Main Logo

Friday 17 November 2017

බැඳුම්කරය හා මැතිවරණ දේශපාලනය

බැඳුම්කරය හා මැතිවරණ දේශපාලනය

අර්ජුන් ඇලෝෂියස් සමග දූරකතන සම්බන්ධකම් පැවැත් වු පාද සටහන් කරුවන් රාශියකගේ විස්තර හෙළි වෙලා. ඔවුන් මොනවා කතා කළා ද කියා අප දන්නේ නැහැ. සමහරවිට පෞද්ගලික කාරණා වෙන්නත් බැරි නැහැ. ඒත් අපට ප්‍රශ්න තියෙනවා. සැක තියෙනවා. ඒ සැක දුරු කිරීම පාද සටහන් කරුවන්ගේ මෙන් ම රවි කරුණානායකගේත් රනිල්ගේත් පමණක් නොව මෛත්‍රිපාලගේත් කාර්යයක්. 

මේ බැඳුම්කර මගඩියේ මුල මෛත්‍රිපාලත් ඉන්නවා. ඒ සම්බන්ධ පළමු කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට ඔන්න මෙන්න තිබිය දී මෛත්‍රිපාල පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ඒ බව අද වන විට බොහෝ දෙනාට අමතක වෙලා. ඒ පළමු කෝප් වාර්තාව ඉල්ලා මා ශ්‍රෙෂ්ඨාධිකරණයෙහි නඩුවක් ද පැවරුවා. එහෙත් එයට ගෙන ආ මූලික විරෝධයක් බොහෝ කලකට පසු අධිකරණය පිළිගත්තා. මූලික විරෝධයකටත් තීන්දුව දීමට මාස ගණනාවක් ගත වෙන අවස්ථා තියෙන බව ඉන් පැහැදිලි වුණා. මෛත්‍රිපාල හා රනිල් මැතිවරණ දේශපාලනය යොදා ගෙන බැඳුම්කර මගඩියෙන් පළමුව ගොඩ ආවා.

කෙසේ වෙතත් දෙවැනි කෝප් වාර්තාවක් පසුව නිකුත් වුණා. ඔය අතර අගමැති පත්කළ විමර්ෂණ කමිටුවක් බැඳුම්කර ප්‍රශ්නයක් නැති බවට වාර්තාවක් නිකුත් කළා. ඒ කමිටුවේ නීතිඥයන් නම් සිටි බව මතකයි. වාර්තාව ඔවුන් ලියන්න ඇතැයි කියා උපකල්පනය කරන්න වෙනවා. රනිල් කෙසේ කීවත් රවි කුමක් කළත් පාද සටහන් කරුවන් කිනම් දුරකතන සංවාදවල යෙදුණත් අවසානයේ දී මහජන මතය හේතුකොටගෙන හා රනිල් මෛත්‍රිපාල විරසකය හේතුවෙන් බැඳුම්කර ගැන සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කෙරුණා. එහි කටයුතු දැන් අවසන් වෙමින් පවතිනවා. හෙට අනිද්දා රනිලුත් කොමිසමට කැඳවා තියෙනවා.

කොමිසම කිනම් වාර්තාවක් දුන්නත් ආණ්ඩුවට මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න බැහැ. බැඳුම්කර මගඩිය කාගේ ද කුමක් සඳහා ද ආදිය ගැන මහජන සාකච්ඡාවක් පැවැත්වුණා. අද මුළු රට ම ඇත්තේ එක්තරා ආකාරයකින් ගන්ධබ්බ අවස්ථාවක. ආණ්ඩුව මිය ගොස් ඇති බව ආණ්ඩුව දන්නේ නැහැ. ඒත් ආණ්ඩුව වෙනුවට වෙනත් ආණ්ඩුවක් පත් වෙන්නෙත් නැහැ. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ප්‍රෝඩාතන්ත්‍රවාදය හෙවත් ප්‍රජාතන්ත්‍රවාතය ඉස්මතු වෙලා. අද පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැ. මෛත්‍රිපාලට කළ හැක්කේ අගමැති ඉවත් කිරීමයි. එහෙත් ඔහු එය කරන්නේ නැහැ.

බැඳුම්කර කොමිසම් වාර්තාවෙන් පසුවවත් රනිල් ස්වෙච්ඡාවෙන් අගමැති කමෙන් ඉවත් වෙන්නේ නැහැ. මැතිවරණ රාශියක් පැරදීත් එ ජා ප නායකත්වයෙන් ඉවත් නොවූ රනිල් අගමැතිකම ලබා තියෙද්දී ඉන් ඉවත් වේවි ද? ඔහු දැන් බලනවා ඇත්තේ මෛත්‍රිපාලට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒමටයි. එය පහසු කටයුත්තක් නොවුණත් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාවලිය දියත් කිරීමෙන් මෛත්‍රිපාල අකර්මණ්‍ය කරන්න පුළුවන්.

රනිල් අගමැති කමෙන් ඉවත් කරනවා නම් එය ඉක්මණට කළ යුතුයි. එහෙත් අද මෛත්‍රිපාල එය කරන්නේ නැහැ. යම් විධියකින් ඔහු ඒ සඳහා අත ගැසුවොත් ඒ පළාත් පාලන ආයතන මැතිවරණ ඉලක්ක කරගෙන මිස රට ගැන කල්පනා කර නො වෙයි. මෙරට දේශපාලනය මැතිවරණ දේශපාලනයක්. දේශපාලන පක්‍ෂ කටයුතු කරන්නේ මැතිවරණයෙන් මැතිවරණයට මිසක් ජාතික ප්‍රතිපත්තියක් ඇතිව නො වෙයි. සිංහලයන් තරම් ප්‍රජාතන්ත්‍රවාතයෙන් බැටකන පිරිසක් තවත් නැහැ.

මැතිවරණ දේශපාලනය නිසා ඊනියා සුළු ජනවර්ගික පක්‍ෂවල නියෝජිතයන් ගිවිසුම් ඇති කර ගන්නවා. එහි දී ඒ පක්‍ෂ ඉදිරිපත් කරන කොන්දේසිවලට එකඟ වීමට සිදුවෙනවා. ඉන් අවාසි වන්නේ අසාධාරණයක් වන්නේ සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්.

කිසිම දේශපාලන පක්‍ෂයක් සිංහලයන් වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. සිංහලයන් වෙනුවෙන් පෙනී සිටීම කියන්නේ සිංහලයන් පමණක් වෙනුවෙන් පෙනී සිටිම නො වෙයි. මෙරට සිංහල බෞද්ධයන්ට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි සුවිශේෂත්වය පිළි ගැනීමයි. සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි සුවිශේෂත්වය පිළි ගැණුනු විට ජනවර්ගත් ආරක්‍ෂා වෙනවා. කිසිම තේරුමක් නැතිව සිංහල දෙමළ මුස්ලිම් මැලේ හෙට්ටි බෞද්ධ ක්‍රිස්තියානි හින්දු සමානකම් ගැන දෙඩවීම බටහිරයන්ගේ ව්‍යාජ බහු සංස්කෘතික කතාව, ඔවුන්ගේ රටවලවත් නැති බහු සංස්කෘතික කතාව, බොරු මානව හිතවාදීත්වයකින් පුනරුච්චාරණය කිරීම පමණයි. බහුසංස්කෘතික රටවල් ලෝකයේ නැහැ. හැම රටකට ම සුවිශේෂ වූ සංස්කෘතියක් තියෙනවා. බටහිර රටවල එය අධිපතිවාදී සංස්කෘතියක්.

ජාත්‍යන්තරය දිනා ගැනීම පසෙකින් තබා මෛත්‍රිපාල කළ යුත්තේ නව ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කිරීමත් රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමත්. එය නොකර මැතිවරණ දේශපාලනයෙහි යෙදීම කිසිසේත් ම අනුමත කරන්න බැහැ.      



______________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු

2017-11-17