Main Logo

Saturday 1 September 2012

ආසනික්, උගත්තු හා ආණ්ඩුව - I

මම නූගතෙක්මි. මම හිසෙන් ගැමියෙක්මි. එහෙත් අවාසනාවකට මම “ඇඟෙන්” ගැමියෙක් නො වෙමි. එයට හේතුව මා කුඩා කල සිට ම අර්ධ නාගරික හා නාගරික පරිසරවල ජීවත්වීම ය. මම බටහිර විද්‍යාව ඉගෙන ගතිමි. අවුරුදු පහළොවේ දී පමණ මගේ කැමැත්ත වූයේ එවකට තිබූ ලංකා විශ්වවිද්‍යාලයේ උගන්වන බටහිර ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාඥයකු/ ව්‍යවහාරික ගණිතඥයකු වීමට ය. බටහිර ඉංජිනේරුවකු, වෛද්‍යවරයකු වීමට හෝ වෙනත් රැකියාවක් කිරීමට හෝ මට කැමැත්තක් නො තිබිණි. එහෙත් අවුරුදු විසිපහේ දී පමණ බටහිර විද්‍යාවේ මොකක්දෝ අඩුවක් දුටුවෙමි. අවුරුදු හතළිහේ දී පමණ ඒ අඩුව කුමක් දැයි ක්‍රමයෙන් වැටහෙන්නට විණි. මම අද බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව දනිමි. බටහිර විද්‍යාවේ කෙරෙන්නේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි බොරු කතා නිර්මාණය කිරීම පමණකි. ඒ ඇතැම් කතා සමහර අවස්ථාවල නිරීක්‍ෂණ සමග එකඟ වන බවක් පෙනී යයි. එහෙත් එයින් බටහිර විද්‍යාව සත්‍යයක් හෝ සත්‍යය කරා ළඟාවන්නක් හෝ බව නිගමනය කිරීමට නො හැකි ය. විදුසර පුවත්පතට ලිපි ලියන අයකු යුක්ලීඩීය ජ්‍යාමිතියට එකඟ ව නිර්මාණය කරන ගොඩනැගිලි ආදියෙහි සාර්ථකත්වයෙන් පෙන්නුම් කෙරෙන්නේ යුක්ලීඩීය ජ්‍යාමිතියෙන් අප අවට අවකාශය නිරූපණය වන බව වැන්නක් කියා තිබිණි. එහෙත් අයින්ස්ටයින් විද්වතාට අනුව (අවකාශය නොව) අවකාශ - –කාලය යුක්ලීඩීය නො වේ. අප අවට අවකාශය යුක්ලීඩීය යැයි කීම පට්ටපල් බොරුවකි. යුක්ලීඩීය ජ්‍යාමිතිය ඊනියා ඇත්තක් නොසොයන බටහිර ගණිතයෙහි කොටසක් ලෙස පමණක් ඉගැන්වෙනතාක් එහි ප්‍රශ්නයක් නැත. එහෙත් එය බටහිර භෞතික විද්‍යාවෙහි කොටසක් ලෙස ගැනෙන්නේ නම් එය පට්ටපල් බොරුවක් ලෙස සැලකිය යුතු ය. අයින්ස්ටයිනීය සාපේක්‍ෂතාවාදය විසින් කරනු ලැබූ එක් කරුණක් වූයේ ජ්‍යාමිතිය බටහිර භෞතික විද්‍යාවේ කොටසක් බවට පත් කිරීම ය. සාධාරණ සාපේක්‍ෂතාවාදයට අනුව අවකාශ –- කාලය නිර්ණය කෙරෙනුයේ ද්‍රව්‍ය හා විකිරණ මගිනි. එහෙත් මතක තබාගත යුතු කරුණක් නම් සාපේක්‍ෂතාවාදය ද පට්ටපල් බොරු කතාවක් බව ය.

අද විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ වර්ජනයක් වෙයි. විශ්වවිද්‍යාලයීය ආචාර්යවරු උගත්තු යැයි හැඳින්වෙති. ඔවුහු ජනතාවට බොරු කියති. ඔවුන් කියන්නේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ඔවුන් සටන් කරන බව ය. කලින් තම වැටුප් වැඩිකිරීම ගැන කතාකළ ද එය යුක්තියුක්ත කිරීමට නොහැකිව ආණ්ඩුව අධ්‍යාපනය සඳහා දළ දේශීය නිශ්පාදිතයෙන් 6%ක් වෙන් කළ යුතු යැයි ඔවුහු කියති. එය යුනෙස්කෝ වාර්තාවක් අනුව කළ යුතු වූවක් බව ද ඔවුහු කියති. එහෙත් යුනෙස්කෝ වාර්තාවෙන් කියැවෙන්නේ ආණ්ඩුව අධ්‍යාපනය සඳහා දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කළ යුතු බව නො වේ. සම්මේලනය තම ඉල්ලීම් නිතර් වෙනස් කරයි. මේ කෙරීගෙන යන්නේ පසුගිය වසරේ අත්හිටවී යැයි කියන වර්ජනය නොවේ. එදා සිට අද දක්වා ඇතැම් ඉල්ලීම් වෙනස් කෙරී ඇති අතර 6% ද ඇතුළු අලුත් ඉල්ලීම් එකතු කෙරී ඇත. සම්මේලනයේ අලුත් ම ඉල්ලීම්වලින් ඔවුන් මෙතෙක් වාචිකව පමණක් කී ආණ්ඩුව දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන්කළ යුතු ය යන්න ලිඛිතව ම ඉදිරිපත් කෙරී ඇත. සම්මේලනයේ නිලධාරීන් එදා දැන නොසිටියත් අද දන්නා කරුණක් නම් දැනටමත් මෙරට අධ්‍යාපනයට දළ දේශීය නි’ෂ්පාදිතයෙන් 6%ක් පමණ වෙන් කෙරෙන බව ය. ඉසෙඩ් ලකුණු අවුලට මූලිකව ම වගකිව යුත්තේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හා ව්‍යාජ ජනතාවාදී විරයන්ගේ සම්භාවනාවට පත් වී ඇති මහාචාර්ය තටිල් මහතා ය. අද 6000 –- 8000ක පමණ සිසුන් යන එන මං නැතිව සිටින්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට තටිල් ක්‍රමය අනුව දෙවැනි වර ඉසෙඩ් ලකුණු ගණනය කිරීමට උපදෙස් දීමට සිිදුවීම නිසා ය. පළමුව ඉදිරිපත් කළ ඊනියා විද්වත් කණ්ඩායමේ සූත්‍රය ද සංකල්පීය ව වැරදි නමුත් ඒ අනුව තේරුණු පළමුවරට පෙනී සිටි අයගේ හා නැවත පෙනී සිටි අයගේ අනුපාතය පසුගිය වසර කිහිපය සමග සැසඳීමේ දී සැලකිය යුතු තරමින් වෙනස් නොවිණි. එහෙත් ආණ්ඩුව මේ කිසිවක් ජනතාවට නො කියයි. උසස් පෙළ පරීක්‍ෂණයට ප්‍රශ්න පත්‍ර සකස් කරන්නෝ විශ්වවිි්‍යාලයීය ආචාර්යවරු ය. එහි වැරදි ඇත්නම් එයට වගකිව යුත්තේ ආචාර්යවරුන් ය. එහෙත් ආණ්ඩුව මේ කිසිම අවස්ථාවක තටිල් මහතා ඇතුළු අදාළ ආචාර්යවරුන්ට දොස් පැවරුවේ නැත.

උසස් පෙළ පරීක්‍ෂණයේ ප්‍රශ්නපත්‍රවල පළමුවරට වැරදි තිබුණේ මේ වසරේ නො වේ. මේ වැරදි සැමදාමත් තිබී ඇත. ප්‍රශ්නපත්‍රවල වැරදි නොතිබූ වසරක් කිවහැකි ද? බොහෝ වසරවල මේ වසරට වඩා වැරදි තිබී ඇත. පරමාදර්ශීව ගතහොත් ප්‍රශ්නපත්‍රවල වැරදි නැතිවිය යුතු ය. එහෙත් පෘථග්ජනයන් වීම නිසා ම සිදුවන වැරදි ද වෙයි. ජනතා විමුක්ති පෙරමුණ හා එයට සම්බන්ධ ගුරු සමිති ආණ්ඩුව හා ඇමතිවරු ගෙදර යැවීමේ අරමුණෙන් වැරදි සිදුවී ඇත්තේ මේ වසරේ පමණක් ය යන අදහස ජනතාවට දෙමින් ඒ පිළිබඳ ව ආණ්ඩුව වගකිව යුතු යැයි කියද්දී ආණ්ඩුව නිසි පිළිතුරු නො දුන්නේ ය. ආණ්ඩුවේ ජනමාධ්‍ය ඒවාට පිළිතුරු ඇති අයට දොර වැසී ය. එක්තරා ඇමතිවරයකු තම හෙංචයියන් සමග එකතු වී ආණ්ඩුවේ ජනමාධ්‍ය පාලනය කරන බව පැහැදිලි ය. ආණ්ඩුව විනාශවනු ඇත්තේ මෙවැනි ඇමතිවරුන් නිසා ය. ඇතැම් විශ්වවිද්‍යාලයීය ආචාර්යවරු ද පාසල් ගුරුවරු ද ශිෂ්‍යයෝ ද ජ වි පෙ, එ ජා ප හා වෙනත් අය සමග එක්වී ආණ්ඩුව අස්ථායී කිරීමට කටයුතු කරති. අපි ඒ බව මුල සිට ම කීවෙමු. 6% ක් ගැන බොරු කියමින් වෙනත් අය සමග ආණ්ඩුව අස්ථායි කිරීමට කටයුතු කරන සම්මේලනය තම ඊනියා සටනට ශිෂ්‍යයන් සහභාගි කරගැනීමෙන් සිදුවන විනාශය ගැන අටුවා ටීකා අනවශ්‍ය ය. විශ්වවිදාලයීය ගුරුවරුන්ට තම සේවය, ශ්‍රමය සැපයීම අස්කරගත හැක්කේ විශ්වවිද්‍යාලවලිනි. ඔවුන්ට උසස් පෙළ පරීක්‍ෂණයට සහභාගිවීමට පත්වීම් ලිපි ලබන්නේ විභාග දෙපාර්තමේන්තුවෙන් මිස විශ්වවිද්‍යාලවලින් නො වේ. විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිතියක් මිස උසස් පෙළ පරීක්‍ෂකවරුන්ගේ වෘත්තීය සමිතියක් නො වේ. ආචාර්යවරුන්ට පරීක්‍ෂකයන් ලෙස පත්වීම් ලැබෙන්නේ විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් වීම නිසා බව සැබෑ නමුත් ඔවුන් පරීක්‍ෂකවරුන් ලෙස සේවය කරන්නේ ආචාර්යවරුන් ලෙස නො වේ. ආචාර්ය සමිති සම්මේලනයට හෝ විශ්වවිද්‍යාලයක ආචාර්ය සමිතියකට හෝ ආවාර්යවරුන් උසස් පෙළ පරීක්‍ෂණයේ පරී්ක්‍ෂකවරුන් ලෙස කටයුතු කිරීම වැළැක්වීමට තීරණ ගැනීමට නෛතික හෝ සදාචාරාත්මක හෝ අයිතියක් නැත. සම්මේලනයේ ඒ සියළු දුර්වලකම් මැද ආණ්ඩුව උසස් අධ්‍යාපනය පිළිබඳ ඇමතිතුමා හුදු නිරීක්‍ෂකයකු බවට පත්කරමින් එක් ඇමතිවරයකුගේ හා ආණ්ඩුවේ ඉහළ තනතුරු දරණ ඇදුරන් දෙදෙනකුගේ මැදිහත්වීමෙන් සම්මේලනයේ ඉල්ලීම් ලබාදීමට යන බව සැළ ය. මේ ආණ්ඩුව බිඳ වැටෙන්නේ මෙවැනි දුර්වල ක්‍රියාමාර්ග හේතුවෙනි.

මේ ආචාර්යවරු ද පොදුවේ මෙරට උගත්තු ද නිදහස් අධ්‍යාපනයට විරුද්ධ වෙති. ඊනියා අධ්‍යාපනික නිදහසක් ඇතැයි කියන විශ්වවිද්‍යාලවල අපේ දැනුමක් ඉගැන්වීමට, භාවනා වැඩසටහන් පැවැත්වීමට ඇති නිදහස කුමක් ද? එවැනි දේ කිරීමට උත්සාහ කරන විට එයට විරුද්ධවන්නෝ ආචාර්යවරු ය. ඔවුහු බටහිර යුදෙව් ක්‍රිස්තියානි අධ්‍යාපනයෙන් දෙන දැනුම සත්‍ය යැයි ගනිමින් අපේ දැනුම මිථ්‍යාවක් යැයි පවසති. අපේ දැනුම විශ්වවිද්‍යාලවල ඉගැන්වීමට ඔවුන් විරුද්ධ වේය යන්නෙන් අදහස් කෙරෙන්නේ ඔවුන් නිිදහස් අධ්‍යාපනයට විරුද්ධ බව ය. ඔවුහු සමාජවාදීන් වුව ද ලිබරල්වාදීන් වුව ද බටහිර ගැත්තෝ වෙති. ඔවුන් විශ්වවිද්‍යාලවල සනාතන සභාවල කරන එකම දෙය බටහිරයන්ට අවශ්‍ය පරිදි අධ්‍යාපනය ලබා දීමට කටයුතු කිරීම ය. දැනුම ලබාගැනීමේ ක්‍රමය ලෙස සිංහල බෞද්ධයන් සලකන්නේ ප්‍රත්‍යක්‍ෂය පමණකි. ඇතැම් බෞද්ධ උගතුන් යැයි කියාගන්නවුන් බටහිරයන් ඉදිරියේ වැඳ වැටෙමින් අනුමානය ද බෞද්ධයන්ගේ දැනුම ලබාගැනීමේ ක්‍රමයක් ලෙස පෙන්වීමට තැත්කළ ද බුදුන්වහන්සේ ඒ අනුදැන වදාළ තැනක් ගැන දැනගැනීමට නැත. මිහිඳු මහ රහතන් වහන්සේ සිංහලයන්ට පළමුව දේශනා කළ චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙන් කියැවෙන්නේ ද ප්‍රත්‍යක්‍ෂය පමණක් දැනුම ලබාගැනීමේ ක්‍රමය ලෙස ගැනීමට ය. එහෙත් මෙරට විශ්වවිද්‍යාලවල මේ ක්‍රමයෙන් දැනුම ලබාගැනීමට කිසිම නිදහසක් නැත. කොළඹ විශ්වවිද්‍යාලයේ දී මෙන් ම කැලණිය විශ්වවිද්‍යාලයේ දී ද මම ඒ බව අත්දුටුවෙමි. ඇදුරන්ගෙන් අතිවිශාල බහුතරය දන්නේ බටහිර දැනුම ලබාගැනීමේ ඊනියා විද්‍යාත්මක ක්‍රමය පමණකි. එහෙත් බටහිර විද්‍යාවේ ඇත්තේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි නිර්මාණය කෙරුණු පට්ටපල් බොරු කතා පමණකි.

මම සිංහල බෞද්ධයෙක්මි. මා අනුගමනය කරන්නේ කාළාම සූත්‍රය ය. මම හැකිතාක් දුරට ඇසූ නිසා පොතක පතක තිබූ නිසා ආදී වශයෙන් නොපිළිගෙන ප්‍රශ්නයක මුලට ගොස් එය විශ්ලේෂණය හා සංස්ලේෂණය කර ප්‍රත්‍යක්‍ෂයෙන් දැනුම ලබාගනිමි. එසේ නොහැකි වූ විට මගේ විඤ්ඤූන්ගේ ප්‍රත්‍යක්‍ෂයෙන් දැනුම ලබාගනිමි. මට පුනබ්භවය පිළිබඳ ප්‍රත්‍යක්‍ෂයක් නැත. එහෙත් මම ඒ පිළිබඳ බුදුන් වහන්සේගේ හා ආධ්‍යාත්මික වශයෙන් දියුණු වෙනත් අයගේ ප්‍රත්‍යක්‍ෂය පිළිගනිමි. බයිබල් ක්‍රමය අනුගමනය කරමින් උගතුන් යැයි කියන්නන්ගේ බලාධිකාරී දැනුම උපුටා දැක්වීම මගේ ක්‍රමය නො වේ. මට කර්මවාදයක් අවශ්‍ය නො වේ. බුදුන් වහන්සේ උන්වහන්සේගේ ප්‍රත්‍යක්‍ෂයෙන් ලබාගත් කර්මය පිළිබඳ දැනුම මට ප්‍රමාණවත් ය. බටහිර යුදෙව් ක්‍රිස්තියානි පට්ටපල් බොරු කතා ඉදිරියේ වැඳ වැටුණු, වැටෙන මහා ප්‍රාඥයන් යනුවෙන් හැඳින්වුණු, හැඳින්වෙන ඇතැමුන් පුනබ්භවය ප්‍රතික්‍ෂෙප කළ බව, කරන බව මම දනිමි. ඔවුන්ට තිබුණේ, තිබෙන්නේ හීනමානයකි.

අද ආසනික් ගැන බොහෝ දෙනා කතාකරති. දිනේශ් ගුණවර්ධන මහතා ද, ගුණදාස අමරසේකර මහතා ද අද ආසනික් ගැන කියති, ලියති. ඇමතිතුමාගේ අමාත්‍යාංශයට ආසනික් නැත. අමරසේකර මහතාට හා ඊනියා දේශ හිතෛශීන්ට නාථ දෙවියන් නැත. නාථ දෙවියන් නොමැතිව ආසනික් ගැන කතාකරන්නෝත් නාථ දෙවියන් කියද්දීත් ආසනික් ප්‍රතික්‍ෂෙප කරන්නෝත් අපේ දැනුම ලබාගන්නා ක්‍රමය ප්‍රතික්‍ෂෙප කරති. නාථ දෙවියන් යනුවෙන් හැඳින්වෙන්නේ කවුදැයි මම නො දනිමි. එතුමා දෙවියකු, භූතයකු හෝ වෙනත් අමනුෂ්‍යයකු හෝ විය හැකි ය. අප රජරට වකුගඩු රෝගයට හේතුවූ කෘෂි රසායන ද්‍රව්‍යවල ආසනික්, කුඹුරු පස හා කිවුල් ජලය ගැන දැනගත්තේ ඊනියා විද්‍යාත්මක පරීක්‍ෂණවලින් නොව ප්‍රියන්තා සේනානායක මහත්මිය මගින් නාථ දෙවියන්ගෙන් හා විපස්සක දෙවියන්ගෙනි. මහාචාර්ය ප්‍රියානි පරණගම මහත්මිය හා පිරිස ඇදුරු විරෝධතා මැද ඒ බව සනාථ කළහ. රෝගයට පිළියම් දියුණු යැයි කියන බටහිර වෙදකමේ නැත. අපි දෙවිවරුන්ගෙන් ඒ සඳහා පිළියම් ද දන්නෙමු.