Main Logo

Sunday 15 October 2017

පුහු ජාත්‍යන්තරවාදී පඬියෝ  

පුහු ජාත්‍යන්තරවාදී පඬියෝ


ඊනියා ජාත්‍යන්තරවාදී පඬියන් අපට කියන එක් කරුණක් නම් ජාත්‍යන්තර මැදිහත්වීම් නැවැත්වීමට  අප බලය විමධ්‍යගත කළ යුතු බව. දයාන් ජයතිලක වැනි තමන් දේශපාලන විද්‍යාඥයන් ලෙස හඳුන්වා ගන්නවුන් (මෙරට දේශපාලන විද්‍යාඥයන් තබා කිසිම විද්‍යාඥයකු නැහැ) ඊනියා මධ්‍යස්ථභාවය ප්‍රදර්ශනය කරමින් තමන් සිංහල ජාතිකවාදීන්ට ඉහළින් සිටින ස්මාර්ට් දේශප්‍රේමීන් ලෙස පවසන්නේ ජාත්‍යන්තරය සෑහීමකට පත් කිරීමට අප බලය විමධ්‍යගත කළ යුතු බවයි. තමන් බටහිරින් ඉගෙන ගන්නා සංකල්ප හා ප්‍රවාද යොදා ගනිමින් වචන හරඹයකින් ඊනියා ජාත්‍යන්තරවාදීන් භූදේශපාලන යථාර්ථය වැනි ව්‍යාජ ගැන කියවනවා. මෙහි දී පැන නගින ප්‍රශ්නයක් නම් ඊනියා ජාත්‍යන්තරය අපක්‍ෂපාතීත්වය යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද යන්නයි. බලය විමධ්‍යගත කළ යුත්තේ කුමක් සඳහා ද? ඊනියා අසාධාරණයක් විසඳීමට ද, අභිලාෂ මුදුන්පත් කරවීමට ද, නැති දෙමළ සාමූහිකත්වයක් තහවුරු කිරීමට ද?


පඬියන් නොදන්නා පළමු කරුණ නම් ඊනියා යථාර්ථයක් නොමැති බවයි. කසිකබල් භෞතිකවාදයෙන් පටන් ගෙන මනසින් තොරව පවත්නා  යථාර්ථයක් ගැන කියන මොවුන් ඊනියා යථාර්ථය යැයි කියන්නේ බටහිර සංකල්ප හා ප්‍රවාද රැසකටයි. බටහිරයන් තම සංකල්ප හා ප්‍රවාද නිර්මාණය කරන්නේ තමන්ට අවශ්‍ය ආකාරයට ලෝකය හැසිරවීමට බව මොවුන් විශ්වාස කරන්නේ නැහැ. ඔවුන් තමන්ට උගන්වා තිබෙන ආකාරයට බටහිර පඬි කතා කියනවා.

බටහිරයන්ට හා අනෙක් අයට අපේ ප්‍රශ්නවලට මැදිහත් වීමට ඇති අයිතිය මොකක් ද? ප්‍රශ්න ඇති කෙළේ ඔවුන් වීම ද? ඔවුන් විවිධ සංකල්ප නිර්මාණය කරන්නේ ලෝකය පාලනය කිරීමට. ආරක්‍ෂාකිරීමට ඇති අයිතිය (ආර්2පී) වැනි සංකල්පවල හරය ජාත්‍යන්තර සුපිරිව්‍යුහයට, සංස්ථාපනයට ලෝකය පාලනය කිරීමට ව්‍යාජ දේශපාලන බලයක්  ලබා දීම මිසක් වෙන එකක් නො වේ. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කර ඊනියා පළාත් සභා ඇති කිරීමට ඉන්දියාවට බලය දුන්නේ කවුද?

ජේ ආර්ගේ  නිවටකමට ඉන්දියාවට යට වූවා මිස එහි වෙනත් දෙයක් තිබුණේ නැහැ. ගාමිණි දිසානායක වැන්නන් ඉන්දියාවේ ආධාරයෙන් ජනාධිපතිවීමට බලාපොරොත්තු වූ අය. ඊනියා ඉන්දියා සාම සාධක හමුදාවක් ගෙන්වා අපේ ස්වෛරීභාවයට තර්ජනයක් එල්ල කෙළේ නිවට ජේ ආර්. එහෙත් එයට විරුද්ධව ජනමතයක් ගොඩ නැගුණා. ප්‍රේමදාසට අවසානයේ දී සාම සාධකයන් ආපසු ඉන්දියාවට යැවීමට සිදු වූවා.

එහෙත් ප්‍රේමදාසට කොටි පැරදවීමට හැකියාවක් තිබුණේ නැහැ. ඔහුට ඒ සඳහා දේශපාලන නායකත්වය දීමට ශක්තියක් තිබුණේ නැහැ. ඒ ශක්තිය අත්තනගල්ලේ විමුක්ති සොයන චන්ද්‍රිකාට තිබුණේත් නැහැ. චන්ද්‍රිකා, විජය කුමාරතුංග වැනි අය බටහිර දැනුම දේවත්වයෙන් ඇදහූ සිංහල බෞද්ධ විරෝධීන්. ඔවුන් චෙන්නායිහි කොටි තිප්පළවලටත් රිංගුවා. ඔවුන් දෙමළ ජනයාට වී ඇති ඊනියා අසාධාරණයකට පිළියම් සෙවූ අය. ඒ පිළියම් සෙවීමේ දී ඔවුන් පැකේජ ඉදිරිපත් කළා. ඊනියා සාම සාකච්ඡා පැවැත්වූවා. ඒ සාකච්ඡා පිටුපස බටහිරයන් හා ඉන්දියාව සිටියා. එහෙත් ඒ සියල්ල අසාර්ථක වුණා. 

ඇතැම් දෙමළ ජනයාට අසාධාරණයක් සිදු වී තිබෙනවා. ඒ ලන්දේසීන් හා ඉංගිරිසින් ඔවුන් තම නිජ භූමිය වූ  වත්මන් තමිල්නාඩුවේ සිට මෙරටට ගෙන ඒමෙන්. වෙල්ලාලයන් ඇතුළු ඇතැම් දෙමළ ජනයාට තම නිජභූමියේ ඉන්න නොදී සිංහලයන්ගේ රටට ගෙන ඒමෙන් ලන්දේසීන් හා ඉංගිරිසින් කර ඇත්තේ අසාධාරණයක්. ඉන් පසු දෙමළ උගතුන්ට වරප්‍රසාද දී ඔවුන් සිංහලයන්ට ඉහළින් තැබීමෙන් සහ 1833 පිහිටුවන ලද ව්‍යවස්ථාදායක සභාවේ සිංහල නියෝජනත්වය හා සමාන දෙමළ නියෝජනත්වයක් ඇති කිරීමෙන් ඉංගිරිසින් මෙරට දෙමළ ජාතිවාදය බෞතීස්ම කළා.  මේ ඉතිහාසය වැදගත්. දෙමළ කතාකරන ජනතාවක් වත්මන් යාපන දිස්ත්‍රික්කයේ බහුතරය බවට පත්වීමට පටන් ගත්තේ 1650න් පසුව. පෘතුගීසීන් මෙරටට පැමිණෙන විටත් යාපනයේ බහුතරය සිංහලයන්. ඒ සිංහලයන් අද ඊනියා අඩු කුලවල ජනතාව ලෙස දෙමළ සමාජයට අවශෝෂණය කෙරී තිබෙනවා.

ලන්දේසීන් හා ඉංගිරිසින් මෙරට දෙමළ ජාතිවාදයක් ඇති කළ පමණින් ඔවුන්ට ඒ විසඳීමට බලයක් නැහැ. අද දෙමළ ජාතිවාදය මෙරට දේශපාලනික ව පරාජය වී තිබෙනවා. ඒ නන්දිකඩලා කලපුවේ දී. අපට අද ඇත්තේ දෙමළ ජාතිවාදය නෛතික ව අතුගා දැමීම පිළිබඳ ප්‍රශ්නයක්. දයාන් ජයතිලක වැන්නන් කියන්නේ ඊනියා දෙමළ ජාතිකත්වයක් පරාජය කිරීමට සිංහලයනට නොහැකි වී ඇති බවයි.

සිංහලයනට දෙමළ ජාතිවාදය නෛතික ව තවමත් පරාජය කිරීමට නොහැකි වී ඇත්තේ ඉංගිරිසින් ප්‍රමුඛ බටහිරයන් හා ඉන්දියාවේ කෞටිල්‍යයන් ද ශ්‍රී ල නි පක්‍ෂයට උපදෙස් දෙන ඊනියා ජාත්‍යන්තරවාදී පඬියන් ද නිසයි. ඩලස්ලා ගම්මන්පිලලා   මේ පඬියන්ට තැනක් ලබා දෙනවා. මෙරට ඉතිහාසය නොදන්නා පඬියන් අපට අදාළ නැති කිබෙක්, ස්කොට්ලන්ත, කැටලෝනියා ආදී ප්‍රශ්න සමග දෙමළ ජාතිවාදී බෙදුම්වාදය සම්බන්ධ කරන්න හදනවා.

මේ පඬියන් තමයි එකල කිව්වේ කොටි පරාජය කිරීමට නොහැකි බව. රොහාන් ගුණරත්න වැන්නන් එහි දී පඬි කතා කියෙව්වා. එහෙත් මෙරට මහජන මතය වූයේ කොටි පරාජය කළ යුතු ය කළ හැකි ය යන්නයි.  බටහිර රටවල් කොටි පරාද කිරීමට විරුද්ධ වුණා. එකල ඊනියා ජාත්‍යන්තරය අපට විරුද්ධ වේවි යන පදනමේ හිටියා නම් මහින්දට කොටි පරාද කිරීමට දේශපාලන නායකත්වය දෙන්න බැහැ. එහෙත් මහින්ද ඒ කාර්යය එදා කළා. රොහාන් ගුණරත්න අද මොකද කියන්නේ?

බටහිරයන් හා ඉන්දියාව නැත්නම් අද මෙරට දෙමළ ජාතිවාදයක් නෛතිකවවත් නැහැ. දහතුන අප මත ඉන්දියාව පැටවූයේ බටහිරයන්ගේ අනුග්‍රහයෙන්. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට පෙර එක්සත් රාජ්‍යයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් දිල්ලියට ගියා. නිවට ජේ අර්ට සිංහලයන්ගේ කැමැත්තක් තිබුණේ නැහැ. යැංකි ඩිකී ඉන්දියාවට යට වුණා. මහින්දට සිංහලයන්ගේ ආශිර්වාදය තිබුණා. ඔහු බටහිරයන්ට යට වුණේ නැහැ. අද ඉන්දියාව කියන්න යන්නේ කොටි පරාජය කළේ තමන්ගේ ආධාරයෙන් බව. ඔවුන්ගේ ඊනියා සාම සාධක හමුදාවට පරාජය කිරීමට බැරි වුණු කොටි ඔවුන්ගේ ආධාරයෙන් පරාජය කළා යැයි කීම ලෝක විහිළුවක්. ඉන්දියාව විරුද්ධ වුණත් නැතත් රණවරුවන් කොටි පරාජය කරනවා. අප මතක තබා ගත යුත්තක් තියෙනවා. අප රටේ ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්නේ නම් අප කිසිම විජාතික රාජ්‍යයකට අවනත විය යුතු නැහැ.

මෙරට දෙමළ ජාතිවාදය ඇති කෙළේ බටහිරයන්. ඔවුන් අදත් එය නෛතික ව පවත්වාගෙන යෑමට ආධාර කරනවා. අප කළ යුත්තේ බටහිරට හා ඉන්දියාවට යට වෙන මේ නිවට ආණ්ඩුව වෙනුවට ඔවුන්ට යට නොවෙන ආණ්ඩුවක් පත්කර ගැනීමයි. එහෙත් දැනට එය කරන්න බැහැ. එහෙත් අපට ආරම්භයක් ලෙස රනිල් සුමන්තීරන් ජයම්පති නමින් ඉදිරිපත් වන එංගලන්ත හා ඉන්දීය ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කරන්න පුළුවන්. මහින්ද එයට නායකත්වය දෙනවා ද? මහින්ද පඬියන්ගෙන් ගැලවෙනවා ද? අද සිංහලයන් ඉන්නේ මහින්ද සමග මිස පඬියන් සමගවත් ඔවුන්ට වැදගත් තැනක් දෙන්නන් සමගවත් නො වේ.


මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.
http://www1.kalaya.org
නලින් ද සිල්වා
2017 ඔක්තෝම්බර් 15