Main Logo

Friday 1 December 2017

විග්නේෂ්වරන් හා මැතිවරණ

විග්නේෂ්වරන් හා මැතිවරණ

ප්‍රභාකරන්ගේ උපන් දිනය නිමිත්තෙන් පැවැත්වූ උත්සවයක දී උතුරු පළාතේ අධ්‍යාපන ඇමති ජාතික කොඩිය එසවීම ප්‍රතික්‍ෂෙප කිරීම ගැන කතා කෙරුණා. රුවන් විජේවර්ධන ඇමතිවරයා කියා තිබුණා ඒ පිළිබඳ සොයා බලන බවත් ජාතික කොඩිය එසවීම ප්‍රතික්‍ෂෙප කිරීම ගැන දඬුවම් කළ යුතු බවත්. ඒ ගැන දැන් කෙරෙන්නේ කුමක් ද කියා රුවන් විජේවර්ධන අපට කියනවා ද?

ජනමාධ්‍යට ප්‍රශ්න ගැන දිගින් දිගට කතා කරන්න බැහැ. දිනපතා විවිධ මාතෘකා එකතු වෙනවා. එවිට පැරණි මාතෘකා යට යනවා. තද වැස්ස, දළ පූට්ටුවා, පළාත් පාලන මැතිවරණ කතා, නඩු දැමීම්, නඩු අස්කර ගැනීම්, එක දිනක මැතිවරණය පැවැත්වෙනවා ද නැද්ද ආදී වශයෙන් මාතෘකා රාශියක් දැන් තියෙනවා. ඒ මදිවාට එක් කසිකබල් වෙබ් අඩවියකට අනුව ඔවුන්ගේ සුරතලුන් කරන පාර්ලිමේන්තුව දෙදරවන කතා ආදියට තැන ලැබෙනවා. ජාතික කොඩිය එසවීම ප්‍රතික්‍ෂෙප කිරීම ක්‍රමයෙන් මතකයෙන් ඈත් වෙනවා.

එහෙත් විග්නේෂ්වරන් එය නැවත මතක් කර තිබෙනවා. ඔහු එය මතක් කර ඇත්තේ ආණ්ඩුවට කරන අභියෝගයක් ලෙස. දෙමළ ජාතිවාදීන් මේ නිවට ආණ්ඩුවට බය නැහැ. නිවට ආණ්ඩුව පිහිටුවා ගනු ලැබුවේ දෙමළ ජාතිවාදය වෙනුවෙන් බටහිරයන් හා ඉන්දියානුවන් විසින්. යුග පෙරළි කාරයන් ජ වි පෙ ආදීන් ඒ ක්‍රියාවලියට හුරේ කිව්වා පමණයි. ජ වි පෙ අද එ ජා ප සමග. යුග පෙරළි කාරයන් මෛත්‍රීපාල කල්ලිය හා ඒකාබද්ධ විපක්‍ෂය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා එකතු කරන්න හදනවා.

විග්නේෂ්වරන් කියා තිබුණේ ඔය ඇමතිවරුන් කියන කතා ගණන් ගන්නේ නැති බව. ඇමතිවරුන් ජනතාව සඳහා විවිධ කතා කිව්වත් ඒවා කරන්නේ නැති බවත් ඔහු කියනවා. එයටත් වඩා ඔහු කියන වැදගත් කරුණ නම් අදාළ රැස්වීමට ආණ්ඩුවේ අනුමැතිය ලැබුණු බව. එය ඇත්ත නම් භයානකයි. එහෙත් පුදුම වෙන්න දෙයක් නැහැ. රැස්වීමට ආණ්ඩුව අවසර දුන්නා ද නැද්ද යන්න දැන ගැනීමට නොහැකි වෙන්නත් පුළුවන්.

ආණ්ඩුව කියන එකක් නැහැ රැස්වීමට අවසර දුන් බවක්. අවසර දුන් බව කිව්වත් ආණ්ඩුවට කියන්න පුළුවන් ජාතික කොඩිය එසවීම ප්‍රතික්‍ෂෙප කිරීමට අවසරයක් නොතිබූ බව. අපට ඇත්ත දැනගන්න විධියක් නැහැ. උසාවියට ගියත් ඇත්ත දැන ගන්න බැහැ. විග්නේෂ්වරන් ඒ බව දන්නවා ඇති. උසාවියේ දී තීරණය වන්නේ ඇත්ත නොව පවත්නා නීතිය අනුව දක්‍ෂ ලෙස තර්ක කරන්නේ කවුද යන්නයි. කොමාවකින්, ඇලපිල්ලකින් තර්ක වෙනස් කරන්න පුළුවන්.

එහෙත් මුලික වශයෙන් යම් ආකාරයක රාජ්‍ය අනුග්‍රහය ලැබු උත්සවයක දී ජාතික කොඩිය එසවීම පළාත් සභා ඇමතිවරයකු ප්‍රතික්‍ෂෙප කර තිබෙන බව පැහැදිලියි. එසේ ම ඔහුට විරුද්ධ ව කිසිවක් නොකරන බව පැහැදිලියි. එ ජා පක්‍ෂයට (පෙරමුණට) ඔහුට විරුද්ධව කිසිවක් කරන්න බැහැ. එ ජා පෙ, දෙමළ ජාතික සංධානය, එංගලන්තය හා ඉන්දියාව අතර ඇති එකඟත්වය මත රනිල්ගෙ ආණ්ඩුව කිසිවක් කරන්නෙ නැහැ. විග්නේෂ්වරන් ඒ බව දන්නවා. ඔහු පවතින්නේ ම එංගලන්ත අවශ්‍යතාව උඩ. ඔවුන් අද දෙමළ ජාතික සංධානයට ඊනියා මැද තැනකට ඒමට විග්නේෂ්වරන් යොදා ගැනෙනවා.

මේ සම්බන්ධයෙන් මෛත්‍රිපාල කියන්නේ කුමක් ද? මෛත්‍රිපාල අද පළාත් පාලන ආයතන මැතිවරණයෙන් ජාම බේරා ගැනීමේ සටනක යෙදී ඉන්නවා. ඔහුට ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන් සමග මැතිවරණය සඳහා එකතු වීමට අවශ්‍යයි. ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන්ටත් මෛත්‍රිපාල සමග එකතු වෙන්න ඕන. ඇතැම් පක්‍ෂ දැන් තමයි තේරුම් ගනිමින් සිටින්නේ අලුත් මැතිවරණ ක්‍රමය තමන්ට අවාසි සහගත බව. ඔවුන්ට පැරණි සමානුපාතික ක්‍රමය වඩා හොඳයි.

මෛත්‍රිපාල කල්ලිය ආණ්ඩුවෙන් එළියට (පිටතට මෙන් ම සංවිධානයට)  බහිවී කියා හිතන්න බැහැ. ඒකාබද්ධ විපක්‍ෂය ඔවුන්ට කළ නොහැකි කොන්දේසියක් දාලා. මෛත්‍රිපාල ජනාධිපති ලෙස තබාගෙන ඇමතිවරුන් පමණක් ආණ්ඩුවෙන් එළියට බැහීම නොකෙරෙන්නක්. මේ මැතිවරණ එකඟතා එකක්වත් ජාතිය මත පදනම් වෙලා කෙරෙන ඒවා නො වෙයි. මෛත්‍රිපාල කණ්ඩායමට කියන්න පුළුවන් ද තමන් අතින් වැරදි සිදු වී ඇති බවත්, ජාතික ගීය දෙමළෙන් ගැයීම වැරදි බවත්, ජාතික කොඩිය එසවීම ප්‍රතික්‍ෂෙප කළ ඇමතිවරයාට නිසි දඬුවම් දෙන බවත්, රණවිරුවන් ආරක්‍ෂා කරන බවත් දැනට අත් අඩංගුවට ගෙන ඇති රණවිරුවන් නිදහස් කරන බවත්, රාජ්‍ය දේපොළ විදේශිකයන්ට නොවිකුණන බවත්, බැඳුම්කර මගඩිය අවසානය දක්වා ගෙන යන බවත්, නව ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කර ඒ සමස්ත ක්‍රියාවලිය ම අහෝසි කරන බවත්, ඒ කරුණු සඳහා ඒකාබද්ධ විපක්‍ෂය සමග ගිවිසුමකට එළඹීමට තමන් සූදානම් බවත්. එය ජාතික වැඩ පිළිවෙළක් මත ඇති කරන එකඟතාවක් මිස හුදෙක් මැතිවරණ ඉලක්ක කරගෙන ඇති කරන ගිවිසුමක් නොවන බවත් ප්‍රකාශ කරන්න පුළුවන් ද

එසේ කරන්නේ නම් එයට ඒකාබද්ධ විපක්‍ෂය කිනම් ප්‍රතිචාරයක් දක්වාවි ද? මේ කිසිදාක සිදු නොවන දෙයක් ද? හුදෙක් මැතිවරණ සඳහා ඇති කරන ගිවිසුම් එකඟතාවලින් රටට කිසිම පළක් නැහැ. ඒ ගිවිසුම්වලින් සිදුවන්නේ සිංහලයන් පරාජය වීම පමණයි.


________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2017-12-01