Main Logo

Tuesday 6 September 2022

සසෙක්ස් විශ්වවිද්‍යාලයෙ ලේබර් ක්ලබ්

 

සසෙක්ස් විශ්වවිද්‍යාලයෙ ලේබර් ක්ලබ්

 

දැන් නම් වමක් නැහැ. ඒත් වමාල ඉන්නවා. ඔවුන්ගෙ දැන් රාජකාරිය තමන්ට වැරදුනෙ කොතන ද කියල හොයල බලන්න උනන්දු වෙන එකවත් නො වෙයි. උනන්දු වුණත් වැඩක් නැහැ. මාක්ස්වාදය කිසි දිනෙක වලංගු නොවූ පද්ධතියක් කියන එක ඔවුන්ට දරා ගන්න බැහැ. කොහොමටත් දැන් ඔවුන් කරන්නෙ අනෙක් අයට වැරදුන කියල තමන් හිතන එක කියන එක පමණයි.

 

එහෙත් හැට ගණන්වල අග දි හා හැත්තෑ ගණන්වල මුල දි එහෙම දෙයක් තිබුණෙ නැහැ. ලංකාවෙත් පිටරටත් වමක් තිබුණ. ඒ ගොර්බචොෆ්ට කලින්. ඒත් ඒ වම බොල් වමක් බව අපට ඒ දවස්වල තේරුණෙ නැහැ. ලංකා සමසමාජ පක්‍ෂයෙ සාමාජිකයන් හතරවැනි ජාත්‍යන්තරයත් එක්ක විශේෂ සම්බන්ධකමක් පක්‍ෂයක් හැටියට දැක්වූයෙ නැහැ. හතරවැනි ජාත්‍යන්තරය ඒ වන විට හැටහතරකට  විතර කැඩිල තියෙන්න ඇති. ඒ වුණත් සමසමාජ පාක්‍ෂිකයන් කවුරුත්  ට්‍රොට්ස්කිවාදීන් වුණා.

 

සසෙක්ස් විශ්වවිද්‍යාලෙදි මට දිනක් දැක ගන්න ලැබුණා ලේබර් ක්ලබ් නමැති සංවිධානයක රැස්වීමක් ගැන දැන්වීමක්. මට එතරම් වැටහීමක් තිබුණෙ නැහැ මේ සංගමය කුමක් ද කියල. කෝකටත් කියල මා ඒ රැස්වීමට ගියා. එය හතරවැනි ජාත්‍යන්තරයෙ ටෙඩ් ග්‍රාන්ට් කණ්ඩායමට හිතවත් ශිෂ්‍යයන්ගෙ රැස්වීමක්. ඔවුන් ඒ කියන්නෙ ටෙඩ් ග්‍රාන්ට්ල වැඩ කෙළෙ ලේබර් පක්‍ෂය ඇතුලෙ. ඒ සංවිධානය ලේබර් ක්ලබ් වුණෙ ඒ නිසා.

 

ඒත් ඒ සංවිධානය ටෙඩ් ග්‍රාන්ට් කණ්ඩායමේ  සිසුන්ට පමණක් සීමා වුණේ නැහැ. ලේබර් පක්‍ෂයට හිතවත් සිසුන් එහි වැඩ කටයුතුවලට සහභාගි වුණා. ලේබර් ක්ලබ් සංගමයෙ නායකත්වය දැරුවෙ ඇලන් වුඩ්ස් කියල වේල්සයේ උපන් අයෙක්. ඔහු දක්‍ෂයෙක්. ඔහු ටෙඩ් ග්‍රාන්ට්ගෙ කණ්ඩායමේ නැත්නම් ඔහුගෙ හතරවැනි ජාත්‍යන්තරයෙ සාමාජිකයෙක්. ඇලන් වුඩ්ස් පසු කලෙක වෙනිස්‍යුලාවෙ ජනාධිපති හියුගො චාවේස්ගෙ උපදේශකයකු ලෙස ද කටයුතු කළා.

 

සසෙක්ස් ලේබර් ක්ලබ් සංගමයෙ රැස්වීම්වලට ටෙඩ් ග්‍රාන්ට් ද පැමිණ දේශන පැවැත්තුවා. ටෙඩ් ග්‍රාන්ට් කණ්ඩායම ලේබර් පක්‍ෂය තුළ ක්‍රියාත්මක වුණෙ මිලිටන්ට් ප්‍රවණතාව ලෙස. ඔවුන් සිතුවෙ එංගලන්තයෙ විප්ලවය සාක්‍ෂාත් කරගන්න පුළුවන් ලේබර් පක්‍ෂය තුල ක්‍රියාත්මක වීමෙන් කියල.

 

නවසමසමාජ පක්‍ෂය පිහිටුවා ගත්තට පස්සෙ ඒ පක්‍ෂය මිලිටන්ට් ප්‍රවණතාව සමග සම්බන්ධකම් ඇති කර ගත්තා. ටෙඩ් ග්‍රාන්ට් නවසමසමාජ පක්‍ෂ රැස්වීම්වලටත් සහභාගි වුණා. වරක් මට මතක හැටියට 1980න් පස්සෙ ටෙඩ් ග්‍රාන්ට් නව සමසමාජ පක්‍ෂ රැස්වීමකට ඇවිත් වීසා කල් ඉකුත් වී ටික කලක් හිටියා. එකල මා නව සමසමාජ පක්‍ෂයෙන් අස්වෙලා හිටියත් මා ටෙඩ් ග්‍රාන්ට් අපේ නිවසේ රඳවා ගෙන හිටියා.

 

අනූවෙ දශකයෙ මුල ගොර්බචොෆ්ගෙ වැඩවලින් පස්සෙ මිලිටන්ට් ප්‍රවණතාවෙත් අර්බුදයක් ඇති වුණා. ඔය නොකෙරෙන විප්ලවය ලේබර් පක්‍ෂය තුළ ඉඳලා කරනව ද නැද්ද කියන එක සම්බන්ධව. ටෙඩ් ග්‍රාන්ට් හා ඇලන් වුඩ්ස් දිගට ම කියා හිටියෙ ලේබර් පක්‍ෂය තුළ වැඩ කරන්න ඕන කියල. එහෙත් බහුතරය එයට විරුද්ධ වුණා. ටෙඩ් ග්‍රාන්ට් හා ඇලන් වුඩ්ස් ප්‍රවණතාවෙන් නෙරපනු ලැබුවා. ඔවුන් 1992 දි ජාත්‍යන්තර මාක්ස්වාදී ප්‍රවණතාව නමින් ජාත්‍යන්තරයක් හදා ගත්තා. ඇලන් වුඩ්ස් තාමත් ඒකෙ ක්‍රියාකාරි අයෙක්.

 

ඇලන් වුඩ්ස් බ්‍රයිටන් අවටත් දේශපාලන කටයුතුවල නිරත වුණා. 1970 බ්‍රිතාන්‍ය මහා මැතිවරණය පැවැත්වුනෙ ජූනි මාසෙ. ලේබර් පක්‍ෂයෙ නායකයා වුණෙ සුප්‍රසිද්ධ හැරල්ඩ් විල්සන්. කොන්සර්වෙටිව් නායකයා එඩ් හීත්. එකල  පොදු රාජ්‍ය මණ්ඩල රටවල රටවැසියන්ටත් එංගලන්තයෙ ඡන්ද බලය හිමිවුණා. මාත් ඡන්දදායකු ලෙස ලියා පදිංචි වෙලා හිටිය පමණක් නොවෙයි ලේබර් ක්ලබ් සමග මැතිවරණ ව්‍යාපාරයටත් සහභාගි වුණා. මැතිවරණයෙන් ලේබර් පක්‍ෂය පරාජය වුණා. හීත් අගමැති වුණා.

 

ඒ අවුරුද්දෙ මැයි මාසෙ ලංකාවෙ පවත්වපු මැතිවරණයෙන් එක්සත් පෙරමුණ ජයග්‍රහණය කළා. සමහරු කිවුවෙ මා ආපසු ආවෙ එක්සත් පෙරමුණ ජයග්‍රහණය කරපු නිසා කියල. තවත් සමහරු තවත් කතා කිවුව. කවුරුවත් කිවුවෙ නැහැ එංගලන්තෙ ලේබර් පක්‍ෂය පැරදුණු නිසා ආව කියල. බොහොම පස්සෙ කාලෙක අර මහා විද්‍යාඥයකු ලෙස පෙනී සිටින චන්ද්‍රසිරි ධර්මවර්ධනගෙ ශිෂ්‍ය ධනපාල නමැත්තෙක් නම් කිවුව සසෙක්ස් විශ්වවිද්‍යාලය අදක්‍ෂ ශිෂ්‍යයන් ඉක්මණින් ම උපාධි දීල ගෙදර යවන බවත් ඒ අනුව මා ද ආපසු එවූ බවත්. කොහොම හරි 1970 සැප්තැම්බරයෙ අවුරුදු පනස්දෙකකට පෙර මා ආචාර්ය උපාධියක් ලබාගෙන ගෙදර ආවා.