Main Logo

Wednesday 18 May 2011

රසායනික ආසනික් හා වෙනත් ආසනික්

රජරට වකුගඩු රෝගය පිළිබඳ ව කැලණිය විශ්වවිද්‍යාලයට සම්බන්ධ පර්යේෂණ කණ්ඩායමක් ක්‍රියාත්මක වන බව මේ වන විට බොහෝ දෙනා දන්නා කරුණකි. මේ කණ්ඩායමට කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ මහාචාර්යවරු, ආචාර්යවරු මෙන් ම රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරු ද වෙනත් බටහිර වෛද්‍යවරු ද අයත් වෙති. විශේෂයෙන් ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් හා ලිං ආශ්‍රිත ව කරන ලද පරීක්‍ෂණවල දී ජලයෙහි ආසනික් සාන්ද්‍රතාව සම්මතයෙන් තිබිය හැකි යැයි කියන සාන්ද්‍රතාවට වඩා ඉතා අධික බව පැහැදිලි විය. රජරට ජලයේ කිවුල හේතුකොටගෙන අදාල ලවණ හා ආසනික් සංයෝගයෙන් ඇතිවන ආසනේට් වකුගඩුවල ඉතිරිවීම රෝගයට හේතුව බව අනාවරණය වී ඇත. කිවුල සහිත ජලයේ ආසනික් ඇති බව රසායනික ක්‍රම මගින් දැනගැනීම අසීරු කටයුත්තකි. වකුගඩු රෝගය පිළිබඳ පර්යේෂණ පවත්වන වෙනත් කණ්ඩායම්වලට රජරට ජලයේ ආසනික් ඇති බව දැනගැනීමට නොහැකි වී ඇත්තේ එබැවින් හෝ වෙනත් කරුණක් නිසා හෝ විය හැකි ය. බටහිර විද්‍යාවෙි ඊනියා වාස්තවික විද්‍යාත්මක ක්‍රමයේ ව්‍යාජය මම හොඳාකාරව දනිමි. අපේ විද්‍යාවේ නමි අපට සම්‍යක්දෘෂ්ටික දෙවිවරු ආධාර කරති. ජලයේ ආසනික් ඇති බව අවසානයේ දී පඬියන්ට අනාවරණය කෙරුණේ් නාථ දෙවියන් ප්‍රමුඛ දේව කණ්ඩායමේ මග පෙන්වීම යටතේ කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යනාංශයේ ඇති පරමාණුක අවශෝෂණ ප්‍රේක්‍ෂාවලිමාපකය යොදා ගැනීමෙනි. ඉන්පසු තවත් පරීක්‍ෂණාගාරයක දී ද ඒ බව හෙළි වී ඇති නමුත් තවමත් අපේ කණ්ඩයමට විරුද්ධ වූවන් තැන තැන කියන්නේ තමන් වැනි මහාචාර්යවරුන්ට හා මහාචාර්යවරියන්ට (උපකරණ මගින්) නොපෙනෙන ආසනික් අදෘශ්‍යමාන දෙවියන්ට පෙනෙන්නේ කෙසේ ද යන්න ය. ඔවුන් අසන්නේ අප වැන්නන්ට පෙනෙන මහාචාර්යවරුන්ට නොපෙනෙන දේ, අප වැන්නන්ට නොපෙනෙන දෙවියන්ට පෙනෙන්නේ කෙසේ ද යන්න ය. එය සරලව මෙසේ ය. අපට මහාචාර්යවරියන් පෙනේ. මහාචාර්යවරියන්ට ආසනික් නොපෙනේ. අපට දෙවියන් නොපෙනේ. දෙවියන්ට ආසනික් පෙනේ. එහි එක්තරා ආකාරයක සමමිතියක් ඇති බැවින් මම එයට ඇලුමි කරමි. එහෙත් මතු බුදුවන නාථ දෙවියන් අපට කියන්නේ කිසිවක නොඇලෙන ලෙසත් සියල්ල උපේක්‍ෂාවෙන් අත්හරින ලෙසත් ය. නාථ දෙවියන් කෙසේ කීවත් උගත් මහාචාර්යවරියන් සම්බන්ධ සමමිතික කියුම් මම කෙසේ අත්හරිම් ද?

රජරට ජලයේ පමණක් නොව වකුගඩු රෝගීන්ගේ හිස කෙස් නියපොතු ආදී ජෛවීය කොටස්වල ද සහල්වල ද ආසනික් අඩංගු බව අප කණ්ඩායමට අනාවරණය වී ඇත. රජරට වකුගඩු රෝගයට හේතුව කුමක් දැයි බටහිර වෛද්‍ය විද්‍යාව නොදැන සිටි කරුණකි. දෙවියන්ගේ මාර්ගයෙන් ලබාගත් දැනුමෙන් අපි ඒ කුමක් දැයි දැන් දනිමු. බටහිර උගත්කමෙන් මත් වී ඇති අය (මත්පැන් පානය කරන්නන්ගෙන් ඇතැම්හු මඳ පමණින් ගත්කල ද මත්වෙති. බටහිර උගත්කමෙන් මත්වීමෙහි දී ඇතැමුන්ට ද එවැන්නක් සිදුවේ) නොදනිතත් අතීතයෙහි ද අපේ විද්‍යාවෙහි දැනුම ලබාගැනීමේ දී අප දෙවියන්ගෙන් ද ආධාර ගෙන ඇත. ඊශ්‍රායලයන් පිරිසක් අපේ වැව් තාක්‍ෂණය ඉගෙන ගැනීමට ලංකාවට පැමිණ ඇතැයි පසුගිය දා වාර්තා විය. ඔවුන්ට එය කළ හැකි දැයි මම නො දනිමි. යුදෙව්වන් ද අතීතයේ දෙවියන්ගෙන් යම් යම් දේ දැනගත් ජනවර්ගයකි. ඒ කෙසේ වෙතත් අප වැව් තාක්‍ෂණය දැනගෙන ඇත්තේ දෙවියන්ගෙන් බව පමණක් දැනට කිව යුතු ය. විිදුසර පුවත්පතට ලියන අපේ ප්‍රවාද ලිපි පෙළෙහි මම සති කිහිපයක සිට දෙවියන්ගෙන් දැනුම ලබාගැනීම පිළිබඳ ව සාකච්ඡා කරන්නෙමි. අප දෙවියන්ගේ මාර්ගයෙන් දැනගත්තේ වකුගඩු රෝගයට හේතුව පමණක් නො වේ. එයට ප්‍රතිකාර ද අපි දැනගත්තෙමු. ඒ ප්‍රතිකාර බටහිර රෝහල්වල අත්හදා බැලීමට ද අපට බලධාරීන්ගෙන් අවසර ලැබී ඇත. 

දැන් ප්‍රශ්නය ජලයට ආසනික් එකතුවන්නේ කෙසේ ද යන්න ය. එයට ඇත්තේ එකම එක පිළිතුරකි. ඒ කෘෂි රසායන ද්‍රව්‍ය මාර්ගයෙනි. කෘෂි රසායන ද්‍රව්‍යවල, විශේෂයෙන් ම කෘමි නාශකවල, ආසනික් විශාල සාන්ද්‍රණයක් ඇති බව ද දැන් අපි දනිමු. ඒ එවැනි ද්‍රව්‍යවල ආසනික් නොතිබිය යුතු බවට බටහිරයන්ගේ ඊනියා ජාත්‍යන්තර සංවිධාන මගින් ද ප්‍රකාශ කෙරී තිබිය දී ය. මේ කෘෂි රසායනික ද්‍රව්‍ය අපට ලැබෙන්නේ බටහිර රටවලිනි. ඒ රටවලින් භාණ්ඩ පිට රටට යැවීමේ දී ඊනියා ජාත්‍යන්තර නීති බල නොපාන්නේ ද? වස විස පිටරට යවන රටවල් ගැන සොයා බැලීමට බෑන් කි මූන්ට අවසර නැත් ද? අවසර තිබුණත් බටහිර වරද නොපෙනෙන බෑන් කි මූන්ට (බින් ලාඩන් මරා දැමීම ගැන මොහු කුමක් කරන්නේ දැයි අපි විමසිල්ලෙන් බලා සිටිමු) ඇතැම් විට අර මහාචාර්යවරියන්ට මෙන් ම ආසනික් නොපෙනෙනවා විය හැකි ය. අනෙක් අතට අප රටට බටහිරෙන් හෝ තූත්තුකුඩියෙන් හෝ භාණ්ඩ ආනයනය කිරීමේ දී එහි වස විස තිබේ දැයි සොයා නො බලන්නේ ද? කෘෂි රසායනික ද්‍රව්‍ය යොදා ගැනෙන්නේ රජරට පමණක් නො වේ. එසේ නම් අනෙක් පළාත්වල වකුගඩු රෝගීන් හමුනොවන්නේ ඇයි දැයි පඬියකු අසනු ඇත. ජලයෙහි කිවුල නොමැති පළාත්වල ආසනික් ජලයට මිශ්‍ර වුවත් රජරට වකුගඩු රෝගය නමින් හැඳින්වෙන රෝගය නො වැළඳෙන බවත්, එහෙත් ආසනික් ජලයට මිශ්‍ර වීමෙන් දියවැඩියාව වැනි වෙනත් රෝග වැළඳෙන බවත් අපේ පර්යේෂණ කණ්ඩායම පෙන්වා දෙයි. කිනම් රෝගයක් වැළඳුනත් කෘෂි රසායනික ද්‍රව්‍යවලට ආසනික් එකතුකිරීම මානව විරෝධී කටයුත්තකි. අප වැනි රටවල ජනතාවට වස විස කැවීම බටහිර ප්‍රතිපත්තිය විය හැකි ය. අපට වස දීම බටහිරයන්ට ලාභ කටයුත්තක් ද විය හැකි ය. එහෙත් අප ඒ ද්‍රව්‍ය ආනයනය කරන්නේ ඇයි? ජලයේ ආසනික් නැතැයි කියන පර්යේෂණ කණ්ඩායම්වලට බටහිර විවිධ සංවිධානවලින් ආධාර ලැබෙන්නේ ඇයි? මේ සියල්ලක් පිළිබඳ ව ආණ්ඩුව වහාම සොයා බලා අවශ්‍ය නිසි පියවර ගත යුතු යැයි යෝජනා කරමි.   

අපට ආසනික් ලැබෙන්නේ රසායනික ද්‍රව්‍යයක් ලෙස පමණක් නො වේ. බටහිරෙන් ලැබෙන සිංහල විරෝධී දැනුම ද සමස්තයක් ලෙස ගත්කල අප සංස්කෘතික වශයෙන් මරාදැමීමට දෙන ශාස්ත්‍රීය ආසනික් අඩංගු පොදියකි (පැකේජයකි). මේ පොදිය රට පුරා බෙදා හරින ප්‍රධාන මධ්‍යස්ථාන විශ්වවිද්‍යාල වෙයි. බෑන් කි මූන්ට භාරදෙන ලද ඊනියා විද්වත් හෙවත් බ්ලේක් වාර්තාව ද ආසනික් පොදියකි. එයින් බලාපොරොත්තුවන්නේ ද අප මරා දැමීම ය. එනම් සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීම ය. අද බොහෝ විද්‍යුත් මාධ්‍ය නාලිකා ඔස්සේ රටට බෙදා දෙන්නේ ද සිංහල බෞද්ධ සංස්කෘතිය නසන ආසනික් ය. මේ ආණ්ඩුව සිංහල බෞද්ධ සංස්කෘතිය රැකගැනීමට නිසි පියවර ගෙන ඇතැයි අපි කිසිසේත් නො කියමු. එහෙත් සිංහල බෞද්ධ සංස්කෘතිය නැසීමට බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය විසින් යොදා ගැණුනු ප්‍රධාන අවියක් වූ දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් ආණ්ඩුව කරන ලද සේවය (බලය තිබුණත්) එ ජා පයෙන් හෝ ජ වි පෙන්් හෝ කිසි දිනෙක කෙරෙන්නක් නො වේ. එබැවින් මේ ආණ්ඩුව විජාතික බලවේගවලින් ආරක්‍ෂා කිරීමටත් එවැනි බලවේග ක්‍රියාත්මක වන ආකාරය හෙළි කිරීමටත් මම බැඳී සිටිමි.

මේ දිනවල විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය විසින් දියත් කෙරී ඇති ආසනික් වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය පිළිබඳ ව ද මා කියන්නේ ඒ පසුබිමෙහි ය. අද ඇතැමුන් මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක් වී ඇත්තේ ඔවුන් අනෙක් අයගෙන් කොන්වීමට ඇති අකමැත්ත නිසා මිස ඒ ක්‍රියා මාර්ගය අනුමත කරන නිසා නො වේ. ඒ ක්‍රියා මාර්ගයට එක් නොවුවන්ට ඇතැම් ආචාර්යවරුන් කරන කෙණෙහිළිකම් ද මම දනිමි. මම මේ ක්‍රියා මාර්ගයට මුළුමනින් ම විරුද්ධ වෙමි. ඒ බව මා වෘත්තීය සමිති සම්මේලන නියෝජිතයන් ඉදිරියේ කැලණිය විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගමයේ සාමාජිකත්වයට පවසා ඇත. පසුව මේ පිළිබඳ ව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට බලාපොරෙත්තු වෙමි. දැනට මෙරට ජනතාවගේ දැනගැනීම සඳහා ඉතා කෙටියෙන් මෙසේ සඳහන් කරමි. වැටුප් සම්බන්ධයෙන් ආචාර්ය සමිති සම්මේලනය ගෙන ගිය වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය පසුගිය වසරේ අග අත්හිටුවා තිබිණි. පසුගිය අයවැයෙන් පසුව 2010 නොවැම්බර් 24 වැනි දා පැවති සම්මේලන රැස්වීමට අදහස් දෙකක් ඉදිරිපත් වී තිබිණි. එකකින් කියැවුණේ 2010 දෙසැම්බර් 01 දා සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නැවත ඇරඹීමට හා ස්වේච්ඡා තනතුරුවලින් අස්වීමට ය. දෙවැන්නෙන්් ජනාධිපතිතුමාට ආචාර්යවරුන්ගේ ප්‍රශ්න ගැන දන්වා යැවීමටත් ස්වේච්ඡා තනතුරුවලින් අස්වීමට එතුමාගෙන් ප්‍රතිචාරයක් ලැබෙන තුරු බලා සිටීමටත් කියැවිණි. රැස්වීමේ තීරණය වූයේ දෙවැන්න ක්‍රියාත්මක කිරීම ය. 25% පර්යේෂණ දීමනාව ගැන සම්මේලනය සතුට පළකළ ද, එහි කොන්දේසිවලට විරුද්ධතාව දක්වා ඇතැම් කොන්දේසි පිළිබඳව බලධාරීන් සමග සාකචිඡා කිරීමට තීරණය කළේ ය.  2011 ජනවාරි 07 වැනි දා සම්මේලනයේ වාර්ෂික සභා රැස්වීමේ දී නව නිලධාරි මණ්ඩලයක් පත්විණි. එහි දී පත් වූ නිලධාරි මණ්ඩලයේ වැඩි බලය, එ ජා ප, ජ වි පෙ හිතවතුන්ට හා සිංහල විරෝධී ෆෙඩරල්වාදී ඊනියා වමට හිමිවිය. 2011 පෙබරවාරි 21 පැවති සම්මේලනයේ විධායක සභා රැස්වීමක දී ජනාධිපතිතුමාට කරුණු නොදක්වා, පර්යේෂණ දීමනාවේ කොන්දේසි පිළිබඳ බලධාරීන් සමග සාකච්ඡා නොපවත්වා වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයට නැවත එළඹීමට ද පසු රැස්වීමක දී ස්වේච්ඡා තනතුරුවලින් අස්වීමට ද තීරණය විය. මෙය වෘත්තීය සමිති සදාචාරයට ද සම්මේලන ව්‍යවස්ථාවට ද පටහැණි බවත් ආණ්ඩුවට ආසනික් දීමට ගන්නා තැතක් බවත් පමණක් දැනට ප්‍රකාශ කරමි. සම්මේලනය සාකච්ඡා නොකළ ද කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමයේ හිටපු නිලධාරීන් ප්‍රමුඛ පිරිසක් ජනාධිපතිතුමා හා අදාළ නිලධාරීන් හමු වී පර්යේෂණ දීමනාවේ කොන්දේසි ලිහිල් කරගෙන ඇත.