕස්ත්‍රේලියාවේ පදංචියට ගියා. ඇතැම් දිනවල තර්ස්ටන් පාරේ (කුමරතුංග මුණිදාස මාවත) පටු පාරක රාජකීය විදුහල අසල තිබූ ලෙස්ලි ගුණවර්ධන සහෝදරයාගේ නිවසේ ඒ අවට ලෝකල්වල රැස්වීම් පැවත්තුවා. එකල තරුණ වෛද්‍යවරයකු වූ තිස්ස විතාරණ ඒ රැස්වීම්වල දැක ගන්න පුළුවන් වුණා.

 

සමසමාජ පක්‍ෂයට අනාගතයක් නැති වුණත් කීර්තිමත් අතීතයක් තිබූ පක්‍ෂයක්.  එය ආරම්භ කෙරී ඇත්තේ 1935 දෙසැම්බරයේ. එහි මුල් සාමාජිකයන් වී ඇත්තේ පිලිප් ගුණවර්ධන, එන් එම් පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන, රොබට් ගුණවර්ධන. පසුව එස් ඒ වික්‍රමසිංහ පීටර් කෙනමන් ආදීන් එකතු වී තියෙනවා. සමසමාජ ව්‍යාපාරය ආරම්භ කෙරී ඇත්තේ එංගලන්තයට අධ්‍යාපනය සඳහා ගොස් පැමිණි තරුණයන් කිහිප දෙනකු විසින්. පිලිප් ගුණවර්ධන අමෙරිකාවේ අධ්‍යාපනය ලැබූවෙක්. ඒ සිසුන් මුල දී 1933 දී පමණ ආරම්භ කර ඇත්තේ සූරියමල් ව්‍යාපාරය. එය ඉංගිරිසින් තම සොල්දාදුවන්ට ආධාර කිරීමට පැවැත් වූ පොපිමල් ව්‍යාපාරයට විරුද්ධ ව ආරම්භ කළ එකක්. ඉන් පසු 1933-34 කාලයේ මෙරට පැතිර ගිය මැලේරියා වසංගත සමයේ ඔවුන් ඒ රෝගීන් වෙනුවෙන් කටයුතු කර තියෙනවා. විශේෂයෙන් ම තුන් කෝරළයේ ඔවුන් ක්‍රියාත්මක වී තියෙනවා. ඒ ප්‍රදේශයේ ජනතාව එන් එම් පෙරේරා සහෝදරයා හැඳින්වූයේ පරිප්පු මහත්තයා කියා. ඒ ඔවුන් ඒ ප්‍රදේශයේ රෝගීන්ට පරිප්පු බෙදු නිසා.

 

1935 දී සමසමාජ පක්‍ෂය පිහිටුවා ඇත්තේ ට්‍රොට්ස්කිවාදී පක්‍ෂයක් ලෙස නො වෙයි. එහි අරමුණු වී ඇත්තේ නිදහස දිනා ගැනීම හා සමාජවාදී රජයක් පිහිටුවීම. සෝෂලිසම් යන්න සිංහලට පෙරලා ඇත්තේ සමසමාජය ලෙසින්. සමාජවාදය යන්න පසුව තනාගත් වචනයක්. සමසමාජ පක්‍ෂය පිහිටුවා ගැනීමට පෙර ම එස් ඒ වික්‍රමසිංහ රාජ්‍ය මන්ත්‍රණ සභාවට පිවිස සිටියා කියනවා. ඒ 1931 පැවති මැතිවරණයෙන්. 1935 මැතිවරණයෙන් පිලිප් ගුණවර්ධන අවිස්සාවේල්ල ආසනයත් එන් එම් පෙරේරා රුවන්වැල්ල ආසනයත් ජයගත්තා. ඒ කැළණි ගඟ දෙපැත්තේ ප්‍රදේශ.

 

සමසමාජ පක්‍ෂයේ ට්‍රොට්ස්කිවාදී අදහස් දැරූ අය වෙන ම රහසිගත ව කටයුතු කර තිබෙනවා. ඔවුන් හඳුන්වා දී ඇත්තේ T කණ්ඩායම ලෙසින්. T ට්‍රොට්ස්කි සඳහා. පසුව 1941 දී පමණ ට්‍රොට්ස්කිවාදීන් හා ස්ටැලින්වාදීන් අතර මත ගැටුම උත්සන්න වී ට්‍රොට්ස්කිවාදීන් පක්‍ෂයෙන් ස්ටැලින්වාදීන් නෙරපා තියෙනවා.    ලෝකයේ ට්‍රොට්ස්කිවාදීන් ස්ටැලින්වාදීන් පැන්නු ප්‍රථම අවස්ථාව. මා හිතන්නේ ඒ අවසාන අවස්ථාවත් කියා. එතෙක් සිදු වී තිබෙන්නේ ට්‍රොට්ස්කිගේ නෙරපීමෙන් පටන් ගෙන පක්‍ෂවලින් ට්‍රොට්ස්කිවාදීන් නෙරපා හැරීමයි.  සමසමාජ පක්‍ෂය හතරවැනි ජාත්‍යන්තරයට සම්බන්ධ වුණේ ඉන් ටික කලකට පසුව.