Main Logo

Saturday 24 March 2012

ජෙනීවා සමුළුවෙන් උගත් පාඩම්

ලංකාවට එරෙහිව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සමුළුවට ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනාව තරමක් සෑර බාල්දු කළ එකක් විය. එහෙත් මේ ලියන මොහොත තුරු එය නිල වශයෙන් යෝජනාවක් ලෙස ගැනීමට අවශ්‍ය වූ රටවල් පහළොවක් එයට අත්සන් තබා නැත. එසේ අත්සන් තැබුව ද යෝජනාවට ඡන්දය විමසීමක් කරා යෑමට ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කටයුතු කරාවි ද යන්න පැහැදිලි නැත. එසේ ඡන්දයකට ගියත් නැතත් ඡන්දයේ දී ඔවුන් ජයග්‍රහණය කළත් නැතත් ප්‍රශ්නය ජෙනීවා සමුළුවෙන් අවසන් නො වේ. කවදා ප්‍රශ්නය අවසන් වුවත් අප ජයග්‍රහණය කිරීමෙන් තොරව එය අවසන් කිරීමට ඉඩ නොදිය යුතු ය. ජයග්‍රහණය සඳහා අවශ්‍ය වන්නේ බටහිර යටත්විජිතවාදයට එරෙහි රටවල ශක්තිමත් සංවිධානයක් බිහිකිරීමත් එයටත් වඩා අප රටේ ජනතාවගෙන් බහුතරය ඇමරිකාව ප්‍රමුඛ බටහිර යටත්විජිතවාදීන් පරාජය කිරීම සඳහා මානසික තත්වයකට පත්කිරීමත් ය. එහි දී භික්‍ෂූන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ජනතාවගේ ආධ්‍යාත්මික ශක්තිය නැංවීමට කටයුතු කිරීමත් හමුදාවේ සෙබළුන්ගේ ආධ්‍යාත්මික ශක්තිය මෙන් ම යුද ශක්තියත් වර්ධනය කිරීමට කටයුතු කිරීමත් ය. ලොවෙහි දරුණුම ත්‍රස්තවාදී සංවිධානය පරාජය කළ අපේ රණවිරුවන්ට යම් අයුරකින් ඇමරිකානු ආක්‍රමණයක් සිදුවුවහොත් එය ද පරාජය කිරීමට හැකි වනු ඇත. තවත් බෞද්ධ රටක් වූ වියට්නාමය විසින් එකල ඇමරිකාව පරාජය කෙරුණු අන්දම අපි සිහිපත් කරමු. මෙහි දී ජනතාව බියකිරීම මගේ අරමුණ නො වේ. එහෙත් ඉදිරි කාලයෙහි දී ආර්ථික සම්බාධකවලට මෙන් ම ආක්‍රමණවලට ද මුහුණ දීමට අද සිට සූදානම් වීම අනියත බියක් නිසා යෝජනා කරන්නක් නොව අප බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙහි ඊනියා මානව දයාව කුමක් දැයි දන්නා නිසා කෙරෙන්නකි. ආර්ථික සම්බාධකවලට සූදානම් වීමේ දී වස විස සහිත බටහිර කෘෂිරසායනයෙන් නිිදහස් වීමට ද අප කටයුතු කළ යුතු ය. බටහිරෙන් ලැබෙන පොහොර, පලිබෝධ නාශක ආදිය යොදා ගැනීම මගින් එක් පැත්තකින් අප ඔවුන්ගේ ග්‍රහණයට හසුවන බව අමතක නොකළ යුතු ය. විද්‍යාලංකරයෙන් හා කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයෙන් එකල රට දැය සමයට හිතැතිව කරන ලද අධ්‍යයනවලින් පසුව එවැනි පදනමකින් කෙරුණු එකම පර්යේෂණය යැයි කිවහැකි විද්‍යා පීඨයේ ආසනික් සම්බන්ධ පරීක්‍ෂණ පැවැත්වීමට දිගට ම අකුල් හෙලූ කණ්ඩායමක් අද එම පරීක්‍ෂණ නැවැත්වීම සඳහා පියවර ගනිමින් සිටියි. එමෙන් ම යම්කිසි දිනක බටහිර වෙදකමේ බෙහෙත්වලින් නිදහස් වීමට ද පියවර ගැනීමට සිදුවනු ඇත. නිදහස අවසාන වශයෙන් ලැබෙන්නේ අප බටහිරයන්ගේ දැනුමෙන් නිදහස් වූ දිනක ය.

ලංකාවේ ඊනියා යුද්ධාපරාධ සිදු වූ බවට සාක්‍ෂි ඉදිරිපත් කිරීමට ඇමරිකාවට හෝ මේ සියල්ල පිටුපස සිටින එංගලන්තයට හෝ නො හැකි ය. යම්තමින් වුව සාක්‍ෂියක් තිබිණි නම් ඔවුන් මේ වන විටත් අප දඬුකඳේ ගසා ය. සාක්‍ෂි නොමැති බැවින් ඔවුහු චැනල් ෆෝ මගින් ව්‍යාජ වීඩියෝපට නිපදවතිෂ එක් එක් රට, එක් එක් සංවිධාන, එක් එක් එක් සංසද ඔස්සේ ලංකාවට විරුද්ධව යෝජනා සම්මත කරවති. ඊනියා අන්තර්ජාතික ජූරිය මේ කැරොල් කරත්තයට එක් වී ඇති අළුත්ම නඩය වෙයි. ඔවුන් එකතුවීමෙන් පෙන්නුම් කරන්නේ ඊනියා ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ දී කෙසේ ක්‍රියාකරාවිද යන්න ය. මේ අතර බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය විසින් තම ආධිපත්‍යය තහවුරුකිරීම සඳහා හැටේ දශකයෙන් පසුව පිහිටුවනු ලැබූ ඊනියා රාජ්‍ය නොවන සංවිධාන ද වෙයි. මෙරට හමුදාවලට එරෙහිව සරත් ෆොන්සේකාගේ ව්‍යාජ සුදුකොඩි කතාව හැරෙන්නට වෙනත් සාක්‍ෂියක පුළුටක්වත් සොයාගැනීමට බැරි බටහිරයෝ සරත් ෆොන්සේකා නිදහස් කරන ලෙස ද බලපෑම් කරති. ජනාධිපතිතුමා ඔහුට සමාවක් දෙන්නේ නම් එසේ කළ යුත්තේ බටහිරයන්ට කිසිදු ආකාරයකින් ඔහු යොදාගැනීමට නොහැකිවන ආකාරයකට ය. සාක්‍ෂි නොමැති බටහිරයෝ අපට එරෙහිව හිතුමතේට කටයුතු කිරීමට මැළිවෙති. එබැවින් ඔවුහු හැකිතාක් දුරට ඊනියා නීත්‍යානුකූල භාවයක් යුද්ධාපරාධිකරණ හා මානව අයිතිවාසිකම් චෝදනාවලට ලබාදීමට උත්සාහ කරති. වීඩියෝපට, රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රකාශ, රායප්පු ජෝසප් බිෂොප්වරයා ඇතුළු ඇතැම් බිෂෙ’ාප්වරුන්ගේ ප්‍රකාශ, රනිල් වික්‍රමසිංහ ඇතුළු එ ජා ප නායකයන්ගේ ද ජ වි පෙ, ජනරළ ආදී බටහිරයන්ගේ අතකොළු බවට පත්වී ඇති කසිකබල් මාක්ස්වාදී පක්‍ෂවල ද ප්‍රකාශ ආදිය ද මේ චෝදනාවලට ඊනියා නීත්‍යානුකූල භාවය ලබාදීම සඳහා යොදා ගැනෙන ව්‍යාජ සාක්‍ෂි වෙයි. බටහිර කතෝලික චින්තනයේ බිහි වූ මාක්ස්වාදය අවසානයේ දී සේවය කරන්නේ් බටහිරට ම බව මේ වන විට පැහැදිලි වී අවසානය. බටහිරයන් කටයුතු කරන්නේ ආණ්ඩුවට විරුද්ධව මිස රටට විරුද්ධව නොවේ යැයි ද එ ජා පක්‍ෂය බලයේ සිටියේ නම් බටහිරයන් මේ ආකාරයෙන් කටයුතු නොකර්න්නේ යැයි ඒ පක්‍ෂයේ නායකයෝ කියා සිටිති. අද බටහිරයන්ට අවශ්‍ය ඔවුන්ගේ රූකඩ ආණ්ඩුවක් එ ජා ප දෙමළ ජාතික සංධානය හා වෙනත් කුඩා පක්‍ෂ මගින් ඇතිකර හැකිනම් සරත් ෆොන්සේකා ජනාධිපති කිරීම ය. එය වත්මන් ආණ්ඩු විරෝධී එකකි. එහෙත් එය හුදු ආණ්ඩු විරෝධයක් නො වේ. ආණ්ඩු විරෝධී ව්‍යාපාර ඇතිකළ හැක්කේ හුදෙක් රටවැසියන්ට පමණකි. විජාතිකයන්ගේ ආණ්ඩු විරෝීධි ව්‍යාපාර රටට ද විරුද්ධ ව්‍යාපාර වෙයි. රටේ මහජනතාවගේ වැඩි කැමැත්තට පිහිටුවන ලද ආණ්ඩුවක් විජාතික බලවේග විසින් වෙනස් කර රටටට එපාවූ පක්‍ෂයක් හෝ පක්‍ෂ හෝ බලයට පත්කිරීමට උත්සාහ කෙරෙන්නේ නම් පැහැදිලිව ම එය රටේ බහුතරයට විරුද්ධව යෑමකි. ඒ නිසා ම එය රටට විරුද්ධ වූවකි. එ ජා ප නායකයන්ට මෙය නොතේරෙනවා නො වේ. එහෙත් ඇමරිකානුවන් හා ඉංගිරිසින් දඟලන්නේ තමන් බලයට පත්කිරීමට බැවින් එ ජා ප නායකයෝ බටහිරයන්ගේ රාෂ්ට්‍ර විරෝධය ආණ්ඩු විරෝධයක් ලෙස හුවා දක්වති.

බටහිරයන් උත්සාහ කරන්නේ තමන්ගේ වත්මන් යෝජනාවටත් පසුකාලීන යෝජනාවලටත් හැකිතාක් රටවල සහාය ලබාගැනීමට ය. මෙවර යෝජනාවේ සැර බාලකර ඇත්තේත් හැකිතාක් ඡන්ද ලබාගැනීමේ අරමුණෙන් ය. එහෙත් ඒ සැර බාල යෝජනාව ඔස්සේත් ඇමරිකාව හා එංගලන්තය මෙරට කටයුතු අධීක්‍ෂණය කිරීම සඳහාත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ 22 වැනි සැසිවාරය දක්වා දැනට අප බැඳ තැබීමටත් උත්සාහ කරයි. එංගලන්තයට හා ඇමරිකාවට නිදහස් රටවල් ලෙස අවුරුදු හාර පන්සියකට එහා යන ඉතිහාසයක් නැත. ඔවුන් ඊනියා මානව හිමිකම් යුද්ධාපරාධ ගැන කිසි දිනෙක අව්‍යාජව සිතා නැත. එහෙත් අවුරුදු දෙදහස් තුන්සීයයකට පමණ පෙර ගැමුණු මහරජතුමා යුද්ධයෙන් මියගිය අය පිළිබඳ පසුතැවිලි විය. පැරදුණු එළාරට නිසි ගෞරවය ලබා දුන්නේ ය. එතුමාගේ සේනාව අනුරාධපුරයට වැද එය කොල්ල කෑ බවට හෝ එහි සිටි ජනයා සමුලඝාතනය කළ බවට හෝ සාක්‍ෂි නැත. අද ද අපේ හමුදා අනුගමනය කරන්නේ ඒ ප්‍රතිපත්ති ය. යුද්ධයෙන් මියගිය අය ගැන පසුතැවිලි වූ බටහිරයෝ කවරහු ද? බටහිරයන්ට ඇත්තේ සමුලඝාතන හා කොල්ලකෑම් පිළිබඳ ඉතිහාසයකි. අද ද ඇෆ්ගනිස්ථානයේ යුද්ධාපරාධ ගැන ඔබාමාට කීමට ඇත්තේ කණගාටුය යන්න පමණකි. එරට ආරක්‍ෂ ලේකම්වරයා පවසන්නේ යුද්ධයක දී එවැනි දේ සිදුවන බව ය. මේ යටත්විජිතවාදීන්ට මානවහිතවාදය අවශ්‍ය තම ආධිපත්‍යය තහවුරු කිරීමට ය. අද බටහිරයන් මූලික වශයෙන් ඉල්ලන්නේ උගත් පාඩම් කොමිසමේ වාර්තාව ක්‍රියාත්මක කරන ලෙස ය. පත් නොකළ යුතුව තිබූ උගත් පාඩම් කොමිසම ප්‍රශ්නයට අවතීර්ණ වී ඇත්තේ මෙරට දෙමළ ජනයාට ප්‍රශ්නයක් ඇත යනුවෙන් කීමෙනි. මේ කොමිසම ඉදිරියේ ඔවුන්ගේ ආරාධනයෙන් මා සාක්‍ෂි දුන් අවස්ථාවේ මෙහි ජනවාර්ගික ප්‍රශ්නයක් නැති බව මම තර්කානුකූලව හා සාක්‍ෂි සහිතව පෙන්වා දුන්නෛමි. මගේ සාක්‍ෂියෙන් පසු එක් කොමසාරිස්වරයකු පැවසුවේ මගේ ඉදිරිපත් කිරීම තර්කානුකූල වුවත්, ඔවුන්ට (දෙමළ වෙල්ලායන්ට හා ඔවුන් පසුපස සිටින බටහිරයන්ට) යමක් දිය යුතු බව ය. පැහැදිලිව ම බටහිරයන්ගේ අධ්‍යාපනයක් ලැබු කොමිසමේ මහත්ම මහත්මීන් ඉංගිරිසින් උගන්වා ඇති ජනවාර්ගික ප්‍රශ්නයක් ඇතැයි යන පූර්ව නිගමනයේ පිහිටි බව පැහැදිලි ය. මේ එක් අයකුවත් සඟ වෙද ගුරු ගොවි කම්කරු බලවේග නියෝජනය කළේ යැයි කිව නො හැකි ය. ඔවුහු අප නැති කළ කොාල්බෲක් කැමරන් ගුරු කුලයේම අය වෙති. ජනවාර්ගික ප්‍රශ්නයක් ඇත්නම් ඒ මෙරට සිංහල ජනතාවට ය. තවමත් මෙරට සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට හා ඔවුන්ගේ සංස්කෘතියට හිමි තැන ලැබී නැත. උගත් පාඩම් කොමිසම පත්කළේ මූලික වශයෙන් ම ඊනියා සටන් විරාම ගිවිසුමේ අසාර්ථකත්වයට හේතු සෙවීමට ය. එය අසම්පුර්ණ ය. ඊනියා සටන් විරාම ගිවිසුම අත්සන්කිරීමට හේතු වූ කරුණු, එහි දී බලපෑම් කළ පුද්ගලයන්, සංවිධාන, පූජකවරුන්, රාජ්‍ය ආදිය ගැන ද කොටි සංවිධානයේ මානව හිමිකම් කඩකිරීම් ඒවාට අනුබල දුන්නවුන්, කොටින්ට සුදුහුණු ගෑවුන් කවුරුන් ද ආදිය ද සෙවිය යුතු ය. තමන්ගේ මතය ප්‍රකාශ කිරීමට ඇති අයිතිය යටතට රජයේ සීමිත ස්වෛරීභාවයත් පාවාදීමට හේතුවන මත ප්‍රකාශ කිරීමේ අයිතිය ගැනීමට නො හැකි ය. ඉහත සඳහන් කරුණු ද අපේ සිමිත නිදහසට පවා විරුද්ධව කටයුතු කල අය ගැන ද සෙවීමට තවත් කොමිසමක් පත්කළ යුතු ය. එයට සඟ වෙද ගුරු ගොවි කම්කරු බලවේගවලින් නියොජිතයන් ඇතුළත් විය යුතු ය. රජය තමන් පත්කළ කොමිසම්වල සියලු යෝජනා ක්‍රියාත්මක කිරීමට බැඳී නැත. කිසිම විජාතික ජගතකුට රජයට අහවල් කොමිසමේ වාර්තාව සම්පුර්ණයෙන් හෝ අඩ වශයෙන් හෝ ක්‍රියාත්මක කීිරීමට බලකල නො හැකි ය. රජය කළ යුත්තේ ඒ දෙවැනි කොමිසමේ වාර්තාව ද නිකුත් වූ පසු කොමිසම් දෙකේ ම වාර්තා අධ්‍යයනය කර රටට වඩා සුදුසු යෝජනා පමණක් ක්‍රියාත්මක කිරීම ය. යක්‍ෂ නාග දේව හා අර්ධ වෛදික භාරතයෙන් පැමිණි කොටස් එක් කර සංහිඳියාවකින් එක් සේසතක් යටතට ගැනීමට අප සමත්වූයේ අවුරුදු දෙදහස් හාරසියයකට පමණ පෙර ය. අපට කල්ලන් හා සුද්දන් අතර සංහිඳියාවක් නැති බටහිරින් පාඩම් අනවශ්‍ය ය.