Main Logo

Sunday 15 July 2012

නැවතත් ආසනික්

අපට නැවතත් ආසනික් ගැන කතාකිරීමට සිදු වී ඇත. හොඳ හොඳ නැටුම් එළිවෙන ජාමෙට යැයි කීවාක් මෙන් ආසනික් කතාවේ වඩා වැදගත් කොටස් තවමත් කතා කෙරී නැත. අද ආසනික් ගැන කතා කරන්නේ පසුගිය දිනෙක පුවත්පත් සාකච්ඡාවක දී හෙළි දරවු වූ කරුණක් නිසා ය. එහි දී කියැවී ඇත්තේ රජරට අදාළ පෙදෙස්වල ජනතාව වකුගඩු රෝගයට ගොදුරු වී ඇත්තේ ඔවුන් ආසනික් කැඩ්මියම් වැනි බැර ලෝහවලට නිරාවරණය වීම නිසා බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවකින් හෙළිදරවු වන බව ය. ඒ වාර්තාවට අනුව මේ බැර ලෝහ ශරීර ගතවන්නේ ප්‍රධාන වශයෙන් ම ආහාර දාමයෙන් බව ද පුවත්පත් සාකච්ඡාවේ දී කියැවී ඇත. වාතය මගින් ද බැර ලෝහ ශරීර ගතවීමට ඉඩ ඇතැයි යනුවෙන් ද වාර්තාවේ සඳහන් වන බව කියැවෙයි. එහෙත් ජලය මගින් බැර ලෝහ ශරීර ගත නොවන බව වාර්තාවේ සඳහන් බව මා ඒ පිළිබඳ ව කියවූ පුවත්පතෙහි දැක්විණි. වකුගඩුවලට හානිකර පොහොර හා ඇතැම් පළිබෝධනාශක හිතුමතේ යොදා ගැනීම වැළැක්වීමෙන් ජනතාව ආරක්‍ෂා කරගත හැකි බව ද පුවත්පත් සාකච්ඡාවෙහි දී කියැවී ඇත. මේ විස්තර ද තවම සඟරාවක පළ කෙරී නැත. අපට පෙනී යන ආකාරයට ලෝක සෞඛ්‍ය සංවිධානය හා එහි මෙරට නියෝජිතයන් ආඳ මාළු ඉරටෙන් කෑමට උත්සාහයක් දරා ඇත. ඔවුන් ඒ වාර්තාව නිකුත් කර ඇත්තේ ඔවුන්ගේ ගැලවීමට බව පැහැදිලි ය. කෙසේ වෙතත් ඩොලර් මිලියන ගණනාවක් වියදම් කිරීමෙන් පසුව මෙවැනි වාර්තාවක් වුවත් නිකුත් කිරීම පිළිබඳ ව අපි සතුටු වෙමු. ලෝක සෞඛ්‍ය සංවිධානයට තවත් බොහෝ දේ කීමට ඇති බව අපි දනිමු. එහෙත් අපි දැනට එකක් කියමු. රජරට පෙදෙස්වල වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් ය. ලෝක සෞඛ්‍ය සංවිධානයට විවිධ හේතු නිසා ඇතැම් විට එසේ ප්‍රකාශ කිරීමට නොහැකි වනු ඇත. එහෙත් අප කිසිවකුට බැඳී නැත. අපට අපේ මතය ප්‍රකාශ කිරීමට කිසිම බාධාවක් නැත්තේ ද එබැවිනි. රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් බව ඒ සම්බන්ධයෙන් පර්යේෂණ කරන කැලණිය විශ්වවිද්‍යාලයේ කණ්ඩායමට පළමුවෙන් ප්‍රකාශ කෙළේ නාථ දෙවියන් ය. එතුමන් සමග හිඳිමින් වෛද්‍ය කරුණු සම්බන්ධයෙන් අපට උපදෙස් දුන්නේ විපස්සක දෙවියන් ය. ඒ සියල්ල අප ලබාගත්තේ ප්‍රියන්තා සේනානායක මහත්මියගෙනි. ඒ මහත්මිය බටහිර වෛද්‍ය විිද්‍යාව හෝ හෙළ වෙදකම හෝ දැන සිටි කාන්තාවක් නො වේ. දෙවියන්ගෙන් ලැබුණු තොරතුරු අනුව රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් ය. එයට අමතරව ඒ පෙදෙස්වල ඇති කුඹුරු පස හා කිවුල් ජලය ද හේතුවෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවේ කුමක් සඳහන් ව තිබුණ ද කිවුල් ජලය මෙහි දී විනාශකාරී කටයුත්තකට මැදිහත් වෙයි. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් වාර්තාව ගැන සඳහන් කළ පුවත්පත් සාකච්ඡාවේ දී ජනතාවට කිවුල නැති ජලය ලබාදීමේ වැදගත් කම සඳහන් කෙරී ඇත.

රජරට වකුගඩු රෝගය වඩාත්ම වැළඳී ඇත්තේ පිරිමින්ට ය. ආහාර දාමය රෝගය පැතිරීමට හේතුව නම් ගැහැණු පිරිමි වශයෙන් භේදයක් ඇතිවන්නේ කෙසේ ද යන ප්‍රශ්නය ඇතිවෙයි. අප කණ්ඩායමේ සාමාජිකයකු වූ වෛද්‍ය චන්න ජයසුමන මහතා ජලය හේතුකොටගෙන පිරිමින්ට රෝගය වැළඳීමට ඇති ප්‍රවණතාව වැඩි බව 2012 ජූලි මස 11 වැනි දා විදුසර පුවත්පතෙන් පැහැදිලි කරයි. ආසනික් පොළොවට ලැබෙන්නේ කෘෂි රසායනික ද්‍රව්‍ය නිසා බවත් එසේ ලැබෙන ආසනික් කුඹුරු පසෙහි රඳවා තබාගැනීමේ හැකියාවක් ඇති බවත් එසේ රැඳුණු ආසනික් ජලයට මිශූ වීමෙන් පසු කිවුල් ජලය සමග එකතු වී ආසනේට් ලවන සාදන බවත් එය ශරීරගත වීමෙන් පසු වකුගඩු රෝගය වැළඳෙන බවත් අපට විපස්සක දෙවියන්ගෙන් දැනගැනීමට ලැබුණේ ඒ දිනවල ම ය. අපට ඒ ගැන සැකයක් නැති වුවත් බටහිර පුස් කෑ අධ්‍යාපනයෙන් බටහිර විද්‍යාව කටගාගත් ආචාර්ය, මහාචාර්ය, ප්‍රවීණාචාර්ය ආදීන්ට පමණක් නොව ජනමාධ්‍යවල හා වෙනත් ආයතනවල සේවය කරන බටහිර විද්‍යාවට හා දැනුමට නමස්කාර කරන පුහු පඬියන්ටත් අනෙක් අයටත් ඒත්තු ගැන්වීම සඳහා අපි ඒ බව බටහිර රසායන විද්‍යාවට අනුව පෙන්වීම සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ ආරම්භ කළෙමු. ඒ සඳහා රජරට විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු වූ වෛද්‍ය චන්න ජයසුමන මහතාට කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියක් සඳහා පර්යේෂණ කිරීමට විශ්වවවිිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් ශිෂ්‍යත්වයක් ද ලැබිණි. මේ පර්යේෂණවල ප්‍රතිඵල අනුව විවිධ පලිබෝධනාශකවල හා ජලයේ ද ආසනික් ඇති බව අපට පෙනී ගියේ ය. ඒ පර්යේෂණ මහාචාර්ය ප්‍රියානි පරණගම මහත්මියගේ අධීක්‍ෂණය යටතේ සිදුවිය. ඒ හැරෙන්නට මහාචාර්ය මාලා අමරසිංහ මහත්මියගේ අධීක්‍ෂණය යටතේ කෙරුණු පර්යේෂණවලින් ඒ ප්‍රදේශවල ඇතැම් ශාඛවල ද ආසනික් ඇති බව අනාවරණය විය. අපට අවශ්‍ය වන්නේ කෘෂිරසායන නොමැතිව ගොවිතැන් කිරීමට මෙරට ජනතාච යොමුකර නීරෝගී ජාතියක් ඇති කිරීමට ය. එය කළ හැක්කේ සිංහල බෞද්ධ දැනුමක් මත පදනම් වෙමිනි. පරිසරය රැකීමට නොහැකි බටහිරයන්ට කළ හැක්කේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම නොව රෝග කලමණාකරණය කිරීම ය.

ජාතියට ඉතා වැදගත් වූ එවැනි පර්යේෂණ කල ඒ මහාචාර්යවරියනට ලැබුණේ මල් පොකුරු නොව ගල් මුල් ය. මහාචාර්ය ආචාර්ය දේවදත්තයෝ හා චිංචිමාණවිකාවෝ ක්‍රියාත්මක වූහ. සිංහල බෞද්ධ දැනුමක්් යන්න නයාට අඳුකොළ මෙන් වූ ඔවුන් එක හෙළා කියා සිටියේ ආසනික් නැති බව හා රජරට නිදන්ගත වකුගඩු රෝගයට හේතුව ආසනික් නොවන බව ය. කැලණිය විශ්වවිද්‍යාලයේ බැර ලෝහ පරීක්‍ෂාව සඳහා තිබූ උපකරණ කැඩී ඇතැයි ඔවුහු කීවෝ ය. ඒ අතර ඒ කාලයේ දී ඒ උපකරණ යොදා ගනිමින් තමන් කළ ඊනියා පර්යේෂණ ගැන වාර්තා ඉදිරිපත් කළහ. අප ප්‍රතිඵල පළකර නැතැයි කීහ. ඔවුන්ගේ අපවාදාත්මක ප්‍රචාරය විශ්වවවිද්‍යාල පද්ධතියට පමණක් සීමා නො වී ය. එක් චිංචිමාණවිකාවකගේ ස්වාමි පුරුෂයා අපට පිස්සු යැයි ප්‍රචාරයක් ගෙන ගියේ ය. ඔවුහු උසස් අධ්‍යාපන ඇමතිතුමා හමුවට ගොස් අප කැලණිය විශ්වවිද්‍යාලයේ දේවාලයක් තනා ඇති බව පැවසූහ. ඇමතිතුමා ද මේ කතා විශ්වාස කළේ ය. එතුමා මට හා අපේ කණ්ඩායමට විරුද්ධ විය. මගේ සේවා කාලය අවසාන වීමෙන් පසුව මා සේවා දිගුවකට කැමැත්ත පළ කළේ විද්‍යා පීඨාධිපති ලෙස මේ පර්යේෂණ සඳහා ශක්තිමත් පදනමක් ලබා දීමට ය. ඇමතිතුමා ප්‍රමුඛ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සේවා දිගුව ලබාදීමට විරුද්ධ විය. අවසානයේ දී මට අවුරුදු තුනකට සේවා දිගුවක් ලැබුණේ ජනාධිපතිතුමා මැදිහත් වී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමෙන් පසුව ය. අවුරුදු තුනකට සේවා දිගුවක් ලැබුණු නමුත් මගේ පිඨාධිපති ධුර කාලය අවසානයේ දී, පර්යේෂණ සාර්ථක මට්ටමකට පැමිණ තිබූ බැවින් අවුරුදු තුනක් ගත නොකර අවුරුද්දක පමණ සේවා කාලයකින් පසුව මම සේවයෙන් ඉවත්වීමි. මා කිසිදු පර්යේෂණයකට හවුල් නොවුණත් පර්යේෂණ කණ්ඩායමට නායකත්වය සැපයීමි. අදත් සපයන්නෙමි. එහෙත් අද බලධාරීන්ගේ කෙණෙහිලිකම් වෙයි. එදා කැලණිය විශ්වවවිද්‍යාලයට අත්වීමට තිබූ ගෞරවය නැති වී ගියේ දේවදත්ත චිංචිමාණවිකා කණ්ඩායම නිසා ය. මොවුන් අප දේවාලයක් තනා ඇතැයි ප්‍රචාරය කළේ මා භාවනා කිරීම සඳහා විද්‍යා පීඨයේ එක් පංතිකාමරයක් සතියේ එක් දිනක් සවස හතරෙන් පසුව වෙන්කිරීම නිමිති කරගනිමිනි. පසුගිය දා රජරටින් ම පැමිණි සෞඛ්‍ය ඇමතිතුමා ද වකුගඩු රෝගය ගැන පර්යේෂණ කිරීම පිළිබඳ ව ලෝක සෞඛ්‍ය සංවිධානයට ස්තුති කර තිබුණේ කැලණිය අමතක කරමිනි. එතුමාගේත් අන්අයගේත් දැනගැනීම සඳහා පැවසිය යුත්තේ අද අප කණ්ඩායම අධිපතිවාදී බටහිර වෛද්‍යවරුන්ට පිළිගැන්වීමට අවශ්‍ය වී ඇති බැවින් ඔවුන්ගේ විද්‍යාවේ ව්‍යාජ පර්යේෂණ විධි ක්‍රම අනුගමනය කරමින් එහෙත් විපස්සක දෙවියන් අපට කියා දුන් හෙළ නිල වෙදකමේ ප්‍රතිකාර වකුගඩු රෝගින්ට ඊනියා පර්යේෂණ මට්ටමක කරන බව ය. අද සරසවි ඇදුරන්ගේ දේශපාලන වැඩවර්ජනයක් තිබිය දී ද අපේ කණ්ඩායම ආචාර්ය සමිති සම්මේලනයේ දේශපාලනය ගැන අවබෝධයක් ඇතිව ඒ වර්ජනයට සහභාගි නොවී මෙම පර්යේෂණයේ හා වෙනත් අධ්‍යයනික කටයුතුවල යෙදී සිටිති. ඒ අයට අමතරව ද ඇදුරු වර්ජනය නොතකා සේවය කිරීමට සූදානම් ඇදුරෝ වෙති. කැලණිය විශ්වවවිද්‍යාලයේ ඇතැම් ඇදුරන් දැනටමත් ඒ බව දන්වා උපකුලපතිතුමාට ලිපි භාර දී ඇත. ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ, ප්‍රතිපාදන කොමිසමේ හා විශ්වවිද්‍යාලවල වගකීම වෙයි.

බටහිර දැනුම කටගාගත් ඇතැම් ජඩමාධ්‍යවේදීහු වර්ජනයට විරුද්ධ වන ඇදුරන් කුලපතිකම් පීඨාධිපතිකම් ආදිය ගත් අය ලෙස හඳුන්වති. එමෙන් ම ඒ ඇදුරන්ට ඇත්තේ වැඩවසම් චින්තනයක් යැයි ද කියති. අද සරසවිවල ද පොදුවේ සමාජයේ ද ඇත්තේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි දැනුම් ආධිපත්‍යයකි. එයට විරුද්ධව සටන් කළ යුතු ම ය. මුළු ලෝකයේ ම විශ්වවිද්‍යාලවල හා සමස්තයක් ලෙස ලෝකයේ ම ඇති දැනුම ද ඇතුළත් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයට එරෙහිව සටන් කිරීම පහසු ක්‍රියාවක් නොවන බව අපි දනිමු. අපි විශ්වවිද්‍යාලයේ ඇතත් නැතත් මේ ආධිපත්‍යයට එරෙහිව සටන් කරමු. එය ආණ්ඩුවට කඩේ යෑමක් ලෙස දකින්නෝ පුහු පඬියෝ ය. අපේ සටන ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට එරෙහිව ය. ඒ වින්තනයට විරුද්ධ චින්තන රාශියක් ලෝකයෙහි ඇත. ලංකාවේ ඇති චින්තනයට අපි ජාතික චින්තනය යැයි කියමු. ගුණදාස අමරසේකර මහතා එකඟ වුවත් නැතත් අප ආසනික් ගැන දැනගත්තේත් වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කරන්නේත් ජාතික චින්තනය මත පදනම් වෙමිනි. ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාට අනුව නම් ජාතික චින්තනය කෙළවර වී ඇත්තේ ජූලම්පිටියේ අමරේ බිහිකරමිනි. ඇතැම් ජඩමාධ්‍යවේදීහු ඔහු පුම්බති. මොවුන්ගේ දැනුමේ තරම මෙයින් පැහැදිලි වෙයි. අද සරසවි ඇදුරන්ගේ සටනට නායකත්වය දෙන්නේ මෙවැන්නෙකි. ජාතික චින්තනය යනු කුමක් දැයි නොදැන ඔහු ඒ විවේචනය කරයි. එය කෙළවර වී ඇතැයි ඔහු කියන්නේ ද? මේ බොහෝ දෙනකුට අද ඇත්තේ බටහිරයන් විසින් ඇතිකර පෝෂණය කෙරුණු දෙමළ ජාතිවාදයේ ඉන්දියානුවන් විසින් ද පෝෂණය කරනු ලැබූ දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීම පිළිබඳ ප්‍රශ්නය ය. කැලණිය විශ්වවිද්‍යාලයෙන් ඉවත්වීමෙන් පසු ද මම එහි ආචාර්යවරුන්ට ජාතික චින්තනයට අදාළ නොයෙකුත් කරුණු සම්බන්ධයෙන් ඉලෙක්ට්‍රොනික තැපෑලෙන් ලිපි යැවීමි. ඒ ලිපිවලට පිළිතුරු දෙනු වෙනුවට ඔවුහු නිල වශයෙන් මගේ ලිපි කිසිවකුට නොලැබෙන්නට සැලැස්වූහ. ඒ ලිපි කියවීමට කැමැත්තෙන් සිටි බොහෝ දෙනකුට ඉන් සිදු වූ අසාධාරණය ගැන ඔවුහු සැලකිලිමත් නො වූහ. ඊනියා භාෂණයේ නිදහස ගැන කතාකරන ඇතැම් සරසවි ඇදුරන්ගේ කටයුතු එසේ ය. අද ඔවුහු ද නිදහස් අධ්‍යාපනය සඳහා ඔවුන් නොදන්නා දළ ජාතික නිෂ්පාදිතයකින්් 6%ක් වෙන් කරන මෙන් ඉල්ලා වර්ජනය කරති. සරසවි ඇදුරන්ගේ වර්ජනය පිළිබඳ ව ඉදිරියේ ලියන ලිපිවල ඇතැම් ඔළු දැනුමකින් තොරව ඉදිමී ඇති අයුරු ව්ස්තර කරමි.