Main Logo

Tuesday 28 November 2017

වම දකුණ

වම දකුණ

අද විකල්ප දකුණ (Alt - right) යන්න ජාතිකවාදීන්ට යොදා ගැනීමට මෙරට ඇතැම් පඬියන් උත්සාහ දරණවා. මේ මෙරට කිසිම පඬියකු නිර්මාණය කළ සංකල්පයක් නො වෙයි. මේ සංකල්පයත් බටහිර නිර්මාණයක්. එය රොබර්ට් ස්පෙන්සර් නම් ඇමරිකානු ජනමාධ්‍යවේදියා 2008 දී පමණ හඳුන්වා දුන් සංකල්පයක් ලෙසයි කියැවෙන්නේ. ඒ සංකල්පය සාමාන්‍යයෙන් යෙදෙන්නේ සුදු ස්වොත්මවාදී අදහස්වලට. මෙරට පඬියන් ද මේ ස්වොත්තමවාදී කතා කියනවා. මේ අනුකාරක පඬියන් සියල්ල ගන්නේ බටහිරින්. ඔවුන් තරම් බටහිර දැනුම් ආධිපත්‍යයට හිස නමන නිවටයන් පිරිසක් මෙරට තබා ලෝකයේවත් නැතිව ඇති. විකල්ප දකුණ යන සංකල්පය ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමග නැවත ඉදිරියට ආවා. ඒත් එය දැන් එතරම් යෙදෙන්නේ නැහැ. මෙරට පඬියන් ඇතැම් විට බටහිර සංකල්ප යොදා ගන්නේ ඒ බටහිර අභාවයට යන විට. බටහිරින් අදහස් සංකල්ප ප්‍රවාද අපට ඒමට තවමත් අවුරුද්දක් දෙකක් යනවා.

වම දකුණ කියන සංකල්ප බටහිර ඇතිවුණේ ප්‍රංශ විප්ලවයත් සමග 1789 දී පමණ බව කියැවෙනවා. රටක ජනතාව අතර සමානත්වයට ගරු කරන ධුරාවලී සම්බන්ධකම්වලට විරුද්ධ සමාජ අසාධාරණත්වයට ලක් වූ පිරිස් වෙනුවෙන් පෙනී සිටින අය සාමාන්‍යයෙන් වම ලෙස සැලකෙනවා. මෙය මේ ලෝකයේ ඇති සාධාරණත්වයක් නො වෙයි. එය හුදෙක් වියුක්ත අදහසක් පමණයි. එය යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙන් ගලා එන ව්‍යාජයක් පමණයි. මේ අයට වම කියා කියන්නේ ප්‍රංශ මන්ත්‍රණ සභාවේ (තුන්වැනි තලය ලෙස සැලකුණ) ඔවුන් සභාපති පුටුවට වමෙන් වාඩි වූ නිසා! ඔවුන් රාජාණ්ඩුවට සාමාන්‍යයෙන් විරුද්ධ වුණා. අදත් ලංකාවේත් විරුද්ධ පක්‍ෂය පාර්ලිමේන්තුවේ වාඩිවෙන්නේ කතානායක අසුනට වමෙන්. එ ජා පක්‍ෂයත් ඔවුන් විරුද්ධ පක්‍ෂයේ සිටින විට වාඩිවන්නේ වමේ. ඒත් ඔවුන් දකුණේ. අද වැදගත් වන්නේ වාඩිවීමට වඩා තමන් දරණ අදහස්.

බටහිර රටවල ප්‍රංශ විප්ලවය දැඩි වෙනස්කම් ඇති කළා. ප්‍රංශ චින්තකයන් බටහිර පහළොස්වැනි සියවසේ ඇති වු චින්තන විප්ලවය ඉදිරියට ගෙන ගියා. එංගලන්තයත් මුල දී ඒ අදහස්වල හිටියා. බටහිර විිද්‍යාවේ වර්ධනයට එංගලන්තයෙන් විශාල දායකත්වයක් ලැබුණා. ඒ අතර ඔවුන් ගතානුගතික (කොන්සර්වෙටිව්) අදහස්වලින් මුලුමනින් ම කැඩුණේ නැහැ. ඔවුන් ප්‍රංශයේ මෙන් නොව රජ පවුල තබා ගත්තා. අදත් ඉංගිරිසි රජ පවුල යහතින් වැජඹෙනවා. එංගලන්තයේ කොන්සර්වෙටිව් පක්‍ෂය නමින් පක්‍ෂයකුත් තියෙනවා. ඒ පක්‍ෂය දකුණේ කියා හැඳින්වෙනවා. ලෝකයෙ බොහෝ ලිබරල්වාදීන් ගතානුගතිකයන්.

බටහිර ඊනියා වම නොපිළිගත්තත් එහි වම හා දකුණ අතර එතරම් වෙනසක් නැහැ. ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ ප්‍රතිඵලයක් ලෙස බිහි වු ඊනියා ජාත්‍යන්තරවාදී සුපිරිව්‍යුහ සංස්ථාපනයක් අද ලෝකයේ තියෙනවා. එහි ආධිපත්‍යය ලෝකය පුරා විහිදෙනවා. බටහිර යටත්විජිතවාදයත් එහි ප්‍රතිඵලයක්. අප මත බටහිර දැනුම් ආධිපත්‍යය පටවන්නේත් මේ චින්තනයෙන්. ඊනියා වම මේ චින්තනයට විරුද්ධ නැහැ. බටහිර දැනුම් ආධිපත්‍යයට වම විරුද්ධ නැහැ. මෙරට ඉන්න වඩාත් ම බටහිර දැනුම් ආධිපත්‍යයට යට වී සිටින අනුකාරක පිරිස වමේ බව පෙනී යනවා ඇති. මෙරට වම දකණටත් වඩා යටත්විජිත ගැතියි. එහෙත් ඔවුන් හිතන්නේ ඔවුන් යටත්විජිත විරෝධීන් කියායි.

බටහිර වමටවත් දකුණටවත් අද එහි නැගී එන ජාතිකත්වය තේරෙන්නේ නැහැ. ඒ ජාතිකත්වය සුපිරිව්‍යුහ සංස්ථාපනයෙන් කැඩෙන්න උත්සාහ කරනවා. බටහිර වමත් දකුණත් ජාත්‍යන්තරවාදී සුපිරිව්‍යුහ සංස්ථාපනයේ කොටස්. වම තවමත් ප්‍රංශ විප්ලවයේ අදහස් ඉදිරියට ගෙන යෑමට තැත් කරනවා. ප්‍රංශ විප්ලවය ක්‍රියාත්මක වුණෙත් ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ. එහි ඇත්තේත් ලෝක ආධිපත්‍යය පිළිබඳ අදහස. ඊනියා යථාර්ථය, වාස්තවිකවත්වය ආදී සංකල්ප මගින් කෙරෙන්නේ බටහිර දැනුම සත්‍ය බවත් එය ඊනියා යථාර්ථය නිරූපණය කරන බවත් කීම. මෙරට කසිකබල් වම මේ අදහස් පුනරුච්චාරණය කරනවා.

වම තව තවත් ප්‍රංශ විප්ලවයේ අදහස් ඉදිරියට ගෙන ගොස් ලෝක ආධිපත්‍යය තබා ගැනීමට උත්සාහ කරන අතර දකුණ ඒ අදහස්වල ම ඉඳිමින් ලෝක ආධිපත්‍යය තබා ගන්නවා. මේ කිසිවකු වෙනත් චින්තනයකට ඉඩක් දෙන්නේ නැහැ. විශේෂයෙන් ම වම වෙනත් චින්තනයකට ඉඩ දෙන්නේ නැහැ. බටහිර වමත් දකුණත් එකතු වී මෙරට සිංහල බෞද්ධ චින්තනයට විරුද්ධව කටයුතු කරනවා. ඔවුන් සියලු දෙනා ම සිංහල බෞද්ධ චින්තනයට විරුද්ධ ව  දෙමළ ජාතිවාදය නිර්මාණය කර එය සුරකමින් පෝෂණය කරනවා. එමගින් යුදෙව් ක්‍රිස්තියානි චින්තන ආධිපත්‍යය අප මත පටවනවා.

අප දෙමළ ජාතිවාදයට විරුද්ධ වන වීට මෙරට වම හා දකුණ අපට ජාතිවාදීන්, ස්වොත්තමවාදීන්, මිථ්‍යා මතධාරීන්, විද්‍යාවට විරුද්ධවූවන්, අවිද්‍යාව පතුරවන්නන් ආදී වශයෙන් නම් පටබඳිනවා. දැන් අනුකාරක වම කියන අලුත් ම නම විකල්ප දකුණ යන්නයි. අප මේ ඊනියා වම හොඳහැටි අඳුරනවා. ඔවුන් බටහිර දැනුම් ආධිපත්‍යය අප මත පටවන සිංහල බෞද්ධ විරෝධී යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික පිරිස්. ඔවුන් බටහිරයන් අනුකරණය කරමින් දෙමළ ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටිනවා. ඔවුන් ඊනියා ජාත්‍යන්තර සංස්ථාපනයේ සාමාජිකයන්, එහෙත් නොවැදගත් අනුකාරක සාමාජිකයන්. ඔවුන් අතින් කිසිවක් ඔවුන් තලු මරමින් වමාරන බටහිර දැනුමටවත් එකතු වී නැහැ.  ඔවුන් දන්නේ බටහිරින් අහුලා ගන්නා විකල්ප දකුණ වැනි බටහිරයන්ටවත් නොතේරෙන බටහිරත් කෙමෙන් ගිලිහී යන සංකල්ප වැමෑරීම පමණයි. මෙරට ප්‍රධාන ප්‍රශ්නයක් වී තිබෙන්නේ ඒකාබද්ධ විපක්‍ෂය ඔවුන්ගේ ඊනියා වාම මතවල ද පිහිටමින් මේ පුහු පඬියන්ගෙන් උපදෙස් ලබා ගැනීම.

අප බටහිර දකුණට මෙන් ම වමටත් විරුද්ධයි. අප ජාත්‍යන්තර සුපිරිව්‍යුහ සංස්ථාපනයට විරුද්ධයි. මේ විරුද්ධත්වයට වැඩියෙන් ම විරුද්ධ මෙරට වමයි. ඒ ඔවුන්ගේ බුද්ධිමය නිරුවත හෙළිවන බැවිනුත්. අප බටහිර අර්ථයකින් වමවත් දකුණවත් ඊනියා විකල්ප දකුණක්වත් නො වෙයි. අප බටහිර දැනුම් ආධිපත්‍යයට හිස නමන්නේ නැහැ. අප සමස්ත සුපිරිව්‍යුහ සංස්ථාපනයට ම විරුද්ධයි. අපට වමත් දකුණත් දෙක ම රටට ද්‍රෝහී දේශපාලනයක යෙදෙන්නන්.     

___________________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2017-11-28