Main Logo

Saturday 2 December 2017

ඉංගිරිසි කතා කරන ජාතිකවාදීන්


ඉංගිරිසි කතා කරන ජාතිකවාදීන්

ජාතිකවාදීන් අතර විවිධ අය ඉන්නවා. එමෙන් ම දෙමළ ජාතිවාදය ගැනත් ඔවුන් අතර විවිධ මත තියෙනවා. ජාතිකවාදීන් ලෙස මා නම් කරන්නේ ඊනියා ස්මාට් ජාතිකවාදීන් නො වෙයි. ඔවුන් ජාතිකවාදීන් නො වෙයි. ඔවුන් ස්මාට් නොවන ජාත්‍යන්තරවාදීන්. අද අප ඉන්න කණගාටුදායක තත්වයට ඔවුනුත් වග කියන්න ඕන. මුලින් ම ජෙනීවාහි අප බටහිර ගැටවලට හසු කෙළේ ඒ ඊනියා ස්මාට් ජාතිකවාදීන්. මෙහි දී මා සඳහන් කරන්නේ ඔවුන් ගැන නො වෙයි. ඔවුන් ව්‍යාජ පඬියන් පමණයි.

ජාතිකවාදීන් සමහරකු හිතන්නේ දෙමළ ජාතිවාදය පසුපස බටහිරයන් නැහැ කියා. එහෙත් ඔවුන්ට දෙමළ ජාතිවාදය ඇති වුණේ කොහොමද කියන එක පිළිබඳ  මතයක් ඇත්තේත් නැහැ. දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් ඇති අසාධාරණයක්, ප්‍රශ්නයක් ගැනත් ඔවුන් කියන්නේ නැහැ. දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම ඇති ප්‍රශ්නයක් ගැන සිහින මවමින් කියවන්නේ අනුකාරක ව්‍යාජ ඉතිහාසඥයන්, දේශපාලන විචාරකයන්, දාර්ශනිකයන්. මොවුන් කටුනායකින් පිටවීමෙන් පසුව ගණන් ගන්න කිසිවකු නැහැ.  පිටරට ගියත් ඔවුන්ට ලියන්න වෙන්නෙ ලංකාවෙ පත්තරවල පමණයි. නැත්නම් ඔවුන්ගේ ම වූ වෙබ් අඩවිවලට.

දෙමළ ජාතිවාදය ඉබේ ඇතිවන්න බැහැ. එහෙත් ඇතැම් ජාතිකවාදීන් හිතන්නේ එහෙමයි. දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් වූ ප්‍රශ්නයක් නැති වුවත් ඔවුන්ට යමක් දිය යුතු යැයි කියන අය ද ඉන්නවා. සමහරවිට මේ කරදරයෙන් බේරීමට යමක් දිය යුතු යැයි ඔවුන් සිතනවා ඇති. එහෙත් දෙමළ ජාතිවාදීන්ට යමක් දුන්නොත් ඔවුන් එතනින් තවත් ටිකක් එහාට යන බව ඔවුන්ට හිතෙන්නේ නැහැ. චෙල්වනායගම් ඒ තව ටිකක් යන ප්‍රතිපත්තිය පැහැදිලි ව කියා තියෙනවා.

දෙමළ ජාතිවාදීන් කියන බොරු ගැන මා කතා කරන්නේ නැහැ. ඔවුන් දෙමළ ජාතිවාදය යුක්තියුක්ත කිරීම සඳහා බොරු ඉතිහාසයක් නිර්මාණය කරනවා. දේවානම්පිය තීෂම් කෙනකු ගැන ඔවුන් කියනවා. මේ කතා අද අසන ජාතිකවාදීන් අන්දමන්ද වෙනවා. එහෙත් මේ ප්‍රශ්නවලට බොරුවලට අවුරුදු විසිපහකට පෙර පිළිතුරු දී ඇති බව ඔවුන් දන්නේ නැහැ. තීෂම්ලා තමිල්නාඩුවේ ඉන්නවා ද? දේවානම්පිය කියන්නේත් දෙමළ ද? එහෙත් පහුගිය අවුරුදු කිහිපයෙහි, විශේෂයෙන් ම අවුරුදු තුනෙහි ජාතිකවාදීන් වූ අය මේ ප්‍රශ්නවලට දී ඇති පිළිතුරු දන්නේ නැහැ. ඔවුන් පැරණි ලිය කියවිලි සොයා යන්නේත් නැහැ. ඔවුන්ට ජනමාධ්‍යයෙහි නම් ප්‍රසිද්ධිය ලැබෙනවා.  පසුගිය අවුරුදු අට (2009න් පසු) ජාතිකවාදයේ නරක ම කාල පරිච්ඡෙදය ලෙස සලකන්න පුළුවන්. මහින්ද ගෝඨාභය වැනි අය ජාතිකවාදීන්ගෙන් මිදී ඊනියා ජාත්‍යන්තරවාදීන්ගේ, ඔත්තු සේවා විසින් මෙහෙයවෙන අයගේ, ඇතැම් ජනමාධ්‍ය ප්‍රධානීන්ගේ හා අත්දැකීම් නැති ජාතිකවාදීන්ගේ ග්‍රහණයට හසු වූ අවධිය ලෙස නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු කාලය හඳුන්වන්න පුළුවන්. බැසිල්ට ජාතිකවාදීන්ගෙන් මිදෙන්න දෙයක් තිබුණේ නැහැ. ඔහුට ජාතිකවාදී සේයාවක්වත් නැහැ.

ජාතිකවාදීන් අතර සිටින ඇතැමුන්, විශේෂයෙන් ම ඉංගිරිසි කතා කරන අය, සිතන්නේ බටහිරයන් දෙමළ ජාතිවදීන්ට අනුග්‍රහය දක්වන්නේ නොදන්නා කමට කියා. බටහිරයන් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිතවාදය ආදිය ගැන දක්වන අවංක උනන්දුව නිසා දෙමළ ජනයාට ඇති අසාධරණයක් නිසා ප්‍රශ්නයට මැදිහත් වී ඇති බව. දෙමළ ජාතිවාදීන් බටහිරයන්ට බොරු කියා බටහිරයන් තම පැත්තට හරවා ගෙන සිටින බව ඔවුන් විශ්වාස කරනවා. මේ ඉංගිරිසි කතා කරන ජාතිවාදීන් සිතන්නේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති, ජාත්‍යන්තර ගිවිසුම්, ජාත්‍යන්තර නීතිය ආදිය යොදා ගෙන බටහිරයන්ට කරුණු කිව්වොත් අපට බටහිරයන් අපේ පැත්තට හරවා ගන්න පුළුවන් කියා.

ඔවුන් සිතන්නේ අපේ හමුදාව අතින් මානව අයිතිවාසිකම් කඩ වී ඇති බව බටහිරයන් විශ්වාස කරන්නේ දෙමළ ජාතිවාදීන් ඒ පිළිබඳ ඉදිරිපත් කර ඇති ව්‍යාජ වාර්තා නිසාත් ඒ වාර්තාවල ඇති කරුණු නිෂේධ කිරීමට මෙරට ආණ්ඩුව ඉදිරිපත් නොවීමත් නිසා ය කියා. මේ වාර්තා පසුපස පමණක් නොව දෙමළ ජාතිවාදය පසුපස ඇත්තෙත් බටහිරයන් ය කියා ඔවුන් මොහොතකටවත් සිතන්නේ නැහැ. බටහිරයන්ට ඇත්ත පහදා දුන්නොත් බටහිරයන් නියම මගට ගත හැකි ය කියා ඔවුන් විශ්වාස කරනවා. අවාසනාවකට ඒකාබද්ධ විපක්‍ෂයේ සියලු කොටස් උපදෙස් ගන්නේ ඔවුන්ගෙන්. ඔවුන්ගේ උපදෙස් පිළිගත්තා නම් ප්‍රභාකරන් පරාජය කිරීමට නොහැකි වන බව මහින්දටත් මතක නැහැ. මහින්දත් තවම ඉංගිරිසි කතා කරන අයට සලකනවා. ඉංගිරිසිය තවමත් මෙරට ප්‍රභූන්ගේ භාෂාව. ඉංගිරිසි කතා නොකරන අයට දේශපාලකයන් අතර පිළිගැනීමක් නැහැ. දේශපාලකයන්ට තමන් ඉංගිරිසි කතා කළත් නොකළත්, ඉංගිරිසි කතා නොකරන අය අතකොළු පමණයි.  ඒ බව ජාතිකවාදී භික්‍ෂූන් වහන්සේත් තේරුම් අරගෙන නැහැ.

අපට බටහිරයනට කෙදිනකවත් ඇත්ත පහදා දෙන්න බැහැ. මා අවුරුදු ගණනාවක් ඉංගිරිසියෙන් ලිව්වා. එහෙත් මගේ අදහස් මෙරට ඉංගිරිසි කතා කරන අය පිළිගත්තේ නැහැ. ඉංගිරිසියෙන් ලිවීම ගැන නම් ඔවුන් මට ප්‍රසාදය පළ කළා. එහෙත් ප්‍රශ්නය එය නොවෙයි. ඉංගිරිසියෙන් නොලියන විට සිංහල කතා කරන අය අතරත් තැනක් නැති වෙනවා. ප්‍රශ්නය ඇති කෙළේ ම බටහිරයන් නම් ඔවුන්ට ඊනියා ඇත්ත පහදා දෙන්නේ කෙසේ ද? හොරට නිදා සිටින එකා අවදි කරන්නේ කෙසේ ද? අප නිදොස් බව බටහිරයන් කිසි දිනෙක විශ්වාස කරන්නේ නැහැ. ඒ අප ථෙරවාදී බෞද්ධයන් නිසා. මුළු මහත් ලෝකයම ථෙරවාදයට එරෙහි ව එක් වෙනවා. එහි දී ක්‍රිස්තියානි කතෝලික මුස්ලිම් හින්දු පමණක් නොව මහායාන බෞද්ධයනුත් එකට සිටිනවා. සර්වබලධාරි දෙවියන් බ්‍රහ්මයන් බෝසතුන් ගැන ථෙරවාදීන් විශ්වාස කරන්නේ නැහැ. පාප්වහන්සේ ඊයේ පෙරේදා කියා තිබුණේ අද දෙවියන්වහන්සේ කියන්නේ රොහින්ග්‍යා මුස්ලිමුන් කියා. මුළු ලෝකයේ ම ක්‍රිස්තියානි මුස්ලිම් ගැටුමක් පවතින අවස්ථාවක පාප් වහන්සේ එසේ කීම මට නම් පුදුමයක් නො වෙයි. ඔක්ස්ෆඩ් නගරය අවුන් සාං සු කීට දී ඇති ගෞරව නාමයක් අස් කරගෙන තියෙනවා. සු කීට බටහිරයන් නොබෙල් තෑග්ගත් දුන්නා. ඒ ඇය මියන්මාර ථෙරවාදයෙන් වෙන් කිරීමට. එහෙත් ඒ උත්සාහය සාර්ථක වුණේ නැහැ. අපේ දේශපාලනඥයෙන් ථෙරවාදයෙන් ඉවත් කිරීමට එතරම් දෙයක් අවශ්‍ය නැහැ. ඉංගිරිසින් අපට දුන් සර්වජන ඡන්දයෙන් අප බෙදිලා. හමුදාවත් බෙදිලා.    


________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2017-12-02