Main Logo

Thursday 7 December 2017

අපට රෙසිඩන්ට්ලා එපා

අපට රෙසිඩන්ට්ලා එපා

ඇමරිකාව නමින් හැඳින්වෙන ඇමරිකාවේ එක්සත් රාජ්‍ය (United States of America) ලෝකයේ අනෙක් රටවල දූෂණ ගැන උනන්දුවක් දක්වනවා. ඇමරිකාව කියන්නේ මහාද්වීපයක නමක්. එය දකුණු ඇමරිකාව හා උතුරු අමෙරිකාව යනුවෙන් කොටස් දෙකකටත් බෙදෙනවා. මිනිසුන් කැපූ පැනමා ඇලෙන් අද වෙන් වෙලා තිබුණත් මේ එකම භූමියක්. කැනඩාව හා මෙක්සිකොව පමණක් නොව චිලී බ්‍රසීලය ආජන්ටිනාව වෙනිස්‍යුලාව වගේ රටවලුත් ඇමරිකාවේ. එහෙත් ඒ එක රටක්වත් ඇමරිකාවේ ආජන්ටිනාව වගේ නම් දාගෙන නැහැ.

එක්සත් රාජ්‍ය එලෙස ඇමරිකාවේ යනුවෙන් හැඳින්වෙන්නේ මේ වෙන ම රාජ්‍ය ලෙස කලක් පැවතුණ නිසා. ඒ රාජ්‍ය, පළමුව දහතුනක්, එකතු වී එංගලන්තයෙන් නිදහස ලබා ඇමරිකාවේ එක්සත් රාජ්‍ය ඇතිකර ගත්තා. ඉන්දියාවත් රාජ්‍ය කිහිපයක් එකතු කර නිර්මාණය කරගත් රාජ්‍යයක්. ඒත් කවුරුවත් ඉන්දියාවට ආසියාවේ එක්සත් රාජ්‍ය කියා කියන්නේ නැහැ. කොහොමටත් ඒ රාජ්‍ය තමන් විසින් ම එක්සත් වුණේ නැහැ. ඉංගිරිසින් ඒ එක්සත් කළා පමණයි. අවශ්‍ය නම් ඇමරිකාවේ එක්සත් රාජ්‍ය අනුව යමින් ඉන්දියාව ආසියාවේ එක්සත් කරන ලද රාජ්‍ය ලෙස හඳුන්වමු ද?

කලක් තිබූ සෝවියට් දේශය ද රාජ්‍ය කිහිපයක එකතුවක්. ඒ රාජ්‍ය එකතු කෙළේ රුසියාවේ රතු හමුදාව. ට්‍රොට්ස්කි මේ රතු හමුදාවේ ප්‍රධානියා වෙලා හිටියා. ඔහු යුදෙව්වෙක්. ලෙනින් මෙන් ම මාක්ස් ද යුදෙව්වන්. ඇතැම් පියවරුන් තම පුතුන්ට ලෙනින් ස්ටැලින් යන නම් යොදා තිබුණත් මා දන්නා තරමින් ට්‍රොට්ස්කි මාක්ස් යන නම් යොදා නැහැ. එහෙත් කාල්ලා හා ලියොන්ලා නම් ඉන්නවා. දැන් නැතත් එකල සෝවියට් දේශය යුරෝපයේ එක්සත් කරන ලද රාජ්‍ය යනුවෙන් හඳුන්වන්න තිබුණා. රනිල් තව ටික කලක් බලයේ සිටියොත් ලංකාව, ලංකාවේ එක්සත් රාජ්‍ය කියා හඳුන්වන්න පුළුවන් වේවි.

ඒත් දැන් නැවතත් මැතිවරණ කාලයක් ඇවිල්ලා. ඒ නිසා ව්‍යවස්ථාව තරමක් කල් යාවි. එහෙත් නැවතත් හොරු කතාව එළියට එන්න පුළුවන්. ඒත් දැන් දෙපැත්තට ම හොරු කියන නිසා එයත් තරමකට යට යන්න පුළුවන්. ඒ වුණත් එක්සත් රාජ්‍ය මහා තද පියවරක් අරගෙන. ඔවුන් දූෂණ විරෝධී හා වත්කම් ආපසු ලබාගන්නා උපදෙස් දීම සඳහා මෙරට නේවාසික නීති උපදේශකවරයකු පත් කිරීමට යනවා.  ඔබාමාගේ කාලයේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී කී දෙයක් වූයේ මෙරට සොරකම් කළ වත්කම් සොයා ගැනීම සඳහා උපකාර කරන බව. දැන් එය ක්‍රියාත්මක කරන්න කාලය ඇවිත්.

නේවාසික හෙවත් රෙසිඩන්ට් කියන වචනය අපට හුරු පුරුදු වචනයක්. නේවාසික ඉංජිනේරුවන් ගැන අප අසා තිබෙනවා. එහෙත් අපට අමතකයි ඉංගිරිසි යටත්විජිත කාලෙ මෙහෙ රෙසිඩන්ට් පාලකයන් විවිධ පළාත්වල සිටි බව. ඩොයිලිත් රෙසිඩන්ට් කෙනෙක්. මට රනිල් පේන්නෙත් රෙසිඩන්ට් කෙනකු 




හැටියට. කොහොමටත් අපට දූෂණ වත්කම් සොයන රෙසිඩන්ට් කෙනකු ලැබෙන්න යනවා. ඒ එක්සත් රාජ්‍යවල පිහිටෙන්.

මේ දුෂණ රෙසිඩන්ට් හෙවත් නේවාසිකයා සොයන්න යන්නේ රාජපක්‍ෂ ආණ්ඩුවේ දූෂණ බව පැහැදිලියි. නැහැ එහෙම නැහැ මේ ආණ්ඩුවේත් දූෂණ සොයනවා කියා රාජ්‍ය දෙපාර්තමේන්තුව කියන බවත් මා දන්නවා. එහෙත් මේ ආණ්ඩුව දූෂණ කර නැත්නම් රාජ්‍ය දෙපාර්තමේන්තුව මොනවා කරන්න ද? බැඳුම්කර කොමිසමේ කාලය නැවතත් කල් දාලා. දැන් සොයන්න ඕන රාජපක්‍ෂ ආණ්ඩුව යටතේ බැඳුම්කර විකුණූ ආකාරය. රෙසිඩන්ට් එය කරාවි.

රෙසිඩන්ට් තවත් හොයන්න යන්නෙ හොරකම් කළැයි කියන වත්කම් හංගා ඇත්තේ කොහේ ද කියන එක. ලෝකයේ මොන බැංකුවේ තැන්පත් කර තිබුණත් රෙසිඩන්ට් තම බලය හා ශක්තිය යොදා ඒ හොයා ගනිවි. එහෙම බැංකුවල හැංගූ වත්කම් තියෙනවද කියලා මා දන්නෙ නැහැ. ඒත් මේ රෙසිඩන්ට් කතාව පළාත් පාලන මැතිවරණ අබියස එළියට දාන්නෙ මොකද කියන එක නම් පැහැදිලියි.

මේ රට ඩීල් දේශයක්. පළාත් පාලන මැතිවරණ අස්සෙ මොන මොන ඩීල් කෙරෙනව ද කියන එක ජනතාව කිසි දිනෙක දැනගන්නෙ නැහැ. බොහෝ දේශපාලනඥයන් දන්නෙත් නැහැ. ඒවා දන්නෙ උඩ ඉන්න කිහිප දෙනකු පමණයි. මතුපිටින් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුණත් යටින් ඇත්තේ ඩීල්, දූෂණ ආදිය. රෙසිඩන්ට් මේවා ගැනත් හොයලා බලනවා ද? ඒත් රෙසිඩන්ට් තමන්ගෙ රටට ම ගියොත් හුඟක් දේ ගැන හොයලා බලන්න පුළුවන්.

ඒ රටේ මැතිවරණ මොන තරම් පිරිසිදු ද කියලා රෙසිඩන්ට්ට හොයා ගන්න පුළුවන්. තම රටේ පමණක් නොව පිටරටවලත් මැතිවරණ මෙහෙයවීමට කෙතරම් මුදලක් යෙදෙව්ව ද කියලත් දැන ගන්න පුළුවන්. මෙරට දූෂිතයන්ට මුදල් ලැබෙන්නේ බිට්කොයින් නම් පරිගණක ආශ්‍රිත මුදල්වලින් නො වෙයි. ඔය බටහිර රටවල් වියදම් කරන ඩොලර්වලින්. අප වගේ රටවල දූෂිතයන් බිහි කෙරෙන්නේ ඩොලර්වලින්. දූෂිතයන් ගැන හොයා බැලීමට කලින් දුෂණ නිර්මාතෘන් ගැන සොයා බලමු ද?

ඒ ඒ රටවල ඊනියා රෙජීම වෙනස් කිරීමේ දී වියදම් කළ මුදල්, අරාබි හා වෙනත් වසන්ත ඇති කිරීමේ දී වියදම් කළ මුදල්, කෙරුණු දූෂණ, කළ ඝාතන ගැන සොයා බලමු ද? අපේ රටේ සිවල් සමාජය, ඊනියා රාජ්‍ය නොවන පඬියන් නඩත්තු කිරීමට වියදම් කෙරෙන ඩොලර් ගැන  සොයා බලමු ද? ඒවා දූෂණ නො වේ ද?

මෙරට නොයෙකුත් ආකාරයේ දූෂණ සිදු වෙන බව අප දන්නවා. අපට පුළුවන් නම් අප ඒ සොයා ගන්නම්. ඒ වගේ ම දූෂණ නිර්මාතෘන් ගැනත් සොයා බලන්නම්. ඒත් අපට රෙසිඩන්ට්ලා අවශ්‍ය නැහැ. ඩොයිලිගේ සිට රෙසිඩන්ට්ලාගේ  කෙරුවාව අප දන්නවා. මේ රෙසිඩන්ට් තවත් ආකාරයක යටත්විජිත ඒජන්තයෙක් පමණයි. 



___________________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2017-12-07