Main Logo

Sunday 10 December 2017

ඒකි ගැන තවදුරටත්

ඒකි ගැන තවදුරටත්

බුදුදහමට ඇති ප්‍රධාන ප්‍රශ්නය බුදුදහම විශ්වාස නොකරන අය බුදුදහම කීියා දීමට ඉදිරිපත් වීම. බුදුදහම ප්‍රත්‍යක්‍ෂය මත පදනම් වෙනවා. එහෙත් හැම විට ම හැම අයකුට ම ප්‍රත්‍යක්‍ෂය මත පමණක් පදනම් වෙන්න බැහැ. අපට බුදුහාමුදුරුවන් දේශනා කර ඇති දේ (අඩු තරමෙන් දේශනා කර ඇතැයිි කියන දේ) මත පදනම් වෙන්න වෙනවා. මට තේරෙන විධියට නම් ප්‍රත්‍යක්‍ෂය පමණක් වැදගත් වන්නේ නිවන් අවබෝධයේ දී. එහෙත් ඒ ප්‍රත්‍යක්‍ෂය  ලෞකික ප්‍රත්‍යක්‍ෂයක් නම් නො වෙයි.

ලෞකික ප්‍රත්‍යක්‍ෂ ඉන්ද්‍රිය ගෝචරයි. මෙහි ඉන්ද්‍රිය යන්නට පංචෙන්ද්‍රිය පමණක් නොව මනස ද ඇතුළත් වෙනවා. ඒ බටහිර ක්‍රමය මත නොව බෞද්ධ ක්‍රමය, අවශ්‍ය නම් සිංහල බෞද්ධ ක්‍රමය, මත. අපට ෂඩෙන්ද්‍රිය තියෙනවා. අප සමහර වෙලාවට පංචෙන්ද්‍රිය හා මනස කියාත් කියනවා. එහෙත් අවාසනාවකට අපට ලෞකික දැනුම වුණත් ප්‍රත්‍යක්‍ෂයෙන් ම පමණක් ලබා ගන්න බැහැ. කාලෝ ෆොන්සේකා වැනි කතෝලික පවුලක උපත ලත් හා වෙනත් උපත් ලත් පඬියන් කාලාම සූත්‍රය ගැන කුමක් කියා තිබුණත් බුදුන්වහන්සේ විඤ්ඤූන් අනුව යෑමටත් කියා තියෙනවා. අපට ප්‍රත්‍යක්‍ෂයෙන් පමණක් ලෞකික දැනුම වුවත් ලබා ගැනීමට අපේ ජීවිත කාලය මදි වෙනවා. නිවන් අවබෝධයට කල්ප ලක්‍ෂ ගණනාවක් පෙරුම් පුරන්න ඕන.

අප බුදුන්වහන්සේ දේශනා කර ඇති දේ තම තම නැණ පමණින්, ලබා ගන්නවා අවබෝධ කර ගන්නවා. මතු බුදුවන මෙතේ බෝසතුන් හෙවත් නාථ දෙවියන් ගැන බුද්ධ දේශනයේ සඳහන් වෙනවා. නාථ දෙවියන් ගැන අපේ විශ්වාසයක් තියෙනවා. නාථ දෙවියන්, කෙටියෙන් කියන්නේ නම් දෙවියන් පමණක් නොව තිරිසන් ප්‍රේත ආදී භව, ගැන අප විශ්වාස කරනවා. දිව්‍ය ලෝක අපාය ගැන අප විශ්වාස කරනවා. කසිකබල් නූතනත්වයට යට වු පඬියන් මෙන් නොව අප දෙවියන් ප්‍රේතයන් හුදු මානසික තත්ව ලෙස සලකන්නේ නැහැ. ඔවුන්ටත් සම්මුති වශයෙන් පැවැත්මක් ඇති බව අප විශ්වාස කරනවා.

අපට බුදුදහම ඉගැන්වීමට එන පඬියන් සිතන්නේ දෙවියන් ගැන විශ්වාස කිරීම නිර්මාණවාදයකට යෑමක් කියා. සිංහල බෞද්ධ පරිසරයක හැදී වැඩී කසිකබල් ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට (ඊනියා නූතනත්වයට) යට වී නැත්නම් දෙවියන් හා දෙවියන් වහන්සේ අතර වෙනස දැනගත යුතුයි. අප දෙවියන් ගැන විශ්වාස කරන්නේ බුදුන්වහන්සේ ඔවුන්ගේ පැවැත්ම ගැන දේශනා කර ඇති නිසා පමණක් නො වෙයි. දෙවියන් සමග සංනිවේදනය කරන අය ගැන අපට ලෞකික ප්‍රත්‍යක්‍ෂයක් ද තියෙනවා, ආසනික් හා වකුගඩු රෝගය අතර සම්බන්ධය අප දැන ගත්තේ එසේ යි. ඒ ගැන ඊට කලින් ලංකාවේ බටහිර විද්‍යාඥයන් ලෙස පෙනී සිටින කිසිවකු කියා තිබුණේ නැහැ. අදත් ඔවුන් කෘෂිරසායනික වකුගඩු රෝගයට හේතුවක් දන්නේ නැහැ. මෙරට සිටින බටහිර විද්‍යාඥයන් ලෙස පෙනී සිටින්නන්ගේ තරම මා දන්නවා. ඔවුන්ට ඊනියා විද්‍යාත්මක ක්‍රමය මත පදනම් වෙලා හේතුවක් හොයා ගන්නත් බැහැ. නාථ දෙවියන් “හේතුව” දැන ගෙන ඇත්තේ එතුමන්ගේ ප්‍රත්‍යක්‍ෂයෙන්.  අප කතා කරන්නේ හිතළු මත නොවෙයි. හිතළු මත පදනම් වෙන්නේ බටහිර විද්‍යාවයි. ගුරුත්වකර්ෂණය හිතළුවකට හොඳම උදාහරණයයි. 

අප ප්‍රාතිහාර්ය ගැනත් විශ්වාස කරනවා. ප්‍රාතිහාර්ය කියා කියන්නේ පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම් මගින් හා පංචෙන්ද්‍රිය ගෝචර හේතු මගින් තේරුම් කිරීමට බැරි සංසිද්ධිවලට. එහි ගුරුත්වාකරෂණය වැනි හිතළු නැහැ.  එහි ගුරුත්වාකරෂණය වැනි හිතළු නැහැ.   නාථ දෙවියන් ඒකි සුළඟේ සැර බාල කර වෙනතකට යොමු කිරීම අවශ්‍ය නම් ප්‍රාතිහාර්යක් ලෙස සැලකුවාට කමක් නැහැ. බුදුන්වහන්සේ ප්‍රාතිහාර්ය පා තිබෙනවා. පඬියන් කෙසේ වෙතත් සිංහල බෞද්ධයන් යමා මහා පෙළහර ගැන දන්නවා. බුදුන් වහන්සේ සුළං හරවා යවා නැති වෙන්න පුළුවන. එහෙත් සිදුහත් තවුසා බුදු වීමට පෙර පාත්‍රය උඩු ගං බලා ගිය කතාව අප දන්නවා. පඬියන් ඒ නොදන්නේ නම් අපට කරන්න දෙයක් නැහැ. රහතන් වහන්සේ සෘද්ධියෙන් වැඩි බව අප විශ්වාස කරනවා. අපට ඒකි සුළං ගැන කියන අය තමයි ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලය 1814 දී ආරම්භ කළ බව නාථ දෙවියන් ඇසුරෙන් මුලින් ම කීවේ. එතෙක් සිතන් සිටියේ රිච්මන්ඩ් විද්‍යාලය එක්දහස් අටසිට හැට ගණන්වල ආරම්භ කළ බව.

පඬියන් දැනගත යුතු කරුණ නම් ඇතැම් සංසිද්ධි ද්‍රව්‍යවාදී හේතු මගින්, පංචෙන්ද්‍රිය ගෝචර හේතු මගින්, තේරුම් ගත නොහැකි බව. බටහිර විද්‍යාඥයන් පොළොවට පොල් වැටෙන සංසිද්ධිය තේරුම් ගන්නේ කෙසේ ද? එක්කෝ පංචෙන්ද්‍රිය ගෝචර නොවන ගුරුත්වාකර්ෂණයෙන් නැත්නම් අවකාශ කාල වක්‍රතාවෙන්. පඬියන් රීමානියානු ජ්‍යාමිතිය දැනගෙන ද ඊනියා ගුරුත්වාකර්ෂණ බලයක් ගැන කියන්නේ. නිව්ටන්ගේ  ඊනියා අවස්ථිති සමුද්දේශ රාමු පංචෙන්ද්‍රිය ගෝචර ද? මෙරට බෞද්ධ යැයි කියා ගන්නා පඬියන් සරණ ගොස් ඇති (ඔවුන් බුදුන් සරණ ගොස් නැහැ) ඉන්ද්‍රියානුභූතවාදයේ (පොසිටිවිසම්) පුරෝගාමි අර්නස්ට් මාක් අවස්ථිති රාමු වැනි පංචෙන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප යොදා ගෙන බටහිර භෞතික විද්‍යාවේ සංසිද්ධි තේරුම් ගැනීම ප්‍රතික්‍ෂෙප කළ බව පඬියන් දන්නවා ද?

සුළං භූමිකම්පා සුනාමි ආදිය ඇතිවන්නේ හුදෙක් ද්‍රව්‍යවාදී හේතු නිසා නො වෙයි. බුදුන්වහන්සේ බුදු වීමේ දී පිරිනිවන් පෑමේ දී භූමිකම්පා වී තිබෙනවා. ඒ ධාර්මිකත්වය මුල් කරගෙන ඇති වූ සංසිද්ධි. විහාර මහා දේවි දවස මුහුද ගොඩ ගැලුවේ (සුනාමියක්?) අධාර්මික හේතුවක් මුල් කර ගෙන. අද ලෝකයේ හැම තැනම වැඩි වැඩියෙන් ඊනියා ස්වාභාවික ආපදා සිදුවෙනවා. අප කලින් කියා ඇති පරිදි ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය යටතේ ලෝකය ම අධාර්මික වීම එයට හේතුවක්. මේ ආපදා හුදෙක් හරිතාගාර ආචරණයෙන්, පොළොවේ උෂ්ණත්වය වැඩිවීමෙන් පමණක් තේරුම් ගන්න බැහැ.

අප වෙත ඒමට තිබූ ඒකි සුළඟත් එවැන්නක් වෙන්න ඕන. නාථ දෙවියන් මැදිහත් වී එහි සැර බාල කර වෙනතකට යොමු කළා. එයින් අපට ලබා දුන්නේ පණිවුඩයක්. අපට ධාර්මික විය යුතු ය කියන පණිවුඩය ඉන් ලබා දුන්නා. අඩු තරමින් පන්සිල් පද පහෙන් එකක් රකින්න. කලින් එක් පඬි පෝතකයකු මතක් කර තිබුණා මා ධාර්මික නොවන බව කියා තිබූ බව. ඔහුට දැන ගැනීමට අවශ්‍ය වී තිබුණේ මේ ආපදා සියල්ලට ම හේතුව මගේ අධාර්මික බව ද කියා. මා අධාර්මික වන්නේ කසිකබල් පඬියන් අඩු තරමෙන් උසස් පෙළ භෞතික විද්‍යා දැනුමවත් නොමැතිව ක්වොන්ටම්, සාපේක්‍ෂතාවාදය ආදිය ගැන කියවන විට. දේශපාලනඥයන් හා ජනමාධ්‍යවේදීන් බොරු කියන විට. මගේ අධාර්මික භාවය ඒ පඬියන් දේශපාලනඥයන් ජනමාධ්‍යවේදීන් කෙරෙහි ඇතිවන ද්වේෂයට පමණක් සීමා වෙනවා. මා පන්සිල් රකිනවා. පන්සිල් සමාදම් වීමේ දී මම ද්වේෂ සහගත වීමෙන් වළකිමි කියා කියන්නේ නැහැ. මට ද්වේෂය ඇති වුවත් මා පඬියන් මරන්නේ නැහැ. මාක්ස්වාදීන් මෙන් දේශපාලනඥයන් ඝාතනය කරන්නේ නැහැ.  ඔවුන්ට ගහන්නේවත් නැහැ. බණිනවා පමණයි. ඔවුන් බස් උපේක්‍ෂාවෙන් ගැනීමට මට මේ භවයේ දී බැරි වේවි. 

ඇතැමුන් මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඒකි  අනාවැකිය පිළිගැනීම ප්‍රතික්‍ෂෙප කරනවා. එයින් කියැවෙන් ඔවුන් මෙරට විද්‍යාඥයන් මෙන් හැසිරෙන අය ගැන විශ්වාසයක් නැති බව. ඒ අය කොහොමත් අනෙක් අයගේ චන්ද්‍රිකා, අනෙක් අයගේ දත්ත පමණක් නොව අනෙක් අයගේ විශ්ලේෂණ ද යොදා ගන්නා අය. ඔවුන් ගැන විශ්වාසයක් නැත්නම් එයින් කියැවෙන්නේ බටහිර විද්‍යාව ගැන විශ්වාසයක් නැති කම. කෙසේ වුවත් පහත සඳහන් සබැඳිවලින් දෙසැම්බර් හතරවැනි දා ආසන්නයේ බෙංගාල බොක්කේ තිබූ තත්වය දැනගන්න පුළුවන්. ඉන් පෙනෙන්නේ ඒකි ලංකාව පැත්තට එමින් තිබුණු බවයි.



https://www.accuweather.com/en/weather-news/dual-cyclones-to-threaten-india-sri-lanka-with-flooding-rain-into-next-week/70003406



________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2017-12-10