Main Logo

Saturday, 7 January 2012

කැලණිය ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය

පසුගිය බදාදා කැලණිය විශ්වවිද්‍යාලයේ ඇතැම් ඇදුරෝ එක් දිනක් දේශන පැවැත්වීමෙන් වැළකී සිටියහ. එය එහි උපකුලපතිතුමාට හා ආණ්ඩුවට විරුද්ධව කරන ලද්දක් විය. එහෙත් එහි නිමිත්ත මා විය. ඔවුන්ගේ වර්ජනයේ තේමා වූයේ ආණ්ඩුව නීතියට පටහැණිව මට වසර තුනක සේවා දිගුවක් දීම වැරදි බව ප්‍රකාශ කිරීමත් මා පසුගියදා ඇතැම් ආචාර්යවරුන්ට බැණ වැදීම, ඊනියා විභාග අක්‍රමිකතා කිරීම, ගුරුවරුන්ට එරෙහිව ශිෂ්‍යයන් මෙහෙයවීම, ආදිය පිළිබඳ ව උපකුලපතිතුමාට පැමිණිලි කරන ලද මුත් එතුමා ඒ පිළිබඳ කිසිදු පරීක්‍ෂණයක මේවනතුරු නොපැවැත්වී යැයි උපකුලපතිතුමා ට විරුද්ධව චෝදනා කිරීමත් ය. මේ වර්ජනය පිළිබඳ කිවයුතු කරුණු බොහෝ ය. පළමුවෙන් කිවයුත්තේ වැඩවර්ජනය කීරීමට කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමය ගත් තීන්දුව ඒ සංගමයේ ව්‍යවස්ථාවට පටහැණි බවය. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර ඒ සංගමය ලියා පදිංචි කර නැති බව රැස්වීමට සහභාගි වූ අය නොදැන සිටින්නට ඇත. (සාමාන්‍යයෙන් වෘත්තීය සමිති කටයුතු ගැන සරසවි ඇදුරන්ට දැනුමක් නැත.) වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීම ඕනෑම රැස්වීමක දී කළහැකි කටයුත්තක් නො වේ. ඒ සඳහා ඒ බව දැනුම් දෙමින් රැස්වීමක් කැඳවිය යුතු අතර විශේෂිත ගණ පුරණයක් තිබිය යුතු ය. එහෙත් අදාළ රැස්වීමට සහභාගි වී ඇත්තේ යම්තමින් සාමාජිකත්වයෙන් තුනෙන් එකක් යැයි වාර්තා වෙයි. අපි එය පසෙකින් තබමු. වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමේ දී ආචාර්ය සමිති සම්මේලනය පවා නෛතික හෝ සදාචාරාත්මක හෝ කරුණු ගැන සෑලකිල්ලක් නොදක්වන බව පසුගිය වැටුප් අරගලයේ දී පැහැදිලි විය.

කැලණිය සරසවි ඇදුරන්ගේ වර්ජනය මා සාකච්ඡා කරන්නේ හුදෙක් පෞද්ගලික ප්‍රශ්නයක් ලෙස සලකමින් නො වේ. එය ජාතික ප්‍රශ්නයකි. අද නැවත වරක් ජ වි පෙරමුණෙන් කැඩී ගිය ජනරළ කණ්ඩායම ජනරුල්ලක් කෙසේ වෙතත් සිසු රැල්ලක් හා ඒ ඔස්සේ කසිකබල් මාක්ස්වාදය, ඊනියා පශ්චාත් මාක්ස්වාදය හා පශ්චාත්නූතනවාදය ඇසුරු කරමින් සිසු ඝාතනයක් ඇතිකිරීමට අර අඳින බවත් එයට ජ වි පෙරමුණට හිතවත් ඇදුරන්ගේ ද එ ජා පක්‍ෂයට හිතවත් ඇතැම් ඇදුරන්ගේ ද සහාය ලැබෙන බවත් පැහැදිලි ය. අවුරුදු පනහකට ආසන්න මගේ සරසවි අත්දැකීමෙන් මා දන්නා ප්‍රධාන ම කරුණ අප රටේ විශ්වවිද්‍යාලවල සරසවිය නැති බව ය. එහි ඇත්තේ දුර්ගා දේවිය ය. විශ්වවිද්‍යාල පවත්වාගෙන යන්නේ ආධිපත්‍යය හා බිය පදනම් කරගනිමිනි. පළිගැනීම, බියවැද්දීම, බල අරගල සරසවියගේ කාර්යභාරයන් නො වේ. විශ්වවි්‍යාලවලට ඇතුළත්වන සිසුහු මුළ සිට ම බියෙන් පෙළෙති.

බොහෝ දෙනා බොහෝ විට කතාකරන එහෙත් විසඳුමක් නැති ප්‍රශ්නයක් සේ පෙනෙන නවක වධය ද ආධිපත්‍යය මුල් කරගෙන පැවැත්වෙයි. නවක වධය අද ඊයේ ඇති වුවක් නොව අවුරුදු පනහකටත් පෙර පැවති අමානුෂික වදයකි. එදා අමානුෂික නවක වධයක් නොතිබූ බවට පැරුන්නන් කියන කතා සුරංගනා කතා පමණකි. පේරාදෙණියේ ජයතිලක ශාලාවේ වැසිකිළිවල බඩගෑමට 1963 කණ්ඩායමට ද සිදුවිය. සිංහල බෞද්ධ සංස්කෘතියේ ගුරුවරුන්ට, වැඩිහිටියන්ට, ජ්‍යෙෂ්ඨයන්ට ගරුකිරීමක් වෙයි. එහෙත් එය බිය පදනම් කරගත් එකක් නො වේ. නවක වධය යනු සහමුළින් ම ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් නවකයන් තම ආධිපත්‍යය යටතට ගැනීමට යොදාගන්නා ක්‍රියා මාර්ගයක් පමණකි. අද ජ වි පෙ එය දේශපාලන ආයුධයක් ලෙස ද යොදා ගනියි. එහෙත් එහි මුළ ඇත්තේ ආධිපත්‍ය ය. ජ වි පෙ විශ්වවිද්‍යාලයේ තම ආධිපත්‍යය පවත්වාගෙන යෑම සඳහා නවක වධය යොදාගනියි. නවක වධය නැතිකිරීමට නොහැකි වී ඇත්තේ බොහෝ ගුරුවරුන් එක් පැත්කින් ශිෂ්‍යයන්ට, විශේෂයෙන් ම ජ වි පෙට හිතවත් ශිෂ්‍යයන්ට, බියවීම නිසා ය. අනෙක් පැත්තෙන් ජ වි පෙරමුණට හිතවත් ගුරුවරුන් වධකයන් ආරක්‍ෂා කිරීම නිසා ය. විශ්වවිද්‍යාලවල සිසුන්ට බය නැති ගුරුවරුන් ඇත්තේ අතළොස්සක් බව කණාගාටුවෙන් වුව ද සඳහන් කළ යුතු ය. අද සිසුන් ගුරුවරුන්ට පහරදීමට පෙළඹී ඇත්තේ ජ වි පෙ දේශපාලනයෙහි නිරතවන මැර සිසුන් ගුරුවරුන්ට බියක් හෝ ගෞරවයක් හෝ නැති බැවිනි. මේ මැරයන් සමග එකට පුවත්පත් සාකච්ඡා පවත්වා ඇති ආචාරය සංගම් වේ.

නවක සිසුහු ජ්‍යෙෂ්ඨයන්ට ද ගුරුවරුන්ට ද බිය වෙති. ගුරුවරුන් තමන් විභාගවලින් අසමත් කරතියි යන බිය හා සැකය ජ වි පෙ නොවන ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන්ට ද වෙයි. විශ්වවිද්‍යාලවල ජ්‍යෙෂ්ඨයන්ට ඇති බිය ආචාර්ය මණ්ඩලයෙහි ද දැකිය හැකි ය. සිසුහු තමන් තාවකාලික ආචාර්ය මණ්ඩලයට බඳවා ගැනීම සඳහා ගුරුවරුන්ට ඔළුව නමාගෙන සිටිති. ඉන්පසු ස්ථිරවීම සඳහා තව තවත් ඔළුව නමති. ශිෂ්‍යත්ව , නිවාඩු , උසස්වීම් ආදියෙහි දී තමන්ට අවාසියක් සිදුකරාවිය යන බියෙන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු ද තමන්ට වඩා ජ්‍යෙෂ්ඨයන් ට බිය වෙති. එහෙත් ඒ අතර තමන්ට වඩා පහත්යැයි සැලකෙන ජ වි පෙ නොවන ශිෂ්‍යයන්ට හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයට තම ආධිපත්‍යය පතුරවති. මේ ගුරුවරු හා අනධ්‍යයන මණ්ඩලය අතර ඇතැම්විට ඇත්තේ උසස් පෙළ විභාගයේ ලබාගත් ලකුණු වල සුළු පරතරයකි. ළකුණක දෙකක එහා මෙහා වීමෙන් කෙනකු මහාචාර්යවරයකු ද බවට ද තවත් අයකු අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ භවතකු බවට ද පත්විය හැකි ය. එහෙත් බොහෝ ගුරුවරුන් අනධ්‍යයන කාර්ය මණ්ඩලයට සලකන්නේ තම සේවකයන්ට මෙනි. අපි අද සිසුන් ගුරුවරුන්ට කරන පහරදීම් ගැන කතාකරමු. එහෙත් කැලණිය විශ්වවිද්‍යාලයේ එක්තරා ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු නිබන්ධකයකුගේ අතින් ඇදගෙන යෑමක් පිළිබඳ නඩුවක් අධිකරණයට යොමු වි ඇති බව බොහෝ දෙනා නො දනිති. ඇතැම් මහාචාර්යවරුන් තම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ උපාධි සම්බන්ධයෙන් තම ආධිපත්‍යය මත පිහිටා කටයුතු කරන අවස්ථා ඇත. විශේෂයෙන් ම පශ්චාත් උපාධි සම්බන්ධයෙන් ශිෂ්‍යයා ගුරුවරයාගේ මතයට පටහැණි වීමට හෝ ගුරුවරයාගේ ඊර්ෂ්‍යාව තමන් වෙත යොමුකර නොගැනීමට ප්‍රවේසම් විය යුතු ය. අවශ්‍ය නම් මේ නොයෙකුත් වර්ගවල ආධිපත්‍යය සඳහා මට නිදර්ශන සැපයිය හැකි ය.

මම අහම්බෙන් සරසවි ඇදුරකු බවට පත්වූවෙක් නො වෙමි. වෛද්‍යවරයකු හෝ ඉංජිනේරුවකු හෝ වීමට අසමත්වීම නිසා “ විද්‍යාඥයකු” බවට පත්වූවෙක් ද නො වෙමි. මට ව්‍යවහාරික ගණිතය උගන්වන සරසවි ඇදුරකු වීමට කැමැත්තක් ඇති වූයේ සාමාන්‍ය පෙළ පංතියේ දී ය. මා සරසවියට ඇතුල් වූයේ එකල ප්‍රදානය කෙරුණු ප්‍රදර්ශනයක් ද දිනාගනිමිනි. සරසවි ඇදුරකු වීම මගේ කැමැත්ත මිස අරමුණ නො වීය. මට අවුරුදු දොළහක් පමණ රැකියාවක් නැතිව කල්ගත කිරීමට එක් අතකින් හැකි වූයේ ද සරසවි ඇදුරකු වීම මගේ අරමුණක් නොවීම නිසා ය. මගේ ගෞරවයට පාත්‍රවූ ඇදුරෝ කිහිප දෙනෙක් ම වූහ. එහෙත් ඇතැම් ගුරුවරුන් නිවටයන් බව ශිෂ්‍ය අවධියේ දී ම මම දැන සිටියෙමි. සමාජයේ පවතින ආධිපත්‍යය මෙන් ම සරසවියේ ඇදුුරන්ගේ ආධිපත්‍යය ද මම නො ඉවසිමි. පේරාදෙණියට මා දෙවැනි වර බඳවා නොගැණුනේ ද කෙළඹින් මා අස්කෙරුණේ ද ඇතැම් නිවට එහෙත් බලයක් තිබූ ඇදුරන්ගේ ආධිපත්‍යයට බිය නොවී ඔවුන් සිසුන් වෙත එල්ල කළ ආධිත්‍යයට එරෙහිව කටයුතු ඛළ බැවිනි. අද කැලණියේ සිදුවන්නේ ද එයයි. කොළඹ දී මෙන් ම කැලණියේ දී පේරාදෙණියේ නොතිබූ සාධකයක් ද ක්‍රියාත්මක වෙයි. ඒ මා සාධාරණ වශයෙන් බටහිර දැනුම් ආධිපත්‍යයට විශේෂයෙන් බටහිර විද්‍යාවේ ආධිපත්‍යයට ද විරුද්ධ වීම ය. වසර අවසානයේ දී මම මගේ දික්කරන ලද සේවය අත්හරිමි. එහෙත් ඇතැමුන්ට අවශ්‍ය හැකිනම් එයට කලින් මා අස්කිරීම ය. මා ඇතැම් ගුරුවරුන්ට බැණ වැදී ඇතැයි ආචාර්ය සංගමය කියයි. මේ පිළිබඳ ව ආචාර්ය සංගමය කිසි දිනෙක මගෙන් කරුණු විමසා නැත. ඒ මා සංගමයේ සාමාජිකත්වයක් ද දරද්දී ය. මම විද්‍යා පීඨයේ පීඨාධිපති බවට පත්වීමෙන් පසු අනධ්‍යයන කාර්ය මණ්ඩලයට ද සිසුන්ට ද දණ්ඩ නීතිය නො පැමිණවීමි. අනධ්‍යයන කාර්ය මණ්ඩලයට ඇතැම් ගුරුවරුන් හුදෙක් තම ලකුණු දෙකේ (තුට්ටු දෙකේ) මහේශාක්‍යභාවය මත පදනම් වී නිකරුණේ චෝදනා කරන විට මම ඒ ගුරුවරුන්ට දොස් කීවෙමි. එක් ශිෂ්‍යයකු එක් ප්‍රශ්න පත්‍රයකට ප්‍රමාද වී පැමිණි විට ඔහුගෙන් ප්‍රශ්න කර ඔහු ප්‍රශ්න පත්‍රය දැක නැති බවට මට ඒත්තු ගිය විට මම ඔහුට පීඨාධිපති ලෙස ඒ පර්ක්‍ෂණයට පෙනී සිටීමට අවසර දුනනෙමි. බොහෝ ගුරුවරු නීතිය සම්බන්ධයෙන් ගොඩ පෙරකදෝරුවෝ පමණක් වෙති. ඔවුන් සිතන්නේ මා විභාග අක්‍රමිකතාවක් කළ බව ය. මේ ඇදුරෝ මට විරුද්ධව උපකුලපතිතුමාට පැමිණිළි කළහ. උපකුලපතිතුමා ඒ චෝදනාව සහ එයට ආදළ තවත් චෝදනාවක් විභාග කිරීමට හිටපු මාහාධිකරණ විනිසරුවකු පත්කිරීමට කටයුතු කළේ සාමාන්‍ය සම්ප්‍රදායට පිටින් ගොස් පාලක සභාව රැස්නොකර පාලක සභා සාමාජිකයන්ගේ කැමැත්ත ලිපිවලින් ද ලබා ගැනීමෙනි. එතුමාට එතරම් හදිසියක් ඒ සම්බන්ධයෙන් වූයේ අර ඇදුරන්ගේ බලාධිපත්‍යය නිසා ය. විභාග පැවැත්වීම පිළිබඳ ඇදුරන් නොදැන සිටි කරුණු මම විභාගයට ඉදිරිපත් කළෙමි. මා චෝදනාවෙන් නිදොස් වූවා පමණක් නොව විනිසූරුතුමා තම වාර්තාවෙන් කියා සිටියේ (මගේ සේවා දිගුව හේතුවෙන්) තනතුරු බලාගෙන සිට ඒ කඩවූවන් එහි දී ක්‍රියාකාරී වී ඇති බව ය. වසර අවසානයේ දී හිස්වන පීඨාධිපති ධුරය සඳහා අද සිදුවන පෙර සූදානමෙන් ඒ වාර්තාව සනාථ වෙයි. මේ ඇදුරෝ වාර්තාව නොපිළිගන්නා බව කියති. එමගින් ඔවුහු ශිෂ්‍යයන්ට ද තමන්ගේ මතයට විරුද්ධව ඉදිරිපත් වන වාර්තා නොපිළිගැනීමට ආදර්ශ සපයති. ගුරුවරයා හිටගෙන මොකක්දෝ කරන විට ගෝලයා දුව දුව ඒ කරන්නේ යැයි කතාවක් වෙයි. තමන් මට එරෙහිව කළ චෝදනාවක් විභාග කිරීමට පත්කරන ලද ඒකපුද්ගල කමිටුව තමන්ට රුචි නොවන තීරණයක් දුන්විට ඇදුරන් කළ යුත්තේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යෑම ද? (මතු සම්බන්ධයි)


.