Main Logo

Tuesday 5 December 2017

සම්මුති හා එකඟතා

සම්මුති හා එකඟතා


ඊයේ (හතරවැනි දා) බදුල්ලේ පැවැත් වූ පොදු ජන පෙරමුණේ රැස්වීමට විමල්, ගම්මන්පිල, ඩලස්, දිනේෂ් සහභාගි වෙලා නැහැ. ඒ අහම්බයක් වීමට ඇති ඉඩකඩ ඉතා අඩුයි. සමහරවිට එක් අයකුට දෙදෙනකුට පෞද්ගලික හේතු, මගුල් ගෙවල්, මළ ගෙවල් ආදී වෙනත් කටයුතු, තියෙන්න ඇති. ඒත් ඒ සියලු දෙනාට ම එක විට පෞද්ගලික හේතු ඇති වුණයි කියලා හිතන්න බැහැ.

ඉහත නම් සඳහන් හතර දෙනාගෙන් ඩලස් හැරෙන්න අනෙක් අය ජාතිකවාදීන් කියා කියන්න පුළුවන්. ඩලස් ඊනියා ජාත්‍යන්තරවාදියෙක්. ඔහුට අනුව දයාන් ජයතිලක අග්‍රගණ්‍ය දේශපාලන විචාරකයෙක්. ජාතිකවාදීන්ට හා ජාත්‍යන්තරවාදීන්ට එකට එකතු වීමට වෙනත් හේතුවක් (හේතු) ඇති. දේශපාලනය යනු කිසිම සංගත මතිමතාන්තර බලපාන තැනක් නො වෙයි. එහි ඇත්තේ බලයට පැමිණීම හා බලය රැකගැනීම. ඒ සඳහා දේශපාලනඥයන් විවිධ දේ කරනවා.

මේ සියල්ලට මුල ළඟ එන පළාත් පාලන ආයතන මැතිවරණ නො වෙයි. එහෙත් පළාත් පාලන මැතිවරණ ප්‍රශ්නය තීව්‍ර කරලා. මෙරට ජනමාධ්‍ය ප්‍රධානීන් දෙදෙනකු මෙහි පසුබිමේ ඉන්නවා. එහෙත් ජනමාධ්‍යයට කළ හැකි දේ සීමිතයි. රනිල් කියලා තිබුණා ජනමාධ්‍ය ප්‍රධානීන් කිහිප දෙනකු රාජපක්‍ෂ රෙජිමය ආපසු බලයට ගෙන ඒමට කටයුතු කරනවා කියලා. මා නම් එහෙම විශ්වාස කරන්නේ නැහැ. මේ ජනමාධ්‍ය මහින්ද බලයට ගෙන ඒමට කටයුතු කරන්නේ නැහැ. ඔවුන් දන්නා ආකාරයට මහින්දට නැවත ජනාධිපති වෙන්න බැහැ. එය දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් වළක්වා තියෙනවා. ජීවිතයේ සරදමක් මෙන් මහින්ද දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය දුන්නා.

ජනමාධ්‍ය ප්‍රධානීන් සහ තවත් අය ගෝඨාභය බලයට පත් කිරීමට කටයුතු කරනවා වෙන්න පුළුවන්. එහෙත් ගෝඨාභය එයට කැමති වේ ද යන්න ප්‍රශ්නයක්. එහෙත් වෙන කිසිවකු නොදැන සිටියත් රනිල් දැන ගන්න ඕන ජනමාධ්‍යයට කරන්න පුළුවන් බලපෑම සීමිත බව. රනිල්ලාගේ පරම්පරාව මව් පාර්ශ්වය මෙන් ම පිය පාර්ශ්වය ද ලේක් හවුසිය සමග සම්බන්ධයි. එහෙත් ලේක්හවුසියට පනස්හයේ කිසි දෙයක් කරන්න බැරි වුණා. මහජනයා බණ්ඩාරනායක මහතා ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණට ඡන්දය දුන්නේ ලේක්හවුසිය අමතක කරමින්. රූපවාහිනි මාධ්‍යටත් මැතිවරණවල දී එතරම් බලපෑමක් කරන්න බැහැ.

ජනමාධ්‍ය ප්‍රධානීන්ට අමතර ව කොළපාට සමාජය ලියූ චන්ද්‍රප්‍රේම වැන්නන් ද එක්තරා දේශපාලන ව්‍යාපෘතියක ඉන්නවා. අද මහින්ද වටා ජනමතයක් ගොඩ නැගී තිබුණත් ඔහුට ජනාධිපති වීමට නොහැකි වීම මේ අයට ප්‍රශ්නයක්. ඒ මදිවාට දැන් පළාත් පාලන ආයතන මැතිවරණ ඇවිල්ලා. එයට මුහුණ දෙන්නේ කෙසේ ද යන්න ප්‍රශ්නයක්. විමල්ලා ගම්මන්පිලලා තම පක්‍ෂවලට ඉල්ලු අපේක්‍ෂක සංඛ්‍යාව ඔවුන්ට බැසිල්ගෙන් ලැබෙන්නේ නැහැ. ඔය පක්‍ෂවලට හිතන තරම් ජනබලයක් නැහැ. ඒ නිසා ඔවුන්ට හිතන තරම් අපේක්‍ෂක සංඛ්‍යාවක් ලැබෙන්නේ නැහැ.

මේ හේතු සහ තවත් හේතු නිසා මේ පක්‍ෂවලට මෛත්‍රිපාල දෙස බැලීමට සිදු වෙලා. කලකට පෙර මා මැතිවරණ ගැන සලකා නොව රට ගැන සලකා මහින්ද හා මෛත්‍රිපාල එකතු වීම සඳහා යෝජනාවලියක් ඉදිරිපත් කළා. අද ඒ යෝජනා කිහිපයක් මැතිවරණය මුල් කරගෙන ඉදිරිපත්වන බව පේනවා. එය කිසිසේත් ම යහපත් කටයුත්තක් නො වෙයි. ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කිරීම, රණවිරුවන් ආරක්‍ෂා කිරීම, ජාතික සම්පත් රැක ගැනීම, බැඳුම්කර හොරුන්ට නිසි දඬුවම් දීම, දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීම, දහතුන හා පළාත් සභා ක්‍රියාත්මක වන තුරු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නො කීිරීම ආදිය මගේ යෝජනාවල අඩංගු වුණා.

මේ යෝජනාවලින් කිහිපයකට මෛත්‍රිපාල ඉදිරියේ දී එකඟ වෙන්න ඉඩ තියෙනවා. එය එසේ වෙනවා නම් හොඳයි. එහෙත් ප්‍රශ්නය එය පළාත් පාලන මැතිවරණ සමග බැඳීම. මෙතෙක් මෛත්‍රිපාල වැඩ කෙළේ ඒ යෝජනාවලට විරුද්ධ ව. මහින්දට අමුතුවෙන් යෝජනාවලට එකතු වෙන්න අවශ්‍ය නැහැ. ජනාධිපති ක්‍රමය අහෝසි නොකිරීම හැරෙන්නට අනෙක් යෝජනාවලට ඔහු හැමදාමත් පක්‍ෂයි. ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හා පළාත් සභා ශක්තිමත් වීම අතර සම්බන්ධයක් ඇති බව මහින්ද අවබෝධ කරගෙන නැති වෙන්න පුළුවන්. මෛත්‍රිපාල කැමති වුණේ ජනාධිපති ක්‍රමය අහෝසි නොකිරීම ගැන පමණයි. එහෙත්  එය හා පළාත් සභා ශක්තිමත් වීම අතර සම්බන්ධය නිසා ඔහු ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කැමති වුණා නො වෙයි.

මෛත්‍රිපාල සමග මැතිවරණ වෙනුවෙන් එකතු වීමට මා එකඟ වන්නේ නැහැ. මහින්ද නැතිව මෛත්‍රිපාල සමග කොහොමටවත් එකතු විය යුතු නැහැ. මැතිවරණ සඳහා නොව රට ජාතිය ආගම වෙනුවෙන් ඉහත සඳහන් කොන්දේසි මත මහින්ද මෛත්‍රිපාල එකතුවීමකට මා කැමතියි. එහෙත් ඇතැමුන් හුදෙක් මැතිවරණ ගැන සලකා බලමින් බලය ලබා ගැනීම සඳහා එකතු වීමෙන් රටට වැඩක් වෙන්නේ නැහැ.

පළාත් පාලන ආයතන මැතිවරණ කවුරු කෙසේ තරග කළත් මැතිවරණවලින් පසුව ජනමතය ප්‍රකාශ වීමෙන් පසුව අපට හිතන්න හුඟක් දේ තියේවි. මේ උදා වී ඇත්තේ තීරණාත්මක මොහොතක්. මේ අර බටහිරයන්ගෙ කසිකබල් නිමේෂය සංකල්පය නො වෙයි. මැතිවරණවලින් කෙරෙන්නේ සිංහලයන් බෙදීම පමණයි. තරමක් හරි සිහියක් ලැබෙන්නේ මැතිවරණවලින් පසුව.


___________________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2017-12-05