Main Logo

Wednesday 15 November 2017

කැට්ස්නර් මා සහ ජනමාධ්‍ය

කැට්ස්නර් මා සහ ජනමාධ්‍ය

මා ලියු යථාර්ථය නිර්වචනය කිරීම පිළිබඳ ලිපිය පළවීමෙන් පසු එයට ප්‍රතිචාර ලෙස නලින් සුභසිංහ, මාධ්‍ය මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයට සම්බන්ධ ව භෞතික විද්‍යාවේ පදනම අධ්‍යයනය කරන රූත් කැට්ස්නර් සමග පැවැත්වූ සාකච්ඡා දෙකක් ඉදිරිපත් කර තිබුණා. කැට්ස්නර් යථාර්ථවාදිනියක්. එහෙත් මා සමග පැවැත් වූ විද්‍යුත්  මාධ්‍ය සංවාදයෙන් පසු ඇය ඒ බව සෘජුව ම පිළිගන්නේ නැහැ. කැට්ස්නර් තම පත්‍රිකාවකින් කර ඇත්තේ කලින් සියැට්ල්හි වොෂිංටන් විශ්වවිද්‍යාලයෙහි ක්රේමර් විසින් ඉදිරිපත් කර තිබූ අදහසක් වර්ධනය කිරීමක්.

මා මගේ ලෝකය ලිව්වේ ක්රේමර්ට කලින්. ක්වොන්ටම් යාන්ත්‍රිකයෙහි ප්‍රධාන ප්‍රශ්නය වී ඇත්තේ අධිස්ථාපන (සුපර්පසිෂන්) මූලධර්මයයි. එය සම්භාව්‍ය භෞතික විද්‍යාවේ අධිස්ථාපන මූල ධර්මයෙන් වෙනස්. ඒ බව මා එකල විදුසර පුවත්පතට ලියූ ලිපිවල සඳහන් කළා. මේ වෙනස ඉතා වැදගත්. මා එය මෙහි විස්තර කරන්නේ නැහැ. එහෙත් ඉතා කෙටියෙන් කියන්නේ නම් සම්භාව්‍ය අධිස්ථාපන මූලධර්මය රේඛීයයි. එයින් කියැවෙන්නේ රාශි (දෛශික) දෙකක එකතුව  රේඛීය ව සම්ප්‍රයුක්තයක් ලෙස ප්‍රකාශ කළ හැකි බවයි. උසස් පෙළ භෞතික විද්‍යාවේ හා සංයුක්ත ගණිතයේ සිට සිසුන්ට මේ අධිස්ථාපනය ඉගැන්වෙනවා.

එහෙත් ක්වොන්ටම් අධිස්ථාපන මූලධර්මය හාත්පසින් වෙනස් එකක්. එහි අධිස්ථාපන දෛශිකවල සම්ප්‍රයුක්තයක් ගැන කියැවෙන්නේ නැහැ. මේ දෛශික ඇත්තේත් වියුක්ත හිල්බට් අවකාශයෙහි මිස යුක්ලීඩිය අවකාශයෙහි නො වෙයි. හිල්බට් අවකාශයෙහි ක්වොන්ටම් විසඳුමක දෛශික රාශියක් තියෙන්න පුළුවන්. එහෙත් මේ දෛශිකවල සම්ප්‍රයුක්තයක් ගැන කතා කරන්න බැහැ. ක්වොන්ටම් අවස්ථාවක යම් ගුණයක් සඳහා දෛශික රාශියක් ඇති නමුත් ඒ ගුණය මැණීමේ දී ලැබෙන්නේ එක දෛශිකයකින් නිරූපණය වන අවස්ථාවක් පමණයි. ඒ අවස්ථාව ලැබීම සඳහා යම් සම්භාවිතාවක් තියෙනවා.

එතකොට අනෙක් දෛශිකවලට මොකද වෙන්නෙ? ඒවටත් නිරූපණය වීමට යම් සම්භාවිතාවක් තියෙනවා. එහෙත් දෛශික දෙකක් එකට නිරූපණය වන්නේ නැහැ. ඒ වුණත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අර සිදුරු දෙකේ පරීක්‍ෂණය. රිචඩ් ෆයින්මාන් තමාට නොතේරෙනවා කියූ පරීක්‍ෂණය. ඒ පරීක්‍ෂණයේ දී අවස්ථා දෙකක් එකට නිරූපණය වෙනවා ද? එහෙත් අපට එය නිරීක්‍ෂණය කිරීමට බැරි ද?

ඒ මදිවාට අයින්ස්ටයින් ක්වොන්ටම් නිරීක්‍ෂණ ගැන සඳහන් කළ දේ ද තියෙනවා. නීල්ස් බෝර්ට අනුව යම් ක්වොන්ටම් ගුණයක් නිරීක්‍ෂණය කිරීමට පෙර ඒ ගුණය පද්ධතියට (අංශුවට) නැහැ. අයින්ස්ටයින් ඇසුවේ අප හඳ බලන්නේ නැත්නම්, නිරීක්‍ෂණය කරන්නේ නැත්නම්, හඳ නැත් ද කියායි. මගේ ලෝකය ලියූ කාලයේ සිට අවුරුදු තිහකට වැඩි කලක් මා මේ ප්‍රශ්න සාකච්ඡා කර තියෙනවා.

කැට්ස්නර් කියන්නේ අර අනෙක් දෛශික යථාර්ථ විභව ලෙස සැලකිය හැකිය කියා. මේ අනෙක් දෛශික ගැන විවිධ අර්ථකථන දෙන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝනයක් සිදුරු දෙකෙන් ම යනවා කියන එක එක් අර්ථකථනයක්. එය ද්විකෝටික න්‍යාය සමග එකඟ නොවුණත් චතුස්කෝටිකය සමග එකඟ වෙනවා. ඊනියා යථාර්ථය ගැන මා බොහෝ දේ කියා තිබෙනවා. එහෙත් මට කණගාටු මෙරට භෞතික විද්‍යාඥයන් මා කියන කිසිවක් සතපහකට ගණන් නොගැනීමයි. කැට්ස්නර් තරම්වත් අප රටේ අය මට සවන් දෙන්නේ නැහැ.

අනෙක් අතට ජනමාධ්‍ය මේ ප්‍රශ්නය ගැන කිසි දිනෙක මා සමග සාකච්ඡාවක් කර නැහැ. මගේ මිතුරන් කිහිපවරක් මෙරට අති ප්‍රබල විද්‍යුත් ජනමාධ්‍යයක අයට ඒ ගැන කතා කළා. එහෙත් ඔවුන් ඒ පිළිබඳ වැඩ සටහනක් නිෂ්පාදනය කිරීමට කැමති වූයේ නැහැ. ඒ ජනමාධ්‍යයෙහි ප්‍රධානීන් අතර බටහිර විද්‍යාව ඉගෙන ගත් අයත් ඉන්නවා. එක්සත් රාජ්‍යවල ජනමාධ්‍ය කැට්ස්නර් සමග සාකච්ඡා කළාට මෙරට ජනමාධ්‍ය මා සමග එවැනි ප්‍රශ්න ගැන කතා කිරීමට කැමති නැහැ.

සමහරවිට මේ ජනමාධ්‍ය ප්‍රධානීන් හිතනවා ඇති මා දේශපාලන අරමුණු පමණක් ඇති ගේම්කාරයකු පමණක් ය කියා. මා අදෘශ්‍යමාන බලවේග ගැන කතා කරන පිස්සකු මෝඩයකු කියා. මේ ජනමාධ්‍යවල නිවේදකයන් පරීක්‍ෂණ, නිරීක්‍ෂණ හා නිගමනවලින් සමන්විත යැයි කියන ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් ගැන කතා කරන්නේ මහත් අභිමානයකින්. ඔවුන් කියන්නේ තමන් විචාරශීලී ව විචක්‍ෂණශීලි ව ගවේෂණාත්මක ව කරුණු ඉදිරිපත් කරන බව. විද්‍යාව පට්ටපල් බොරු යැයි කියන නිරීක්‍ෂකයාගෙන් තොර යථාර්ථයක් නැතැයි කියන මා වැරදි බව ඒත්තු ගැන්වීමටවත් ඔවුන්ට වුවමනාවක් නැහැ. සමහරවිට ඔවුන් හිතනවා ඇති එසේ ඒත්තු ගැන්වීමට කටයුතු කිරීමත් ගුවන් කාලය අපතේ යැවීමක් කියා!


යථාර්ථය නැත්නම් බටහිරයන්ට ප්‍රශ්නයක් වෙනවා. ඔවුන්ගේ ලෝකවල යථාර්ථය වැදගත් අංගයක්. සම්භාව්‍ය යාන්ත්‍රික විද්‍යාවේ රාමු මාරු කිරීමෙන්, ඊනියා අවස්ථිති නොවන රාමු සැලකීමෙන් ලැබෙන බල යථාර්ථවාදී (ඇත්ත - රියල්) බල ලෙස හැඳින්වෙන්නේ නැහැ. ගුරුත්වාකර්ෂණයත් ඇත්ත බලයක් නොවන බව අයින්ස්ටයින් පෙන්නුවා. දසුන් තාරක මේ සම්බන්ධයෙන් ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙහි භෞතික විද්‍යාඥ සස්කින්ඩ්ගේ දේශනයක හඬ පටිය එවා තිබෙනවා. එහි සස්කින්ඩ් යථාර්ථ (ඇත්ත)  බල ගැන කියා ප්‍රශ්න මැද ඒ යථාර්ථ කොටස ඉල්ලා අස්කර ගන්නවා. බටහිර ජනමාධ්‍ය කැට්ස්නර් සමග සාකච්ඡා කරන්නේ ඇය ඊනියා යථාර්ථයට විභවයන් ද එකතු කරන නිසා. මෙරට පඬියන්ටත් යථාර්ථය වැදගත්. ඔවුන් යථාර්ථවාදීව කරුණු ඉදිරිපත් කරන අය. ඔවුන්ට යථාර්ථවාදී නැති මා සමග මොන සාකච්ඡා ද? යථාර්ථවාදී නොවන්නන් මෝඩයන් වෙන්න ඇති. 

______________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2017-11-15