Main Logo

Tuesday 19 December 2017

මේ මැතිවරණය ජනමත විචාරණයක් නො වෙයි

මේ මැතිවරණය ජනමත විචාරණයක් නො වෙයි

අද අප මැතිවරණ දේශපාලන මඩ ගොහොරුවේ එරිලා. මෙය අද ඊයේ ඇති වූ දෙයක් නො වෙයි. 1833 සිට ඉංගිරිසින් ක්‍රියාත්මක කළ දෙයක්. අපේ බොහෝ ප්‍රශ්නවලට හේතුව ඉංගිරිසින් අපට හඳුන්වා දුන් නියෝජිත ක්‍රමය. අපට දැන්  මැතිවරණ කොමිසමේ සභාපති ම කියලා දෙනවා ඡන්දෙට බඩු බෙදා දෙන ක්‍රමයක්. මැතිවරණ කොමිසම ස්වාධීන කියලා කියනවා.  එය ස්වාදීන නම් වෙන්න පුළුවන්. එය සිංහලට හරි නැත්නම් සියදීන කියලා කියන්න පුළුවන්.

අර රුසියාවට යවපු තේවලට කුරුමිණියෙකු දැම්මෙ කවුද කියලා තාම දන්නෙ නැහැ. රුසියාව එක පයින් ම අපේ තේ ගන්න එක නවත්තලා. එය තේ අපනයන කරන වෙනත් රටක් කළා වෙන්න බැරි ද? ඒත් දැන් ආණ්ඩුව කියන්නෙ තමන් සමස්ත ජාත්‍යන්තරය ම දිනා ගෙන කියලා. එහෙනම් කුරුමිණියා දැම්මෙ අපේ රටේ ම කවුරුවත් ද? මා දිනකට නාට්‍ය හතරක් එක දිගට බලනවා. පළමු ටෙලිනාට්‍යයට කියන්නෙ ප්‍රවෘත්ති කියලා. ප්‍රවෘත්ති නාට්‍යයෙන් තමයි රුසියන් තේ කතාව දැනගත්තෙ. ඒක ගැන අදහස් පහළවෙන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතිය වෙනස් කරන්න හදන දෙවෙනි ඉනිම කියන අවසාන නාට්‍යයෙන්.

ඒ නාට්‍යයෙත් මෙහෙම දෙයක් වෙනවා. උදේනිගෙ ජූස්බාර් එක නැති කරන්න අමීෂාගෙ නිලූ කියලා යෙහෙළියක් ජූස් වීදුරුවකට කැරපොත්තක් දානවා. රුසියන් තේ කතාවෙ  අමිෂා කවුද? නිලූ කවුද? ඒකෙ අවන්තල, අනුහස්ලා එහෙමත් ඉන්නවා ද? මෙහෙම කියනවට ඒ නාළිකාවෙ අය කැමති නැති බව මා දන්නවා. ඒකට කමක් නැහැ. කිසිම නාළිකාවකින් රටට වැඩක් වෙන්නෙ නැහැ. දේශපාලනඥයා, නළුවා (රංගන ශිල්පියා), වෙළෙඳ දැන්වීම් නිර්මාණය කරන්නා, දේශපාලන විශ්ලේෂක නිවේදකයා අතර විශාල වෙනසක් නැහැ. ඒත් වාසනාවකට ජනමාධ්‍යයට මැතිවරණ ප්‍රතිඵල වෙනස් කරන්න බැහැ.

1833 පටන් ගත්ත ක්‍රමය 1912 දි වෙනසකට භාජනය කෙරුණා. එතෙක් සිංහල ජාතිකයන්, දෙමළ, බර්ගර් හා මුස්ලිම් ජනවාර්ගිකයන්  වෙනුවෙන් නියෝජිතයන් පත් කෙළෙ ඉංගිරිසි ආණ්ඩුකාරයා. 1912 දී පළමු වරට සීමිත ඡන්දයක් ලැබුණා. ඡන්ද බලය හිමිවුණෙ ඊනියා උගත් ලාංකිකයන්ට පමණයි.  ඊනියා උගතුන්ට හා ඉංගිරිසින්ගෙන් වරප්‍රසාද ලත් අයට ඡන්ද බලය හිමිවුණා. ඊනියා උගතුන් කියන්නෙ බටහිර උගත් කමක් ලැබූ අයට. එදා ඒ අය හිටියෙ සීමිත පිරිසක්. අද අතිවිශාල බහුතරයකට බටහිර අධ්‍යාපනය ලැබෙනවා. ඔවුන් මුළුමනින් ම මෙන්  මෙහෙයවෙන්නෙ බටහිර දැනුම් ආධිපත්‍යයෙන්. එදාට වඩා අද මැතිවරණ දූෂණ වැඩියි. බටහිර දැනුමෙන් අපේ දූෂණ විභවය (ඒ සඳහා ඇති ඉඩකඩ) වැඩි වෙනවා.

1912 දි සීමිත ඡන්දයට දෙදෙනකු ඉදිරිපත් වුණා. ඒ දෙමළ වෙල්ලාල ඇංග්ලිකන් ක්‍රිස්තියානි සම්භවයක් තිබූ පොන්නම්බලම් රාමනාදන් හා සිංහල කරාවෙ ඇංග්ලිකන් ක්‍රිස්තියානි මාකස් ප්‍රනාන්දු. ජේ අර් ජයවර්ධනගෙ ඇංග්ලිකන් ක්‍රිස්තියානි පරපුරේ හා වෙනත් එවැනි ගොයිගම කී සමහරුන් කරාවෙ අපේක්‍ෂකයාට විරුද්ධව රාමනාදන්ට මැතිවරණයෙ දි සහාය දුන්න. ඔවුන්ට වැදගත් වුණෙ කුල සාධකය. රාමනාදන් මැතිවරණයෙන් දිනුව. මෙහි දී කරුණු කිහිපයක් නොකියා ම බැහැ. ගැමුණු රජ්ජුරුවන්ගෙ කාලෙත් ගොයිගම කියලා කුලයක් තිබුණ ද? නිශ්සංකමලල රජුගෙ සෙල්ලිපියෙ ගොවි වංශිකයකුට රජකම දෙන්න එපා කියලා තියෙන්නෙ ඇයි? එහි ගොවි කියන එකෙන් හැඳින්වුණෙ ගොයිගම කියන එක නෙවෙයි කියන එකයි මගේ මතය. ඒ කාලෙත් ගොයිගමක් තිබුණෙ නැහැ. උම්මග්ග ජාතකයෙ ගොවියා පුත් මහෞෂධ කියලා කියන්නෙ මහෞෂධ පඬිතුමා ගොයිගම කියන එක ද? දඹදෙණි යුගයෙත් ගොයිගම කියලා කුලයක් තිබුණෙ නැහැ. ඒ කාලෙ බත්ගම කියලා කුලයක් තිබුණෙත් නැහැ.

ජේ ආර් ජයවර්ධනලා ගොයිගම වුණෙ කොහොම ද? ඔවුන්ගෙ මුල් ගම් හලාවත පැත්තෙ. හලාවතින් ඔවුන්ට ඉඩම් ලැබුණෙ ඉංගිරිසින්ට සේවය කරලා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ල ගන්න ගිය ඉංගිරිසි හමුදාව එක්ක ජයවර්ධනලාගෙ සීයා කෙනකුත් ගිහිල්ල තියෙනවා තෝල්ක මුදලි හැටියට. බණ්ඩාරනායකලා ගොයිගම වුණෙ කොහොම ද? යමකු ජනවර්ගයක සංස්කෘතිය වැළඳ ගන්න කොට ඒ ජනවර්ගයෙ සාමාජිකයකු වෙනවා. ඒත් යම් කුලයක සාමාජිකයකු වන්නෙ කොහොම ද? චන්ද්‍රිකාගෙ නවගමුවෙ දේවාලයෙ  ඉන්දියාවෙන් ආපු මුත්තා වූ කපු මහතා සිංහල වෙන කොට ම වගේ ගොයිගම වෙන්නෙ කොහොම ද? එය විවාහයෙන් සිද්ධ වුණු දෙයක් ද? එහෙම නැත්නම් ඉංගිරිසින්ගෙ අනුහසින් සිද්ධ වුණු දෙයක් ද? වත්මන් කුල ක්‍රමය නුවර යුගයෙ ඇති වුණු එකක් ද? එහෙමත් නැත්නම් දහහතර වැනි සියවසෙ පමණ ඇතිවුණු එකක් ද?

වෙල්ලාලයන් අද දෙමළ කතාකරන්නන් අතර ගොයිගම සමකුලය ලෙස සැලකෙනවා. වෙල්ලාලයන් ලංකාවට ගෙනෙනු ලැබුයෙ 1650න් පස්සෙ ලන්දේසීන් විසින්. ඔවුන් වෛදික කුල ක්‍රමය අනුව නම් ශුද්‍රයන්. ඉංගිරිසින් ඔවුන්ගෙ “කුල තත්වය” ඉහළට දැම්මා. ඔවුන් ගොයිගම සම බවට පත් කෙරුණා. ජයවර්ධනලා මාකස් ප්‍රනාන්දු පරදවා රාමනාදන් දිනෙව්වා. රාමනාදන් ඊනියා ලාංකිකයන්ගෙ ප්‍රධානියා බවට පත් වුණා. මෙරට ඉතිහාසය පාසලින් අතුගා දමන්න හදන චන්ද්‍රිකා කල්ලියේ සිරිවීරලාට වැදගත් චන්ද්‍රිකාගෙ ව්‍යාජ රෝසපාට සමාජවාදය. ඔවුන් ඊනියා ඉතිහාසයක් හෙව්වෙ ඊනියා පර්යේෂණ පත්‍රිකා පළ කරන්න පමණයි. 

මෙවර පළාත් පාලන ආයතන මැතිවරණයෙදිත් කුලය යම් තැනක් ගන්න ඉඩ තියෙනවා. ජාතික හා දේශපාලන ප්‍රශ්න පස්සට යන කොට කුලය ඉදිරියට එන්න පුළුවන්. අප ප්‍රවේසම් විය යුතුයි. මැතිවරණ කොමිසමේ සභාපතිගෙ කුලය මතක් කරලාත් සමහරු කතා කරනවා. ඔහු සියදීනයකු වුණත් කුලය වැදගත් නැහැ. මේ මැතිවරණය දැනටමත් අන්ත දූෂිත එකක් වෙලා. කාන්තා නියෝජනත්වය සඳහා කාන්තාවන් නම් කරද්දී වෙන ම ආකාරයක දූෂණ සිදු වෙනවා.

මේ මැතිවරණය කිසිම ආකාරයකින් ජනමත විචාරණයක් වන්නේ නැහැ. එය ජනමත විචාරණයක් කර ගන්න කියා කරන ඉල්ලීම ම වැරදියි. මේ මැතිවරණයෙන් සිංහලයන් පරදිනවා. දේශපාලන පක්‍ෂ දිනන්නෙත් නැහැ. රනිල් ඉවත්කර වෙනත් අයකු අගමැති කරන්න කියන එක හා මෛත්‍රිපාල කල්ලිය ආණ්ඩුවෙන් ඉවත් වෙන්න කියන්නෙ එක එකක් නොව දෙකක්. එක් ප්‍රවෘත්තියකට අනුව ප්‍රසන්න රණතුංග යෝජනා කරලා තියෙනවා රනිල් ඉවත් කර වෙනත් අගමැතිවරයකු හා අමාත්‍ය මණ්ඩලයක් පත් කරගන්න. එසේ කර ඇත්නම් එය හොඳයි. ඒකාබද්ධ විපක්‍ෂෙ වැඩි දෙනා එයට එකඟ ද? ඉංගිරිසින් ඇති කළ මැතිවරණ මඩ ගොහොරුවෙන් ගොඩ එන ක්‍රමයක් ගැන කල්පනා කරමු.           


________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2017-12-19