Main Logo

Wednesday 10 September 2014

අමරතුංග මහතා පොපර් ආරක්‌ෂා කරන්නේ කෙසේ ද?



ඩී එස් සී උපාධිධාරි සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා මා අගොස්තු 20, 27 හා සැප්තැම්බර් 3 වැනි දිනවල ඇසූ ප්‍රශ්නවලට සැප්තැම්බර් 10 වැනි දිනවත් පිළිතුරු දේ යැයි බලාපොරොත්තු වෙමි. පළමු කොට ම ඒ මහතා තමා සත්‍යය යනුවෙන් සලකන්නේ කුමක් දැයි පැහැදිලි කර ඒ මත පදනම් ව පිළිතුරු ඉදිරිපත් කරන්නේ නම් මැනවි. සත්‍යය යනු කුමක් ද යන්න පිළිබඳ ව මගේ අර්ථකථනයක් ඇත. එහෙත් එය පැහැදිලි කිරීමට පෙර අමරතුංග මහතා සත්‍යය යනුවෙන් අදහස් කරන්නේ කුමක් දැයි දැනගනු කැමැත්තෙමි. එසේ වුවත් ඒ සඳහා අමරතුංග මහතාට දීර්ඝ කාලයක් ලබාදීමට මා සූදානම් නැත. 

පසුගිය ජූනි 27 වැනි දා මහනුවර දී පවත්වන ලද රැස්වීමේ රූප පටිය එම රැස්වීම සංවිධානය කළ විද්‍යා සංවාද කුලකයෙන් මට ලැබී ඇත. එහි ගුණාත්මක බව අඩුවුව ද එය නැරඹීමට ඒ බාධාවක් නො වේ. එය කාලය වෙබ් අඩවියෙන් (www.kalaya.org) ද පහත සඳහන් සබැඳිවලින් ද ලබාගත හැකි ය. 

https://www.youtube.com/watch?v=gPFcJxO7nyI

https://www.youtube.com/watch?v=AIFguCIVIHg#t=27

එහි මහාචාර්ය කීර්ති තෙන්නකෝන් මහතා ගුරුත්වාකර්ෂණය හා සාධාරණ සාපේක්‍ෂතාවාදය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අදහස් අවශ්‍ය අයකුට අසා ගැනීමට පටිගත වී ඇත. එහෙත් අමරතුංග මහතාට නම් ඒ එතරම් ප්‍රයෝජනයක් නොවනු ඇත්තේ වියුක්තය තේරුම් ගැනීමේ දී ඒ මහතා දක්වන අදක්‍ෂතාව හේතුකොටගෙන ය. කෙසේ වුවත් තෙන්නකෝන් මහතාට අනුව අමරතුංග මහතා පමණක් නොව බටහිර භෞතික විද්‍යාව ගැඹුරෙන් හැදෑරීමට තරම් ගණිත දැනුමක් නැති කාලෝ ෆොන්සේකා මහතා වැන්නන් ද පවසන ආකාරයෙන් නොව අයින්ස්ටයින් තම සාධාරණ සාපේක්‍ෂතාවාදයෙන් කර ඇත්තේ නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය වර්ධනය කිරීමක් නොවන බව පැහැදිලි වනු ඇත. මෙරට අභාග්‍යයකට මෙන් බටහිර විද්‍යාවේ දර්ශනය ගැන කතාකරන්නෝ වියුක්තය ගැන එතරම් අවබෝධයක් නැති බටහිර ජෛවීය විද්‍යාවන් හැදෑරුවෝ ය. තෙන්නකෝන් මහතාට අනුව ද අයින්ස්ටයින්ගේ හා නිවුටන්ගේ සංකල්පීය පද්ධති එකිනෙකට වෙනස් ය. එකිනෙකට වෙනස් පද්ධති දෙකක් එකක් අනෙකෙහි වර්ධනයක් ලෙස දැකිය හැක්කේ ඒ පද්ධති දෙකක් බවවත් තේරුම් ගැනීමට නොහැකි මහාචාර්යවරුන්ට ය!    
  
බටහිර විද්‍යාව පට්ටපල් බොරුවකි යන්න පදනම් වන්නේ බොරුව යනු කුමක් ද යන්න මත, එනම් ඇත්ත යනු කුමක් ද යන්න මත බව කීම අවශ්‍ය නො වේ. මා පදනම් වන්නේ මා දන්නා බුදුදහම හා සිංහල බෞද්ධ සංස්කෘතිය මත ය. එහි දී මා ද්වයතානුපස්සනා සූත්‍රය යොදා ගන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියෙන් මා ලබාගන්නා උදාහරණයක් ලෙස ය. අමරතුංග මහතා සිතා සිටින්නේ ඔහු මා එතැනට තල්ලු කර දැමූ බව ය. ඔහුගේ අනෙක් බොහෝ සිතිවිලි මෙන් ම ඒ සිතිවිල්ල ද වැරදි ය. මම කලක සිට සියළු දැනුම් බොරු බවත් ඒ අවිද්‍යාව නිසා අප විසින් නිර්මාණය කෙරෙන  බවත් පවසමි. කෙසේ වුවත් අමරතුංග මහතා සත්‍යය යනු කුමක් දැයි පැහැදිලි කිරීමෙන් පසුව ඒ පිළිබඳ ව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ හැකි ය. 

මා ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දීම කල්තබා අමරතුංග මහතා කුන් හා ෆෙයරාබන්ඩ් ගැන සඳහන් කරන්නේ මා ඔවුන්ගේ අදහස් මත යැපෙන්නේ යැයි අමරතුංග මහතා විශ්වාස කරන නිසා විය හැකි ය. එහෙත් මා කලින් ද කියා ඇති පරිදි ඔවුන්ගේ ඇතැම් අදහස් සමග මා එකඟ වුව ද මා පදනම් වන්නේ මා දන්නා බුදුදහම, එනම් මට සාපේක්‍ෂව මා නිර්මාණය කර ඇති බුදුදහම මත ය. මා දන්නා බුදුදහමේ ඊනියා දර්ශනයක් නැත. බෞද්ධ දර්ශනය (Buddhist Philosophy)  යනු බටහිර අනුකාරක ඇතැම් බෞද්ධ යැයි කියාගන්නා උගතුන්ගේ ව්‍යාජ කතාවක් පමණකි. බුදුදහමෙහි උත්සාහ කරන්නේ ඊනියා දැක්ම (දර්ශනය) නැතිකිරීම ය. ඤාණය, අඤාණ බවට පත්කිරීම ය. කූන්ගේ හෝ ෆෙයරාබන්ඩ්ගේ හෝ පශ්චාත්නූතනවාදීන්ගේ හෝ දර්ශන සිංහල බෞද්ධයකු වන මම කෙවිටකින් ගත් ගැරඬි හැවක් මෙන් විසි කරමි. 

පශ්චාත්නූතනවාදීන් කියන ආකාරයේ පශ්චාත්නූතනත්වයක් ඇතැයි මම නො සිතමි. ඔවුන් පශ්චාත්නූතනත්වයක් යැයි කියන්නේ නූතනත්වයේ ම වර්ධනයකට ය. අද සිදුවන්නේ පෞද්ගලිකත්වය හා පංචෙන්ද්‍රිය පිනවීම ඝාතීය ව (exponentially) වැඩිවීමකි. ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ඉලෙක්ට්‍රොනික තාක්‍ෂණයේ වර්ධනයක් ද දේශපාලන හා ආර්ථික ආධිපත්‍ය එංගලන්තයෙන් ඇමරිකාවට මාරුවීමක් ද දැකහත හැකි ය. එහෙත් එහි නූතනත්වයෙන් කැඩීමක් නො වී ය.  නූතනත්වයේ ප්‍රතිඵලයක් වූ බටහිර විද්‍යාව  ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසු වෙනස් වී නැත. එහි සුසමාදර්ශී වෙනසක් ක්වොන්ටම් භෞතිකයත් සමග ඇතිවුවත් බටහිර විද්‍යාඥයෝ ක්වොන්ටම් භෞතිකය ඊනියා යථාර්ථයක් ලෙස නොසලකති. ඔවුහු තවමත් අයින්ස්ටයිනීය සුසමාදර්ශයේ එල්බගෙන සිටිති. බටහිර භෞතික විද්‍යාඥයන්ට අනුව ක්වොන්ටම් භෞතිකය යනු ගණනය කිරීමට යොදා ගන්නා අවියක් පමණකි. ඔවුන් ම කියන ආකාරයට ඔවුන්ට ක්වොන්ටම් භෞතිකය නො තේරෙයි. එයට හේතුව බටහිරයන් තවමත් නූතනත්ව චින්තනයේ ගැලී සිටීම ය. ක්වොන්ටම් සුසමාදර්ශය ද ක්‍රියාත්මක වන්නේ බටහිර යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි ය.    

පසුගිය සතියේ අප ඉතා කෙටියෙන් පැවසූ පරිදි මට නැතත් අමරතුංග මහතාට නම් අවසාන වශයෙන් පිහිටට එන්නේ ෆෙයරාබන්ඩ් ය. ඒ බව තරමක් පැහැදිලි කළයුතුව ඇත්තේ එසේ කෙටියෙන් කියන දේ අමරතුංග මහතාට කෙසේවත් නොතේරෙන බැවිනි. අමරතුංග මහතාට අනුව කවදත් කොතැනකත් තිබුණේ එකම විද්‍යාවකි. ඔහුට අනුව බටහිර විද්‍යාව පහළොස්වැනි සියවසෙන් පසුව ඇරඹි දැනුම් පද්ධතියක් නො වේ. ඔහුගේ දැනුම අනුව සිංහල වෙදකම ද බුදුදහම ද ආනුභාවික (empirical) දැනුම් පද්ධති වෙයි. බටහිර විද්‍යාව අනෙක් විද්‍යාවන්ගෙන් වෙන් නොවන්නේ නම් එයට ආවේණික වූ විද්‍යා දර්ශනයක් (Philosophy of Science) තිබිය නො හැකි ය. අමරතුංග මහතාට අනුව බටහිර වෛද්‍ය විද්‍යාවටත්, ආයුර්වේදයටත්, සිංහල වෙදකමටත් තිබිය හැක්කේ එකම දර්ශනයකි. එය අන් කිසිවක් නොව ඊනියා ආනුභවික කතන්දරය යැයි සිතමි. 

එසේ වුවත් බේකන්ගේ කාලයේ සිට ම බටහිර දාර්ශනිකයෝ අනෙක් දැනුම් පද්ධතීන්ගෙන් වෙන්වීමක් පෙන්නුම් කරන වෙනසක් බටහිර විද්‍යාවේ දුටුවෝ ය. බටහිර දාර්ශනිකයෝ මේ වෙනස් දර්ශනය හැඳින්වීමට විද්‍යාවේ දර්ශනය යන නම ද යොදා ගත්හ. ඔවුන් එය විද්‍යාවේ දර්ශනය ලෙස නම් කළේ ඔවුන්ට අනුව වෙනත් විද්‍යාවක් නොතිබූ බැවිනි. එහෙත් අපි ඒ බටහිර විද්‍යාවේ දර්ශනය ලෙස හඳුන්වමු. අප එසේ කරන්නේ අපට සාපේක්‍ෂ ව බටහිර විද්‍යාව හැරෙන්නට වෙනත් විද්‍යා හා දැනුම් පද්ධති  තිබෙන බැවිනි. 

අමරතුංග මහතාට සංගත ව පරස්පරවලින් තොරව යමක් කියාගත නො හැකි ය. ලෝකයේ කවදත් කොතැනත් තිබුණේ එකම විද්‍යාවක් යැයි කියන අමරතුංග මහතාට අනුව බටහිර විද්‍යාව අනෙක් දැනුම් පද්ධතීන්ගෙන් වෙනස් යැයි කියමින් බටහිර විද්‍යාවට වෙන ම දර්ශනයක් ඇතැයි කියන, බේකන් පොපර් පමණක් නොව කූන් ද වැරදි විය යුතු ය. එහෙත් අමරතුංග මහතා කූන්ට විරුද්ධව පොපර් ආරක්‍ෂා කරයි. වෙනත් අයුරකින් කියන්නේ නම් අමරතුංග මහතාට අනුව පොපර් නිවැරදි ය. පොපර් නිවැරදි ය යන්නෙන් කියැවෙන්නේ කුමක් ද? 

ඒ අන්කිසිවක් නොව අමරතුංග මහතාට අනුව පොපර්ගේ බටහිර විද්‍යාව පිළිබඳ දර්ශනය නිවැරදි බව ය. පොපර්ගේ බටහිර විද්‍යාව පිළිබඳ දර්ශනය නිවැරදි වීමට නම් පළමුව බටහිර විද්‍යාව යනුවෙන් දැනුම් පද්ධතියක් අනෙක් දැනුම් පද්ධතීන්ගෙන් වෙන් වී පැවතිය යුතු ය. වෙනත් අයුූරකින් කියන්නේ නම් බටහිර විද්‍යාව අනෙක් විද්‍යාවන්ගෙන් වෙන් වී පැවතිය යුතු ය. අමරතුංග මහතා කටින් කුමක් කීවත්, එයින් කියැවෙන්නේ ලෝකයේ එතෙක් පැවති දැනුම් පද්ධතීන්ගෙන් බටහිර විද්‍යාව වෙනස්වන බව ය. එනම් ලෝකයේ කවදත් කොතැනත් එකම විද්‍යාවක් නොතිබි බව ය. අමරතුංග මහතා තමන්ට ම විරුද්ධව තර්ක කරන්නේ සංගත බව යන්න ඒ මහතාගේ ශබ්ද කෝෂයෙහි නැති බැවිනි. අමරතුංග මහතා කළ යුතුව තිබුණේ කූන්ට විරුද්ධව පොපර් ආරක්‍ෂා කිරීම නොව පොපර්, කූන් පමණක් නොව බේකන් ද විවේචනය කිරීම ය. එහෙත් බේකන්ගේ උද්ගමනය ඊනියා ආගමන ශාස්ත්‍රය ලෙස දකින අමරතුංග මහතාට කළ හැක්කේ පොපර් ආරක්‍ෂා කිරීම ය. එමගින් ඔහු බටහිර විද්‍යාව යනුවෙන් වෙන ම විද්‍යාවක්, දැනුම් පද්ධතියක් ඇති බව පිළිගනියි!

බටහිර විද්‍යාව යනුවෙන් අන් දැනුම් පද්ධතීන්ගෙන් වෙන් වූ දැනුම් පද්ධතියක් නැති බව පවසන්නේ ෆෙයරාබන්ඩ් ය. ෆෙයරාබන්ඩ්ට අනුව බටහිර විද්‍යාවේ අනෙක් දැනුම් පද්ධතිවල නොමැති ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක් නැත. ඔහු ඉතා පැහැදිලිව කරුණු සහිත ව පෙන්නුම් කරන්නේ ගැලීලියෝ විසින් හඳුන්වාදෙන ලද ඊනියා පර්යේෂණාත්මක ක්‍රමයක් නොමැති බව ය. ඔහු විධික්‍රමයට එරෙහිව (Against Method)  පොතෙහි සඳහන් කර ඇති කරුණුවලට අමතර ව අපට පහත සඳහන් කරුණු ද ප්‍රකාශ කළ හැකි ය.

බුදුන් වහන්සේගේ සමයෙහි ද බමුණන් ආත්මයක් ඇත් ද නැත් ද යන්න දැනගැනීම සඳහා පරීක්‍ෂණ  කර ඇත. බමුණෝ ශුද්‍රයකු මරා සිරුරෙන් යමක් පිටවී යන්නේ දැයි නිරීක්‍ෂණය කිරීමට වැයම් කළහ. ඔවුන්ට අවශ්‍ය වූයේ සිරුරෙන් යමක් (ආත්මය) පිටවී යන බව පෙන්වා එමගින් ආත්මයක් ඇතැයි නිගමනය කිරීම ය. එහෙත් ඔවුන්ගේ අවශ්‍යතාව ඉටු නො වී ය. ඔවුන්ට සිරුරෙන් යමක් පිටවී යන බව නිරීක්‍ෂණය කිරීමට නො හැකි විය. ඒ පරීක්‍ෂණයෙන් හා නිරීක්‍ෂණයන් නිගමනය කළ හැක්කේ කුමක් ද?  

පරීක්‍ෂණය හා නිරීක්‍ෂණය නිවැරදි යැයි උපකල්පනය කළහොත් එයින් කියැවෙන්නේ එක්කෝ ආත්මයක් නැති බව ය. එසේත් නැතිනම් පුනබ්භවයක් නැති බව ය. ඇතැම් විට අපට දැනට ගෝචර නොවන සිතාගත නොහැකි නිගමන ද ඉන් ලබාගත හැකි වනු ඇත. අමරතුංග මහතා හා ඔහුගේ බුද්ධිමය විරයන් වන ගුණදාස අමරසේකර, මාර්ටින් වික්‍රමසිංහ ආදීන් ඉන් නිගමනය කරනු ඇත්තේ පුනබ්භවයක් නැති බව ය. ඔවුන් එසේ කරනු ඇතැයි හෝ කරන්නට ඇතැයි මා සිතන්නේ ඒ නිගමනය ඔවුන්ගේ මිථ්‍යාදෘෂ්ටිය සමග එකඟ වන බැවිනි. 

ඇරිස්ටෝටල් හෝ එකල සිටි වෙනත් අයකු හෝ බරෙන් වෙනස් වස්තු දෙකක් එක ම උසකින් එකම මොහොතෙහි අතහැරියහොත් වඩා බර වස්තුව බරෙන් අඩු වස්තුවට කලින් පොළොවට වැටෙන බව නිගමනය කළේ හුදු හිතළුවක් ලෙස විය නො හැකි ය. එය උද්ගමනයෙන් (අමරතුංග මහතාගේ ආගමන ශාස්ත්‍රයෙන්) ලබාගත්තක් ලෙස සැලකිය හැකි ය. අමුතුවෙන් පරීක්‍ෂණ නොකළත්, නිදෑල්ලේ වැටෙන වස්තු නිරීක්‍ෂණය කරන අයකුට කිව හැක්කේ වඩා බර වස්තුව ඉක්මනින් පොළොවට වැටෙන බව ය. පොල් ගෙඩියක් හා පොල් කොළයක් එක්විට එක් උසකින් අත්හැරියහොත් පොල් ගෙඩිය පොල් කොළයට ඉක්මණින් පොළොවට වැටෙන බව අපි නිරීක්‍ෂණය කරමු.

මෙවැනි උදාහරණ රාශියකින් පසුව අපට උද්ගමනයෙන් කිව හැක්කේ වඩා බර වස්තුව ඉක්මණින් පොළොවට වැටෙන බව ය. අද ජීවත්වන පඬියකු වායු ප්‍රතිරෝධය නිසා පොල් කොළය පසුව පොළොවට වැටෙන බව කියනු ඇත. එහෙත් ඇරිස්ටෝටලීය ගතිකයෙහි (සුසමාදර්ශයෙහි) වායු ප්‍රතිරෝධයක් නො වී ය. ඇරිස්ටෝටලීය ප්‍රතිඵලය, එනම් වඩා බර වස්තුව ඉක්මණින් පොළොවට වැටීම නිරීක්‍ෂණයෙහි හා උද්ගමනයෙහි ප්‍රතිඵලයකි. ඇරිස්ටෝටලීය සුසමාදර්ශය වාතය සහිත මාධ්‍යයක සිදුවන චලිතය සඳහා විය. අදාළ නිරීක්‍ෂණය හුදු හිතළුවක් නොවී ය යන්න මෙහි දී අවධාරණය කළ යුතු ය. වෙනත් වචනවලින් කිවහොත් ගැලීලියෝට බොහෝ කලකට පෙර ද නිරීක්‍ෂණ, පරීක්‍ෂණ (බමුණන්ගේ ආත්ම පරීක්‍ෂණය), නිගමන ආදිය විය. 

එසේ නම් ගැලීලියෝ කළේ කුමක් ද? ඔහු කළේ සුසමාදර්ශී වෙනසකි. අමරතුංග මහතාට සුසමාදර්ශය යනු කුමක් දැයි නොතේරෙන බැවින් සුසමාදර්ශී වෙනසක් (paradigm shift) යන්න කෙසේවත් නො තේරෙයි. මා දන්නා තරමින් ෆෙයරාබන්ඩ් ඒ වගක් නො කියයි. ඇරිස්ටෝටලීය ගතිකය වායු මාධ්‍යයක සිදු වුවක් විය. ගැලීලියෝ එය වෙනස්කර රික්තයක සිදුවන චලිතය ගැන කතා කළේ ය. බරෙන් අසමාන වස්තු එක්වර එක් උසකින් මුදාහළ විට එක්විට පොළාවට වැටෙන්නේ වාතය සහිත මාධ්‍යයක නොව රික්තයක ය. මෙය එකල සුසමාදර්ශී වෙනසක් විය. 

එහෙත් ෆෙයරාබන්ඩ් මතු කරන්නේ වෙනත් ප්‍රශ්නයකි. ගැලීලියෝ තම ඊනියා පරීක්‍ෂණය සඳහා පීසා නුවර ඇළවෙන කුළුණ වටා රික්තයක් නිර්මාණය නො කළේ ය. අද පවා එළිමහනේ රික්තයක් නිර්මාණය කළ හැක්කේ කාහට ද? ගැලීලියෝ රික්තයක් නිරමාණය නොකර රික්තයක සිදුවන චලිතය සඳහා පරීක්‍ෂණ කළේ ය! ඔහු තම ඊනියා පර්යේෂණය සඳහා තොරාගත්තේ කොළයක් හා ගෙඩියක් නොව එකම වර්ගයේ වස්තු දෙකකි. යම් අයූරකින් ඔහු කොළයක් හා ගෙඩියක් තෝරා ගත්තේ නම් ඔහුගේ නිරීක්‍ෂණය වනු ඇත්තේ ගෙඩිය හා කොළය එක්වර පොළොවට වැටීම නොව ගෙඩිය කොළයට පෙර පොළොවට වැටීම ය. එවිට ඔහුට ලැබීමට තිබූ ප්‍රතිචාරය කුමක් ද? 

ගැලීලියෝ රික්තයක් නිර්මාණය නොකර රික්තයක කරන පරීක්‍ෂණයක් සිතෙන් මවාගැනීමට පීසා නුවර ඇළවෙන කුළුණ වටා සිටි අයට කියා සිටියේ ය. ඔහු ඉන්පසු තමන්ට අවශ්‍ය  ප්‍රතිඵලය ලබාගනු වස් සුදුසු පරීක්‍ෂණ භාණ්ඩ තෝරාගත්තේ ය. මෙය වංචාවක් මිස වෙනත් දෙයක් නො වේ. බටහිර විද්‍යාවට ඊනියා පර්යේෂණාත්මක ක්‍රමය හඳුන්වාදුන්නේ යැයි කියන පරීක්‍ෂණය වංචා සහගත උපක්‍රමයක් මිස වෙනත් දෙයක් නො වේ. 

ෆෙයරාබන්ඩ් තම කෘතිවලින් කරන්නේ බටහිර විද්‍යාවේ ඇති මෙවැනි තැන් හෙළිදරවු කිරීම ය. එයින් කිපෙන ඇතැම්හු භූමිතෙල් ගෑවුණු ගැරඬින් මෙන් හැසිරෙති. ෆෙයරාබන්ඩ්ගේ හෙළිදරවු කිරීම් බොහෝ බටහීිර විද්‍යාඥයන්ට දරාගත නො හැකි ය. එබැවින් ඔවුහු ෆෙයරාබන්ඩ් ට පරිභව කරති. පැහැදිලි ව ම තමන්ගේ ශක්ති ප්‍රමාණයට ෆෙයරාබන්ඩ් වටහා ගන්නා අමරතුංග මහතා ඔහුට ආක්‍රොශ පරිභව මුඛයෙන් කතාකරයි. ඒ අතර අමරතුංග මහතා ම කියන්නේ ෆෙයරාබන්ඩ් ඇමරිකාවේ වැදගත් යැයි සැලකෙන විශ්වවිද්‍යාල කිහිපයක ම සේවය කර ඇති බව ය. ඒ විශ්වවිද්‍යාල ෆෙයරාබන්ඩ්ට තනතුරු ලබා දී ඇත්තේ ඒවාහි ද මනස විකෘති වුවන් සිටි නිසා දැයි අමරතුංග මහතා කියන්නේ ද?   

එසේ වුවත් ෆෙයරාබන්ඩ්ගේ අදහස් වැදගත් වන්නේ අමරතුංග මහතාට ය. ලෝකයේ කවදත් කොතැනත් තිබුණේ  එකම විද්‍යාවක් යැයි අමරතුංග මහතා කියන විට ෆෙයරාබන්ඩ් කියන්නේ බටහිර විද්‍යාවට විශේෂිත වූ විධික්‍රමයක් නැති බව ය. වෙනත් අයුරකින් කියන්නේ නම් ෆෙයරාබන්ඩ්ට අනුව බටහිර විද්‍යාව හා අනෙක් විද්‍යාවන් අතර වෙනසක් නැත. මෙය එකඟ වන්නේ කවදත් කොතැනත් තිබුණේ එකම විද්‍යාව යන්න සමග ය. එහෙත් ෆෙයරාබන්ඩ් එතැනින් නොනවතින බව අමරතුංග මහතා කියනු ඇත. ෆෙයරාබන්ඩ්ට අනුව විද්‍යාව හා මිථ්‍යාව අතර ද වෙනසක් නැතැයි ද එහෙත් තමන් විද්‍යාව මිථ්‍යාවෙන් වෙන් කරන බව ද  අමරතුංග මහතා අපට කියනු ඇත. 

එහෙත් ප්‍රශ්නය වනුයේ විද්‍යාව මිථ්‍යාවෙන් වෙන් කරන ආකාරය අමරතුංග මහතා නො කීම ය. විද්‍යාව යනු කුමක් ද, මිථ්‍යාව යනු කුමක් ද, සත්‍යය යනු කුමක් ද, බොරුව යනු කුමක් ද යන ප්‍රශ්නවලට අමරතුංග මහතා දෙන පිළිතුරු කවරේ ද? ඒ ප්‍රශ්නවලට මට පිළිතුරු නැතිවා නො වේ. එහෙත් පළමුව ඒ සම්බන්ධයෙන් අමරතුංග මහතා කියන්නේ කුමක් දැයි දැනගනු කැමැත්තෙමි.

කෙසේ වෙතත් පොපර් අසත්‍යකරණ ප්‍රවාදය (Theory of falsification) ඉදිරිපත් කළේ බටහිර විද්‍යාව අනෙක් දැනුම් පද්ධතීන්ගෙන් වෙන්කර ගැනීමට ය. මෙහි දී කිවයුතු ප්‍රධාන ම කරුණ නම් අමරතුංග මහතා කූන්ට එරෙහිව පොපර් ආරක්‍ෂා කළ ද,  පොපර් බටහිර විද්‍යාව හැරෙන්නට වෙනත් විද්‍යාවන් මිථ්‍යා ලෙස සලකන බව ය. අමරතුංග මහතා පොපර් ආරක්‍ෂා කරන කල ඔහු දැනුවත් ව හෝ නොදැනුවත් ව හෝ වෙනත් විද්‍යාවන් මිථ්‍යා ලෙස සලකයි. එනම් අමරතුංග මහතා ලෝකයේ කවදත් කොතැනත් තිබුණේ එකම විද්‍යාවක් ය යන මතය ප්‍රතික්‍ෂෙප කරයි! අසංගත ව සිතීමේ විපාක අමරතුංග මහතාට දිට්ඨ ධම්ම වෙදනිය වශයෙන් ම ලැබී ඇත. 

පොපර් කියන්නේ යම් දැනුම් පද්ධතියක් විද්‍යාවක් වීමට නම් එහි ප්‍රවාද අසත්‍යකරණයට ලක්කිරීමට හැකි විය යුතු බව ය. ඔහුට අනුව අනෙක් දැනුම් පද්ධතීන් මිථ්‍යා වෙයි. ඔහු මාක්ස්වාදය හා ජ්‍යොතිෂය මිථ්‍යා ලෙස සලකයි. එපමණක් නොව පශ්චාත්නූතනවාදීන් ද ඇතැම් බටහිර වෛද්‍යවරුන් ද විද්‍යාවක් ලෙස සලකන මනෝ විශ්ලේෂණය පොපර්ට අනුව මිථ්‍යාවන් ය.  පොපර් කියන්නේ මේ දැනුම් පද්ධතීන්හි ප්‍රවාද හා නිගමන අසත්‍යකරණයට ලක් කළ නොහැකි බව ය. අප මෙය කෙටියෙන් වුවත් විශ්ලේෂණය කළ යුතු ය. එහෙත් ඒ සියල්ලට පළමුව අප අසත්‍යය යනු කුමක් දැයි තේරුම් ගත යුතු ය. අමරතුංග මහතා අසත්‍යය යන්නෙන් අදහස් කරන්නේ කුමක් දැයි ඉක්මණින් ම දැනගනු කැමැත්තෙමි. 


නලින් ද සිල්වා

2014-09-10