Main Logo

Saturday 11 July 2020

පරාජිත පක්‍ෂවලට කොවිඩ් සරණං ගච්ඡාමිත් නැහැ

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1    2     3      4    5   6   7    8    9







පරාජිත පක්‍ෂවලට කොවිඩ් සරණං ගච්ඡාමිත් නැහැ  

කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන කඳවුරේ තුන්සියක් පමණ කොවිඩ් 19 ආසාදිතයන් ලෙස හඳුනාගෙන. විවිධ පුද්ගලයන් විවිධ කතා කියනවා.  දෙවැනි රැල්ලක් ඇවිල්ල කියනවා. පරාජිත පක්‍ෂවලට කාලකන්නි සතුටක් ඇති වෙලා. ඔවුන් හිතන්නෙ තමන්ට කොවිඩ් සරණං කියා. මංගල අර දෙසරණට එය එකතු කර තුන්සරණක් හදා ගනීවි ද? තැනක් නැතිව ඉන්න රජයේ බටහිර වෙදමහතුන්ගේ සංගමයට මාධ්‍ය ප්‍රකාශ දෙන්න පොටක් පෑදිලා. පීසීආර් පරීක්‍ෂණ තව තවත් කරන්න කියන ඉල්ලීම තව තවත් කරන්න ඔවුන්ට අවස්ථාව ලැබිලා. පීසීආර් පරීක්‍ෂණ කරන එක හොඳයි. ඊට පස්සෙ ඉතින් ප්‍රතිකාරයක්  නැතුව ඉන්න ඕන. ලෙඩේ හා ලෙඩා දෙයියන්ට භාරදෙන්න ඕන. දෙයියන්ගෙ ලෙඩ හින්ද වෙන මොනව කරන්න ද?

ලංකාවෙ ලොකුවට පීසීආර් ගැන කතා කළාට බටහිර රටවල ඔය බටහිර වෙදමහත්තුරුන්ගෙ සංගමයෙ අය ගිහිල්ල ඒක කතා කළොත් අර මානව අයිතිවාසිකම් අයිතිකරුවන්ගෙන් හොඳවයින් දෙකක් අහගන්න පුළුවන් වේවි. ට්‍රම්ප්ගෙ රටේ කොවිඩ් 19 පැතිර යෑමට ප්‍රධාන හේතුවක් වන්නේ මානව අයිතිවාසිකම්. පෞද්ගලිකත්වය ඉහ වහා ගිය ඒ රටේ මුඛ ආවරණ පැලඳීමට විරුද්ධ අය ඉන්නවා. පීසීආර් පරීක්‍ෂණවලට විරුද්ධ අය ඉන්නවා. ඕස්ත්‍රේලියාවෙ වික්ටෝරියා ප්‍රාන්තයෙ පසුගිය දවස්වල කොවිඩ් පැතිර යෑමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ කොවිඩ් 19 ආසාදිතයන් පීසීආර් පරීක්‍ෂණ ප්‍රතික්‍ෂෙප කිරීම. 

ලංකාවෙ පාක්‍යසෝතිලා සහ සිවල් සාමාජිකයන්ට තවමත් මානව අයිතිවාසිකම් තේරෙන්නෙ සිංහල බෞද්ධයනට විරුද්ධ ව ද්වේෂයෙන් කතා කරන විට පමණක් වෙන්න ඇති. පාක්‍යසෝති ඉගෙන ගත්තෙ හැම ජනවර්ගයක ම ශිෂ්‍යයන් ඉන්නවා කියන ශාන්ත තෝමස් විද්‍යාලයෙ. ඔහුට සිංහල බෞද්ධ විරෝධය ඇති වුණෙ ඒ දවස්වල ද? 

දෙවැනි රැල්ල ගැන කතාව පැත්තකින් තියල පළමුවැනි රැල්ල ගැන කතා කරමු. ඒක ඉවර ද? ඒක පටන් ගත්තෙ කොහොම ද? වූහාන් නගරයෙන් ද? අද සමහර බටහිර විද්‍යාඥයන් (ලංකාවෙ විද්‍යාඥයන් නැහැ. තෝල්ක මුදලිල ටිකක් ඉන්නවා. ඉස්සර තෝල්ක මුදලි කිව්වෙ උසාවියෙ විනිසුරු ඉංගිරිසියෙන් යමක් ඇසූ විට එය සාක්‍ෂිකරුට සිංහලෙන් කී අයට) කියනවා වයිරසය කලක් තිස්සෙ ම තිබූණ බවත් අවශ්‍ය පසුබිම සකස් වුණා ම රෝගය පැතුරුණා බවත්. ඒ පසුබිම මොකක් ද කියල හරියට දැනගන්න විධියක් නැහැ. දැනගන්න ඕනෙත් නැහැ. බටහිර විද්‍යාඥයන් කියල තියෙන්නෙ පිළිගන්න එකයි ඇත්තෙ. 

දැන් ට්‍රම්ප්ගෙ රටේ පළමු කොවිඩ් රැල්ල ඉවර ද? එහෙ දෙවැනි රැල්ල පටන් ගත්ත ම පඬි නැට්ටකු අපට ඒ බව දන්නවා ද? පළමු රැල්ල තියෙද්දි ම දෙවැනි රැල්ල පටන් ගන්නව වෙන්න ඇති. කාට හරි පුළුවන් ද රැල්ල ඇති වීම ගැන නිර්වචනයක් අර්ථකථනයක් දෙන්න. ඒ කියන්නෙ රැල්ල ඇරඹුම රැල්ල අවසානය නිර්වචනය කරන්න පුළුවන් ද? අර සමහර ක්‍රීඩා තරගවල ඇරඹුමයි අවසානයයි එකම තැන ලකුණු කරල තියෙනවා වගේ කොවිඩ් ගැනත් එහෙම කියන්න පුළුවන් ද? ඒ කොහොම වුණත් මොන රැල්ල වුණත් කන්දකාඩු කඳවුරේ කොවිඩ් රෝගය පැතිර ගියේ කොහොමද කියල සෞඛ්‍ය විශේෂඥයකුට හරි වෙන කාට හරි කියන්න පුළුවන් ද? ඒක කාත්තන්කුඩි කඳවුරෙන් බෝ වුණා ද? එහෙම නැත්තන් කවුරු හරි බෝ කළා ද? සුදුවැල්ලෙ කතාව පිළිගන්න පුළුවන් ද? මා හිතන්නේ හමුදාව ඒ ගැන පරීක්‍ෂණයක් කළොත් හොඳය කියා. පඬියන්ට ඒ කරන්න බැහැ. 

කොවිඩ් 19 සඳහා තවම එන්නතක් නිපදවා ගෙන නැහැ. පසුගිය දා එංගලන්තයේ විද්‍යාඥයන් යුරෝපයේ එන්නතක් නිපදවීමේ කණ්ඩායමෙන් අස්වුණා. වැඩේට කල් යනව කියන එක තමයි කියන්නෙ. එතෙක් අපි මොක ද කරන්නෙ. අර R සංඛ්‍යාව ගැන ගැන ඉන්නවා ද? ඒ සංඛ්‍යාවෙන් කියැවෙනවා කියන්නෙ එක් රෝගියකුගෙන් තව කී දෙනකුට රෝගය පැතිර යන්න පුළුවන් ද කියන එක. ඒක එකට වැඩි වුණොත් එක රෝගියකුගෙන් එක් අයකුට වඩා රෝගය පැතිරෙනවා.  වොෂිංටන්  R එකට වැඩිය කියල කියන්නෙ. ලෝකයේ ම අගනුවර වොෂිංටන් ද නිව්යෝක් ද?

රැල්ලේ පාවී කොවිඩ් එන එකන් අපි ඉන්නවා ද? අදවත් සිංහල ක්‍රමයට රෝගය පාලනය කරන්න සූදානම් නැත්තෙ මොක ද? මෙහෙ ඉන්න තෝල්ක මුදලිලා පරීක්‍ෂණයක් කරන්න ඕන ද දුම් හට්ටිය ගැන. මා මේ කතා කියනවට තෝල්ක මුදලිලා කැමති නැති බව මා දන්නවා. සමහරු හිතන්නෙ මා ඉතිහාසය දර්ශනය සමාජ විද්‍යාව ආර්ථික විද්‍යාව වගේ ශාස්ත්‍ර පීඨ හා මානව ශාස්ත්‍ර පීඨ විෂය හැදෑරූ අය ගණන් ගන්නෙ නැහැ කියල. මා විද්‍යා පීඨවල ඉන්න තෝල්ක මුදලිලාවත් ගණන් ගන්නෙ නැහැ. මේ කවුරුන්වත් අලුත් දැනුමක් ලෝකයට නිර්මාණය කරල දීල නැහැ. 

අපට කරන්න පුළුවන් රෝගීන් වෙන් කර තැබීමත් රෝගය පැතිර යෑමට ඇති ක්‍රම අවම කිරීමත් ජනතාවගේ ප්‍රතිශක්තිකරන විධි වැඩි දියුණු කිරීමත්. වෙනිවැල්ගැට තම්බල බොනව නම් ඔය එක එක කඳවුරුවල දුම් හට්ටිය අල්ලනව නම් පස්පංගුව වෙනිවැල්ගැට බොන්න දෙනව නම් යම් කිසි ආකාරයක සහනයක් ලැබේවි. රජයේ බටහිර වෙදමහතුන්ගෙ සංගමයෙ සභාපතිතුමා ජාතිකත්වයත් තියෙන දේශීය වෙදකම ගැන කතා කරන අයෙක්ලු. ඔහු පසුගිය දා නැවත වතාවක් සංගමයෙ සභාපති වෙලා. ඔහුට බැරි ද තම සංගමය ලවා දුම් හට්ටි අල්ලවන වැඩ පිළිවෙළක් සැලසුම් කරන්න. අර මහා බලධාරී බටහිර වෛද්‍ය සමාගම (කවුන්සිලය) එයට විරුද්ධ වේවි ද? ඒකෙ ජාතිකත්වයට විරුද්ධ ජී එල් පීරිස්ලා සභාපතිතුමාගෙ වෛද්‍ය ලියා පදිංචිය අවලංගු කරයි ද? ඔය සමාගම්වලට තියෙන බලය අඩු කරන පනතක් ඊළඟ පාර්ලිමේන්තුවට ගෙන ඒමට පොහොට්ටුව කටයුතු කරනවා ද? 

දෙවැනි රැල්ලෙන් පස්සෙ තුන්වැනි රැල්ලක් ඒවි ද? බටහිර වෙදමහත්තුරු මොක ද කියන්නෙ. අපි ඒකටත් සූදානම් වෙමු ද? මීළඟ සෞඛ්‍ය ඇමතිතුමාට/තුමියට වැඩ වැඩිවෙන පාටයි. කන්දකාඩු කඳවුරේ රෝගය පැතිර යෑම නිසා සතුටු වන පිරිසකුත් ඇති. ආණ්ඩුවේ දේශපාලන විරුද්ධකාරයන්ට පුදුම සතුටක් ඇති. ගෝඨාභය රාජපක්‍ෂ තමයි රෝගය පැතිරෙව්වෙ කියන අයත් ඉන්න රටක් මේක. 

කොහොමටත් මැතිවරණ ප්‍රචාරක රැස්වීම් හැකිතාක් අඩු කරන එක හොඳයි. මැතිවරණය කල් දාගන්න බලන පරාජිත දේශපාලන පක්‍ෂත් ඇති. අගෝස්තු මාසෙන් පස්සෙ පරණ පාර්ලිමේන්තුව කැඳවන්න කොහොමටවත් බැහැ. පරාජිත පක්‍ෂවලට අවශ්‍ය නම් මැතිවරණ නොපවත්වා මේ ඇමති මණ්ඩලයට රට පාලනය කිරීමේ වගකීම දිගට ම පවරන්න පුළුවන්. පරාජිත පක්‍ෂවලට කොවිඩ් සරණං ගච්ඡාමි කියන්නවත් බැහැ.