Main Logo

Wednesday 29 July 2020

මැතිවරණයට සතියයි, සතියෙන් වැඩ කරමු.

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1        3      4    5   6   7    8    9




මැතිවරණයට සතියයි, සතියෙන් වැඩ කරමු. 

2020 මහා මැතිවරණයට තව ඇත්තේ හරියට ම සතියයි. විවිධ බලපෑම් මැද මැතිවරණය කල් දමා ගැනීමට අවලංගු කරවා ගැනීමට දැරූ සියලු උත්සාහයන් පරාජය වී මැතිවරණය පැවැත්වෙනවා. මා කල් ඇතිව ම සිතා සිටි ආකාරයට ම මැතිවරණය පැවැත්වෙන්නේ නුවර පෙරහැර කාලයේ. එසේ නොවන්නටත් ඉඩ තිබුණා. එහෙත් අවසානයේ දී එසේ වෙන්න යනවා. 


දැන් කල් ඉකුත් වූ පරණ පාර්ලිමේන්තුව නැවත රැස්කිරීම ගැන කතා අවශ්‍ය වන්නේ නැහැ. ඒ පාර්ලිමේන්තුව මෙරට මෑත ඉතිහාසයේ සිදු වූ විකෘතියක්. අද රටේ ජාතිකත්ව මතවාදය තහවුරු වෙලා. කසිකබල් විශ්වවිද්‍යාලවල එසේ වී ඇතැයි මා කියන්නේ නැහැ. මෙරට විජාතිකත්වයේ අවසාන බලකොටු විශ්වවිිිද්‍යාල හා රාජ්‍ය නිලධාරි තන්ත්‍රය. මා රාජ්‍ය සේවකයකු නොවුවත් දැනට රාජ්‍ය සේවයට සම්බන්ධයි. රාජ්‍ය සේවයට හා විශ්වවිද්‍යාලවලට බටහිරයන්ගේ (ඉංගිරිසින්ගේ) ආකෘතියෙන් ගැලවීමට තව කලක් ගත වේවි. 

ජාතිකත්ව මතවාද තහවුරු වූ රටක රනිල් සුමන්තිරන් ආණ්ඩුව විකෘතියක්. එහෙත් එයට බලපෑවේ මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ල නි පක්‍ෂයෙන් ඉවත්වීම, එහෙමත් නැත්නම් ඉවත්වීමට සැලැස්වීම. සිරිසේනත් සමග යම් ජාතිකත්ව මතධාරීන් පිරිසක් ජඩපාලනයට ගියා. එසේ නොවන්නට රනිල් සුමන්තිරන් ආණ්ඩුවක් බලයට පත් වන්නේ නැහැ. පනස්හයෙන් පස්සෙ මෙරට එ ජා පක්‍ෂයට බලයට පත්වෙන්නත් යම් ජාතික සංකල්පවලට ඈඳෙන්න සිදු වෙලා. 1960 මාර්තුවේ එ ජා ප රජයක් පිහිටෙව්වෙ බණ්ඩාරනායක මහතාගේ ඝාතනයෙන් පසුව රටේ තරමක වික්‍ෂිප්තභාවයක් තිබිය දී. එහෙත් ඒ ආණ්ඩුව වැඩි කල් පැවතුණේ නැහැ. හැටේ ජූලියේ දී බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුවක් පිහිටෙව්වා. 

1965 දී එ ජා පක්‍ෂය බලයට පත් වුණෙ හත්හවුලක් හැටියට. ඒ ආණ්ඩුවටත් පෝය නිවාඩුව ඇති කිරීම වගේ දේ කරන්න සිද්ධ වුණා. 1970 බණ්ඩාරනායක මැතිණියගෙ නායකත්වයෙන් සමගි රජය පිහිටෙව්වා. ජනතාවට යම් ජාතිකත්වයක් තිබුණත් ජාතික ආර්ථිකයක් ගැන කිසිම අවබෝධයක් තිබුණෙ නැහැ. මැතිණියගෙ ආණ්ඩුව සංවෘත ආර්ථිකයක් ගෙන ගිය බවටත් ජනතාවට ඉන් පීඩා විඳීමට සිදු වූ බවටත් මතයක් තිබුණා. 1977 ජේ ආර් බලයට පත්වුණෙ ඊනියා විවෘත ආර්ථිකයක් ගැන කතා කරන අතර ධර්මිෂ්ට රාජ්‍යය වගේ ජාතික සංකල්ප ද උපයෝගී කර ගනිමින්.

ප්‍රේමදාසත් එක්තරා ආකාරයක ජාතිකත්වයක් තවරා ගත්තා. 1989 මැතිවරණය භීෂණය සමග පැවැත්වූ එකක්. එය මනාප ක්‍රමය යටතේ පැවැත්වූ පළමු මැතිවරණය. 1994 චන්ද්‍රිකා ගෙනෙනු ලැබුවේ විජාතික මතධාරීන් විසින්. අප ඒ බව අවබෝධ කරගත්තත් ජනතාව එහෙම හිතුවෙ නැහැ. ඔවුන් හිතුවෙ එ ජා ප අවුරුදු 17ක ශාපය (ජේ ආර් තම ව්‍යවස්ථාව යොදා ගනිමින් පාර්ලිමේන්තුව දික් කර ගැනීම නිසාත්) නැති කර ගැනීම ගැන. චන්ද්‍රිකා කුමාරතුංග යනු බණ්ඩාරනායක මැතිණියගේ දියණියක නිසා ඇගේ අතින් ජාතිකත්වයට පහරක් වදීවි කියා ඔවුන් සිතුවේ නැහැ. 

චන්ද්‍රිකා කෙතරම් උත්සාහ කළත් ඇයට සිංහල විරේ්ධී ව්‍යවස්ථාවක් සම්මත කර ගන්න බැරි වුණා. ඒ විජාතික බලවේග සියල්ල ඇය වටා සිටිය දී. ඇගේ ප්‍රතිපත්ති නිසා ජනතාවට පසු මැතිවරණවල දී පැහැදිලිි ස්ථාවරයක් ගැනීමට අපහසු වුණා. ඒ අස්ථාවරත්වය 2000-2004 අතර පිළිබිඹු වුණා. 2004 දී ජාතිකත්වය ජයග්‍රහණය කළා. ඒ මැතිරණයේ දී ව්‍යාජ ජාතිකත්වයක් ආරෝපණය කර ගෙන බලයට පැමිණීමට උත්සාහ දරණ චම්පකගේ ජාතික හෙළ උරුමයට ආසන 9ක් ම ලැබුණු බවත් භික්‍ෂූන් වහන්සේ එහි දී උපයෝගී කෙරුණු බවත් අවධාරණය කළ යුතුයි. 

මේ ප්‍රතිඵලවලින් පැහැදිලි වන කරුණ නම් රටේ බහුතරයක් ජාතිකත්ව මතවාදයක සිටින බවත් ඇතැම් අවස්ථාවල දේශපාලන පක්‍ෂවල නායකයන්ගේ දෙබිඩි ප්‍රතිපත්ති නිසා ජාතිකත්ව ස්ථාවර ආණ්ඩුවක් ලබා ගැනීමට නොහැකි බවත්. නායකයන් ස්ථිර ජාතිකත්ව ප්‍රතිපත්තියක සිටිනවා නම් විජාතිකත්වයට ඉඩක් නැති බවත් පැහැදිලියි. විජාතිකත්වයේ වම නම් පතුළට ම ගිහින්. ජ වි පෙරමුණට ආසන ලැබෙන්නේ ඔවුන් ජාතිකත්වය සමග සිටින විට පමණක් බවත් පැහැදිලියි.

මෙවර මැතිවරණයෙන් පොදු ජන නිදහස් පෙරමුණු සංධානය ජයගන්නා බව නිසැකයි. එහි විවිධ අපේක්‍ෂකයන් සිටියත් ජනතාව ඡන්දය දෙන්නේ ජාතිකත්වයට. එහෙත් එයින් කියන්නේ නැහැ ජනතාව ජාතිකත්වයේ නැති අයට මනාප නොදෙන බවක්. මැතිරණයෙන් ජාතිකත්ව අදහස් ඇති පිරිස් හැකිතාක් ජයග්‍රහණය කරවීම ජාතිකත්ව විඥානයක් ඇති අයගේ වගකීම. ජාතිකත්ව අදහස් ඇති සියල්ලන්ට ජාතිකත්ව විඥානයක් ඇතැයි කියන්න බැහැ. 

විජාතික බලවේග කොටස් කිහිපයකට කැඩිලා. ඒ ජාතිකත්ව මතයේ ශක්තියේ බලපෑම නිසා. රනිල් හා සජිත් අතර ඇත්තේ සිරිකොතේ එනම් විජාතිකත්වයේ නායකත්වය අතට ගැනීම පිළිබඳ සටනක්. ඒ සටනත් අද කරන්න සිදු වී ඇත්තේ ජාතිකත්වයට මුවා වී. දෙදෙනාම අද වෙනදාට වඩා පන්සල් යනවා. බුදුන් වඳිනවා. ඒ අතර දෙදෙනා අතර ප්‍රධාන කවටයා වීම සඳහාත් තරගයක් තියෙනවා. ජනතා විරෝධී විකාර පෙරමුණ ගැන කතා කරන්නවත් තරම් දෙයක් නැහැ. 

ජාතිකත්ව මතධාරීන් යම් පිරිසක් පොදුජන නිදහස් පෙරමුණු සංධානයේ ඉන්නවා. ඒ සියල්ලන් ජයග්‍රහණය කරවීම අපේ යුතුකමක් හා වගකීමක්. මා ඒ සියල්ලන් ගැන කීමට යන්නේ නැහැ. එහෙත් තුන් දෙනකු ගැන නොකියා ම බැහැ. පළමුවෙන් ම දිනේෂ් ගුණවර්ධන. ඔහු තමයි ජාතිකත්වයේ ස්ථිර ව අවුරුදු තිහකටත් වැඩි කාලයක් ඉන්න තැනැත්තා. දෙවනුව හා තුන්වැනුව ඉන්නේ අනුරාධපුරයේ චන්න ජයසුමන හා කළුතර අනුප පැස්කුවල් ඒ දෙදෙනාට සුබ පතා මා පණිවුඩ නිකුත් කර තිබෙනවා (https://www.youtube.com/watch?v=bmi1tOnPtnw 


https://www.youtube.com/watch?v=xEgjSNpQ6dc). දිනේෂ් ගුණවර්ධන වෙනුවෙන් අමුතුවෙන් පණිවුඩයක් නිකුත් කරන්න අවශ්‍ය නැහැ. එය ගහ දන්නා අයට කොළ කඩා පෑමක්. ඒ තිදෙනාත් තවත් ජාතිකවාදී මතධාරීනුත් ජයග්‍රහණය කරවීමට සතියෙන් (සිහියෙන්) වැඩ කර අපි ජාතිකවාදී ගමන් මගේ ඉදිරි අවුරුදු පහ සැලසුම් කර ගනිමු.