Main Logo

Friday 17 July 2020

ජාතිකත්වය ජයග්‍රහණය කරවමු

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1        3      4    5   6   7    8    9




ජාතිකත්වය ජයග්‍රහණය කරවමු

මැතිවරණ කොමිසම නාහෙන් අඬන සෞඛ්‍ය නීති රීති අඩංගු ගැසට් නිවේදනය හෙට අනිද්දා  පිටවෙනවා කියනවා. ඉන් පසුව මැතිවරණ කොමිසම මොකක් කියයි ද දන්නෙ නැහැ. මැතිවරණය කල් දමා ගැනීමට වුවමනා රනිල් සජිත් අනුර ත්‍රිත්වයට පමණක් නො වෙයි. ඔවුන් නායකත්වය දෙන පක්‍ෂ තුනෙන් එකක්වත් ජාතිකවාදී පක්‍ෂ නො වෙයි. ඔවුන්ට ඇත්තේ විජාතික දර්ශන මතවාද ප්‍රතිපත්ති ආදිය. 


මේ මැතිවරණය ජාතිකත්වය හා විජාතිකත්වය අතර තවත් සටනක්. දෙමළ ජාතික සංධානය විජාතික මතවාද රැගත් පක්‍ෂයක් බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. රනිල්ගෙ එක්සත් ජාතික පක්‍ෂයත් සජිත්ගෙ සමගි ජන බලවේගයත් අනුර කුමාරගෙ ජාතික ජන බලවේගයත් විජාතිකත්වය නියෝජනය කරන පක්‍ෂ. පොදුජන පෙරමුණු සංධානය ජාතිකත්වය නියෝජනය කරන සංධානයක්. ඒකෙන් කියන්නෙ නැහැ ඒ සංධානයෙ සාමාජිකයන් සියලු  දෙනා ජාතිකත්වයෙ කියලා.

ඒ වගේ ම ඒකෙන් කියන්නෙ නැහැ ඒ සංධානයෙ ඉන්නෙ එහෙම නැත්නම් එයට ආධාර කරන්නෙ එයට හිතවත් අය සියල්ලන් ම ජාතිකත්වයේ සජාතීය වශයෙන් ඉන්නවා කියා. එහි ජාතිකත්වයේ නැති අයත් ඉන්නවා.  ලෝකයේ කිසිම දේශපාලන පක්‍ෂයක් හරි සංධානයක් හරි සජාතීය මිනිසුන්ගෙන් සමන්විත වෙන්නෙ නැහැ. ඒ වගේ ම සංධානයකට හරි පක්‍ෂයකට හරි හිතවත් අයත් සජාතීය නො වෙයි.

වම්මු මහත් ගෞරවයෙන් සලකන බෝල්ෂෙවික් පක්‍ෂයෙ සජාතීත්වය කොහොම ද? ඒක මා කියන්න ඕන නැහැ. තවමත් ඔය ඉන්නවා කියන ස්ටැලින්වාදීන්ගෙන් හා ට්‍රොට්ස්කිවාදීන්ගෙන් අහන්න. අර ට්‍රොට්ස්කිට පහර දීමේ දී යොදා ගත් අයිස් පොරොව ගැන නම් අහන්න එපා. එය තවමත් මෙක්සිකෝවේ තියෙනවා ද නැත්නම් පැරණි සෝවියට් දේශයට ආපසු ගෙන ගියා ද? 

සමගි ජන බලවේගයෙ ඉන්න අයට විජාතිකත්වයට ඇරෙන්න තවත් පොදු දෙයක් ඇත්නම් ඒ රනිල් විරෝධයයි. ඔවුන් අතර වෙනස්කම් තියෙනවා. රංජිත් මද්දුම බණ්ඩාර හා සජිත් අතරත් වෙනස්කම් තියෙනවා. එ ජා පක්‍ෂයේ ඉන්න බොහෝ පිරිසකට රනිල් විරෝධයක් තියෙනවා. ඔවුන් හිතන්නේ තම පරාජයන්ට වග කියන්න ඕන රනිල් කියලයි. ඒත් ඔවුන්ට රනිල් තරම් දක්‍ෂ නායකයකු හොයා ගන්න බැහැ. ඔවුන් පරදින්නේ ඔවුන්ගේ ප්‍රතිපත්ති නිසා බව ඔවුන් තේරුම් ගන්නේ නැහැ. 

පක්‍ෂයේ ප්‍රතිපත්ති විජාතිකත්වයෙන් ජාතිකත්වයට මාරු කරන්න බැහැ. ඔවුන් උපන් ගෙයි විජාතිකයන්. ඔවුන් දැන් වෙනත් නායකයකු හොයාගෙන. ඒ සජිත්. ඔහුට වඩා හොඳ නායකයකු නැති කම කියන්නෙ ම බංකොලොත් කමක්. සජිත් බොරුවට ජාතිකත්වයක් මවා ගන්න හදනවා. ඒත් ඔහු දහතුන පමණක් නොව දහනවයත් ඉදිරියට ගෙන යන්න බලාපොරේත්තු වෙනවා. ඒ ඉදිරිය කියන්නෙ විජාතිකත්වයෙ ඉදිරිය. ඔහුට මැතිවරණයෙන් පස්සෙ සිරිකොතට යන්න පුළුවන් වේවි. ඒත් සම්ම ජාතියෙ අරලියගහ මන්දිරයට යන්න ලැබෙන්නෙ නැහැ. රනිල් කේම්බ්‍රිජ් පෙදෙසට යාවි. 

ජාතික ජන බලවේගයෙ තරම් එකිනෙකා සමග නොගැලපෙන පිරිස් තවත් පක්‍ෂයක හරි සංධානයක හරි නැහැ. ඒ්කෙ ජාතික ලැයිස්තුව බැලුව ම තේරෙනවා නොගැලපීම. කාට හරි කියන්න පුළුවන් ඒ අය ජාතික ජනතා බලවේගයෙ සාමාජිකයො නෙවෙයි කියල. ඒක ඒහෙම වෙන්න පුළුවන්. ඒ අය යම් ආකාරයකට ජාතික ජන බලවේගයෙ හිතවතුන් හරි කවුරු හරි. පොදු ජන පෙරමුණු සංධානයෙ හරි පොදුජන පෙරමුණේ හරි හිතවතුන් ආදීන් ගැනත් කියන්න තියෙන්නෙ ඒ දේ ම තමයි. ඔවුන් පක්‍ෂ සාමාජිකයන් නොවෙයි. 

ජාතික ජන බලවේගයෙ ට්‍රොට්ස්කිවාදීන් ස්ටැලින්වාදීන් මාඕවාදීන් ආදී හැම වාදියකු ම ඉන්නවා. එහි නැත්තෙ ජාතිකවාදීන් විතරයි. අර විවිධ වාදීන් එකතු වෙලා තියෙන්නෙ වමේ තියෙන බංකොලොත්කම නිසා. සිංහල ජාතිකත්වයට විරුද්ධ වමට අද නායකයකු නැහැ. පක්‍ෂයක් නැහැ. අද වමේ ව්‍යාපාරයක් කියල එකක් නැහැ. සිංහල ජාතිකත්වය හමුවේ ඔවුන් ඔක්කොම කැඩිල බිඳිලා විසිරිලා දුර්වල වෙලා. ඒත් කිසිම සමාජ පදනමක් නැති පරඬැල් ටිකක් සිංහල ජාතිකත්වයට විරුද්ධ ව තම සියළු භේද තියාගෙන ජාතික ජන බලවේගය කියල එකක් අටව ගෙන. ඒත් රටේ කිසිම පදනමක් නැති පිරිසක්. කලාකාරයන් විද්‍යාඥයන් ඉංජිනේරුවන් වෘත්තියකයන් කී නිසා ඡන්දදායකයන් ඡන්දය දෙන්නෙ නැහැ. අපි නොදන්න වෘත්තියකයන්!

පොදු ජන පෙරමුණු සංධානයෙත් ඉන්නවා විජාතික මතධාරීන්. ඔවුන් පොදු ජන පෙරමුණු සංධානයට එකතු වෙලා තියෙන්නෙ දිනන්න වැඩි පුළුවන්කමක් (සම්භාවිතාවක්) තියෙන්නෙ සංධානයෙන් ඉල්ලුවොත් නිසා මිස වෙනත් කරුණක් නිසා නො වෙයි. ඔවුන් ජයග්‍රහණය කරන එක ජාතිකත්වයට විපතක්.  මා නම් වෘත්තීයකයකුවත් විද්වතකුවත් බුද්ධිමතකුවත් විද්‍යාඥයකුවත් දාර්ශනිකයකුවත් නො වෙයි. මා කියන නිසා ඡන්දදායකයන් ඡන්දය නොදෙන බව මා දන්නවා. 1994 දි මට ම ඡන්දය දෙන්න කියල ඉල්ලපු වෙලාවෙ කී දෙනාද මනාප ලකුණු කළෙ. 

ජාතිකත්වවාදීන් ගැනත් පැහැදිලි අවබොධයක් බොහෝ අයට නැහැ. බොහෝ දෙනා ජාතිකත්වවාදීන් කියන අය ගැන මගේ පැහැදීමක් නැහැ. ඔවුන් මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියෙ සුවිශේෂත්වය ගැන කියන්නෙ නැහැ. කට ඇරියොත් එක දිගට සිංහල දෙමළ මුස්ලිම් සමාන කතා කියනවා. ඔවුන්ගෙ කිල්ලෝටවල තවමත් මාක්ස්චාදී හුණු (කුණු) තියෙනවා. ඒ කොහොම වුණත් මෙවර ජාතිකවාදීන්, තලතුනා පරිණත අය මෙන් ම තරුණ අය ද, කිහිප දෙනකු තරග කරනවා. ජාතිකත්වය ජයග්‍රහණය කරවමු කියා පමණයි මට කියන්න ඇත්තෙ.