Main Logo

Saturday 19 January 2013

සාවද්‍ය අධිකරණ තීන්දු

සිංහල වෙදකම තරම් දියුණු නැති බටහිර වෛද්‍ය විද්‍යාවට තවමත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ පිහිටෙන් වෛද්‍ය ක්‍ෂෙත්‍රයෙහි ආධිපත්‍යයක් ඇති නමුත් සාමාන්‍ය ජනයා (ඊනියා උගතුන් නිතර කියන වියුක්ත ජනතාව නොව) සිංහල වෙදකම, ආයුර්වේදය, සිද්ධි, යුනානි ආදී විවිධ වෙදකම් සොයා යති. පට්ටපල් බොරුවක් වූ ද, හුදු කතන්දරවලින් පමණක් සමන්විත වූ ද, ප්‍රත්‍යක්‍ෂයක් නොවූ ද, බටහිර විද්‍යාව ද එලෙසින් ම මෙරට ආධිපත්‍යය දැරුව ද සාමාන්‍ය ජනයා දෙවියන්ගෙන්, ජ්‍යොතිෂයෙන්, යකැදුරන්ගෙන් ආදී විවිධ ප්‍රභවයන්ගෙන් දැනුම ලබාගනිති. ඒ අතර ආධ්‍යාත්මිකව දියුණුවට පත් වී දැනුම ලබාගන්නෝ ද වෙති. බටහිර දැනුම බමුණු කුලයෙහි දැනුම බවට පත් වී තිබුණ ද සාමාන්‍ය ජනයා ඒ දැනුමෙහි ආධිපත්‍යය සෘජුව නො පිළිගනිති. සාමාන්‍ය ජනයා හැඳින්වීමට බණ්ඩාරනායක මහතා යොදාගත් වචනය වූයේ පොදු ජනයා යන්න ය. තමා පොදු ජන යුගයක් උදාකළ බව ඒ මහතා විශ්වාස කළේ ය. එහෙත් ඒ එසේ නො වී ය. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ආධිපත්‍යය හේතුකොටගෙන බමුණු කුලය බිඳ නො වැටිණි. බමුණු කුලය යනුවෙන් අප විසින් හඳුන්වනු ලබන්නේ බටහිරයන්ගේ වරප්‍රසාද ලැබ ඔවුන් අනුකරණය කරන්නන්, බටහිර ආර්ථිකයෙහි යම් වැදගත්කමක් හිමිකරගත්තවුන්, අධ්‍යාපනයෙන් ඉහළ තනතුරුවලට පැනගත්තවුන්, අධ්‍යාපනය හේතුවෙන් සමාජයේ ඉහළට බඩගෑමට බලාපොරොත්තුවන්නවුන්, බටහිර දැනුම කරපින්නාගත්තවුන් ආදීන් ය.එය ඉංගිරිසින් විසින් ඇතිකරන ලද කුලයකි. පනස්හයේ ජයග්‍රහණයෙන් පසුව බමුණු කුලයේ බිඳ වැටීම ගැන ලියා දහසින් බැඳි පියලි ලබාගත් මාර්ටින් වික්‍රමසිංහ මහතා බමුණු කුලය යනුවෙන් කුමන පිරිසක් හැඳින් වී දැයි නො දනිමි. ඒ මහතා සංකල්පීය නිරවුල් බවකින් හෙබි අයකු නො වී ය. කෙසේ වෙතත් අපේ නිර්වචනයට අනුව මාර්ටින් වික්‍රමසිංහ මහතා ද බමුණු කුලයට අයත්විය. බමුණු කුලයට අයත්වන්නේ නීතිඥයන් පමණක් නො වේ. බටහිර වෛද්‍යවරුද, පරිපාලන නිලධාරීහු ද, පෞද්ගලික අංශයේ ඉහළ තනතුරු දරන්නෝ ද, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු ද, ඊනියා සාහිත්‍යධරයෝ ද තවත් අය ද සමස්තයක් ලෙස බමුණු කුලයේ ඇත්තෝ වෙති.

වෛද්‍ය විද්‍යාව ඇතුළු බොහෝ ක්‍ෂෙත්‍රවල විකල්ප ආයතන තිබුණ ද, නීති ක්‍ෂෙත්‍රයෙහි ඒ එසේ නො වේ. බටහිර රෝම ලන්දේසි නීතියට විකල්ප නීති පද්ධතියක් මෙරට නැත. අසාධාරණයක් සිදු වී විට අපට යා හැකි වෙනත් තැනක් නැත. අධිකරණ නායක පදවි රාශියක් ඒ ඒ නිකායවල තිබුණ ද භික්‍ෂූන් වහන්සේ අතර ද කිවයුතු තරමේ විකල්ප නීති පද්ධතියක් නැත. අධිකරණ නායක ස්වාමීන් වහන්සේ ද උසාවිවලට වැඩම කිරීම සුලබ දර්ශනයකි. වෙනත් නීති පද්ධතියක් නොමැතිකම හේතුවෙන් බටහිර නීතිය මෙරට විශාල ආධිපත්‍යයක් දරයි. බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යය මෙරට රැකෙන්නේ බටහිර නීතිය, පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය හා ජනමාධ්‍යය හේතුකොටගෙන ය. මේ ආධිපත්‍යය රැකීම බොහෝ අවස්ථාවල නීතිය හා අණ පිළිපැදීම යන්නෙන් ප්‍රකාශ වෙයි. අධ්‍යාපනය විසින් අප පුරුදු කෙරී ඇත්තේ ඊනියා විශේෂඥයන්ට ඒ ඒ ක්‍ෂෙත්‍රයෙහි අධිකාරී බලයක් ඇති බව පිළිගැනීමට ය. අහවල් ක්‍ෂෙත්‍රයෙහි අහවල් උගතා මෙසේ කියා ඇත. එබැවින් එය නිවැරදි විය යුතු ය යන අදහස අපේ සිත්වලට කාවද්දා ඇත. ඇතැම් සිංහල ජාතිකවාදීන් අතර ද මේ මතය තිබීම කණගාටුදායක ය. බොහෝ නාගරික සිංහල ජාතිකවාදීහු බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යය පිළිගනිති. ඔවුහු අධිකරණයේ ඊනියා ස්වාධීනත්වයක් ගැන කතාකරති. අධිකරණයට වැරදි තීන්දු දීමට ස්වාධීනත්වයක් ඇත් දැයි ඔවුහු නො කියති. ඔවුන් සිතන්නේ අධිකරණය සෑමවිට ම අපක්‍ෂපාත ව නිවැරදි තීන්දු දෙන බව ද? මේ ජාතිකවාදීන් දෝෂාභියෝගය පිළිබඳ ප්‍රශ්නයේ දී අධිකරණයේ ඊනියා ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටියහ. ඔවුන් නියෝජනය කරන දේශපාලන පක්‍ෂය එහි දී මුනිවත රැකීම පුදුමයක් නො වේ. මේ සිංහල ජාතිකවාදීන්ට අවශ්‍ය දෙමළ , මුස්ලිම් ජනවර්ග අභිබවා යෑම මිස බටහිර ක්‍රිස්තියානි නූතනත්වය පරාජය කිරීම නො වේ. අද නීති විද්‍යාල ප්‍රවේශයෙහි දී සිංහල ශිෂ්‍යයන්ට විශාල අසාධාරණයක් සිදු වී ඇත. එය නිවැරදි කර වැරදිකරුවන්ට නිසි දඬුවම් පැමිණවීමට ආණ්ඩුව ක්‍රියාකළ යුතු ය. ඒ පිළිබඳ කිසිදු විවාදයක් නැත. එහෙත් ඒ සමග රෝම ලන්දේසි නීතියේ ආධිපත්‍යය බිඳීමට ද සිංහල හා අනෙක් සිසුන් එක්වී කටයුතු කළ යුතු ය. සිංහල සිසුන් එහි දී නායකත්වය දීමට සූදානම් ද? ඔවුන් දෝෂාභියෝගය ගැන කියන්නේ කුමක් ද? ඔවුහු බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ අධිකරණයේ ඊනියා ස්වාධීනත්වය රැකීම තම පරම යුතුකම ලෙස සලකත් ද?

මම නීතිය පිළිබඳ තබා ගණිතය හෝ භෞතික විද්‍යාව හෝ පිළිබඳවවත් විශාරදයෙක් නො වෙමි. භෞතික විද්‍යාව පිළිබඳ විශාරදයකු වීමට නොහැකි බව මට වැටහුණේ මා පශ්චාත් උපාධියට ඉගෙනීමට ගිය විට ය. ඉන් පෙර මා සිතා සිටියේ ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාව පිළිබඳ විශාරදයකු වීමට ය. කෙසේ වෙතත් බටහිර දැනුමට අදාළ කිසිම විෂයයක විශාරදයන් මෙරට නොමැති බව මම දනිමි. එහෙත් බමුණු කුලය එසේ නොසිතයි. ඔවුන්ට අනුව නීති විශාරදයෝ ද, වෛද්‍ය විශේෂඥයෝ ද, විද්‍යා චක්‍රවර්තීහු ද (පැරණි අරුතින් නොවේ) වෙති. පසුගිය දා රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ජලයෙහි ඇති ආසනික් බව අප කණ්ඩායම කී අවස්ථාවේ දී ඊනියා විද්‍යා චක්‍රවර්තීහු අපට දෝස්මුරයක් එල්ල කළහ. ඔවුන් කියා සිටියේ ඒ ප්‍රදේශවල ජලයෙහි ආසනික් නැති බව ය. ජලයෙහි ඇති ආසනික් හැඳිනගැනීම සඳහා විශේෂ පරීක්‍ෂණයක් කළ යුතු ය. එය ඊනියා චක්‍රවර්තීන්ගේ පොතේ නැත. ඔවුහු පොතේ නැති නිසා ආසනික් නැතැයි කියති. බමුණු කුලය අද එකහෙළා කියන්නේ ඒ ප්‍රදේශවල ජලයේ ආසනික් නැති බව ය. ඔවුහු ඊනියා විශාරදයෝ වෙති. ඔවුන්ට අනුව අපි මිථ්‍යා මතධාරීහු වෙමු. මේ ආධිපත්‍යයෙහි ප්‍රතිඵලය වී ඇත්තේ දින දෙකකට වරක් වකුගඩු රෝගියකු මිය යෑම ය. අප රැකිය යුත්තේ වකුගඩු රෝගියා හා ඔහුගේ වකුගඩුව ද නැත්නම් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ වකුගඩුව ද?

උසාවිය පාර්ලිමේන්තු තෝරාගත් කමිටුව බල රහිත කරමින් තීරණයක් දී ඇති නිසා අප එය පිළිගත යුතු ද? උසාවි දෙන තීන්දු වාස්තවික හෝ අපක්‍ෂපාති හෝ නොවන බව පැහැදිලි ය. එසේම ඇතැම් විට ඒවා නිවැරදි නො වේ. පහළ උසාවියක තීන්දුවකට විරුද්ධව ඉහළ උසාවියකට අභියාචනා ඉදිරිපත් කරන්නේ පහළ උසාවියේ තීන්දුව වැරදි බව යමකු විශ්වාස කරන බැවිනි. නීතිය පිළිබඳව හෝ කරුණු පිළිබඳ ව හෝ වැරදි සිදුවිය හැකි බව උසාවිය ද පිළිගනියි. එහෙත් ප්‍රශ්නය වනුයේ ඉහළම උසාවිය වැරදි තීන්දුවක් දුන්නොත් සාමාන්‍ය පුද්ගලයකුට කළහැකි දෙයක් නොමැති වීම ය. දෝෂාභියෝගය පිළිබඳ අභියාචනාධිකරණයට මුලින් ම ඉදිරිපත් වූ පෙත්සම් මගින් ඉල්ලා සිටිනු ලැබුයේ තෝරාගත් කමිටුවට රිට් ආඥාවක් පමුණුවන ලෙස ය. දෙවැන්නෙන් ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉල්ලා සිටියේ තෝරාගත් කමිටුවේ තීන්දුව බල රහිත කරන ලෙස ය. අභියාචනාධිකරණය පළමු පෙත්සම්කරුවන් වෙනුවෙන් තීන්දුවක් දීමට පෙර ව්‍යවස්ථාවේ 107 (3) වගන්තිය පිළිබඳ අර්ථනිරූපණයක් කරන ලෙස ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. පළමුවෙන් ම සඳහන් කළ යුත්තේ 1953 පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පණතේ 3 වැනි ඡෙදය යටතේ පාර්ලිමේන්තුවේ විවාද, කතා, කාර්යයන් ආදිය පිළිබඳව කිසිම උසාවියක ප්‍රශ්න කිරීමට ඒවා දෝෂාභියෝගයකට ලක්කිරීමට නොහැකි බව ය. තවද මෙරට රිට් ආඥා නිකුත්කිරීම පිළිබඳව තවමත් අනුගමනය කරන බිරිතානි සම්ප්‍රදාය අනුව කිසිම උසාවියකට පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් රිට් ආඥාවක් නිකුත්කළ නොහැකි ය. ඒ හේතු දෙක උඩ වුව ද සියළු පෙත්සම් නිෂ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණයට බල කරනු ලැබී ය. එහෙත් අභියාචනාධිකරණයටත් ශ්‍රෙෂ්ඨාධිකරණයටත් වෙනත් අයටත් වෙනත් න්‍යාය පත්‍ර තිබූ බව පැහැදිලි ය. ජනවාරි 8 වැනි දාට පෙර තෝරාගත් කමිටුව බලරහිත කිරීමේ අවශ්‍යතාවක් විය.

ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ ව්‍යවස්ථා අර්ථනිරූපණයකි. 107 (3) ව්‍යවස්ථාව අනුව දෝෂාභියෝගය සාධනය කෙරෙන සංසදයට අවශ්‍ය දෑ සැලසීම පාර්ලිමේන්තුව අනිවාර්යයෙන් කළ යුතු ද? ප්‍රශ්නයට පිළිතුර ඔව් හෝ නැහැ හෝ යන්න ය. අර්ථනිරූපණය ද එමණ ය. එහෙත් ශ්‍රෙෂ්ඨාධිකරණය එයට වඩා දුර යයි. පළමුවෙන් ම එය සාවද්‍යව තෝරාගත් කමිටුව චෝදනා පිළිබඳ තීන්දුව දෙන සංසදය බව කියයි. දෙවනුව පාර්ලිමේන්තුව එකී කමිටුවට නීතියෙන් අවශ්‍ය දෑ සලසා නැති බව පවසයි. තුන්වැනුව ස්ථාවර නියෝග මගින් අධිකරණ බලතල තෝරාගත් කමිටුවට දිය නොහැකි බව පවසයි. මෙය අර්ථනිරුපණයක් නොව ව්‍යවස්ථාව සංගත නොමැති බවට දෙන ලද තීන්දුවකි. 80 (3) වැනි ව්‍යවස්ථාව යටතේ ශ්‍රෙෂ්ඨාධිකරණයට සම්මත වී ඇති පණත්වල අනුකුලතාව, සංගතබව පිළිබඳ තීන්දු දිය නො හැකි ය. හතරවැනුව ස්ථාවර නියෝග 78 (අ) සඳහන් වී ඇත්තේ විවාද රීති යටතේ බව කියයි. එයින් අදහස් කරන්නේ 78 (අ) විවාදවලට අදාළ දෙයක් පමණක් බව ය. එහෙත් 78 ස්ථාවර නියෝගය ඇත්තේ විශේෂ කරුණක් කීමට ය. ජනාධිපතිතුමා ඇමතිවරුන් විනිසුරුවන් ආදීන් සම්බන්ධ කරුණු ඒ සඳහා ම ගෙනෙන විශේෂ යෝජනාවක් මගින් විවාද කළ යුතු බවත් සංශෝධන ආදිය මගින් ඒ නෙකෙරිය යුතු බවත් කියැවෙයි. එයින් කර තිබෙන්නේ ද විනිසුරුවන් ආරක්‍ෂා කිරීම ය. 78 හි එසේ සඳහන් කිරීමෙන් පසු විනිසුරුවන්ට එරෙහිව ගෙනෙන දෝෂාභියෝග පවත්වන්නේ කෙසේ ද යනුවෙන් 78 (අ) යටතේ සඳහන් කිරීම ඉතාමත් සුදුසු ය. පස්වැනුව කියන්නේ ස්ථාවර නියෝග මගින් අවශ්‍ය සැලසුම් කර ඇති නමුත් නීති මගින් ද එසේ සැලසුම් කිරීමට බාධාවක් නැති බව ය. බාධාවක් නැති වුවත් 107 (3) හි නීති මගින් හෝ ස්ථාවර නියෝග මගින් හෝ යැයි කියා තිබිය දී නීතියෙනුත් සැලසුම් කිරීම අවශ්‍ය නැති බව සාමාන්‍යයෙන් ඇරිස්ටෝටලීය න්‍යාය තේරෙන කාහට වුවත් අවබෝධ වෙයි. හයවැනුව ශ්‍රෙෂ්ඨාධිකරණය පුන පුනා කියන්නේ ස්ථාවර නියෝග මගින් අධිකරණ බලතල තෝරාගත් කමිටුවට පැවරීම 4 (ඇ) ව්‍යවස්ථාවට පටහැණි බව ය. එබැවින් එය නීතියට ද පටහැණි යැයි ශ්‍රෙෂ්ඨාධිකරණය පවසයි. එහෙත් මේ බොහෝමයක් අර්ථනිරුපණ නොව 80 (3) ව්‍යවස්ථාවට පටහැණීව අවුරුදු 34කට පෙර සම්මත ව ක්‍රියාත්මක වන ව්‍යවස්ථාව එම ව්‍යවස්ථාවට එකඟ නොවේ යැයි තීන්දු කිරීමකි. දෝෂාභියෝග පිළිබඳ අධිකරණ බලතල 4 (ඇ) අනුව 107 (2) මගින් ඇත්තේ ජනාධිපතිතුමාට හා පාර්ලිමේන්තුවට මිස තෝරාගත් කමිටුවට නො වේ. තෝරාගත් කමිටුව එහි දී යොදාගැනෙන යාන්ත්‍රණයක් පමණකි. එය පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළ යුතු ය. එයට කළ හැක්කේ චෝදනා සාධනය වී ඇත්දැයි වාර්තා කිරීම ය. පාර්ලිමේන්තුව ඒ වාර්තාව පිළිගැනීමට බැඳී නැත. පාර්ලිමේන්තුවට වුව ද කළ හැක්කේ අදාළ විනිසුරුවරයාට එරෙහි චෝදනා සාධනය වී ඇත් ද නැත් ද යන්න ජනාධිපතිතුමාට දැන්වීම පමණකි. තීන්දුව දෙන්නේ ජනාධිපතිතුමා ය. අප කිහිප වතාවක් කියා ඇත්තේ 107 (2) මගින් තීරණය හා තීන්දුව වෙන් කෙරී ඇති බව ය. මේ ලිපිය ලියන මොහෙත වන තුරුත් තීන්දුව තබා තීරණයවත් ගෙන නැත. නැති තීන්දුවක් නිෂ්ප්‍රභා කිරීමේ ගෞරවය අභියාචනාධිකරණයට හිමි වෙයි. තමන්ට දී ඇති වරමෙන් පිටගොස් ශ්‍රෙෂ්ඨාධිකරණය වැරදි තීන්දු කිහිපයක් ම දී පාර්ලිමේන්තු බලතල පවරාගැනීමට උත්සාහ කරයි. පාර්ලිමේන්තුව මේ වැරදි තීන්දු ක්‍රියාත්මක කිරීමට බැඳී නැත.