Main Logo

Tuesday 13 September 2022

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දවස ඇරඹි රිච්මන්ඩ් විදුහල

 

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දවස ඇරඹි රිච්මන්ඩ් විදුහල

 

මෙරට පැරණි පාසල් ලැයිස්තුව ගැන අවධානය යොමු කරන විට කාරණා කිහිපයක් පැහැදිලි වෙනවා. ඒ ලැයිස්තුවේ ඇත්තේ ඉංගිරිසි මාධ්‍යයෙන් ඉගැන් වූ පාසල් ලෙස ගත් විට අද අප මුහුණ පා සිටින ගැටළුව අවබෝධ කර ගැනීම පහසු වෙනවා. ඒ ලැයිස්තුවේ අති විශාල බහුතරය විවිධ ක්‍රිස්තියානි හා කතෝලික සභා විසින් පිහිටුවන ලද පාසල්. ඒ පාසල්වලිනුත් බහුතරය උතුරු හා නැගෙනහිර පළාත්වල පිහිටුවා ඇත්තේ. ඒ දිනවල අද පවතින පළාත් මායිම් නොතිබුණත් එහි යම් රටාවක් දකින්න පුළුවන්.

 

මෙරටට පැමිණි මිෂනාරිවරුන් පළමුව ගොඩ බැස ඇත්තේ ගාල්ලට. එබැවින් පළමු පාසල වූ රිච්මන්ඩ් විදුහල, මුල දී ඒ නමින් නොවූවත්, ගාල්ලේ පිහිටුවීම පුදුුමයක් නොවෙයි. එය මෙතෝදිස්ත සභාවේ මිෂනාරීන් පිහිටුවූවක්. එහෙත් ඔවුන් පසුව මඩකලපුවේ හා උතුරු පළාතේ පාසල් පිහිටුවා තියෙනවා. මෙරට දෙමළ ජනකොටස්වලට අයත් ඊනියා උගතුන් සංඛ්‍යාව වැඩි වුණේ ඒ ජනකොටස්වලට අමුතු බුද්ධිමය හැකියාවක් තිබූ නිසා නොවන බව පාසල් පිහිටුවා ඇති ආකාරයෙන් පැහැදිලි වෙනවා. 

 

උතුරු පළාතේ පාසල් ඇති කරනු ලැබුයේ ඇමරිකන් මිෂනාරිවරුන් විසින් ය යන කතාව ද බොරුවක් බව ලැයිස්තුවෙන් පැහැදිලි වෙනවා. උතුරු පළාතේ පාසල් වැඩි වීමට හේතුව කුමක් දැයි ඇසූ විට දුන් පිළිතුර වූයේ මෙරට පාලනය කළ ඉංගිරිසින් ඇමරිකන් මිෂනාරිවරුන්ගේ ක්‍රියා කලාපය සැක කළ බැවින් ඔවුන් යාපනයට යැවූ බවත්  ඒ මිෂනාරිවරුන් එහි ගොස් පාසල් ඇති කළ බවත්. ඔවුන් පාසල් කිහිපයක් පිහිටුවා ඇති නමුත් පාසල් වැඩි සංඛ්‍යාවක් පිහිටුවනු ලැබ ඇත්තේ ඉංගිරිසි ඇංග්ලිකන් ක්‍රිස්තියානි හා මෙතෝදිස්ත සභා විසින්.

 

ඉතා පැහැදිලි ව ඉංගිරිසින් මෙරට දෙමළ ජනකොටස්වලට අයත් ඊනියා උගතුන් වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා. ඔවුන් පසුව නිලතල දීමේදීත් දෙමළ ජනකොටස්වලට වැඩි වරප්‍රසාද දී තියෙනවා. පළමු පරම්පාරවේ උතුරේ ඉගෙන ගත් අය කොළඹට පැමිණ දෙවැනි පරම්පරාවේ  බොහෝ දෙනකු රාජකීය විදුහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බවත් පෙනී යන කරුණක්. ඒ අයත් රාජකීය විදුහලේ උගත් කොළඹ ප්‍රභූන්ගේ දරුවනුත් ශාන්ත තෝමස් විදුහලේ උගත් ප්‍රාදේශීය ප්‍රභූන්ගේ දරුවනුත් මෙරට ඉංගිරිසි ගැති පිරිසක් බිහි කිරීමේ කටයුත්තේ දී දායක වුණා. අනෙක් පාසල් යථාකාලයේ දී කලින් කී පාසල් අනුකරණය කළා.

 

කුමාරි ජයවර්ධන ලියා ඇති From Nobodies to Somebodies කෘතියේ මේ ප්‍රාදේශීය ප්‍රභූන්ගේ දරුවන් වැදගතුන් බවට පත් වීමේ කතාව කියැවෙනවා. ඔවුන් කරළියට පැමිණියේ ශාන්ත තෝමස් විදුහල හරහා. ඉංගිරිසින් මේ පාසල් හරහා මෙරට කුලයට අමතර ව තවත් වැදගත්කමක් ඇති කළා. අද කුලය හා පාසල මෙරට සංස්කෘතියේ වැදගත් නිර්ණායක දෙකක්. වෘත්තියටත් යම් වැදගත්කමක් ඇති කෙරී තියෙනවා. කුමාරි ද සොයිසා ජයවර්ධන තමා වැදගතකු බවට පත්වීමේ කතාව කියන්නේ නැහැ. ඇගේ මව බිරිතානි ජාතිකයකු බව බොහෝ දෙනා නොදන්නවා විය හැකියි. ඇය ඉගෙන ගත්තේ බලපිටියේ නොවැදගත් පාසලක නො වෙයි. 

 

රිච්මන්ඩ් විදුහල පිහිටුවා ඇත්තේ 1814 දී. එකලත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සිංහලේ රජු.  උතුරු නැගෙනහිර බස්නාහිර දකුණු පළාත්වල පාසල් පිහිටුවීමට කටයුතු කළ ඉංගිරිසි ක්‍රිස්තියානි හා කතෝලික සභා මධ්‍යම පළාතේ පාසල් පිහිටුවා ඇත්තේ සාපේක්‍ෂ ව තරමක් කල් ගිහින්. රෝමානු කතෝලික පල්ලිිය මහනුවර පළමු පාසල පිහිටුවා ඇත්තේ 1854 දී . ඒ ශාන්ත අන්තෝනි විදුහල. පසුව 1872 දී ඇංග්ලිකන් සභාව ත්‍රිත්ව විදුහලත් 1891 දී මෙතෝදිස්ත සභාව කිංස්වුඩ් විදුහලත් පිහිටුවා තියෙනවා.

 

ඉංගිරිසින් පාසල් පිහිටුවීමේ දී කල්පනාකාරීව මැකෝලිගේ දරුවන් බිහි කිරීමට කටයුතු කර තියෙනවා. එහෙත් බටහිර පාසල් ක්‍රමය අපට ලැබී ඇත්තේ ලන්දේසීන්ගෙන්. ලන්දේසීන් මෙරට පාසල් පිහිටුවා ඇත්තේ ඉතාමත් නග්න ලෙස තම ආගම ප්‍රචාරය කිරීම සඳහා. ඔවුන් පාසල්වලට ඇතුල් කර ගැනීමේ දී ම ආගමත් නමත් වෙනස් කිරීමට කටයුතු කර තියෙනවා. සිංහල බෞද්ධයන් එකල පාසලේ දී වෙන නමක් හා ආගමක් භාවිතා කර ගෙදරදී සුපුරුදු පරිිදි ගෙදර නමින් බෞද්ධයන් ලෙස කටයුතු කර තියෙනවා. විසිවැනි සියවස මුලත් ඒ ආභාසය නම සම්බන්ධයෙන් තිබී තියෙනවා. බොහෝ සිසුන්ට ගෙදරට නමකුත් පාසලට නමකුත් කියා නම් දෙකක් තිබී තියෙනවා.

 

ඉංගිරිසින් තම පාසල් මගින් ආගම ප්‍රචාරය කෙළේ ඉතා සියුම් ආකාරයකින්. ඔවුන් සිසුන් ආගමට හරවා ගත්තේ නැහැ. එහෙත් සිසුන් තම ක්‍රිස්තියානි සංස්කෘතියට හරවා ගත්තා. ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය අප මත පැටවීමට පාසල් ද යොදා ගත්තා. තනතුරු වරප්‍රසාද එසේ සංස්කෘතික ආධිපත්‍යය අප මත පැටවීමට යොදා ගත් තවත් අවියක්. ඇතැම් පූජකයන් එයින් සෑහීමකට පත් වුණේ නැහැ. ඔවුන් බුදුදහමට පරිභව කරන්න නින්දා අපහාස කරන්න පටන් ගත්තා. මේ නග්න ආධිපත්‍යය පිහිටුවීම ඉංගිරිසි සංස්කෘතික ආධිපත්‍යයට සියුම් ව යට වී සිටි ඇතැම් බෞද්ධයන් ද කුපිත කෙරුවා. විශේෂයෙන් ම භික්‍ෂූන් වහන්සේ ඉංගිරිසින්ට විරුද්ධ ව නැගී සිටියා.

 

ඉංගිරිසින් භික්‍ෂූන් වහන්සේගේ නායකත්වය දුර්වල කිරීමට නායක පදවි විහාරාධිපති පදවි ආදිය ඇති කර නායක පදවිවලට පත් කිරීමේ දී භික්‍ෂූන් වහන්සේ ඉංගිරිසින්ට ඔත්තු සපයන බවට ප්‍රතිඥාවක් ද ලබා ගත්තා. එහෙත් බුදුදහමට අපහාස කිරීමත් සමග භික්‍ෂූන් වහන්සේ පොදුවේ ඉංගිරිසි ක්‍රිස්තියානි ආධිපත්‍යයට එරෙහි ව නැගී හිටියා. ඒ තමයි අප බොහෝ දෙනා හඳුනන සිංහල බෞද්ධ පුනර්ජීවන ය. එයට අර ප්‍රභූ පාසල්වල ඉගෙන ගත් ගිහි බෞද්ධයන්ගේ ද සහාය ලැබුණා. ධර්මපාලතුමාත් එවැන්නෙක්.