Main Logo

Monday 13 November 2017

අනුරාධ නගරය දැන් පෙනෙනා සේ

අනුරාධ නගරය දැන් පෙනෙනා සේ

මේ නිවට ආණ්ඩුව යටතේ කලකට ඉහත නිිදහස් දිනයක සංඛ අමර්ජිත්ට ගඩොල් බාගයක් මතක් කරමින් එක් ගායිකාවක් දන්නෝ බුදුන්ගේ ගීීය ගැයුවා. අර ඇතැම් පඬියන් කියන ආකාරයට ඇය ඒ ගීතයේ මුල් ඔපෙරා ශෛලියට සාධාරණයක් ඉටු කරන්න යන්න ඇති. එහෙත් සිංහලයන් ඒ කටහඬ ප්‍රතික්‍ෂෙප කරනවා.  ඊයේ (ඉරිදා) අනුරාධ නගරයට විශාල සෙනගක් රැස්වුණා. ඒ අර ඔපෙරාවට සවන් දෙන්න නො වෙයි. ඒ ඔපෙරාවේ සංස්කෘතික ආධිපත්‍යයට විරුද්ධවයි. ඒ ආධිපත්‍යයෙහි රනිල්ට විරුද්ධවයි. රනිල් පසුපස යන මෛත්‍රිපාලට විරුද්ධවයි. 

ඒ රැස් වූ සෙනග එක හඬින් කියා ඇත්තේ මෛත්‍රිපාල සමග මැතිවරණ ගිවිසුම්වලට නොයා යුතු බව. මෛත්‍රිපාලට පරාක්‍රම සමුද්‍රයේත් දුමින්ද දිසානායකට නුවර වැවේත් ගිලී මීය යෑම හැරෙන්න වෙනත් දෙයක් ඉතිරි වී ඇත්නම් ඒ ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කිරීමත් රනිල් අගමැති කමෙන් ඉවත් කිරීමත් පමණයි. මෛත්‍රිපාල විධායක ජනාධිපති නිසා ඔහුට පමණයි අගමැති වෙනස් කළ හැක්කේ. අද ප්‍රශ්නය ඔහු එය කරන්නේ ද ඊනියා නව ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කරන්නේ ද යන්න පමණයි.

මේ දෙරණ මත අද දේශපාලනයේ එක් පැතිකඩක් මෙහෙයවනු ලබන්නේ ප්‍රබල ජනමාධ්‍ය අයිතිකරුවකු විසින්. ඔහු මහා ව්‍යාපාරිකයෙක්, බලවතෙක්. ඔහු තම දේශපාලන අභිමතාර්ථ මුදුන්පත් කර ගැනීම සඳහා තම ජනමාධ්‍යයත් රාජපක්‍ෂ පවුලේ ප්‍රධානියකුත් යොදා ගන්නවා. ජනමාධ්‍ය ප්‍රධානියා සමග ඊනියා ප්‍රබුද්ධ දේශපාලන විචාරකයන්, දේශපාලන විද්‍යාඥයන් හා වාචාල දේශපාලනඥයන් කිහිප දෙනකු ඉන්නවා. ඒ අය කණ්ඩායමක් ලෙස ක්‍රියා කරනවා. මේ අයට අද මෛත්‍රිපාල සමග එක්වීමට අවශ්‍යයයි.

මෛත්‍රිපාලට අද ජනබලයක් නැහැ. ඔහුගේ පිළේ ඇමතිවරුන්ටත් ජනබලයක් නැහැ. අප්පච්චි මළෝලාට මැතිවරණයකින් ජයග්‍රහණය කිරීම සිහිනයක් පමණයි. ඔවුන් අද උත්සාහ කරන්නේ විවිධ උපමාරු යොදා ගනිමින්, පුටුවෙන් තරග කරමු ආදී කතා කියමින්, මැතිවරණවල දී තම ජාම බේරා ගැනීම පමණයි. ඔවුන් පොහොට්ටුවට ඇති කැමැත්තක් නිසා නොව තම පාපය වසා ගැනීම සඳහා පමණක් මහින්දට එකතු වීමට කතා කරනවා.

ඒ අතර අර ජනමාධ්‍ය ප්‍රධානියාත් රාජපක්‍ෂ කෙනකු ඉදිරියට දමා ගනිමින්, අවසානයේ දී ඒ රාජපක්‍ෂ දේශපාලනික ව විනාශ කරමින් මෛත්‍රි කන්ඩායම සමග මැතිවරණ ගිවිසුම්වලට යෑමට දඟලනවා. අඳුරක්  මිස එළියක් නැති සංවිධාන අටවාගෙන ඔහු සූදානම් වන්නේ කුමකට ද යන්න පැහැදිලියි. මේ අය මෛත්‍රී සමග එකතු වීම වළක්වන්න ඕන නැහැ. මෙහි දී ව්‍යාජ සමගියක් අවශ්‍ය නැහැ. යන්න ඕන අයට යන්න ඉඩ අරින්න. ඔවුන් ගිහින් විනාශ වේවි. ඔවුන්ට අනාගතයක් නැහැ.

ඊයේ මහින්දගේ කතාවේ දී සඳහන් කළා ඊනියා වාමාංශික පක්‍ෂ ද ඒ වේදිකාවේ සිටි බව. මේ රටේ දැන් කිසිම වාමාංශික බලවේගයක් නැහැ. ව්‍යාජ සමාජවාදීන් මාධ්‍ය මගින් නොයෙකුත් දේ කරනවා. 1964න් පසු ඊනියා පැරණි වමත් 1990න් පසු ඊනියා නව වමත් බලවේග නො වෙයි. ඒ කිසිවකුත් නැතිව මහින්දට මැතිවරණ ජයග්‍රහණය කළ හැකියි. වාමාංශික පක්‍ෂවලට ඇති ඡන්ද සංඛ්‍යාව වාමාංශික පක්‍ෂවල නායකයන්ගේ රැවුල් ගස් සංඛ්‍යාවට අඩුයි.

ඔවුන්ට අනවශ්‍ය තැනක් දීමෙන් සිදු වන්නේ ජාතිකත්ව බලය දුර්වල වීම පමණයි. කිසිම ජනපදනමක් නැතිව ඔවුන් සිංහල බෞද්ධත්වයට විරුද්ධව කසිකබල් මාක්ස්වාදී පංති විග්‍රහයකින් මහින්ද නොමග යවනවා. ඔවුන් යවන්න ඕන පුටින් ළඟට. ටිකක් ඉගෙන ගන්න.  ඇතැමකුට හිතෙන්න පුළුවන් මා සමගියට විරුද්ධයි කියලා. ව්‍යාජ සමගියකින් වන්නේ සිංහල බෞද්ධ පදනම දුර්වල වීම පමණයි. ජාතිකත්ව පදනමකින් කටයුතු කර ඉදිරි මැතිවරණයක දී මේ නිවට ආණ්ඩුව දැන් කරන සියල්ල වෙනස් කිරීමට ජනවරමක් ලබා ගන්න පුළුවන් වේවි.

ඊයේ අනුරාධපුරයට රැස් වූ පිරිසෙන් සියයට අනූනවයක් ම සිංහල බව දැන ගැනීමට පඬි සම්ක්‍ෂණයක් අවශ්‍ය නැහැ. ඒ අයගෙනුත් අති විශාල බහුතරය බෞද්ධ. අසන්නන් අතරට වඩා ප්‍රධාන වේදිකාවේ ව්‍යාජ සමාජවාදීන් ඉන්න ඇති! මේ රටේ අවාසනාව සාමාන්‍ය ජනතාව ඇති ජාතිකත්වය දේශපාල පක්‍ෂවල නායකයන් අතර නොමැති වීමයි.

එ ජා පක්‍ෂයේ නම් කිසිම ජාතිකත්වයක් නැහැ. එහි නායකයන් අයත් වන්නේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියට. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන බව කියමින් ඔවුන් තම සංස්කෘතියේ ව්‍යාප්තිය සඳහා බීර මිළ අඩු කරනවා. සුද්දන් සිංහල බෞද්ධ පිරිමින්ට මත්පැන් පුරුදු කළා. රනිල් මංගල සිංහල බෞද්ධ ගැහැණුන් අතර මත්පැන් ව්‍යාප්ත කරනවා.

මෛත්‍රිපාල වෙතට ඒකාබද්ධ විපක්‍ෂයේ කිහිප දෙනකු යැවීම බැසිල් විරෝධයේ තුන්වැනි පියවරයි. එහි පළමු පියවර වූයේ මෛත්‍රිපාල රනිල් වෙතට යැවීමයි. දෙවැනි පියවර නීති විරෝධී ඊනියා ජාතික ආණ්ඩුව නිර්මාණය කිරීම සඳහා සංධාන මන්ත්‍රීවරුන් හතළිස්දෙනකු පමණ මෛත්‍රිපාල වෙතට යැවීමයි. දැන් තුන්වැනි පියවර ක්‍රියාත්මක කර මහින්ද තනි කරන්න උත්සාහ ගන්නවා. එහෙත් ඊයේ අනුරාධපුරයට රැස් වූ ජනතාව එකහඬින් කියා සිටියේ මහින්ද තනි නොකරන බවයි. බැසිල් තම දුර්වලකම් නැති කර ගැනීමටත් ගෝඨාභය රැවටිලි කරුවන්ගෙන් නිදහස් වීමටත් මහින්ද තවත් ජාතිකත්වයට නැඹුරුැවීමටත් කටයුතු කරන්නේ නම් රටට සුබ අනාගතයක් වේවි.


මෛත්‍රිපාල මාධ්‍යයෙහි කියන බයිලා පැත්තකට දමා නව ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කර රනිල් අගමැති  ධුරයෙන් ඉවත් කරන්නේ නම් පමණක් ඔහු ගැන සිතා බැලිය හැකියි.       
______________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2017-11-13