Main Logo

Monday 13 July 2020

කන්දකාඩු, බටහිර වෙදමහත්තුරු හා දද සත

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1    2     3      4    5   6   7    8    9





කන්දකාඩු, බටහිර වෙදමහත්තුරු හා දද සත

කන්දකාඩු ප්‍රශ්නය තරමක් බරපතළයි. ඒත් එය පාලනය කර ගත හැකි බව බලධාරීන් පවසනවා. එසේ ම වේවා කියා බලාපොරොත්තු වෙනවා. කන්දකාඩු කඳවුරට කොවිඩ් ඇතුළු වුණේ කොහොමද කියන එකයි ප්‍රශ්නය. අර නාවික කඳවුරේ රෝගීන් අවසන් වූ පසු කන්දකාඩුවට කොවිඩ් ගියේ කෙසේ ද? නාවික කඳවුරේ කොවිඩ්වලට හේතුව සුදුවැල්ලේ මත්ද්‍යව්‍ය භාවිතා කළවුන් බව කිව්වා. අප එය පිළිගත්තා. දැන් කන්දකාඩුවලටත් හේතුව සුදුවැල්ල කියන කොට එය විශ්වාස කිරීම පිළිබඳ ප්‍රශ්න ඇති වෙනවා. විශ්වාසය දැනුමක් ද වගේ ප්‍රශ්න මා අහන්නේ නැහැ. සියලු දැනුම් බොරු.  මා දන්නා දේත් බොරු. දන්නේ දැනුම නොවැ. ඒ කොහොම වුණත් රේඛීය චින්තනයේ ඕනෑම දැනුමක් විශ්වාසය මත පදනම් වෙනවා. ඒකත් දැනුමක් තමයි. ඒකත් බොරුවක්. මොනවා කරන්න ද? නිවන සම්මාබෝධ කරන තෙක් අපට බොරු කිය කියා ඉඳීම හැර වෙන කරන්න දෙයක් නැහැ. 


ගණිතය තරම් තවත් බොරුවක් ලෝකයේ නැහැ. එහි ඇති ඊනියා සාධනයක් නැහැ. එහි කරන්නේ ඉදින් p නම් එවිට q (if p then q) වර්ගයේ කතා. අවුරුදු පනස් තුනකට එපිට 1967 දී මා ගණිතය පිළිබඳ විශ්වවිද්‍යාල  අවසාන පරීක්‍ෂණයට පෙනී සිටි අවස්ථාවේ අපට ප්‍රශ්නයක් දී තිබුණා ගණිතය යනු ඉදින් p නම් එවිට q ආකාරයේ ප්‍රස්තුතවල කුලකය යන්න මැයෙන් රචනයක් ලිවීමට. ගණිතයෙත් රචනා ලියන්න දෙනවා. ඔය රසල්ගේ කතාවක්. මට ඒ පරීක්‍ෂණයේ තිබූ ප්‍රශ්නවලින් මතක ඒ ප්‍රශ්නය පමණයි. මා එයට පිළිතුරු දුන් බවත් මතකයි. මතකය දැනුමක් ද?  

ඉදින් p නම් එවිට q කියන එකේ තේරුම p උපකල්පනය කළොත් අනුමාන රීති වරද්ද ගත්තෙ නැත්නම් එවිට ලැබෙන නිගමනය q කියා. මෙහි ඇත්ත බොරුව වැරදි ද නිවැරදි ද දැනුම ද අරක ද මේක ද කියා කිසිවක් කියන්නේ නැහැ. ඒත් කාට හරි අවශ්‍ය ම නම් p හරි නම් q හරි කියා කියන්න පුළුවන්. එහෙමත් නැත්නම් p ඇත්ත  නම් q ඇත්ත කියන්නත් පුළුවන්. එහෙත් ඊළඟ ප්‍රශ්න හරි කියන්නෙ මොකක් ද ඇත්ත කියන්නෙ මොකක් ද ආදිය. ඇත්ත කියන්නෙ මොකක් ද කියල කවුරු හරි කිව්ව කියමු. ඒ කීම දැනුමක් ද? ඒ දැනුම ඇත්තක් ද? රේඛීය චින්තනයෙ ඒවට පිළිතුරු නැහැ. දැන් අහන්න එපා චක්‍රීය චින්තනයෙ පිළිතුරු තියෙනවා ද කියල. ඒ ප්‍රශ්න එහි අදාළ නැහැ. 

ඉදින් p නම් එවිට q කියනව. q නොවේ නම් එවිට p නොවේ ද කියල නිගමනය කරන්න පුළුවන් ද? නොම q නම් නොම p ද? ගණිතයෙ ඒව කෙරෙනවා. ඔය ක්‍රමවලට ලතින් නම් තියෙනවා. ඒවා මෙතන කියන එක තේරුමක් නැහැ. සාමාන්‍ය පෙළ ජ්‍යාමිතියෙත් ඒවා කියනවා. අර උපකල්පන කරල විසංවාදවලට එන විට උපකල්පනය වැරදි කියල කියන්නෙ. විදුසර කියවපු අය නම් ඒව දන්නවා. දර්ශනය පිළිබඳ පශ්චාත් උපාධි තියෙනව කියන අය දන්නවා ද දන්නෙ නැහැ. ඒකත් දැනුමක් නෙ. 

කන්දකාඩු ගැන කතා කරන විට මේ දැනුමක් ගැන කියවන්නෙ අහවල් දේකට ද? අපට දැනගන්න ඕන කන්දකාඩුවට කොවිඩ් ගියේ කොහොමද කියල. ඒක දැනුම පිළිබඳ ප්‍රශ්නයක්. සුදුවැල්ලෙන් කියන එක තරමක ප්‍රශ්නයක්. එය සුදුවැල්ලෙන් වෙන්න බැරි කමක් නැහැ. ඒත් එහි දී තවත් උපකල්පන කරන්න වෙනවා. කොවිඩ් 19 වයිරසය ඇඟට ගිහිල්ල රෝගය ආසාදනය වෙන්න කොච්චර කලක් යනවා ද? එය මාස දෙකක් වෙන්න පුළුවන් ද? බටහිර වෙදමහත්තුරු මොකද කියන්නෙ. බටහිර රටවල ඉන්න බටහිර වෙදමහත්තුරු ඒ ගැන මොකක්වත් කියල තියෙනවා ද?

මෙහෙ ඉන්න රජයෙ බටහිර වෙදමහත්තුරුන්ගෙ සංගමයෙ අය නම් කට ඈරියොත් කියන්නෙ පීසීආර් පරීක්‍ෂණ කරල නැහැ කියන එක. ඒ අය මුලදි නම් කිව්වෙ මොකක් ද වෙනින් පරීක්‍ෂණයක් ගැන. ඒ දවස්වල බටහිර වෙදමහත්තුරුන්ගෙ සංගමය පීසීආර්ට පොලීසියේ පීසී කෙනකුට තරම්වත් සැලකුවෙ නැහැ. පීසීආර් පරීක්‍ෂණය හොඳයි. ඒත් ඒකෙත් නිවැරදිතාව පිළිබඳ තියෙන්නෙ 70%ක සම්භාවිතාවක් කියල කියනවා. 

ඒ කොහොම වෙතත් පීසීආර් පරීක්‍ෂණයෙන් කියන්න පුළුවන් යමකු කොවිඩ් 19 ආසාදිත ද නැත් ද කියන්න විතරයි. හෙට හරි අනිද්ද හරි ආසාදිතයකු වෙන්න පුළුවන් ද කියල පීසීආර්ට කියන්න පුළුවන් ද? මා දන්න විධියට බැහැ. මගේ දැනුම වැරදි වෙන්න පුළුවන්. නැවතත් දැනුම කතාව. දැනුම මට වැඩක් කරල දෙනව නම් එච්චරයි. දැනුම් බොරු. ඒක බොරු බව මා දන්නවා ද? ඔය ඔක්කො ම පස්සෙ කතා කරමු. 

පීසිආර් පරීක්‍ෂණය කන්දකාඩුවෙ සුමාන දෙකකට ඉස්සෙල්ල කෙරුවා කියමු. ඒකෙ ප්‍රතිඵලය ආසාදියන් නොවෙයි වෙන්න පුළුවන්. ආසාදිතයන් නො වේ නම් වෛරසය ඇඟේ නැද්ද? නොම q නම් නොම p ද? වෛරසය සුදුවැල්ලෙන් නෑවිත් පස්සෙ එන්නෙ පුළුවන් ද? එහෙම නම් කොහොමද ආවෙ පීසිආර් පරීක්‍ෂණය දවස් කීයකට සැරයක් කරන්න ඕන කියල  රජයේ බටහිර වෙදමහත්තුරුන්ගෙ සංගමය වෛද්‍ය විිද්‍යාවවත් දර්ශනයවත් හදාරල නැති අප වැනි දද සතට කියල දෙනවා ද? අර සුභාසිතේ තියෙන්නෙ දෙමළ සකු මගධ නොහසළ සතට දද කියල. මා එතැනින් තමයි දද සතට ගත්තෙ. ඔය කාලෙ දෙමළත් වැදගත් භාෂාවක් වෙලා. ඒකෙන් කියන්නෙ නැහැ ඒ කාලෙ දෙමළ ජනයා මෙහෙ ස්ථිර ව පදිංචි ව හිටිය කියලා. දැන් ඉංගිරිසි වැදගත් භාෂාවක් වෙලා. ඒකෙන් මොකක් ද කියන්නෙ? ඉදින් p නම් එවිට q. ඉදින් q නම් එවිට?  


මා කියන්නෙ පීසීආර් පරීක්‍ෂණ කරන්න එපා කියන එක නො වෙයි. ඒත් පරීක්‍ෂණ කරන්න කියල කෑගහන එක හැරෙන්න වෙනත් දෙයක් කියන්නෙ නැති අය පරීක්‍ෂණය එක් අයකුට අද කරල ප්‍රතිඵලය සෘණ නම්, ඒ කියන්නෙ ඔවුන්ට අනුව යම් සම්භාවිතාවකට යටත් ව  ආසාදනයක් නැත්නම්,  එම තැනැත්තාට තව සති කිහිපයකින් පීසීආර් පරීක්‍ෂණය කරන්න ඕන ද කියලත් කියනව නම් දද සතට හොඳයි. දද සත ලෝකයේ පළවන අලුත් ම වෛද්‍ය සඟරාවත් දාර්ශනික සඟරාවත් කියවන අය නො වෙයි. අර සුභාසිතය ලියල තියෙන්නෙ සිංහල විතරක් දන්න අයගෙ යහපත සඳහා කියල නේ කියන්නෙ. ඒ වගේ ඔය විෂය හදාරල නැති අයට තේරුම් කරල දෙන එක හොඳයි. හැබැයි අපට කියන්න එපා අහවල් සඟරා කියවන්න කියලා. මෙතන පොඩි උපකල්පනයක් තියෙනවා. ඒ අදාළ අය අදාළ සඟරා කියවනවා කියල අපි උපකල්පනය කරනවා. වැරදි නම් කියන්න.