Main Logo

Saturday 4 November 2017

මහින්දට සුබ අනාගතයක්  


මහින්දට සුබ අනාගතයක්





දැන් බොහෝ දෙනකු දන්නවා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට මේ සිංහල විරෝධී දෙමළ ජාතිවාදී නිවට ආණ්ඩුවට ජනවරමක් නැති බව. ඇතැමුන් ඒ සම්බන්ධ විද්‍යුත් ලිපි මටත් යොමු කරනවා. අද වන විට නව ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කරමු යන්නත් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ආණ්ඩුවට ජනවරමක් නැති බවත් සමාජගත වී අවසන්. ව්‍යවස්ථාව පරාජය කරමු යන සටන්පාඨයේ සිට ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කරමු යන්නට සිංහල ජනමතය ඉතා ඉක්මණින් තල්ලු වුණා. ඒ සමග ආණ්ඩුව පියවරක් පස්සට ගෙන තිබෙනවා. එහෙත් ආණ්ඩුව වැඩි කල් යෑමට පෙර පියවර දෙකක් පෙරට තබාවි. ඔවුන්ට එංගලන්තය ප්‍රමුඛ බටහිරයන්ගෙන් හා ඉන්දියාවෙන් ලැබී ඇති විධානය එයයි. ඒ විධානය 2013ට බොහෝ කලකට පෙර ලැබුණු බව ඇතැම් ජාතිකවාදීන් දන්නේ නැහැ.




අද මහින්දත් කියනවා නව ව්‍යවස්ථාවක් සඳහා ජනවරමක් නැති බව. ඔහු තම ජනාධිපතිවරණ ප්‍රකාශයේ කියා තිබුණා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බව. මේ නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසුව. නන්දිකඩාල් කලපුවේ දී බටහිරයන් 1833 දී  බෞතීස්ම කළ දෙමළ ජාතිවාදය මුළුමනින් ම දේශපාලන වශයෙන් පරාජය වූ බවත් ඒ සමග ඉන්දු ලංකා ගිවිසුම හා දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය නෛතික ව අහෝසි වූ බව මහින්දගේ උපදේශකයන්, ප්‍රතිපත්ති ප්‍රකාශන සකස් කරන්නන්, නොදන්නවා වෙන්න පුළුවන්. ඒ ඔවුන් දෙමළ ජාතිවාදයේ ඉතිහාසය ගැන නොදන්නා බැවින්. ඔවුන්ගෙන් ඇතැමකු සිතන්නේ දෙමළ ජනයාට දෙමළ වූ නිසා ම සිදු වී ඇති අසාධාරණයන් තිබෙන බව.



ඔවුන් අතරින් ජී එල් පීරිස්, ඩලස් වැන්නන් චන්ද්‍රිකා සමග සුදු නෙළුම් ගෙන අවලම් තවලම් ගිය අය. ඔවුන් පැකේජයේ බාප්පලා. ඔවුන් කීවේ හමුදා මෙහෙයුම්වලින් ප්‍රභාකරන් පරාජය කිරීමට නොහැකි බව. එකල චන්ද්‍රප්‍රේමලා හිටියේ කොහේ ද කියා දන්නේ නැහැ. ඔවුන් කොළපාට සමාජය ගැන පොත් ලියමින් සංඝයා වහන්සේ විවේචනය කළ අය. දයාන් ජයතිලක වර්ධරාජ පෙරුමාල්ගේ ඇමතිවරයකු ද වූ සිංහල බෞද්ධ විරෝධියෙක්. මහින්දගේ උපදේශකයන් අතර ජාතිකවාදීන් ඇත්නම් ඒ අතේ ඇඟිලි ගණනටත් අඩුවෙන්. ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශ වරින් වර ලියූ ගුණරුවන්, ධම්ම දිසානායක, ජගත් වැල්ලවත්ත, රංජිත් බණ්ඩාර වැනි විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ට ජාතිකත්වයක් නැහැ. සමහර විට මහින්ද හා බැසිල් හිතන ආකාරයට ඔවුන් අපට වඩා බුද්ධිමත් විචක්‍ෂණශීලි දැන උගත් අය වෙන්න ඇති. 



කෙසේ වෙතත් මහින්දගේ ජනාධිපතිවරණ ප්‍රකාශයේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට කටයුතු කරන බවට පොරොන්දුවක් දීම බලවත් වරදක්. කාට හරි කියන්න පුළුවන් නව ව්‍යවස්ථාව අවශ්‍ය වන්නේ ඊනියා දෙමළ ජාතිවාදී ප්‍රශ්නය විසඳුමට නො වේ ය කීියා. එහෙත් ඒ එසේ නම් ඒ බව ජනාධිපතිවරණ ප්‍රකාශයේ කෙළින් ම කිව යුතු ව තිබුණා. උපදේශකයන් නිසා තමයි මහින්ද 2015 ජනාධිපතිවරණය පරාජය වුණේ. ඔවුන් සිංහල ජනමතයට කතා කරන්න දුන්නේ නැහැ. ජනමාධ්‍ය හසුරුවනු ලැබුයේ ඩලස් ආදීන් විසින්. මහින්ද පරාජය වුණේ දෙමළ මුස්ලිම් ඡන්ද නැති වීම නිසා නොවෙයි. ප්‍රමාණවත් තරම් සිංහල බෞද්ධ ඡන්ද නොලැබීම නිසා. ජනාධිපතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණයකින් ඒ බව පැහැදිලි වෙනවා.



මහින්දට 60%ක පමණ සිංහල බෞද්ධ ඡන්ද ලැබුණත් ඒ ප්‍රමාණවත් වූයේ නැහැ. උපදේශකයන් එයට වග කිව යුතුයි. මහින්ද පරාජය වීමෙන් පසු මේ උපදේශකයන් ඔහුගෙන් ලැබුණු දුරකතන ඇමතුම් පවා වර්ජනය කළා. අදත් බැසිල් සිංහල ඡන්ද එකතු කරනවා වෙනුවට උතුරේ දෙමළ හා නැගෙනහිර මුස්ලිම් ඡන්ද ගැන වෙහෙසෙනවා. ඉන්දියාව අද මතයක් ඇති කරනවා දෙමළ මුස්ලිම් ඡන්ද නැතිව දිනන්න බැහැ කියා. එහෙත් අද ආණ්ඩුව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අඩියක් පස්සට ගෙන ඇත්තේ දෙමළ මුස්ලිම් ජන බලයක් නිසා නොව සිංහලයන් ඉතා විශාල ප්‍රමාණයකට බල සම්පන්නව ඒක රාශි වීම නිසා.



කෙසේ වෙතත් උපදේශකයන් ලියූ ජනාධිපතිවරණ ප්‍රකාශය මහජනතාව ප්‍රතික්‍ෂෙප කළා. එබැවින් මහින්දගේ ජනාධිපතිවරණ ප්‍රකාශයටත් ජනවරමක් ලැබුණේ නැහැ. මහින්ද නව ව්‍යවස්ථාවකට ජනවරමක් නැති බව කියන විට ඔහු ඒ සඳහා තමාට ද ජනවරමක් නොලැබුණු බව කියනවා. උපදේශකයන් කෙසේ වෙතත් මහින්ද එහි දී අවංකයි. ඉතා මෑතක දී සමගාමි ලැයිස්තුව ඉවත් කිරීමට කැමති බව දන්වා ලිපියක් දුන්  ජී එල් පීරිස් මහින්ද සමග සිටින්නේ ඔහු රනිල් විසින් ප්‍රතික්‍ෂෙප කරනු ලැබීම නිසා නො වේ ද?



අද සිංහලයන් තාවකාලික ජයග්‍රහණයක් ලබා තියෙනවා. එහෙත් එය ඉතාමත් තාවකාලිකයි. එංගලන්තය හා ඉන්දියාව සිංහලයන්ගේ ප්‍රධාන සතුරු රටවල් දෙකයි. එ රටවල් දෙක බටහිර තවත් රටවල් සමග එකතු වී සිංහලයන්නේ පළි ගැනීමට ඉදිරියට ඒවි, එහි දී මහින්දගේ බටහිර ගැති උපදේශකයන් මෙන් ම දෙමළ ජාතදවාදීන් ද විසුරුණු දෙමළ ජනයා ද ඊනියා රාජ්‍ය නොවන පඬියන් ද සිවල් සාමාජිකයන් ද යොදා ගනීවි.



මහින්දට ජයග්‍රහණය ඇත්තේ සිංහලයන්, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් ආකර්ෂණය කර ගැනීම මත. තිස්ස විතාරණලා, ඩිව් ගුණසේකරලා ආදීන් අවලංගු කාසි. 1964න් පසු ඔවුන්ට රටේ තැනක් නැහැ. ඔවුන් සහ ජයම්පතිලා ලාල් විජේනායකලා අතර ඇත්තේ සුළු වෙනසක්. මහින්ද නව ව්‍යවස්ථාවක් සඳහා ජනවරමක් නැති බව පිළිගැනීම ප්‍රශංසනීයයි. ඔහු ඉන් ඉදිරියට යා යුතු යි. ඔහුට ජාතිකවාදී නායකයකු වීමේ විභවයක් තියෙනවා. ඔහුට සුබ අනාගතයක් තියෙනවා. ඒත් ඒ උපදේශකයන්ගෙන් තොරව.





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 නොවැම්බර් 04