Main Logo

Sunday 3 December 2017

දෙමළ ජාතිවාදයට ආවඩන ඊනියා ස්මාට් ජාතිකවාදය  හෙවත් මොට ජාත්‍යන්තරවාදය

දෙමළ ජාතිවාදයට ආවඩන ඊනියා ස්මාට් ජාතිකවාදය  හෙවත් මොට ජාත්‍යන්තරවාදය

ඊනියා ස්මාට් ජාතිකවාදීන්ට අනුව ඔවුන් විකල්ප දකුණ ලෙස හඳුන්වන ජාතිකවාදීන්ට මෙලෝ දෙයක් තේරෙන්නේ නැත. ඔවුන් සිතන්නේ දේශපාලනය ඊනියා දේශපාලන විද්‍යාව හැදෑරුවන්ට පමණක් තේරෙන මහා විද්‍යාවක් ලෙස ය. රෝගීන් වෙදකම සඳහා ඊනියා ගොඩ වෙදුන්, ශාන්තිකර්ම කරන්නන් වෙතට යන විට වෛද්‍යවරයකුට හැඟෙන ආකාරයේ කම්පාවක් ජනයා දේශපාලන ප්‍රශ්න සාකච්ඡා කිරීමට ජාතිකවාදීන් වෙතට යන විට තමන්ට හැඟේ යැයි පසුගිය දා ඊනියා පශ්චාත් උපාධි ද ඇති මහා දේශපාලන විද්‍යාඥයකු ප්‍රකාශ කර තිබුණා. ඡන්ද බලය දේශපාලන විද්‍යාව හැදෑරුවන්ට  පමණක් සීමා කරමු ද?

මේ බටහිර ගැති ඊනියා වාමවාදී පඬියන් සිතන්නේ බටහිර දැනුම පමණක් දැනුම ය කියා වෙන්න ඇති. ඔවුන් තවමත් ඉන්නේ දහනවවැනි සියවසේ මාක්ස්ලාගේ කාලයේ. බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බවත් එහි ඇත්තේ උද්ගමනය (induction), අනපෝහනය (abduction) හා අපෝහනය හෙවත් නිගමනය (deduction) පමණක් බවත් මේ පඬියන් නොදන්නවා ඇති. එයට හේතුව ඔවුන්ට ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමයක් ගැන බටහිරයන් කියා ඇති එකිනෙකට වෙනස් මත පමණක් දැනුම වීම. ඊනියා විද්‍යාත්මක විධික්‍රම ද රාශියක් තිබෙන බව පඬියන් නොදන්නවා ඇති. දැනගතහොත් අර වාස්තවිකත්වයට, යථාර්ථයට ඉන් පහරක් වදින බව ඔවුන්ට තේරේවි.

අපෝහනය හෙවත් නිගමනය රඳා පවතින්නේ තර්කය මත. මෙහි දී පඬියන් යොදා ගන්නේ ඇරිස්ටෝටලීය ද්විකෝටික ද්විඅගයිත රූපික න්‍යාය. ලෝකයේ තවත් න්‍යාය ඇති බවක් ඔවුන් දන්නේ නැහැ. එමෙන් ම ඇරිස්ටෝටලීය න්‍යාය ද මිනිස් අත්දැකීම් මත පදනම් ව උද්ගමනයෙන් ලබාගත් දැනුම් පද්ධතියක් පමණක් බවත් බටහිරට වඳින පුදන මේ පඬියන් දන්නේ නැහැ. මා කලකට පෙර ඇසූ ප්‍රශ්නය A=B හා B=C නම් A=C බව නිගමනය කරන්නේ කෙසේ ද යන්න ප්‍රශ්නයක් බවවත් මේ ඇතැම් පඬියන්ට තේරෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නයට පිළිතුර උද්ගමනය යන්නයි. අනපෝහනයේ දී කෙරෙන්නේ හිතළු ඉදිරිපත් කිරීමක්. මේ හිතළු වියුක්තයි. හිතළු අනෙක් සංකල්ප මෙන් ම බොරු. මා යන සංකල්පයත් බොරුවක්. ඒ බව තේරෙන්නේ නැත්නම් විට්ගන්ස්ටයින් කියවීම අවශ්‍ය නැහැ. ද්වායතානුපස්සනා සූත්‍රය කියවන්න. වියුක්ත බොරුවලට මා පට්ටපල් බොරු කියා කියනවා. ඊනියා දයලෙක්තිය (අපෝහකය) කියන්නෙ බටහිර රූපික න්‍යාය ප්‍රමාණවත් නොවන බව දැන එයින් කැඩෙන්න ඇතැම් ග්‍රීකයන් ගත් අසාර්ථක උත්සාහයක් පමණයි. පසුව හෙගල් මේ අසාර්ථක උත්සාහය ඔසවා තැබීමට තවත් අසාර්ථක උත්සාහයක් දැරුවා. අපෝහකයේ රූපිකය කියවා  මේ ගැන වැඩිදුරටත් දැනගන්න පුළුවන්.

බටහිර දේශපාලන විද්‍යාව කියන්නේ බටහිර භෞතික විද්‍යාව පසුපස නොන්ඩි ගසන කසිකබල් දැනුම් පද්ධතියක්. බටහිර භෞතික විද්‍යාවට යම් සංසිද්ධියක් තේරුම් ගැනීම සඳහා බොහෝ විට ඇත්තේ ප්‍රවාද එකක් පමණයි. ඇතැම් විට දෙකක් හෝ තුනක් හෝ තියෙන්න පුළුවන්. එහෙත් බටහිර දේශපාලන විද්‍යාවේ එක් සංසිද්ධියක් තේරුම් ගැනීමට ප්‍රවාද කීයක් තියෙනවා ද? බටහිර ආර්ථික විද්‍යාවේ ප්‍රවාද කීයක් තියෙනවා ද? අද ලෝකයේ තියෙන ප්‍රශ්නවලට බටහිර ආර්ථික විද්‍යාවට හරි බටහිර දේශපාලන විද්‍යාවට හරි පිළිතුරු තියෙනවා ද? බටහිර දේශපාලන විද්‍යාව හදාරන්නන්ට වියුක්ත ව හිතන්න බැහැ. ඔවුන් හිතනවා තමන් වියුක්ත ව හිතන බව. මා මෙහෙම කියනවාට බටහිර දේශපාලන විද්‍යාව හදාරා ඇති, හදාරන අයට කේන්ති යන්න පුළුවන්. තම තම නැණ පමණින් හදාරනවා හැරෙන්නට ඔවුන්ට කළ හැකි වෙනත් දෙයක් නැහැ. මෙරට ගණිතය, භෞතික විද්‍යාව හදාරණ අයටත් එතරම් ම වියුක්ත ව හිතන්න බැරි බවත් සඳහන් කරන්න ඕන.

පඬියන් දේශපාලන විද්‍යාව හදාරා අපට සරදම් කරන්නේ අප කිසිවක් නොදන්නා මෝඩයන් ලෙස සලකමින්. මෙරට ප්‍රශ්නය ම  දේශපාලනඥයන් මෙරට දැනුමට ගැරහීම. ඔවුන් සිංහල වෙදකම නගා සිටුවීමට කර ඇති සේවය කුමක් ද? තවමත් මහින්ද ගෝඨාභය වැන්නන් ද සිතන්නේ බටහිර දැනුම එක ම දැනුම ලෙස. ඔවුන් තම උපදේශකයන් ලෙස බටහිර ගැති පඬියන් තබා ගන්නේ එබැවිනුයි. රනිල්ලා ගැන කියා වැඩක් නැහැ. ඔවුන් වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම නිවට බටහිර ගැත්තන්. මෙරට දෙමළ ජනයාට (දෙමළ ජනයා කීවාට මෙරට දෙමළ කතාකරන්නන් පිරිසක් පමණයි ඇත්තේ) ඇති ප්‍රශ්නය කුමක් ද කියා බටහිර දේශපාලන විද්‍යාව ඇතුළු බටහිර සමාජයීය විද්‍යාවන් හැදෑරූ පඬියන්ට කියන්න බැහැ. ඇතැමුන් කියන්නේ එවැනි ප්‍රශ්නයක් ඇසීම ම වැරදි කියා. ඔවුන් අපෙන් අසන්නේ ඊනියා තිස්අවුරුදු යුද්ධයක් තිබුණේ ම ප්‍රශ්නයක් තිබූ නිසා නො වේ ද යන්නයි.

මෙරට තිස්අවුරුදු යුද්ධයක් තිබුණේ නැහැ. තිබුණේ ආයුධ ගත් දෙමළ ජාතිවාදීන්ට එරෙහිව කළ හමුදා මෙහෙයුම් පමණයි. එය සිවිල් යුද්ධයක්වත් රටවල් දෙකක් අතර පැවති යුද්ධයක්වත් නො වෙයි. මේ හමුදා මෙහෙයුම් කරන අතර ම ලංකාණ්ඩුව උතුරු හා නැගෙනහිර ජනතාව ආරක්‍ෂා කළ බව එහි පාසල්, විශ්වවිද්‍යාල, රෝහල්, රජයේ කාර්යාල ආදිය පවත්වාගෙන ගිය බව ගමනාගමන සේවාවන් පවත්වාගෙන ගිය බව, අදාළ රජයේ සේවකයන්ට පඩි නඩි ගෙවූ බව පඬියන්ට අමතකයි. උතුරේ හා නැගෙනහිර ජනජීවිතය පවත්වාගෙන යෑමට රජය කටයුතු කළ අතර කොටි සංවිධානය එය කඩාකප්පල් කිරීමට සෑම දෙයක් ම කළ බව යුද්ධයක් ගැන කියන පඬියන්ට අමතකයි. මේ යුද්ධ කතාව කියන්නේ බටහිරයන් හා ඔවුන්ගේ අනුකාරක පඬියන්. එහි අවසාන අරමුණ රට බෙදීම. මෙහෙයුමක් යනු යුද්ධයක් නොවුණත් මෙහෙයුමක් යනු දේශපාලන ක්‍රියාවලියක්. අද දෙමළ ජාතිවාදයට දේශපාලන විසඳුමක් දී අවසානයි. 1817-18 නිදහස් සටන අවධියේ අද අපට බයිලා කියන සුද්දන් වෙල්ලස්සේ  ජන ජිවිතය ආරක්‍ෂා කිරීමට කෙළේ හරකා බාන ගොවිතැන් ගිනිබත් කිරීමයි.

මෙරට දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් ප්‍රශ්නයක් නැති නමුත් මෙරට දෙමළ ජාතිවාදයක් තිබෙන බව  පමණක් නොව දෙමළ ජාතිවාදය ඇතිවුණේ (ඇති කෙළේ) කවුද යන්න ගැනත් අප කියා තිබෙනවා. ඉතා කෙටියෙන් කියන්නේ නම් සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමට, බැරි නම් දුර්වල කිරීමට ඉංගිරිසින් 1833 සිට දෙමළ වෙල්ලාල ප්‍රභූන් යොදා ගෙන දෙමළ ජාතිවාදයක් ඇති කර තිබෙනවා. ඉංගිරිසින්ට අවශ්‍ය වූයේ දෙමළ වෙල්ලාලයන්, විශේෂයෙන් ම පොන්නම්බලම් කුමාරස්වාමි පවුල මෙරට ප්‍රධාන පවුල බවට පත් කිරීමට. ඉංගිරිසින් 1931 දී සිංහලයන් භේද කිරීමට සර්වජන ඡන්දය ලබා දුන්නත් එය එක්තරා ආකාරයකින් දෙමළ ජාතිවාදී සිහිනය බොඳ කළා.

මෙරට දෙමළ වෙල්ලල ජනයා භුක්ති විඳි වරප්‍රසාද එකිනෙක නැති වීම නිසා චෙල්වනායගම්ගෙන් පසු දෙමළ ජාතිවාදය වෙන ම රටක් සඳහා කටයුතු කරනවා. ජාතික ගීයට ජාතික කොඩියට විරුද්ධ වන්නේ ඒ හේතුවෙන්. මේ එකක්වත් බටහිරයන්ගේ ආධාරය හා අනුග්‍රහය නැතිව දෙමළ ජාතිවාදීන්ට කරන්න බැහැ.   


________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2017-12-03