Main Logo

Sunday 8 May 2011

අන්තිම සටනට සැරසෙමු

අවුරුදු පන්සියයකට අධික අඳුරු යුගයක අවසාන වසර කිහිපයට අපි ළඟා වී සිටින්නෙමු. මුළු ලෝකයට ම සමස්තයක් ලෙස ගත්කල 1492 දී ද  ලංකාවට 1506 දී ද ඇරඹි මෙම අඳුරු යුගයෙහි අපේ ස්වාධීනත්වය යටගියේ ය. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය මුළු ලෝකයෙහි ම ආධිපත්‍යයට පැමිණියේ ය. එහෙත් අද බටහිරයන්ගේ ආධිපත්‍යය ගිළිහී යන අයුරු බටහිරයන්ට ම දැනෙන තත්වයකට පත් වී ඇත. එබැවින් ඔවුහු අද වියරුවෙන් හැසිරෙති. ඇමරිකාව එංගලන්තයේ ද සහාය ඇතිව ලිබියාවට පහර දෙන්නේ ද බෑන් කි මූන් බටහිරයන්ගේ වුවමනාවට ඊනියා විද්වත් කමිටු වාර්තාවක් හරහා මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ මහතුන් ද රණවිරුවන් ද ඊනියා යුද්ධාපරාධි චෝදනා ඔස්සේ දංගෙඩියට දැක්කීමට උත්සහ ගන්නේ ද හැකිනම් ගිලිහෙමින් පවතින බලය රැකගැනීමට ය. එහෙත් ඔවුන්ට කළහැකි දේ අල්ප ය. 1492 සිට බටහිර නායකත්වය දැරූ ස්පාඤ්ඤය, පෘතුගාලය, එංගලන්තය ආදී රටවල් සමග සංසන්දනය කරන විට අද එහි නායකත්වය දරණ ඇමරිකාව නාගරික ධනවත් මැරයකු පමණකි. ඇමරිකාවට රාජ්‍ය තන්ත්‍රික කුසලතා නොමැත. ඔවුන් දන්නේ නග්න ආක්‍රමණය පමණ ය. ඇමරිකාවට බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙහි නායකත්වය ලැබුණේ ඒ සඳහා පුහුණු වීමෙන් හා පරිවාස කාල පරිච්ඡෙදයක් ගෙවීමෙන් නො වේ. ඊනියා දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසුව ආර්ථික හා ආයුධ ශක්තියෙන් ඉදිරියට පැමිණ සිටි ඇමරිකාව දේශපාලන වශයෙන් පරිණත බවකට පත් නොවී සිටිය ද බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙහි නායකත්වයට පත්විණි. ඒ සමග දේශපාලන වශයෙන් ද බටහිර ක්‍රිස්තියානි නූතනත්වය කඩා වැටෙන්නට පටන් ගත්තේ ය. එහි දැනුමි පද්ධතියේ පදනමෙි බොල් බව හෙළි වී දැනට අවුරුදු අසූවකට වඩා කල් ගත වී ඇත. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය සමග අන්තිම සටන සඳහා සැරසීමට කාලය පැමිණ ඇත. අපි ඒ සටනින් ජය ලබන්නෙමු.

අන්තිම සටනට සැරසියවි යනු සමසමාජ ගීතයෙහි පද කිහිපයකි. සමසමාජ පක්‍ෂයට අවශ්‍ය වූයේ ලෝක ධනේශ්වරයට එරෙහිව සියළු ජාතින් එක් වී අන්තිම සටනට සැරසීමට ය. ඔවුන්ට අන්තිම සටනින් පසුව ඊනියා කමිකරු පංති රාජ්‍ය පිහිටුවීමෙි සිහිනයක් විය. එහෙත් එය සදාකාලික සිහිනයක් පමණක් බවට පත්වූයේ මාක්ස්වාදයේ හා එහි කියැවෙන පංති සටනේ බංකොළොත් බව හෙළිදරවු කරමිනි. අදට යෙදෙන මැයි දිනයෙහි ද ඇතැමුන් සිහිනයෙන් අවදි නොවී අන්තිම සටනට සැරසීම සඳහා පෙළපාළි යනු ඇත. එහෙත් මෙවර මැයි දිනය ලංකාවේ පැවැත්වෙන්නේ ඊනියා පංති සටනක් පෙරදැරි කරගෙන නොව ජාතිකත්වය මුල් කරගෙන රොබට් බ්ලේක් හිලරි ක්ලින්ටන් ආදීන්ගේ යුද්ධාපරාධ චෝදනාවලට අභියෝග කරමිනි. මින් මතු අප මැයි දිනය පැවැත්විය යුත්තේ බෙහෙතකටවත් සොයාගත නොහැකි කම්කරු පංතියක් මුල්කරගෙන නොව ජාතිකත්වය පදනම් කරගනිමිනි. බෑන් කි මූන් ට ඊනියා විද්වතුන් ලියා දුන් වාර්තාව පිටුපස ඉන්නේ බ්ලේක් හා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඔහුගේ සගයන් කිහිප දෙනකු බව අපි දනිමු. එය දරුස්මාන් වාර්තාවක් නොව බ්ලේක් වාර්තාවකි. එහූ බ්ලේක් හෙට අනිද්දා ලංකාවට එන්නේ ජනාධිපතිතුමාට ඇති ආදරයකින් නම් නො වේ. ඔහු නොතැකීමට ජනාධිපතිතුමා ක්‍රියාකරන්නේ නම් මැනවි. සතුරන් සමග අතට අත දී ආචාර සමාචර පැවැත්වීම මෙරට දේශපාලනයට හිතකර නො වෙි යැයි අපි කියමු. බ්ලේක් පමණක් නොව ඔහුගේ කසිකබල් වාර්තාව ද නොසළකා හැරීමටත් එයට ප්‍රතිචාර නොදැක්වීමටත් අප වග බලාගත යුතු ය. අපට තිබෙන එක ප්‍රශ්නයක් නමි වාර්තාව දැමීමට තරම් සුදුසු කුණු කූඩයක් නොමැති වීම ය. ඕනෑම කුණු කූඩයක් වාර්තාවට වඩා වටී. බටහිරයන් පෙන්වන තරම් ඔවුන් ශක්තිමත් නොමැති බැව් අපි දනිමු. බටහිරයන්ගේ අනුග්‍රහයෙන්, ආධාරයෙන් හා ආශිර්වාදයෙන් ක්‍රියාත්මක වූ කොටි සංවිධානයට කෙතරමි ශක්තියක් ඇත් දැයි බටහිරයෝ සහ ඔවුන්ගේ ගැත්තෝ කීවෝ ද? බටහිරයෝ සිංහල බෞද්ධයන්ට එරෙහි ව කොටි පෝෂණය කර රැකීමට  ඕනෑම දෙයක් කිරීමට සිතා සිටියහ. එහෙත් අඩු තරමෙන් නන්දිකඩාල් කලපුවටවත් ආධාර එවීමට ඒ වෙනුවෙන් ම ඒ දිනවල ලංකාවට එවනු ලැබූ මූන්ගේ ගෝලයා වූ නම්බියාර් හරහාවත් බටහිරයන්ට නොහැකි විය. ඔවුන් අද වුවත් හැකි නම් ලිබියාවට මෙන් ලංකාවට පහර දෙනු ඇත. එහෙත් මේ වන විට තුන් ලෝකයෙහි කෙසේ වෙතත් අඩුම තරමෙන් අපේ ලෝකයෙහි ආධ්‍යාත්මික ශක්තියෙහි වෙනසක් සිදු වී ඇත. බටහිරයන්ගේ යුද්ධ ශක්තිය හමුවෙි අප භාවනාවෙන් අපේ ආධ්‍යාත්මික ශක්තිය තව තවත් වර්ධනය කරගත යුතු ය. අපට බටහිරයන් පැරදවිය හැකි ය. මෙහි දී ඉන්දියාව ගැන ද වචනයක් කිව යුතු ය. ඔවුහු බොර දියේ මාළු බාති. වාර්තාව මුවාවෙන් ඔවුන් තැත් කරන්නේ දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය ද ඉක්මවා යන බලතල බෙදීමකට ය. බටහිර අනුග්‍රහයෙන් දෙමළ සංධානය ද වාර්තාවෙි එල්ලී තවත් බලය ලබාගැනීමට වෙහෙසෙයි. ඒ කිසිවකට කිසිසේත් ම ඉඩ දිය යුතු නො වෙි.  

අප බටහිරයන් පරාජය කළ යුතු යැයි කීම මෙරට උගතුන් යැයිි සම්මත ඇතැමුන් අනුමත නොකරන බව අපි දනිමු. ඔවුන්ට අනුව ඒ කළ නො හැකි ය. බටහිරයන්ගෙන් උගත් ඔවුන්ට ගැති මොවුන් ආවේගයන්ට යට නො වී බුද්ධිමත්ව තීරණ ගැනීමට අපට කියනු ඇත. එහෙත් අප ඉහතින් සඳහන් කර ඇත්තේ ආවේගයෙන් පැමිණි නිගමන නො වේ. අප ද නිගමනවලට පැමිණෙන්නේ කල්පනා කිරීමෙන් පසුව ය. වෙනස ඇත්තේ අප කල්පනා කරන ක්‍රමයෙහි හා බටහිර අධ්‍යාපනයෙන් හිස උදුම්මාගත්් ඊනියා උගතුන් කල්පනා කරන ආකාරයෙහි ය. ඊනියා උගත්තු බටහිරයන්ගේ ප්‍රවාද හා න්‍යාය අනුව නිගමනවලට පැමිණෙති. අපි අපේ ප්‍රවාද හා න්‍යාය අනුව නිගමනවලට පැමිණෙන්නෙමු. ඇතැම් උගතුන් මෙන් බටහිරයන්ගේ ප්‍රවාදවලට සරිලන ආකාරයෙන් අපේ සංස්කෘතිය හා දහම විවරණය කිරීමෙි අවශ්‍යතාව ද අපට නැත. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය විසින් පසුගිය අවුරුදු පන්සියයක අඳුරු කාලයෙහි කරනු ලැබ ඇති අපරාධ විස්තර කිරීමට ජීවිත කාලය ද ප්‍රමාණවත් නො වේ. ඔවුන් කර ඇති ප්‍රධාන ම අපරාධයක් නම් ඊනියා උගතුන් බිහි කිරීම ය. එහෙත් ඒ අපේ පැත්තෙන් බැලූ කල ය. බටහිරයන් ද ඔවුන් අනුකරණය කරන ඊනියා උගතුන් ද කියනු ඇත්තේ එහි අනෙක් පැත්ත ය. මේ ඊනියා උගතුන්ගෙන් මෙරටට සිදු වී ඇති සේවය කුමක් දැයි අපි ප්‍රශ්න කරමු. දහනවවැනි සියවසේ දී මෙරට දෙමළ ජාතිවාදය බිහි කෙරුණේ සිංහල බෞද්ධ සංස්කෘතිය හැකි නමි නැතිකර බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යය තහවුරු කිරීමට බව මේ උගත්තු කිසි දිනෙක තේරුම් ගනිත් ද?

බටහිරයන්ගේ අපරාධවල එක් ප්‍රතිඵලයක් ලෙස රජරට ගොවීහු වකුගඩු රෝගයෙන් පෙළෙති. ඔවුන්ගෙන් ඇතැමෙක් මිය යති. එහෙත් බටහිර වෛද්‍ය විද්‍යාවට ඒ සඳහා ප්‍රතිකාර නො මැත. එපමණක් නො වෙි. රජරට වකුගඩු රෝගයට හේතුව කුමක් ද කියාවත් ඔවුහු නො දනිති. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ තවත් ආයුධයක් පමණක් වූ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හා වෙනත් එවැනි ලෝකයන්ගේ සංවිධානවලින් ලැබෙන ණය යොදා ගනිමින් මෙරට ජනයා රෝගීන් බවට පත්කිරීමට අමතර ව ණයකාරයන් ද බවට පත්කරවමින් ඇතැමි ඊනියා උගතුන්, විද්‍යාඥයන් යැයි කියාගන්නා අය කර ඇති පර්යේෂණවලින් පසුගිය අවුරුදු විස්සක පමණ කාලයක් තිස්සේ අප දැනගෙන ඇත්තේ කුමක් ද? අවුරුදු විස්සක් මේ උගතුන්ට දැනගැනීමට නොහැකි වූ දෙය අපි කැලණිය විශ්වවිද්‍යාලයේ දී අවුරුද්දකට අඩු කාලයක දී දැන ගත්තෙමු. එපමණක් නොව රෝගයට ප්‍රතිකාර ද අපි දනිමු. අප ඒ දැනගත්තේ අපේ විද්‍යාවෙනි. අපට එහි හැංගීමට කිසිවක් නැත. අපේ කණ්ඩායම අපේ විද්‍යාවෙන් දැනගත් දෙය අපට බටහිරයන්ගේ මහන්තත්ත ඊනියා පංචෙන්ද්‍රිය ගෝචර විද්‍යාවේ බසට ද පරිවර්තනය කළ හැකි ය. මේ උද්ධචිචයන්ට එය විඳ දරාගැනීමට නො හැකි ය. එබැවින් ඔවුහු අපට අවළාද නගති. ඔවුන්ට කළ හැක්කේ ද එපමණ ය. තකතීරුවන් වූ මොවුහු අහුමුළුවල අපේ විද්‍යාවට ගරහමින් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට සේවය කරති. මා කලකට පෙර බටහිර විද්‍යාව කටගාගත් මේ උද්ධචිචයන්ගෙන් පංචෙන්ද්‍රිය ගෝචර ඉලෙක්ට්‍රෝන ඉල්ලූ නමුත් ඔවුන් මේ වන තුරු ඒ සපයා නැත. 

රජරට වකුගඩු රෝගයට හේතුව පානීය ජලය යන බටහිර මහප්‍රාණයෙන් හැඳින්වෙන බොන වතුරෙහි (බටහිරයන්ගේ තකතීරුකම කෙසේ ද යත් අද බොන වතුර මෙන් ම වාතය ද වස වී ඇත) ආසනික් වස තිබීම ය. විශේෂයෙන් ම ලිංවල ආසනික් ප්‍රමාණය අධික ය. ලිංවලට මෙන් ම වැව්වලට ද ආසනික් එකතුවන්නේ බටහිරින් ආනයනය කරන කෘ’ෂිරසායනික ද්‍රව්‍ය හේතුවෙනි. ඉනුදු කෘමිනාශකවලින් ඉහළ ආසනික් ප්‍රමාණයක් ලැබේ. ආසනික් එකතුවීම නිසා මිය යන්නේ කෘමීන් පමණක් නො වෙි. මිනිස්සු ද මිය යති. රජරට මෙන් ම දිවයිනේ අනෙක් පළාත්වල ද ජලයට ආසනික් එකතු වී ඇත. රජරට ලිංවල කිවුල හේතුවෙන් ඒ වතුර බොන ජනතාවගේ වකුගඩුවල ආසනේටි තැන්පත් වෙයි. එමගින් පිළිකා විශේෂයක් නිසා වකුගඩු නරක් වෙයි. අනෙක් පළාත්වල ද ආසනික් විෂ ශරීරගත වීමක් වෙයි. ඒ පළාත්වල දියවැඩියාව ආදී රෝග ඒ හේතුවෙන් ද වැළඳෙයි. අද, විශේෂයෙන් ම 1977 -80න් පසුව ජනතාවට විවිධ රෝග වැළඳීමට ඉන්පසු වැඩි වැඩියෙන් භාවිතා වූ කෘෂි රසායනික ද්‍රව්‍ය ද හේතු වී ඇත. මේ වස විස නැතිව අපට හෙළ ගොවිකමෙන් ආහාර සපයා ගත හැකි ය. අපි කැලණියේ දී ඒ අත්හදා බැලුවෙමු. පෘථිවිය ජීවත්වීමට නුසුදුසු තැනක් බවට පත්කළෝ ඉන්ද්‍රිය පිනවීමෙි නොසංසිඳෙන ආශාවෙන් පෙළෙන බටහිරයෝ ය. ඔවුන්ට පරිසරය රැකිය නො හැකි ය. ඔවුන් අපට තව තවත් වස විස දෙනු ඇත. අපේ විනාශය අපේක්‍ෂා කරන්නෝ බ්ලේක් හා පිරිස පමණක් ම නො වෙති. බටහිර උගත්තු ද එහි දී එක්වෙති. අපි මෙි අඳුරු යුගය නිමා කරමු. අප එය කරන්නේ ප්‍රධාන වශයෙන් ම ආධ්‍යාත්මික ශක්තිය යොදා ගනිමිනි. අපේ අන්තිම සටන ලේ සොළවන විප්ලවයක් නො වේ.(2011/05/01)