Main Logo

Thursday 23 November 2017

හිතට වධ දෙන ප්‍රශ්න

හිතට වධ දෙන ප්‍රශ්න

ඊයේ (විසිදෙවැනි දා) ලිපියෙහි සඳහන් ජෝන් වීලර්ගේ සිතට වධ දුන් ප්‍රශ්නය හැරුණු විට තවත් සිතට වධ දෙන ප්‍රශ්න තිබෙනවා. එකක් තමයි මට අනෙක් අයට තේරෙන විධියට යමක් කීමට නොහැකි වීම. වීලර් ආචාර්ය උපාධි හතළිස්පහක පමණ උපදේශක වී සිටියා. එමෙන් ම ෆයින්මාන් ඇතුළු නොබෙල් ත්‍යාගලාභී කිහිප දෙනකු ම ඔහුගේ ශිෂ්‍යයන්. මගේ ශිෂ්‍යයන් බොහෝ දෙනකු අද ඉන්න තැන් බැලුවම කියන්න පුළුවන් ඔවුන්ට මා කී කිසිවක් තේරී නැති බව. එය ඔවුන්ගේ වරදක් වෙන්න බැහැ. තවත් වධ දෙන ප්‍රශ්නයක් නම් සිංහල ජාතියේ අනාගතයයි. අද අපට නායකයකු නැහැ. මුහුණු පොතේ ඉන්න අය කියාවි නායකයන් ඉන්නවා කියා. ඒත් මුහුණු පොත් ප්‍රතිචාර මා කියවන්නේ ඉතා අකමැත්තෙන්. ඔවුන් ප්‍රශ්න දෙස බලන්නේ ඉතා මතුපිටින්.

මා කිසි විටෙකත් බුදුදහම හා බටහිර විද්‍යාව සංසන්දනය කරන්නේ නැහැ. එහෙත් ඇතැමුන් පසුගිය දිනවල පළ වූ ලිපි කියවා ඇත්තේ ඒ හැඟීමෙන්. ඔවුන් මගෙන් ඉල්ලනවා තව තවත් ක්වොන්ටම් භෞතිකය බටහිර විද්‍යාව සමග එකඟ වන තැන් ගැන ලියන්න කියා. මා එසේ ලියා නැහැ. මා කියන්නේ ක්වොන්ටම් භෞතිකයත් අනෙක් බටහිර විද්‍යා මෙන් ම පට්ටපල් බොරුවක් බව. බුදුදහම තේරුම් කිරීමට මා ක්වොන්ටම් භෞතිකය යොදා ගන්නේ නැහැ. මා සිංහල බෞද්ධ විද්‍යාවක්, සිංහල බෞද්ධ දැනුමක්, ගොඩ නැගීමට කටයුතු කරනවා. වීලර්ගේ ප්‍රශ්නයට මා දෙන පිළිතුර සිංහල බෞද්ධ විද්‍යාවට කරන තවත් එකතුවක්. මා එහි දී විද්‍යාවේ නිර්මාණ කිරීමට අපේ සංස්කෘතියේ කිමිදිය යුතු බව සඳහන් කළා. එයින් කීවේ අපේ විද්‍යාව ගැන මිස බටහිර විද්‍යාව ගැන නො වෙයි.

බටහිර විද්‍යාවේ නිර්මාණ කිරීමට අපේ සංස්කෘතියේ කිමිදෙන්න අවශ්‍ය නැහැ. ඒ සඳහා කිමිදිය යුත්තේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි. අපේ විද්‍යාඥයන් යැයි කියන අය ඒ සංස්කෘතියේවත් අපේ සංස්කෘතියේවත් දෙපා රුවා ගෙන නැහැ. ඔවුන් කිසිම විද්‍යාවක මධ්‍යයෙහි නැහැ. ඔවුන් ඉන්නේ පරිධියෙහි. මා සුනිල් ශාන්තයන්ගේ හඳපානේ ගීතය ඇසුරෙන් වීලර්ගේ ප්‍රශ්නයට පිළිතුරක් දුන්නේ නැහැ. මගේ පිළිතුර පදනම් වන්නේ චතුස්කෝටිකය හා සිංහල බෞද්ධ ගැමි සංස්කෘතිය මත. හඳපානේ ගීතය මට මතක් වූවා. ඒ සමග යම් සැසඳීමක් කළා.

සිංහල ජාතියේ අනාගතය ගැන ඇත්තේ කණගාටුවක්. ඒ නායකයන් නැති කම නිසා. බටහිර ප්‍රජාතන්ත්‍රවාදයෙන් අප බැට කනවා. මා කලින් හිතන් හිටියේ ඩොනමෝර් කොමිසම ඔවුන්ගේ යටත්විජිතවල අනෙක් රටවලට කලින් අපේ රටට සර්වජන ඡන්දය දුන්නේ වැරදීමකින් කියා. දෙමළ වෙල්ලාලයන් රටේ නායකයන් කරවීමට ඉංගිරිසින්ට තිබූ අවශ්‍යතාව ඉන් මග හැරී ගිය බවයි මා හිතුවේ. එංගලන්තයේත් කාන්තාවන්ට ඡන්ද බලය ලැබුණේ අපට ටික කලකට කලින්. ඒත් දැන් හිතෙනවා ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයත් සමග සිංහලයන් භේද කිරීමට හා සිංහල ජාතිය විනාශ කිරීමට ඉංගිරිසින් පොටක් පාදා ගත්තා කියා.

පළාත් පාලන මැතිවරණ නිසා අපට රට ජාතිය ආගම අමතක වෙලා. විවිධ හේතු මත මැතිවරණ කල් යන්නේ මෛත්‍රිපාල කල්ලියට මැතිවරණවල දී තුන්වැනි තැන නැත්නම් හතරවැනි තැන ලැබෙන නිසා. සුසිල් ප්‍රේමජයන්ත වැන්නන්ට පේන්නේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය. ඔවුන් ඒ සඳහා සූදානම් වෙනවා. ඔහු පසුගිය මැතිවරණයට පෙර සංධානයේ ලේකම්. මෛත්‍රිපාල ඔහු ලේකම් තනතුරෙන් අස් කළා. මෛත්‍රිපාලට දෝෂාභියෝග බයක් තිබුණ ද? කෙසේ වෙතත් සුසිල් ඊනියා ජාතික ආණ්ඩුවේ ඇමති කෙනෙක් වුණා. මැතිවරණ ළං වන විට මේ සියල්ලන්ගේ කකුල් වෙවුලනවා. මේ අයට දැන් මහින්ද ඕන.

ඡන්දදායකයන් නොදන්නවාට අද විවිධ සාකච්ඡා පැවැත්වෙනවා. ඒ සිංහල ජාතියේ අනාගතය වෙනුවෙන් නො වෙයි. මැතිවරණ වෙනුවෙන්. මෛත්‍රිපාල අද වන විට කී දෙනකු මුණ ගැසී තිබෙනවා ද? ඒ අය කවු ද? ඒ සඳහා කොන්දේසි ඉදිරිපත් වෙනවා. ජනමාධ්‍ය ප්‍රධානීන්, ව්‍යාපාරිකයන් මේ සාකච්ඡා පිටුපස ඉන්නවා. අද රනිල් ඉවත් කර ඒකාබද්ධ විපක්‍ෂයට අගමැතිකම හෝ විපක්‍ෂ නායකකම හෝ දීම සාකච්ඡා වෙනවා. මෛත්‍රිපාල විධායක ජනාධිපති වුවත් ඔහු දුර්වලයි. ගෝඨාභය අත්අඩංගුවට ගැනීමේ කතාවක් තියෙනවා. මේ අවස්ථාවේ ආණ්ඩුවේ රනිල් පාර්ශාවයට ඔහු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වෙලා කියා හිතන්න පුළුවන්.  මෛත්‍රිපාල සමග සංධානයක් වැඩියෙන් ම අවශ්‍ය විමල් ගම්මන්පිළ ඩලස් වැන්නන්ට. මැදගොඩ අභයතිස්ස හාමුදුරුුවන් මෛත්‍රිපාල ගැන සහතිකයක් දුන්නේ නිකම් නො වෙයි. මුහුණුපොතේ අය මේ ගැන දන්නේ නැතිව ඇති. ඔවුන්ට අනුව මා සමගියට විරුද්ධ ද්‍රෝහියෙක්. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේ මැතිවරණ දේශපාලනයෙන් සිංහලයන් බැට කනවා. අප අවුරුදු පහට හයකට වරක් ඡන්දය දෙනවා. එතැන දී ද අප බොරුවලට රැවටෙනවා. ඡන්ද අතර පාලනය වන්නේ කෝටි දෙකෙන් දෙසීය දෙනකුට අවශ්‍ය අන්දමට.

අද අනුර දිසානායක මැතිවරණ ගැන කතා කරනවා. මැතිවරණ දිනා ගැනීමට  පාරට බහින්න වහසි බස් දොඩනවා. එහෙත් මැතිවරණ ක්‍රමය 70-30 සිට 50-50 දක්වා වෙනස් කර ගෙන  විසිවැනි සංශෝධනයට ඡන්දය දී ඡන්ද කල් දමා ගැනීමට ඔවුන් ද ආධාර කළා. අසූවේ දශකයේ ඡන්දය දෙන අය මරා දැමීමට ජ වි පෙ කටයුතු කළා. එදා අනුර පමණක් නොව විමල් ද විජේවීරගේ ජ වි පෙරමුණේ සාමාජිකයන්. ඒ ගැන ඔවුන් පාපෝච්චාරණයක් කර තිබෙනවා ද?

අද සටන ඇත්තේ මෛත්‍රිපාල කල්ලියට තොණ්ඩුව දමා හිර කිරීම හා ඔවුන් ගලවා ගැනීම අතරයි. එ ජා ප  විවිධ අය යොදා ගෙන මෛත්‍රිපාලට පහර දෙනවා. රනිල් ඉවත් කළ යුතු බවට සැකයක් නැහැ. අප එය කියන්නේ ඔහු අගමැති වූ දින සිට. එහෙත්  ඒ මැතිවරණ මුල් කර ගෙන නොව ජාතිය වෙනුවෙන්. ඔහු පත් කර ගත්තේ කුමකට ද කියා අප දැන සිටියා. මුහුණුපොතේ සමහර අයට මේ අවුරුදු තුනක පමණවත් අත්දැකීමක් නැහැ. එහෙත් ඔවුන් අද අපට දැනමුතුකම් කියනවා. අද මේ රනිල් ඉවත් කිරීමේ තදියම මැතිවරණ මුල් කර ගෙන.

එහෙත් රනිල් දැන් බලවත්. මුහුණුපොතේ පඬියකු කියා තිබුණා මගේ ඒ නිගමනය වැරදි බව. ඔහු මට පෙන්වා දෙනවා බැඳුම්කර කොමිසමේ දී රනිල් හරියට පිළිතුරු නොදුන් බව. මෙහි දී වැදගත් වන්නේ රනිල්ගේ කසිකබල් පිළිතුරු නො වෙයි. ඒ පිළිතුරු සතපහක් වටින්නේ නැහැ. ඒත් ඔහු නීතිය ඉදිරියේ අද බලවත්. ඔහු මෛත්‍රිපාල පත් කළ බැඳුම්කර කොමිසම ඉදිරියට ගිය අයෙක් (මෛත්‍රිපාල පළමු කෝප් වාර්තාව නිකුත් වීමට ඔන්න මෙන්න කියා තිබිය දී පාර්ලිමේන්තුව විසුරුැවා හැරියා. අද ඔහු හා රනිල් අතර විරසකයක් ඇති වෙළා.). මෛත්‍රිපාල ඔහු කොමිසමට යෑමට පෙර අගමැති කමෙන් ඉවත් කර තිබුණා නම් තත්වය සම්පූර්ණයෙන් ම වෙනස් වෙන්න තිබුණා. දැන් කරන්න දෙයක් නැහැ. ඒත් පුළුවන් නම් අද හරි රනිල් අගමැති කමෙන් ඉවත් කරන්න. එහෙත් එසේ කළොත් ඒ කරන්නේ මැතිවරණ ගිවිසුමක් වෙනුවෙන් වීම කණගාටුදායකයි.   

__________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2017-11-23