Main Logo

Sunday 31 December 2017

ගණනාථ ද නාථ ද?

ගණනාථ ද නාථ ද?


මේ ලිපිය හැඳින්වීමක් පමණයි. අප මේ මාතෘකාවෙන් හෝ තේමාවෙන් හෝ මහනුවර දී හෝ පේරාදෙණිය්දි හෝ සම්මන්ත්‍රණයක් පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. මෙය දැනුම පිළිබඳ ප්‍රශ්නයක්. දැනුම යනු කුමක් ද කියන එක පිළිබඳ ප්‍රශ්නයක්. ඥානය හා විඥානය පිළිබඳ ප්‍රශ්නයක්. විඥානයේ වි උපසර්ගයෙන් කියැවෙන්නේ උසස් බවක් ද විරුද්ධභාවයක් ද යන්න පිළිබඳ ප්‍රශ්නයක්. මට නම් විඥානය කියන්නේ වැරදි ඥානයක්. තමාගේ හා අවට පැවැත්ම පිළිබඳ වැරදි ඥානය. මෙය ඊනියා යථාර්ථය පිළිබඳ ප්‍රශ්නයක්. ඊනියා වාස්තවිකත්වය පිළිබඳ ප්‍රශ්නයක්. ඊනියා අපක්‍ෂපාතීත්වය පිළිබඳ ප්‍රශ්නයක්. පැවතීම පිළිබඳ ප්‍රශ්නයක්.

ගණනාථ ඔබේසේකර යනුවෙන් මනුෂ්‍යයකු සිටින බව මා දන්නේ කෙසේ ද? මා ඔහු දැක නැහැ. ඔහු සමග කතා කර නැහැ. ඔහු මගේ පංචෙන්ද්‍රියවලට ගෝචර වී නැහැ. ඔහුගේ යැයි කියන පොත්පත් සමහරක් නම් කියවා තිබෙනවා. ඒ පොත්පත් ලිව්වේ ඔහු ය කියා මා හිතනවා. එහෙත් ඒ බව මා දන්නේ කෙසේ ද? වෙන කිසිවකු ඔහුගේ නමින් පොතපත ලිව්වේ ද? මා එය දැන ගන්නේ කෙසේ ද? ඔහු දැනට ජීවතුන් අතර සිටින බව මා අසා තිබෙනවා. ඔහු මහනුවර පදිංචි වී ඇති බව ආරංචියි. මට මහනුවරට ගොස් ඔහු දැක බලාගනන පුළුවන් යැයි කිසිවකු කියන්න පුළුවන්. එහෙත් මා ඔහු පොත්පත් ලියූ බවට සාක්‍ෂි සොයා ගන්නේ කෙසේ ද? ඔහු පොත්පත් ලියුවේ යැයි කියන අවස්ථාවට මට කාලයේ ආපසු යන්න බැහැ.

ගණනාථ ඔබේසේකර නම් මනුෂ්‍යයකු පොතපත ලියා ඇති බවට මට නිගමනය කළ හැක්කේ වෙනත් අයගෙන්, වෙනත් අය ලියා ඇතැයි කියන පොතපතින් ගත් දත්ත (තොරතුරු) මත පදනම් වෙමින්. එහෙත් ඒ දත්ත යම් කිසිවකුගේ දත්ත. සමහර විට ඒ තැනැත්තාත් ඒ දත්ත ලබා ගෙන ඇත්තේ වෙනත් අයකුගෙන් විය හැකියි. මේ ක්‍රියාවලිය අවසන් වන්නේ කෙසේ ද? මා ගණනාථ ඔබේසේකර බවට පත් වීමෙන් ද? දැන් පඬියකු අහන්න පුළුවන් මා ගණනාථ ඔබේසේකර වීම බටහිර ජීව විද්‍යාවට එකඟ ද කියා. අප සියළු දෙනා ම දෙවියන් වහන්සේ සමග එක් වීමෙන් පිළිතුරක් සොයා ගත හැකි ද? දෙවියන් වහන්සේ ඉන්න බව දැන ගන්නේ කෙසේ ද? මේ රේඛීය චින්තනයේ මුල කොතැනක ද? සරල රේඛාවකට මුලක් තිබේ ද? මා කතා කරන්නේ සරල රේඛා ගැන මිස සිහින් මෝල් ගස් වැනි සරල රේඛා ඛණ්ඩ ගැන නොවන බව අවධාරණය කළ යුතුයි. සංසාරයට මුලක් තියෙනවා ද? එක් භික්‍ෂූන් වහන්සේ නමක් නූතනත්වයට යටවී ඩාවින්ගේ විකාශ කතාව අනුව සංසාරයට මුලක් පෙන්නලා තියෙන්නේ බුදුදහමට විරුද්ධව ගිහින්.

මා  ගණනාථ ඔබේසේකර බවට පත් වුණත් එහි ද ප්‍රශ්නයක් තියෙනවා. මා ජීවත්වන බව මා දන්නේ කෙසේ ද? මා යනුවෙන් පුද්ගලයකු පවතින්නේ ද? ජීවත් වන්නේ ද? මා යන්න බොරුවක් නම් එය ද නිර්මාණයක් නම් මේ පිළිබඳ ව නිගමනයකට එළඹෙන්නේ කෙසේ ද? නිගමන යනු මොනවා ද? නිගමන ලබා ගන්නේ කෙසේ ද? නිගමන ලබා ගන්නේ ඇරිස්ටෝටලීය ද්විකෝටික න්‍යාය ඇසුරෙන් තර්ක කිරීමෙන්. ඒ තර්කවල දී යම් ප්‍රත්‍යක්‍ෂ හෙවත් ස්වසිද්ධි (ඇක්සියම්ස්) යොදා ගන්නවා. ඒ ස්වසිද්ධි පංචෙන්ද්‍රිය ගෝචර ද? කසිකබල් ඉන්ද්‍රියානුභූතවාදයට (පොසිටිවිසම්) යා හැකි දුර කොපමණ ද? එහි දුර්වලතා තර්කානුසාරී ඉන්ද්‍රියානුභූතවාදයෙන් (ලොජිකල් පොසිටිවිසම්) මග හරවා ගත හැකි ද?

අනෙක් අතට තර්ක පදනම් වන්නේ කුමක් මත ද? A=B හා B=C නම් A=C  බව නිගමනය කරන්නේ කෙසේ ද? බොහෝ දෙනාට මේ ප්‍රශ්නය තේරෙන්නේත් නැහැ. ඔවුන්ට එය ස්වසිද්ධියක් හෙවත් ප්‍රත්‍යක්‍ෂයක්. එහෙත් එය එසේ නොවෙයි. ඒ වියුක්ත දැනුම ලබා ගන්නේ උද්ගමනයෙන් (ඉන්ඩක්ෂන්). මේ බොහෝ දේ බටහිර පොතපත කියවා දැන ගැනීමට බැහැ. එය පැත්තකින් තියන්න. A=A බව දන්නේ කෙසේ ද? එය ඊනියා දයලෙක්තිය සමග ගැලපෙනවා ද? ඊනියා දයලෙක්තිකයෙන් නිගමන ලබා ගන්න පුළුවන් ද? A=A යන්නෙන් චලිතය  තේරුම් ගත හැකි ද?

මේ සියල්ල ඊනියා මූලාශ්‍රවල හා සාධාරණ වශයෙන් (පොදුවේ) රේඛීය චින්තනයේ දරිද්‍රතාව පෙන්නුම් කිරීම සඳහා බව ඇතැමුනට නොතේරෙනවා ඇති. ඒ ඔවුන්ගේ දරිද්‍රතාව. දුගී බව. අනුකාරක ශාස්ත්‍රීය දුගියන් ගැන කුමක් කරන්න ද? ඔවුන් සුදුසු විශ්වවිද්‍යාලවලට කියා හිතෙනවා. රේඛීය චින්තනය කෙළවර වන්නේ දෙවියන් වහන්සේගෙන්. ගණනාථ මූලාශ්‍ර ගැන උනන්දුවක් දක්වන බව ඔහු ලියා ඇතැයි කියන පොතපතින් කියැවෙනවා. එහෙත් ඊනියා සමාජයීය විද්‍යාඥයන් නොවන අය කියන්නේ (එය මගේ පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීමක් බැවින් ඉන්ද්‍රියානුභූතවාදීන්ට ප්‍රශ්නයක් වන එකක් නැහැ කියා හිතනවා) ගණනාථ මූලාශ්‍ර විකෘති කරන බව. සම්මන්ත්‍රණයේ දී ඒ ගැන වැඩි දුර දැනගන්නට ලැබේවි. ගණනාථගේ ශාස්ත්‍රිය නිවුන් සොහොයුරා මූලාශ්‍ර විකෘති කරමින් බුදුදහම පාවාදීම නමින් පොතක් ලිව්වා. එයට එකල ම පිළිතුරු දුන්නා. අද ඉන්න නන්දිකඩාල් ජාතිකවාදීන් මේ කිසිවක් දන්නේ නැහැ.

නාථ දෙවියන් ගැනත් මට පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීමක් නැහැ. එහෙත් නාථ දෙවියන් සමග සංනිවේදනය කරන්නන් ගැන මට පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම් තියෙනවා. පංචෙන්ද්‍රිය ගෝචර නොවන ගුරුත්වාකර්ෂණය ගැන විශ්වාස කරන කිසිවකුට නාථ දෙවියන් ප්‍රශ්න කරන්න බැහැ. බිරිතානි ඉන්දියාවේ බිහි වූ එකම ගණිතඥයාවූ රාමනුජන් තම අනන්ත ශ්‍රෙණි (ඉන්ෆයිනයිට් සීරිස්) ලිව්වේ කාලි අම්මාන්ගෙන් පිහිටෙන් බව මා කලින් කියා ඇති. ඊනියා සමාජයීය විද්‍යාඥයන් ද මෑන් හූ නිව් ඉන්ෆිනිටි පොත කියවන්නේ නම් නාථ දෙවියන්ගේ පිහිටයි. හැකි නම් අදාළ චිත්‍රපටියත් බලන්න. මා වක්‍රව නාථ දෙවියන්ගෙන් දැනුම ලබා ගෙන තියෙනවා. බටහිර විද්‍යාවේ දාසයන් වූ අනුකාරක ශාස්ත්‍රීය දුගියන් අදවත් කෘෂිරසායනික වකුගඩු රෝගයට හේතුව දන්නවා ද

නාථ දෙවියන්ගෙන් ලබා ගන්නා දැනුම එතුමන්ගේ ප්‍රත්‍යක්‍ෂයක්. ඒ සිංහල බෞද්ධ චින්තනයට එකඟයි. බුදුන්වහන්සේගේ දැනුම නොදැනුමක් කිරීමත් ප්‍රත්‍යක්‍ෂයක්. එහෙත් එය පෘථග්ජන ප්‍රත්‍යක්‍ෂයක් නො වෙයි. අපට ඇත්තේ චක්‍රීිය චින්තනයක්. අප දැනුම ලබා ගෙන ඇත්තේ මූලික ව ම ආධ්‍යාත්මික ප්‍රත්‍යක්‍ෂයෙන්. එහෙත් අද ඒ සඳහා ආධ්‍යාත්මික දියුණුවක් ලෑබූ අය ඇත්තේ අල්පයක්. ඒ නිසා බටහිර දැනුමේ අල්පශ්‍රැතයන් පාළු ගෙවල්වල වළං බිඳිනවා. ආධ්‍යාත්මික වශයෙන් දියුණු පිරිසක් ඇති වන තුරු අප බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ නොව අපේ චින්තනයේ ප්‍රවාද නිර්මාණය කරනවා.   


__________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2017-12-31