Main Logo

Saturday 14 May 2011

දෙවියන්ගෙන් දැනුම ලබාගැනීම

දැනුම පිළිබඳ අපේ ප්‍රධාන ප්‍රවාදය වන්නේ එය අපේ නිර්මාණයක් (සංස්කරණයක්) බවත් අප ඒ නිර්මාණය කරන්නේ අපේ ඉන්ද්‍රිය පද්ධතියට (එනම් පංචෙන්ද්‍රියයන්ට), සංස්කෘතියට හා මනසට සාපේක්‍ෂ බවත් ය. ඒ සෑම දැනුමක් ම අවසානයේ දී නිර්මාණය වන්නේ මනසෙහි බව ද අමතක නොකළ යුතු ය. මෙහි දී මනස යනුවෙන් ගනු ලැබෙන්නේ ද මනසට ම සාපේක්‍ෂ වූ මනසක් බව ද අවධාරණය කළ යුතු ය.

එහෙත් මෙයින් කියැවෙන්නේ යම්කිසි පුද්ගලයකුගේ සියළු දැනුම් ඒ පුද්ගලයා ස්වාධීන ව වෙනත් කිසිවකුගේ සහායක් නොමැති ව නිර්මාණය කළ බව නො වෙි. අප කිසිවකු එසේ කිසිම කෙනකුගේ සහායක් නොලැබ දැනුම් ලබාගෙන නැත. අපේ බොහෝ දැනුම් අපි දෙමව්පියන්ගෙන්, වැඩිහිටියන්ගෙන්, ගුරුවරුන්ගෙන්, මිතුරන්ගෙන් ඇතැමි විට සතුරන්ගෙන් ආදී වශයෙන් ලබාගෙන ඇත්තෙමු. එහෙත් ඒ සෑම දැනුමක් ම අවසානයේ දී අවබෝධ කරගනු ලබන්නේ අප විසින් ය. අප අවබෝධ කරගන්නේ අපට වැඩිහිටියන් කියා දුන් දෙය ම යැයි අපට කිවහැකි නො වෙි. අප නොදැනුවත් ම අපෙන් ද යම්කිසිවක් එහි දී එකතු වෙයි. එසේත් නැතහොත් අඩුවෙයි.

අපේ ගුරුවරුන් අපට උගන්වන සියල්ල ඒ අයුරින් ම අවබෝධ කරගැනීමට බොහෝ දෙනා අසමත් වෙති. ගණිත සංකල්ප පිළිබඳ අපට ඇති අවබෝධය අඩුපාඩුකම් සහිත ය. එසේත් නැතහොත් රසායන විද්‍යාවෙහි නොයෙකුත් පරීක්‍ෂණවල දී අපි අපේ යමක් ද එයට එකතු කර ගන්නෙමු. අප අණ්වීක්‍ෂයෙන් බලන්නේ ගුරුතුමා හෝ ගුරුතුමිය හෝ අපට කියා දී ඇති ආකාරයෙන් ම නො වේ. ආසියාතිකයෝ විශේෂයෙන් ම සිංහල බෞද්ධයෝ සංගීතයෙහි ද තම තමන්ගේ යමක් එකතු කිරීමට කැමැත්තක් දක්වති.

අප අසන කතන්දර ද වෙනත් පුද්ගලයකුට කියන්නේ අපට කතාව කියාදුන් ආකාරයෙන් ම නො වේ. ඉතිහාස කතන්දර ද සන්නිවේදනය වනුයේ යම් යම් එකතුකිරීම් අඩුකිරීම් සහිතව ය. එපමණක් නොව වත්මන් දේශපාලන කතා වුව ද එක ම ස්වරූපයක් නොගනියි. අපේ දැනුම වෙනත් අයගෙන් ලබාගත්ත ද එහි යම්කිසි නිර්මාණයක් වෙයි. මේ නිර්මාණය (සංස්කරණය) ඉතාමත් සුළු එකක් විය හැකි ය. ඒ නිර්මාණය කෙරෙන්නේ ඒ ගැන සතියෙන් (සිහියකින්) නොවිය හැකි ය. එහෙත් අපි සතියෙන්් තොරව වුව ද නිර්මාණය කරන්නෙමු.  

මේ අතර යම් යම් දේ දහසක් නයින් දැනගන්නෝ ද වෙති. නයින් යන්නෙන් මෙහි දී කියැවෙන්නේ න්‍යායන්ගෙන් යන්න ය. අපට කියා දෙන යමක් දහසක් ආකාරයෙන් දැනගැනීමට එවැනි පුද්ගලයෝ සමත් වෙති. තමන්ට දැනුම ලබාදුන් තැනැත්තා වුව ද නොසිතූ ආකාරයකින් ඒ විවරණය කිරීමට ඔවුන්ට හැකි වෙයි. එසේත් නැතහොත් ඒ කියා දුන් දෙය වෙනස්කර වෙනත් ම දෙයක් කීමට ද ඇතැමුන්ට හැකි වෙයි. ඒ කුමක් වුවත් ඔවුහු ද නිර්මාණ කරති.

සතිය ඇතිව හෝ නැතිව හෝ කරන මේ නිර්මාණ කලින් කී පරිද්දෙන් අවසාන විග්‍රහයෙහි දී මනසින් සිදු කෙරෙන්නේ මනසට හා සංස්කෘතියට ද සාපේක්‍ෂව ය. අපට මෙහි දී වැදගත්වන්නේ මනසට සාපේක්‍ෂව හා සංස්කෘතියට සාපේක්‍ෂව කෙරෙන නිර්මාණ ය. මනස අපේ සංස්කාරික කුසල් අකුසල් ශක්තිවලින් යුක්ත වෙයි. අප මනසින් කරන නිර්මාණවල දී මේ කුසල් අකුසල් ශක්තීන් බලපාන්නේ යැයි සිතිය හැකි ය. සංස්කෘතියට සාපේක්‍ෂව දැනුම් නිර්මාණය කිරීම වඩා පැහැදිලි යැයි සිතමි.

අපේ සංස්කෘතියෙහි අනාදිමත් කාලයක සිට දෙවියන්ගෙන් ද දැනුම ලබාගෙන ඇති බව පැහැදිලි ය. අපේ පමණක් නොවෙ ලොවේ වෙනත් සංස්කෘතීන්වල ද එසේ ලබාගත් දැනුම ගැන සඳහන් වෙයි. එහෙත් අද බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි එසේ දෙවියන්ගෙන් දැනුම ලබාගැනීම ප්‍රසිද්ධියේ ප්‍රතික්‍ෂෙප කෙරෙයි. එබැවින් ඒ සංස්කෘතික ආධිපත්‍යය පිළිගන්නා ඇතැම් සිංහල බෞද්ධයෝ ද දෙවියන්ගෙන් දැනුම ලබාගැනීම ප්‍රතික්‍ෂෙප කරති. බටහිර යුදෙවි ක්‍රිස්තියානි සංස්කෘතිය හා ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය අපට කියන්නේ පංචෙන්ද්‍රිය මත පමණක් පදනම් වූ දැනුමක් ගැන විශ්වාස කිරීමට ය.

දෙවියන්ගෙන් ලැබෙන දැනුම අපි පිළිගනිමු ද? එසේත් නැත්නම් ප්‍රතික්‍ෂෙප කරමු ද? අපේ ජනතාව පේන අසති. අංජනම් එළි බලති. ආරූඪයෙන් හෝ නැතිව හෝ දෙවියන් සම්බන්ධවන තැන්වලට ගොස් විවිධ තොරතුරු ලබාගනිති. ලෙඩට බෙහෙත් කරවා ගනිති. යන්ත්‍ර මන්ත්‍ර ආදිය ගැන විශ්වාස කරති. මෙරට දේවාල ඉදිවී තිබෙන්නේ බුදුදහම නිල වශයෙන් හඳුන්වා දීමට ද පෙර ය. බුදුදහම හඳුන්වා දෙනු ලැබීමෙන් තත්වය වෙනස් නො වීය . දේවාල කඩා බිඳ දැමීමට ඉදිරිපත් වූවකු නැත. දෙවියන්ට විරුද්ධව ඇතැමි අය ඇතැම් කාලවල නොයෙකුත් දේ කියා තිබුණ ද ජනතාව දෙවියන්ගෙන් දැනුම ලබාගැනීම හා එයටත් වඩා ආරක්‍ෂාව පැතීම අත්නොහැරිය හ.

එහෙත් ඇතැම් අවස්ථාවක දෙවියන් විසින් මිනිසන් රවටනු ලැබූ අවස්ථා ද නැත්තේ නො වේ. ඒ ඒ දේව මණ්ඩලවල නායක පදවියට විවිධ දෙවිවරු කලින් කල පත්විය හැකි නමුදු ඒ සියළු නායක දෙවියන් පදවියෙන් ම හඳුන්වනු ලැබීම සම්ප්‍රදාය වී ඇත. අප ඉහත සඳහන් කර ඇත්තේ නාථ දෙවියන් ලෙස හැඳින්වෙන නාථ දේව මණ්ඩලයෙහි නායක පදවියට මෑතක දී මෛත්‍රී බෝසතාණන් වහන්සේ පත් වී ඇතැයි කියැවෙයි. එයට කලින් නාථ දෙවියන් ලෙස කටයුතු කර ඇත්තේ වෙනත් දෙවි කෙනෙකි.

එමෙන් ම අද විෂ්ණු දේව මණ්ඩලයෙහි අධිපති ලෙස කටයුතු කරන විෂ්ණු දෙවියන් බුදුන් වහන්සේ වැඩ සිටි සමයෙහි සිටි විෂ්ණු දෙවියන් නොව වෙනත් දෙවි කෙනකු යැයි කියැවෙයි. එකල විෂ්ණු දෙවියන් ලෙස කටයුතු කළ දෙවියන් යම් සුළු වරදක් කිරීමේ හේතුවෙන් තනතුරින් ඉවත් කෙරී ඇත. එසේ වුවත් එකල සිටි විෂ්ණු දෙවියන් අද නැවතත් තම බලය ගැනීම සඳහා කටයුතු කරන බවට විශ්වාසයක් වෙයි. එය එසේ වීමට එතරම් කාලයක් ගත නොවනු ඇතැයි අපි අපේක්‍ෂා කරමු. අද විෂ්ණු දෙවියන් ලෙස පෙනී සිටිමින් අප රවටන්නේ ලංකාව රැකීම තම කාර්යයක් කරගත් දෙවි කෙනකුන් නොවන බැවින් එකල විෂ්ණු දෙවියන් ලෙස කටයුතු කළ දෙවියන් නැවතත් විෂ්ණු දෙවියන් බවට පත්කරගැනීම උදෙසා අපට ද භාවනාවෙන් ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගත හැකි ය. මේ කටයුත්ත ඉක්මනින් කරගැනීම බුදු සසුනේ යහපත සඳහා ම වෙයි. 

අප මේ දෑ මෙලෙස කියන්නේ කෙසේ දැයි කිසිවකුට ප්‍රශ්නයක් විය හැකි ය. මා කලින් කියා ඇති ආකාරයට මට දෙවිවරුන් සමග සෘජු සම්බන්ධයක් නැත. මට මේ කරුණු ලැබෙන්නේ වක්‍රව ය. ඒ කරුණු එක් කතාවකට ගොනු කර ගැනීමට මම උනන්දු වෙමි. මෙහි වෙනත් කිසිවක් නැත. මා වැඩිහිටියන්ගෙන් ගුරුවරුන්ගෙන් කරුණු දැන ගන්නා ආකාරයට මෙන් සෘජුව නොවුණ ද, වක්‍රව දෙවියන්ගෙන් කරුණු දැනගන්නා ක්‍රමයක් වෙයි. අප බොහෝ දෙනකුට අයින්ස්ටයින්, බෝර්, ෂ්වාර්ස්චයිල්ඩි, වොට්සන්, ක්‍රික් ආදී විද්වතුන්ගෙන් සෘජුව දැනුම ලබාගැනීමෙි අවස්ථාවක් නො තිබිණි. අප ඒ දැනුම් ලබාගත්තේ පොත්වලින්, වෙනත් ගුරුවරුන්ගෙන් ආදී වශයෙන් වක්‍රව ය. දෙවියන්ගෙන් දැනුම ලබාගැනීමේ දී ද එවැනි ක්‍රියාවලියක් සිදුවෙයි. ඇතැමුන්ට දෙවිවරුන්ගෙන් සෘජුව දැනුම ලබාගැනීමට හැකි අතර බොහෝ දෙනකුට ඒ ලබාගත  හැක්කේ වක්‍රව ය. ඉතා වැඩි පිරිසකට දෙවිවරුන්ගෙන් මෙන් ම ඉහත සඳහන් ගණයේ විද්වතුන්ගෙන් ද සෘජුව හෝ වක්‍රව හෝ දැනුම ලබාගැනීමේ ක්‍රමයක් නැත.

අපේ සංස්කෘතියෙහි දෙවියන්ගෙන් දැනුම ලබාගැනීම පිළිබඳ පුර්වාදර්ශ මෙන් ම අත්දැකීම් ද වෙයි. අපේ සංස්කෘතියෙහි ඇති ඒ දැනුම අපට අද ද දෙවියන්ගෙන් දැනුම ලබාගැනීමේ දී ද උපකාර වෙයි. අද ඇතැම් උගතුන් යැයි කියා ගන්නා අයට දෙවියන්ගෙන් දැනුම ලබාගැනීම ප්‍රශ්නයක් වී ඇත්තේ ඔවුන් ඇතැමි කරුණුවලින් අපේ සංස්කෘතියෙහි සිටියත් දැනුම සම්බන්ධ කරුණෙහි දී අපේ සංස්කෘතියෙහි නො වීම ය. ඔවුන් එහි දී ඇත්තේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය අපට ප්‍රසිද්ධියේ උගන්වන ස්ථාවරයෙහි ය.

අදාෘෂ්‍යමාන දෙවියන් නැතැයි සලකන, අඩුම තරමින් අපට කියන, යුදෙවි ක්‍රිස්තියානි සංස්කෘතිය කිසි දිනෙක අපට අපේ දෙවිවරුන්ගෙන්. සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන්ගෙන් දැනුම ලබාගැනීමට අනුබල දේවි යැයි සිතිය නො හැකි ය. එසේ ඉඩ දීම මගින් සිදුවන්නේ බටහිරයන්ගේ ලෝක ආධිපත්‍යය බිඳීමට කටයුතු සම්පාදනය වීම ය. අප සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන්ගෙන් ලබාගන්නා දැනුම (දෙවියන් ගැන දැනුම ද ඇතුළු විවිධ දැනුම), අවසානයේ දී යොදාගැනෙන්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට, එහි ආධිපත්‍යයට අභියෝග කර එකී ආධිපත්‍යයෙන් මිදීමට ය. ඒ බව බටහිරයන් දන්නේ දැයි නො දනිමි. කෙසේ වෙතත් බටහිර ක්‍රිස්තියානි නූතනත්ව දැනුමෙහි දෙවිවරුන්ගෙන් ලබාගන්නා දැනුම මිථ්‍යාවක් යැයි ප්‍රකාශ කිරීමට පෙළඹී ඇත්තේ ඇයි ද යන ප්‍රශ්නය වෙයි. අප මේ ප්‍රශ්නය නගන්නේ බටහිර විද්‍යාවෙහි හා බටහිර අනෙක් දැනුම්වල ආධිපත්‍යය ඒ සමග බැඳී ඇති බැවිනි.

බටහිරයන්ට කිසි දිනෙක දෙවියන්ගෙන් ලැබුණු දැනුමක් වී දැයි කීමට නො හැකි ය. එහෙත් යුදෙව්වන් නම් ඔවුන්ගේ ඉතිහාසයේ මුල සිට ම (පරණ තෙස්තමේන්තුව යනු එක් අතෙකින් ඔවුන්ගේ ඉතිහාසය ලෙස සැලකිය හැකිය), දෙවියන්ගෙන් දැනුම ලබාගෙන ඇත. යුදෙව් ජනවර්ගය ආසියාතික ජනවර්ගයක් බවත් ඔවුන්ගේ ඉතිහාසය බටහිර ආසියාවේ පලස්තීනය වටා බැඳී ඇති බවත් අමතක නොකළ යුතු ය. ඔවුන්ගේ ඉතිහාසය ඇරඹෙන්නේ ඔවුන් පලස්තීනයෙන් පිටමං කෙරී ඊජිප්තුවේ වහල් සේවයේ යෙදී සිටි කාලයේ සිට ය.

පසු කලෙක යුදෙව් ජනවර්ගය යුරෝපයට සංක්‍රමණය වී ඇත. බටහිරට සංක්‍රමණය වූ යුදෙව්වන් එහි ජනජීවිතය සමග බැඳුණු ආකාරය කෙසේ ද යන්න යුරෝපයේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය නිර්මාණය වීමේ දී බලපා ඇති බවට සැකයක් තිබිය නො හැකි ය. බටහිර චින්තනය ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වී ඇතැයි අපි කියමු. ඉතා පැහැදිලිව වත්මන් බටහිරයන්ට ග්‍රීකයන්ගේ ද යුදෙව්වන්ගේ ද ක්‍රිස්තුස් වහන්සේගෙන් පසුව ඇති වූ යුදෙවි දහම පුළුල් කිරීමෙි ව්‍යාපාරයේ ද බලපෑම ඇත. එහෙත් අපට ප්‍රශ්නයක් වන්නේ පැරණි ග්‍රීකයන් ද යුදෙව්වන් ද දෙවියන් සමග සම්බන්ධකම් පවත්වා තිබිය දී වත්මන් බටහිරයන් එය ප්‍රතික්‍ෂෙප කරන්නේ ඇයි ද යන්න ය.