Main Logo

Sunday 22 October 2017

අනේ මෛත්‍රිපාල අනේ රනිල්  


අනේ මෛත්‍රිපාල අනේ රනිල්



බටහිරයන්ගෙන්, පෘතුගීසීන්ගෙන්, තුවක්කු සෑදීමට උගත් සිංහලයන් පෘතුගීසීන්ටත් වඩා හොඳ තුවක්කු නිපදවූවා. එය හොඳ දෙයක්. බටහිර දැනුම් ආධිපත්‍යයට යට නොවීම යනු බටහිර දැනුම ප්‍රතික්‍ෂෙප කිරීමක් නොවන බව මෙරට කසිකබල් උගතුන්ට තේරෙන්නේ නැහැ. අපේ රටේ ප්‍රශ්නයත් එයමයි. ඊනියා උගතුන්ට බොහෝ දේ නොතේරීම, විශේෂයෙන් ම බටහිර සංකල්ප හා ප්‍රවාද නොතේරීම. එහෙත් ඔවුන් පෙන්නන්නේ ඔවුන්ට ඒ තේරෙන බවයි.


අපට වියුක්තය තේරෙන්නේ නැහැ. අපේ සංස්කෘතිය සංයුක්ත ඉන්ද්‍රිය ගෝචර සංස්කෘතියක්. අපට ඉන්ද්‍රිය ගෝචර දැනුම ලබා ගන්න පුළුවන්. එහි නිර්මාණ කරන්නත් පුළුවන්. බටහිරයන්ගේ තුවක්කු බලා අපට ඊට වඩා හොඳ තුවක්කු නිර්මාණය කරන්න පුළුවන් වුණා. අද ඇතැමුන් කියන්නේ අපේ කාර්මිකයන්ට හයිබ්‍රිඩ් වාහන ඉතා දක්‍ෂ ආකාරයෙන් අලුත්වැඩියා කරන්න පුළුවන් කියලා. එහෙත් අපට වියුක්ත ප්‍රවාද නිර්මාණය කිරීමට තබා අලුත්වැඩියා කරන්නවත් බැහැ. 

අද බටහිරයන් අප රවටනවා. මා අද අනාගමික රාජ්‍ය ගැන කතා කිරීමට හිටියත් මෛත්‍රිපාල හ රනිල් ඊයේ කරලා තියෙන කතා ඇහුවට පස්සෙ ඒ අදහස වෙනස් කළා. අනාගමික කියන්නෙ වචනයක්, සංකල්පයක්. එය විස්තර කරන්නෙ ජයම්පති. එයින් කියන්නෙ ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න ඇතැමුන් කියන විධියට ව්‍යවස්ථා සම්පාදනය ගැන විශාරදයකු කියන එක නො වෙයි. අනාගමික යන්න නිර්වචනය කරන්නෙ ජයම්පති නො වෙයි. ඒ කරන්නෙ බටහිර නීතියෙන්, බටහිරයන්ගෙ සංකල්පවලින්. බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංකල්පවලින්.  

අප පැහැදිලි ව බටහිරයන්ට හා ජයම්පතිලාට පමණක් නොව මෙරට අනාගමික රාජ්‍යයක් යැයි කී සරත් සිල්වටත් කියනව අපේ සිංහල බෞද්ධ එක්සේසත් රාජ්‍යය බටහිර සංකල්පවලින්, රෝම ලන්දේසි නීතියෙන් තේරුම් කරන්න එපා කියලා. සරත් සිල්ව උසාවි යන්නෙ සිංහල බෞද්ධ එක්සේසත් රාජ්‍යය වෙනුවෙන් නම් නො වෙයි. අවාසනාවකට නීතිඥයකු ලෙස දිවුරුම් දී ඇති මහින්දටත් අපේ සංකල්ප ගැන වැටහීමක් නැහැ. රනිල්ට කොහොමටවත් නැහැ. 

මෛත්‍රිපාල මේ රටේ උගතුන්ට මධ්‍යස්ථ ව අපක්‍ෂපාතිව  ව්‍යවස්ථාව ගැන කතා කරන්න කියනවා. ඔහුට අනුව අද ඉරිදා පත්තරවල ඇත්තේ බොරු. පත්තරවල මොන යම් අර්ථයකින්වත් ඇත්ත පමණක් තියෙනවා කියලා මා කියන්නෙ නැහැ. එහෙත් අපට ඇත්ත කියන්නේ කවුද? මෛත්‍රිපාල ද, රනිල් ද නැත්නම් අර්ජුන් මහේන්ද්‍රන් ද ඔහුගෙ බෑණා ද අනිකා ද? මා මෙහි අනිකා කියන්නේ පිරිමියකුට නොව අනිකා විජේසූරියටයි. 

මෛත්‍රිපාල අපක්‍ෂපාත ද? ඔහු අඩු තරමෙන් තම පවුලටවත් පක්‍ෂපාත නැද්ද? අපක්‍ෂපාත මධ්‍යස්ථ ආදී වචන අද යෙදෙන්නේ සිංහල බෞද්ධ අර්ථයකින් නො වෙයි. ඒ මුළුමනින් ම බටහිර අර්ථයකින්. බටහිරයන් අපක්‍ෂපාත ද? රනිල් කියනවා ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ආණ්ඩුවට ජනවරමක් තියෙනවා කියලා. ඒ කොහොමද කියලා පැහැදිලි කරන්න රනිල්ට මොන අර්ථයකින්වත් පුළුවන් ද? රනිල් තම අනුගාමිකයන්ගේ ගැලරි අත්පුඩියට කියන දේ ජනමාධ්‍යයේත් වාර්තා කරනවා. රනිල් ඊළඟ කතාවෙදී කියලා දෙනව ද ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ආණ්ඩුවට ජනවරමක් ලැබුණෙ කොහොම ද කියලා. 

රනිල්ට අගමැති වෙන්නත් ජනවරමක් නැහැ. ඒත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඔහුට අගමැති වෙන්න පුළුවන්. ඒ නීතියෙන් සිදුවන්නක්. ජනාධිපතිට පුළුවන් තමන්ට හිතෙන විධියට, තම මතය අනුව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයක් ගන්න පුළුවන් අයකු අගමැති කරන්න. ඒ නිසා තමයි 2015 ජනවාරි නවවැනිදා මෛත්‍රිපාල මන්ත්‍රීවරුන් හතළිස් ගණනක් සහිත ව රනිල් අගමැති ලෙස පත් කෙරුවෙ. එය නීතියට එකඟයි. ව්‍යවස්ථාවට එකඟයි. රනිල්ට එදාවත් අගෝස්තු මැතිවරණයෙන්වත් අගමැති වීමට ජනවරමක් ලැබුණෙ නැහැ. ඔහුට අගෝස්තුවෙන් පස්සෙත් ඉන්නෙ මන්ත්‍රීවරුන් 106 දෙනකු පමණයි. එය 113ට අඩු බව මෛත්‍රිපාල, චන්ද්‍රිකා, අමරවීර, දුමින්ද චතුෂ්බලවේගයට වුණත් වැටහෙන්න ඕන. 

රනිල් නීතියෙන් මිස ජනවරමෙන් අගමැති නො වෙයි. ඔහුට අද දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයත් උපකාර වෙනවා ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවා රට පාලනය කිරීමට. නීතියෙන් අගමැති වූ අයකුට නීතියෙන් පිට පාර්ලිමේන්තුවේ නියෝජනත්වයක් නැති ශ්‍රි ල නි පක්‍ෂයක් සමග පිහිටුවා ගත් ආණ්ඩුවකට ව්‍යවස්ථාව වෙනස් කිරීමට ජනවරමක් ලැබුණේ කෙසේ ද? නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ජනතා කැමැත්ත ප්‍රකාශ වී ඇත් ද? ජනතා කැමැත්ත ප්‍රකාශ වී ඇත්තේ ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට විරුද්ධවයි. එනම් ජනතා පරමාධිපත්‍යය අනුව නව ව්‍යවස්ථාවක් සම්පාදනය නොකළ යුතුයි.  මෛත්‍රිපාල ජනාධිපති ලෙස ජනතා පරමාධිපත්‍යය රකින්නේ නැත් ද

මෛත්‍රිපාල කියන්නේ එසේ ඇසීම අක්‍ෂපාති නොවන බව ද? මෛත්‍රිපාලගේ ප්‍රකාශය මට කොහොමටවත් අදාළ වෙන්නේ නැහැ. මා උගතකු විද්වතකු නො වෙයි. එහෙත් මට මෛත්‍රිපාලගෙන් දැනගන්න ඕන කාරණයක් තියෙනවා. මධ්‍යස්ථවීම කියන්නෙ නව ව්‍යවස්ථාවට  පක්‍ෂ වීම ද? අර සමහර දොස්තරලා කියන විධියට මධ්‍යස්ථ හා අපක්‍ෂපාත වීමට නම් සයිටම් අහෝසි කරන යෝජනාවට පක්‍ෂපාත විය යුතුයි! මධ්‍යස්ථ වීම කියන්නෙ, අපක්‍ෂපාත වීම කියන්නෙ තමන් කියන දේට පක්‍ෂපාත වීම ද? කොහොමටත් මෛත්‍රිපාල කිය කිය හිටියෙ ජනමත විචාරණයකට තුඩු නොදෙන ව්‍යවස්ථා සංශෝධනවලට කැමති වෙන බව මිස නව ව්‍යවස්ථා සම්පාදනය කිරීමක් ගැන නො වෙයි.

ඒත් රනිල් ඉන්න තැන සංශෝධන ගැන කතා කරන එක භයානකයි. ඔහුගෙ ප්‍රජාතන්ත්‍රවාතයට අනුව සංශෝධනයක් කියන්නෙ වෙන ම පනතක්. බොරු නම් අර අපක්‍ෂපාත කතානායක කරු ජයසූරියගෙන් අහලා බලන්න. ඒත් මේ ඔක්කොම අස්සෙ අපට අහන්න වෙන ප්‍රශ්නය තමයි ඒකාබද්ධ විපක්‍ෂය ජනවරමක් නැතිව ව්‍යවස්ථා මණ්ඩලයේ වැඩ කටයුතුවලට සහභාගි වන්නෙ අපක්‍ෂපාත ව ද කියලයි.





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 ඔක්තෝම්බර් 22