Main Logo

Thursday 2 July 2020

තුනෙන් දෙකේ බහුතරය

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    5  6  7  8  9





තුනෙන් දෙකේ බහුතරය 


තුනෙන් දෙකේ බහුතරයෙ කතාව මැතිවරණ වේදිකාවෙ රැව් පිළිරැව් දෙනවා. කලකට සිට මෙය ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රශ්නයක් වී තිබෙනවා. එහි අක් මුල් ඇත්තේ මනාප පොරයේ මිස රටේ ජාතියේ අනාගතයේ නොවෙයි. අගෝස්තු මැතිවරණයෙන් පත්වන පාර්ලිමේන්තුව ව්‍යවස්ථාව වෙනස් කිරීමට තරම් සුදුසු තත්වයක සිටීවි යැයි මා කල්පනා කරන්නේ නැහැ. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට වග කිව යුතු විශාල පිරිසක් අලුත් පාර්ලිමේන්තුවේ දැක ගන්න පුළුවන් වේවි. ඔවුන් අද දහනවයට විරුද්ධ වුණත් එදා දහනවයට පක්‍ෂව ඡන්දය දුන්නා. 

ඊනියා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ භයානක පැත්ත එයයි. පක්‍ෂයක නායකත්වයට පුළුවන් තම පක්‍ෂ මන්ත්‍රීන් ඡන්දය දෙන ආකාරය මොහොතකින් වෙනස් කරන්න. එමෙන් ම ආණ්ඩු හැදීමේ දී තීරණ ගන්නේ පක්‍ෂ නායකයන්. අප මන්ත්‍රීන් පාර්ලිමේන්තුවට යැවුවට පස්සෙ අපට ඔවුන්ට කිසිම ආකාරයකින් අපට ඕන හැටියට වැඩ කරන්න කියන්න බැහැ. අවුරුදු පහක් අපට බලන් ඉන්න වෙනවා. 

මේ අගෝස්තුවේ පත්වෙන පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සංශෝධනයකට සුදුසු නැති වුවත් අප හමුවේ තර්ජනයක් තියෙනවා. ඒ ශ්‍රි ලංකා පොදුජන එක්සත් පෙරමුණට තුනෙන් දෙකක් නොලැබුණොත් ටී එන් ඒ වැනි පක්‍ෂ තම කොන්දේසි ඉදිරිපත් කරමින් තුනෙන් දෙකේ බහුතර ආණ්ඩුවක් හදන්න උදවු දෙන්න ඉදිරිපත් වීම. එයට කිසිසේත් ඉඩ නොදිය යුතුයි. 

දහනවයට ඡන්දය දුන්නා වගේ ටී එන් ඒ කොන්දේසිවලට එකඟ වුණොත් කරන්නේ මොකක් ද? සියල්ල ගඟට කැපූ ඉණි වෙන්න පුළුවන්. ඒ නිසයි මා කලින් ලිපියක යෝජනා කෙළේ අප තුනෙන් දෙකේ බහුතරයක් මැතිවරණයෙන් ම ලබා දීමට උත්සාහ ගත යුතු ය කියා. ඒ සංධානයෙනුත් ඇතැම් දිස්ත්‍රික්කවල විවිධ හේතු නිසා වෙනත් පක්‍ෂවලිනුත් ඉදිරිපත් වී ඇති අයගේත් ජයග්‍රහකයන්ගෙන්. එහි දී කුළල් කා ගැනීම් තියෙන්න බැහැ. 

සියලු දෙනා ම එකතු වී තුනෙන් දෙක ලබා නොගත්තොත් දෙමළ ජාතිවාදී හා මුස්ලිම් අන්තවාදී පක්‍ෂවල කොනේදේසිවලට යටත් වී තුනෙන් දෙක ලබා ගැනීමට ඇතැමුන් උත්සාහ කරන්න පුළුවන්. අප කළ යුත්තේ මැතිවරණයෙන් තුනෙන් දෙක නොලැබුත් ඒ ලැබුණු වැඩි ඡන්දයෙන් ආණ්ඩුවක් හැදීමයි. 

මෙහි දී මට පෙනෙන කරුණක් තමයි එක් පැත්තකින් ඇතැම් සිරිසේන විරෝධීන් සිරිසේනට ගෑවිලාවත් ඇති අයකුට මනාප නොදෙන මෙන් ඉල්ලීම. මෙය කිසිසේත් ම හොඳ තත්වයක් නො වෙයි. මෙහි එක ම තේරුම තමන්ට හා තම හිතවතුන්ට මනාප වැඩි කර ගැනීම මිස අනෙකක් නො වෙයි. සිරිසේනගේ අය කොන්දේසි දමාවි කියන කතාව තමයි කියන්නෙ. මේ කොන්දේසි මොනව ද එසේ දමාවි ද කියන එක අප දන්නේ නැහැ. එහෙත් ඒ කොන්දේසි දැම්මත් දෙමළ ජාතිවාදී හා මුස්ලිම් අන්තවාදී පක්‍ෂවල කොන්දේසි මෙන් වෙන එකක් නැහැ. 

සිරිසේනට ගැවීච්ච අයකුට මනාප දෙන්න එපා කිවුවට පස්සෙ සිරිසේනගෙ පැත්තෙනුත් කතාවක් ඇහෙන්න පටන් අරන්. ඒ මෛත්‍රිපාල සිරිසේන අගමැති කළ යුතු ය කියන එක. එය නම් කිසිසේත්ම සලකා බැලිය හැක්කක්වත් නොවෙයි. එයට එක ම හේතුව ඔහුට වඩා අගමැතිකමට සුදූසු මහින්ද රාජපක්‍ෂ කෙනකු සිටීම. මහින්ද රාජපක්‍ෂ අගමැති නොකර මෛත්‍රිපාල සිරිසේන අගමැති කරන ලෙස ඉල්ලීම විහිළුවක්. මේ විහිළු කිරීමේ අවස්ථාවක් නො වෙයි.

2015 රාජපක්‍ෂ ආණ්ඩුව පරාජය කිරීම ගැන පළමු වගඋත්තරකරු මෛත්‍රිපාල සිරිසේන. එහෙත් තවත් වගඋත්තරකරුවන් ඉන්නවා. මා කලින් දවසක කීවාක් මෙන් මේ වෙලාවෙ තුවාල පාරන්න කැමති නැහැ. එමෙන් ම අනෙක් පැත්තෙන් අප අමතක කළ යුතු නැහැ 2018 ඔක්තෝම්බරයෙ රනිල් ඉවත් කර මහින්ද අගමැති ලෙස පත්කෙළෙ මෛත්‍රිපාල කියන එක. මහින්ද රැක ගැනීමට නොහැකි වූයේ මෛත්‍රිපාලගේ වරදකින් නො වෙයි. 

රනිල් අගමැති ලෙස දිගට ම හිටියා නම් එම්සීසී ගිවිසුම අත්සන් කරන්න තිබුණේ 2018 අග. රනිල් නැවත අගමැති වූ නමුත් ඒ වන විට ආණ්ඩු පෙරළියත් සමග ඔහු බෙලහීන වෙලා. එමෙන් ම ජාතිකත්වය ද ඔක්තෝම්බර් ආණ්ඩු පෙරළියත් සමග ශක්තිමත් වුණා. 2019 ජනාධිපතිවරණය සිංහල ඡන්දවලින් ජයැනීමටත් මේ පෙරළිය යම් අයුරකින් දායක වුණා. එමෙන් ම අප අමතක කළ යුතු නැහැ මෛත්‍රිපාල සමග ගෑවුණු අය ජනාධිපතිවරණයේ දී පොහොට්ටුව සමග සිටි බව. 

මේ සමගියෙන් කටයුතු කිරීමට මිස කුළල් කා ගැනීමට අවස්ථාව නො වෙයි. ජාතිකත්වය මිස වෙනත් දෙයක් අපේ ප්‍රධාන තේමාව නොවිය යුතුයි. මේ ලිපය අවසන් කරන විට ම මෙන් මට දැනගන්න ලැබුණා ඇතැම් සිංහලයන් ගුණරුවන් වාර්තාවේ ඉංගිරිසි පරිවර්තනයක් ඉල්ලා තොරතුරු දැන ගැනීම පනත යටතේ කටයුතු කරන්න යන බව. සිංහල තමයි රටේ රාජ්‍ය භාෂාව. කවුරු හරි අර තවත් රාජ්‍ය භාෂාවක් වන දෙමළෙන් වාර්තාව ඉල්ලුවා නම් ඒකෙ ප්‍රශ්නයක් නැහැ. ඒත් ඇතැම් සිංහල දේශප්‍රේමීනුත් ඉංගිරිසි පරිවර්තන ඉල්ලනවා නම් අපට වෙනත් ප්‍රශ්නයක් කතා කරන්න තියෙනවා. ඒ ඊනියා ලින්ක් ලැන්ග්වේජ් එක ගැන. මේ අර බෙහෙත් ද්‍රව්‍ය නිෂ්පාදනය කරන සමාගමේ භාෂාව ගැන නම්  නොවෙයි.